
මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ශෝකජනක සිද්ධිය සම්බන්ධයෙන් අපේ ශෝකය ප්‍රකාශ කරමින් අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යොමු වෙනවා. මෑත කාලයේ පේරාදෙණිය ශිෂ්‍යයන් තිදෙනෙක් සියදිවි නසා ගත්තා. තරුණ ජීවිත නැතිවීම මේ සමාජයේ හිතන මතන අයට දැඩි කම්පනයක් ඇති කරනවා. සියදිවි නසා ගැනීම පමණක් නොවේ තරුණ ජීවිත කවරාකාරයෙන් අහිමි වුණත් දරා ගන්න අමාරුයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු රාශියක් මතුවී දෙමාපියන්ටත්, ශිෂ්‍යයන්ටත්, ගුරුවරුන්ටත් දැඩි මානසික පීඩනයක් ඇතිවන තත්වයක් අදත් තිබෙනවා. කාලයක් තිස්සේ අධ්‍යාපනය පිළිබඳ වගකීම ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල් මත පටවා තිබුණා. ඊට අමතරව අවුරුදු දෙකහමාරක පමණ කාලයක් නිසි අධ්‍යාපනයක් සිදුවුණේ නැහැ. අධ්‍යාපනය කියන්නේ තොරතුරු හුවමාරුව සහ විභාග ක්‍රමයක් පමණක් නොවේ; සමාජානුයෝජන ක්‍රියාවලිය, ජීවිතයට මුහුණ දීම, දැනුම, පෞරුෂත්ව වර්ධනය යන සියල්ලම ලැබිය යුතු දෙයක්. අපේ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ කිසිම ප්‍රශ්නයක් නැති ආකාරයටයි. විභාගයක් පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම, විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම යන සියල්ලම අර්බුදකාරියි. ඒ පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව මහජන නියෝජිතයන්ට ශිෂ්‍යයන්ගේ දුක්ගැනවිලි වැඩියෙන් ලැබෙනවා. අධ්‍යාපන ක්‍රියාවලිය කඩා වැටීම තුළ විභාග තියන්නන් වාලේ පවත්වා කරන්නන් වාලේ ප්‍රතිඵල නිකුත් කරනවා. නිසි ප්‍රමිතියකට අනුව නියමිත කාලවලදී පවත්වන්නේ නැහැ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න විශාල කාලයක් ගත වුණා. විභාග පවත්වන කාලය සම්බන්ධයෙනුත් අර්බුද මතුවී තිබෙනවා. මේ සියල්ල තුළින් දරුවන් විශාල පීඩනයකට ලක්වෙනවා. කෝවිඩ් නිසා පාසල් වැසීමෙන් පසුව ආර්ථික අර්බුදය නිසා තව පැත්තකින් අලුත් අර්බුද මතුවී තිබෙනවා.
දරුවන්ගේ පාසල් පැමිණීම නිරාහාරව සිදුවන බවට විශාල වශයෙන් වාර්තා වෙනවා. දරුවන් ක්ලාන්තවී වැටෙනවා. මෙවැනි තත්වයක් තුළ දරුවන් ඉගෙන ගන්නේ කොහොමද කියලා ආණ්ඩුව කිසිම තැකීමක් කරන්නේ නැහැ. පවුල්වල ආර්ථික පීඩනය ඉහළ යාමත් සමග දරුවන්ගේ අධ්‍යාපනයට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට යන සියලු ක්ෂේත්රවලට බලපානවා. පළවෙනි පන්තියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම මේ පීඩනය තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ කිසිවක් නැති ආකාරයට කටයුතු කරමින් පින්ලන්තයේ අධ්‍යාපන ආකෘතිය මෙහෙට ගේන්න සාකච්ඡා කරනවා. ඊට වඩා දැවෙන ප්‍රශ්න අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්රය ක්‍රියාත්මක වෙන්නේ විශාල මානසික ආතතියක් සහ පීඩනයත් එක්කයි. මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන ප්රතිසංස්කරණද, නැත්නම් තිබෙන ගැටලුවලට නිශ්චිත ප්‍රායෝගික විසඳුම්ද කියලා හිතන්න වෙනවා. පෙර තිබුණාට වඩා උග්‍රවී තිබෙන මානසික සෞඛ්‍ය ප්‍රශ්න, මනෝ සමාජීය ප්‍රශ්න, සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්රමුඛ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. අධ්‍යාපනයේ වගකීම පංති පැවැත්වීම පමණක් නොවේ. පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මානසික සෞඛ්‍යය සහ මනෝ සමාජීය අර්බුදය ගැනත් ප්‍රමුඛතම මැදිහත්වීමක් අවශ්‍යයි.
මෙයට පෙරත් අපේ රටේ සියදිවි නසා ගැනීම් ලෝකයේ මුල් තැනට ඇවිත් තිබුණා. මේ වන විට ඒ තත්වය පාලනය වී තිබුණේ වෛද්‍ය මැදිහත්වීම් තුළින් ජීවිත බේරා ගැනීමට හැකිවීම නිසා වුවත් සියදිවි නසා ගැනීමට තැත් කිරීම අඩුවක් වී තිබේදැයි ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිවැරදි දත්ත නැහැ. මානසික සෞඛ්‍යය පිළිබඳව විශ්වසනීය දත්ත නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ තීරණ ගැනීමට දත්ත අත්‍යවශ්‍යයි. තරුණ ජීවිතවල මානසික සුවය සහ මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මැදිහත්වීමේ විශාල වගකීමක් අධ්‍යාපන ක්ෂේත්රයට තිබෙනවා. මේ යථාර්ථය තේරුම් ගෙන ප්රශ්නය විසඳීමට ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතුයි. ඒ වගේම මේ ක්ෂේත්රයේ වෘත්තීය සංවිධානවලට මේ සම්බන්ධයෙන් මැදිහත්වීමේ විශේෂ වගකීමක් තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඔවුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව සංවේදී වී සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී පරිස්සම් වෙන ලෙස ඉල්ලා සිටිනවා. අනවශ්‍ය අවධානයක් දීම තුළින් වීරත්වයක් ආරෝපණය කිරීමේ හෝ අනුකම්පාවට ලක්වීමේ අන්ත දෙකට නොවැටිය යුතුයි. ප්‍රධාන මාධ්‍යයෙනුත් මේ පිළිබඳව වාර්තා කිරීමේදී ඉතාම පරෙස්සම් විය යුතු බව අවධාරණය කරනවා. මේ සියල්ල තුළ සුවිශේෂීව අධ්‍යාපන බලධාරීන් මැදිහත්වීම් කළ යුතුයි. විභාග පැවැත්වීම පමණක් ඉලක්ක කරගෙන ක්‍රියා නොකළ යුතුයි.
අධ්‍යාපනය ජීවිත අපෙන් උදුරා ගන්නා සංවේදී ක්‍රියාදාමයක් බවට පත් කරලා

අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්ප්රදායක් විදිහට සාකච්ඡා කර තිබුණේ හුණුවටය කතාවේ වැල් පාලමෙන් එගොඩ වන ගෲෂා කියූ “අපට පුතේ මඟක් නැතේ, මේ මඟ මිස යමන් පුතේ” යන තත්වයයි. අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් උතුරේ සිට දකුණටම දැක්කේ මේ විදිහට. පවුලක් විදිහට, සමාජයක් විදිහට සහ රටක් විදිහට ගොඩයන්න තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය හැටියටයි දැක්කේ. අපිට හයියක් දුන්න, අපි විශ්වාස කළ අධ්‍යාපනය කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතු අතිශයින් අර්බුදකාරී තත්වයකට පත්කර තිබෙනවා. අවංකවම කියනවා නම්, අපේ ගැලවීමකට වඩා ශාපයක් බවට දැන් පත්කර තිබෙනවා. පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය බරක් කරලා. දරා ගන්න බැරි මට්ටමක අතිවිශාල මානසික පීඩනයක් ඇති කර, අපේ විවේකය සහ අපේ ජීවිතය අපෙන් උදුරා ගන්නා සංවේදීතාවය අතිශයින් පහත හෙළන ක්‍රියාදාමයක් බවට පත්කර තිබෙනවා. දෙමාපියන්, දරුවන්, ගුරුවරුන් බොහෝ දෙනෙක් හිතන්නේ කොහොම හරි සිලබස් එක කවර් කර, විභාගයෙන් ගොඩයාම ගැනයි.
නමුත් අද වෙනකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකයෙක් වශයෙන් මම අත්දකින්නේ දරාගත නොහැකි මට්ටමේ ප්‍රශ්නයක් බවට අධ්‍යාපනය පත්කර තිබීමයි. මීට අවුරුදු දහයකට පමණ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීමට පැමිණි පිරිස මෙන් දහගුණයකට කිට්ටු ප්‍රමාණයක් දැන් එනවා. මේ තත්වය පහසුවෙන් ගොඩයා නොහැකි තත්වයක්. මේ මොහොතේ ඇතිවී තිබෙන අතිශය දරුණු තත්වය ගැන කෙටිකාලීනව වගේම ප්රශ්නයේ හේතු විමසා බලා එය ඉවත් කරන දිගුකාලීන විසඳුම්වලට ප්‍රවේශ විය යුතුයි. රටේ ආර්ථික සහ දේශපාලන අස්ථාවරභාවය එක්ක, ඒ පිටුපස තිබුණු කඩා වැටීම දරාගන්න බැරිව මිලියන ගණනක් තරුණ සහ සාමාන්‍ය ජනතාව අරගල කළ බව විශ්ලේෂණාත්මකව සාකච්ඡා කෙරෙන්නේ නැහැ. ඒ සාකච්ඡාව ඉතා ඉක්මනින් කළ යුතුයි. අධ්‍යාපනය තුළින් දරුවන් පීඩනයට පත්වෙන්නේ ඇයි? අධ්‍යාපනයෙන් ළඟාකර ගත හැක්කේ මොනවාද? මේ මූලික ප්‍රශ්න දෙක පිළිබඳ සාකච්ඡාව ඉක්මනින්ම සිදුකර පිළිතුරු ලබාගත යුතුයි. ශිෂ්‍යයන් තම දෛනික කටයුතු පවා කරගත නොහැකි මට්ටමට ඇදවැටීම ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමට යාමේදී සමාජයක් ලෙස ඇතිවී තිබෙන මානසික පීඩාවේ ප්‍රතිඵලයක්. එකිනෙකා අවබෝධ කර ගැනීමේ හැකියාව ඉතා නරක මට්ටමෙන් අඩු වී තිබෙනවා. දෙමාපියන් තම දරුවන් දෙස බලනවාට වඩා ඒ දරුවන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරන්න වැඩි කාලයක් කැපකරන්න සිදුවී තිබෙනවා. ඊළඟ පරම්පරාව වෙනුවෙන් දෙමාපියන් සහ වැඩිහිටියන් කල්පනා කළ යුත්තේ දරුවන්ගේ මූලික භෞතික අවශ්‍යතා ඉටුකිරීමෙන් එහාට ගිය මානසික අවශ්‍යතා ඉටුකිරීමත් අරමුණු කරගෙනයි. ඒ වෙනුවෙන් සුදුසු පරිසරයක් මේ රටේ දෙමාපියන්ට නැති කරලා. තමන්ගේ දරුවන් දෙස බලන්න හැකි මානසික මට්ටමක් දෙමාපියන්ට නැති කරලා. ඒ විවෘතභාවය නැති කරලා.
මේ තත්වය ඇති වුණේ අහම්බෙන් නොවෙයි. අද වනවිට එක් මනුස්සයෙකුට වේල් තුන පිරිමසා ගන්න ආදායම් මාර්ග කිහිපයක් සොයා ගැනීමට සිදුවී තිබෙනවා. මේ නිසා ඔවුන් මානසික වශයෙන් ඉතාමත් අසංවේදී වී තිබෙනවා. මේ සමස්තය දරුවන්ගේ පිටින් ගලාගෙන යනවා. දරුවෝ මත එල්ල වන පීඩනයෙන් ඔවුන් අසරණ වීමේ තත්වය සමාජය කඩා වැටීමේ නිර්ණායකයක් හැටියට ගන්න පුළුවන්. ඉතා ඉක්මනින් මේ තත්වයට උත්තර සොයන්න වෙනවා. ඒ සම්බන්ධ වගකීමෙන් ආණ්ඩුවට මඟහැර ඉන්න බැහැ. මෙය වැදගත් කාරණයක් ලෙස නොසැලකීම දක්වා අතිශය දරුණු තත්වයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙනවා. උදාරණයක් හැටියට විශ්වවිද්‍යාලවලට වැඩිපුර ශිෂ්‍යයන් ඇතුළත් කර ගන්න ඕනෑ කියන හඬට අනුව ක්‍රියා කළත් විශාල ශිෂ්‍යයන් පිරිසක් ඇතුල් කර තිබෙන්නේ මීට අවුරුදු 50කට පමණ පෙර තිබුණු ඉඩකඩ තුළටයි. විද්‍යාගාර පහසුකම් ඇතුළුව අනෙකුත් භෞතික පහසුකම්ද පවතින්නේ ඒ ආකාරයටමයි. මෙය ගුණාත්මක අධ්‍යාපනයක් සිදු නොවීමට මූලික හේතුවක්. රුපියල් 5000ක් ලැබෙන මහපොළ ශිෂ්‍යත්වයෙන් ගත හැකි වෙන්නේ පාන් රාත්තල් 16ක් විතරයි. මාසයකට ලැබෙන මහපොළෙන් ඊට වැඩි දෙයක් කරන්න බැහැ. දුප්පත් රටක් හැටියට එයින් මිදීමට තිබෙන මූලික උපායමාර්ගය අධ්‍යාපනය බව දැන දැනත් පාලකයන් ඊට දෙන මූලිකත්වය මහපොළ ආධාර මුදලෙන්ම තේරුම් ගන්න පුළුවන්. දරුවන් සහ දෙමාපියන් කෙතරම් ආතතියකින් පසුවෙනවාද කියන එක මෙයින් පැහැදිලියි.
බස් ගාස්තු, බෝඩිං ගාස්තු, මෑතදී තිබුණු වියදමට වඩා දස ගුණයකින් වැඩිවී තිබෙනවා. මේ තත්වය තුළ නිසි මානසිකත්වයකින් දරුවන්ට ඉගෙන ගන්න බැහැ. ඔවුන්ට ඉගෙන ගන්න මේ තත්වය තුළ බලකිරීම වැරදියි. එය මනුෂ්‍යයින්ට දරා ගන්න බැහැ. ශිෂ්‍යයන්ට දරා ගන්න බැහැ. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ අනිකාට සවියක් වෙන්න, මිත්‍රකම් පවත්වාගෙන යන්න, සංවේදී වෙන්න, සහ කම්පනය දැනෙන්න, අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදී නැහැ. විෂයවලට අනුගත කර, කටපාඩම් කරන විභාග ක්‍රමය ගැන විශේෂයෙන්ම උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් තේරුම් ගන්න පුළුවන්. එක්තරා ආකාරයකට විෂය නිර්දේශය ඇතුළුව කටපාඩම් කර, විභාගය සමත්වීමේ ක්‍රමයක් තිබෙන්නේ. ප්‍රශ්නයකට පිළිතුරු සොයන නිර්මාණාත්මක ක්‍රම අධ්‍යාපනය තුළ උගන්වන්නේ නැත්නම්, යුතුකම් සහ අයිතිවාසිකම් ගැන උගන්වන්නේ නැත්නම් මනුෂ්‍යයෙක් ගොඩනැගෙන්නේ කෙසේද? තමන්ටත් අනුන්ටත් සවියක් වෙමින් ජීවත් වෙන්න උගන්වන්නේ කොහොමද? මේ අධ්‍යාපනය ක්‍රමය ඇතුලේ මනුෂ්‍යයෙකුට ලබාදිය යුතු අවම සමාජීය සහ මනෝ විද්‍යාත්මක පුද්ගලානුබද්ධ කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා. පවතින්නේ ඉතාමත් දෘඪ, මානුෂිකත්වයෙන් තොර, අධ්‍යාපනයක්. ප්‍රශ්නයකට උත්තර සොයන්න අතිශයින් සම්ප්‍රදායික රාමුවක් තුළ සිතීමෙන් රටක් ගොඩනඟන්න බැහැ. අලුත් අලුත් දෑ තනන්න අලුත් අලුත් විදිහට හිතන්න හැකි වෙන්න ඕනෑ.
අලුතින් හිතන මිනිසුන්ව ගොඩනඟන අධ්‍යාපන ක්‍රමයක් අපට ඕනෙ වෙනවා. කෙටි කාලීනවත්, දීර්ඝ කාලීනවත් මනුෂ්‍යයින් විදිහට සංවේදී, තවත් මිනිසුන්ව දරාගත හැකි සමාජයක් ගොඩනැගීමට සුදුසු අධ්‍යාපනයක් නැතිතාක් කල් අපි නිදහස් මිනිසුන් වෙන්නේ නැහැ. නිදහස් නොවෙන මිනිසුන්ගෙන් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමුකර, රට ගොඩ ගන්නට සියලුදෙනා ඉක්මනින් සහ දීර්ඝකාලීන වශයෙන් එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
දරුවන් රැකබලා ගන්න වේගවත් මැදිහත් වීමක් අවශ්‍යයි

අධ්‍යාපනය කියන්නේම මනස සම්බන්ධ ක්‍රියාකාරිත්වයක්. හොඳ අධ්‍යාපනයක් ලබාගන්න මානසික නිරෝගීභාවයත්, මානසික සමබරතාවයත් තියෙන්න ඕනෑ. සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒ නිසයි. විශේෂයෙන් පාසල් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබිය හැකි මානසික මට්ටමක් තිබෙනවා දැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මත පදනම් වී යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්තාවක ලෝකයේ ළමා මන්දපෝෂණයෙන් හයවෙනි තැනත්, ආසියාවේ දෙවැනි තැනත් අපේ රටට ලැබී ඇති බව සඳහන් වෙනවා. කොළඹ රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් වන දරුවන්ගෙන් 20%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, එයින් හරි අඩක් දරුණු මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බවත්, සමීක්ෂණයකින් වෛද්‍යවරුන් හෙළිකර තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කර තිබෙනවා. එයින් 30%ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති, අගමැති ප්රමුඛ ආණ්ඩුව මේ දත්ත පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ දත්ත බොහෝ විට ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනවා.
පාසල් දරුවන් ආහාර ලබාගන්නා ආකාරය ගැන මාධ්‍ය වාර්තා ගණනාවක සඳහන් වී තිබෙනවා. පාර්ලිමේන්තුව තිබෙන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් මිරිස් කුඩු මිශ්‍රකර ගත් බත්පතක් ගෙනා බවත්, සමහර දරුවන් බුද්ධ පූජාව අනුභව කර ඇති බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ කලාපයේ පාසලක දැරිවියක් දහවල් ආහාරයට පොල් මද ගෙන ආ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම “තන්තිරිමලේ පාසල් කිහිපයක දරුවන් සිහිසුන්ව වැටී උදේ රැස්වීම සීමා කරයි, සමහර ළමයි රෑට-උදේට දෙකටම කාලා නෑ.” කියලා 22 වනදා පත්තරයක තිබෙනවා. මේ තිබෙන්නේ වාර්තා වන සිදුවීම් පමණයි. වාර්තා වන සිදුවීම්වලටත් ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ප්‍රතික්ෂේප කිරීමයි. මිනුවන්ගොඩ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග ඇමතිගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් එම සිදුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුනිසෙෆ් වාර්තාවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සූරියවැව සමීක්ෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ආණ්ඩුව බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල උත්තර දී තිබුණේ ලක්ෂ 43ක් පමණ වන පාසල දරුවන්ගෙන් කිහිපදෙනක් සම්බන්ධ මේ වාර්තා ගණන් ගත යුතු නැති බවයි. මේ වාර්තාවලින් ආණ්ඩුව දරුවන්ගේ මන්දපෝෂණ තත්වය වර්ධනය වෙමින් තිබෙන බව පිළිගත යුතුයි. ඉදිකිරීම් ක්ෂේත්රයේ 90%ක් නතර වී, රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න සල්ලි නැති බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙන පසුබිමක, දඹුල්ලේ ලොකු ළුෑණු ගොවීන්ට හතේ හත වැදී ඇති බවට ප්රවෘත්ති පළ වෙද්දී, මේ මන්දපෝෂණ තත්වය සිදුවිය නොහැකි තත්වයක් නොවේ.
රැකියා අහිමිවීම හෝ රැකියා කළ කාලය සීමාවී සිටින මාපියන්ට තම දරුවන් පෝෂණය කිරීමේ හැකියාව අඩුවී ඇති බව පිළිගත යුතුයි. දරුවෙකුට මාස ගණනාවකින් බිත්තර, මාළු, මස් ලබානොදුන් බව දෙමාපියන් කියනවා. අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 60කට වැඩි ප්‍රමාණයක් එක වේලක් ආහාර ගන්නා බව ඇතැම් වාර්තාවලින් හෙළිකර තිබෙනවා. මේ වාර්තා සහ අදාළ සිදුවීම් ප්‍රතික්ෂේප කරමින්, වාර්තා ලබාදෙන නිලධාරීන්ට තර්ජනය කරමින් යන උද්ධච්ඡ ගමනක ආණ්ඩුව නිරතවී සිටිනවා. ආණ්ඩුවට මේවා ප්‍රශ්න නොවෙන්න පුළුවන්. කෙහෙලිය රඹුක්වැල්ලට මේ ප්‍රශ්න නැහැ. සාමාන්‍ය ජනතාවට තිබෙන කිසිදු ප්‍රශ්නයක් රට පාලනය කරන අයට නැහැ. තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, ඖෂධ ප්‍රශ්න, සංස්කෘතික ජීවිතය පවත්වාගෙන යාමේ ප්‍රශ්න යන කිසිවක් ඔවුන්ගේ ජීවිතවලට අදාළම නැහැ. නමුත් සාතිශය බහුතරයක් ජනතාවට මේ ප්‍රශ්න අදාළයි. දැන් දරුවන් මතින් ප්‍රශ්න ගලාගෙන යන්න පටන්ගෙන තිබෙනවා. දරුණු මන්දපෝෂණයේ ප්‍රතිඵල පාසල් රැස්වීමේදී දරුවන් ක්ලාන්තයෙන් ඇදවැටීමෙන් පමණක් සීමා නොවී මානසික වර්ධනයට සිදුකරන බලපෑම විසින් ඉදිරි පරම්පරාවල දරුවන්ට බලපානවා. මේ නිසා ආණ්ඩුවක් හැටියට මේ කෙරෙහි අවධානයක් යොමු කරන්න ඕනෑ. අවුරුදු 5ට වඩා අඩු දරුවන් සිටින දෙමාපියන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ දරුවා සම්බන්ධ පොෂණ ඌනතාවයන් ගැන නිසි පරීක්ෂණයක් කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ගන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පෙන්වා වාර්තා ලබාගන්න ලෙස ඉල්ලා සිටිනවා. දරුවන් සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක තත්වය ඔවුන් පැහැදිලි කර දෙනවා. ඒ අනුව ඔබේ දරුවා සිටින තත්වය ගැන ප්රමුඛ අවධානය යොමු කරන්න.
නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තර්ජනය කර, බයකර, මේ වාර්තා යටගහන්නයි. ත්‍රිපෝෂ සිද්ධියට අදාළවත් ආණ්ඩුව කරන්න හදන්නේ මේ තත්වයමයි. ඇෆ්ලටොක්සීන් කියන විෂ රසායනික පිළිකාකාරකය, ප්‍රතිශක්තිය ඌන කරන රසායනිකය වැඩි ප්‍රතිශතයකින් තිබෙන බව හෙළි වුණා. මේ තොරතුර ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න උනන්දුවෙන ආණ්ඩුව ත්‍රිපෝෂවලට ඇල්ෆටොක්සීන් එකතුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන්න කිසිදු සැලකිල්ලක් නැහැ. මේ පාලකයෝ ඔබේ දරුවන්ට ආදරේ නැහැ. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි. අපි ඔබේ දරුවන්ට ආදරෙයි. මේ රට ඔබේ දරුවන්ට ආදරෙයි. ඔබට, අපට, මේ රටට ඔබේ දරුවන් ඕනෑ. මේ පාලකයන්ට ඔබේ දරුවන් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ දරුවන් සිටින්නේ සියලු සැප පහසුකම් සහිත විදේශ රටවල. ඒ නිසා ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ කඩිනමින් පියවර ගන්න. සෞඛ්‍යමය වශයෙන් වගේම දේශපාලනිකවත් ඔබේ දරුවන් රැකබලා ගන්න. ඒ වෙනුවෙන් අපි සෑමදෙනාම ඉතාම වේගවත් මැදිහත්වීමක් කළ යුතු බව අවධාරණය කරනවා.