Home News Sinhala මහර සිදුවීම ගැන කොමිසමක් පත්කරන්න

මහර සිදුවීම ගැන කොමිසමක් පත්කරන්න

by Jayakody PSK

මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්‍ෂපාති කොමිසමක් පත් කළ යුතු යැයි ජාතික ජන බලවේගය අවධාරණය කරයි. එමෙන්ම කුමන තත්වයක් යටතේ වුවද වෛද්‍ය පීඨ වසා නොදමන ලෙසත් ආණ්ඩුවේ නොහැකියාව කොවිඩ්වලට බැර කිරීම සාධාරණ නොවන බවත් එම පක්ෂය අවධාරණය කරයි.

පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගය පක්ෂය විසින් අද (06) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්…

මහර සිදුවීම සම්බන්ධයෙන් අපක්‍ෂපාති කොමිසමක් පත්කරන්න…

ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා,

“මහර සිදුවීමේදී නිරායුධ රැඳවියන් වෙඩි තබා ඝාතනය කිරීම ඉතාම බරපතළ සිදුවීමක්. සෑම සිරකරුවෙක්ම ඉන්නේ රජයේ භාරයේ. රජයේ ආරක්‍ෂාව යටතේ සිටින රැඳවියන් අමු අමුවේ මරා දැමීම ඉතාම භයානයක තත්වයක්. එම සිදුවීමෙන් මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම අපිට මතක් වෙනවා. එහිදී රැඳවියන් 28දෙනෙක් අමු අමුවේ මරා දැමුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පරීක්‍ෂණයක් මේ වනතුරු නැහැ. මෙම රැඳවියන් රජයේ භාරයේ සිටින නිසා සම්පූර්ණයෙන් ඔවුන්ගේ වගකීම රජය සතු වෙනවා. රජයේ ආරක්‍ෂාව කියන්නේ උසස්ම ආරක්‍ෂාව. රජයට වගකීමක් තියෙනවා රැඳවියන්ට සිදුවූයේ කුමක්ද කියලා පැහැදිළි කරන්න. නමුත් මේ මොහොතේ වගකීම පැහැර හරිමින් ප්‍රකාශ නිකුත් කරනවා. එම ප්‍රකාශ පරස්පරයි. එම පරස්පරය තුළින් ජනතාව තුළ විශාල සැකයක් මතුකරනවා.

ඕනෑම ආකාරයක රැඳවියන්ට පුරවැසියන් ලෙස මානව හිමිකම් තිබෙනවා. ඔවුන්ට තිබෙන ජීවත්වීමේ අයිතිය කිසිවෙකුට අභියෝගයට ලක් කරන්න බලයක් නැහැ. ඒ නිසා මෙම ඝාතන මානව හිමිකම් කඩකිරීමක් ලෙසයි අපි දකින්නේ. ඒ වගේම මෙයින් නීතියේ ආධිපත්‍යය බිඳවැටී තිබෙනවා. ශිෂ්ඨසම්පන්න සමාජයක මෙවැනි සිදුවීම් පිළිගන්නේ නැහැ. කුමණ තත්වයක් යටතේදී හෝ නිරායුද පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම පිළිගත හැකි කරුණක් නෙවෙයි. රජයේ භාරයේ සිටි පුද්ගලයෙකු මරණයට පත්වූ පසු ක්‍රියාකළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන්කොට තිබෙනවා. එහි 371වැනි වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ක්‍ෂණික පරීක්‍ෂණයක් පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම 373 වැනි වගන්තියට අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. එම වර්තාවත් මහේස්ත්‍රාත්වරයාට ලැබිය යුතුයි. ඉන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මරණය කුමණ ආකාරයෙන් සිදුවුණාදැයි වාර්තා කරනවා. මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන පරීක්‍ෂණය විවෘත එකක්. එම පරීක්‍ෂණයේදී පොලීසියෙන් හෝ අදාළ පාර්ශ්වයන්ගේ සාක්‍ෂිවලට අමතරව මහේස්ත්‍රාත්වරයා විසින් ජනතාවගේ සාක්‍ෂි විමසා සිටිනවා. එම අවස්ථාවත් ලබාදිය යුතුයි. එම පරීක්‍ෂණවලින් අනතුරුව තමයි අවසන් තීරණය ලබා දෙන්නේ. අවසන් තීරණය ලබාදීමට නොහැකි නම් තව දුරටත් පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට විවෘත තීරණයක් ලබාදෙනවා.

මහර සිදුවීමට දින 5කට අධික කාලයක් ගතවෙලා තිබියදීත් මූලික පරීක්‍ෂණවත් පවත්වන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදුවෙලා නැහැ. එනිසා මහර ඝාතන වෙඩි තැබීමකින් සිදුවූවාද පහර දීමකින් සිදුවූවාද යන්න නිශ්චිතව සඳහන් කරන්න බැහැ. ආණ්ඩුව විසින් එම පරීක්‍ෂණ මගහැරීම විශාල සැකයක් මතුකරනවා. අදාළ පරීක්‍ෂණවලට ඥාතීන්ට මැදිහත්වීමට ඇති ඉඩ අවහිර කොට තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල පවා වාර්තා පළ වුණා. එම නිසා අපේ රටේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නය නැවතත් ලෝකය ඉදිරියේ මතුකරන සිදුවීමක් වෙනවා. එමනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වගේම මහර සිදුවීමේ සුලමුල සෙවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් අපක්‍ෂපාතී කොමිසමක් පත් කරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලනවා. එය ආණ්ඩුවට අවශ්‍ය ප්‍රකාශ නොකරන කොමිසමක් විය යුතු බවද අපි අවධාරණය කරනවා. මානව හිමකම් පිළිබඳව, නීතියේ ආධිපත්‍යය පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අද ඉතා වැදගත් සාකච්ඡාවක් මතුවෙලා තිබෙන නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් හා සාධාරණ පරීක්‍ෂණයක් සිදුකිරීමට ජනතාව විසින් බලකළ යුතුව තිබෙනවා.”

කුමන තත්වයක් යටතේවත් වෛද්‍ය පීඨ වසා දමන්න එපා…
රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,

“විශ්වවිද්‍යාලයකින් බිහිවිය යුතු වන්නේ විෂය දැනුමට සීමා නොවූ රටට නායකත්වය දියයුතු විචාරශීලී බුද්ධිමතුන්. විශ්වවිද්‍යාලවල විවිධ පීඨයන්වල අධ්‍යාපනය හදාරන සිසුන් අතර අන්තර් සම්බන්ධයක් තිබිය යුතු වෙනවා. එමගින් තමයි සිසුන්ගේ විචාරශීලී බුද්ධිය වර්ධනය වෙන්නේ. මෙම විශ්වවිද්‍යාල සංකල්පයට පටහැනිව යම් යම් දේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපිට හැඟෙනවා.

ඇතිවී තිබෙන කොවිඞ් තත්වය විශ්වවිද්‍යාලවල මෙම ඉගෙනුම් සංකලපයටත් අහිතකර ලෙස බලපා තිබෙනවා. කොවිඞ් ප්‍රශ්නයට විසඳුමක් නොමැති තත්වයක් තුළ අපිට කියන්නට බැහැ තව කොපමණ කාලයක් මේ සමග ජීවත් විය යුතුද කියලා. එම නිසා කොවිඞ් සමග ජීවත්වීමට සිදුවෙනවා කියලා අපි දැනට කියනවා. එයින් අදහස් කරන්නේ කුමක්ද? දුරස්තභාවය ආරක්‍ෂා කිරීම, අත සේදීම කියලා නෝටීස් බෝඞ් එකක් දැමීමද? එහෙම නැත්නම් මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරයන් කිරීමද? එය නොවෙයි විය යුත්තේ. විශ්වවිද්‍යාල ආරම්භ කරනවා නම් එයට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ ඒ විශ්වවිද්‍යාලය තුළට ඒ ඒ පීඨයන් තුළට වැඩපිළිවෙළ විශේෂ විය හැකියි. දේශන ශාලා තුළ දුරස්ථභාවය පවත්වාගැනීම අසීරු කටයුත්තක්. ඒ නිසා විශ්වවිද්‍යාල තුළ පහසුකම් වැඩිකිරීම සිදුකළ යුතුව තිබෙනවා. අලුතින් පහසුකම් සැපයීමට නොහැකි නම් තිබෙන පහසුකම් කළමණාකරණය කළ යුතුයි.

ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර තුළ පවතින අඩු පහසුකම් නිසා දුරස්ථභාවය ආරක්‍ෂා කරගන්න බැහැ. එම නිසා කොවිඞ් පැතිරීමේ අවදානමද වැඩියි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසා ගත යුතුව තිබෙනවා. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදයන් ආරම්භ කොට තිබෙනවා. අධ්‍යාපනයට අන්තර්ජාලය යොදා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් එය පමණක් ප්‍රමාණවත්ද? ඒ සඳහා අන්තර් ජාල පහසුකම් විශ්වවිද්‍යාල තුළ, නේවාසිකාගාර තුළ, ළමුන් සිටින ප්‍රදේශ තුළ තිබිය යුතු වෙනවා. නමුත් සමහර දුර පළාත්වල එම පහසුකම් නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි ආණ්ඩුව සොයා බැලිය යුතු වන්නේ. ඒ වගේම ඊ පුස්ථකාල ඇරඹීම, ඩිජිටල් දේශන ආරම්භ කිරීම කළ යුතුව තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග සඳහා ආණ්ඩුවට සැලසුමක් තිබිය යුතුයි. එසේ නොමැතිව පාසැල් පටන් ගන්නවා වගේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැහැ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ළමුන් මාස හයක් පමණ ගෙදර ඉන්නවා. උසස් පෙළ විභාගයෙන් අනතුරුවත් ප්‍රතිඵලවල විශාල ප්‍රමාදයක් තිබෙනවා. ප්‍රතිඵල ආවට පස්සේ ඉෂෙඞ් අගය ලබාදෙන්න, විශ්වවිද්‍යාලවල කඩඉම් ලකුණු ලබාදෙන්න ප්‍රමාද වෙනවා. අපිට මෙම ප්‍රමාදයන් වළක්වා ගන්න බැරිද? උදාහරණයක් හැටියට 2019 උසස් පෙළ ළමුන්ගේ කඩඉම් ලකුණු ලැබුණේ 2020 උසස් පෙළ විභාගය පැවැත්වූවාටත් පසුවයි. මෙය සිසුන්ට කරන බරපතළ අසාධාරණයක්. එම නිසා ආණ්ඩුව කාර්යක්‍ෂමව වැඩ කරනවා නම් අපේ රටේ ළමයින්ගේ අධ්‍යාපනය කඩිනම් කරන්න පුළුවන්.

වෛද්‍ය පීඨවලට ඇතුළත් වන්නේ ඉෂෙඞ් අගය ඉහළ ළමුන්. මේ ළමුන්ගෙන් 40%ක් පමණ පළමුවර විභාගයට පෙනී සිටි ළමුන්. ඉතිරි සියලුදෙනා දෙවැනි වර හෝ තුන්වැනි වර විභාගයට පෙනී සිටි ළමයින්. එහෙම ගත්තාමත් මෙම ළමුන්ට තවත් වසරක් ප්‍රමාද වෙලා තිබෙනවා. මෙම ප්‍රමාදයට ප්‍රතිපත්ති සැලසුමක් අවශ්‍යයි. වෛද්‍ය පීඨ සිසුවෙකු වෛද්‍යවරයෙකු වන විට ඔහුගේ වයස අවුරුදු 28-30ක් පමණ වෙනවා. අනෙක් රටවල්වල මෙවැනි තත්වයක් අපි දකින්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සිසුන්ට සායනික පන්තිවලට සහභාගි විය යුතු වෙනවා. වාට්ටුවලට යා යුතු වෙනවා. ඔවුන්ට කොවඩි අවදානම වැඩියි. ඔවුන්ට ආක්‍ෂිත ඇඳුම් කට්ටල සපයා දිය යුතුව තිබෙනවා. එම පහසුකම ලබාදෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයද, සෞඛ්‍ය අමාත්‍යාංශයද කියලා ගැටළුවක් තිබෙනවා. නමුත් කුමන හෝ අමාත්‍යාංශයක් මගින් මෙම පහසුකම සැලසිය යුතුයි.

වෛද්‍ය සිසුන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වගේම අවදානමක් තිබෙනවා. එමනිසා වෛද්‍ය පීඨ සිසුන්ට කොවිඞ් වැළඳුනහොත් සිදුකළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුමක් තිබිය යුතුයි. ඔවුන්ටත් යම් ප්‍රමුඛතාවයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සෑම වෛද්‍ය පීඨයක්ම එක හා සමානව කාර්යක්‍ෂම විය යුතුයි කියලා. එක පීඨයක හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය සමස්ත පීඨවලම වෛද්‍ය සිසුන්ට බලපානවා. එම නිසා මෙම සිසුන් කඩිනමින් වෛද්‍යවරුන් බවට පත්කිරීමට සියලුම පීඨයන් සැලසුම් කළ යුතුව තිබෙනවා. මොකද මෙම කොවිඞ් සමය තුළ සෞඛ්‍ය අංශ ශක්තිමත් කළ යුතුව තිබෙනවා. වෛද්‍ය සිසුන්ට යම් ප්‍රමාදයක් වුවහොත් එය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලපෑමක් ඇති කරනවා. එම නිසා රට වසා තැබුවත්, විශ්වවිද්‍යාල වසා තැබුවත් වෛද්‍ය පීඨ වසා තැබිය යුතු නැති බව අපි විශ්වාස කරනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා වෛද්‍ය පීඨ හෝ පශ්චාත් උපාධි ආයතනය හෝ මෙම කාලය තුළ වසා දමන්න එපා කියලා.”

ආණ්ඩුවේ නොහැකියාව කොවිඩ්වලට බැර කිරීම අසාධාරණයි…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,

“අපි දන්නවා මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධව විශාල ගැටලුවක් මතුවෙලා තිබෙනවා. මෙය වැළැක්විය හැකිව තිබූ තත්වයක් නිසා ඇතිවූයේ අවාසනාවන්ත තත්වයක් කියලා අපි හිතනවා. මෙවැනිම සිද්ධියක් 2011දී ඇතිවුණා. එය විසඳාගත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින්. මේ අවුරුද්දෙත් එවැනිම ගැටළුවක් මතුවෙලා සිසුන් විශාල ප්‍රමාණයකට අසාධාරණයක් ඇතිවෙලා තිබෙනවා. අපිට දිනපතා දෙමාපියන්, දරුවන් මේ සම්බන්ධයෙන් ගැටලු ඉදිරිපත් කරමින් තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින්ම මතුවෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන එක ළමුන්ට ඉතාම වැදගත් කාරණයක් වෙලා. විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් පවත්වාගෙන යාම රජයේ වගකීමක් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැදගත්ම වගකීම වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සකස් කර දීමයි.

මේ වනවිට ඇතිවෙලා තිබෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ගැටලුව විසඳීම සඳහා තිබෙන එකම විසඳුම වෙලා තිබෙන්නේ ඇතුළත් වන සිසුන් ප්‍රමාණය වැඩි කිරීමයි. එහිදී අනුගමනය කළ යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සහ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව ඇතිවෙලා තිබෙන ගැටළුව සමථයකට පත්කළ නොහැකියි. ඒ වගේම මෙවැනි අවාසනාවන්ත තත්වයක් යළිත් ඇති නොවීමට වගබලා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැත්තෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදුකළ යුතුව තිබෙනවා.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යයෙකු අවුරුදු එකහමාරක් බලා සිටිය යුතු වෙනවා. එය අපිට කිසිදු ආකාරයකින් බාරගත යුතු තත්වයක් නොවෙයි. එවැනි තත්වයක් ඇතිවෙලා තිබෙනවා නම් එය අධ්‍යාපන ක්‍රමවේදයේ අසමත්භාවයයි. එමනිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශ්‍ය විනිවිදභාවයෙන් තොරයි. මොකද ප්‍රවේශය සම්බන්ධයෙන් සියලු තොරතුරු තිබෙන්නේ ප්‍රතිපාදන කොමිසම සතුවයි. අඩුම තරමේ ළමුන් තේරීපත්වුණේ කොහොමද කියලා විශ්වවිද්‍යාලවත් දන්නේ නැහැ. මෙතරම් වැදගත් සිද්ධාන්තයක් පිළිබඳව ඉතාම සුළු පිරිසක් අත පමණක් තොරතුරු තිබීම අතිශයින්ම භයානකයි. එම නිසා තමයි අපි කියන්නේ මෙය ඉතාමත් විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් විය යුතුයි කියලා. එම නිසා පළමුව මේ අවුරුද්දේ පැන නැගුණු විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසත් දීර්ඝ කාලීනව විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලත් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මහර බන්ධනාගාරයේ සිදුවීම ඉතාම ඛේදජනක සිදුවීමක්. අද වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඉතාමත් වැදගත් වාර්තාවක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබෙනවා. එම වාර්තාව කියවීමේදී අපිට හැඟෙන දේ තමයි අපේ රටේ බන්ධනාගාර තුළ ඉතාම සෝචනීය තත්වයක් තිබෙනවා කියන එක. එවැනි තත්වයන් තුළ මහර බන්ධනාගාරයේ වැනි සිදුවීම් ගැන පුදුම විය යුතු නැහැ. තිබෙන ගැටලුවලට අවුරුදු ගානක් තිස්සේ විසඳුම් යෝජනාවී නැහැ. එම නිසා මෙම ගැටලු උග්‍ර තත්වයට ඇවිල්ලා කෝවිඞ් වසංගතය නිසා පුපුරා ගොස් තිබෙනවා. අපි ඉල්ලා සිටිනවා දැන්වත් මානව හිමිකම් කොමිසම ඉදිරිපත්කොට තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න කියල. මහර සිදුවීමෙන් 11 දෙනෙකු මියගොස් 107 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාළ ලබා තිබෙනවා. තුවාළ වූ පිරිසෙන් විශාල ප්‍රමාණයකට කොවිඞ් වැළඳී තිබෙනවා. නමුත් මියගිය අය පිළබඳව, තුවාල ලැබූ අය පිළිබඳව හෝ කොවිඞ් අසාධිත අය පිළිබඳව අදාළ ඥාතීන් තොරතුරු දන්නේ නැහැ. මෙය විශාල අසාධාරණයක්. මොකද, අදාළ පවුල්වලට අයිතියක් තිබෙනවා එම තොරතුරු දැනගැනීමට. ඒ වගේම එම පවුල්වල ඥාතීන්ට ඔවුන් බැලීම සඳහා, ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහාත් අවස්ථාවක් ලබාදෙන ලෙසත් අපි ඉල්ලනවා.

මහර ඇතිවූ සිදුවීම අනෙක් බන්ධනාගාර තුළත් ඇතිවීම වළක්වාගත යුතුව තිබෙනවා. එම බන්ධනාගාර තුළ කොවිඞ් පාලනය කිරීමට අවශ්‍ය විධිවිධාන නැති බව වාර්තා වෙනවා. එනිසා අනෙක් බන්ධනාගාර තුළත් මෙවැනි සිදුවීම් ඇතිවීමට අවදානමක් තිබෙනවා. බන්ධනාගාරවල නිලධාරීන්ට මෙහි වගකීම පැවරීම සාධාරණ නැහැ. මොකද එම නිළධාරීන්ටත් ගතහැකි ක්‍රියාමාර්ගවල සීමාවක් තිබෙනවා. එනිසා ආණ්ඩුව පැත්තෙන් විශේෂ මැදිහත්වීමක් බන්ධනාගාර සම්බන්ධයෙන් සිදුකළ යුතුව තිබෙනවා.

මේ සියලු කාරණාවලින් කියවෙන්නේ අපේ රට තුළ කොවිඞ් තත්වය පාලනය කළ යුතු බවයි. කොවිඞ් සමග ජීවත් වෙනවා කියන්නේ ලෙඬේට පැතිරෙන්න ඉඩ දෙනවා කියන එක නෙවෙයි. මෙම වසංගතය පාලනය කළ යුතුයි. අපේ ඉලක්කය විය යුත්තේ කොවිඞ් සමග ජීවත්වීම නොව එය පාලනය කිරීමයි. නමුත් අපිට දකින්නට තිබෙන්නේ රජය මෙය අතහැර දමා ඇති බවක්. තමන්ගේ ආරක්‍ෂාව තමන් සළසා ගන්න කියලා ජනතාවට බාරදී ඇති තත්වයක් තිබෙනවා. රජයේ නොහැකියාව කොවිඞ්වලට වසංකරමින් වගකීම ජනතාව මත පැටවීමේ ප්‍රවේශයක් දකින්නට තිබෙනවා. බන්ධනාගාර තුළ, විශ්වවිද්‍යාල තුළ, පාසැල් තුළ සිදුවන සිදුවීම්ද බඩු මිල ඉහළ යෑම් වැනි සියලු දේ කොවිඞ්වලට ලඝු කිරීම සහ කොවිඞ් සමග ජීවත් වීමට බලකෙරී ඇති තත්වයකට තල්ලු වීම සිදුවෙමින් තිබෙනවා. එය පිළිගත හැකි තත්වයක් නොවෙයි. ආණ්ඩුව තිබෙන්නේ මෙම තත්වයන් පාලනය කිරීමටයි. ආණ්ඩුවේ නොහැකියාව කොවිඞ්වලට බැර කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

You may also like

Leave a Comment