ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ මූලික ගැටළු විසඳීමේ උත්සාහයක් දිගින් දිගමට ගෙන ගියද, එය අසාර්ථකවීම හමුවේ දැන් අන්තර්කාලීන ජනාධිපති ලෙස කවුරුන් බලයට පත් වූවද නිශ්චිත කාලයකට පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.
අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායකයින් මේ බව අවධාරණය කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, එහි ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ එහි ජාතික විධායක සභික මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.
එහිදී එම නායකයින් පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පාලනය අවසන් කිරීමත් සඳහා විශාල උද්යෝගිමත් ජනතා නැගිටීමක් සිදුවුණා. සංකේතාත්මකව තිබුණේ රාජපක්ෂ පාලනයට එරෙහි වීමක් වුණත් එහි හරය වූයේ ආර්ථික, දේශපාලනික, සමාජීය පරිවර්තනයක වුවමනාවයි. මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාව ඉටුකර ගැනීම වෙනුවෙන් ජනාධිපති ධුරය හිස්වූ දින සිටම අප ක්‍රියා කළා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරි දේශපාලන බල ව්‍යාපෘතියක නොමැති දෙදෙනෙක් විය යුතු බවත්, සර්වපාක්ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත්, අවධාරණය කළා. ඉන්පසු කෙටි කාලයකදී මැතිවරණයක් පවත්වා ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන රට ගොඩනැගිය යුතු බවට වූ ස්ථාවරයේ අප ඉන්නවා. අනාගත බල ව්‍යාපෘතියක් නොමැති දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති ලෙස පත්කර ගත යුතු බව අවධාරණය කළේ ඒ නිසයි. සංකල්පයක් ලෙස අපේ ඒ යෝජනාව බොහෝ අය පිළිගත්තත් අවසානයේදී බලකඳවුරු නියෝජනය කරන පිල් නිර්මාණය වුණා. එම නිවැරදි ක්‍රියාමාර්ගය මේ වන විට ඉවත දමා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගන්න නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරන එය නියෝජනය කරන රනිල් වික්රමසිංහත්, එම කඳවුරෙන් ගැලවුණු පිරිස තමන් වටා ගොනුකර ගත් ඩලස් අලහප්පෙරුමත් නාම යෝජනා දී තිබෙනා. අප සද්භාවයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ පාර්ලිමේන්තුව තුළ යථාර්ථයක් කර ගන්න හැකි වුණේ නැහැ. දැන් පවතින තත්වය තුළ ජනාධිපති වශයෙන් පත්වන කවුරුන් හෝ අපේ රටේ ජනතාව මුහුණ දී සිටින ඉතාම අසීරු අවස්ථාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපගේ යෝජනාව නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති ධුර නොමැතිව ඇමතිවරු දස දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමයි. සීමිත කාර්යයන් වෙනුවෙන් ගොඩනැගෙන අන්තර්කාලීන ආණ්ඩුවකට එම ඇමතිවරුන් ප්‍රමාණවත්. පාර්ලිමේන්තුවට තව අවුරුදු තුනක නිල කාලයක් තිබුණත්, එම මුළු කාලය පුරාම එය ඉදිරියට තල්ලුකරගෙන යන්න කිසිවෙකුට හෝ අයිතියක් නැහැ. ඒ නිසා ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය නිශ්චිතව රටට ප්‍රකාශ කරන අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන බව තවමත් රටට ප්‍රකාශ කර නැහැ. ඔවුන් එම ප්‍රකාශය කළොත් අවුරුදු තුනම පාර්ලිමේන්තුවේ සිටීමේ අපේක්ෂාවෙන් ඉන්න මන්ත්‍රීවරුන් කිසිවෙකු ඡන්දය දෙන්නේ නැහැ. නමුත් මම අවධාරණය කරන්නේ කෙටි කාලීන, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. මහජන මතය සහ පාර්ලිමේන්තුවේ නියෝජනය අතර, විශාල පරතරයක් තිබෙනවා.
අන්තර්කාලීන ආණ්ඩු කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරුන් හෝ සංස්ථා මණ්ඩල සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සඳහා නියමිත මූලික වැටුප හැර කිසිදු වරදානයක්, වරප්‍රසාදයක් ලබානොදිය යුතුයි. මේ ප්‍රතිපත්තිය වෙනුවට රනිල් වික්‍රමසිංහ සමහර මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්නත් සූදානම් වී සිටිනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවලින් පමණක් සමන්විත නොවී මහජන අරගලය පටන් ගත් වෘත්තීය සමිති ව්‍යාපාරය, පොදුජනයා සහ අවසානයේ ගෝල්ෆේස් පිටියේ සංකේත්මකව කේන්ද්‍ර කරගත් අරගලකරුවන්ට අධීක්ෂණ යාන්ත්රණයකට මැදිහත් වීමේ අවස්ථාව ලබාදිය යුතුයි. කවර ජනාධිපතිවරයෙක් පත්කර ගත්තත් එය අවශ්‍යයි. ඒ වගේම ගොඩනැගෙන ආණ්ඩුවෙන් ඉතා කෙටි කාලයක් තුළ තෙල්, ගෑස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම රැකියා අහිමිවීමෙන් සහ විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ යාමෙන් තමන්ගේ ආහාර වේල සපුරාගත නොහැකිව සිටින ජන ප්‍රජාවට තම ජීවිත පවත්වාගෙන යාම සඳහා සාධාරණ දීමනාවක් ලබාදිය යුතුයි.
බිඳවැටී තිබෙන කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය, පාසල්, රජයේ කාර්යාල, පොදු ප්‍රවාහනය යළි යථාවත් කළ යුතුයි. ජනතාවගේ අරගලය තුළ මේ වුවමනාවන් ගැබ්වී තිබුණා. බලයට පත්වුණු පාලකයන් මේ උවමනාවන් ඉටුකළ යුතුයි. නමුත් දැන් පොහොට්ටුවේ සභාපතිවරයා ස්ථිර කළ රනිල් වික්‍රමසිංහ හෝ ස.ජ.බේ. නායකයා විසින් යෝජනා කළ පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම හෝ මේ අපේක්ෂා ඉටුකරාවි යැයි කිසිදු විශ්වාසයක් නැහැ. අන්තිමට පොහොට්ටුවෙන් යූ.එන්.පී. නායකයා ඉදිරිපත් කර, ස.ජ.බෙ.න් පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඉදිරිපත් කළ විකෘතිභාවයක් තියෙනවා. ඔවුන් ජනතාවගේ ජීවිත යළි යථාවත් කරන්නේ නැහැ. කෙටි කාලීන ආණ්ඩුව තුළ ප්‍රජාතන්තවාදය ශක්තිමත් කරන, මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම ඇතුළු මූලික සංශෝධනයන් මාසය හයක් තුළ සම්මත කළ යුතුයි. ගෝල්ෆේස් පිටියේ සහ රට පුරාමත් හඬ නැඟුණු වංචාව, දූෂණය සිදුකළ සියලු දෙනාට විරුද්ධව සාධාරණ නඩු විභායක් පවත්වා ඔවුන් අත්පත් කරගත් ධනය යළි රටට ලබාගත යුතුයි. මේ සම්බන්ධයෙන් කිසිවක් රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම රටට ප්‍රකාශ කර නැහැ. වංචනිකයන්ට දඬුවම් දෙන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළොත් ප්‍රසන්න රණතුංග වැනි අයගේ ඡන්දය ලැබෙන්නේ නැහැ. ඩලස් අලහප්පෙරුම ඒ බව කීවොත් සජිත්ගේ ඡන්දය ලැබෙන්නේත් නැහැ.
වංචාවෙන් දූෂණයෙන් කොල්ලකා ගත් මහජන ධනය යළි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් ඉක්මනින්ම පටන්ගෙන අවසන් කළ යුතුයි. දැනටමත් ඒ වෙනුවෙන් කරගෙන යන පරීක්ෂණ සහ නඩු විභාග වේගවත් කර, මේ වන විටත් ආන්දෝලනයට තුඩු දී තිබෙන ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් නැවතත් නඩු පැවරිය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිසම සමහර නඩු ඉල්ලා අස්කරගෙන තිබෙන්නේ අත්සනක් සම්බන්ධ තාක්ෂණික කරුණු වැනි හේතු නිසයි. දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් යටගසා තිබෙන පරීක්ෂණ වේගවත් කළ යුතුයි. එයාර් ලංකා ගනුදෙනුව, මහ බැංකුවේ මුදල් එක්සත් ජනපදයේ නියෝජිතයන්ට ලබාදීම, තානාපති කාර්යාල මිලදී ගැනීම්වලදි අල්ලස් ගැනීම, වැනි කරුණු විවිධ අධිකරණවලදී එළියට ඇවිත් තිබෙනවා. පැන්ඩෝරා පත්‍රිකා මගින් එළියට ඇවිත් තිබෙනවා. ජාත්‍යන්තරය හමුවේ පවා තහවුරු වී තිබෙන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මේ රට තුළ ක්‍රියාකිරීමට අපි බලකළ යුතුයි. අල්ලස, දූෂණය අවම කිරීම සඳහා නව නීති හඳුන්වා දීමටත්, පවතින නීති ශක්තිමටත් අප ක්‍රියා කරනවා. අපේ රටෙන් පැහැගෙන ගොස් ජාත්‍යන්තරව සඟවා තිබෙන මුදල් යළි අත්පත් කර ගැනීමට ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්නවා. මෙම කරුණු ඉටුකර ගැනීමට අපේ රටේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් සහිත පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත යුතුයි. ඉතා ඉක්මනින්ම ඒ වෙනුවෙන් ඉඩක් ලබාගැනීමට ජනතාවට ඒ සඳහා ශුද්ධ වූ අයිතියක් තිබෙනවා.
මෙම මූලික අරමුණු ඉටුකර ගැනීමේ මාස හයක උපරිමයකට යටත් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම අපේ යෝජනාවයි. හෙට ඡන්දය විමසිමට පෙර මේ පොරොන්දු ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහටත්, ඩලස් අලහප්පෙරුමටත් අභියෝග කරනවා. මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේ ධුර කාලය හෝ අන්තර්කාලීන පාලනයක් ගැන කිසිවක් කියන්නේ නැහැ. එයින් පැහැදිලි වෙන්නේ තමන්ගේ බලය වෙනුවෙන් ජනතාවගේ සැබෑ අභිලාෂයන් යටකරන කණ්ඩායමක් බව. ඒ නිසා ජනතාවගේ සැබෑ අභිලාෂයන් නියෝජනය කරමින් අපි ජනාධිපතිවරණයට තරග වදිනවා. අපි කුඩා කණ්ඩායමක් වුණත් මේ මොහොතේ ජනතාවගෙන් බුර බුරා නැගෙන වේදනාවන් සහ අභිලාෂයන් අපි නියෝජනය කරනවා. අපි නැවත නැවතත් ජනතාවගේ මේ අභිලාෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අරගල කරමින් ඉදිරියට යනවා.
ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ මන්ත්‍රීවරුන් හඳුනා ගත හැකි වේවි

රටත් රටේ ජනතාවත් අද ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ තීරණාත්මක අවස්ථාවක. ජාතික ජන බලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවට නාම යෝජනා බාර දුන්නා. රටේ දැවෙන ප්‍රශ්න තිබෙන මොහොතක ඒ ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳා ගැනීම අපි කාගේත් අභිලාෂයයි. පෝලිම්වල මරාගන්නේ නැතිව, මිය යන්නේ නැතිව අපි කවුරුත් දැවෙන ප්‍රශ්න ටික ඉක්මනින් විසඳාගෙන, සාධාරණ දරාගත හැකි මිලකට භාණ්ඩ හා සේවා ලබාගැනීමේ හැකියාව තිබීම අවශ්‍යයි. එහෙම නොවුණොත් අපේ ජීවිත ඉතාමත් ඉක්මනින් කඩා වැටී යනවා. අපි අපේ වෘත්තීය ජීවිතය අත්හැර ජාතික ජන බලවේගයේ දේශපාලනය තෝරා ගත්තේ ජනතාවගේ මූලික අරමුණු කිහිපයක් ඉටුකිරීමටයි. අවුරුදු 74ක් ක්‍රියාත්මක වූ දේශපාලන සංස්කෘතිය, ආදායම් බෙදීමේ විශාල විෂමතාවයක් තිබීම, වංචා-දූෂණ සිදුකළ දූෂිතයින්ට දඬුවම් කිරීම සහ නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන බව ප්‍රායෝගිකව අත්විඳීම වැනි මූලික අරමුණු අපි සියලු දෙනාට තිබෙනවා. රැකියා අවස්ථා, සෞඛ්‍ය පහසුකම්, හොඳ ජීවන තත්වයක් සහ ඉහළ සංස්කෘතික ජීවිතයක් සියලුම ජනතාවට ලබාදීම වෙනුවෙන් අපි ජාතික ජන බලවේගයේ දේශපාලනය නොකඩවා කරගෙන යනවා.
අපේ පැත්තෙන් ජනාධිපති තෝරා ගැනීමේ පාර්ලිමේන්තු නිලවරණයට අනුර සහෝදරයා ඉදිරිපත් කරන්නේ මේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන්. අනිකුත් ඉදිරිපත් වී තිබෙන දෙදෙනා පිළිබඳව සලකා බැලීම ඉතාම වැදගත්. ඒ දෙපිළටම අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන්නේ මෙතෙක් එකම පිළේ සිටි එකම කණ්ඩායමක්. පසුගිය අවුරුදු 74ක් එකට කා බී සිටි, රට විනාශය කරා කැඳවාගෙන ආ පිරිස දෙපිළකින් ඉදිරිපත් වී සිටිනවා. මේ අතර පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරුන් සිටින බවත් ඒ අයගේ උදවු අපට ලබාගත හැකි බවත් බොහෝ අය ප්‍රකාශ කළා. හෙට ජනාධිපතිවරණ ඡන්දයේදී ඒ හොඳ අයගේ හැසිරීම ජනතාවට බලා ගන්න පුළුවන්. මහජනතාව උද්ඝෝෂණ පවත්වා ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් පසුව පාර්ලිමේනතුව විසින් තෝරා ගන්න ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් පත්කර ගන්නේ දැයි ජනතාව බලාගෙන සිටිනවා. සාධාරණ, යුක්තිගරුක සමාජයක් බිහිකර අනාගතයේ කිසියම් දවසක සියලු දෙනාට යුක්තිය, සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ පෙනී සිටීම වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ තරගයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ කියන කණ්ඩායම ක්‍රියාකරන ආකාරය මේ රටේ ජනතාව හොඳින් විමර්ශනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
රනිල් වික්‍රමසිංහගේ හුණුවටයේ කතාව හෙට පාර්ලිමේන්තුවේදී දැක ගත හැකි වේවි

රනිල් වික්‍රමසිංහ කියූ විදිහටම ඔහුගේ හුණුවටයේ කතාව වේදිකා ගත වෙන හැටි හෙට පාර්ලිමේ්තුවේදී අපට දැක බලාගත හැකි වේවි. අනුර කුමාර සහෝදරයා එක පැත්තක ඉන්න අතර, අනික් දෙදෙනාම අනික් පැත්තේ සිටින බව අපට පැහැදිලියි. ඒ නිසා මෙය තුන්කොන් සටනක් නොවෙයි. දෙපැත්තක සටනක්. හෙට පරීක්ෂාවට ලක් කෙරෙන්නේ වර්ග දෙකක්. සත්‍යය සහ අසත්‍යය, දූෂිත බව සහ අදූෂිත බව, මහජන කැමැත්ත පිළිගැනීම සහ එය පාවාදීම යන ආකාර හෙට දැකගත හැකිවේවි. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා දිනවන්න අසමත් වන පාර්ලිමේන්තුව ඉන් ඉදිරියට ලෝකයේ අසරණම ජනතාව, අනාථභාවයට පත් ජනතාව වෙනවා. ජනතාව අසරණ වී තිබෙන්නේ ඔවුන් විසින්ම තෝරා පත්කර ගත් මහජන නියෝජිතයන් නිසයි. සර්වජන ඡන්ද බලයේ විකෘතිම පාර්ලිමේන්තුව විය හැකි තත්වයක් දැන් තිබෙන්නේ. ඒ වගේම ලෝකයේ නින්දිතම පාර්ලිමේන්තුව වීමෙන් බේරාගත හැකි වන්නේත් හෙටයි. මේ දර්ශක ගැන මා මේ තරම් ඉහළින් තබා කතා කරන්නේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ප්‍රකාශ කෙරී තිබෙන තැන හැටියට ජාතික ජන බලවේගය විශ්වාස කරන නිසයි.
අපේ රටේ ජනතාවගේ සත්‍ය ජීවිතය දශක ගණනක් තිස්සේ අහිමිකර ඇති බව ශාස්ත්‍රවන්තයන්, කලාකරුවන්, වෘත්තිකයන් හැටියට වගේම තනතුරු කිසිවක් නොසලකා පුරවැසියන් හැටියටත් අප පෙන්වා දී තිබෙනවා. මේ බව පිළිගත් සෑම කෙනෙක්ම අරගල භූමියට රැස්වුණා. අප ජීවත් වන්නේ ආත්මාර්ථය රජය සමාජයක. එකිනෙකා මිනිසුන් හැටියට පිළිගැනීම පවා තමා කරපු වෙළඳපොළ තර්ජනය ඉහළින්ම තිබෙන සමාජයක අප ජීවත් වන්නේ. මෙවැනි සමාජයක ගොඩනැඟුණු උණුසුම් මහජන අරගලයට පිටුපාන පාර්ලිමේන්තුව මෙරට ඉතිහාසයේ බිහිසුණු ඛේදවාචකයන් ඇති කිරීම වළක්වන්න බැහැ. මේක විකෘත්තියක්. වම-දකුණ කළවම් වී ජනතාව වෙනුවෙන් නොවන ගජ මිතුරන්, හොරුන් රකින විකෘත්තියක්. අපරාධකරුවන්ට දඬුවම් දීම වැළැක්වීමේ විකෘත්තියක්. මේ අය වසර පහෙන් පහට හෝ හයෙන් හයට වම, දකුණ කියන කොතැනක වාඩිවුණත් ඔවුන් එකම දුෂ්ට චරිතයන් බව අපට පැහැදිලියි. එකම තැනකින් ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලියි. එසේ නොවෙන ජනතාවට සත්‍ය වශයෙන් ආදරය කරන අපේ දේශපාලන ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හෙට තෝරා නොගත්තත් අපේ රටේ ජනතාව වැරදි නිවැරදි කරගෙන ඊළඟ මහා මැතිවරණයේදී මේ ව්‍යාපාරය ඉහළින්ම ඔසවා තබනවා. මෙතරම් ගැඹුරු මොහොතක පවා අප විශ්වාස කරන්නේ ජනතාව විතරමයි. ඒ බව ඍජුවම පුරවැසියන්ට කියා තබන්න ඕනෑ.
හෙට අනුර දිසානායක සහෝදරයාට අභිමුඛ වන්නේ පොහොට්ටුවේ සභාපතිගේ පිළ සහ ලේකම්ගේ පිළයි. මහාචාර්ය ජී.එල්. පීරිස් සහ සාගර කාරියවසම් පොහොට්ටුවේ සභාපති සහ ලේකම් ලෙස මත දෙකක් දරමින් කොතරම් සරල විකෘතියක සිටින්නේ දැයි පැහැදිලිය. පාර්ලිමේන්තුවේදී සත්‍යය සහ මහජන අරගලයේ ප්‍රාර්ථනය පරාජය කළ හොත් මහජන නියෝජිතයන්ට රටෙත් වාසය කිරීම ලේසි වෙන්නේ නැහැ. පුරවැසි අයිතිවාසිකම් ගැන එතරම්ම සවිඥානක ජනතාවක් අනුර දිසානායක සහෝදරයා තනියම උච්චාරණය කළ සටන් පාඨ උච්චාරණය කරමින් ඉන්නවා. රටේ ලක්ෂ ගණනින් ජනතාවගේ මතය මොනතරම් බලවත් ද කියලා සභා ගර්භයට තේරෙන්න ඕනෑ. මහජන නියෝජිතයන් ඒ හැටියෙන්ම වටහා ගන්නට තිබෙන්නේ හෙට දවසේදියි. එසේ නොවුණ හොත් ඔවුන් මනුෂ්‍යයන් හැටියටත් අවසන් වන බව තේරුම් ගත යුතුයි. තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සටන් කර කර මළ මිනී හැටියට ජීවත් වෙන්න සිදුවන බව මේ මොහොතේ අපි අවධාරණය කර කියනවා. අපේ ජීවිතවල අවම කොන්දේසිවත් ලබානොදී ඉන්න මේ මහජන නියෝජිතයන්ට අයිතියක් නැහැ. ඔවුන් ලෝකයේ අවලස්සනම ගනුදෙනුවලට සම්බන්ධ පිරිසගේ මුදල් එක්ක දුරකථන සංවාදවල යෙදෙනවා ඇති. මේ ඛේදනීය මොහොතේ පවා ඔවුන් භාවිතා කරන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල්. දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන් මෙය විසඳා ගත යුතු නිසා අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මහජන නියෝජිතයන් මනුෂ්‍යත්වයේ කොන්දේසි සහිතව හෘදය සාක්ෂියක් ඇතිව කටයුතු කරන ලෙසයි. එසේ නොවුන හොත් අපි දැඩි විශ්වාසයෙන් ආදරණීය ජනතාව සමග දස දහස් ගුණයකින් ශක්තිමත්ව පොදු අරමුණු මහ පොළොවේ පැළ කරන බවට ස්ථිරවම ප්‍රකාශ කරනවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු:-
ප්රශ්නය:- නිර්පාක්ෂික අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් ඉල්ලා අස්වෙන බව ඔබ ප්‍රකාශ කර තිබුණා. දැන් තත්වය මොකක්ද?
පිළිතුරු:- දැන් ඒකට කිසි අවස්ථාවක් නැහැ. අපේක්ෂකයන් පැහැදිලියි. හිනිඳුම සුනිල් සෙනවි සහෝදරයා කීවා වගේම ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන්නේ පොහොට්ටුවේ සභාපතිගේ පිළ. රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ පොහොට්ටුවේ ලේකම්ගේ පිළ. එකම පක්ෂයේ සභාපති සහ ලේකම් අතර තරගයකට අපි ඉල්ලා අස්වන්නේ මොකටද?
ප්රශ්නය:- ජාත්‍යන්තර සහාය තිබෙන පුද්ගලයෙක් පත්වෙන්න ඕනෑ කියන තර්කය මතුකර තිබෙනවා නේද?
පිළිතුරු:- ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ කාටද? සුද්දෙක් හඳුනා ගත්තොත් සහාය ලැබෙන බව බොහෝ අය සිතනවා. නමුත් රටකට උදවු කරන්නේ යාළු මිත්‍රකම් මත නොවෙයි. ප්‍රධාන තානාපති කාර්යාලයක් සමග සිදුකළ සාකච්ඡාවකදී අපේ රටට ණය ආධාර දෙන්නේ දැයි මා ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන්ගේ උත්තරය වුණේ “අපි ණය දෙන්නේ අපේ රටේ ජනතාවගේ සල්ලි. ඒ සල්ලි ආපසු ලැබෙනවා කියලා අපිට ගැරන්ටියක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ රටේ ජනතාව අපේ ආණ්ඩුව වට්ටයි.” කියලා අවධාරණය කළා. මෙයින් කියන්නේ නැවත ණය අයකර ගැනීම සම්බන්ධ තහවුරුවකින් පමණක් ණය ලබාදෙන බවයි. බන්දුල ගුණවර්ධනගේ කටේ තිබුණු වචන “මහ දවල්, මහ බැංකු, මහා මංකොල්ලය” කියලයි. එතකොට ණය දෙනවාද? ජාත්‍යන්තර සබඳතා කියන්නේ රාජ්‍යයන්, රාජ්‍යයන් අතර, සිදුකරන ගනුදෙනු. ඒකෙදි ඒ රාජ්‍යය මොනතරම් අවංකද, අදූෂිතද, මොනතරම් විනිවිදභාවයෙන් කටයුතු කරනවාද කියන කරුණු වැදගත් වන්නේ. අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබුණු බව කියන හැමදෙනාම එකතුවී රට මෙතෙන්ට වැට්ටුවා. ඒවා ඩීල්. හම්බන්තොට වරාය හැදුවාට දෙන කොමිස් මුදල රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නොවෙයි. අද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල පදනම අවංකභාවය.
ප්රශ්නය:- ඩලස් අලහප්පෙරුම සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද?
පිළිතුරු:- ඩලස් අලහප්පෙරුම යනු දාහත්වෙනි සංශෝධනයට අත ඉස්සූ, දහ අටට අත ඉස්සූ, දහ නවයට අත ඉස්සූ, විස්සට අත ඉස්සූ කෙනා. මොන ප්‍රතිපත්තියක් ද? මොන හෘද සාක්ෂියක්ද? දාහත, අපේ රටේ ප්රජාතින්ත්රිකකරණය සඳහා ගෙන ආ සංශෝධනයක්. දහ අට මහින්ද රාජපක්ෂට තවත් කාලයක් ඒකාධිපතියෙකු වීම සඳහා අවශ්‍ය සංශෝධනයක්. නැවත දහ නවය විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට දෙන්න ගෙන ආ සංශෝධනයක්. එය අහෝසි කර, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිමේ ඉඩකඩ සහ ඒිකාධිපති බලතල ලබාදුන් සංශෝධනයක්. ඔහුට කිසි ප්‍රත්පත්තියක් නැහැ. එයා ගැන ගොඩක් කියන්න දෙයක් නැහැ.
– ලංකා ටෘත්