මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටින බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සඳහන් කරති. ඒ ඔවුන් අද (22) පෙරවරුවේ කොළඹදී පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.
එම මාධ්‍ය හමුවේදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ,

හේතුවට අත නොතබා, ඵලය ගැන කතා කිරීම නිශ්ඵල දෙයක්
නීතිඥ සුනිල් වටගල
“ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ විශේෂ මාධ්‍ය හමුව පවත්වන්නේ පසුගිය 09වැනිදා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ තුච්ඡ ප්‍රහාරයත් ඉන් පසුව ඇති වුණු සිද්ධිදාමයේ අසමතුලිතතාවය දක්වන්නයි. ඇත්ත හේතුව සොයන්නේ නැතිව දේශපාලන පක්ෂයකට, දේශපාලන ව්‍යාපාරයකට, කිසිදු පදනමකින් තොරව මේ ප්‍රහාරයේ වගකීම පවරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කිරීමෙන් පසුව සියලු විනාශයන් සිදුවුණා. හේතුව සහ ඵලය බුදුදහමට අනුව විග්රහකර තිබෙනවා. හේතුව ඇතිවුණු අරලියගහ මන්දිරය අමතක කර, ඵලයට වැරදි අර්ථ නිරූපණයක් දෙන්න යනවා. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ සම්බන්ධතාවයක් ගැන කියන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ ඇත්ත තැනින් මේ ප්රශ්නය අල්ලන්න කියලයි. එහෙම නැත්නම් ප්රජාතන්ත්රවාදයටත් නීතියේ බලයටත් ගැලපෙන්නේ නැහැ. ප්‍රහාරය සම්බන්ධ සුප්‍රසිද්ධ චරිත කිහිපයක් මේ දක්වා කරළියේ රඟපානවා. නීතියේ අර්ථයෙන් ගත්තාම මීට ඍජුව වගකියන්න ඕනෑ හේතුව ඇති කළ මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු. දණ්ඩ නීති සංග්‍රහයත්, අපරාධ නීති සංග්‍රහයත් ඇසුරෙන් ගත්තාම කුමන්ත්රණයත්, කුමන්ත්‍රණයක් ඇති කරන වෛරී ප්‍රකාශන සිදුකළේ මේ අය. ඉන්පසුව යම් යම් සිදුවීම් ඇති වුණා. අපි ඒවා අනුමත කරන්නේ නැහැ.
ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම, තෙල් පෝලිම රටේ ජනයාට තිබෙන මූලික ප්‍රශ්නයි. නමුත් මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ධන දෙන්නත්, මන්ත්‍රීවරුන්ගේ අලාභහානිවූ නිවාසවලට වන්දි දෙන්නත් වාදවිවාද කරන ආකාරය පාර්ලිමේන්තුවේදී දැක්කා. අපි සාකච්ඡා කරන්නේ මේ අසමතුලිතතාවය ගැනයි. තවම අත්අඩංගුවට නොගත් මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්න කියලා අපි බලකරනවා. මේ ප්රශ්නය ඇති කළේ ඔවුන්. ඉන්පසුව හඳපාන්ගොඩ මහත්මිය, මහින්ද කහඳගම, වගේ අය ඉන්නවා. “මයිනාගෝගමට ගහලා එන්නේ. ගෝඨාගෝගමට ගහන්න යනවා. අපි නීතිය අතට ගත්තා” කියලා හඳපාන්ගොඩ මහත්මිය කියනවා. පොදුජන පෙරමුණේ ගුරුවෘත්තීය සමිතියේ නායිකාව මේ කියන්නේ.
අනුරංග කියන සාමකාමී විරෝධතාකරුවාට පොල්ලකින් පහර දෙනවා. අදත් පහර කෑ අනුරංග දැඩිසත්කාර ඒකකයේ ඉන්නේ. රටේ ජනයාගේ දැවෙන ප්‍රශ්න ගැන උත්තර නැති නිසා උද්ඝෝෂණය කරමින් ඉන්නේ. උද්ඝෝෂකයෝ කුපිත වෙන තැන් තිබෙනවා. ඒ කුපිතවීම් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය මත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඇතැම් උසාවිවලට පොලිසිය ඉදිරිපත් කර තිබෙන ‘බී’ වාර්තා අනුව නඩු පවත්වාගෙන යන්න බැරි බව විනිසුරුවරුන් කියා තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරයෙක් කියා තිබෙනවා පහරදීම්වලට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ 150ක් සිටි බව. ඒ මන්ත්‍රීවරයාම ඊට පෙර එක්නැලිගොඩ ප්‍රංශයේදී හමුවූ බව කියා තිබුණා. මෙවැනි බොරු අවලාද ඉදිරිපත් කරමින් හේතුවට අත නොතබා, ඵලය ගැන කතා කිරීම නිශ්ඵල දෙයක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධකරුවන් එක්ක ඉන්න ඡායාරූප තිබෙනවා. මේ පුද්ගලයෝ අරලියගහ මන්දිරයේ සිට එතැනින් ගමන්කර පහරදීම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතුයි. නමුත් අදටත් හඳපාන්ගොඩ එළියේ ඉන්නේ නීතිය අතටගත්තා කියලා ප්‍රකාශ කිරීමෙන් පසුවයි. බලය වෙනුවෙන් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමෙන් හානියට පත්වූ වින්දිතයන් තවමත් ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඔවුන්ට ප්‍රහාර එල්ල කළ අය වහාම අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කරනවා.”

පොලිසිය මේ කරන අනීතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අපි පසුබට වෙන්නේ නැහැ.
නිතිඥ සුසන්ත දොඩාවත්ත
“ඒ ඒ ප්‍රදේශවල පොලිසිවලින් විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රාදේශීය අධිකරණවලට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පහරදුන් බවට චෝදනා කරමින් අධිකරණවලට ඉදිරිපත් කරන අය වෙනුවෙන් අපි බෝහෝ නඩුවලට පෙනීසිට තිබෙනවා. එහිදී පෙනී ගියේ අදාළ පොලිසිවලින් නිසි විමර්ශනයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අරලියගහ මන්දිරයට 09වැනිදා ගිය බවට වීඩියෝ සාක්ෂි තිබෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසියට පැමිණිලිකර තිබෙන්නේ එදා සවස 4.00ට තම නිවාසවලට ප්‍රහාර එල්ලවන අවස්ථාවේ නිවසේ රැඳීසිටි බවයි. ඔවුන් එසේ පැමිණිලි කරද්දී කිසිදු පදනමකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල යෙදුනු අයගේ නම් පොලිසිවලට ලබාදී තිබෙනවා. මේ තත්වය විශේෂයෙන් හෝමාගම, කැස්බෑව සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලදී දැකගන්න තිබුණා. මේ හරහා ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය මේ ප්‍රහාරවලට සම්බන්ධ බවට ප්රවෘත්ති නිර්මාණය කරනවා. බොහෝ අධිකරණවල ඉන්න මහේස්ත්‍රාත්වරුන් ඉතා මධ්‍යස්ථව කරුණු සලකා බලා මුල් අවස්ථාවේදීම ඇප ලබාදී තිබෙනවා. ඇතැම් පොලිසි කිසිදු සාධාරණ පදනමකින් තොරව අත්අඩංගුවට ගෙන ඇති අය හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කරන්නත් කටයුතු කර තිබෙනවා. ඒ හරහා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ දිගටම තබා ගන්න උත්සාහ කරනවා.
ඊයේ (21දා) මීගොඩ පොලිසියෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවෙක් සම්බන්ධ විස්තර තවත් උදාහරණයක්. එකම වෙළඳ සංගමයේ ආසන්න කඩ දෙකේ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් මත අනෙක් කඩයේ ව්‍යාපාරිකයාට චෝදනාකර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. පැමිණිලිකරුගේ දුවට අදාළ චූදිතයා හඳුනාගත හැකි බව සඳහන් කරමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබුණා. පොලිසිය මේ කරන අනීතික අත්අඩංගුවට ගැනීම් සහ අනීතික නඩු පැවරීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අපි කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ. ආණ්ඩුව තමන්ට වාසි ගන්න ඉතා පැහැදිලිව ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයන් යොදවා නම් ලැයිස්තු ලබාදෙමින් අත්අඩංගුවට ගැනීමට පොළඹවා තිබෙනවා. අපි පැහැදිලිවම එය හෙළාදකිනවා.”

නැහැයි කියූ මල්වාන ඉඩම බැසිල්ගේ බව පොලිසිය අධිකරණයට කියලා
නීතිඥ අකලංක උක්වත්ත
“ආණ්ඩුව සහ රාජ්‍ය මාධ්‍ය සියල්ල එකතු වෙලා ගෙනයන අසත්‍ය ප්‍රචාර රැසක් තිබෙනවා. මෙම අසත්‍ය ප්‍රචාර තුළම ඇති පරස්පරයන් අපිට පැහැදිලි වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සුප්‍රසිද්ධ මල්වාන නිවාසය සම්බන්ධව ඉදිරිපත් කරන්නම්. ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවතින 26/2017 නඩුවට අදාළ දේපොළ මේ වන විට නඩු භාණ්ඩයක්. 10 වැනිදා දහවල් 1.00 සහ සවස 5.00 අතර තුර මේ දේපළ ගිනිතබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බී 58890/2022 යටතේ පූගොඩ අධිකරණයට දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. 12-2 අතර මුල් සිදුවීමත් ඊට පසුව සවස 5.00ට පමණ තුන් සියයක් විතර පිරිස ඇවිත් ඇති බවත් සඳහන් වෙනවා. දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත නමැති නිලධාරියා ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය මම දක්වන්නම්.
“2022.05.10 දින පොලිස් ස්ථානයට 119 මධ්‍යස්ථානය මගින් පැය 12.20ට ලද තොරතුරක් මත මල්වාන ප්‍රදේශයේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසට පිරිසක් පැමිණ දේපළ අලාභහානි කරන ලද බවට” කියලා සඳහන් වෙනවා. මෙච්චර කල් අපි දැනගෙන හිටියේ ඔය ඉඩම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නොවෙයි කියලා. මොළ හතේ මහත්තයා කීවෙත් එහෙමයි. යුදහමුදා මූලස්ථානයේ සැලසුම අඳින්න දීලා තිබුණ ජයකොඩි කියන මහත්තයාට අයිති ඉඩමක් කියලයි මේ දක්වා කියලා තිබුණේ. දොම්පේ පොලිස් ස්ථානාධිපතිට ඒ බව අමතක වෙනවා. ඇත්ත මතක් වෙනවා. ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂගේ ගෙදරට ගිනි තබලා ඇති බවයි. මෙපමණ කල් කීව කතාව සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ගෙනල්ලා ප්‍රශ්න කරන්න බැසිල් රාජපක්ෂට පුළුවන්. මේ නඩු වාර්තාවේ මහේස්ත්රාත්තුමා ලබාදී තිබෙන නියෝග මා උපුටා දක්වන්නම්.
“මෙම අපරාධයට අදාළව ගම්පහ මහාධිකරණ නඩු අංක 26/2017 දරන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් වන අදාළ දේපළ ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාව සැලකිල්ලට ගැනීමේදී මෙම අපරාධය 2022.05.10 වන දින සිදුවී ඇති බවත්, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පවා මෙම අපරාධය පරීක්ෂා කිරීමට පැමිණ ඇත්තේ ඊට දින දෙකකට පසුව, 2022.05.12 වන දින බව පැහැදිලිව පෙනී යයි. තවද මේ වන තෙක් රජයේ රස පරීක්ෂකවරයා මෙම ස්ථානයට කැඳවීමට නොහැකි වී ඇති බව පෙනේ. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ පිරිස් මෙල්ල කිරීමට වෙඩි උණ්ඩ තුනක් එල්ල කළ බවට ‘බී’ වාර්තාවේ සඳහන් කර ඇති නමුත් ඒ සඳහා උපයෝගී කර ගන්නා ලද ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුකර නොමැත. තවද මෙම වරද 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන පනතේ දෙවැනි වගන්තිය යටතට ගැනෙන වරදක් බවට පැමිණිලිකරු දක්වා ඇත. කෙසේ වුවද මෙම දේපළ මෙතෙක් රාජසන්තක කරන ලද දේපළක් නොවන බවත් ගම්පහ මහාධිකරණ අංක 26/2017 දරන නඩුවේ නඩු භාණ්යක් වන බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව පැහැදිලිව පෙනී යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොදු දේපළ පනතේ ලා සැලකෙන 8වැනි වගන්ති ප්‍රකාරව වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාද නිසි විමර්ශනයක් සිදුකොට එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවයි. මෙම අපරාධය දිවා කාලයේ සිදුකර ඇති අතර, මහාධිකරණයේ නඩු භාණ්ඩයක් වන දේපළක් ආරක්ෂා කර ගැනීමට දොම්පේ ස්ථානාධිපතිවරයාට නොහැකි වීම කනගාටුවට කරුණකි. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් සිදුකිරීම මගින් වැඩි ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.”
ඒ එක්කම පොලිස්පතිතුමාට නියෝගයකුත් කර තිබෙනවා. මේ විමර්ශනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ යුතු බව විනිසුරුතුමා දන්වා තිබෙනවා. 20 වැනිදා මේ නඩුව කැඳෙව්වා. නමුත් වැඩිදුර වාර්තාව තාමත් ඉදිරිපත් කර තිබෙන්නේ දොම්පේ ස්ථානාධිපතිවරයා විසින් බව. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සවිඥාණික නැහැ. ඔහුට තමන්ව ආරක්ෂාවීමටත්, දේශබන්දුව ආරක්ෂා කිරීමටත් තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කර තිබෙන කතා අනුව පොලිස්පතිවරයාගෙන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර ලේකම්ගෙන් ලැබී ඇති නියෝග අනුව පහරදීම වැළැක්වීමට ක්‍රියාකර නැහැ. දේශබන්දු තෙන්නකෝන් මානවහිමිකම් කොමිෂන් සභාව හමුවේ ලබාදී ඇති කටඋත්තරය අනුව පොලිස්පතිත් අර ලේකම්වරයාත් දණ්ඩ නීති සංග්‍රහයේ 112 වගන්තිය අනුව නීත්‍යානුකූලව ක්‍රියා නොකර හැරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර තිබෙනවා. පොලිස් ආඥා පනතේ 56වැනි වගන්තිය අනුව ඔවුන් බැඳී සිටින රාජකාරියක් ඉටුකර නැහැ. පොලිස්පතිවරයාට සුජාත වෙන්න ඕනෑ නම් දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම නව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමටත් හැකියි. යහපාලනය කාලේ ඇවන්ගාඩ් සිද්ධිය නිසා ආණ්ඩුව ඇතුළෙන් ආ විරෝධයෙන් ඇමතිකමෙන් අයින් වුණා. ඒ කාලයේ රාජපක්ෂලා ආරක්ෂා කළ අධිකරණ ඇමති නැවත වතාවක් ඒ තනතුරට පත්කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් අනුව සනත් නිශාන්ත සමග දේශබන්දු තෙන්නකෝන් සිටිය බව සඳහන් වෙනවා. ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මහේස්ත්රාත්තුමා ප්‍රශ්න කර තිබුණා. නීතිපතිවරයා වෙනුවෙන් උත්තරදී තිබුණේ තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන දේශබන්දු නොගන්නේ මන්දැයි මහේස්ත්රාත්තුමාට ප්‍රශ්නයක් තිබුණා. රාජකාරිය නොකර හැරීම සම්බන්ධයෙන් හැමපැත්තෙන්ම තහවුරු වෙනවා. කටඋත්තරයක් දුන්නා නම් සාමාන්‍ය පුරවැසියන් අත්අඩංගුවට ගන්නවා. නමුත් ඒ ගොල්ලන්ට විමර්ශනය කරලත් විදේශ ගතවීම් නතරකර තිබිලත් අත්අඩංගුවට ගෙන නැහැ. නීතිපතිතුමාටත් තමන්ගේ සුජාතභාවය පෙන්වන්න පුළුවන් නඩු 29ක් අයින්කර ගත් කිලිටි අතීතය තිබුණත්. නාමල් රාජපක්ෂත් නීති විරෝධී රැස්වීම් පවත්වා කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පුනරුත්ථාපනයක් ගැන කතා කළා. ඇත්තටම තාත්තා පුනරුත්ථාපනය කිරීමෙන් පටන් ගන්න එක හොඳයි. ඊට පස්සේ තමනුත් එක්ක අයියලා මල්ලිලා පුනරුත්ථාපනය වෙන්න කියන්න.”

පෙට්‍රල්, ගෑස්, භූමිතෙල් නැතිව ජනතාව දවස් ගණන් පෝලිමේ ඉන්නකොට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට හෙලිකොප්ටර්වලින් එනවා
නීතිඥ චරිත් ගල්හේන
“අපි අද මේ හමුවෙන්නේ ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක අඳුරුතම හෝරාවකට පසුවයි. ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාගන්න දවසේ වැඩි කාලයක් පෝලිම්වල දුක්විඳිනවා. ඒ අතර දවස් 4ක් පාර්ලිමේන්තුවේ විවාද කර ජනතාවගේ ප්‍රශ්න විසඳීම ගැන අවධානය යොමුකරනවා වෙනුවට තමන්ගේ අඳෝනාවන් ගැන කතාකරන්න යොමු කළා. මේ රටේ ජනතාව ඇතිතරම් භීෂණය දැකලා තිබෙනවා. පසුගිය දවස්වල ඇතිවුණු භීෂණයක් ඊට පෙර තත්වයනුත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. 83නේ කළු ජූලියේදී ජනතාවගේ නිවාස ගිනිගන්නා දිහා දේශපාලකයා බලාගෙන සිටියා. රට පුරාම පැතිරවූ වෛරය අනුව ගිනිගන්නා දිහා දේශපාලකයා බලාගෙන සිටියා. මැතිවරණයකින් පස්සේ වෛරය වපුරා ගිනිගන්නා දිහා ජයග්‍රාහී දේශපාලකයා බලාගෙන සිටියා. මේ අවස්ථාවේ මිනිසුන් තම වෛරය දේශපාලකයා මත මුදාහැරියා. නමුත් අපි කිසිම අවස්ථාවක ප්රචණ්ඩත්වය අනුමත කරන්නේ හෝ ඒ පැත්තේ හිටගන්නේ නැහැ. නමුත් මේ රටේ පාලකයා දැන්වත් අඩුමතරමින් ප්රචණ්ඩත්වය පිටුපස තිබෙන කතාව තේරුම් ගන්න ඕනෑ.
මේ රටේ ජනතාව සමග තරුණයන් මාසයක් පුරා සාමකාමී අරගලයක් ගෝල්ෆේස් පිට්ටනියේ ගෙනගියා. නමුත් අගමැතිවරයාගේ නිවසට රැස්වුණු පාක්ෂිකයෝ නාලාගිරි ඇතා මුදාහැරියා වගේ රටේ මාධ්‍ය සහ අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ පවා සජීවී විකාශන අවස්ථාව නොතකා ම්ලේච්ඡ ප්රහාරයන් මුදාහැරියා. පොලිසිය අත්වැල් අල්ලාගෙන මැරයන් නවත්වන්න හදන බව පෙන්නුවත් බැලූ බැල්මට ප්‍රචණ්ඩත්වයට ඉඩදීලා තිබුණා. නීතිය අතට ගත් මැරයන් ඒ බව පැහැදිලිව කියා තිබුණා. යම් කෙනෙක් නීතිය අතට ගත්තාම ඉබේම අනෙක් අයටත් ඒ වෙනුවෙන් පාර කැපෙනවා. ජනතාවගේ ප්‍රශ්න නොතේරෙන පාර්ලිමේන්තුව සමාජගත කරන්න උත්සාහ කරන්නේ මේ රටේ තරුණ පරපුර සහ නැගීගෙන එන විකල්ප දේශපාලනය ගැන ජනතාව නොමග යවන්නයි. මේ අයගේ වැඩවසම් දේශපාලන ක්‍රමයට පහර වැදිලා තිබෙන්නේ. ප්‍රවේණිදාසයෝ විදිහට ජනතාව දිගටම තියාගන්න මේ ගොල්ලන්ට ඕනෑකම තිබෙනවා. දවස් ගණන් ජනතාව පෙට්‍රල්, ගෑස්, වගේම භූමිතෙල් ටිකක් නැතිව පෝලිමේ ඉන්නකොට පාර්ලිමේන්තුවට හෙලිකොප්ටර්වලින් එන අය ඉන්නවා. ඒ හෙලිකොප්ටර් වතුරෙන් දුවනවාද කියලා අපි දන්නේ නැහැ. අපි එක ඉල්ලීමක් කරනවා. දැන්වත් අවම වශයෙන් සංවේදී වෙන්න. එහෙම නොවුණොත් ඊගාවට ගෙදර බල්ලන් හපාකන්න පටන් ගනීවි. යම් යම් මන්ත්‍රීවරුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා ඔවුන්ට පහරදී ඇති බව අපි දැක්කා. ඉදිරියේදී තත්වය ඊටත් වඩා බරපතළ වෙනවා.
පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ හරි අමුතු ආකාරයකට. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා. මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ගන්න බැරිවෙන විදිහටයි මේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ. ඒ පනත මේ අවස්ථාවේදී පොලිසියට අමතක වෙලා. ඒ පනතේ තුන්වන වගන්තිය, ආගමික සහ ජාතීන් අතර වෛරය වැපිරීමට විරුද්ධව ක්‍රියාකිරීමේ විධිවිධාන මේ පනතේ තිබෙනවා. නමුත් මේ වගන්තියේ ඇත්තටම අවශ්‍ය අවස්ථාවලදී ඉදිරියට ගන්නේ නැහැ. ඒ බව නීතිපතිටත් අමතකවෙලා. ගෝඨාගෝගමටත්, මයිනාගෝගමටත් පහර දුන් අය අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙන අතර, ප්රාදේශීයව ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන්. විරෝධතා ව්‍යාපාරයකට කෑමටිකක් දුන්න මනුස්සයාත් අත්අඩංගුවට ගන්න තත්වයක් උදාවෙලා තිබෙන්නේ. දැන් පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුවෙන් ජනතාවගේ අවම ප්රශ්නවලටවත් උත්තර ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රශ්නවලට උත්තර දෙයි, සාධාරණ පරීක්ෂණ පවත්වයි, ඩොලර් ගලාගෙන එයි, ඉන්දන සහ ගෑස් ප්රශ්නය විසඳෙයි කියලා බලාගෙන ඉන්නවා නම්, එහෙම එකක් වෙන්නේ නැහැ. එතුමා විසඳා ගත්තේ එතුමාගේ ප්රශ්නය විතරයි. සිරිකොත බේරාගන්න එතුමාට තිබුණු ප්රශ්නය යන්තම් විසඳාගෙන තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේනට කළ දේ මෙවර ඔහුට පාරාවළල්ලක් වී එනවා. රාජපක්ෂ රෙජීමයට එල්ල වුණු ප්‍රහාරයෙන් තාවකාලිකව ගැලවීම සඳහා රනිල් වික්රමසිංහව පාවිච්චි කරනවා. මේ අයට අපි අවධාරණය කරන්නේ දේශපාලන දඩයම් නවත්වන ලෙසයි. පොලිසිය නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන ලෙසයි. නිල ඇඳුම ඇතුළේ මිනිස්සු වෙන්න. පොලිස් නිල සුනඛ අංශය නොවෙයි, පොලිසියේ රාජකාරිය කරන්න. ජනතාවගේ ආරක්ෂාවට මිස දේශපාලකයාගේ බැලමෙහෙවරකම් කරන්න, ඔවුන්ගේ කකුල් හෝදන්න නෙවෙයි පොලිසිය ඉන්නේ.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නීතිඥ උපුල් කුමරප්පෙරුම පිළිතුරු ලබාදෙමින්…
ප්රශ්නය:- නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබලා සහයෝගය දෙන්නේ කොහොමද?
පිළිතුරු:- “නීතිඥ වෘත්තිය එක්ක බැඳුනු රීති මාලාවක් තිබෙනවා. වෘත්තිකයන් ආරක්ෂා කළ යුත්තේ විනය රීති පද්ධතියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට වැදගත් වන, ජනතාවගේ අයිතිවාසිකම් රජයක් විසින් උල්ලංඝනය කරන මේ වගේ විශේෂ අවස්ථාවලදී නීති වෘත්තිකයෝ පෞද්ගලිකව හෝ නොමිලේ පෙනී සිටින අවස්ථා තිබෙනවා. ඒ වගේම නීතිඥ සංගමයට අමතරව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වගේ වෙනත් සංවිධාන තිබෙනවා. මේ සංවිධානවලින් ගත් තීරණ අනුවත් සේවාදායකයන් වෙනුවෙන් මැදිහත් වෙනවා. යම් අපරාධවලට සම්බන්ධ අය වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටීම වළක්වන්න බැහැ. ඕනෑම මනුස්සයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබෙන අයිතිවාසිකමක් ඒක. සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ යුතු කාරණා නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරුකර තිබෙන පූර්ව නිර්දෝෂීභාවය පදනමේ සිට නීතිඥවරයෙකුගේ සේවය ලබාගැනීමේ අයිතියක් තිබෙනවා. මහාධිකරණයේදී හෝ අභියාචනාධිකරණයේදී අපරාධ නඩුවක අභියායචකයෙකු වෙනුවෙන් වෙනත් නීතිඥයෙකු නැතිනම් රජයෙන් නීතිඥයෙකු ලබාදෙනවා. කෙනෙක් වෙනුවෙන් නීතිඥයෙකු ලබාදීමට හෝ නීතිඥයෙකු ලබාගැනීම වැළැක්වීමට හැකියාවක් අපට නැහැ. නමුත් මේ සිද්ධිදාමය තුළ දේශපාලන පළිගැනීමක් සිදුවූ අය වෙනුවෙන්, පොලිසියේ අනීතික මැදිහත්වීම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.”
ප්රශ්නය:- පසුගිය දිනවල මහමඟදී ප්‍රහාර එල්ලකිරීම හෝ මරාදැමීම් තිබුණා. හරි හෝ වැරදි වේවා අරගලය වෙනුවෙන් පෙනී සිටීවි යැයි මහජනතාවගේ අදහසක් තිබෙනවා නේද?
පිළිතුර:- “ප්රචණ්ඩත්වය වෙනුවෙන් අපි පෙනී සිටින්නේ නැහැ. තමන් කැමති දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටීමේ, මතයක් එක්ක ජීවත්වීමේ අයිතියක් තිබෙනවා. නමුත් ප්රචණ්ඩත්වය අරගලයට ලඝු කරලා නීතිඥයෝ කටයුතු කරයි කියලා හිතන්න අමාරුයි.”