Home News Sinhala “නිසි වැඩපිළිවෙළකට මිස විකට චරිතවලට කොවිඩ් මඬින්න බෑ”

“නිසි වැඩපිළිවෙළකට මිස විකට චරිතවලට කොවිඩ් මඬින්න බෑ”

by Jayakody PSK

ආණ්ඩුව වටේත් කොවිඩ් මර්දන කමිටුවලත් සිටින්නේ විකට චරිත බවත් නිසි වැඩපිළිවෙළක් තිබේ නම් කොවිඩ් මර්දනය කළ හැකි බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.එමෙන්ම කොවිඩ් පාලනයට ආණ්ඩුවට ටාර්ගට් එකක් හෝ වැඩපිළිවෙළක් නොමැති අතර ආණ්ඩුව ඉදිරිපත් කරපු වැඩපිළිවෙළවල් විවිධ කමිටු සියල්ල අද වන විට අසමත් වී ඇති අතර ආණ්ඩුවේ නොහැකියාව මකාගැනීමට නිලධාරීන් මාරු කරමින් ඔවුන්ට චෝදනා කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානය විසින් පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර වැඩිදුරටත් පළ කළ අදහස් මෙසේය.සංචරණ සීමා පනවලා මාසයක් පමණ වෙනවා. එහෙත් මේ වෙද්දී රෝගීන් ප්‍රමාණය හෝ මරණ සංඛ්‍යාව අඩුවෙලා නැහැ. ඒ වගේම දත්ත පිළිබඳ විශාල අවිශ්වාසයක් තිබෙනවා. කොවිඩ් සමඟ වසර දෙකක් වෙන්න එනවා. රෝග බිය මරණ බිය ඇතිවෙලා. බඩු මිල දරාගන්න බැහැ. ගොවියා ධීවරයා අසරණ වෙලා. පරිසරය සුරැකීමට වැඩපිළිවෙළක් නැහැ. ඉන්ධන මිල වැඩිවෙලා. මේ හැමදෙයින් ජනතාව පීඩාවට පත්වෙලා. ඒ අතර මේ කොවිඩ් වසංගතයේ නිමාවක් දකින්නේ කවදද යන්න ගැන ජනතාවට නිශ්චිත අදහසක් නැහැ. ඒ අතර අනෙක් පැත්තෙන් විවිධ අණපනත් සම්මත කරගනිමින් රට විකුණමින් යනවා. රට මිලිටරිකරණය කරමින් යනවා. අපි එදා ඉඳන්ම කිව්වා කොවිඩ් පාලනයට නිසි වැඩපිළිවෙළක් නැහැ කියලා. අදත් නැහැ. කොවිඩ් පාලනයට ආණ්ඩුවට ටාර්ගට් එකක් නැහැ. වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කරපු වැඩපිළිවෙළවල් විවිධ කමිටු සියල්ල අසමත් වෙලා. ඒ අතර ආණ්ඩුවේ නොහැකියාව මකාගන්න නිලධාරීන්ට චෝදනා කරනවා. නිලධාරීන් මාරු කරනවා. මේ වනවිටත් වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මාරු කරලා. අපි හිතනවා වසංගත රෝග විද්‍යා අංශය තීරණ ගන්නේ සාමූහිකව කියලා. කොවිඩ්වලට නායකත්වය දිය යුත්තේ වසංගත රෝග විද්‍යා අංශයයි. අඩුපාඩු මඟහරවා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. නිලධාරීන් පිට වරද පටවලා ආණ්ඩුවේ නොහැකියාව වසාගන්න හදන උත්සාහය අපි හෙළාදකිනවා. නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරනවා නම් පළමුවැනියට මාරු කළයුත්තේ ශවේන්ද්‍ර සිල්වායි. මොකද ඔහු සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. එතනම ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අද මේ ආණ්ඩුව වටේ, කොවිඩ් මර්දන බළකාය වටේ ඉන්නේ ෆ්‍රෙඩී සිල්වා විතරක් නෙවෙයි. සැමුවෙල්, බර්ටි, ඇනෙස්ලි වගේ මේ රටේ හිටපු ප්‍රකට විකට නළුවන්ගේ චරිත රඟපාන අයයි. විවිධ බැටලු හම්පොරවගත් වෘකයන් ඉන්නවා. ඔවුන් ගැන තමයි ආණ්ඩුව සැලකිල්ලට ලක් කළ යුත්තේ. කොවිඩ් පාලනය හැමෝටම කරන්න බැහැ. මේ ආණ්ඩුවට කොවිඩ් මර්දනය පිළිබඳ ටාර්ගට් එකක් වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා අපේ රටේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. ජාතික මට්ටමින් පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එවිට තමයි නිවැරදි දත්ත ලබාගත හැක්කේ. දැන් තිබෙන සිස්ටම් සියල්ල ෆේල් වෙලා. නිවැරදි වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපිට කොවිඩ් මර්දනය කරන්න පුළුවන්.ජාතික විද්වත් සංවිධානයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහකොවිඩ් වැනි වසංගතයක් පාලනය කිරීම ලෙහෙසි කාර්යයක් නෙවෙයි. එක් රෝගියෙක් නම් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ කිහිපදෙනෙක් සමඟ එම රෝගියා ගැන තීරණයක් ගන්න පුළුවන්. නමුත් වසංගතයක් වෙලාවේදී තීන්දු තීරණ ගත යුත්තේ සමාජයක් විධියටයි. රටක් විධියට තීන්දු තීරණ ගැනීමේදී එය වඩා විධිමත් විය යුතුයි. ඒ වගේම දැනුම, දත්ත තොරතුරු අවබෝධය අත්දැකීම් සියල්ල අවශ්‍යයි. ඊට මැදිහත් වෙන සියලු පුද්ගලයන්ට දැනුම, අවබෝධය, කුසලතාව මෙන්ම අත්දැකීම් තියෙන්න ඕනෑ. ගන්නා තීන්දු තීරණ විශාල පිරිසකගේ ජන ජීවිතයට බලපානවා. ඒ නිසා තීන්දු තීරණ ගන්නා අය එම තීන්දු පිළිබඳ වගකීම ගන්න ඕනෑ. අපිට පමණක් නෙවෙයි මුළු ලෝකයටම කොවිඩ් අභියෝගයක්. ඒ නිසා අපි ගන්නා තීරණ සත්‍ය කරුණු මත පදනම්ව ගන්න ඕනෑ. ඒ සඳහා නිවැරදි දත්ත තියෙන්න ඕනෑ. ඒ වගේම ගන්නා තීන්දු ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මාසයකට කලින් සංචරණ සීමා පනවනවා කියලා තීරණයක් ගත්තා. ඒ ගැන ජනතාව දැනගන්න ඕනෑ. පුද්ගලයකුට පවුලකට ඒ ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. එවිට තමයි රෝගය පාලනය කර ගත හැක්කේ. ඒ නිසා තීන්දු තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ජනතාවටත් ඒ තීරණ ගැන පූර්ණ අවබෝධයක් ලැබෙන්න ඕනෑ. ජනතාව එම තීරණවලට එකඟ වීමට පරිසරය ගොඩනඟන්න ඕනෑ. ආහාර පාන ලබාගැනීම ගැන, දරුවන්ගේ අධ්‍යාපනය ගැන ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සඳහා තමයි ආණ්ඩුවක් තියෙන්නේ. වසංගතය නිසා ඇති වෙන සියලු දේ වෙනුවෙන් කළමනාකරණයක් කරන්න තමයි රජයක් වුවමනා වන්නේ. නමුත් දැන් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ජනතාව තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරලා. පවුලේ පැවැත්මට එය බලපාලා තිබෙනවා. නොයෙකුත් කණ්ඩායම් මේ සඳහා විවිධ උපදෙස් ලබාදෙනවා. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, දේශපාලකයෝ සියල්ල උපදෙස් දෙනවා. මේ සියලු උපදෙස් ලබාගෙන නිවැරදි තීරණ ගන්නා විශේෂඥ කණ්ඩායමක් සිටිය යුතුයි. එම කණ්ඩායමේ වසංගත රෝග විශේෂඥයන්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු, සායනික අංශයේ වෛද්‍යවරු, සමාජ විද්‍යාඥයන්, චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන්, නීතිඥයෝ ආර්ථික විද්‍යාඥයෝ සිටිය යුතුයි. මේ සියලු දෙනාගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තමයි තීරණ ගත යුත්තේ. මේ වගේ වසංගත අවස්ථාවක සුළු අඩුපාඩු තිබිය හැකියි. නමුත් විශේෂඥ කණ්ඩායමක් විසින් ගන්නා තීන්දු තීරණ තමයි රට තුළ ක්‍රියාත්මක කළ යුත්තේ. එම කාර්ය තමයි රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුත්තේ. එසේ නැතිව මෙවැනි වසංගතයක් පාලනය කිරීම ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. ඒ වගේම දැන් සියලු තීන්දු ගන්නේ මධ්‍යගතවයි. නමුත් අපේ රටේ දිස්ත්‍රික්කවල විවිධ වෙනස්කම් තිබෙනවා. ජීවත්වෙන ජනතාවගේ තත්ත්වයන් වෙනස්. රෝහල් පහසුකම්, පොදු පහසුකම්, අධ්‍යාපනික පහසුකම්, මානව සම්පත් වෙනස්. එනිසා තීන්දු මධ්‍යගතව ගත්තත් ඒ ඒ දිස්ත්‍රික්කවලට බලපාන තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ විමධ්‍යගතවයි. ඒ ඒ ප්‍රදේශවල පරිපාලන නිලධාරීන්ට විශේෂඥයන්ට පහසු වෙන්නේ එවැනි ක්‍රමවේදයක් අනුවයි. කොළඹ ඉන්න අයට අම්පාර, මොනරාගල, වවුනියාව සිටින ජනයගේ හැසිරීම අවශ්‍යතා තේරෙනවාට වැඩිය ඒ ඒ ප්‍රදේශයේ කණ්ඩායම්වලට තමයි එය තේරුම් ගැනීම පහසු වන්නෙ. ඒ වගේම ගෝලීය වශයෙන් මේ වංසගතය ගැන විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අත්දැකීම් අපි ප්‍රයෝජනයට ගත යුතුයි. බොහෝ දෙනෙක් දන්නවා 2002, 2003 සාර්ස් කියලා වසංගතයක් පැතිරුණා. ඒ වසංගතය පිළිබඳ අත්දැකීම් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ රටවල් සමඟ බෙදාහදා ගත්තා. ඒ නිසා දැනටත් අපි දන්නවා මෙවැනි වසංගතයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. පළමුවැනි එක තමයි සියලු කරුණු සම්බන්ධයෙන් හොඳ සන්නිවේදනයක් අවශ්‍යයි. තොරතුරු මත පදනම් වෙලා ලබාගන්න දත්ත සියල්ල ජනතාව දැනගත යුතුයි. දේශපාලන සහ රාජ්‍ය මැදිහත්වීම ක්‍රමානුකූලව ලබාදිය යුතුයි. ඒ වගේම ජනතාව සහ මාධ්‍ය ලබාගන්නා කරුණු පිළිබඳව අධ්‍යයනය කළ හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. අනෙක් කරුණ වන්නේ සෞඛ්‍ය අංශ, ආහාර සුරක්ෂිතතාව, ප්‍රවාහනය වැනි දේවල් කළමනාකරණය කළ යුතුයි. දැනුම මත පදනම් වූ ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට අවධාරණය කළා. ඒ වගේම ගන්නා තීන්දු තීරණ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි. අනෙකුත් රටවල සහයෝගිතාව ලබාගෙන සාර්ථක වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මේ වසංගතය තුළත් චීනය, තායිවානය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මේ වසංගතය තුළ ඉගෙන ගත්තා. සාපේක්ෂව සාර්ථකව වසංගතය පාලනය කළා. නමුත් අපේ රටේ තවමත් වසංගතය පාලනය කරලා නැහැ. එයට හේතුව තීන්දු තීරණ ගැනීම විද්වත් කණ්ඩායමකට පවරා නැහැ. විද්වතුන්ට රජය ඇහුම්කන් දෙන බවක් පේන්නේ නැහැ. සාකච්ඡාවක් නැහැ. මේ කරුණු නිසා තමයි අපේ රටේ තවමත් දිනකට රෝගීන් 2500ක්, මරණ පනහක් පමණ වාර්තා වෙන්නේ. අපේ රට ප්‍රතිශක්තීකරණය සහ රෝග වැළැක්වීම පිළිබඳ ඉහළ ස්ථානයක තිබුණු රටක්. නමුත් කොවිඩ් නිසා අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් යනවා. එනිසා හැමදෙනාගේ සහාය ලබාගෙන නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ හර්ෂණ නානායක්කාරඅපේ රට සිස්ටම් ෆේල් වුණු රටක්. මීට පෙර සිස්ටම් ෆේල් කිව්වට ඇස්දෙකෙන් දැක නැහැ. දැන් ඒක දකිනවා. ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නැහැ. ඒ වගේම ජනතාවගේ සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු නැති අසමත් ආණ්ඩුවක් වෙලා. අපි පාවිච්චි කරන නිරෝධායන ආඥා පනත එක්දහස් අටසිය ගණන්වල එකක්. අඩුම තරමේ එය වෙනස් කරගෙන නැහැ තවම. එංගලන්තය වැනි රටවල් එම අණපනත් සංශෝධනය කර හදාගත්තා. අපි මොකක්ද කළේ. කොරෝනාව එනකොටම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දය තිබ්බා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති වහසිබස් දෙඩුවා. හරිහැටි තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඇඳිරිනීතිය නිවේදන දාලා පනවන්න පටන් ගත්තා. ගැසට් ගැහුවෙ නැහැ. ඒක නීතියට පටහැනියි. ඒ නිසා මේ රටේ විශාල අවිශ්වාසයක් ගොඩනැඟිලා තියෙනවා. එක රටක් එක නීතියක් කිව්වට වෙනස් දේවල් තමයි සිදුවෙන්නේ. අද කියන දේ හෙට වෙනස් වෙනවා. මිනිස්සු මරණ බියෙන්, බඩගින්නෙන් ඉන්නවා.ඇතැම් අවස්ථාවල අපි දැක්කා පොලියෙන් ඇවිත් නිරෝධායන නීති කඩ කළා කියලා ජනතාව කුදලගෙන යනවා. සමහරුන්ගේ ඔළුවේ කැරම්බෝඩ් තියලා. තවත් ප්‍රවෘත්ති වාර්තා වුණා මාස්ක් නැතිව ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තාට පසු මියගියා කියලා. පහුවදා ගෙදර ආවේ පෙට්ටියෙන්. මේ වගේ ම්ලේච්ඡ සමාජයක් බවට පත්වෙලා. මේවා සිදුවෙන්නේ හරි නීති පද්ධතියක් නැති නිසා. එනිසා මේ බලය පැවැරෙන්නේ අදාළ බලධාරියාට මිසක් පොලිසියට නෙවෙයි. රටටම නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. ප්‍රදේශයක් නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා. කොයිම වෙලාවකවත් පොලිසියට නිරෝධායන බලතල ලැබෙන්නේ නැහැ. නිරෝධායනය මිනිස්සුන්ට දඬුවම් දෙන්න පොලිසිය පාවිච්චි කරනවා. දඬුවම් දිය යුත්තේ උසාවියෙන්. ආසාදිත පුද්ගලයන් තමයි නිරෝධායන මධ්‍යස්ථානවලට යැවිය යුත්තේ.ඒ වගේම අපිට ලැබෙන දත්ත ගැන විශාල සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ නයි ගෙනල්ලා. ආණ්ඩුව බොරු කියලා ජනතාව රවට්ටනවා. ඒ වගේ ආණ්ඩුව හිතනවා කොරෝනාවත් බොරු කියලා රවට්ටන්න පුළුවන් කියලා. ලෝකයේ අනෙක් රටවල් වසංගතයට බෙහෙත් හොයද්දී අපේ රටේ මුට්ටි ගඟට දැම්මා. පැණි හදන්න යන්ත්‍ර බෙදුවා. ඇමැතිවරු පැණි ප්‍රමෝට් කළා. මිථ්‍යාව වැපුරුවා. ඒ ප්‍රතිඵලවලට තමයි අපි දැන් මුහුණ දෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුවේ නොහැකියාව නිලධාරීන් මත පටවලා ඔවුන් මාරු කරන්න උත්සාහ කරනවා. සෞඛ්‍ය බලාගන්න ඇමැතිවරු තුන්දෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා. එහෙම එකේ ආණ්ඩුව අපිට කියනවා කොරෝනාවලින් මැරෙන ගාණ හරියට ගණන් කර ගන්න බැහැ කියලා. නිවැරදි දත්ත සමාජයෙන් වසන්කරන්න දත්ත හංගනවා. බොරු දත්ත හදනවා. ඒ කියන බොරුවලට ඔවුන්ම රැවටුණාම තමයි මේ තත්ත්වයන් ඇතිවෙන්නේ. නිවැරදි දත්ත ආවා නම් ජනතාවට බරපතළකම තේරෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ජනතාව රට වටේ ඇවිද්දේ ඇයි. ආණ්ඩුව තොරතුරු තිබියදී ජනතාවට දුන්නේ නැහැ. කොරෝනා බලවත් වයිරසයක් රට තුළ තිබෙනවා කියලා ආණ්ඩුවට තොරතුරු තිබුණා. ඡන්දෙ ඉල්ලන වෙලාවේ පෝස්ටර් හැම ලයිට් කණුවකම ගහනවා. නමුත් මේ වෙලාවේ ජනතාව දැනුවත් කරන්න, මෙහි බරපතළකම කියාදෙන්න ගත්ත පියවර මොකක්ද? තොරතුරු නොලැබීම නිසා ජනතාව බරපතළකම තේරුම් නොගැනීම හේතුවෙන් වසංගතය තවත් බරපතළ වෙන්න පුළුවන්. පෙට්රල් මිල වැඩි වුණා. කිරිපිටි මිල, ගෑස් මිල වැඩි වෙන්න නියමිතයි. ජනතාවට බඩු මිල දරාගන්න බැහැ. ස්වයං රැකියා කරන විශාල පිරිසකට තමන්ගෙ රැකියාව කරගන්න විධියක් නැහැ. මේ විධියට ගියොත් රටේ ආර්ථිකයත්, සෞඛ්‍යත් ගොඩගන්න බැරි වෙනවා. ඒ හැම දෙයක්ම තිබියදී මේ ආණ්ඩුවේ මානව හිමිකම් ආරක්ෂා නොකිරීම නිසා ජී.එස්.පී. සහනයත් නැති වෙන්න යනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අපේ රට විනාශ මුඛයට ඇද දමමින් යනවා. එන්නත්කරණයේදී ආණ්ඩුව සම්පූර්ණයෙන් අනාගත්තා. විද්‍යාත්මක වැඩපිළිවෙළක් නැහැ. මරණ සංඛ්‍යාව අඩු කරගන්න හෝ ආර්ථිකය ආරක්ෂා කරන්න නෙවෙයි එන්නත්කරණය යොදාගත්තේ. කිසිදු විද්‍යාත්මක පදනම් නැතිව ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගහන්න පටන් ගත්තා. කොළඹට ටිකයි, ගම්පහට ටිකයි. ඇමැති ඉල්ලුවොත් ඇමැතිගේ ගමට ටිකයි. මෙහෙම ආර්ථික අස්ථාවරත්වය හෝ සෞඛ්‍ය අස්ථාවරත්වය අවසන් කරන්න බැහැ. ඒනිසා අපි ජනාධිපතිට කියනවා ඔබතුමාට වසර පහකට රට භාරදුන්නා. කරුණාකරලා රට උකස් නොතියා ආපහු රට ජනතාවට භාරදෙන්න. රටේ සම්පත් විකුණන්න එපා. රට විනාශ කරන්න එපා. අපේ රට අගාධයට ඇද දාපු නායකයෙක් ලෙස ඉතිහාසගත වෙන්න එපා. ඒ වගේම ජනතාවට කියනවා මේ රට බේරගන්න පෙළගැහෙන්න කියලා. – අනුරාධා හේරත් (www.mawbima.lk)

You may also like

Leave a Comment