Home News Sinhala මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වී ඇති වෙලාවක ලොහාන් රත්වත්තේගේ ක්‍රියාව සෙල්ලමක් නෙමෙයි…

මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වී ඇති වෙලාවක ලොහාන් රත්වත්තේගේ ක්‍රියාව සෙල්ලමක් නෙමෙයි…

by Ravinath Wijesekara

නීතිඥ සුනිල් වටගල මහතා

“රට තුළ වගේම ජාත්‍යන්තරවත් විශාල ආන්දෝලනයකට තුඩු දෙන සිදුවීම් කිහිපයක් මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා විසින් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස අපි මෙම ඉල්ලා අස්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව අවධාරණය කරනවා. බන්ධනාගාරයක් පාලනය වෙන්නේ ඊට අදාළ පනත සහ ඒ යටතේ පවතින රීති සහ රෙගුලාසිවලින්. ලොහාන් රත්වත්තේගේ ක්‍රියා කලාපය බන්ධනාගාර පනත සහ ඒ යටතේ පවතින රීති සහ රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. බීමතින් බන්ධනාගාර ඇතුළට නියමිත වේලාවට පිටින් ගොස් තිබෙනවා. ඒ වගේම පෙම්වතියද කැටුව යාම හෝ යාමට තැත්කර තිබෙනවා. නමුත් විශේෂයෙන් අවධානය යොමුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී අධිකරණ භාරයේ සිටින රැඳවියන් දණ ගස්වා තමන්ගේ පිස්තෝලය එල්ල කර මරණීය තර්ජනය කිරීමේ සිදුවීමටයි. 

මේක බරපතළ සිද්ධියක්. බන්ධනාගාර පනත, දණ්ඩ නීති සංග්‍රහය, ගිනි අවි පනත සහ අපරාධ නඩු විධිවිධාන පනත ඇතුළු සැලකිය යුතු අණ පනත් ගණනාවක් උල්ලංඝනය කිරීමක්. ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවා මේ සිද්ධිය සම්බන්ධයෙන් අත පොවා තිබෙනවා. 1990 දෙසැම්බර් 14වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කරන ලද 45/111 දරන සිරකරුවන් ආරක්‍ෂා කිරීමේ මූලික ප්‍රතිපත්තිවලට මෙය සපුරා පටහැණි බව අවධාරණය කර තිබෙනවා. මැන්ඩෙලා ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට ආරක්‍ෂාව ලබාදිය යුතුයි. නමුත් මෙම සිදුවීමෙන් දේශීය නීතිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය අමාත්‍යධුරය ඉවත් කළ බව කියනවා. මෙයට විරුද්ධව විශාල උද්ඝා්ෂණයක් පැන නැගීම හමුවේ ආණ්ඩුව ගත්තා යැයි කියන මේ ක්‍රියාමාර්ගය ජනතාව නොමග යැවීමක්. අපරාධ නීති සිද්ධාන්ත අනුව සිදුවන වැරදි සමථ කරන්න බැහැ. මේ අපරාධය සිද්ධ වෙන්නේ රජයට එරෙහිවයි. නමුත් අපේ රටේ අපරාධ නීතියට අදාළ ක්‍රියාවලදී තනතුරෙන් පහ කිරීම හෝ සොරකම් කරන ලද දේපොළ ගෙනත් දීමේ පූර්වාදර්ශයක් ක්‍රියාත්මක වෙනවා. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ ඒ සිද්ධියට අදාළ පට්ටම විතරක් ගලවලා. මැණික් හා ස්වර්ණාභරණ ආයතනයට අදාළ රාජ්‍ය ඇමතිධුරයේ ඔහු අදටත් සිටිනවා. 

සතොස සභාපති රු. බිලියන 15කට වැඩිය භාණ්ඩාගාරයේ මුදල් වංචා කළ බව හෙළි වූවාට පසුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති බවට පත්කළා. අජිත් නිවාඞ් කබ්රාල් මහා භාණ්ඩාගාරයේ මුදල් ග්‍රීසියේ බැඳුම්කරවල යෙදවූ තැනැත්තායි. ඔහු යළිත් මහ බැංකු අධිපති බවට පත්කළා. මිනී මැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වූ චොකා මල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති හැටියට වාඩි වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුවරුන් පවා අනුමත කළ මිනී මැරුමකට අදාළ පුද්ගලයා ජනාධිපති සමාවෙන් නිදහස් කර නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති බවට පත්කරනවා. තමන්ගේ දෙමාපියන්ගේ සොහොන් කොත් මහජන මුදලින් හැදූ බවට චෝදනා ඉදිරිපත් වූ පුද්ගලයා ජනාධිපති වී ඉන්නවා. මල්වානේ ඉඩමක් අරගෙන මහජන මුදලින් ඉදිකිරීම් සිදුකර අද වෙනකොට අයිතිකාරයෙක් නැති ඉඩමක් බවට පත්කර තිබෙනවා. ඔහු අද මුදල් ඇමති. රටක් හිනස්සන, ලෝකයක් හිනස්සන ක්‍රියා කලාපයන් සිදුවුණේ මේ ආකාරයෙනුයි. 

අධිකරණ භාරයේ ඉන්න රැඳවියෙකුගේ ඔළුවට ගිනි අවියක් තියලා දණ ගස්වා තර්ජනය කිරීම බරපතළ සිද්ධියක්. බන්ධනාගාර ඇමති ඇතුළට පිස්තෝලය අරන් ගියේ කොහොමද? අපරාධ නීතිය යටතට ගැනෙන අණ පනත් රාශියක් උල්ලංඝනය කර ඔහු අදටත් නිවි සැනසිල්ලේ ගැවසෙනවා. සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයාට බලපාන්නේ නැත්තේ ඇයි? ගුරු වැටුප් අරගලවලට සහභාගී වූ ගුරුවරුන් අත්අඩංගුවට ගත්තාම නීතිඥවරුන්ට පවා බලන්න අවසර දුන්නේ නැහැ. බන්ධනාගාර නීතිය අනුව මන්ත්‍රීවරයෙකුට හෝ රැඳවියෙකු බැලිය හැක්කේ උදේ 5.30 සහ සවස 5.30 අතර. නමුත් ඇමතිවරයා රාත්‍රියේ බන්ධනාගාරයට කඩා පැනලා. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා මේවාට හවුල්. මෙවැනි සිද්ධියක් නොවූ බව බන්ධනාගාර කොමසාරිස් කියනකොට බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. මේ දෙකෙන් ඇත්ත මොකක්ද? අපි අවධාරණය කරන්නේ ආණ්ඩුව මේ තත්වයන් සෙල්ලමකට ගන්න එපා කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වී සිටින වෙලාවක පවා මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සෙල්ලමක් නෙවෙයි. “

අපරාධ නීතියේ බිඳ වැටීම මහජනතාවගේ නිදහස අවදානමේ බවට සංකේතයක්…

නීතිඥ ජගත් අබේනායක මහතා

නීතියේ ආධිපත්‍යය තුළ තිබෙන ප්‍රධාන කාරණය වන්නේ සෑම පුරවැසියෙක්ම නීතියේ බලයට අවනත විය යුතු බවයි. මේ නිසා රටේ සෑම පුද්ගලයෙකුටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ තුළින් සෑම පුද්ගලයෙකුගේම නිදහස, රැකවරණය ආරක්‍ෂා වෙනවා. ඒ ගැන හැඟීමක් සෑම පුද්ගලයෙකුටම ඇති වෙනවා. යම් චෝදනාවක් එල්ල වුවහොත් සාධාරණ නඩු විභාගයකට මුහුණ දී සාධාරණය ඉෂ්ට වන බව ඔවුන්ට තහවුරු වෙන්නේ මේ තුළිනුයි. නමුත් විධායකයට අයිති පුද්ගලයෙක් නීතිය තමන්ගේ අතට ගත්තාම නීතිය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. හෙට තව කැබිනට් ඇමතිවරයෙක් පාරේදී කාට හරි වෙඩි තියන්න හැදුවොත් මොකද වෙන්නේ? නිතියේ බිඳවැටීමෙන් සිදුවෙන්නේ මේ තත්වයන්. මෙය නවතින්නේ අරාජිකත්වයෙන්. මිනිස්සු නිතිය අනුගමනය කිරීම ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්. එය ඉතාමත් භයානක තත්වයක්. මෙවැනි සිදුවීම් එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ. මෙහි අවසානය මහජනතාවගේ පැත්තෙන් නීතිය ගැන විශ්වාසය බිඳ වැටීමයි. 

අපරාධ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම පැහැදිලිවම පේන්න තියෙනවා. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සාධාරණය ඉටුකරගන්න යන්න පුළුවන්. නමුත් තමන්ගේ බලය පාවිච්චි කර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු පවා වෙනස් කළාම අපරාධ නීතියේ පදනම බිඳ වැටෙනවා. මේ නීතියේ පදනම අහිංසක පුරවැසියාගේ ආරක්‍ෂාවයි. එය මේ ආකාරයට බිඳ වැටුණාම ඕනෑම රටක ඉතාම නරක තත්වයක් ඇති වෙනවා. මේ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි. ලොහාන් රත්වත්තේ සම්බන්ධ සිද්ධිය දේශපාලන දාම් ලෑල්ලේ ඉත්තෝ එහාට මෙහාට ඇදලා ගොඩගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතා බැරෑරුම් තත්වයක්. මහජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ගැන බරපතළ අවදානමක සංකේතාත්මක තත්වයක් මේ තුළ තිබෙනවා. 

ජාත්‍යන්තර තීරණ හමුවේ පීඩාවට පත්වෙන්නේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් නොව, මහජනතාවයි…

නීතිඥ අකලංක උක්වත්ත

20වැනි සංශෝධනය ගෙනත් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීම තුළ නීතියේ සමානාත්මතාවය ක්‍රියාත්මක නොවන බව විවෘතව ප්‍රකාශ කළා නම් අපිට හිත හදාගෙන ඉන්න පුළුවන්. නීතිඥවරුන් වශයෙන් නොව සාමාන්‍ය පුරවැසියන් වශයෙන් හිතුවත් මේ ආකාරයට සෘජු ප්‍රකාශනයක් කරනවා නම් අපිට ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. බන්ධනාගාරයට කඩා පැනීමේ සිද්ධියට අදාළ පුද්ගලයා ඇමතිවරයෙක් හැටියට හඳුන්වන්නවත් මම කැමති නැහැ. මේ පුද්ගලයාගේ ඉතිහාසයේ කල්ක්‍රියාව ගත්තත් මේකම තමයි. පොලීසිය, අධිකරණය, බන්ධනාගාරය යන සියල්ලම එකට බැඳී තිබෙන ආයතනයි. වැරදිකරුවෙකු සම්බන්ධයෙන් හෝ නිවැරදිකරුවෙකු සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබීම යුක්තිය ඉෂ්ට වුණ ආකාරයට සමාජය පිළිගන්නවා. සමහර දේවල් ඒ විදිහටම නැහැ. 

මේ පුද්ගලයන් ඉතිහාසයේ කළ දේවල් නැවත නොකරනවා කියන්න සාධක නැහැ. මේ පුද්ගලයාට දණ්ඩ නීති සංග්‍රහයේ බාගයකට විතර අදාළ චෝදනා ඉතිහාසයේ තිබුණා. ඒ සම්බන්ධයෙන් නඩු විභාග තිබුණා. ආණ්ඩුව කියන මට්ටමෙන් විද්‍යාත්මකව ලබාදුන් එකම ඇමතිකම මේක තමයි. බන්ධනාගාර ඇතුළේ මේ පුද්ගලයා හිටියා. ඒ නිසා ඔහුට ඒ ගැන සියලුම අවබෝධය තිබෙනවා. විද්‍යාත්මක හොඳම ඇමතිකම ගත්ත පුද්ගලයත් හැසිරෙන්නේ මේ විදිහට නම් අනිත් අය ගැන කතා කළයුතු නැහැ. රටක් වශයෙන් ගත්තොත් මේ තත්වයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ආයතන හමුවේ අතිශය අහිතකර තත්වයක් ඇති කරනවා. ඔවුන් මේ රටට පනවන යම් සීමා කිරීම්, සම්බාධක බලපාන්නේ ජනාධිපතිවරයාට හෝ ඇමතිවරුන්ට නෙවෙයි, මේ රටේ ජනතාවටයි. මෙහි බැරෑරුම්කම සාමාන්‍ය ජනතාවට දැනෙන්න ඕනෑ. පුද්ගලයන් වශයෙන් ඉදිරිපත් වී මේ තත්වයන් හෙළා දකින්න ඕනෑ. 

බන්ධනාගාර රැඳවියෙකුගේ ආරක්‍ෂාවට සම්බන්ධයෙන් රජය වගකිව යුතුය…

නීතිඥ උපුල් කුමරප්පෙරුම

මෙතන නිශ්චිත කරුණු 2ක් තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයා අවසර නැති වෙලාවක බන්ධනාගාරයට යාම, සහ එහි නිලධාරීන්ගේ හැසිරීම වශයෙන්. අදාළ ඇමතිවරයාට බන්ධනාගාරයක් නිරීක්‍ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔහු එහෙම ගිහින් හැසිරුණු ආකාරය වාර්තාවල සඳහන් වෙනවා. ඔහුගේ පුද්ගලික ගිනි අවිය බන්ධනාගාරය තුළට ගෙනගොස් තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාගාරවල ආරක්‍ෂක විධිවිධාන තර කිරීමෙන් තම සේවාදායකයන් බලන්න යන නීතිඥවරුන්ගේ සපත්තු, බෙල්ට් පවා ගලවා ශරීර පරීක්‍ෂා කළා. පෑන් පවා පරීක්‍ෂා කළා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයටත් මැදිහත් වෙන්න වුණා. මේ තරම් ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙද්දී ගිනිඅවියක් රැගෙන යන්න අවසර කොහෙන්ද? 

ඇමතිවරයාට බන්ධනාගාරය පරීක්‍ෂා කරන්න පුළුවන්. අවශ්‍ය නම් රැඳවියන් එක්ක කතා කරන්නත් පුළුවන්. අතීතයේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා බන්ධනාගාර පරීක්‍ෂා කරන්න ගිහින් ඔහුට බරපතළ තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. මෙතැනදී බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් එළියට ගෙන පිස්තෝලයක් තබා තර්ජනය කිරීම ඇමතිවරයාගේ විෂය පථයට අදාළ වෙන්නේ නැහැ. මෙතන අයුතු ඇතුල්වීම, සාපරාධී බලහත්කාරය, මරණීය තර්ජන එල්ල කිරීම, නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකර තිබෙනවා. සිරකරු අයිතීන් සම්බන්ධ ප්‍රඥප්තියේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙනවා. අධිකරණ නියෝගයකින්  බන්ධනාගාර ගත කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හෝ වෙනත් විනිශ්චයකාරවරයෙක් නිශ්චිත උපදෙස් මාලාවක්, විධානයක් බන්ධනාගාර අධිකාරියට දෙනවා. මෙයට කියන්නේ අධිකරණ භාරය කියලා. ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අධිකරණය, රජය වගකියන්න ඕනෑ. 

මේ වින්දිතයන්ගේ ආරක්‍ෂාව ගැන විශ්වාසය සහ මූලික අයිතිවාසිකම් බිඳ වැටිලා තිබෙනවා. මෙය සුළුපටු වරදක් නෙවෙයි. ඇමතිවරයෙකුට ගිහින් පිස්තෝලය පෙන්වලා මිනිස්සුන් එළියට ඇදලා ගන්න පුළුවන් නම් මේක අප්‍රිකාවේ වගේ තත්වයක්. රුවන්ඩාව, සුඩානය වගේ අප්‍රිකානු රටක් නෙවෙයි මේක. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. යුද හමුදා පාලනයක් තිබෙන රටක් නෙවෙයි මේක. ඒ නිසා මේක අප්‍රිකානු රටක් බවට පත්කරන්න එපා. බන්ධනාගාරයේ ඉන්න මනුස්සයෙකුට පවා අයිතිවාසිකම් තියෙනවා. මේවා බිඳ දාන්න එපා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. මේ රටට සම්බාධක පැනවුවහොත් මේ ඉන්න එක පාලකයෙක්වත් එයින් පීඩා විඳින්නේ නැහැ. ආර්ථික හෝ වෙනත් ඕනෑම සම්බාධකයකින් පීඩාවට පත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ සියලු දෙනාටම ඒ ගොල්ලන්ගේ මව් රටවලට යන්න පුළුවන්. එහෙම යන්න සල්ලිත් තියෙනවා. අපි කාටවත් ඒක කරන්න බැහැ. ඒ නිසා මේ රටේ පැවැත්ම වෙනුවෙන්, රාජ්‍යය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටුකරන බව ආණ්ඩුව ජනතාවට පෙන්වන්න ඕනෑ. 

අනෙක් පැත්තෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ ක්‍රියා කලාපය ගැන සලකා බලන්න ඕනෑ. ඇමතිතුමා ඇවිත් සිරකරුවන් සමග සාකච්ඡා කර ගිය බවයි ඔහු කියා තිබෙන්නේ. රාජ්‍ය සේවකයෙකුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් දිව්රුම් දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් පාලනය වන රීති සම්ප්‍රදායකින් බැඳිලා ඉන්නවා. මේ සියල්ල තියාගෙනත් ඔහු කර තිබෙන්නේ තමන්ගේ අමාත්‍යවරයා ආරක්‍ෂා කරන්න ප්‍රකාශයක් කිරීමයි. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයෙක් ආරක්‍ෂා කරන්න බැඳීලා නැහැ. දේශපාලකයන්ගේ වැරදි තීන්දු ප්‍රතික්‍ෂේප කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මේ රටේ සිට තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වුණේ ඉහළින් එන සමහර තීරණවලට එකඟ වෙන්න බැහැ කියලා. රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනෑ. ඔහු වගකියන්න ඕනෑ මේ රටේ ජනතාවටයි. උපුල්දෙනිය මහත්මයත් ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට විරුද්ධව වෙනම විනය පරීක්‍ෂණයක් පවත්වන්න ඕනැ. 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නීතිඥ හර්ෂණ නානායක්කාර පිළිතුරු දෙමින්…

ඔහු පොදු දේපොළ භාවිතා කර තිබෙනවා නම් එසේ කර තිබෙන්නේ රාජකාරී කටයුත්තකට නෙවෙයි. තමන්ගේ මිත්‍රයන්ගේ විනෝදය සඳහා. මෙතනදී අපි බලන්නේ ඔහු ගිය වාහනය නෙවෙයි, ඔහුගේ හැසිරීමයි. ඒ හැසිරීම නීති විරෝධීයි. එයට දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නැහැ. මිනිස්සුන්ට හිරිහැර කරලා, වින්දනයක් ලැබීම මානසික රෝග. මේ රාජ්‍ය ඇමතිවරයා සිදුකළ ක්‍රියාකලාපයේ බරපතළකම තිබෙන්නේ අතීතයේ මේ ආණ්ඩුවේ තිබෙන ක්‍රියාමාර්ගත් එක්කයි. මහර ඝාතනය, වැලිකඩ සිර ගෙදර ඝාතනය කියන සියල්ල මගින් අපේ රටේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරව ප්‍රශ්න කෙරෙනවා. මේ රටට ඇඟිලි ගහලා සම්බාධක පනවන්න පසුබිම හදලා දෙන්නේ මේ ආණ්ඩුවමයි. හිජාස් හිස්බුල්ලා නඩු විභාගයකින් තොරව මාස 16ක් අත්අඩංගුවේ ඉන්නවා. නඩු අහලා, වැරදිකාරයා වෙනවා නම් හිරේ දැමීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. කවියෝ පවා මේ විදිහට සිරගත කරගෙන ඉන්නවා. 

ගඟෙන් එතෙර වෙන්න වියතුන්ව පාවිච්චි කළා. අද ඔවුන්ව විසි කර දාලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගේන්න වැඩ කළ වියතුන් අද හැංගෙමින් ඉන්නේ. ඒ නිසා අද මේ රට පාලනය වෙන්නේ සංවිධානාත්මක හොර කල්ලියකින්. අපේ රටේ ආර්ථිකය, සමාජ සංස්කෘතික ජීවිතය, යන සියල්ල පාලනය වෙන්නේ මේ කල්ලියෙන්. සිද්ධියේ බරපතළකම අනුව අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි මෙතන සිදුකර තිබිය හැකියි. එය හරියටම කියන්න බැරි තාම කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැති නිසයි. මේ සිද්ධියත් එක්ක මොහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් ඉවත් කරන්න කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට බල කරන්න ඕනැ. මාංචු වැටෙන්න ඕනෑ අත්වල සමහර ස්වාමින් වහන්සේලා පිරිත් නූල් ගැට ගහපුවාම මෙහෙම ප්‍රශ්න මතු වෙනවා. ඔහු සමග හිටපු කාන්තාවටත් එකම නීතිය බලපාන්න ඕනැ. තාමත් පොලිසිය මේ ගැන විමර්ශන පටන් ගෙන නැහැ. පහන්තුඩුවේ සිද්ධියට සම්බන්ධ දෙදෙනා පසුවදා අත්අඩංගුවට ගත්තා. මෙතන තියෙන්නේ ඊට වඩා බරපතළම තත්වයක්. පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතනට ගිහිල්ලා බන්ධනාගාර නිලධාරීන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනෑ. ඒ මූලික තත්වයවත් සිදු නොවීමයි මෙතන තියෙන බරපතළම තත්වය. 

මෙම අවස්ථාවට නීිතිඥ නිර්මලා සිරිවර්ධන මහත්මියද සහභාගි වූවාය

You may also like

Leave a Comment