Home News Sinhala “අණ පිළිපදින හමුදා සංස්කෘතිය තුළ අධ්‍යාපන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද?”

“අණ පිළිපදින හමුදා සංස්කෘතිය තුළ අධ්‍යාපන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද?”

by Jayakody PSK

මීට කලින් මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා ජාතික ජන බලවේගය හැටියට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ජූලි 08වැනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටවූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ අවසාන කැමැත්ත අනුව. ඔහු පදිංචිව සිටි ස්ථානයේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පටන් ගත්තා. එය ආරම්භ කළේ හමුදා කැඩෙට් නිලධාරීන් පුහුණු කරන්න අදාළ විෂයයන් ඉගැන්වීම වෙනුවෙන්. හමුදාවෙන් පිට අයට මෙම ආයතනය විවෘත කරන බව කිසිම අවස්ථාවක සඳහන් වෙන්නේ නැහැ. නමුත් පසුගිය අවුරුදු ගණනාව තුළ විවිධ හේතුන් මත ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් හමුදාවලට සම්බන්ධ නැති අය ඇතුළත් කර ගන්නවා. ඒ වගේම හමුදාවට අදාළ නොවන විෂයයන් උගන්වන්න පටන් ගත්තා. ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර තිබුණේ නැහැ. ඒ නිසා අදාළ නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මෙම පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙනවා.

හමුදා නිලධාරීන් සඳහා වෙනම ආයතනයක් පිහිටුවා ගැනීම ලෝකයේ ඕනෑම රටවල සිදුකෙරනවා. අපිටත් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පනතෙන් කරන්නේ හමුදා නිලධාරීන්ගේ දියුණුව සහ ඔවුන් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. මෙයින් ඉදිරිපත් කරන ව්‍යූහයෙන් හමුදා නිලධාරීන්, රජයේ සේවකයන් සහ වෙනත් අයට අධ්‍යාපනය ලබාදීම ගැන පනතේ සඳහන් වෙනවා. ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් පත් කරන පාලක මණ්ඩලයක් මේ ආයතනය මෙහෙයවනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබෙන සියලුම බලතල මේ පාලක මණ්ඩලයට ලබාදෙනවා. එයින් අදහස් කෙරෙන්නේ මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම පමණක් නොවෙයි, එයින් පරිබාහිරව මෙවැනි වෙනත් ආයතන පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලබා දීමයි. වෙනත් උපාධි ප්‍රදානය කරන ආයතනවලට අනුමැතිය දීමේ හැකියාවත් මේ පාලක මණ්ඩලයට ලැබෙනවා. පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා මේ යටතේ පිහිටුවන්න පුළුවන්.

මේ පාලක මණ්ඩලයට පත්කරන නව දෙනෙකුගෙන් හතර දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ත්‍රිවිධ හමුදාවේ අධිපතිවරුන් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වන්නේ හමුදා නිලධාරියක්. උසස් අධ්‍යාපනය සම්බන්ධ විෂය ගැන දැනුවත් වෘත්තිකයන් ඒ උසස් අධ්‍යාපන ආයතනවලට පත් කෙරෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබුණත් එයට පත්කරන්නේ අදාල විෂය ප්‍රාමාණිකයන්. විශ්වවිද්‍යාලවලට පත් කෙරෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. යම්කිසි විශ්වවිද්‍යාලයක් පිළිබඳ තීරණ ගන්නේ එක් එක් ක්‍ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්. නමුත් මේ පනත සම්මත කිරීමෙන් උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු සංස්කෘතිය පිළිබඳව, ප්‍රමිතීන් පිළිබඳව කිසිම අදහසක් නැති අය පාලක සභාවලට පත් කෙරෙනවා. මේ පනත මුලින්ම ඉදිරිපත් කෙරෙන්නේ 2018 රනිල්-මෛත්‍රී ආණ්ඩුව කාලයේයි. ඒ කාලයේ සිදුකළ දේවල් වෙනස් කරනවා කියලා බලයට පත්වුණු මේ ආණ්ඩුව මේ පනත කිසිම වෙනසක් නැතිව ඉදිරිපත් කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපන පනත 1943 ගෙනෙන කොට විශාල සංවාදයක් ඇතිවී තිබුණා. මේ පනත මගින් නොමිලේ අධ්‍යාපනය ලබාදීම විතරක් සිදු කෙරුණා නෙවෙයි. මේ පනත වටා තිබුණු සංවාදවලින් පැහැදිලි වෙන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමේ වෙනත් පරමාර්ථ ගණනාවක් තිබුණු බවයි. සමාජ තත්වයක්, මුදල්, හැකියාව, ඉංග්‍රීසි භාෂාව කථා කරන අය වැනි පිරිසකට සීමා වී තිබූ වරප්‍රසාදයක් මේ රටේ සියලුම දෙනාට ලබාදීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කළා. එතන යම්කිසි දර්ශනයක් තිබුණා. ඒ තුළ තිබුණේ අධ්‍යාපනය වරප්‍රසාදයක් නෙවෙයි, අධ්‍යාපනය අයිතියක්. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපන අයිතිය සෑම පුරවැසියෙකුටම තහවුරු කිරීම මූලික දර්ශනය වුණා. මේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ සංස්කෘතිය තේරුම් ගෙන පුරවැසියන් බිහි කිරීමේ පරම වගකීම ඉටුකිරීම වෙනුවෙන් දර්ශනයක් තිබුණා. මේ පනත මගින් ඒ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. අධ්‍යාපනය සියලු දෙනාගේම අයිතියක් බවට තිබුණු දර්ශනය විකෘති කිරීම මෙයින් සිදුකෙරෙනවා. දැනටමත් නොනිලව සිදුවෙන අධ්‍යාපනය වරප්‍රසාදයක් කියන තත්වය නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන්නයි යන්නේ.

උසස් අධ්‍යාපන ආයතනයක් තුළ අධ්‍යයන නිදහස අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙය ගෝලීය එකඟතාවයක්. ශ්‍රී ලංකාවත් අත්සන් කළ ගෝලීය එකඟතාවයක්. දැනුම සොයාගෙන යනකොට දේවල් ප්‍රශ්න කිරීමේ නිදහස තියෙන්න ඕනෑ. අලුත් දැනුම නිෂ්පාදනය වෙන්න නම් තියෙන දැනුම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ වගේම බල පද්ධතිය ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ ප්‍රශ්න කිරීම බලයේ ඉන්න අයට හිත රිදෙන ප්‍රශ්න කිරීම් වුණත් සිදුකිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතන තුළ තියෙන්න ඕනෑ. සමාජයක් වෙනස් කරන්න පුළුවන් දැනුම නිෂ්පාදනය කෙරෙන්නේ එහෙම වුණොත් විතරයි. අධ්‍යයන නිදහස විශ්වවිද්‍යාලයකට අත්‍යවශ්‍ය දෙයක්. ශිෂ්‍යයන්ට වගේම ගුරුවරුන්ටත් එක සේම වැදගත්. නමුත් එහෙම සංස්කෘතියක් හමුදාවල් තුළ නැහැ. හමුදාව තියෙන්නේ දේවල් ප්‍රශ්න කරන්න නෙවෙයි. උඩින් එන අණ පිළිපදින්න. එවැනි හමුදා සංස්කෘතියක් තුළ තියෙන උසස් අධ්‍යාපන ආයතනයකින් අධ්‍යයන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අධ්‍යයන නිදහස නැති උසස් අධ්‍යාපනයක තත්වය මොකක්ද? අධ්‍යාපන පාඨමාලා මොන වගේ වේවිද? මොන වගේ ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් එවැනි ආයතනයකට ලැබෙයිද?

මේ පනතෙන් සිදුවෙන්නේ තවත් එක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමවත් හමුදාවලට අධ්‍යාපනය ලබාදෙන ආයනයක් පිහිටුවීමවත් නෙවෙයි. ඊට එහා ගිය අරමුණු තිබෙනවා. ඉතා අමාරුවෙන් මේ දක්වා ආරක්‍ෂා කෙරුණු අධ්‍යාපන නිදහස, අධ්‍යාපන දර්ශනය, යන සියල්ලම විකෘති කරන පනතක් මේ ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ අපිට උරුම අධ්‍යාපන ක්‍රමය විනාශ කරන මේ පනතට පාර්ලිමේන්තුවේදී එකඟ වෙනවාද? අධ්‍යාපනය විනාශ කරන්න දායක වුණු අය හැටියට ඉතිහාසගත වෙන්න කැමති නම් මේකට අත උස්සන්න. හෘදය සාක්‍ෂියක් තිබෙනවා නම් කිසිසේත්ම මේ පනතට අත උස්සන්න බැහැ. අත උස්සන්න එපා කියන ඉල්ලීම කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

You may also like

Leave a Comment