Home News Sinhala “ජාතික ජන බලවේගය මීළඟට බලය ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා”

“ජාතික ජන බලවේගය මීළඟට බලය ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා”

by Ravinath Wijesekara

මීළඟ බල හුවමාරුවේදී බලය අත්පත් කර ගැනීමට වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මේ මාවතේ අපි ගමන් කරමින් යනකොට බොහෝ අය කලබල වී තිබෙනවා. සමහර අය ඉංග්‍රීසි පුවත්පත්වල විවිධ දේ ලියන්න පටන්ගෙන තිබෙනවා. විශාල දේශපාලන විචාරකයන් නිර්මාණය වී තිබෙනවා. ඒ අය බලයට ආවොත් මෙහෙම වෙයි කියමින් භීතිකාවක් මවනවා. ඔක්කොම කලබල වෙලා. සමහර අය උපදේශාත්මක ස්වාභාවයෙන් ලියනවා. අපි කිසිසේත් කලබල වෙලා නෑ. අපට ඉතා හොඳ සංයමයක්, වැඩ සැලැස්මක්, හොඳ ස්ථාවරයක්, වේගවත් වැඩ රටාවක් තිබෙනවා. ඒවා අපි කිසිසේත් හකුළන්නේ නෑ.

ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක අපි වැඩ කරමින් සිටිනවා. එක ක්ෂේත්‍රයක් නම් ජාතික ජන බලවේගය අතට ඊළඟ බල හුවමාරුවේදී බලය මාරු වීම අත්පත් කරගැනීම සඳහා වූ වැඩසටහන. දෙවැන්න බලය ගැනීමෙන් පසුව මේ රට ගොඩනැඟීම සඳහා වූ වැඩසටහන. එකිනෙකට නොදෙවෙනි පරිදි අපි මේ ක්ෂේත්‍ර දෙකට සමාන බර තබමින්, පරෙස්සමෙන්, සංයමයෙන්, ක්‍රමානුකූලව ස්ථාවර ලෙස වැඩ කරමින් සිටිනවා. මෙසේ වෙද්දී සමහර අය කලබල වෙනවා. ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පරිවර්තනය කිරීමට සැලැස්මක් සකස් කර තිබෙනවා. අපි මඳක් ප්‍රමාද වූයේ කොවිඩ් වසංගත තත්ත්වය අප එකිනෙකාට එක් රැස් වෙන්න යම් කාලයක් බාධා කර තිබූ නිසයි.

පසුගිය දෙසැම්බර් මස 20 වැනිදා ජාතික නියෝජිත සමුළුව පවත්වා ජාතික විධායක සභාව හඳුන්වා දුන්නා. මේ රට ගොඩනැඟීමට කඩිනම් වැඩපිළිවෙළක් එළිදැක්වූවා. සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් විධායක සභාවක් නම් කර එම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන, එහි වගකීම භාර ගන්නා පිරිසක් පත් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අපි මේ පවත්වන්නේ එම වැඩපිළිවෙළේ පළමු දිස්ත්‍රික් සභාව. මේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා දින නියම කරමින් සැලසුමක් සකස් කර තිබෙනවා. අපට කතා කරන අයගේ හුඟක් අදහස්වල තිබෙන්නේ ‘සහෝදරයා ඔයාලා උඩින් ඉන්න බව පේනවා. ජනමාධ්‍යවල දකිනවා. ඒත් ගමේ කවුරුත් නෑනෙ’ වගේ අදහස්. හැබැයි දේශපාලනය කියන්නේ පුරවැසියා සමඟ ගොඩනඟා ගන්නා සහසම්බන්ධය. ගමේ කෙනාට තමාට මුණගැසෙන පක්ෂ නියෝජිතයෙක් පෙනිය යුතුයි. පක්ෂයට තිබෙන චෝදනාව, යෝජනාව තමන්ගේ නියෝජිතයාට ඉදිරිපත් කරන්න අවස්ථාව තිබිය යුතුයි. එසේ නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට යන්නේ නෑ. අපේ ග්‍රාමීය මට්ටමින් ඇති සහසම්බන්ධය දුබලයි. අපි එය පිළි ගත යුතුයි. සම්බන්ධ වෙන්න අවශ්‍යතාව තිබෙනවා. නමුත් සම්බන්ධ වෙන ස්ථානයක් නෑ.”

– නුවන් හෙට්ටිආරච්චි (දිනමිණ)

You may also like

Leave a Comment