ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් කියලා ඔප්පු වෙලා ඉවරයි. තවත් තක්කඩිකම් නොකර පුටු දාලා යන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෝඨාභයට හා රනිල්ට බලකර සිටියි. “මේ පාර්ලිමේන්තු සංයුතිය එලෙසම තිබියදී මොනම පරිවර්තනයක්වත් කරන්න බැහැ” යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.
හෙතෙම මේ අදහස් පළකළේ ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි ලේඛම්වරයා මෙසේද කීය.
“මාස කිහිපයක් තිස්සේ රට පුරා ගෙන ගිය අරගලයේ ජනතා හඬ ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගත්තේ නැහැ. ඔහුගේ හමුදා බලයට වඩා ජනතා බලය ඉතාමත් ප්‍රබලයි, වැදගත් කියලා ඔප්පුවී තිබෙනවා. බලහත්කාරයෙන් බලයේ ඉන්න උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂට බලය අත්හැර යන්න සිද්ධ වුණා. ගෞරවාන්විත ලෙස නෙවෙයි, පස්ස ෙදාරෙන් පැනලා හැංගිලා යන්න වුණා. ඉන්නේ කොහේද කියලා කවුරුත් දන්නේ නැහැ. කල් ඇතිව ගෞරවාන්විතව ඉවත්වී ගියා නම් සමාජයේ යම් ප්‍රමාණයක නමක් තියාගන්න තිබුණා. මේ සටන පටන් ගන්න කොට මේ පාලකයන් යයිද කියන සැකයක් බොහෝ දෙනාට තිබුණා.
මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න සිද්ධ වුණා. ඇමැතිකම් දාලා යන්න සිද්ධ වුණා. බැසිල් රාජපක්ෂට ඇමැතිකමත් මන්ත්‍රිකමත් දාලා යන්න සිද්ධ වුණා. අවසානයේ ජනාධිපතිට මන්දිරය දාලා යන්න සිද්ධ වුණා. 13 වැනිදා වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වන බව ඔහු දැනුම්දී තිබෙනවා. යුද ජයග්‍රහණ පාවිච්චි කරලා රාජපක්ෂ පවුල ගොඩනඟාගෙන තිබුණු අධිපතිවාදීත්වය මෙයින් නිමා වෙනවා. ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් බව ඔප්පු වී තිබෙනවා.
අපේ රට මුහුණදී තිබෙන බරපතළ සමාජ, ආර්ථික අර්බුදවලින් ගොඩගන්න ගෝඨාභය රාජපක්ෂ ඉවත්වූ පමණින් හැකිවෙන්නේ නැහැ. රට ගොඩගන්න නම්, ජනවරමකින් අලුත් පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. සමහරු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය පාවිච්චි කරලා තමන් අතට බලය ගන්න හීන දකිනවා. අගමැති වෙන්න ජනාධිපති වෙන්න ඇමැති වෙන්න මේ වංචාකාරී පාලනයේම කොටස්කරුවන් උත්සාහ කරමින් ඉන්නවා. මේ සටනේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ සටන් පාඨය තිබුණත් ඒ තුළ වසර 74ක් පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමය, මජර දේශපාලනය තුරන් කිරීමේ පුළුල් පරිවර්තනයක අභිලාෂය තිබෙනවා. ජනතාව හිටියේ ඒ සටනේ. සටන අවසන් ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ මැතිවරණයකින් බලය ගන්නා අලුත් පාලනයකින් බව කවුරුත් දැන් පිළිගන්නවා.
මේ පාර්ලමේන්තුවේ බහුතර බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. රාජපක්ෂවරුන්ගේ කණ්ඩායමට. ඔවුන් ප්‍රගතිශිලි පියවරකට ඉඩනොදී බාධාකිරීම් සිදුවෙනවා. මේ ජයග්රහණයෙන් ලබාගත් ප්‍රතිඵල මේ පාර්ලිමේන්තුව තබාගෙන ජනතාවට භුක්තිවිඳින්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි වෙලා, ජනතාව වෙනුවෙන් කිසිදු තීන්දු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ජනතාව කැමැති පිරිසකට අලුත් ජනවරමක් ලබාගන්න ඕනෑ. මේ පාලකයන් නැවත නැවත ජනතාව මුළාකරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඉතා කෙටි කාලයකට තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා.
පිහිටුවා ගන්නා තාවකාලික ආණ්ඩුව ඉතා ඉක්මනින්ම මැතිවරණයකට යා යුතුයි. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. මේ වෙනුවෙන් දිගු කාලයක් පුරා සටන් කළ සියලුදෙනාට ජාතික ජන බලවේගයේ ස්තුතිය පිරිනමනවා. මේ ලැබුවේ දැවැන්ත පාඩමක්, විශාල ආදර්ශයක් බව අපි ජනතාවට කියනවා. ඉදිරියේදී ඕනෑම දුෂ්ට පාලකයෙක් ප්රජාතන්ත්රවාදී ලෙස පලවා හැරිය හැකි බව අපි ඔප්පු කර තිබෙනවා. රට හදන්න පුළුවන් ජනවරමක් අවශ්‍යයි. ඔවුන්ගේ ධෛර්යය, දැනුම එක්කර ගත්ත ගමනක් අපි යා යුතු වෙනවා. ඒ ගමන වෙනුවෙන් ජනතාව එකතු කර ගනිමින් නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. ජනතාවගේ සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කර ගන්න සටන අත්නොහැර අවදියෙන් ඉමු.
තාවකාලික පාලනයකින් අත්‍යවශ්‍යම තෙල් ටික හෝ ලබාගැනීමට අපේ දායකත්වය මොන වගේද කියලා කල්පනා කරමින් ඉන්නේ. ගොඩනැඟෙන ආණ්ඩුවේ ස්වභාවය දිහා බලලා අපේ කාර්යභාරය මොනවගේද කියලා තීරණය කරනවා.
කිසියම් පිරිසක් රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තබා තිබෙනවා. අපි ඒක සම්පූර්ණයෙන් හෙළාදකිනවා. එයින් සිදුවුණේ සාමකාමී ලෙස ලබාගත් දැවැන්ත ජනතා ජයග්‍රහණය හෑල්ලු කිරීමයි. එහි ජීව ගුණය අවලස්සන බවට පත්කිරීමයි. අරගල කළ ජනතාව ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට ඇතුළු වුණා. කිසිම හානියක් කළේ නැහැ. එසේ තිබියදී සිදුකළ ගිනිතැබීම සමස්ත අරගලයේම අරමුණුවලට විරුද්ධව සිදුකළ එකක්.
එය අපි කවුරුත් රටක් හැටියට හෙළාදකින්න ඕනෑ. අරගලයක හොඳම ජයග්‍රහණ ගන්න නම් විනයක් තිබෙන්න ඕනෑ. කිසියම් හෝ කුඩා පිරිසක් එය සංයමයට, විනයට පරිබාහිරව ක්‍රියා කළාම සමස්ත අරගලයටම හානි සිදුවෙනවා. මීට සම්බන්ධ අය සොයලා දඬුවම් කළ යුතු බව අපි අවධාරණය කරනවා. මෙවැනි දේවල් නැවත සිදුවීම වැළැක්වීමට සමස්ත ජනතාවත්, අරගලයේ නියුතු කණ්ඩායම් විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. පිටින් ආ කණ්ඩායම්වල කුමන්ත්රණකාරී කණ්ඩායම් හෝ ඒ මොහොතේ හැඟීම් බරවූ කණ්ඩායම් සිදුකරන මෙවැනි දේ සෑම විටම අරගලයට හානි සිදුකරනවා.
– අනුරාධා හේරත් (මව්බිම)