
අද අපිට මාධ්‍ය හමුව පවත්වන්න සිදුවී තිබෙන්නේ සාගතයට එරෙහි කාන්තාවෝ හැටියටයි. අධි උද්ධමන තත්වයකට එහා ගිය අධි මන්දපෝෂණ තත්වයක් රටේ තිබෙනවා. අපේ රටේ දරුවෝ, කාන්තාවෝ ජීවත් වන කුස්සියට එන්න කියලා පාලකයන්ට මම ආරාධනා කරනවා. මේ වන විට රට වෙනුවෙන් සක්‍රීයව අරගලයට දායකත්වය දුන් පිරිස් අත්අඩංගවට ගනිමින් ඉන්න බව අපි දන්නවා. සාටක ආණ්ඩුවට වගේම කළු කෝට් ආණ්ඩුවටත් ඒ සම්බන්ධයෙන් මුලින්ම කියන්න තියෙන්නේ පරෙස්සම් වෙන්න කියලා. පක්ෂ භේදයෙන් තොරව, ජාති කුල භේදයෙන් තොරව රටේ ජනතාව වෙනුවෙන් නොනවතින අරගලයක් ගෙන යනවා. තරුණ පිරිස් එක්ක අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයත් අත්වැල් බැඳගෙන නොනවතින අරගලයට පාරට බහින්න සූදානම්. ඒ නිසා දමිතා අබේරත්න කලා ශිල්පිනිය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ශිෂ්‍යාවන්, ඇතුළු හිංසාවට පත්කර අත්අඩංගුවට ගෙන සිටින පිරිස් එක්ක අපි අත්වැල් බැඳගන්නවා. කාන්තාවෝ එළියට බැස්සොත් නොනවතින අරගලයක් දක්වා යන බව අවධාරණය කරනවා. සාටක ආණ්ඩුවත් කළු කෝට් ආණ්ඩුවත් දෙගොල්ලම එකට පරද්දන්න අපි සූදානම්.
අධි උද්ධමනයත් එක්කම අධි මන්දපෝෂණ තත්වයකට අපේ දරුවන් පත්වෙලා. පුංචි දරුවෝ කානුවලට වැටිලා මරණයට පත්වෙනවා. ඒ දරුවන් වෙනුවෙන් බස් රථයක් යොදවන්න අපොහොසත් පාලකයෝ තමන්ගේ වාහනයකට රුපියල් කෝටි 19ක අලාභහානි තක්සේරු කර ගෙන තිබෙනවා. එවැනි ජනාධිපතිවරු ඉන්න රටක අපේ දරුවන්ට මන්දපෝෂණයෙන් පෙළෙමින් පාසල් යන්න සිදුවී තිබෙනවා. ඒ අතර වන අලි ප්‍රහාරයකට ලක්වී මියගිය දරුවෝ ගැනත් වාර්තා වෙනවා. දරුවෝ අධි මන්දපෝෂණ තත්වයකට පත්කර තිබෙන සාටක ආණ්ඩුවත් කළු කෝට් ආණ්ඩුවත් දෙගොල්ලම පරද්දන්න කාන්තාවෝ පාරට බහින බව අවධාරණය කරනවා. ළමා රෝහලේ මන්දපෝෂණය තත්වය ගැන පරීක්ෂා කරන්න ආණ්ඩුවේ විශේෂඥ කණ්ඩායමක් යන බව සඳහන් වෙනවා. ඒක හොඳයි. නමුත් මේ වනවිට ලෝක ආහාර සංවිධානය හෙළි කර තිබෙන්නේ සෑම පවුල් 05කින් 04කටම ආහාර මඟහැරෙන බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ඒ චෝදනාවත් අම්මලාට එල්ල කර ආණ්ඩුව රැක ගන්න ක්‍රියාකරන බව අපිට පේනවා. ආහාර අර්බුදය ගැන කතා නොකර චෝදනා කරන අයට අපි ආරාධනා කරනවා අපේ කුස්සියට එන්න කියලා. ඒ වගේම විශේෂඥ කණ්ඩායමටත් වතුකරයේ ලයින්වලට, ධීවර පවුල්වලට, ගොවි පවුල්වලට අයත් ගෙවල්වලටත් ඇවිත් පරීක්ෂා කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. එතකොට අධි උද්ධමන තත්වයත් මන්දපෝෂණ තත්වයත් දෑසින්ම දැකගන්න පුළුවවන්.
වැට් බද්ද 8%ක්ව තිබියෙදී රුපියල් 30ට තිබුණු පුංචි බිස්කට් පැකට් එකක් දැන් රු. 120ක් වී තිබෙනවා. ඊට 15%ක් දක්වා වැඩිකළ වැට් බද්දත් එකතු වුණාම බිස්කට් අධි සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වෙනවා. වැට් කියන්නේ වක්‍ර බද්දක්. ඒ බද්දට තවත් බදු එකතු කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. අලුත් කළුකෝට් බද්දක් ‘සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද’ කියලා එකතු කරනවා. ගහෙන් වැටුණු මිනිහාට ගොන්නු 1000ක් අනිනවා වගේ. මේ බද්ද වෙනුවෙන් ආනයනයේදී, නිෂ්පාදනයේදී, බෙදාහැරීමේදී සහ සිල්ලර වෙළඳාමේදී වශයෙන් වැල් බද්දක් 2.5% බැගින් හතර වතාවක් එකතු වෙනවා. පුංචි දරුවාට බිස්කට් පැකට් එකක් දෙන්න පුළුවන් වෙයිද? අත්‍යවශ්‍ය හැම භාණ්ඩයකටම කළු කෝට් ආණ්ඩුව පන්න පන්නා බදු ගහනවා. මේ අනුව භාණ්ඩවලට 25%ක් පමණ අලුත් බදු ප්‍රමාණයක් එකතු වෙනවා. අධි උද්ධමනයක් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනවලින් පැහැදිලි වෙනවා. අගෝස්තු මාසය අවසන් වෙද්දී ආහාර උද්ධමනය 93.7%ක් වී තිබෙනවා. දවසින් දවස ආදායම් අහිමි වන ධීවර, වතුකරයේ ජනතාවට මේ ආර්ථිකය කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. වයසක දෙමාපියන්ට පවා තනි තනිව පාරට ගිහින් සිඟා කෑමට සිදුවන තත්වයක් ඇතිවී තිබෙනවා. දරුවෝ අසනීප වුණොත් බෙහෙතක් අරන් දෙන්නවත් විදිහක් නැහැ.
ඒ වගේම බොහෝ දෙනෙක් එළිපිට කතා නොකළාට රු. 140ට තිබුණු සනීපාරක්ෂක තුවා පැකට් එකක් රු. 500 ඉක්මවලා. දියණියන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් ඉන්න පවුලක අම්මලාටත් දුවලටත් සනීපාරක්ෂක තුවා ගන්න අඩුම ගානේ රු. 2000ක අමතර වියදමක් යනවා. මේ සම්බන්ධයෙන් පවුල ඇතුළෙත් විවෘතවත් කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම පාසැල් දරුවන්ගේ ක්‍රීඩා උත්සවවලට යන අවස්ථාවලකදී නිසි ආහාරයක් ලබාදෙන්න බැහැ. ඔවුන්ට සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැහැ. රු. 1500ට තිබුණු සපත්තු කුට්ටම අද රු. 6000 ඉක්මවලා. ක්‍රීඩා සපත්තු රු. 20,000 ඉක්මවලා. මේ අනුව ආණ්ඩුවේ හොරකම්වල බර දරුවෝ පිටත් පටවා තිබෙනවා. කුණු පොහොර නැව්වලට වන්දි දෙනවා. ප්‍රමාද නැව් ගාස්තු හැටියට ඩොලර් මිලියන ගණන් ගෙවනවා. අපේ දරුවන්ට ඇඳි වතත් නැති කරන තත්වයට කළු කෝට් ආණ්ඩුව කටයුතු කරනවා.
ජනතාව මත බර පටවන ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව තවදුරටත් යොමු වෙනවා නම් අරගල කරන්න පෙරමුණ ගන්න කාන්තාවන් සූදානම්. ආණ්ඩුවේ වියදම් ඉහළ දමා ආදායම් හොයන්න රනිල් වික්‍රමසිංහ කිසිදු සමාජ විද්‍යාත්මක සමීක්ෂණයක් නැතිව මත්පැන් ව්‍යාප්ත කරන්න තීන්දුවක් ගෙන තිබෙනවා. කාබනික පොහොර දේශපාලන තීන්දුවෙන් වන්දි ගෙවන්න වුණේ රටේ ජනතාවට. එවගේම ආණඩුවේ ආදායම් වැඩි කරගන්න දැන් හඳුන්වා දී තිබෙන මත්පැන් බලපත්‍ර ක්‍රමය රනිල් වික්‍රමසිංහගේ අත්සනින්ම ජූලි 28වැනිදා හඳුන්වා දීලා. මෙයින් සිදුවන සමාජයීය අර්බුද පිළිබඳව, පවුලට සිදුවන බලපෑම ගැන කිසිදු තැකීමක් ඔහුට නැහැ. රනිල් වික්‍රමසිංහගේ මහ බැංකුවේ හොරු වගේම අරක්කු නිෂ්පාදන යාළුවන්ගේ බලපත්‍ර තහනම ඉවත් කර තිබෙනවා. මේ මගින් අපේ රටේ දරුවන්ට වන හානිය කළු කෝට් ආණඩුව කිසිසේත් සලන්නේ නැහැ. මේ නිසා අපේ රටේ පාලනය වෙනස් කිරීමේ අරගලයට සූදානම් වෙන්න කියලා අපේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව මේ හඬට කන් නොදෙනවානම් ආණ්ඩුව ගෙදර යවන අරගලයට කාන්තාවන් පෙරමුණ ගන්නා බව අවධාරණය කරනවා.
රටේ පාලකයන් අපේ සුන්දර ජීවිත නැති කරලා

මේ අවස්ථාවේ මා ප්‍රියාදර ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ දවසින් දවස කතා කරන, වැඩිවන ප්‍රශ්නවලින් අපේ ජීවිතයේ සුන්දරත්වය නැතිවී තිබෙන බවයි. වයස් කාලය, ළමා කාලය සහ තරුණ කාලය කියලා ජීවිතයේ සුන්දරත්වය වෙනස් කරන්න බැහැ. හැම මනුෂ්‍යයකුගේම ජීවිතය සුන්දර වෙන්න ඕනෑ. ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ සුන්දර ජීවිතයට මොකද වුණේ? ළමා කාලයේදී යුද්ධයත් එක්ක ජීවත් වෙන්න වුණා. ඊට පස්සේ ජාතිවාදී බෙදීමක් ආවා. ඊට පස්සේ කොරෝනා සමග ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? රටේ පාලකයන් ගන්නා විකෘති ආර්ථික, දේශපාලන, සමාජ තීන්දු, තීරණ නිසා විවිධාකාරයේ සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම අධි උද්ධමනයත් සමග සටන් කරන්න සිදුවී තිබෙනවා. එතකොට අපේ සුන්දර ජීවිතය කෝ? කවුද ඒක නැති කළේ ? ඒක නැති කළේ රටේ පාලකයන්. බලය ගත්තේ සාධාරණ පාලනයක් ගේනවා කියලා. 56%ක් කාන්තාවන් ඡන්දය පාවිච්චි කරලා පාලකයන් පත්කර ගත්තේ තමන්ගේ පවුල සමග සුන්දර ජීවිතයක් විඳින්න. නමුත් ඒ සියලු දෙනාට ඒ සුන්දරත්වය විඳින්න බැරිවී තිබෙනවා. අරගලය කරන තරුණ ළමයින්ව කුදලාගෙන යනවා. බරපතළ ජීවන අරගලයක යෙදී සිටින කාන්තාවන්ට බැටකමින් හූල්ලමින් දවස ගෙවන්න සිදුවී තිබෙනවා. මේ වගේ පාලනයක් අපට මොකටද? අපි හැමෝම එකතු වී නීතියේ සාධාරණයෙන් යුක්තව, සමාජ සාධාරණත්වයෙන් යුක්තව අපේ කැමැත්ත අනුව ජීවත් වෙන්න ඕනෑ. මේ ආණ්ඩුවට ඡන්දය දුන් හැම කාන්තාවකගේම බලාපොරොත්තුව වුණේ ඒකයි. ඒ නිසා මා දයාබර සහෝදරියන් ගැඹුරින් හිතන්න කියලා ආරාධනා කරනවා.
රැකියාවක් කරන කාන්තාවක් ලබා ගන්නා වැටුපෙන් බස් ගාස්තු ගෙවීම, කෑම වේල සකස්කර ගැනීම, ඇඳුම් පැළඳුම් ලබා ගැනීම කරගත නොහැකියි. අපිට ඉතුරු වෙන්නේ මොනවාද? කුඩා කාලයේ ඉගෙන ගත් දරිද්‍රතාවයේ විෂම චක්‍රයට නැවත නැවත ගොදුරු වෙනවා. මෙයින් මිදෙන්න පොඩි කැපකිරීමක් කරමු. ඒ සඳහා ඔබ වෙනස් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වෙනසේ ප්‍රතිඵල ඔබේ දරුවන්ටත් ලබා දෙන්න. ඔබේ ජීවිතයත් සුන්දර කර ගන්න. මේ රට සුන්දරයි. අපේ ජීවිත සුන්දර කර ගන්න අවස්ථාවන් අවශ්‍යයි. ආණ්ඩුවල බලයේ ඉන්න අය තමන්ගේ සහ තමන්ගේ පවුල්වල ගජ මිත්‍රයන්ගේ වාසිය තකා දේශපාලන තීන්දු-තීරණ අරගෙන රටේ සුවහසක් ජනතාව විඳවීමට හෙළා තිබෙනවා නම් මෙවැනි පාලනයක් අපට අවශ්‍යද? ආහාරමය අනාරක්ෂිත බව, සෞඛ්‍යමය අනාරක්ෂිත බව වගේම කුඩා ළමුන්, ගර්භණී මව්වරුන්, වයස්ගත උදවිය පමණක් නොවෙයි තරුණයින් පවා අනාරක්ෂිත බවට පත්වී තිබෙනවා. මෙවැනි ජීවිතයක් නොවෙයි ගෞරවනීය මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් දේශපාලන තීන්දු-තීරණ ගන්න අපි කල්පනා කළ යුතුයි. හැමදාමත් මේ විදිහට ජීවත් වෙනවාද, නැත්නම් අරගල කරලා අයිතිවාසිකම් ලබාගෙන සියලු ජනතාව මේ තත්වයෙන් මුදා ගන්නවාද? සියලුම ආගම් මධ්‍යස්ථානවලින් මේ ප්රශ්නය මතු කරන්න ඕනෑ කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා සියලු පූජකතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ට මනුෂ්‍යත්වය නැති තත්වයක් උදා වේවි.
මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ආර්. ක්‍රිෂ්නා සහෝදරිය දෙමළ බසින් අදහස් දැක්වූවාය.
මෙම අවස්ථාවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ විධායක සභික ප්‍රභාෂිනී වික්‍රමසිංහ මහත්මියද සහභාගි වූවාය.