රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
කළුතර නගර ශාලාවේදි පැවැති මේ සමුළුවේදී මන්ත්‍රිවරයා මෙසේද කීය.
ඔබලා බලයට ආවම දූෂිතයන්ට දඬුවම් දෙනවද. මීට කලින් ආව අයත් ඔහොම කිව්වා. නමුත් කියපු විදිහට කළේ නැහැ කියලා ජනතාව අපෙන් අහනවා. දූෂිතයකුට දඬුවම් දියහැකි වන්නේ අදූෂිත දේශපාලන බලවේගයකට පමණයි. ඒක පරම සත්‍යයක් බව අමතක නොකළ යුතුයි. එක් දූෂිතයකු තව දූෂිතයකු ආරක්ෂා කිරීම යනු එම දූෂිතයාට අපේක්ෂිත ඇප ලබා ගැනීමයි.

යහපාලන ආණ්ඩු කාලයේ දඬුවම් දීමේ බලයක් මට තිබුණා කියලා පසුගිය දවසක ජොන්ස්ටන් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී හයියෙන් කෑගහලා කිව්වා. එහෙම බලයක් එදා මට තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියෙ අද ඔය කවුරුවත් නැහැ කියලා මම ඊට පිළිතුරු දුන්නා. එහෙම කියන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට හෝ අදූෂිත පුද්ගලයකුට පමණයි. එහෙම නැති නම් පහුවැනිදා ඇතුළට යන්න වෙනවා. ඒක රාජිත, සජිත් නැතිනම් කිරිඇල්ල හරි කිව්වොත් පහුවැනිදට නඩු පිට නඩු වැටෙනවා.
අපේ රටේ දූෂණය කියන්නෙ පොලිසියෙ නිලධාරියකු, ග්‍රාමසේවක නිලධාරියකු නෙමෙයි. දූෂණය රටකට ප්‍රශ්නයක් වෙන්නෙ පාලකයා දූෂිතයකු, හොරකු වුණාමයි. අපේ රටේ පාලකයා හොරෙක්. ඒ වගේම පාලනය හොර කල්ලියකට භාරවෙලා තියෙනවා. අමාත්‍යාංශයේ මහ පුටුවෙ වාඩිවෙන්නෙ අද ගිහිල්ලා කීයක් හොයනවද කියලයි. අපේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නෙ දූෂිත ආණ්ඩු නම් අපි අදූෂිත ආණ්ඩුවක් හදනවා. ඒ වගේම අපේ රටේ මහජන දේපළ හොරාකන සුපිරි චෞර වළල්ල නීතිය හමුවට පමුණුවනවා. විශේෂයෙන් ඔවුන් හොරා කෑ මහජන දේපළ යළි අත්පත් කරගන්නවා.
“පාර්ලිමේන්තුව කේන්ද්‍රකරගත් පාලන ක්‍රමයත් විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයත් යන මේ දෙකම ලෝකයේ රටවල තියෙනවා. අවුරුදු 29ක් අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන පාලනය කළා. අවුරුදු 44 විධායක ජනාධිපති ධුරය කේන්ද්‍ර කරගන පාලනය කර තිබෙනවා. අපේ ජීවිතවල වැඩිම කාලයක් ගෙවිලා තියෙන්නෙ මේ විධායක ජනාධිපති ක්රමයේ පාලනයත් සමඟයි. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්ථා, සමාගම්, මණ්ඩල, ව්‍යුහයන්වල ප්රජාතන්ත්රවාදය මුළුමනින්ම බිඳ වට්ටලා තියෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ නරකම ක්‍රමයකුත් නෙමෙයි. නමුත් අපේ රටේ මේ පුටුවෙ වාඩිවෙන්න තරම් මේ මිනිසුන්ගෙ මනස දියුණු නැහැ. මේ පුටුවෙ පිස්සෙක් වාඩිවුණොත් මොකක් වෙයිද කියල මේ ක්‍රමය ආරම්භයෙදීම ප්‍රශ්න කළා. දැං වෙලා තියෙන්නෙ ඒක තමයි. මේ විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගත්ත ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන නවතම පාලන ක්‍රමයක් අපි මේ රටේ ස්ථාපිත කරනවා.
තමන්ගෙ දැනුමෙන්, තමන්ගෙ ධනයෙන් මේ රටට ධනය උත්පාදනය කරන මේ රටේ ව්‍යවසායකයන්ට අපි හරිම ආදරෙයි. අපි ඔවුන්ට ගෞරව කරනවා. හැබැයි මහජන දේපළ එක්රැස් කරලා පොදි බැඳගන ඉන්න අය සමඟ නම් අපේ කැමැත්තක් නැහැ. ඒ අය සමඟ නම් තරහයි. ආණ්ඩුව හදන රටේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට සාමූහික වැඩක් තියෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. ආණ්ඩුවෙන් ආර්ථික ඉලක්ක සැපයිය යුතුයි. ඒ අනුව ආයෝජකයන් කැඳවිය යුතුයි. නමුත් එවැන්නක් අපේ රටේ සිදුවෙන්නෙ නැහැ. උත්සාහවන්ත, බලාපොරොත්තු සහිත, දියුණුවන ව්‍යවසායකයන් අපේ ආර්ථිකයේ ප්‍රධාන එන්ජිම බවට පරිවර්තනය කරනවා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදේශ වෙළෙඳපොළ සොයාදීමට අපේ තානාපති සේවය මුළුමනින්ම යොදවා ගන්නවා.
මෙතෙක් මේ රටේ ගොඩනැඟුණු සෑම අමාත්‍යාංශයකටම වඩා අවංක, අදූෂිත, කැපකිරීම් කරන, එම ක්ෂේත්රය පිළිබද දැනුම අපේ ආණ්ඩුවක් යටතේ පත්කර ගන්නවා.
ඇමැතිවරු 25ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පමණයි අනිවාර්යයෙන් අපි තෝරා ගන්නේ.
සීතල යුද්ධයක් තිබෙන කාලයකත් කඳවුරු දෙකක කණ්ඩායම් ගෙනැල්ලා නොබැඳි ජාතීන්ගේ සමුළුව තියන්න පුළුවන් විදිහේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තිබුණා. ඇයට මා ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉන්පසු අපට විදේශ ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. අද ලෝකයේ බල කඳවුරු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ කිසිවෙක්ගේ කරට අත නොදා ගන්නා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අප ක්‍රියාත්මක කරනවා.
පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමාට රාජාසන කතාවේදී කියන්න තිබුණෙ “මා කෘෂිකර්මාන්තය පිළිබඳ යහපත් සංකල්පයක් ගෙනාවා, ආපසු හැරී බලද්දි ඒ සංකල්පය වැරැදී ඇති බව පෙණුනා. ඒ නිසා නිහතමානීව වැරැද්ද පිළිගෙන ඒක නිවැරදි කරන්න සූදානම් කියලයි. මම බලා හිටියා ජනාධිපතිවරයා එහෙමවත් කියාවි කියලා. සැබෑ නායකයො එහෙමයි. නමුත් මෙයා කියන්නෙ මේක මම අත් අරින්නෙ නැහැ. මරාගන මැරෙන්න හදනවා. අපි සියල්ල දත් අය නෙමෙයි. නමුත් දැනුම් සම්භාර සමාජයේ තියෙනවා. ඒ පිළිබඳ දැනුමක්, අධ්‍යයනයක් කළ පරිචයක් තියෙන විශාල සමාජ කණ්ඩායමක් සිටිනවා. ඒ අයව පිටමං කර තිබෙනවා. ඒ නිසා දඩබ්බර හිතුවක්කාරි, ආඩම්බරකාර, ඔළුව උදුම්මා ගත් උද්දච්ච පාලනයක් වෙනුවට මිනිසුන්ට සැබැවින්ම ඇහුම්කන් දෙන පාලනයක්, පාලකයකු අවශ්‍යයි. මේක පවුලක එක පුද්ගලයෙක්ට අයත් දේපළක්, පරවේනි බූදලයක් නෙමෙයි. මේක අපි සියලු දෙනා උපන් මාතෘ භූමිය බව අමතක නොකළ යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ වෙලාවෙ ආණ්ඩුවෙ තියෙන අර්බුදය පාවිච්චි කරලා එතැනින් කොටසක් කඩාගෙන ඇමැති තනතුරු පොරොන්දු වෙලා, විවිධ වරදාන, වරප්‍රසාද දෙන්න පොරොන්දු වෙලා, සංස්ථා සභාපතිකම් ලැයිස්තුවක් පෙන්නලා ආණ්ඩුවක් අටව ගන්න සජිත් ප්‍රේමදාසයේ කට්ටිය මාන බලමින් සිටිනවා. ඒක හරි පහසු වැඩක්. ඒකට වුවමනා සල්ලි සහ පොරොන්දු විතරයි. නමුත් එවැනි වර්ගයේ ඔළුගෙඩි මාරු කරල අටවා ගන්න ආණ්ඩුවලින් මේ රටේ ප්‍රශ්නවලට උත්තර නැහැ කියන එක දැන් ඕනෑවටත් වඩා ඔප්පු වෙලා තියෙනවා.
මේ රටේ ආණ්ඩු බලයක් ගන්නත් ඒ හරහා මේ රට ගොඩනඟන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. දේශපාලන පක්ෂ, දේශපාලන ව්‍යාපාරවලින් ඔබ්බට ගිය දැවැන්ත මහජන ව්‍යාපාරයක් අවශ්‍යව තියෙනවා. නිදහසින් පසු ගතවූ අවුරුදු 74ක කාලය තුළ එවැනි රට ගොඩනැඟිය හැකි මහජන ව්‍යාපාරයක් බිහිවෙලා නැහැ. ජවිපෙ මුල්වෙලා ජාතික ජන බලවේගය නමින් ගොඩනඟමින් තිබෙන්නේ ඒ මහජන ව්‍යාපාරයයි.
හිටපු අමාත්‍යාංශ ලේකම්, ග්රන්ථ කර්තෘ, නීතිඥ – ඒ. පී.ඒ. ගුණසේකර

“රට බිඳවැටෙන විට රාජ්‍ය සේවයේ බිඳ වැටීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ රටේ රාජ්‍ය සේවය මේ වැටිලා තියෙන නරාවළෙන් ගොඩගැනීමට ජාතික ජන බලවේගයට ඉහළම වගකීමක් පැවරෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් උරදී තිබෙන්නෙ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් සෑම පක්ෂයක්ම, සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය සේවය පරිහානියට පත්වන ආකාරයට කටයුතු සිදුකර තිබෙනවා.
අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් නිධි තියෙනවා. ස්ථීර දර්ශනයක් තියෙන පාලකයො හිටියා නම්, කොන්ද කෙළින් තියාගන වැඩ කරන්න නිලධාරීන්ට ඉඩක් තිබුණා නම් අද අපට පිටරටින් ගෑස් නැවක් එනතුරු පෝලිමේ බලා ඉන්න වෙන්නෙ නැහැ. අපි මේ ප්‍රපාතයට වැටිල තියෙන්නෙ නිදහසින් පසු මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ අමන මරි මෝඩකම් නිසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ ජේයෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු

“මේ පවතින පාලන ක්‍රමය තුළ අපේ මානව උදාරත්වය පවා නැතිවෙමින් යනවා. මේ රටේ සියල්ලන්ට සම අධ්‍යාපනයක් පිළිබඳ සිහිනය හැමදාමක් සිහිනයක් වෙමින් තිබෙනවා. මේ රටේ අසමාන අධ්‍යාපන පහසුකම් හේතුවෙන් අපේ රටේ නැති බැරි අසරණ මිනිසුන් විශාල පිරිසක් අසරණභාවයට ලක්වෙනවා. මේ තත්ත්වය නැති කිරීමට කැපවුණු රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් අපට අවශ්‍ය වෙනවා.
මේ කාරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බලවේගයක් බවට පත්කළ යුතුයි. මේක සාමූහික ප්රයත්නයක්. ආඩම්බරයෙන් වැජඹෙන නායකයො, එහෙම නැති නම් ඔටුනු පලඳවන රජවරු, අප අතර නැහැ. අප අතර ඉන්නෙ සේවක නායකත්වයකින් යුතුව කිසිම පෞද්ගලික දෙයක් බලාපොරොත්තු නැති දේශපාලනය කරන්නට කැමැති පිරිසක්. එවැනි බලවේගයක් ඔබ ජයග්‍රහණය කළහොත් මේ රටේ මේ දූෂිත දේශපාලනය නැති කළ හැකි වෙනවා.”
එංගලන්තයේ නොටිංහැන් විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ව්‍යවසායිකා වජිරා ප්‍රියදර්ශනි පීරිස් මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.
ප්‍රදේශයේ ආගමික නායකයන්, විවිධ වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රවීණ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මතුගම _ වසන්ත කුමාර (මව්බිම)