Home News Sinhala “කොතලාවල පනත හකුළා නොගත්තොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා”

“කොතලාවල පනත හකුළා නොගත්තොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා”

by Ravinath Wijesekara

ඔබ වියතුන්ගේ සභා මැද සිටි කෙනෙක්. නමුත් ඇතැමුන්ගේ අශිෂ්ට සංවාද හා හැසිරීම් මැද ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එය දැනෙන්නේ කොහොමද?

ටිකක් අමාරුයි. හැබැයි මට දැනෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතැමුන්ගේ ඒ අශිෂ්ට හැසිරීම රඟපෑමක් කියලයි. මොකද ඒ ඔවුන් වෙත අවධානය දිනා ගැනීමට.”කුණුහරුප කියන, කෑගහන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ ජොබ් එක. ඒ අය වෙන මාතෘකා පැනනඟිද්දී ඒවා ගැන කතා කරන්නේ නෑ. උගත් බව, වියත් බව නෙවෙයි මේක අපේ දේශපාලනය විසින් හදලා තියෙන සංස්කෘතිය එක්ක ගමන් කරන කාරණයක්. අපේ අය එහෙම නොහැසිරීමක් එතනින් පෙන්නුම් කරනවා. පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම, කෑගැසීම, සංස්කෘතියක් වෙලා.

ඔබ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. එවන් ගෞරවනීය වෘත්තියකින් ඉවත්ව දේශපාලනය තෝරාගත්තේ කුමන පදනමින්ද සහ ජවිපෙ තෝරා ගැනීම කළේ ඇයි?

පක්‍ෂ දේශපාලනයේ නොසිටියට මම හැමදාම දේශපාලනයේ ක්‍රියාකාරීව හිටියා සමාජයේ. ඒ ගනුදෙනුව මට පුරුදුයි. ජවිපෙ සහ ජාතික ජන බලවේගය කියන්නේ මගේ මතවාදය තිබෙන තැන. දේශපාලන වටිනාකම හා මතය තිබෙන තැනකනේ අපි කටයුතු කළ යුත්තේ.

අද සමාජයේ දේශපාලනඥයන් හෑල්ලුවට ලක් කරන අවස්ථා තිබෙනවා. අට පාස් අයටත් දේශපාලනය කරන්න හැකි බව සාමාන්‍ය මතයක් වෙලා. ඇත්තටම දේශපාලනඥයාගේ වගකීම් සහගත බව ජනතාවට අවබෝධ නොවෙන්න බලපෑ හේතුව මොකක්ද?

දේශපාලනය කියන්නේ ඉතා විශාල හැදෑරීමක් කළ යුතු දෙයක්. ඒ හැදෑරීම විශ්වවිද්‍යාලයක ගිහින් පමණක් ගන්න පුළුවන් හැදෑරීමකුත් නෙමේ. ඒක සමාජයක මිනිසුන් ජීවත් වන ඒ අත්දැකීම් අනුව කළ යුතු හැදෑරීමක්. එතැනදී තෝරාගන්නා පක්‍ෂය හරි වැදගත්. පක්‍ෂයෙනුත් අධ්‍යාපනයක් දෙනවනේ. ජාතික ජන බලවේගයෙත් ජනතා විමුක්ති පෙරමුණෙත් තියෙන අධ්‍යාපනයේ කොටසක්. හැදෑරීමක් තියවනවා. කතා කරනවා. යාවත්කාලීන වෙනවා. එහෙම සංස්කෘතියක් නැති කොටසක් තමයි මං හිතන්නේ පාදඩ දේශපාලනය ඇතුළේ.

රටේ ජාතික ප්‍රතිපත්ති, නීති, ව්‍යවස්ථා සම්පාදනය වන ස්ථානය හැටියට ඔබ අපේක්‍ෂා කළ ගෞරවනීය පරිසරයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ ඔබ දකිනවාද?

මේ මොහොතේ අපි බලාපොරොත්තු වන දේ පාර්ලිමේන්තුව තුළ ඉෂ්ට සිද්ධ වෙන්නෙ නෑ. අපිට කාර්යභාරයක් තියෙනවා. මොකද අපේ බලාපොරොත්තුව ඊට වඩා ලොකු දෙයක්. තුන්දෙනෙක්ට පාර්ලිමේන්තුව තුළ අපි බලාපොරොත්තු වන දේ කරන්න බෑ. අපිට ඒකට බලයක් ඕනෑ. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ.

“යකුන්ගේ හැටියට විමානේ” කියන ආකාරයටද හැසිරෙන්න වී තිබෙන්නේ?

යකුන්ගේ හැටියට විමානේ සහ ඒ පාර්ලිමේන්තුවට පත්වීම තුළින් එළියේ වැඩ කරන්න වේදිකාවක් හැදෙනවා. ඒක වැදගත් අපේ දීර්ඝ කාලීන කණ්ඩායම් දේශපාලනයට.

ඔබ ගැන මේ මොහොත වනතුරු පක්‍ෂ පාට භේදයකින් තොරව ගෞරවනීය පිළිගැනීමක් තිබෙනවා. මේ සියල්ල යහපත් කරගැනීමට කෙරෙන ඔබේ අරගලයට ඒ ගෞරවයත් රැකගෙන කිසියම් නිශ්චිත අවස්ථාවක යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකියි කියා ඔබ සිතනවාද?

ඇත්තටම හිතනවා අපේ යහපත් ඉලක්ක සපුරා ගන්න හැකිවෙයි කියලා. මම ඒ අමාරු ගමනේ ඉන්නේ. ඒ බලාපොරොත්තුවේ ඉන්න නිසා අපි බලාපොරොත්තු වන සර්ව සාධාරණ සමාජයක් අවුරුදු 5කින් 10කින් ලැබෙයි කියලා හිතන්න බෑ. හැබැයි මේ වෙලාවේ අපිට අවශ්‍යයි යන දිශාව හරවා ගන්න.

යහපත් සමාජයක් ගැන ඇති තරම් වියතුන්, දේශපාලනඥයන් සංවාද ගොඩනඟනවා. නමුත් දිනෙන් දින රටේ දැරියන්, කාන්තාවන් දූෂණයට, අපයෝජනයට ලක්වෙනවා. මෙවැනි සමාජයකට මේ රට යොමුවෙන්න බලපා ඇති මූලික කාරණය මොකක්ද?

අපේ දේශපාලනය හා ආර්ථිකය කියන එක තමයි මීට බලපා තිබෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත එන්න එන්න අමාරු, දුෂ්කර වෙද්දී ඔවුන්ට උපකාර වීමට තිබෙන පද්ධතීන් ඔක්කොම කඩා වැටෙද්දී මිනිසාගේ ඇතුළේ ඉන්න සතා එළියට එනවා.”

මෙවැනි අපයෝජන වාර්තා වෙන්නේ ඉතා අල්ප වශයෙන්. ගෙවෙන හැම දිනකම පාහේ දැරියන්, ස්ත්‍රීන් අපයෝජනයට ලක්වෙනවා. සමාජයේ අනුකම්පාව මතවාදවලින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍යයි නේද?

ඔව්. අනිවාර්යයෙන් ඔබේ ප්‍රශ්නයට මට මේ මේ නීති වෙනස් විය යුතුයි, මෙය කළ යුතුයි කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය ඊට වඩා බැරෑරුම්. අපි ඒක තේරුම් ගන්න ඕනෑ. මේ කිසිදේකට ලේසි උත්තර නෑ. පත්ව තිබෙන අපේ සමාජ ආර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් නොකර මේවට පැලැස්තර අලව අලව යන්න පුළුවන්. නමුත් ඇත්තටම ප්‍රශ්නය විසඳන්න නම් ඒ ක්‍ෂේත්‍රයටම අපේ සමාජ ආර්ථිකය පරිවර්තනයක් අවශ්‍යයි.

ඔය කියන සමාජ ආර්ථික පරිවර්තනය යන්න ගැන සාමාන්‍ය ජනතාවට හරි අවබෝධයක් නෑ. පැහැදිලි කිරීමක් අවශ්‍යයි නේද ඊට?

අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න බලන්න. මෑතක උදාහරණයක් මං පැහැදිලි කරන්නම්කෝ. හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවය කරමින් සිට පිලිස්සී මියගිය 16 හැවිරිදි දැරිය. වතුකරයේ ඇය. ඇගේ මවුපියන්ට හරි රැකියාවක් නෑ. පවුලේ ණය බරින් බේරෙන්න තමයි මේ දැරිය මෙහෙකාර සේවයට යවන්නේ. හරි අධ්‍යාපනයක් නැති හින්දා එවැනි රැකියාවක් සිදු කරන්නේ. ගෘහස්ථ සේවය කියන්නේ කිසිම ආරක්‍ෂාවක් නැති රැකියාවක්. බහුලව කරනවා. මධ්‍යම පාන්තික, කොළඹ ඉහළ පාන්තික ගෙවල්වල ඕනෑ තරම් සේවය කරන බාලවයස්කාර අයත් ඉන්නවා. අවුරුදු 14, 15 ළමයි, ළමයි බලාගන්න අවස්ථා ඕනෑවටත් වඩා අපි දැකලා තියෙනවා. මේක එන්නේ අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. මවුපියන්ට ඒ අයගේ දරුවන් වැඩට යවන්න සිද්ධ වෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් මේ ආර්ථික ප්‍රශ්නයට අපි විසඳුම් හොයන්නේ නැතිව කිසිදෙයක් කරන්න බෑ.

ඒ ආර්ථික ප්‍රශ්නය වගේම මෙවැනි අපයෝජන සිදුවීමට ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම බලපාන්නෙ නැද්ද?

ලිංගික අධ්‍යාපනය නොමැතිකමත් තව පැත්තකින් බලපෑමක්. ඒක අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් විය යුතුයි. අපේ මූලය තියෙන පද්ධතිය කඩාවැටීමක්නෙ මේකෙන් පෙන්නුම් කරන්නේ. මිනිසුන්ට හම්බ කරලා කාලා බීලා ඉන්න පුළුවන්කමක් නෑ. තුන්වේල කාල බීලා ඉන්න බැරි සමාජයක අධ්‍යාපනය ගැන කවර කතාද? අධ්‍යාපනයට යොමුවෙන්නේ හෝ අධ්‍යාපන ක්‍රමයක් ගැන අපිට හිතන්න පුළුවන් වෙන්න නම් මූලික අවශ්‍යතා ටික තියෙන්න එපැයි. වේල් තුන කන්න, පොඩි සතුටක් හරි විඳින්න බැරිව මිනිස්සු කොහොමද අනිත් දේවල් කරන්නේ?

මෙවැනි ප්‍රශ්නවලදී පක්‍ෂ, පාට, ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව පෙරට ආ යුතුයි. පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මෙවැනි කාරණාවලදී එකට හිටගනියි කියලා ඔබ හිතනවාද?

“ඒක පුළුවන් කියලා මං හිතනවා. ඒක අපි කරලත් තියෙනවා. කොවිඩ් තත්ත්වය තුළත් අපේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සෑහෙන සීමාවන්වලට ලක්වෙලා තියෙනවා. හැබැයි අපි මන්ත්‍රිවරියන් 12 වාඩි වුණාම ගොඩක් වෙලාවට අපි පක්‍ෂ ගැන හිතලා නෙමේ කතා කරන්නේ. එතැන එකමුතුවක් තියෙනවා. අපිට විවිධ මත නැතිව නෙමේ. නමුත් පක්‍ෂය ගැන හිතලම බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ නෑ.”

කොවිඩ් – 19 වසංගතයත් අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. ඔබ හිතනවාද කොවිඩ් යම් තරමකින් හෝ පාලනයට ලක්කර තිබෙන බව?

නෑනේ. පසුගිය සංචරණ සීමා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. සංචරණ නීති ඇත්තටම දාල තිබ්බේ සරලව පොදු ප්‍රවාහන පාවිච්චි කළ අයට විතරයි. පෞද්ගලික වාහන තිබුණු බහුතරයක් පාරේ. කර්මාන්තශාලා විවෘත කරලා තිබුණේ. ඒ එක්ක සංචරණ සීමාවලින් අපි බලාපාරොත්තු වූ ප්‍රතිඵල නෑ. ඒ වගේම මේ එන්නත්කරණයත් දේශපාලනය වී තිබුණා. ඊට එකඟ වූ සෞඛ්‍ය නිර්ණායක ක්‍රියාත්මක වුණෙත් නෑ. 60න් ඉහළ අය, ප්‍රමුඛතාව දිය යුතු අයට නෙමේනේ එන්නත්කරණය හරියට ක්‍රියාත්මක වුණේ. හිටපු ගමන් කියනවා අපි එන්නත් ලක්‍ෂ 2ක් නුවරට යැව්වා. තවත් ලක්‍ෂ 2ක් තව කොහෙට හරි යැව්වා කියනවා. දවසින් දවස මාරු වෙනවා.

යම් දින ගණනක් තුළ රටම ආවරණය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හැකිද?

ක්‍රමවේදයක් තියෙනවා. අපි එකඟ වූ සැලැස්මක් මුල සිටම තිබුණා. ඒ සැලැස්මේ අපි හිටියා නම් මේ වෙද්දී එන්නත්කරණය ක්‍රමානුකූලව සිදුවෙලා. දැන් ඒක අනාගෙන. ගොඩක් අය දන්නේ නෑ තමන්ට කවදා ලැබෙයිද කියලා. ප්‍රමුඛතාව දියයුතු අයට තවම එන්නත ලැබී නෑ.

සෞඛ්‍ය ඇමැතිවරිය චෝදනා කර තිබුණා කාල් මාක්ස්ලට, ලෙනින්ලට, ස්ටාලින්ලට, කොවිඩ් සම්බන්ධ එක එක නීති නෑ. හැමෝටම ක්‍රියාත්මක කරන්නේ එකම නීතියක් බව. ඇයගේ මේ ප්‍රකාශය ගැන ඔබලාගේ ස්ථාවරය මොකක්ද?

හරි. කාල් මාක්ස්ලා කිව්වෙත් කාල් මාක්ස්ලට ප්‍රමුඛතාව දෙන්න කියලා නෙමේනෙ. මොකක් හරි සැලැස්මක් ඕනෑ කියලා. එතුමිය දන්නවා නම් මාක්ස්ලා, ලෙනින්ලා කියපු දේවල් ඒක කරන්න ඕනෑ. මොකද ඒ අය කියලා තියෙන්නේ පිළිවෙළක් ගැන. ඇමැතිතුමියට මාක්ස්ලා, ලෙනින්ලා ගැන කියවීමක් තියෙනවා නම් ඒක එහෙම වෙන්න එපැයි. එහෙම නොවෙන එකනෙ ප්‍රශ්නෙ.

කොවිඩ් අස්සේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධව දිනපතා උද්ඝෝෂණ රට පුරා. ඒ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනත අගෝස්තු 6 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ අරගල සමඟ ආණ්ඩුව පනත හකුළා ගනියිද?

කොතලාවල පනත ආණ්ඩුව හකුළා නොගත්තොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. ආණ්ඩුව අනවශ්‍ය විදිහට, අර්බුදයක් සහ විරෝධතාවක් හදාගෙන තියෙන්නේ.

මෙම පනත හරහා පැහැදිලිව අධ්‍යාපනය මිලිටරිකරණයක් වන බව සඳහන් වෙන්නේ?

ඔව්. මිලිටරිකරණයක් සිදුවෙනවා කියන්නේ හමුදාවට මැදිහත්ව මිලිටරිකරණ අධ්‍යාපනයක් දෙන්න බෑ.ඒ අයට වෙනම අධ්‍යාපන පුහුණු තියෙනවා. ඒ අයගේ රාජකාරිය වෙනස්. ඒකනේ මිලිටරි හා සිවිල් කියලා අපේ සමාජයේ කොටස් 2ක් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මොන රටේද අධ්‍යාපනය මිලිටරිකරණය වෙන්නේ? මිලිටරියට අධ්‍යාපනය අවශ්‍යයි. මිලිටරි පුහුණුව දෙන්න ඕනෑ ඒ ක්‍ෂේත්‍රයේ අයට. ඒකෙ කිසි තර්කයක් නෑ. මිලිටරියට අවශ්‍යයි සමාජ විද්‍යාව කියමු එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව, නීතිය, එතකොට ඒවා ඉගෙන ගන්න ඕනෑ මිලටරි ඇසකින් නෙමේ. සිවිල් අය සහ මිලිටරි කියන දෙකොටස මුලින් තේරුම් ගන්න එපැයි. ආණ්ඩුව ගැසට් එකක් එළියට දාලා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න යනවා. එයින් කියනවා විශේෂ අවශ්‍යතා සඳහා විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පුළුවන් කියලා.මේ පනත මේ විදිහට සංශෝධනයට ලක් කරන්නේ ඇයි? එයින් අදහස් කරන්නේ කොතලාවල පනත හකුළා ගන්නවාද? නැත්නම් සංශෝධන කරනවාද? නැත්නම් එහෙම පිටින්ම ගන්නවාද කියලා ආණ්ඩුව පැහැදිලිව කියන්න.

උගත් කාන්තාවක්, මහජන නියෝජිතවරියක් රටේ පුරවැසියෙක් ලෙස ඔබට මේ රටේ ජනතාවට දෙන්න තියෙන අදහස මොකක්ද?

මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවක්. සාධාරණත්වය අගය කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය වෙනුවෙන් අපි කරන තෝරා ගැනීම හැම අවස්ථාවකම වරද්දා ගත්තා. ඒ තෝරා ගැනීම ගැන ඉතා පරෙස්සමින් හිතන්න. අපි හැමෝම ප්‍රාර්ථනා කරන වෙනස දවසින් දෙකින් හෝ එක පුද්ගලයෙක් හෝ මැජික් බලයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. වෙනසක් ඕනෑ නම් අඩුම තරමේ ඊළඟ පරපුර ගැනවත් හිතලා, බුද්ධිමත් තේරීමකට යන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මා තදින් විශ්වාස කරන දෙයක් තමයි අපේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය කියන දේ මුල් බැහැලා තියෙන බව. ඒක ඉස්මතු කරගන්න. ඒක විකෘති කරන්න ඉඩ දෙන්න එපා. ඒකට අහුවෙන්න එපා. අහුවෙලා අහුවෙලා දැන් ඇති.

සංවාදය: අනුරාධ හේරත් (www.mawbima.lk)

You may also like

Leave a Comment