Home News Sinhala මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා…

මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා…

by Ravinath Wijesekara

මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා…

මෙම සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනී අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසූවේ “කොවිඩ් වගකීම කාටද?” මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (16) පැවැත්වූ ඔන්ලයින් සම්මන්ත්‍රණය අමතමිණි. මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අදහස් පහතින් පල වේ…

“අපි අවුරුදු එකහමාරකට වැඩි කාලයක් කොවිඩ් අත්දැකීම් ලබමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව සහ විවිධ කණ්ඩායම් විසින් මේ සම්බන්ධයෙන් විවිධ විග්‍රහයන් කරමින් ඉන්නවා. ජනතාව විවිධ ආර්ථික සමාජයීය සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අද තිබෙන සියලු ප්‍රශ්නවලට හේතුව කොවිඩ් කියලා. එයින් අදහස් කරන්නේ ඉතා හොඳින් තිබුණු රටක් මේ වසංගතයෙන් බැට කන බවයි. අනික් පැත්තෙන් “නිව් නෝමල්” තත්වයට හැඩගැසෙන්න ඕන බව කියනවා. මේ සියල්ල තුළ අපි අත්දකින්නේ අපිට සමීපතමයන් ඉතා වේදනාවට පත්ව බැටකමින් අහිමිවෙමින් තිබීමයි.

අපේ රටේ වගේම ලෝකයට විවිධ අභියෝග මේ තුළින් එල්ල වී තිබෙනවා. දශක ගණනක් අනුගමනය කළ සමාජ ආර්ථික ප්‍රතිපත්ති, ඒ ව්‍යූහයන් කොතරම් දුර්වලද කියන එක අද ඉතාමත් හොඳින් තහවුරු කෙරෙනවා. මේ තුළින් ඇතිවී තිබෙන වර්තමාන මොහොත නිවැරදිව තේරුම්ගත යුත්තේ කොහොමද? අපි ඉගෙනගත යුතු කරුණු මොනවාද? අපි අපේ ජීවිතවලදී මේ දක්වා ප්‍රමුඛතා කියලා ගත්තේ ඇත්තටම ප්‍රමුඛතාද? මේ වගේ කරුණු ගණනාවක් නැවත් සලකා බලන්න වෙනවා.

උදාහරණයක් හැටියට මෑතකාලයේ වැඩිපුරම අහන්න ලැබුණු වචන දෙකක් වන්නේ “අත්‍යාවශ්‍ය සේවාවන්” යන්නයි. මේ අවුරුදු එකහමාර තුළ සමාජයට අත්‍යාවශ්‍ය වුණේ මොනවාද? මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය. වෛද්‍යවරයාගේ සිට පී.එච්.අයි. මහත්තුරු දක්වා වගේම අනික් පැත්තෙන් සනීපාරක්ෂක සේවා කොතරම් වැදගත්ද කියන දේ තේරුම් ගියා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය ඉතාම වැදගත්. ආහාර නිෂ්පාදනය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රවාහනය සහ පාරිභෝගිකයාට ලබාදීම දක්වා අත්‍යාවශ්‍ය සේවා කොතරම් තිබෙනවාද කියලා පැහැදිලි වුණා. ඒ වගේම පාසල් සහ විශ්වවිද්‍යාල වසා තැබීම කෙතරම් ප්‍රශ්නයක්ද කියලා තේරුම් ගන්න හැකි වුණා.

ආර්ථික ක්ෂේත්‍රයේ වහන්නම බැරි අංශ තිබෙනවා කියලා ආණ්ඩුව අවධාරණය කළා. ඒ අතරේ අපනයන කළාපවල ඇඟලුම් කම්හල් විශේෂයි. ඒවාගේ වැඩ කරන සේවක සේවිකාවන් ඉතාමත් වැදගත් කටයුත්තක් කරන බව පැහැදිලි වුණා. මේ ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය බව කීවාට මේ සේවක සේවිකාවන්ට සැලකුවේ කොහොමද? දැන් පවා සලකන්නේ කොහොමද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපේ සමාජය තුළ වැඩිම වැටුප් ලබන පිරිස්වලට වඩා අත්‍යාවශ්‍යම වී තිබෙන්නේ අඩුම වැටුප් ලබන මේ අය බව තහවුරු වුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි ඒ අය වෙනුවෙන් දී තිබෙන වැදගත්කම මොකක්ද කියලා. තනිකර ලාභය වෙනුවෙන් ක්‍රියාකරන ව්‍යාපාරවලට අර්බුදවලදී බරපතළ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. රජයේ මැදිහත්වීම නැත්නම් සිදුවෙන දේ පැහැදිලි වුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයේදී ඒ බව හොඳටම තේරුම් ගියා.

නමුත් මතවාදීව සමාජය සකස් කර තිබෙන්නේ මොන වගේ සමාජ සම්බන්ධතාවලටද කියලා හිතන්න වෙනවා. මේ ආර්ථික ක්‍රමය තුළ උගන්වලා තිබෙන පදනමම වෙන්නේ මිනිසා ආත්මාර්ථකාමී සත්වයෙක් කියන එක. එම මිනිසා හොඳටම ක්‍රියාත්මක වෙන්නේ තරඟකාරිත්වය තුළ පමණයි කියලා අවධාරණය කරනවා. දශක ගණනාවක් තුළ අපේ පෞරුෂයන් ගොඩනගලා තිබෙන්නේ තරගකාරිත්වය පිළිඅරගෙන ක්‍රියාකරන්න. නමුත් අපට මේ මොහොතේ තරඟකාරිත්වයත් ආත්මාර්ථකාමිත්වය කිසිසේත්ම ප්‍රයෝජනවත් වුණේ නැහැ. ආණ්ඩුවක් වගකීම් හරියට ඉටු නොකරන තත්වය තුළ අපි මේ විදිහට හෝ උවදුරට මුහුණ දී සිටින්නේ සහයෝගීතාවය, එකිනෙකා රැකබලා ගැනීම තුළින්. පවතින ආතතිමය තත්යට මුහුණදී සිටින්නේ මේ තරඟය හෝ ආත්මාර්ථකාමීකමෙන් නෙවෙයි.

දශක ගණනාවක් තිබුණු සමාජ ආර්ථික ක්‍රමයෙන් ලබාදී තිබෙන්නේ මොනවාද කියලා බලමු. ගෝලීය ධනය විශාල ලෙස වර්ධනය වී තිබුණාට ඒ හා සමාන ලෙසම මිනිසුන් අතර අසමානතාවක් ඉහළ ගිහින්. මේ ගැන සංඛ්‍යාලේඛන කිහිපයක් උදාහරණ හැටියට ඉදිරිපත් කරන්නම්. ලෝකයේ ධනවත්ම 1%ක් ලෝකයේ ජනගහනයෙන් බිලියන 6.9කගේ ධනයට වඩා දෙගුණයක් අත්කරගෙන තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50%ක් ජීවත් වෙන්නේ දිනකට ඇමරිකන් ඩොලර් 05කට වඩා අඩු ආදායමක් ලබමින්. අපේ රටේ ආදායමෙන් 50%ක් බුක්ති විඳින්නේ ජනගහනයෙන් 20%ක් දෙනා. දුප්පත්ම 20%ක් වූ පිරිසට ලැබෙන්නේ ආදායමෙන් 5%ක් පමණයි.

ඕනතරම් ආහාර, ධනය සහ සම්පත් තිබෙනවා. නමුත් බෙදීයාමේදී විශාල අසමානතාවක් තියෙනවා. ආණ්ඩුව කියන්නේ රජයේ ආදායම් අඩු වී තිබෙන බවයි. බදු ආදායම් අඩු කරගෙන. මේ තුළ වැටුප් නොලබා කටයුතු කරන පිරිස වැඩිවෙමින් තිබෙනවා. ඒ වගේම මේ ආර්ථික ක්‍රමය තුළ පරිසර දූෂණය වැඩි කිරීම නිසා ස්වභාවික ව්‍යසන දිනෙන් දින වැඩිවෙමින් යනවා. අසීමිත පරිභෝජනයකට තල්ලු කිරීම, අනාගත තිරසරභාවයක් නැති සංවර්ධන ආකෘති ආදිය නිසා අර අඩු ආදායම් ලබන පිරිස විශාල වශයෙන් තව පැත්තකින් බැටකනවා. මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකළොත් කොවිඩ්වලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මෙන්න මේ තත්වය තුළ ආණ්ඩුව කියන නව සාමාන්‍ය තත්වය අපි කිසිසේත්ම භාර ගත යුතු තත්වයක් නොවෙයි. මෙයට අනුගත විය යුතු නැහැ. ඉතාමත්ම සංවේදීව උගන්වන පාඩම් නිවැරදිව ඉගෙනගත යුතුයි. ඒ තුළ අපි මෙතෙක් අනුගමනය කළ සංවර්ධන ආකෘතිය සහ සමාජ ආර්ථික ක්‍රමය තව දුරටත් දරා ගත යුතු නැති බව තේරුම්ගෙන මෙය වෙනස් කිරීමට අපි සියලු දෙනාම මැදිහත්විය යුතුයි. ඒ සඳහා පෙළගැසෙමු කියන ආරාධනාව ඉතා ඕනෑකමින් කරනවා.”

You may also like

Leave a Comment