Home News Sinhala “ගෝඨාභය ඉන්දියාව ඉදිරියේ දණ ගහලා – තෙල් ටැංකි ගිවිසුමට හොර රහසේ අත්සන් කරලා”

“ගෝඨාභය ඉන්දියාව ඉදිරියේ දණ ගහලා – තෙල් ටැංකි ගිවිසුමට හොර රහසේ අත්සන් කරලා”

by Ravinath Wijesekara

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමේ ආණ්ඩුවේ රහසිගත ගිවිසුමේ ලංකාවට එරෙහි බරපතළ ගැටලු ගණනාවක් පැන නැඟී ඇතැයි ජනතා විමුක්ති  පෙරමුණ  දේශපාලන මණ්ඩල  සභික සුනිල්  හඳුන්නෙත්ති අනාවරණය  කළේය.

මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ  2072 දක්වා ක්‍රියාත්මක වීමට නමුත්  2050 වෙන විට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමට  තීරණය ගෙන  තිබෙන බවත්  එසේ නම් 2072 දක්වා අවුරුදු 50කට මේ ගිවිසුම අස්සන් කළේ ඇයි දැයි හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි.

මේ ගිවිසුම අස්සන් කිරීමට පෙර ඛනිජ තෙල් ඇමැතිවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා වට කීයක් කළාද? ඉන්දියානු පාර්ශ්වයෙන් සම්බන්ධ වුණේ කවුද? ඔවුන් ලංකාව සමඟ කළ සාකච්ඡා ගැන ලිඛිත වාර්තා තිබෙනවාද? මේ සම්බන්ධයෙන් හදපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ? ඩොලර් මිලියන 550කට තක්සේරු කළ වාර්තාව කෝ? යන ප්‍රශ්නවලට ඍජු  උත්තර  රජය විසින්  ලබාදිය යුතු  යැයි ඒ මහතා අවධාරණය  කළේය.

මේ කරුණුවලින් ඉතා පැහැදිලි වන්නේ ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව  හා අනාගත පැවැත්ම තීරණය කිරීමේ අයිතිය දී තිබෙන්නේ ඉන්දියාවට බවද ඔහු පෙන්වා දුන්නේය.

තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ප්‍රශ්නය, කොළඹ පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ඔවුන් ඇතුළු වීම සලකා බැලිය යුත්තේ භූ දේශපාලනික කරුණු මත සිට බැවින් 2002 සිට ඉන්දියාවේ උත්සාහය, ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට පාලමක් ඉදි කිරීමට බවත් 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාලම ඉදි කිරීම පිළිබඳ වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඉන්දීය ප්‍රවාහන ඇමැතිවරයාට ඉදිරිපත් කළ බවත්  ඔහු සිහිපත් කළේය.

 මේ පාලම ඉදි කිරීමෙන් තලෙයිමන්නාරම, මන්නාරම, පෙරියන්කුලම A 30 පාර. වවුනියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, A 39 පාර, ත්‍රිකුණාමලය A12 පාර යා කරන්න සැලසුමක් තිබෙන බවත්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ගත්තාම දකුණු පැත්තෙන් වටේ නොගොස් තලෙයිමන්නාරමේ සිට යෑමට මාර්ගයක් හැදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. 

ඒ අනුව ධනුෂ්කොඩි සිට ත්‍රිකුණාමලයට ඉතාම කෙටි පාරක් මෙලෙස සැලසුම් කර තිබෙන බව මේ රටේ ජනතාවට අවධාරණය කරන අතර පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට කෙටිම මඟකින් පැමිණ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේ අභිලාෂයක් ඉන්දියාවට තිබෙන බවත් හෙතෙම පැවැසීය. ඊයේ (12දා) පක්ෂ  මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී ඔහු මේ කරුණු අනාවරණය කළේය.

You may also like

Leave a Comment