Home News Sinhala පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් පවා ලබා දී තිබෙනවා..!

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් පවා ලබා දී තිබෙනවා..!

by Ravinath Wijesekara

මේ රටේ පවතින ඩීල් දේශපාලනය ක්‍රියාත්මක වී පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට වර්තමාන ආණ්ඩුව යටතේ උසස්වීම් පවා ලබාදී ඇති බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂය, අන්තර්ජාලය ඔස්සේ අද (20) සජීවී විකාශයක් ලෙසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම චෝදනාව කරනු ලැබීය. එම මාධ්‍ය හමුවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අය සහභාගී විය.

ඔවුන් එහිදී දැක්වූ අදහස් පහත පළ කෙරේ.



විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අදහස් පළ කරමින්…

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අදහස් පළ කරමින්

“පාස්කු ප්‍රහාරයට මේ වනවිට මාස 28ක් ගතවී තිබෙනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව බාරදී මාස හයකට වඩා ගතවී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිත 270ක් පමණ අහිමි වී ඊටත් වඩා ප්‍රමාණයක් මැරි මැරී ජීවත් වෙනවා. අත් පා නැති අය, මොළයට හානි වූ අය විශාල පිරිසක් මේ ලෙස සිටින අතර ඔවුන්ගේ පවුල් මේ හේතුවෙන් විශාල ව්‍යසනයකටද පත්වී සිටිනවා. මේක කිතුනු ජනතාවට එරෙහිව පමණක් එල්ල වූ ප්‍රහාරයක් හැටියට අපි සලකන්නේ නැහැ. තමන්ගේ ආගම හොඳම ආගම, තමන්ගේ ජාතිය සුපිරිම ජාතිය වශයෙන් හඳුන්වන කවුරු හරි ඉන්නවා නම් ඒ අය තමයි අන්තවාදීන්. මේ ඔස්සේ ත්‍රස්තවාදයට යනවා නම් මේ සන්දර්භය තුළ ඒ තත්වය විතරක් සලකන්නේ නැහැ. අන්තවාදය හෝ ත්‍රස්තවාදයට හේතු හොයලා සම්පූර්ණ අදහසක් ගන්න ඕනෑ. පීඩනය හෝ අන්තවාදයට පමණක් ලඝු කරන්න මම කැමති නැහැ. මෙතන තියෙන්නේ අන්තවාදය හෝ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයක්, මුස්ලිම් ජනතාවට විතරක් ඇතිවුණු ප්‍රශ්නයක් වගේ ලඝු කරන්න බැහැ. බෞද්ධ හින්දු සහ අනෙකුත් ආගමිකයින්ට වගේම මුස්ලිම් ජනතාවටමත් මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙතන ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රශ්නයට වඩා දෙයක් තිබෙනවා. 

ජනාධිපති කොමිෂන් වාර්තාවේ ප්‍රධාන කරුණු බැලුවාම මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙනවා. මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකළේ ඇයි? රජයේ නිලධාරීන් වැරදිකරුවන් කරලා මේ වාර්තාව දී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසියේ නිලධාරීන් වගකිව යුතු බව සඳහන් වෙනවා. ඒ වගකිවයුත්තන් ගැන මේ දක්වා කටයුතු නොකිරීම විතරක් නෙවෙයි, චෝදනාවලට ලක්වී සිටින අය මේ ආණ්ඩුව උසස්වීම් පවා ලබාදී තිබෙනවා. මෙය වැළැක්වීම නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ අගමැති පමණක් නොව ඒ ආණ්ඩුවේ සිටි සියලුම මැති ඇමතිවරුන් ප්‍රහාරය පිළිබඳ දැනගෙන හිටියා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට සම්බන්ධ හැමෝම පාස්කු ප්‍රහාරයටත් වගකිව යුතු වෙනවා. මේ රටේ පවතින ඩීල් දේශපාලනය තුළින් සමහර මුස්ලිම් කණ්ඩායම් සමග බලය ලබාගැනීමටත් බලය පවත්වාගෙන යාමටත් මේ ඩීල් දේශපාලනය යොදා ගන්නවා. ඩීල් දේශපාලනය නිසා මේ පිටුපස සිටි කණ්ඩායම් පිළිබඳව නිසි පරීක්‍ෂණ මේ ආණ්ඩුවෙන් සිදුකර නැහැ.  මෙහි සැලසුම්කරුවන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බව සමහර අය කියනවා. තවත් සමහර අය දකුණේ දේශපාලන කණ්ඩායම් සිටින බවත් කියනවා. එය වැදගත්. සාරා ජෙස්මින් ගැන අපි දන්නවා. සමහර අය ඇය පැනලා ගිය බවත් තවත් සමහර අය ඇය මරා දැමූ බවත් කියනවා. දෙහිවලදී මැරුණු ජමීල් හමුවෙන්න හමුදා බුද්ධි අංශ පණිවුඩකරුවෙකු යැවූ බවත් කියනවා. යහපාලන ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව නිසා ජනතාවට යම් පීඩනයක් ඇතිවුණා. ඒ පීඩනය මත ජාතිවාදය, අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරවූ දකුණේ දේශපාලනය මෙහෙයවන්නන් මහ මොළකරුවන් බවට සැකයක් අපිට තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා. මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කර සියල්ල ජනතාවට හෙළි කරන බව ඡන්දයට පෙර ඔවුන් කීවත් දැන් අනුගමනය කරන්නේ ඇල් මැරුණු ප්‍රතිපත්තියක්. පරීක්‍ෂණ බාගයට නවත්වලා. ඒ නිසා දකුණේ දේශපාලනය බලය ලබාගැනීම සඳහා සිදුකළාද කියන සැකය අපට බලවත්ව තිබෙනවා. කතෝලික ජනතාව පමණක් නෙවෙයි, මේ රටේ ජීවත් වෙන යුක්තිය, සාධාරණත්වය අගය කරන සියලුම ජනතාවට ඇත්ත නැත්ත දැන ගැනීමේ අයිතියක් තියෙනවා. හැම මාසයේම 21වැනිදා විරෝධතාවයක් දක්වන්න කාදිනල්තුමා ඉල්ලා තිබෙනවා. අපි ඒ ඉල්ලීමට එකඟත්වය පළ කරනවා”


ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් අදහස් පළකරමින්..,

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් අදහස් පළකරමින්

“මාස 28ක් ගතවී තිබෙන බෝම්බ ප්‍රහාරයෙන් තාමත් දුකින් සහ පීඩනයෙන් ජීවත් වෙන සියලු දෙනාටත් මිය ගිය සියලු දෙනාටත් තුවාල ලැබූ සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය පළකරනවා. ඒ වගේම යම් ගැටුම් නිසා මියගිය හමුදාවේ සහ පොලීසියේ අය සම්බන්ධයෙන් අපගේ ශෝකය පළ කරනවා. 

මේ රටේ බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව ඔබටත් මටත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක තොරතුරු අපි ළඟ තිබෙනවා. මේ අතර බෝම්බ පිපිරවීම් සහ පුපුරවා ගැනීම් වශයෙන් දෙකක් තිබෙනවා. මේ හැම බෝම්බ පුපුරවා ගැනීමකටම වඩා හිතාගන්න බැරි වෙනස්කමක් පාස්කු ප්‍රහාරය තුළ තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පිපිරවූ බෝම්බවලින් පසුව එහි වගකීම ඔවුන් බාරගත්තා. බෝම්බ පුපුරවා ගැණීමට කලින් ලබාගත් ඡායාරූප පළ කර තිබෙන ආකාරයත් අපි දැක්කා. මේ බෝම්බ ප්‍රහාරවලට මොකක් හරි හේතුවක් තිබෙනවා. නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ හේතුව කියාගන්න බැරි බවක් තිබෙනවා. මේ පිළිබඳව දැඩි ව්‍යාකූල බවක් තිබෙන්නේ. මේ නිසා විමර්ශන ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සිදුකළ යුතුයි. නමුත් එදා සිටි ආණ්ඩුවත් ප්‍රහාරයෙන් වාසි ගෙන බලයට පත් වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරන ක්‍රියාවලිය අපිට පැහැදිලි නැහැ. මේ දක්වා ලබාදී තිබෙන වාර්තා කතෝලික සභාව විසින් ප්‍රතික්‍ෂේප කරනවා. ඇතුළත් විය යුතු සමහර කරුණු නැති බව දක්වනවා. මේ නිසා ලොකු සැකයක් පවතින්නේ. සැකය දුරු කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. මේ වගකීම නිසි පරිදි ඉටු නොකරන්න හේතුව මොකක්ද කියලා ජාතික ජන බලවේගය හැටියට අපි ප්‍රශ්න කරනවා.  මේ මොහොත වනවිට බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ පවුල්වල ජීවත්වන අයට බලවත් සැකයක් තිබෙනවා, මේ පිටුපස ඉන්නේ කවුද කියන එක. පාස්කු කොමිෂන් වාර්තාව නිසා තමන් පීඩාවට පත්ව ඇති බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. පහළ මිනිස්සුන්ගේ  පිට වගකීම පටවනවාට වඩා ඉහළ ඉන්න අය හඳුනා ගැනීම වැදගත්. ඕනෑම ත්‍රස්ත කල්ලියකට පුළුවන් කාගේ හරි නියෝගයක් පිළිපදින්න. එහෙත් ඔවුන්ව මෙහෙය වූයේ කවුද කියන එකයි ප්‍රශ්නය. ජනතාව වෙනුවෙන් මේ රටේ පාලකයන්ගෙන් මම අහනවා, අපේ බුද්ධි අංශවලට හොයාගන්න බැරි පිරිස කවුද කියලා. පාස්කු ප්‍රහාරකයන් සොයන්න බැරි බුද්ධි අංශයක්ද අපට තිබෙන්නේ? මෙතන සඟවන තොරතුරු ගණනාවක් තිබෙනවා. මේ නිසාම ජනතාව තුළ සැකය වර්ධනය වෙමින් තිබෙනවා. සැකය දුරු කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ වගකීම නොදරන නිසා සෑම මාසයකම 21වැනිදා පවත්වන විරෝධතා ව්‍යාපාරවලට අපි සහයෝගය දක්වනවා. ඒ, ආණ්ඩුවට විරෝධය දැක්වීමකට වඩා ජනතාවගේ අයිතිය වෙනුවෙන් කටයුතු කිරීමක්. ආණ්ඩුවේ අවධානය සැකයක් තිබෙන තැන්වලට යොමුකර නියම චූදිතයන් නීතිය හමුවට ගෙන එන ලෙස මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අපි බලකර සිටිනවා.”


නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අදහස් දක්වමින්..,

නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අදහස් පළකරමින්

“පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වෙද්දී, මේ විශාල කාලය තුළ අදාළ වගකිවයුත්තන් හඳුනා නොගැනීම විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රහාරයෙන් ජනතාව විශාල කම්පනයකට පත්වී තිබුණු මොහොතක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සංවිධාන බලයටත් එන්න පාවිච්චි කළා. ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන බව කීවේ මේ කම්පනය තිබියෙදීයි. මේ පිළිබඳව පරීක්‍ෂණ කරන බවට පොරොන්දු දී මේ ප්‍රහාරයෙන් භීතියට පත් ජනතාවගේ ඡන්දය ගත්තා. ඒ නිසා මේ ආණ්ඩුවට ප්‍රහාරයෙන් මියගිය, වේදනාවට පත්වුණු, තුවාල ලබපු සියලු දෙනාට සාධාරණය ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. නමුත් මේ වනවිට ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යන්න ක්‍රමානුකූලව ඉඩහැර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත්කළ කොමිෂන් සභාව දුර්වල නම් අලුත් එකක් පත්කර තොරතුරු හොයන්න ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට තිබුණා. නමුත් එය එහෙම වෙලා නැහැ. 

ප්‍රහාරය සිදුවෙනකොට සිටි ජනාධිපතිවරයා දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ. ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමෙන් ප්‍රහාරය සිදුවුණු බව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කළා. ඒ නිසා ඔවුන්ව පරද්දලා තමන්ව බලයට පත්කර වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබාදෙන අවස්ථාව ඉල්ලා සිටියා. නමුත් දැන් වගකිව යුතු බව ඒ අයම කියපු ප්‍රධානියාව තමන් ළඟ තියාගෙන ඇත්ත වගකිව යුත්තන් සඟවනවාද කියන සැකය කාටත් ඇතිවී තිබෙනවා. හරියට පරීක්‍ෂණ පවත්වන්නේ නැත්තේ මේ කෙළවරේ සිටින අය සහ ආණ්ඩුව අතර සම්බන්ධයක් තිබෙනවාද කියන සැකය ජනතාවට තිබෙනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයට පත්වීම අරමුණු කරගෙන සිදුකළ කුමන්ත්‍රණයක්ද කියන සැකය ජනතාවට තිබෙනවා. කුමන්ත්‍රණකරුවන් කවුද කියලා අපෙන් අහන්න එපා. ආණ්ඩුවට තිබෙන බුද්ධි අංශ යොදවා එය හොයා ගැනීමේ වගකීම ඔවුන්ට තිබෙනවා. නමුත් ඇල් මැරුණු ප්‍රතිපත්ති නිසා මේ සැකය වර්ධනය වෙනවා. බලයේ ඉන්න ආණ්ඩුවේ වැඩක්නම් මේ ආකාරයෙන් ක්‍රියා කරන බව සාමාන්‍ය ජනතාව දන්නවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහත්තයා ඝාතනය කිරීම වගේ උදාහරණ ගණනාවක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයත් ඒ ගොඩට වැටී තිබෙනවා. හරියටම පරීක්‍ෂණවල ප්‍රතිඵල රටට හෙළි නොකිරීමෙන් සැකයේ හස්තය ආණ්ඩුවට එල්ලවීම වළක්වන්න බැහැ. 

කලින් සිටි ආණ්ඩුව ප්‍රහාරය වළක්වන්න අසමත්වීමේ වගකීම බාර ගන්න ඕනෑ. ඒ වගේම ප්‍රහාරය පිළිබඳව නිසි පරීක්‍ෂණ නොකිරීමේ වගකීම මේ ආණ්ඩුව බාරගන්න ඕනැ. මේක සෙල්ලමක් නෙවෙයි. මිනිස් ජීවිත 300ක් පමණ අහිමිවීම, මානසිය භීතියක් ඇතිවීම වගේම වර්තමාන ආණ්ඩුව මේ සිද්ධිය දේශපාලනයට යොදා ගැනීම සිදුකර තිබෙනවා. ආණ්ඩුව වටේ ඉන්න අන්තවාදී කණ්ඩායම් ඒ දිනවල යොදාගත්තා. මේ නිසයි දඩයම කරේ තියාගෙන යන කෙනා දැක්කාම තුවක්කුව බැඳපු කෙනා හඳුනාගන්න පුළුවන් කියලා කතාවක් ඇතිවුණේ. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ සැකය තව තවත් තහවුරු කිරීමයි. මේ ප්‍රශ්නය මගහැර යන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. කාදිනල්තුමා ජනාධිපතිවරයාට යැවූ ලිපියට ලැබුණු පිළිතුර පවා පිළිගන්න බැහැ කියලා ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුවට එරෙහිව සැකයක් මතුවීම රටක් ලෙස බරපතළ ඛේදවාචකයක්. අපේ රටේ හැම ආණ්ඩුවක්ම බලය වෙනුවෙන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ බව අපි දන්නවා. ධනපති පාලකයින්ට බලය හමුවේ මිනිස් ජීවිත පිළිබඳව කිසිම වටිනාකමක් නැති බව අපි දන්නවා. මිනිස්සුන් කොපමණ හෝ මරලා බලය ගන්නත් ගත් බලය රැකගන්න ඒ ලෙසම ක්‍රියා කිරීමත් අපි දන්නවා. කොවිඞ් වසංගත තත්වය පවා නොතකා ඔවුන් සුරංගනා ලෝකවල ඉන්නෙ මිනිස් ජීවිතවල වටිනාකමක් නැති නිසා. ධනපති පාලකයින්ට බලය තරම් මිනිස් ජීවිත වටින්නේ නැහැ. බලය සහ වරප්‍රසාද වෙනුවෙන් ඒ ගොල්ලන්ට ඕනෑම කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.  මේ සැකය යොමුවීමට ආණ්ඩුව අකමැති නම් කළ යුත්තේ ඇත්ත වගකිවයුත්තා හේතු සහිතව ඉදිරිපත් කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් දැන් සිදුවී තිබෙන්නේ කල් මැරීම විතරයි. නීතිපතිවරයා පහුගිය දවස්වල සඳහන් කර තිබුණේ නඩු පවරන්න තරම්වත් සාක්‍ෂි ඉදිරිපත් වී නැති බවයි. අවසානයේ වෙන්න පුළුවන් මිනිස් ඝාතන සිදුකළත් ඝාතකයෙක් නැති වීමයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ තුළින් පාඩම් ඉගෙනගන්න කියලා. තමන්ගේ බලය වෙනුවෙන් හෙට වුණත් මේ වගේ කටයුතු කරන්න පුළුවන්. එය පරද්දන්න ඕනෑ. ඒ පරද්දන්න පුළුවන් මේ රටේ ජනතාවටයි. ඒ වෙනුවෙන් ජනතාව තුළ ජාතික සමගියත් ආගමික සමගියත් තියෙන්න ඕනෑ. ඒ වගේම පාලකයින්ගේ කුමන්ත්‍රණ හඳුනාගැනීමේ හැකියාවත් ජනතාවට තියෙන්න ඕනෑ. ජනතාව රවටමින්, පීඩාවට පත්කරමින් ජනතාවගේ ලේ සහ ජීවිත මතින් බලයට පත් වෙලා බලය පවත්වාගෙන යාමට කරන උත්සාහයන් අපි තේරුම් ගමු. මේ මැරුණේ රටේ පුරවැසියෝ. ශ්‍රී ලාංකික පුරවැසියන් රැසක් මරා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රකිනවා නම් එය ඉතාමත් බරපතළයි. ඒකට කිසිම සමාවක් දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ ඉතා ඉක්මනින් නිසි පරීක්‍ෂණයක් කර වගකිවයුත්තන් හෙළි නොකරන්නේ නම් ආණ්ඩුව මේ වගකීම බාර ගන්න ලැහැස්ති වෙන්න ඕනෑ කියලා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් බල කරන්න දැනට සැලසුම් කර ඇති ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා”

You may also like

Leave a Comment