ගෝල්ෆේස් ප්රමුඛව රට පුරා විරෝධතා දියත් කළ ගිහි _ පැවිදි තරුණ අරගලකරුවන්ට ‘ත්රස්තවාදීන්’ කියනවා නම් ඒ විරෝධතාව මතින් ජනාධිපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ නොම්මර එකේ ත්රස්තවාදියා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා වාද්දුවේ පැවැති ජන හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය.
“ඔය රනිල් වික්‍රමසිංහ අද කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන විරෝධතාවලදී ක්‍රියාකාරීව කටයුතු කළ තරුණ පිරිස් දින 90කට බන්ධනාගාර ගතකරන එක. මේ වෙනකොට ඇමරිකාව ප්රමුඛ තානාපති කාර්යාල විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල ඇතුළු ලෝකයේ මානව හිමිකම් සංවිධාන ගණනාවක් රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා කියලා. ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේ උප සභාපති කියන ඒවා රනිල් වික්‍රමසිංහ තුට්ටුවකට නොතකා අද මර්දනය ක්‍රියාත්මක කරනවා. පොලිසියට ගෙනත් කට උත්තර අරන් යවන්න ඕන දේවල්වලට රැඳවුම් නියෝග ගහලා දින 90ක් රඳවා ගන්නවා. මේ රාජපක්ෂලා සතුටු කරන්න කරන වැඩෙන් අපේ රට තවත් කබලෙන් ළිපට වැටෙනවා.
සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ ප්රෝ්ඩාවක්. මිථ්‍යාවක්. පසුගිය දිනවල එක වෙලාවක සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩක් තිබුණා. ඒ තමයි ජනාධිපති අගමැති ඉවත් වෙලා කථානායක වැඩබලන ජනාධිපති ලෙස පත්කරලා සියලු පක්ෂවල විශ්වාසය තියෙන අගමැතිවරයෙක් පත්කරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුව පත්කරන එක. හැබැයි පොහොට්ටු මන්ත්‍රිලා ඡන්දෙ දීල රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දිනේෂ් ගුණවර්ධන අගමැති කරපු සර්වපාක්ෂික ආණ්ඩුවට රටේ ජනතාවවත් ජාත්‍යන්තරයවත් කැමැති නෑ.
දැන් කරන්න හදන්නේ සර්වපාක්ෂිකයි කියලා පෙන්නගෙන අර කලින් ඇමැතිකම් දරපු පරණ සෙට් එකට ඇමැතිකම් ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඕකට සර්වපාක්ෂික කියන්න බෑ. අර පරණ චෞරයෝ ටික එකතු වෙන්න හදන අටමගලයක් විතරයි. ඒ නිසා මේ රට ගොඩනඟන්න කැමැති කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නෑ.
ජාත්‍යන්තරයට තේරෙන භාෂාව දන්නා එකම නායකයා රනිල් වික්‍රමසිංහය, රනිල් නිසා ණය ලැබෙනවාය, රනිල් ආවාම ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිය කියන මිථ්‍යාවක් මවලා මේ අය හදන්නේ ජනතාව නැවත වරක් රවට්ටන්න. මේ අයට ජනතාව ගැන අබමල් රොනක තරම්වත් කැක්කුමක් නෑ. පසුගිය කාලේ එක එක ව්‍යාපෘති ගෙනල්ලා ලක්ෂ ගණන් කොමිස් ගහද්දි නිහඬව ඉඳපු අය දැන් එක එක නූල් සූත්තර අමුණලා හදන්නේ ජනතව රවටන උප්පරවැට්ටියකටයි.”
පොතුපිටිය – සුමිත් රණවක (මව්බිම)