Home News Sinhala ණය උගුලෙන් ගැලවිය නොහැකි ද?

ණය උගුලෙන් ගැලවිය නොහැකි ද?

by Jayakody PSK

අපේක්ෂා භංගවූ පොදුජන පෙරමුණේ අනුගාමිකයන් තුළ අපේක්ෂා දැල්වීම පිණිස ජනාධිපතිවරයා ප්‍රමුඛ පවුලේ ආණ්ඩුව මේ දිනවල අසාර්ථක උත්සහයක නිරත වී සිටිති. සිදුවීමට නියමිත බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය මෙම අසාර්ථක උත්සහයේ තවත් නාටකයකි. බැසිල් රාජපක්ෂ යනු පතුලක් නොපෙනෙන අගාධයකට රූටා යන ශ්‍රී ලංකාව එයින් මුදවා ගැනීමේ ගැලවුම්කරුවා ලෙස රූපාන්තරණය කිරීමට ද රාජපක්ෂ හිතවාදි මාධ්‍යකරුවෝ මහන්සි ගනිති. පුද්ගල කේන්ද්‍රීය ගැලවුම්කරුවෙකු වෙනුවට රට බංකොලොත්වීම කල්දමා ගතහැකි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිම හැර බැසිල් රාජපක්ෂට ද අන් සරණක් නැත. පුන්‍ය ආයතනයක් නොවන මූල්‍ය අරමුදල ගෙවුම්ශේෂ අර්බුදයට මුහුණපා සිටින සාමාජික රටවලට අඩුපොලියට ණය දෙන බව ප්‍රකට ය. එහෙත් ප්‍රශ්නය මතුවන්නේ වෙනත් වංගුවකින් රට බංකොලොත් කරන ඒ ණය සමග එන කොන්දේසි සම්බන්ධයෙනි.

නවසිය අසූ ගණන්වල ණය අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස ලතින් ඇමෙරිකාවේ සංවර්ධනය වෙමින් පැවති රටවල් අනුගමනය කළේ ද මූල්‍ය අරමුදලේ ඔය ප්‍රතිපත්ති මාලාවය. සංවර්ධන උපාය මාර්ගයක් ලෙස “වොෂින්ටන් සම්මුතිය” යටතේ ජනතාවට ලබාදෙන සහන කප්පාදුව හා රජයේ දේපොල විකිණීම ඉහත කී කොන්දේසිවලට ඇතුළත් වේ. රටේ විශේෂිත ගැටළු මොනවා උනත්, ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ලතින් ඇමෙරිකාවේ භාවිතයට දැමූ එම උපාය මාර්ගය අසාර්ථක වූ බව කවුරුත් දනිති. මැක්සිකෝව හා ආර්ජන්ටිනාව බංකොලොත් උනේ ද ඔය සංවර්ධන උපාය මාර්ගය හේතුවෙනි. චීනයට රට විකුණන ඊනියා දේශප්‍රේමි රාජපක්ෂ පවුල් පාලනයට පාර කැපෙන්නේ ද මූල්‍ය අරමුදලේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වූ බටහිර අධිරාජ්‍යවාදි වැඩපිලිවෙල නිසා බව සිහිපත් කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමගි ජනබලවේගය ද එකගවන මූල්‍ය අරමුදලේ සරණ හැර බැසිල් රාජපක්ෂට කළ හැකි ප්‍රාතිහාර්යයක් නැත. ඒ නිසා මූල්‍ය අරමුදලේ පිහිටෙන් රට ගොඩයෑම නොව රට බංකොලොත්වීම ඉතා කෙටිකාලයකට නවත්වා ගැනීම හැර, ඒ මගින් රට සංවර්ධනය නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළි ය. පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහාමැතිවරණයේ දී ජනතාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව කරන්නේ කුමක් ද යන්න තීරණය කිරීම බලයේ සිටින ආණ්ඩුවේ තීරණයකි.

වමට නැඹුරුවන ලතින් ඇමෙරිකාව

1973දි දී නව ලිබරල්වාදය ප්‍රථම වරට අත්හදා බැලූ චිලී රටේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා ජනමත විචාරණක් පැවැත්වී ය. එහි දී මිලිටරි ජුන්ටාවෙන් මිදුණු ප්‍රජාතන්ත්‍රවාදි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනයා අනුමැතිය දුන් හ. එපමණක් ද නොව පැවති පලාත් පාලන ඡන්දයේ දී චිලියේ අගනුවර වූ සන්තියාගෝ නගරසභාව ජයගත්තේ ද කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂිකාව ය. පසුගිය මාසයේ දී පේරූ රටේ පැවති ජනාධිපතිවරණයේ දි එරට ජනතාව දක්ෂිනාංශික ඒකාධිපති ෆුජිමොරිගේ දියණිය අන්ත පරාජයට පත්කරමින් ගුරුවරයෙකු වූ සමාජවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පේඩ්රෝ කැස්ටිලෝ ජනාධිපති ලෙස පත්කළ හ. දක්ෂිණාංශික බුසීල ජනාධිපති බොල්සනාරෝට එරෙහිව ජනතාව දැනටමත් විදීබැස තිබේ. ඉදිරියේ දි පැවැත්විමට නියමිත මැතිවරණවල දී ලතින් ඇමෙරිකාවේ බොහොමයක් රටවල වාමාංශික පක්ෂවල ජයග්‍රහනය වැළැක්විය නොහැකිවනු ඇත.

යුරෝප හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය

පොදුවේ ගත් කළ පසුබැසීම් ඇති නමුත් 2015 සිටම යුරෝපයේ වර්ධනය වමට අවාසිදායක නොවී ය. නව ලිබරල්වාදයෙන් අපේක්ෂා භංග වූ ජනතාව අන්ත දක්ෂිණාංශයට ගමන් කළත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව වමට ද ගමන් කළ හ. 2004 දී 3%ක ඡන්දයක් ලබාගත් ග්‍රීසියේ වාමාංශික සිරිසා පක්ෂය 2014 දී ඡන්ද 13 ලක්ෂයක් ද, 2015 දී රාජය බලය ලබාගැනීමට ද සමත්වි ය. බලයට පත්වීමට නොහැකි වූවත් ස්පාඤ්ඤයේ වාමාංශික පොඩෙමෝස් පක්ෂයද පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස විශාල මැදිහත්මක් කරති.

සිරිසා පක්ෂයේ ප්‍රතිපත්ති එම ආණ්ඩුව විසින් පාවාදෙන ලද නමුත් එම ජයග්‍රහනයේ අරමුණු ආරක්ෂා කිරීමට පමණක් නොව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්ට එරෙහිව යුරෝපය පුරා වාමාංශිකයෝ පෙළගැසෙති. 2025 ඉලක්කය සහිතව ගොඩනගා ඇති ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරය මෙහි දි කැපි පෙනේ. සිරිසා පක්ෂයේ පවාදීමට එරෙහිව, ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය යානිස් වරෝෆාකිස් ෘෑසඵ 25 වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකි. ග්‍රීක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ද වන යානිස් ප්‍රකට මාක්ස්වාදි දේශපාලන ආර්ථික විද්‍යඥයෙකු විම ද අතිරේක කරුණකි. ආචාර්ය යානිස් සිරිසා ආණ්ඩුවේ එවකට මුදල් ඇමතිවරයා ලෙස යුරෝපා මූල්‍ය කොමිසම (යුරෝපීය යූනියන්එක, යුරෝපීය මධ්‍යම බැංකුව හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හෙවත් ට්‍රොයිකාව) සමග කළ සාකච්ඡාව ණය බරින් මිරිකි සිටින අප වැනි රටවලට ද ඉතා වැදගත් ය.

බංකොළොත් වූ ග්‍රීසියේ නව ආණ්ඩුවට ද යුරෝපා මූල්‍ය කොමිසම ණය දෙන්න එකග වුයේ පරාජයකරන ලද රජයට ණයදුන් කොන්දේසිවලට අනුවම එනම් කප්පාදු වටයක් සමග ය. මුදල් ඇමති යානිස් එයට එකගවුයේ නැත. නව ජනවරමට අනුව අර කියන කොන්දේසි පිළිබඳ නව එකගතාවයකට පැමිණෙන ලෙසට මුදල් ඇමතිවරයා කොමිසමට යෝජනා කළේ ය. මුදල් කොමිසම එයට එකග වුයේ නැත. කොන්දේසි සමග ණය මුදල ගැනීම හා නොගැනීම සම්බන්ධයෙන් පැවති ජනමත චිචාරණයේ දී ජනතාවගෙන් 60% කොන්දේසිය මත ණය මුදල් නොගතයුතු බව ප්‍රකාශ කළ හ. ජනමත විමසුමෙන් පසු මූල්‍ය කොමිසම සමග සාකච්ඡා කළ මුදල් ඇමති යානිස්ට ඔවුන් පැවසුවේ ශතයකවත් දිය නොහැකි බවයි. ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රටක ජනතාව ඉල්ලා සිටිය දී මූල්‍ය බලය හිමි සුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඡන්ද පවත් වන්නේ කුමකට ද යන්න මුදල් ඇමති යානිස් මෙහිදි ප්‍රශ්න කළේ ය. තනි පක්ෂ ක්‍රමයක් තුළ චීනය තම ප්‍රතිපත්තිය ක්‍රියාතමක කිරිම හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බහුවිධ පක්ෂ ක්‍රමය අතර ඇති වෙනස කුමක් ද යන්න ඇසීමට ද යානිස් අමතක කළේ නැත. කෙසේ නමුත් අවසානයේ අගමැති ඇලෙක්සිස් සිප්රාස් ජනතාව පවා දී පැකේජය සමග ණය ගන්නට එකගවීම තුළ මුදල් ඇමති යානිස් මුදල් ඇමතිකමෙන් පමණක් නොව ආණ්ඩුවෙන් ද ඉල්ලා අස්විය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ පසුව පැවති මැතිවරණයෙන් ජනතාව පාවාදුන් සිරිසා පක්ෂය පරාජයට පත්විම ය. ආර්ථිකය වෙනස් කරන්නට නොහැකි එහෙත් මැතිවරණ වලින් බලය පමණක් මාරුකරන ලිබරල් ප්‍රජාතනත්‍රවාදයේ සීමාව යුරෝපය තුළ මේ වනවිට හෙලිදරව් වෙමින් පවති.

උදාවන ලෝකය

රට කොළනියක් කරන චීන ප්‍රාග් ධනයට මෙන්ම මූල්‍ය අරමුදල මෙහෙයවන නව ලිබරල්වාදයට ද එරෙහි සංවර්ධන මූලෝපාය කුමක් ද යන්න ලබන කලාපයේ සාකච්ඡා කෙරේ. මෙහිදි අපගේ පාලනයෙන් පිට ඇති ජාත්‍යන්තර තලයේ වේගයෙන් සිදුවෙමින් පවතින වෙනස්කම් ද එතනදි අපි සැළකිල්ලට ගතයුතු ය. එම වෙනස්වන ලෝක තත්ත්වය අපිට පමණක් නොව වේගයෙන් පල්ලම් බසින, බටහිර අධිරාජ්‍යවාදි ණය උගුලට හිරවුනු රටවලට බොහෝවිට වාසිදායක වෙන්නට පුළුවන. අපගේ මැනීම අනුව ගොදුරු බිම් බෙදාගැනීමට බටහිර අධිරාජ්‍යවාදය සමග තරගවදින නැගී එන ධනවාදි චීනය අද ඉදිරියට පැමිණ ඇතිබව කවුරුත් දනිති. නව සංවර්ධන උපාය මාර්ගය භාවිතයට යෙදිය යුතු වන්නේ උක්ත බලකඳවුරු දෙකේ උවමනාවන්ට එරෙහිව ය. සෝවියට් විප්ලවය ඉදිරියට එන්නේ ලෝකය බෙදාගැනීමට අධිරාජ්‍යවාදීන් සංඩු සරුවල් කරගත් 1 වෙනි ලෝක යුද්ධය මධ්‍යයේ දී ය. නොබැඳි ව්‍යාපාරය මතුවන්නේ ද සෝවියට් ඇමෙරිකන් සීතල යුද්ධය මැදිනි. චීන අමෙරිකන් සීතල යුද්ධය මැද අපේ මාවත විවෘතවන බවට වන සාධක ඕනෑතරම් ඇත.

ඇමෙරිකානු ජනතාව පත්කළ නව ජනපති ජො බයිඩන් පසුගිය අප්‍රේල් 1වෙනිදා තම බුද්ධිමණ්ඩලය මෙන්ම විදේශ සබඳතා කවුන්සලය පත්කළේ ය. ඇමෙරිකාව මුහුණු දි සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස සලකන්නේ දේශගුණ විපර්යාශය හා චීනයේ නැගීම ය. ජාත්‍යාන්තර ගණුදෙනුවලදි සිදුවන යුවාන් ඩිජිටෙල් හුවමාරුවලින් පෙනී යන්නේ ද ඇමෙරිකානු ඩොලරයේ හෙජමනියට එරෙහිව ද චීනය තරගයක් දිමට සූදානම්වන බව මිස අන්යමක් නොවේ. බලයක් ලෙස සමස්ත ලෝකයම ණය බුබුලක පවත්වාගෙන යන බටහිර අධිරාජ්‍යවාදය අභ්‍යන්තරයෙන් හිස් බව මොනවාට පැහැදිළි වෙමින් පවතී. 21වෙනි ශතවර්ශයේ දෙවැනි කාර්තුව ආරම්භවිමට නියමිතව ඇත්තේ අලුත්ම ගෝලිය වටපිටාවක ය. ණය උගුලක හිරකර ඇති අඩුදියුණු ලෝකය, ගත් ණය ගෙවන්නට නිමක් නැතිව තව තවත් ණය ගන්නවා ද?, ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලනවා ද? නැත්නම් ණය නොගෙවා ඉන්නවා ද? යන්න තීරණය වන්නේ ජාත්‍යන්තර තලයේ සිදුවන මේ වෙනස්විම් වලට අනුව ය. ව්‍යවස්ථාවට අනුව නම් අප රටේ ජනාධිපති රාජපක්ෂගේ පාලනය අවසන්විමට නියමිතව තිබෙන්නේ 2025 දී ය. 21වෙනි ශතවර්ෂයේ දෙවැනි කාර්තුවේ දී අපි කටයුතු කරන්නේ එදාට පවතින ජාත්‍යන්තර තත්ත්වය හා ඉහත කී දෙපාර්ශවයට එරෙහිව තමන්ගේම ගමනකට ජනතාව දක්වන සූදානම හා අධිෂ්ඨානයට අනුව ය.



මහින්ද රත්නායක

මාලිමා ඊ සඟරාවෙනි

You may also like

Leave a Comment