
පාර්ලිමේන්තුවෙන් අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණත් තව අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්. තමන් ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද කියලා පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් තේරුම් ගන්න හැකි වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට විශාල ජනවරමක් ලබාගන්නත්, මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට 2/3කට ආසන්න බලයක් ලබාගන්නත් ප්‍රධානම හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය. ඔවුන්ගේ මැතිවරණවල ප්‍රධානම සටන් පාඨය වුණේ “මහ දවල් මහබැංකු මහා කොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ” කියලයි. ඔහුට දඬුවම් දෙන්න ජන වරමක් ඉල්ලුවා. ඒ වගේම සමාජය තුළ විශාල කම්පනයක් ඇතිකළ පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේනට වගේම රනිල් වික්‍රමසිංහට පැවරෙන බවත් සිය ගණනක් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගෙනියන බවත් ප්‍රකාශ කිරීමෙන් එම මැතිවරණවලදී විශාල ජයග්‍රහණ ලබාගත්තා.
හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ විකිණූ අවස්ථාවේ ඒ ගේට්ටුව ආසන්නයට ගිහින් කෑගහපු අය කීවේ “රනිල් වික්කමසිංහ” කියලයි. ඒ කියන්නේ විකුණන්නම උපන් කෙනෙක් කියලයි. අපේ රටේ ආර්ථීකය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2015-2019 කාලයේ ඩොලර් බිලියන 12ක් අරගෙන විශාල ණය කන්දක හිර කළා කියලා චෝදනා කළා. මේ ආර්ථිකය විනාශකාරීත්වයට එරෙහිව ගෙනගිය හඬ නිසා විශාල බලයක් එම මැතිවරණ දෙකේදී ලබාගත්තා. රනිල් වික්රමසිංහත් ඔහුගේ පාලනයත්, ඔහුගේ දෘෂ්ටිවාදයත් පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ගෙන් නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටිනවා. මෙවැනි කැත මඩ ගොහොරුවක් බවට පත්වී තිබෙන අප්‍රසන්න දේශපාලනය අපේ රටට අවශ්‍යද? රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔබේ ඡන්දයෙන් තෝරා පත්කර යවන නියෝජිතයා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදෙනවා. මේ කැත මඩ ගොහොරුවක් වී තිබෙන දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ඩලස් අලහප්පෙරුම ඒ වගේ. විශාල ගං වතුරට ගහගෙන යන නයි, මුගටි ගංවතුරෙන් බේරෙන්න එකම ලී කඳකට එකතු වෙනවා වගේයි. මෙවැනි දේශපාලනයක් අපේ රටට අවශ්‍යද?
හැම තීරණාත්මක අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරුදහන් වෙනවා, රෝගී වෙනවා. දුරකතනවලට කතා කරන්නේ නැතිව යනවා. හෝටල්වල පදිංචි කරවනවා. අන්තිමේ මිලදී ගැනීම්වලට ලක් වෙනවා. අපේ රටේ සාමාන්‍ය ගැමියන්ටත් තමන් පිළිබඳව අවංකභාවයක් තිබෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව පෑලියගොඩ මාලු මාර්කට් එකේ එහෙට මෙහෙට කුණු මාලු විකිණෙනවා වගේ මිනිස් කඳන් විකිණෙනවා. මේ රටේ ජනතාව විශාල නැගිටීමක් හරහා පෙන්වා දුන්නේ පවතින අප්‍රසන්න දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව විශාල විරෝධයක්. ඒ නිසා මේ දේශපාලන පොර පිටිය පිරිසිදු පොර පිටියක් බවට පත්කිරීමේ වගකීමක් අපට තිබෙනවා. වරප්‍රසාදවලට, සල්ලිවලට එහෙට මෙහෙට පනින මිනිස් කඳන් ලෙස ගොඩනැගුනු මේ පාර්ලිමේන්තු වෙනුවට මිනිස්සුන්ගේ අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දු-තීරණ ගන්න මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. අන්න ඒ දේශපාලන සටනට අපි නායකත්වය ලබා දෙනවා.
පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම අවස්ථාවකදීම අප ගන්නා ලද ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් වගකියන දේශපාලනයක අප නියැලී සිටිනවා. ජාතික ජන බලවේගය වගකීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කරන අතර ඒ වටා එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙරට ඉතිහාසයේ විශාලතම ජනතා නැගිටීම තිබුණේ රාජපක්ෂ කඳවුරට එරෙහිව. සාරවත් කඳන් හාරලා විනාශ කරන කඳ පණුවන් වගේ රාජපක්ෂලා අපේ රටේ ආර්ථීකය, දේශපාලනය, අයිතීන් විනාශ කර දැම්මා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ නැගිටීමේ ප්‍රධාන සටන් පාඨය වුණේ ගෝඨාභය රාජපෂට පළා යන්න සිදුවුණා. මහින්ද රාජපක්ෂටහමුදා කඳවුරකට ගාල් වෙන්න සිදුවුණා. බැසිල් රාජපක්ෂට එයා පෝට් එකෙන් යන්න බැරිවුණා. නාමල් රාජපක්ෂ ඇතුලු පවුලේ අයට එලියට බහින්න බැරිවුණා. රාජපක්ෂ පවුල එතරම් අති මහත් විනාශයක් අපේ රටට සිදුකර තිබෙනවා. ඊට එරෙහිව තිබුණු ජනතා නැගිටීම හමුවේ පාර්ලිමේන්තුවේදී සිදුවුණේ රාජපක්ෂ කඳවුර යළි නැගිටීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙනුත්, අගමැති ධුරයෙනුත් ඉවත් කළත් හැම වෙලාවේම පාර්ලිමේන්තුව තිබුණේ රාජපක්ෂලා අතේ. ඒ නිසා ඕනෑ වෙලාවක තමන්ට සිතැඟි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කරගන්න පුළුවන්.
මේ නිසා අපි දිගින් දිගටම අවධාරණය කළේ රාජපක්ෂ කඳවුර පරාජය කරන්න නම් ගෝඨාභය, මහින්ද එළවීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ කියලා. ඔවුන් පරාජය කිරීමට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව අපි අවධාරණය කළා. රටෙනුත් පළවා හැරි රාජපක්ෂ කඳවුරේ භූතාත්මයන් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ භූතාත්මයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ අනුප්‍රාප්තිකයා. ගැලවුම්කරුවා. ආරක්ෂකයා. මේ සමස්ත ඉත්තො සෙල්ලමම ඇති කළේ බැසිල් රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළාට පසුව උද්දාමයෙන් කෑගැහුවේ බැසිල් රාජපක්ෂගේ සමීපතම කවය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂගේ නිර්මාණයක්. එළියේ රාජපක්ෂ පවුල පරාජයට පත් කළත් පාර්ලිමේන්තුවේ ඒ භූතාත්මයන් බලවත් වී තිබෙනවා. රාජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්න නම් ජනතාව විසින් පරාජයට පත් කළ ඒ කඳවුර පාර්ලිමේන්තුව තුළත් පරාජයට පත් කළ යුතුයි. රාජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ඩලස් අලහප්පෙරුමලා වගේ රාජපක්ෂලාව ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති අපිට නැහැ. පාර්ලිමේන්තුව තුළ ඔවුන් පරාජයට පත් කරන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අවස්ථාව ලබාදෙන ඕනෑම මොහොතක අප ඒ වෙනුවෙන් සූදානම්.
අපේ සටන නව පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. රාජපක්ෂලා බූවල්ලෙක් වගේ අඬු විහිදුවා තිබෙන හැම තැනකින්ම ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ බූවල්ලාගේ ශක්තිමත්ම අඬු තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. ඒ අන්ඩ කපා දැමුවහොත් අනෙක් සියල්ල ගිලිහී වැටෙනවා. ගෝල්ෆේස් පිටියේ සහ ඉන් පිටත විශාලම හඬ බවට පත්වී තිබුණේ වංචාව-දූෂණය පිටු දැකීමයි. ගෝල්ෆේස් තරුණයන් “අපෙන් හොරා කාපු සල්ලි අපට දීපල්ලා” කියන සටන් පාඨය ඉදිරිපත් කළා. ඒ ධනය සොරකම් කළ අයට දඬුවම් දෙන්න කියලා කෑගැහුවා. මේ දේශපාලකයිනුත් ඔවුන් වටා සිටින කුඩා චෞර වළල්ලත් ජාතික ධනය කොල්ල කෑවා. ඔවුන්ගේ හොරකම් විදේශ අධිකරණවලින් පවා හෙළිවී තිබෙනවා. 2015දී ප්‍රධාන ඉල්ලීම වුණේ රාජපක්ෂ පවුල සොරකම් කළ දේපොළ පවරාගෙන හොරුන්ට දඬුවම් දීමයි. රනිල් වික්‍රමසිංහ ඒ පොරොන්දුවෙන් බලයට පත්වුණා. ඊට් පස්සේ මහ බැංකු හොරකම, කිරි හරක් ආනයනයේදී හොරකම, ප්‍රාඩෝ රථ ආනයයනයේ හොරකම, එයාර් පෝට් එකේ හොරකම්වලට දඬුවම් දෙන්න 2019 රාජපක්ෂලා ගෙනාවා. මහින්දානන්ද එක් අවස්ථාවක කීවේ රනිල් වික්‍රමසිංහ හිරේ දාපු දවසට ඔහුට නින්ද යන බවයි. 2019 රාජපක්ෂලා ගෙනාවේ රනිල් වික්‍රමසිංහලාට දඬුවම් දෙන්න. 2022 ජූලි 20වැනිදා ඒ රාජපක්ෂලයි රනිල් වික්රමසිංහලයි එකට එකතු වෙලා ජනතාවට කොකා පෙන්නුවා. හෘද සාක්ෂියක් නැති කැත මිනිස්සු. මේ රටේ මහ ජනයාගෙන් සොරකම් කරන ලද සෑම සතයක්ම පවරා ගන්නා පාලනයක්, සොරකම් කළ අයට දඬුවම් දෙන සහ සොරකම් නතර කරන පාලනයක් පිහිටුවන බවට මහ ජනතාවට සහතික වෙනවා.
අපේ රටේ ආර්ථීකය කඩා වැටීම තීව්ර කරන්න රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ මැදිහත් වී තිබෙනවා. ආහාර හිඟය, fඖෂධ හිගය තෙල් පෝලිම්, පාසල් වසා දැමීම්, රජයේ කාර්යාල වසා දැමීම් සියල්ල පිටුපස තිබෙන්නේ රාජපක්ෂලා සහ රනිල්ලා අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය වෙනස් කර ඉතා හොඳින් රට ගොඩනැගීමේ ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එය ඉටු කරන්නේ ජාතික ජන බලවේගයේ අපි. ආර්ථිකය නව දිසාවක් දක්වා පරිවර්තනය කිරීමේ සටන අප අරඹා තිබෙනවා. ඒ සටන තව තීව්ර කර ගනිමින් ජනතාවත් සමග සංවාද කරමින් ඉදිරියට යනවා. ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් සැරසෙන්නේ මහ පොළොවේ ඔහුට ජන වරමක් නැති නිසා විශ්වාසය තබන්නේ හමුදාව කෙරෙහි. මර්දනය කෙරෙහි. රනිල් වික්‍රමසිංහට ඉතා වේගයෙන් හමුදාව පිළිබඳ ආදරයක් කැක්කුමක් ඇතිවී තිබෙනවා. පාරේ එන ගමන් බැහැලා හමුදා සොල්දාදුවන්ට ආමන්ත්‍රණය කරනවා. ඔවුන්ගේ සුවදුක් බලන්න රෝහල්වලයට යනවා. මේ රටේ හමුදාවට විශාලම අපරාධ්‍ය කළේ රනිල් වික්‍රමසිංහ. අද ඔහු කල්පනා කරන්නේ මර්දනය දියත් කර රැකවරණය ලබාගන්න. ජනතාවගෙන් විතැන් වූ නායකයන් බොරු ලෙංගතකමක් දක්වමින් යන්නේ ඒ නිසයි. ඔහු බලයට පත්වූ වහාම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර විවිධ මර්දන අන පනත් සකස් කරමින් ඉන්නවා. අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් පිටුපස හඹා යන්න පටන්ගෙන තිබෙනවා. අන්තරේ කැඳවුම්කරුගේ පරණ වැරදි හොයමින් ෆයිල් අවුස්සමින් තිබෙනවා. මේ විදිහට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳවුරේ සුරතලා වී විවිධ ක්‍රියාකාරකම් කරනවා. තමන්ගේ නොහැකියාව වසා ගන්නත් රාජපක්ෂ කඳවුර සතුටු කරන්නත් රනිල් වික්‍රමසිංහ මර්දනය ගේන්න උත්සාහ කරනවා.
අපේ රටේ ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සටන් කිරීමේ අයිතියත් සංවිධානය වීමේ අයිතියත් කවර හෝ ආකාරයකින් මර්දනය කරන්න උත්සාහ කරනවා නම් රනිල් වික්රමසිංහත් එක්ක හැප්පෙන්න අපි ලැහැසිතියි. ඒ නිසා ආකාර කිහිපයක දේශපාලනයක් අපට තිබෙනවා. දූෂිත දේශපාලන පොර පිටිය සුද්ද කිරීම, රාජජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීම, වංචා දූෂණ සිදුකළ අයට දඬුවම් දීම, අපේ රටේ ආර්ථීකය නව මාවතකට යොමු කිරීම සහ මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්රබලතම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඒ වටා සියලු බලවේග ඒකරාශි කරමින් කටයුතු කරනවා. කැඳ වගේ වැඩ කරන නායකයන්ට මෙවැනි අවස්ථා ජය ගන්න බැහැ. මේ රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මේ මාසයේ 24වැනිදා සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්රණ මාලාවක් ලැහැස්ති කර තිබෙනවා. මහරගම තරුණ සේවා සභාවේදී එහි ආරම්භය සටහන් කරනවා.
ඉච්ඡා භංගත්වයට පත්වූ තරුණ පරපුර නැවත නගා සිටුවීමට අපි මූලිකත්වය දෙනවා

ඊයේ (20) සිදුවුණේ 69 ලක්ෂයක් ජනතාව මහත් බලාපොරොත්තුවෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ බලයට ගෙනත් අපේක්ෂා කළ සියල්ල නැවත විනාශ කර දැමීමයි. අවුරුද්දක් පමණ කාලයක් තුළ ජනතාව ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තවත් තීව්ර කරමින් ගෙනගියා. ඒ සියලු අරගලවල ප්‍රතිපල ආපසු හැරවූ බව පැහැදිලි වුණා. ගොවි ජනතාව, ගුරුවරු, ධීවර ජනතාව අවුරුද්දක් පුරා ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තීව්ර කිරීමෙන් හිටපු අගමැති ඉල්ලා අස්වුණා. කැබිනට් එක කිහිප වතාවක් සංශෝධනය කෙරුණා. අලුත් අගමැතිවරයෙක් පත්වුණා. බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වුණා. මේ සියල්ල අවසානයේ නැවත පොහොට්ටු පක්ෂය හිටපු තැනටම ගෙනාවා. අපේ රටේ උද්ධමනය 70%ක් විය හැකි බව මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. දුම්රිය ගාස්තු වැඩි කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මේ හමුවේ අපේ රටේ ජනතාව මානසිකව කඩා වැටී තරුණ පරපුර ඉච්ඡා භංගත්වයට පත්වීමයි. ඒ තරුණ පරපුර නැවත නගා සිටුවී්මට මූලිකත්වය දීී අපි ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් සුදුසු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අපි ක්‍රියා කරනවා.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තිබුණු කැබිනට් මණ්ඩලය වගේම එකක් පත් වේවි. එවැන්නක් වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කිරීමේ මැතිවරණයකින් පමණයි. අපි ජනතාවට දිගින් දිගටම ආරධනා කරන්නේ මේ පවතින තත්වය වෙනස් කිරීමට එක්වන ලෙසයි. ජාතික ජන බලවේගය වටා සියලුම ජනතාව එකතු වීමෙන් තොතරව පවතින අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. මේ අර්බුදය උග්‍ර වෙනවා වෙනුවට එයට විසඳුම් දීම සඳහා මැදිහත් වන අතර ඉච්ඡා භංගත්වයට පත් තරුණ පරපුර මේ රට නැවත ගොඩනැගීම කෙරෙහි මූලික වශයෙන්ම පෙළ ගැස්විය යුතුයි. එසේ නොවුවහොත් රට ගොඩනගන්න බැරි තත්වයටම අගාධයට වැටීමේ අනතුර තිබෙනවා.