Home News Sinhala කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න

කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න

by Ravinath Wijesekara

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ

මේ වන විට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබා ගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විදන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.

පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගානේ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය. ආණ්ඩුව ගෑස්, හාල්, සීනි මුලලාලිලාට මුවාවුණා. මේ නිසා ලංකා ඉතිහාසයේ 84%කින් ගෑස් මිල වැඩි කිරීමට ඒ කොම්පැනිකාරයෝ ක්‍රියාකළා. ගෑස් මිල වැඩි කිරීමෙන් ප්ලේන්ටියේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු අමතර ගාස්තු යනාදී වශයෙන් කොපමණ ගාස්තු එකතු කරනවාද? ඒ අතර ගෑස් මිල වැඩිවීම කිසිසේත් දරාගත නොහැකි මහා පීඩනයක් බවට පත්වී තිබෙනවා.

ගෑස්වලින් උයන බහුතරයක් කාන්තාවන්ට ලිපට දාන්න කියන්නේ මොනවාද? කොන්ක්‍රීට් යුගයකට රට ගෙන ගිය නිසා වනාන්තර නැහැ. අනික් පැත්තෙන් අපේ නිවාස පර්චස් කීපයකට සීමා වෙලා තියෙන්නේ. ඒ වගේම තට්ටු නිවාසවල විශාල ජනතාවක් ඉන්නවා. මේ තට්ටු නිවාසවල දර ලිපක් හදා ගන්න පුලුවන්ද? ගෑස් ලිපට මොනවා දාලාද ගිනි මොළවන්නේ? සෞභාග්‍යයේ දැක්ම දාලාද? එහෙම නැත්නම් ළඟදී හෙළිවුණු පැන්ඩෝරා පේපර්ස් දාලාද? සීයයට 84කින් ගෑස් මිල වැඩි වුණාට පස්සේ ගෑස් සිලින්ඩරයක් ගන්නේ කොහොමද? මේ වන විට කාන්තාවෝ භූමිතෙල් ලිප් හොයා ගෙන යන අලුත් පෝලිමක් හැදිලා. ඉතාමත්ම අවම භූමිතෙල් ලිප තිබුණේ රුපියල් 500ට. හවස මිලදී ගන්න යද්දී රුපියල් 950 දක්වා වැඩි කරලා. උදේ මිල අහලා සල්ලි හොයා ගෙන සවස යද්දී මේ ආකාරයට මිල වැඩි කරනවා නම් මොකද කරන්නේ? රුපියල් 1500ට තිබුණු භූමිතෙල් ලිප රුපියල් 4500ක් වෙනවා. ඇමතිවරු අගමැතිවරු මේවා ගැන හොයන්න නැහැ. හිතෙන හිතෙන ආකාරයට මිල වැඩි කරනවා. රොකට් වේගයෙන් ආර්ථිකය හදන බව කීවාට මුළු කුස්සියම අඳුරු කළා. දරුවන්ට එක වේලක් හරි උයලා දෙන්න කාන්තාවෝ දැන් මොකද කරන්නේ?

හැබැයි, ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය සම්බන්ධයෙන් හරි අපූරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේදී 5.7%කින් අඩු වෙලා තිබෙනවා.” කියලා ඒ නිවේදනයේ සඳහන් වෙනවා. බඩු මිල අඩුවෙලාද, වැඩිවෙලාද, රුපියල බාල්දු වෙලාද නැද්ද කියලා මේ නිවේදන නිකුත් කරන මහත්වරු ගිහින් බලන්න. අගමැතිවරයා, ඇමතිවරු කඩවලට යන්න. මේ ආණ්ඩුවෙන් රුපියල් 60ට අඩුකළ පරිප්පු දැන් 260 වෙලා නැද්ද? උද්ධමනය වැඩි වෙලා තියෙන හැටි රුපියල් 5000 කොළය රුපියල් 100ක්වත් වටින්නේ නැති තැනට පත්වීමෙන් පැහැදිලි වෙනවා. මාධ්‍ය නිවේදන නිකුත් කරන නිලධාරීන්, භාණ්ඩාගාර ලේකම් නොදන්නවා වුණාට කඩේ මුදලාලිත් අපේ අම්මාත් බඩුමිල වැඩිවීම ගැන දන්නවා. ඒ නිසා මේ වගේ මිනිස්සුන්ව අන්දන එක දැන්වත් නවත්වන්න කියලා අවධාරණය කරනවා.

අපේ රටේ ගොඩ ගැසී තිබෙන විශාල ණය ප්‍රමාණය සංවර්ධනයට යොදාගෙන තිබෙනවාද? ආයෝජනය කර තිබෙනවාද? විශාල ප්‍රමාණයක් හොරකම් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්න ඩොලර් නැති තත්වයට අර්බුදය බරපතළ වී තිබෙනවා. මේ ගැන කාන්තාවෝ දැනුවත් වෙන්න ඕනෑ. ට්‍රිලියන ගණන් ණය අරගෙන රට හදන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා කාන්තාවෝ කල්පනා කරන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්නයක, රට පාලනය කළ දූෂිත නායකයෝ හොරකම් කර තිබෙනවා. ඒ අයට ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ. බඩුමිල අඩු කරන්න බැහැ. රුපියල් බිලියන 35ක හෙළිදරව් නොකළ මුදල් තැන්පත් කර තිබෙන බව පැන්ඩෝරා පත්‍රිකාවලින් කියනවා. මේ එකක් විතරයි. ජනතාව ණය වෙනවා, දුප්පත් වෙනවා. කාන්තාවන්ගේ ආර්ථිකය වැටී දරුවාට කිරි වේලක් දෙන්න විදිහක් නෑ. නමුත් රටේ නායකයින්ගේ ආර්ථිකය පොහොසත් වෙනවා. මේ ප්‍රශ්නය වඩාත් හොඳින් තේරුම් ගන්න ඕනෑ කාන්තාවන්. මේ රටට ඩොලර් ගේන්නේ වාර්ෂිකව 295,000ක් විතර විදේශ ගත වෙන ශ්‍රමිකයන්. මෙයින් 90,000ක් පමණයි පුහුණු ශ්‍රමිකයන්.

ඉතිරි 205,000න් බහුතරයක්ම කාන්තාවන්. ඔවුන් මැද පෙරදිග යන කාන්තාවන්. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 07ක් උපයා දෙනවා. මේ ඩොලර් බිලියන 07 අපේ කාන්තාවන් පිටරට පාරවල් සුද්ධ කරලා එහෙම නැත්නම් ගෘහණියන් හැටියට වැඩ කරලා එවන මුදල්. මේ මුදල්වලින් පාලකයන් හොරකම් කළ නිසා කිරිපිටි වරායෙන් බා ගන්න විදිහක් නැහැ. සීනි නැව බා ගන්න විදිහක් නැහැ. මේ හොරකම් කිරීම නැවැත්තුවේ නැත්නම් රටක් හදන්න විදිහක් නැහැ. අපි කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ඡන්දයෙන් හොරකම් කරන්න නායකයන් පත්කර ගත්තා ඇති කියලා. ඒ නිසා වහාම ඔබ මේ ගැන දැනුවත් වී අනික් අයත් දැනුවත් කරන්න. ඇත්තටම රට සංවර්ධනය කරන මාවතට මුලින්ම හැරෙන්න ඕන කාන්තාවෝ. මේ රටේ කාන්තාවන් තමන්ගේ පවුල් ගොඩ ගන්න, දරුවට කිරි වේලක් දෙන්න, දරුවට හොඳ අනාගතයක් හදන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ. මේ නායකයෝ හදන්නේ 21 වෙනි සියවසේ දියුණු තත්වයකට අපේ කාන්තාවන් ගෙන යන්න නොවෙයි, නැවතත් ලිප්ගල් තුනට කාන්තාවන් කොටු කරන්නයි. කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන්න හදන මේ පාලන ක්‍රමයට එරෙහිව ඔබ නැගී සිටින්න. එහෙම කළොත් විතරයි මේ සමාජය වෙනස් කරන්න හැකි වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබ දේශපාලන නීන්දුවක් ගන්න කියලා අපි ආරාධනා කරනවා.

දැන් ජනතාවට ඉන්න රටකුත් නෑ – කන්න දේකුත් නෑ

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන්න. ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගන්න සිහින දකිමින්. ජනාධිපතිවරණය එනකොට ජනතාව තුළ අසීමිත බයක් නිර්මාණය කරලා “කන්න නැතත් ඉන්න රටක් ඕනෑ” කියන ආදර්ශ පාඨය ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව එහෙම බලයට පත්වී ජාතික සම්පත් විකුණමින්, රට ණය කරමින් බදු වංචා කරමින් අසීමිත ධනයක් කොල්ලකමින් ජනතාවගේ බඩට ගහනවා. දැන් ඉන්න රටකුත් නැහැ – කන්න දේකුත් නැහැ. එක වෙලාවක හාල් මිල ප්‍රකාශ කරන්නේ හාල් මෝල් හිමියෙක්. තව වෙලාවක ගෑස් මිල තීරණය කරන්නේ ඒ ඒ සමාගම්. ඒ වගේම පාන් පිටි, කිරිපිටි මිල වැඩි කරන්නේ ඒ ඒ සමාගම්. සමාගම් හිමියන්, මෝල් හිමියන් හසුරවන ආර්ථිකයක් බවට ලංකාව පත්වී තිබෙනවා. මේ විදිහට ජනතාව හූරගෙන කන්න ඉඩ හරින්නනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. පාරිභෝගික අධිකාරියක් ඕන නෑ. පාරිභෝගික අමාත්‍යංශයක්, ඇමතිවරයෙක් ඕන නෑ. නමුත් ඇමතිවරුන් ජනතාවට කියන්නේ තුන් වේල නැත්නම් වෙල් දෙකක් කාලා ඉන්න සූදානම් වෙන්න කියලා. ලසන්ත අලගියවන්න ඇමතිවරයා, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේ ආකාරයේ ප්‍රකාශ කරනවා.

මේ රට මෙතෙක් පාලනය කළ  හැම පක්ෂයකම පාලකයන් සමාගම්කරුවන්, මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන ජනතාව පැදුරෙනුත් බිමට ඇදලා දැම්මා. වසංගතයක් නිසා ආර්ථික අවපාතයකට රට මුහුණ දෙනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ජනතාවට යම්තාක් සහන ලබා දෙන්නයි. හැබැයි මේ ආණ්ඩුව කරන්නේ ව්‍යාපාරිකයන්ගේ ලාභය පුරවන්න ජනතාවට කියන්නේ ඉවසා දරා ගන්න කියලා. ඒ නිසා මේක කිසිසේත් ම ජනතාවාදී ආණ්ඩුවක් නොවෙයි. රැකියාවල නියුතු කාන්තාවන් ආපසු පොල් කොළ, දර ඇහිඳින්න යන තත්වයකට පත්කරන්න මේ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. පුරවැසියාගේ ජීවන තත්වය ඉදිරියට ගෙන යන්න අසමත් වන ආණ්ඩුවක් පිළිබඳව මේ කාල පරාසයේදී දැක ගන්න පුළුවන්. නාගරික කාන්තාවන් නොයෙක් අමතර ආදායම් ලබාගැනීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. නමුත් ගෑස් මිල වැඩිවීමෙන් ඒ සියල්ලම බිඳ වැටෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග මේ ආණ්ඩුවෙන් කිසිදු වැඩිවීමක් නොවී තිබෙන තත්වයක් තුළ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. වසංගත තත්වයක් තිබෙන බව අපි දන්නවා. නමුත් සාමාන්‍ය දැනුමවත් නැති ඇමති මණ්ඩලයක් පත් කර ගෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් හිතුමතේ කටයුතු කරන බව  අපි දකිනවා. ජනතාවට බඩ ගැන නොසිතා වැඩි කරන්න කියන අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මැති ඇමතිවරුන්ගේ පවුල්වල උදවිය රට ගැන හිතනවාද? නාස්තිකාර වියදම් මේ වන තුරු නවත්වා නැහැ. අසීරු අවස්ථාවක ඉන්න රටක් හැටියට ඔරොත්තු නොදෙන නාස්තිකාර වියදම් දිගටම කරගෙන යනවා.

පෞද්ගලික අංශයට, රාජ්‍ය ආංශයට වැටුප් වැඩිවී නැහැ. නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සඳහා හොඳ වෙළඳපොලක් නිර්මාණය වී නැහැ. මේ අතර රුපියල් මිලියන 71,000ක් සංවර්ධන කටයුතු කියන මුවාවෙන් ප්‍රාදේශීය දේශපාලඥයින්ට ඉදිරි ඡන්දය වෙනුවෙන් වියදම් කරන්න වෙන්කර තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කියලා යොදවන්නේ නොයෙක් ආකාරයෙන් ලබා ගත ණය. ඉදිරියේදී එන ඡන්දය මංකොල්ලකන්න මේ සල්ලි වෙන් කර තිබෙනවා. ප්‍රමුඛතාවයක් නැති ජනතාවට ප්‍රතිලාභ නොවෙන නාස්තිකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ. අධ්‍යාපන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුවට ඡන්දය මංකොල්ලකන්න සල්ලි තියෙනවා. ඉදිරි මැතිවරණයේදී තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. මේ නිසා ජනතාව තවදුරටත් ඉවසා ගෙන සිටිනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. කාබනික පොහොර යැයි කියාගත් රසායනික පොහොර ගෙන්වනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ගෙන්වලා කාබනික පොහොර කියලා නම් කරනවා. මේවා මොන විහිළුද? පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලා නම් කරන කොට හෙට අනිද්දා අපි භාවිතා කරන ලුණු කාබනික ලුණු බවට පත් වෙන්න ඉඩ තියෙනවා. වගාවට අවශ්‍ය වන මූල ද්‍රව්‍ය ලබා දෙන්න ආණ්ඩුවට බෑ. මේ නිසා මායාවෙන් ප්‍රෝඩාවෙන් සහ වංචනිකව ජනතාව රවට්ටන්න විවිධ ක්‍රියාමාර්ග ගෙනෙනවා.

ලංකාවේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ඡන්දදායකයන්ගෙන් 58%ක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට පත් කළේ බහුතර කාන්තාවන්ගේ ඡන්දයෙන්. වසර දෙකක් තුළ මේ ආණ්ඩුව කාන්තාවන්ටත් දරුවන්ටත් අත්කර දී තිබෙන අන්ත දුක්ඛිත තත්වය මත ඔවුන්ව බලයෙන් නෙරපන දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපි අවධාරණය කරනවා. පිටි කිරි, ගෑස්, සහල්, පාන්පිටි, සීනි මිල ඉහළ දැමීම ජනතාව අසීමිතව පීඩනයකට ලක් කිරීමක්. විශේෂයෙන්ම වතුකරයේ ජනතාව ආහාර වේල්වලින් දෙකක්වත් පාන්පිටි නිෂ්පාදනවලින් යැපෙන්නේ. පාන් ගෙඩිය රුපියල් 65යි. බනිස් ගෙඩිය රුපියල් 50යි. ප්ලේන්ටියක් රුපියල් 30යි. ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද? ආහාර වෙනුවෙන් මේ තරම් වියදමක් දරන කොට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, නිවාස වෙනුවෙන්, එදිනෙදා අත්‍යාවශ්‍ය අනිකුත් කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදලක් නැහැ. මේ අතර කොරේ පිටට මරේ කියලා ඉන්ධන මිලත් වැඩි කරන්න කතා වෙනවා. මේ නිසා ජනතාවට එල්ලෙන්න වැල් නැති වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් නාස්තිකාර, අනවශ්‍ය වියදම් විගඩම් නවත්වන්න කියලා. තමන්ගේ බලය පාවිච්චි කිරීම, බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මිනිස්සුන්ව තොරොම්බල් කිරීම නවත්වා ගන්න. මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. ඒ වගේම අපි අපේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙළගැසෙමු කියන ආරාධනය කරනවා. අපිම බලයට පත්කළ පාලකයන්ගෙන් මේ ආකාරයට පීඩා විඳිය යුතු නැහැ. බලයට පත් කළා වගේම කණින් ඇදලා එළියට දැමීමේ හැකියාව තිබෙන්නෙත් ජනතාවට. ඒ වෙනුවෙන්, විශේෂයෙන්ම කාන්තාවන් පෙරට එන්න ඕන කාලයයි මේ කියලා අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

වර්තමාන ආණ්ඩුවත් මීට කලින් බලයේ සිටි ආණ්ඩුත් සියල්ලන්ගේම ක්‍රියාකලාපය නිසා මේ තැනට ඇද වැටී තිබෙනවා. ආපහු වතාවක් මේ දෙගොල්ලොම උත්සාහ කරන්නේ බලය ගන්න. ඒ වෙනුවෙන් රටේ සම්පත් පාවිච්චි කරනවා. අපි ජනතාවට කියන්නේ මේ දෙගොල්ලෝම එකයි. තමන් වෙනුවෙන් බලය පාවිච්චි කරන්න තීන්දු තීරණ ගන්නා පාලකයන් වෙනුවට ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පිරිසක් බලයට පත් කර ගන්න ඕනෑ. ඒ වගේම තනි පුද්ගල වික්‍රමවලින් රටක් හදන්න බැහැ. අපි සාමුහිකව එකතු වී නිවැරදි වැඩපිළිවෙලක් තෝරමු. නිවැරදි ක්‍රියාමාර්ග තෝරමු. එහෙම නැතිව තවත් සූරාකන කණ්ඩායමකට, හොර රැලකට නැවත බලය දීලා අවුරුදු 05ක් වේදනා විඳින්න ඕන නෑ කියලා අපි ජනතාවට කියනවා.

මිනිස්සු බලාපොරොත්තු වුණේ ‘කන්න නැතත් ඉන්න රටක් ඕනෑ’ කියලානේ. හැම තිස්සෙම ජනතාව ඡන්දය පාවිච්චි කළේ අතීතයේ තිබුණු පාලනය හොඳයි කියලා. නමුත් ඉස්සල්ලා පාලනයත් හොඳ නෑ. ඒ පාලනයේ නරක ප්‍රතිවිපාක නිසායි මේ තරම් දරුණු පාලනයක් ගොඩ නැගුණේ. මේ සමස්තය එකට දකින්න ඕනෑ. කලින් තිබුණු හොර මැරකම් අල්ලනවා කියලා බලය අරගෙන ඇල්ලුවෙත් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවේ වංචා දූෂණ හොරකම් මේ වර්ගමේ ඊළඟ ආණ්ඩුවකින් අල්ලන්නෙත් නැහැ. ඒ නිසා අපි කියන්නේ අතීතයට හැරෙන්න එපා. අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න කියලායි අපි කියන්නේ. 

You may also like

Leave a Comment