Home News Sinhala මීගමුව හා ධීවර ගින්න

මීගමුව හා ධීවර ගින්න

by Jayakody PSK

මීගමුව හා ධීවර ගින්න

මීගමුව හා ඒ ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශවල බොහෝදෙනා ධීවරයෝ හා ඒ ආශ්‍රිත රැකියාවල නියැලෙන්නෝ ය. එනම්, මාළු ඇල්ලීම, විකිණීම, එම කටයුතුවලට අත් උදව් දීම, ප්‍රවාහනය යනාදි දේ ය. ඔවුන්ගේ ජීවිත ගිනිගන්නට පටන් ගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නට බොහෝ කලකට පෙර ය. ඒ මේ රට පාලනය කළ අසංවේදී අමනෝඥ ආණ්ඩුවල ක්‍රියා කලාපයන් හේතුවෙන් ය.

කළපුව

අපේ රටේ මෝඩ ආණ්ඩුවලට සුන්දර පරිසර කලාපයන් පේන්නේ සංචාරක කලාපයන් හෝ මඩිස්සලේ පුරවන මුදල් කුට්ටි ලෙස ම පමණි. ලංකාවේ රසවත් ම ඉස්සන් කකුළුවන් ඇතුළු මත්ස්‍ය වර්ග 140කට පමණ හා අවට පරිසරයේ ඔක්සිජන් සැපයුමට දායකවන කඩොලාන වර්ග 29කට වාසභූමිය වී ඇති සරුසාර මීගමු කළපුව විනාශ කරමින් ජලචර ගුවන් යානා බැස්සවීමේ ප්‍රයත්නය පරාජය කිරීමට දිවි පරදුවට තබා විශාල අරගලයක් කරන්නට ධීවරයන්ට සිදු විය.

ඒ අතර අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී කළපුවට වන හානිය ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් බලධරයනට තිබූ බවක් පෙනෙන්නට නැත. කොන්ක්‍රීට් කනු මත නොයවා රට මැද තාප්ප ගසන්නා සේ ඉදි කළ අධිවේගී මාර්ග නිසා අත්තනගලු ද්‍රෝණියෙන් කළපුවට හොඳවතුර ගලා ඒම විශාල ලෙස අවහිර වී ඇති බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා ම අද වන විට කළපුවේ ලුණු සාන්ද්‍රණය මුහුදේ ලුණු සාන්ද්‍රණයටත් වඩා ඉහළ අගයක් ගෙන ඇත. මේ අතර මීගමු නගර සභාවේ කුණු කානු කිසිදු පවිත්‍ර කිරීමකින් තොරව කළපුවට හරවා ඇති අතර එමගින් කළපුවට සිදු වී ඇති හානිය ද විශාල ය. කළපුව අවට ඉදිවී ඇති හෝටල් හා කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන රසායනිකයන් හා අපද්‍රව්‍ය මිශ්‍ර අප ජලය ද මීගමු කළපුවට ය. බලධාරිහූ නිහඬ ය. කළපුව අවට ඉදිකර ඇති කරවල නිෂ්පාදන ආයාතනවල ලුණු මිශ්‍ර අප ජලය ද කළපුවට ය. බලධාරිහූ නිහඬ ය.

මීගමු කළපුවට එකතුවන හැමිල්ටන් ඇළ, ජා ඇළ හා දඬුගම් ඔය ද දූෂණය වී හමාර ය. ජල සම්පත අපවිත්‍රකරණය දඬුවම් ලැබිය හැකි වරදක් වුවද බලධාරිහූ ද, ගජ මිතුරෝ ද කිසිදු පැකිලීමකින් තොරව එසේ කරති. ” කාට පවසම් මේ අමාරුව, වැටත් නියරත් ගොයම කා නම්! ” මේ ගැන අදාළ බලධාරියකුගෙන් මෙම ලියුම්කරු විමසූ විට කිසිම ගාණක් නැතිව ඔහු පවසා සිටියේ කළපුව දැන් මරෙමින් ඇති බවය. නැත, එය හිතා මතා සැලසුම් සහගත ව මරා දමමින් තිබේ. මීගමුව ආශ්‍රිත කළපු ධීවර ජීවිතවලට කනකොකා හඬන්නේ දැන් බොහෝ කාලයකට පෙර සිට ය.

පෝට් සිටිය

මීගමුව ආශ්‍රිත ධීවරයාව පුළුස්සන අනෙක් ගින්න ඇවිළුණේ පෝට් සිටිය හරහා ය. ධීවරයන් මේකට විරුද්ධ වුනේ ප්‍රායෝගික කාරණා කීපයක් මුල් කර ගෙන ය. ඒ අතර ධීවරයා මසුන් අල්ලන සශීක්‍ර මාළු බිමක් ඔවුනට අහිමි වීම ය. අනෙක නම් මුහුදෙන් වැලි හාරා දූපතක් සෑදීම තුළ සිදුවන වෙරළ හානිය පිළිබඳව ඔවුන් තුළ වූ ප්‍රායෝගික අවබෝධය යි. මෙය දැන් සිදු වෙමින් පවතී. සුනාමි රළ පහරින් මීගමුව පිටිපන ආශ්‍රිත වෙරළ කලාපය ආරක්ෂා කළ විශාල ගල් පරය දැන් දැන් පුපුරා කැබලි වෙමින් තිබේ. ( එහි ඡායාරූප මේ සමග අමුණමි.)

මේ අරගලයේදී මහා පරිසර ආරක්ෂකයෙකු ලෙස හා දේශවාත්සල්‍යය උතුරා ගලායන්නකු ලෙස පෙනී සිටින චම්පික හිටපු ඇමතිවරයා මේ වෙනුවෙන් පෙනී සිටි ආකාරය පිළිබඳව බොහෝ ධීවරයන් පිළිකුළින් හා කළකිරීමෙන් කතා කරනු අසා ඇත්තෙමි. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇරඹුණු මෙම විනාශකාරි ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට වන හානිය පසෙක තිබියදී ධීවර ජීවිතවලට වෙමින් තිබෙන හානිය ඉතා විශාල ය. මෙහි බරපතල ම ඛෙව්දවාචකය නම් අදාළ චීන සමාගම විසින් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විරෝධය සමනය කිරීමට අල්ලස් යැයි නොකියවෙන අල්ලස් ලබා දීම ය: මේ තීරුවේ වෙසෙන බහුතරය කතෝලිකයෝ ය. කතෝලිකයන්ගේ වැදගත් පුදබිමක් වූ තේවත්ත බැසිලිකාවේ වහල ප්‍රතිසංස්කරණය කර දුන්නේ අදාළ චීන සමාගම ය. තව ද දුප්පත් ධීවරයන්ට කටහොල්ලනු බැරි මුඛ ආවරණයක් ලෙස ධීවර සමිතිවලට ලක්ෂ විස්ස බැගින් ලබා දෙන ලදී. ඉතා උනන්දුවෙන් මෙම මුදල ධීවරයන්ට ලබා දෙන්නට එකල ප්‍රාදේශීය පෝට්සිටි හිතවාදි ආණ්ඩු හා විපක්ෂ දේශපාලකයෝ කටයුතු කළහ. මෙය පගාවක් බව දුටු ඇතැම් ධීවර සමිති මෙය ලබා ගත්තේ නැත. මෙලෙස අල්ලස් යැයි නොකියැවෙන අල්ලස් මගින් ධීවරයා බිලිබා ගැනීම පමණක් නොව භේදභින්න කිරීම ද නොඅඩුව කරමින් අපගේ කපටි පාලකයෝ සිය නව ලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් ධීවර ජිවිතවලට ගිනි තබා ඇත.

කෝවිඩ් 19 හා එක්ස්ප්‍රස් පර්ල්

කෝවිඩ් 19 විසින් ඇති කළ වින්නැහි ද බොහෝ ය. මුල් කෝවිඩ් ලොක් ඩවුනය තිබියදී ගමනාගමනය ඇණහිටීම අවසර පත් ඇති වාහනවලින් පමණක් මාළු බෙදා හැරීම හේතුවෙන් කුණු කොල්ලෙට මාළු විකිණීමට ධීවරයන්ට සිදු වී තිබිණි. බොහෝ විට ඉන්ධන වියදමවත් ආවරණය කර ගන්නට නොහැකි විය. මීගමු ලෙල්ලම් ද කීප විටක් ලොක්ඩවුන් කරන ලදී. අන්තුරුව “පෑලියගොඩ පොකුර” හේතුවෙන් මාළු කෑම අඩුවීමත් සමග ධීවර ජීවිත තවත් ආගාධයට ගමන් කෙරිණ.

එක්ස්ප්‍රස් පර්ල්' පරීක්ෂණ කටයුතු තවදුරටත් - කපිතාන්වරයාගෙන් පැය 14 ක  ප්‍රකාශක් | සිළුමිණ

ලොක්ඩවුනයන් අඩු වී ධීවරයාට සැනසුම් සුසුමක් හෙළන්නට ඇති වූ මඳ අවකාශය පවා අහිමි කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගිනි ඇවිලිණි. අනතුරු ව මාළු විෂ සහිත විය හැකි බව කියැවුණු අතර ධීවර රැකියාවට තහංචි වැටිණි. දවසේ වේල පවා අහිමි ව හාමතේ දරු පැටව් හඬන හඬ බොහෝ නිවෙස්වලින් අසන්නට ලැබිණි. අනතුරුව දියඹ මුහුදේ පමණක් රැකියාවට අවසර ලැබිණි. සුළු ධීවරයෝ තවත් අසරණ වූහ. අමාරුවෙන් ලොකු වියදමක් දරා දියඹ මුහුදට ගිය ධීවරයාට මාළු විකුණා ගත නොහැකි වූයේ මාළුනට විෂ රාසායනිකයන් ඇතුළු වී ඇති බවට ඇතිකර තිබූ මතය නිසාවෙනි. බඩගින්නේ සිටිනවාට වඩා අභියෝගයට මුහුණ දී ජයගත යුතු ව ඇත. ධීවරයෝ සිය එක් තැනකට රැස්ව අල්ලා ගත් මාලු උයාගෙන සිය දරුමල්ලන් ද සමග ප්‍රසිද්ධියේ අනුභව කළේ මාළු අනුභව කිරීම අනතුරුදායකය යන මතයට අභියෝග කරන්නට ය. එහෙත් මේ ලියන මොහොත වන විටත් ගොඩ මුහුද තහනම් කලාපයක් ය.

මුතුරාජවෙල බලාගාරය

මීගමු කළපුව හා මුතුරාජවෙල එක ම සංවේදි පරිසර කලාපයක් ය; රක්ෂිත ප්‍රදේශයක් ය. එහෙත් නමට ය. මෙම ලිපියේ අරමුණ ඊට කරමින් තිබෙන හානිය ගැන කියන්නට නොවේ ය. එය වෙන ම මාතෘකාවක් ය. එහෙත් මේ වනවිට එහි බලාගාරයක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා දැනට අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කෙරේ. ඒ සඳහා වැලි ගහන්නේ යළිදු මුහුදෙන් ය. කැපුන්ගොඩ සිට උස්වැටකෙයියාව දක්වා මුහුදු ප්‍රදේශයෙන් මේ සඳහා වැලි ගැනීමට සූදානම් කර ඇති බව කියැවේ. තව ද ඒ සඳහා පුරා මාස හයක් ගතවන බවත් ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කෙරෙන බවත් කියැවේ.

මුතුරාජවෙල අභය භූමියේ විදුලි බලාගාරයක් හදන්න සූදානම්…. තවත් අභය භූමියක  මළගමක් – ජනයුගය

මෙයින් මෙම මුහුදු කලාපයට වන හානිය ඉතා බරපතල ය. මින් පෙර අධිවේගි මාර්ගය සඳහා ද වැලි ගැසුවේ මුහුදෙන් ය. පෝට් සිටිය සඳහා වැලි ගැසුවේ ද මුහුදෙන් ය. එය නිසා වෙරළ ඛාදනය ශීඝ්‍ර වී , සුනාමියෙන් මෙම ප්‍රදේශය ආරක්ෂා කළ තඹගල විනාශාභිමුඛයට යමින් තිබෙන ආකාරය මින් ඉහත ද සඳහන් කළෙමි. දැන් මෙම ව්‍යාපෘතිය මෙම තත්ත්වය තවත් දරුණු කෙරෙනු නියත ය.

මේ සියල්ල නිසා මීගමුව සිට කොළඹ දක්වා දිවෙන ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවිත ඉතා දුඛිත තත්ත්වයට පත් වීමට නියමිත අතර, එමතු නොව පදිංචි භූමි ප්‍රදේශ ද ජලයෙන් යට වී ජනයාට මෙම ප්‍රදේශවලින් ඉවත්වීමට සිදුවීමේ අවදානම ද බැහැර කළ නොහැකි ය.

අජිත් හැඩ්ලි පෙරේරා

You may also like

Leave a Comment