
නීතිඥ සුනිල් වටගල
වර්තමාන ලංකාවේ අරාජික තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ අරාජිකත්වය නිර්මාණය කර තිබෙන්නේ රටේ ජනතාව නොවෙයි. මේ තත්වය ඇති කර තිබෙන්නේ මූලිකවම ජනාධිපතිවරයාත් ඊට පසුව අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්රමසිංහත්. මේ දෙපාර්ශ්වයේ ක්‍රියාකලාපය විසින් අද මේ රට අරාජික තත්වයක් බවට පත්කර තිබෙනවා. ගැස් පෝලිම්වල, තෙල් පෝලිම්වල මිනිස්සු දුක්විඳිමින් සිටියදී තමන්ගේ පෞද්ගලික දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මුළු රටක් බංකොලොත් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ගැටලුව උද්ගත වෙන්නේ අද දවසට විශේෂ වන කරුණක් තිබෙනවා. ඒ කථානායකවරයා නිවේදනයක් නිකුත් කළා ඊයේ (13 දා) මධ්‍යම රාත්‍රියේ 12.00ට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බව. නමුත් ප්රවෘත්ති විකාශනයන්ගෙන් අහන්න ලැබුණේ මේ දක්වා ඔහුට ඉල්ලා අස්වීමේ ලිපියක් ලැබී නොමැති බව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් කියනවා ඔහු ඉල්ලා අස්වුණොත් මේ රට අරාජික වෙන බව. අපි ප්‍රකාශ කරනවා මේ දෙපාර්ශ්වයම නැති වීමෙන් මේ රට අරාජික වෙන්නේ නැහැ. මේ රට අරාජික වෙන්නේ දෙපාර්ශ්වයම හිටියොත්. ජනාධිපතිවරයා මේ රටේ ජනතාව විසින් පලවා හැර තිබෙනවා. රනිල් වික්රමසිංහව මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් කියනවා නම්, ඔහු ධුරයේ නොසිටීමෙන් මේ රට අරාජික වෙනවා නම්, ඔහුට ගත හැකි පියවරයන් දෙකක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි, ජනාධිපති ධුරයේ සිටීමට කථානායකවරයාට ඉඩ සලස්වමින් ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්න. එහෙම නැතිනම් ඔහුට පුළුවන් කථානායකවරයා අග්‍රාමාත්‍යවරයා බවට පත්කරමින් යන ක්‍රියාවලියකට එළඹෙන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක: 42 වගන්තිය ප්‍රකාරව අපට පිළිගන්න සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන්න ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා, මේ රටට වගකියන්න. ව්‍යවස්ථාවේ 42 යටතේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපාන නීතිය ඇතුළු වෙනත් යම් ලිඛිත නීතියක් යටතේද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථාපරිදි ක්‍රියාත්මක කිරීම සහ යථාපරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තවට වගකිව යුත්තේය.” ජනාධිපතිවරයා ස්වකීය කර්තව්‍යය එනම් පාර්ලිමේන්තුවට වගකියල නැහැ. පාර්ලිමේන්තුවට වගකියා නැත්නම් කළ යුත්තේ, එළඹෙන 15දාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කරන එක.
ඒ වගේම ඔහු විසින් රනිල් වික්‍රමසිංහ පත්කිරීම කිසිසේත් පිළිගැනීමට නොහැකියි. මීට පෙර ජනාධිපතිවරු කළ පත්කිරීම් විධිමත්භාවයක් තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයා සිටින තැනක් දැනගැනීමට නොහැකිව තිබෙනවා. මේ නිසා අපට සැලකිල්ලට ගන්න සිදුවන්නේ ඔහු පලවා හරින ලද ජනාධිපතිවරයෙක් ලෙසයි. ඔහු තමාගේ කර්තව්‍යයන් ඉටුකර නැහැ. රාජ්‍ය සේවකයෙක් නම්, ආයතන ප්‍රධානියෙකුට නොදන්නවා පැය 24කට වඩා රාජකාරියට වාර්තා නොකළ හොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරනවා. ඒ වගේම දින තුනක් යන තුරු ඉවත් නොකළ හොත් ආයතන ප්‍රධානියාට දඬුවම හිමිවෙනවා. ඒ නිසා සේවය අතහැර ගිය ජනාධිපතිවරයාගේ කටයුතු අත්හිටුවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න කියා ජාතික ජන බලවේගය විදිහට අපි ඉල්ලා සිටිනවා.
ජනතාව ඉල්ලා සිටින්නේ රනිල්ගේ ඉල්ලා අස්වීමයි

නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ පූර්විකාවේ සඳහන් කර තිබෙනවා, ජනතාවගේ මූලික අවශ්‍යතා (ජලය, විදුලිය, ගෑස්, තෙල්) ජනතාවට දෙන්න පවත්නා ආණ්ඩුව අසමත් නම්, ඒ පිළිබඳ අවසාන විකල්පයක් ලෙස රජයට එරෙහිව විප්ලවීය ලෙස නැගී සිටීමට ජනතාවට පුළුවන් බව. එසේ නම් මේ අරගලය නීති විරෝධී වැඩක් නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මවලට පටහැණි වැඩක් නොවෙයි. මේ විප්ලව සාමකාමී හෝ සන්නද්ධ විය හැකියි. ලංකාවේ පවතින්නේ සාමකාමී විප්ලවීය අරගලයක්. එවැනි අවස්ථාවක එම අරගලය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා, නීතිඥ සංගම්, වෙනත් ක්‍රියාකාරී සිවිල් සංවිධාන විසින් ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථානුකූල විසඳුමකට පැමිණෙන ලෙස. අරගලය නිසා අර්බුදයක් නිර්මාණය වුණා කියන එක බැහැර කරන්න සිදුවෙනවා. මේ රටේ නිල ජනාධිපතිවරණයකින් පත් වූ ජනාධිපතිවරයෙක් සිටියා. ඔහු සහ ඔහු බලයට පත්කළ පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විශාල ජනතා අප්‍රසාදයක් ඇති වුණා. වසර දෙක හමාරක් තිස්සේ ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරමින්, මිනීමරුවන්ට සමාව දීම, එලෙස සමාව දුන් පුද්ගලයන් රජයේ ප්‍රධාන තනතුරුවලට පත්කිරීම වැනි විශාල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාකාරකම් සිදුවුණා. මේ නිසා ජනතාව එම පාලකයන් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න, එසේත් නැත්නම් ජනතා අභිලාෂයන් ඉටුවන සාධාරණ පාලනයක් පිහිටුවන්න කියන ඉල්ලීම කළා. මෙම ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා අසමත් වුණා.
ජූලි මස 09 වැනිදායින් පසුව ජනාධිපතිවරයා සිටියේ කොහේද යන්න කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. අසනීපයෙන් සිටියාද? නිල කාර්යයන් ඉෂ්ට කළාද යන්න කිසිවෙක් දන්නේ නැහැ. එවැනි දවස් තුනක් ඉක්ම ගියා. ජූලි මස 12 වැනිදා ප්‍රචාරය වුණා හදිසි නීතිය පනවා ඇති බව. ඒ මොහොත වන තෙක් රටේ කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ වැඩබලන ජනාධිපතිවරයෙක් සිටින බවට. අද වන තුරුත් දන්නේ නැහැ එවැනි පත්කිරීමක් කර තිබේද කියා. මෙය එක පුද්ගලයෙකු සතු බලතලවලින් කොටසක් තවත් කෙනෙකුට පවරන දෙයක් නොවෙයි මේ. එහෙම දෙයක් නම් ගැසට් මගින් කරන්න පුළුවන්. මේ රටේ සියලුම කාර්යයන් සඳහා ජනාධිපතිවරයෙක්. ප්‍රධානම විධායක නිලධාරියා ඒ තනතුරට පත්වුණා නම් ඔහු ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දුන්නේද? ඒ ලියුම දුන්නේ කවදාද? කවුරුන් ඉදිරියේද දුන්නේ? කුමන මොහොතකද දුන්නේ? යන්න අද වෙනවිටත් රටම දන්නේ නැහැ. ඒ වගේම එවැනි පත්කිරීමක ලේඛනයක් දැක්කේ නැහැ. හදිසි නීතය පනවා සවස් භාගයේ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා පමණයි දැකිය හැකි වුණේ. එය නීත්‍යානුකූ ක්රමයද යන ප්රශ්නය සෑම කෙනෙක් තුළ පවතිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනවා නම්, අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බලන්නේ කවුද? මෙය රහසක්. රාජ්‍ය පාලනය රහසිගතව සිද්ධ වෙනවා නම්, ඒක තමයි ත්‍රස්තවාදය. ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ශිෂ්ට සම්පන්න රාජ්‍යයක රහසේ මේවා කරන්න බැහැ. මේවා පාරදෘෂ්‍ය ආකාරයෙන් සිදුවිය යුතුයි. මේ සාමකාමී අරගලකරුවන්ට වඩා ත්රස්තවාදීන් ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය පාලනයේ බලය දරන ප්‍රධාන බලධාරීන් රහසිගතව වැඩ කිරීමේ තත්වයක් උදාවෙලා තිබෙනවා. එවැනි තත්වයක් මේ රටේ පවතින වෙලාවක, මේ ව්‍යාකූල තත්වය හමුවේ අපි කියන්නේ, නීතිඥ සංගම් කියා සිටින්නේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න. ප්රචණ්ඩ වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව වැඩ නොකරන්නේ කවුද?
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්නයි ජනතාව කියා සිටියේ. ජනතා හඬක් තියෙනවා. එවන් සැකයකට භාජනය වී ඇති කෙනෙක් වැඩ බලන ජනාධිපති ධුරය බාරගත්තා නම්, ප්‍රශ්න ඇති නොවන ලෙස පාරදෘෂ්‍යභාවයෙන් යුතුව ප්‍රසිද්ධියේ භාරගත යුතුව තිබුණා. එයයි සම්ප්රදාය. නීතියේ සාරය එයයි. එය පිළිපැද නැහැ.
අරගලය දියත් වූයේ ආදරය, කරුණාව මගිනුයි

නීතිඥ හේමක සේනානායක
අපේ රටේ පළවෙනි පුරවැසියා මේ වන විට රටෙන් බැහැර වී තිබෙනවා. දෙවෙනි පුරවැසියා හැටියට ඉන්නේ අග්‍රාමාත්‍යතුමා. තුන්වෙනි පුරවැසියා හැටියට ඉන්නේ කථානායකවරයා. මේ එක, දෙක, තුන කියන පුරවැසියන් එක එක අවස්ථාවලදී එක එක කතා ප්‍රකාශ කිරීමේ ඉතාමත් ඛේදනීය තත්වයක් උදාවෙලා තිබෙනවා. උදේ එකක් කියනවා. හවස එකක් කියනවා. ජනාධිපතිතුමා 13වැනිදා කියනවා මම ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා. ඉල්ලා අස්වෙන ලිපිය 13වැනිදා මම ලබාදෙනවා. නමුත් තවමත් එම ලිපිය නැහැ. රටේ පළවෙනි පුරවැසියාට නොහැකි වෙලා තිබෙනවා වචනය රකින්නට. කථානායකතුමා එක් අවස්ථාවක බී.බී.සී. එකට ප්‍රකාශයක් දෙනවා, ජනාධිපතිතුමා ලංකාවෙන් පිට සිටින බව. තවත් පැය 24ක් යන්නට ප්‍රථම කියනවා මට වැරදුණා. මේ ආකාරයට වචන වෙනස් කිරීමක් කරනවා. මේවායින් සිදුවන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පුරවැසියන් විසින් එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම තුළින් ඇති වෙන්නේ රටේ, රජයේ, ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මේක සෙල්ලමක් නොවෙයි. මේකෙන් බලපෑමක් සිදුවන්නේ රටේ ජනතාවට. ආණ්ඩුව පිළිබඳව, රජය පිළිබඳව විදේශීය රටවල්වලට තිබෙන විශ්වසනීයත්වය පළුදු වෙනවා.
කථානායකවරයා ප්‍රකාශ කරනවා නම් ඔහු ජනාධිපති ධුරය අතහැර ගියා කියා, ඒ ජනාධිපති ධුරය හැර ගියේ කවදා සිටද? ප්‍රධාන පුරවැසියන් විසින් මේවා ව්‍යවස්ථා අර්බුදවලට මේ ලංකාව යොමු කරනවා. මේවායින් පහර වදින්නේත්, බැට කන්නේත්, දුක්විඳින්නේත් රටේ ජනතාව. අරගල කරන්නේත් රටේ ජනතාව. ලේ හලන්නේ රටේ ජනතාව. මේ අය නිරායුධ පුරවැසියන්. මාස 08කට වඩා වැඩි කාලයක් ඔවුන් ආදරය, කරුණාව හරහා තමයි මේ අරගල කළේ.
ඒ එක්කම මේ රටේ අපි ඡන්දය දුන්නා හෝ නොදුන්නා රටෙන් පැනලා ගිහින් තිබෙන්නේ මේ රටේ පළවෙනි පුරවැසියා. හැටනව ලක්ෂයක් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නා. ඒ අනුව ඒ හැටනව ලක්ෂය වෙනුවෙන් කරන්න යුතුකම් තිබෙනවා. රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාට කරන්න වගකීම් තිබෙනවා. මේ යුතුකම් සහ වගකීම්වලට වඩා ඉහළින් රටේ ජනාධිපතිවරයාට ජනතාව වෙනුවෙන් වගවීමක් තිබෙනවා. නමුත් අද වන විට ජනාධිපතිවරයා සොයා ගන්න බැරි තරමට මගහැරලා හැංගිලා ගිහින් අවසන්. රටේ පුරවැසියාගේ වගවීම කෝ? ජනතාව කෙරෙහි තිබෙන වගවීම කෝ? මේවා ආණ්ඩුවක් හැටියට ගත් විට, රජයක් හැටියට ගත් විට, ව්‍යවස්ථාදායකයක් හැටියට ගත් විට මේවා ඉතා දැඩි ප්‍රශ්න. ලෝකයක් ඉදිරියේ අපි විහිළුකරුවන් වෙනවා පමණයි. මොවුන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පුරවැසියන් අපව ජාත්‍යන්තරය ඉදිරියේ අසරණ තත්වයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා, මහනායක තෙරුන් වහන්සේලා, රටේ ජනතාවගේ ඉල්ලීම, ඒ අනුව කටයුතු කිරීම, පොදු ආණ්ඩුවක් පිහිටුවීම සියල්ල ප්‍රතික්ෂේප කර, පැන ගිය එක තමයි අපට ඇති ප්රශ්නය.