ජනාධිපතිවරයා විසින් හැත්තෑහතර වැනි නිදහස් දින උලෙළේ දී රට හමුවේ පවතින ප්‍රශ්න විසැඳීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ ද, එවැනි කිසිදු සඳහනක් නොකළ අතර, ධනාත්මක චින්තනයට අනුව ජනතාව කටයුතු කළ යුතු බව සඳහන් කිරීම ප්‍රශ්න විසඳන ආකාරයක් නොවන බොළඳ කතාවක් යැයි අවධාරණය කෙරේ.
මේ බව අවධාරණය කරනු ලැබුවේ ජාතික ජන බලවේගය අද (6දා) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය. මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ විධායක සභිකයන් වන ආචාර්ය අනුර කරුණාතිලක සහ මහින්ද රත්නායක යන දෙදෙනා ද එක් වී සිටියහ.
මාධ්‍ය හමුව පවත්වමින් මන්ත්‍රීවරිය වැඩි දුරටත් සඳහන් කළේ ඉතිහාසයේ කවරදාවත් නොතිබූ තරමට මෙරට ප්‍රශ්න උග්‍ර වී ඇති බවයි. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන් ම මහ බැංකුවේ අධිපතිවරයා ද එකිනෙකාට වෙනස් ප්‍රකාශ කරමින්, වගකීම් විරහිතව ක්‍රියා කරන බවට චෝදනා කළා ය.
විශේෂයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගිය සති අන්තයේ පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, මෙරට කළු ආර්ථිකය සමඟ රජය ගනුදෙනු කළ බවත්, එමෙන් ම යුද්ධය පැවැති සමයේ දීත් උතුරු කොරියාවෙන් ආයුධ මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් කළු ආර්ථිකයෙන් ලබා ගත් බවත් සඳහන් කිරීම අතිශය බරපතළ බව පෙන්වා දුන්නා ය. ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පනවා තිබෙන රටක් සමඟ යුද අවි ගනුදෙනු සිදු කළ බව ප්‍රකාශ කිරීම මුදල් ඇමැතිවරයාගේ වගකීම් විරහිත අතිශය රටට හානිකර ප්‍රකාශයක් බව ද මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.