Home News Sinhala පරාක්‍රම සමුද්‍රයත් තුන් ඈවරයි

පරාක්‍රම සමුද්‍රයත් තුන් ඈවරයි

by Ravinath Wijesekara

මහා පරාක්‍රමබාහු රජු (1153 _1186) විසින්, ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය එකල හදුන්වන ලද්දේ ‘වාපිරාජ’ හෙවත් ‘සියලු වැව් අතර වැව් රජු’ නමිනි. මහාවංසය සදහන් කරන ආකාරයට මෙම වැව ඇතුළු වාරිකර්මාන්ත රාශියක් රජු විසින් ඉදිකරන ලද්දේ දුර්භික්ෂ භය නැතිකිරීම පිණිස (දුබ්භික්ඛ දුක්ඛ නාසත්ථං) ය.

රජුගේ එම උතුම් අරමුණ ඉටුකරමින්, සියවස් අටකටත් අධික කාලයක් මෙරට ජනතාවට ආහාර සපයා ගැනීමට ත් මිනිසුන්ගේ මෙන්ම සතා සීපාවාගේ පවස නිවා ගැනීමට ත් උපකාරී වු පරාක්‍රම සමුද්‍රය, අමනෝඥ පාලකයන්, බලධාරීන් සහ නිලධාරින් පිරිසකගේ උන්මත්තක අවශ්‍යතා සහ තීරණ නිසා බරපතල අනතුරකට මුහුණ පා තිබීම ඛෙිදජනක ය.

ශරීර සුවතා මංතීරු ඉදිකරන බව පවසමින් වැවේ රළපනාව ඉවත් කිරීමට මෙි වනවිටත් කටයුතු කර තිබේ . පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ වැව තම දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි. වාරිමාර්ග බලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට අනුව සංචාරක කර්මාන්තය ඇතුළු නව ආර්ථික ක්‍රමෝපායයන් සදහා මෙබඳු නව ප්‍රවේශයන් වුවමනා ය.

කෙසේ වුව ද මෙරට සංවර්ධන ව්‍යාපෘති නමින් සිදු වූ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පාරිසරික හානිය ගැන දන්නා ඕනෑම කෙනෙකුට පරාක්‍රම සමුද්‍රයට අත්විය හැකි ඉරණම පිළිබඳ අවබෝධ කරගැනීම අපහසු නොවේ. කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමෙන් අලුත් වටයකින් ආරම්භ වූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විනාශ කිරීම, අභයගිරිය, මිහින්තලය ආදී ස්ථාන හරහා ගොස් කොළඹ නගරය ආශ්‍රිත පැරණි ගොඩනැගිලි පසු කරමින් මහනුවර බෝගම්බර පැරණි ගොඩනැගිලි දක්වා ගමන් කර ඇත.

අනෙක් පසින් තිස්සමහාරාම වැව කිසිදු පුරාවිද්‍යා අනුමැතියකින් තොරව කැණීම් අරඹා, ජනතා විරෝධයක් එල්ල වූ පසු පුරාවිද්‍යා මුද්‍රාව කෙසේ හෝ ලබාගෙන කැණීම් කළ බව නොරහසකි. මෙම ක්‍රියාවලියේ ම දිගුවක් ලෙස පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඩෝසර් කොට ඇවිදින මංතීරු සෑදීමට ගත් තීරණය දැක්විය හැකිය. මේ සදහා අවශ්‍ය නිර්දේශ ලබාගෙන තිබේ ද? එම නිර්දේශ ලබාදුන්නේ කවුරුන් විසින් ද? ඔවුන්ට යම් බලපෑම් සිදු වූයේ ද? වැනි ගැටලු රැසක් රට හමුවේ පවතී.

මෙම ගැටලු වඩාත් සංකීර්ණ වන්නේ, 2010 – 2011 සමයේ ඔලුවිල් වරාය ඉදිකිරීමට බව පවසමින්, අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයේ, රජගල සහ පියංගල පුරාවිද්‍යා භූමිවලට ආසන්නව මහා පරිමාණ කළුගල් වැඩපොලක් ආරම්භ කළ අතර එය අතරමග නවතා දමන ලද්දේ මාස කීපයක් ගල් කැඩීමෙන් පසුව ය. ප්‍රදේශවාසීන්ට අනුව එම ස්ථානයේ සද්ධාතිස්ස රජුගේ වස්තුව නිදන් කොට තිබිණි. තිස්ස වැව සහ පරාක්‍රම සමුද්‍රය පිළිබඳව ද ඊට සමාන ජනප්‍රවාද පවතී. ඉතා අහඹු සිදුවීමක් වන්නේ ඔලුවිල් වරාය සෑදීමට කටයුතු කළ එවකට වරාය කටයුතු භාර බලධාරියා ⁣යටතේ මේ වනවිට වැව් පැවතීම යි.

කෙසේ වුව ද පරාක්‍රම සමුද්‍රය වැනි අතිශය සංවේදී ස්ථානයක සිදුකෙරෙන ඉදිකිරීමකට අදාළ නිර්දේශ ලබා දීමේදී, ඊට සම්බන්ධ නිලධාරින් තම වෘත්තිය වගකීම් නිසි ලෙස ඉටු කළේ ද යන්න ගැටලු සහගත ය. පුරාවිද්‍යා බලධාරීන් ද ‘අපට අයිති නෑ’ ප්‍රතිපත්තිය ම තවදුරටත් අනුගමනය කරනවා ද යන්න යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය.

දේවානි ජයතිලක වැනි කශේරුකා සහිත නිලධාරින්ගේ අගය වැඩි වැඩියෙන් රටට දැනෙන්නේ මෙබඳු අවස්ථාවලදී ය.
අහසින් වැටෙන වැසි ජලය ලෝකෝපකාරයෙන් තොරව මුහුදට ගලා යාම සිදු නොවිය යුතු බව තම තේමා පාඨය කරගත් මහා පරාක්‍රමබාහු රජුගේ ‘වාපි රාජයා’ වනසා ‘⁣කාගෙන් හෝ ලැබෙන එක් ඩොලරයක් වත් අත නොහරිමු’ මානසිකත්වයෙන් ⁣පෙළෙන පාලකයන් හෙට දවසේ දළදා මාළිගාව වුව ද විකුණා නොදමති’ යි කාට නම් කිව හැකි ද?

– මහාචාර්ය චන්දන අබයරත්න , සභාපති ජාතික විද්වත් සංවිධානය –

You may also like

Leave a Comment