ප්රතිගාමී රාජපක්ෂ පාලනය පලවා හැරීමෙන් හිස්ව තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පත්කර ගන්නා ලෙස ජන නියමු කලාකරුවෝ ඉල්ලා සිටිති.
අද (18) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජන නියමු කලාකරුවෝ සංවිධානය මෙම ඉල්ලීම කරනු ලැබීය. එම මාධ්‍ය හමුවට සහභාගී වූවන් පළ කළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.
තාවකාලික රජයේ ජනාධිපති හෝ අගමැති මගින් රාජපක්ෂ පාලනය පිළිබිඹු නොවිය යුතුයි

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි
ලංකාවේ දේශපාලනය සහ එහි අනාගතය වැදගත් පරිවර්තනීය මොහොතකට පත්වී ඇති අවස්ථාවක සමාජ සංස්කෘතික ක්ෂේත්රයේ කටයුතු කරන ජීවීන් හැටියට මේ මාධ්‍ය හමුව පවත්වනවා. මේ නිශ්චිත මොහොතේ ලංකාවේ පුරවැසියන්ට සහ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට කියන්න කතාවක් තියෙනවා. ජූලි මාසයේ 20වැනිදා පාර්ලිමේන්තුව ඇතුළතින් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. දැනට තිබෙන නීති රීති සහ ව්‍යවස්ථාව අනුව ජනාධිපති පත්කර ගන්නවා. ජන නියමු කලාකරුවන් හැටියට මේ සම්බන්ධයෙන් කියන්න අදහසක් අපට තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ මොහොත නූතන දේශපාලනයේ කිසිකලෙක බිහි වූ මොහොතක් හෝ පරිකල්පනය කළ හැකි මොහොතක් හෝ නොවෙයි. හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජීවත් වෙන්න තැනක් සොයමින් රට යන සරණාගතයෙක්. අප සියලු දෙනාගේ ජීවිතවලින් දායක වුණු අප දුටු සුන්දරම දර්ශනය වන පොදු ජන අරගලයකින් ජනාධිපතිවරයා පළවා හැරියා. නමුත් පොදු ජනයාගේ ප්‍රාර්ථනා විනාශ කරමින් රනිල් වික්‍රමසිංහ කියන තැනැත්තා බලයක් අතට අරගෙන ඉන්නවා.
මහජන අරගලයේදී කම්පනීය මරණ, තුවාල සිදුකිරීම්, සිරගත කිරීම්, ඇතුළත් ලෙයින්, කඳුලින්, දහදියෙන් ලියවූවක්. මේ සියලු දෙනා ඉල්ලුවේ රාජපක්ෂ පවුල මගින් ජනිත වූ අධම දූෂිත සංස්කෘතිය තුරන් කරන්න කියලයි. සොරකම් කළ ධනය පවරා ගන්න කියලයි. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලයි. අන්තර්කාලීන තාවකාලික රජයක් පිහිටුවා ගත යුතු වෙන්නේ දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන්මයි. තාවකාලික රජයක් පත්විය යුත්තේ ජීවිත මඳකට හෝ ඔසවා තබන්නයි. ඒ පරම අවශ්‍යතාව එතන තිබෙන්නට ඕනෙ. ඒ පත්වන ජනාධිපති හෝ අගමැති තුළින් මහජන අරගලයේ අභිලාෂ පිළිබිඹු කළ යුතුයි. පළවා හැරි රාජපක්ෂ චෞර දේශපාලන සංස්කෘතිය කිසිලෙසකින් පිළිබිඹු නොවිය යුතුයි. එහෙම වුණොත් නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන ව්‍යසනය බවට පත්වෙනවා. මේ මැතිවරණයේදී ඡන්ද බලය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඔවුන්ගේ ඉතිහාසය ගැන, මුදලට විකිණීම ගැන අපි සියලු දෙනාම දන්නවා. මේ අය කෙසේ හැසිරෙයිද කියලා මුළු මහත් ජනතාවටම විශාල සැකයක් තිබෙනවා. ඒ නිසා අපි බලකරන්නේ කරුණාකර ඔබ මහජන මතය නියෝජනය කරන්න කියලයි. මහජන අරගලයේ අපේක්ෂා නියෝජනය කරන්න කියලයි.
රනිල් වික්‍රමසිංහ ඇතුළු අවතාර සියල්ලම ආරක්ෂාකරන සුළු තැනකට ගමන් කරන්නේ නම්, ජනතාව තුළින් ප්‍රතික්ෂේප වෙනවා. නැවත වරක් අරගලය සක්‍රීය වෙනවා. අරගලයේ සාරය ගැබ්වුණු පුරවැසි අභිලාෂ ඉටුකරන අපේක්ෂකයෙක් හැටියට ඉන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. වර්තමාන වැඩ බලන ජනාධිපති මෙම අරගලයට කීවේ ෆැසිස්ට්වාදී අරගලයක් කියන අධම කතාවයි. ගෝලීය ශිෂ්ටත්වයට මුවාවෙලා මහජනතාව මුලාකරන්න රනිල් වික්‍රමසිංහට තවදුරටත් ඉඩ ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ රනිල් වික්‍රමසිංහගේ රජයේ දෙපළක් නොවෙයි. ඔවුන් මිලියන 22ක් මහජනතාවගේ නියෝජිතයන්. ඉන්ධන සුළු මුදලකින් අඩුකර මහජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. රැවටීම සහ මර්දනය හැර වෙන කිසිවක් මේ ආණ්ඩු ප්රගුණකර නැහැ. ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා මහජන අභිලාෂයන් නියෝජනය කරන්න කැපවී ඉන්නවා. මේ වන විට ප්‍රාණවායුව අහිමිවි තිබෙන මහජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්නේ ඔහු පමණයි. ඒ නිසා අනුර දිසානායක සහෝදරයාට ඡන්දය ලබාදෙන ලෙස, වගකිවයුතු පුරවැසියන් ලෙස සියලු මහජන නියෝජිතයන්ට අපි බලකරනවා.
රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්න එපා කියලා බලකරන්න අයිතියක් මහජනතාවට තිබෙනවා.

රංගන ශිල්පිනී චමිලා පීරිස්
ජනතා අරගලයට සියුම්ව සම්බන්ධවීමට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. එහිදී විවිධ ගැටලුවලට මුහුණදී ජීවි අහිමිවූ සියලුදෙනා ආදරයෙන් මතක් කර, ආචාර කරනවා. 69 ලක්ෂයක් ඡන්දය දීලා පත්කළ ජනාධිපතිවරයෙක් ලක්ෂ හැටනවයකුත් තව පිරිසකුත් එකතු වී පළවා හැර තිබෙනවා. ඒක ලංකා ඉතිහාසයේ ජයග්‍රහණයක්. ඔවුන්ගෙන් දුකට, පීඩාවට පත්වූ අතිමහත් ජනතාව සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙනවා. අලුතින් ජනාධිපතිවරයෙක් මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් පත්කර ගැනීමට ලැබී තිබෙන අවස්ථාව ඔබලාගේ පෙර සිදුකළ වැරදි සිදුනොකරන්න අවස්ථාවක් කරගත හැකියි. රනිල් වික්‍රමසිංහ කියන්නේ හැටනව ලක්ෂයක් ප්‍රතික්ෂේප කළ මනුස්සයෙක්. එවැනි කෙනෙක් ප්‍රධාන පුටුවට පත්වීමේ තේරුම මොකක්ද? ඔහුව ප්‍රතික්ෂේප කළේ රාජපක්ෂලා එළවලා දැම්මේ මේ රට අගාධයට දැමූ නිසයි. රාජපක්ෂ වේශයෙන් නැවත පැමිණෙන අයට ඡන්දය නොදීමේ වගකීමක් මහජන නියෝජිතයන්ට තිබෙනවා. මහජන නියෝජිතයන් පත්කරන්නේ මහජනතාවගේ හඬ නියෝජනය කරන්න. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය දෙන්න එපා කීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. මේ රට ගැන, දරුපරපුර ගැන, ආර්ථිකය ගැන, හිතන කෙනෙක්ව පත්කරන්න කියලා බලකිරීමේ අයිතියකුත් අපට තිබෙනවා. මැතිඇමතිවරුන්ට බලකරන මහජනතාවට දඬුවම් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමද?
ගමට එන්න බෑ කියන්නේ ගමට ආවාම පහර දෙනවා කියන එක නොවෙයි. නැවත ඡන්දය දෙන්නේ නෑ කියන එක. ඔහු රාජපක්ෂලා නියෝජනය කරමින් ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන පුද්ගලයෙක්. ඔවුන් අතර ජන අරගලයේ මතය නියෝජනය කරන පුද්ගලයෙක් ඉන්නවා. මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරන පුද්ගලයා මේ පුංචි රට සුන්දර ස්වයංපෝෂිත, කායික, මානසික, සැනසිල්ලේ ජීවත්විය හැකි රටක් බවට පත්කිරීමට කැපවුණු අයෙක්. ඔහු වෙනුවෙන් 20 වැනිදා ඡන්දය පාවිච්චි කරන්න කියලා මහජන නියෝජතියන්ගෙන් ඉල්ලා සිටිනවා. ජන අරගලයේ ඉල්ලීම් වූ ව්‍යවස්ථා සංශෝධනය, ඇතුළු සෑම දෙයක්ම කරන්න බලය අවශ්‍යයි. මහජනතාවට කළ හැකි උපරිම කැපකිරීම් කළා. දැන් නෛතිකව කළ යුතු දේ කිරීමට මහජන නියෝජිතයන්ට බලකිරීමයි අපි කරන්නේ. මොකුත් කරන්න බැරි නම්, රනිල්ට ඡන්දය නොදී ඉන්න. මේ පුංචි කාලය තුළ අත්හදා බලන්න අනුර දිසානායක සුදුසුයි. ඔහු ජනාධිපති ධුරයට පත්කිරීමෙන් සියලු දෙනාට යහපතක් වෙයි කියලා, අපි ඒ ඉල්ලීම කරනවා.
පාර්ලිමේන්තු නියෝජිතයන් හැටියට සදාචාර සම්පන්නව අනුර සහෝදරයාට ඡන්දය දෙන්න

සංගීතඥ නදීක ගුරුගේ
අධිරා්යවාදීන්ගෙන් ලංකාව නිදහස ලැබූ පසු, ගෙවුණු අවුරුදු 74 තුළ සිදුවුණු බරපතළම සමාජ, ආර්ථික කඩාවැටීම අපේ ඇස් ඉදිරිපිට සිද්ධ වුණා. ඒ අර්බුදය ජනතාව අත්විඳිමින් ඉන්නවා. අධ්‍යාපය, සෞඛ්‍යය, ප්‍රවාහනය, බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. බඩු මිල ශීඝ්රයේ ඉහළ යමින් තිබෙනවා. ගෙවී ගිය කාලය පුරාම සිටි පාලකයන්ගේ අසමත්භාවය මෙයින් පෙනෙනවා. ජනතාව අභිනවයෙන් තෝරාගත් පාලනය පසුගිය අවුරුදු දෙක පුරා කෙතරම් අසමත් කණ්ඩායමක් දැයි ඔප්පුකර තිබෙනවා. මේ නිසා ජනතාව එකතු වී හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ඒ මතවාදය නියෝජනය කළ සෑම කෙනෙක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රට ගොඩගනිතැයි විශ්වාස කළ ජනතාව ඉක්මනින්ම තේරුම් ගත්තේ පාලකයින් අතිශයින්ම අසමත් බවයි. ඒ නිසා සියලුම ජනතාව පාරට බැස ජනතාවගේ බලය පෙන්වූවා. ජනතාවට අවශ්‍ය වන්නේ වඩාත් විශ්වාසය තැබිය හැකි, රට ආර්ථික සහ සමාජීය වශයෙන් ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් බව පැහැදිලි කර තිබෙනවා. අරගෙලයෙන් හෙළිදරව් වුණේ එයයි. දූෂණය, වංචාව නතර කළයුතු බවයි. කොල්ලකා ගන්නා ලද ජනතාවගේ සම්පත් සියල්ල ජනසතු කළ යුතු බවත් අවධාරණය කළා.
බොහෝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් වෙනත් කණ්ඩායම් කිහිපයකුත් මේ බව තරයේ අවධාරණය කළා. අවසානයේ ඒ කතාබහ අරගලයක් තුළින් ගෙනාවා. ඉන් අනතුරුව ලෝකය පුරාම මේ සාකච්ඡාව විවිධාකාරයෙන් පැතිරී ගියා. දැන් අවස්ථාව තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ජන හිතවාදී පාලනයකට අවශ්‍ය මූලික සංඝටක දෙකක් තෝරා ගන්නයි. මේ දක්වා රට පාලනය කළ කණ්ඩායම් මාරාන්තික අසමත් බව ඔප්පුකොට තිබෙනවා. ඔවුන් නියෝජනය කරමින් ඉදිරිපත් වන අය මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතුයි. ජනතාව නැවත නැවතත් අර්බුදයට දමන්න ඔවුන්ට සදාචාරමය අයිතියක් නැහැ. මේ නිසයි අප කියන්නේ දැනට ඉදිරිපත් වී සිටින නියෝජතයන් 4දෙනා තුළින් අනුර කුමාර සහෝදරයා සදාචාර සම්පන්න අයිතිවාසිකමක් තුළින් ඉදිරිපත්වී සිටින බවයි. ජනතාව අසමත් පාලනය ප්‍රතික්ෂේප කළේ අනු කොටස්වලින් අලුත් පාලන ක්‍රමයක් හදන්න නොවෙයි. අනුර කුමර සහෝදරයාට හැර අනිකුත් නියෝජිතයන්ට වෙනත් ආර්ථික ක්රමෝපායක් නැහැ. අනුර කුමාර සහෝදරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වන්න මා වඩාත්ම කැමතියි.
ඔහු ඉතා බලවත් ලෙස කියා සිටියේ දේශපාලන අභිලාෂයකින් තොර, අනාගත දේශපාලන බල අභිලාෂයකින් තොර, දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති වෙනවා නම්, අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව කීවා. න්‍යායිකව සහ තාර්කිකව ගත්ත්ත් ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. ඒ වගේම තාවකාලිකව පිහිටුවන අන්තරවාර පාලනයකින් පසු ඡන්දයකට යා යුතුයි කියන ඉතාමත් හිතවාදී යෝජනාවත් ඉදිරිපත් කර තිබෙනවා. අනික් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන මතවාදයන් නිසා, රට වැටී තිබෙන ගැන පැහැදිලියි. තාමත් පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන් සදාචාර සම්පන්නව පෞද්ගලික අභිලාෂයන් පසෙක ලා ජනතාව ගැන කල්පනා කරන ලෙස පුරවැසියන් හැටියට අප බලපෑම් කරනවා. ඒ අයිතිවාසිකම ලංකාවේ මුළු ජනතාවටම තිබෙනවා. අනුර කුමාර දිසානායක වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ ඡන්දය ලබාදෙන්න කියලා බලකර ඉල්ලා සිටිනවා.
ප්රතිගාමී පාලකයන් පළවා හැරි පසු අනුර කුමාර සහෝදරයාට ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටිනවා.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගජීව
ජන නියමු කලාකරුවන් වෙනුවෙන් අපි මේ ඔබ අමතන්නේ එක්තරා තීරණාත්මක අවස්ථාවක. සාමකාමී විශාල ජන අරගලයකින් පසු ප්රතිගාමී පාලකයන් පළවා හැර අලුත් කඩඉමක් උදාවී තිබෙනවා. මේ අවස්ථාවේ කූට දේශපාලනඥයන් අලුත් ගේම් ගහගෙන යනවා. මේ වෙලාවේ සිදුවෙමින් පවතින්නේ මෙතෙක් ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතිය තුළ සිදුනොවූ අවස්ථාවන්. ජන අරගලයේ අභිලාෂයන් අමු අමුවේ උල්ලංඝනය කරමින් අරගලය ඇතුලෙන්ම මතු වුණු එක්තරා උගුලකට නතුවෙමින් සිටිනවා. අද වෙනකොට ප්රශ්නය විසඳා ගැනීමට සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ වීමෙන් එය තහවුරු වෙනවා. දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හතර දෙනාගෙන් තිදෙනෙක් මේ දේශපාලන ආර්ථික කඩා වැටීමට වගකිවයුත්තන්. අනුර කුමාර සහෝදරයා ගරා වැටෙන දේශපාලනයේ මගඩි, කුණුකන්දල් අවුස්සමින් ජනතාව අතරට ගෙනගිය කෙනා. ගෝල්ෆේස් අරගලය බිහිවෙන්නේ දීර්ඝ කාලයක් කළ, ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට නූතන තරුණ පරම්පරාව සහ ජනතාව දැනුවත් වීම නිසයි. ඒ අරගලයට අදටත් අපි සහයෝගය දෙමින් සිටිනවා. ඒ ජයග්‍රාහී අරගලයේ අභිලාෂයන් එක්තරා ආකාරයකට පාර්ලිමේන්තුව ඇතුලේ අභියෝගයකට ලක්වෙමින් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉන්නේ කෙසේ හෝ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වුණු මිනිස්සු ටිකක්. ඔවුන් සම්බන්ධයෙන් අපට විවිධ වාදවිවාද තිබෙනවා. ඒ මොන ප්‍රශ්න තිබුණත් තමන් මෙතෙක් කළ හදවතට එකඟ නොවූ දේවල් නිවැරදි කර ගන්න 20වැනිදා පාර්ලිමේන්තුවේදී අවස්ථාව උදාවී තිබෙනවා. මේ රටේ සහ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් වී සිටිනවා. ඔහු ජයග්‍රහණය කරවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 20 වැනිදායින් පසුව අරගලකරුවන් සහ අපි නියෝජනය කළ සටන් පාඨ ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. එසේ නොකළොත් මේ දක්වා කළ කැපකිරීම් දරාගත නොහැකි තත්වයකට අයාලේ යා හැකියි. ඒ නිසා වගකීම් සහිතව කටයුතු කරමින් අවම වශයෙන් රට වැටී තිබෙන අර්බුදයෙන් ගොාඩගැනීමට අනුර කුමාර සහෝදරයාගේ නායකත්වය ශක්තිමත් කළ යුතුයි. පසුගිය කාලයේ රාජපක්ෂලාගේ නමක්වත් නොකියූ පුද්ගලයන් ජනාධිපති තරගයට ඇවිත් ඉන්නවා. ඔවුන් ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ. මහජන මුදල් කොල්ල කෑ අය වෙනුවෙන් ඔවුන් නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි හිතන්නේ නැහැ. අපේ විශ්වාසය අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් ශක්තිමත්ව ලබාදිය යුතුයි.
අරගලයට සම්බන්ධ වූවන්ගේ මහජන සභාවකට එකඟ වූ අනුර කුමාරට ඡන්දය ලබාදෙන්න.

ආචාර්ය , නීතිඥ විශාකේෂ චන්ද්‍රසේකරම්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කර ගන්නා මෙන් අපි සියලු දෙනා ඉල්ලා සිටිනවා. මාස ගණනාවක කොළඹ දී ඈත ගම්දනව්වලදීත් ගුරුවරු, ගොවි ජනතාව, තරුණ තරුණියන්, සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්, ඇතුළු විශාල පිරිසක් අරගල කළා. මේ අරගලය පුරාම ගෙනගිය පණිවිඩය වූයේ නව නායකත්වයක් සහ නව ක්‍රමවේදයක් තුළින් නව රටක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි. මේ වෙනුවෙන් කෙටි කාලීනව ඉටුකළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. එහි පළවෙනි පියවර හැටියට රාජපක්ෂ රෙජීමය පළවා හැරියා. ඊළඟට අරගලකරුවන් සහ අරගලකාරිනියන් එකතු වී පාර්ලිම්න්තුවට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තාවකාලික අන්තර්කාලීන පාලනයක් ගොඩනැගීම, කෙටිකාලයකදී මහජන ඡන්දයක් පවතවා, අලුත් මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුවක් පිහිටු විය යුතුයි. ඒ ආණ්ඩුව තුළ අරගලකරුවන්ගේ මහජන සභාවක් පිහිටුවීමේ යෝජනාවට එකඟවී තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනෙකුත් කිසිදු නියෝජිතයෙක් එකඟතාව පළකර නැහැ. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ඇතිකිරීම සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ජාතික ජන බලවේගය හැර අනිකුත් කිසිවෙකුත් එකඟ වී නැහැ.
ඒ වගේම ඉතාම වැදගත් යෝජනාවක් වන මහජනතාව නියෝජනය වන යම්කිසි මහජන සභාවක් අන්තර්කාලීන පාලනය තුළ ස්ථාපිත කරන්නත් ජාතික ජන බලවේගය එකඟ වී තිබෙනවා. අනෙක් කිසිවෙකුත් එයට එකඟ වී නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්කර ගන්නා නිලවරණයේදී ජනතාවගේ අභිලාෂයන්ට කන් නොදෙන සහ මහජන අරගලයේ අභිලාෂයන්ට කන් දෙන වශයෙන් දූෂිත නොවූ අනුර දිසානායක සහෝදරයා පමණක් සිටිනවා. ඔහු ජයග්‍රහණය කරවීමට සියලු දෙනාම කැපවිය යුතු බව අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
-ලංකා ටෘත්