ඩොලර් සංචිතය අඩු වෙලා විතරක් නෙවෙයි විශාල ණය අර්බුදයකත් අපි මේ වෙනකොට හිරවෙලා ඉන්නවා. ජුනි මාසය වෙනකොට ඩොලර් මිලියන එක් දහස් පන්සීයක ණයක් ගෙවන්න ඕනේ. මේවා ගෙවනකොට රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න සල්ලි නැහැ. මේක තමයි දැන් රට මුහුණ දී ඇති අර්බුදය යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පඬුවස්නුවරදී පැවැසුවාය.
පසුගියදා හෙට්ටිපොළ ප්‍රජා ශාලාවේදී පැවැති “වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ ජනතාව සතු කාර්යභාරය” යන මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්යවරිය මේ අදහස් පළ කළාය.
ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් මෙසේද කීවාය.
වර්තමාන ලෝකයත් වෙනස් වෙලා. සමාජයත් වෙනස් වෙලා. ඉතාම අවදානම් සහගත සංකූලතා සහිත අවධියකට අපි ඇවිත් සිටින්නේ. මේක ස්වාභාවික ව්‍යසනයක් නිසාවත්, අහඹුවක් නිසාවත් සිදු වූවක් නෙවෙයි. කාලයක් තිස්සේ දේශපාලනිකව ගත් තීරණ සහ ප්රතිපත්තිවල ප්‍රතිඵලයක්. මේ වෙලාවේ රට සතුව ඩොලර් හිඟයක් පවතිනවා. විදෙස් සංචිත පිළිබඳව ප්රශ්නය අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබෙනවා. මේක දැන් අපට දුරස්ථ ප්‍රශ්නයක් නෙවෙයි. ජනතාවට අතිශයින්ම කිට්ටු වෙලා.
රටේ ආර්ථිකයේ සිට ගෙදර ආර්ථිකය දක්වා බලපාලා තිබෙනවා. මෙහෙම සිද්ධ වෙලා තිබෙන්නේ ඇයි. අපිත් ලෝක ආර්ථිකයේ කොටස්කරුවෝ. තනියෙන් තමන්ගේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අන්තර් සබඳතා ගොඩක බැඳී සිටිනවා. ජාතික මට්ටමෙන් වේවා, ජාත්‍යන්තර මට්ටමෙන් වේවා ආර්ථිකය සංකීර්ණයි. එකිනෙකා අතර තිබෙන සම්බන්ධතා, බැඳීම් වැඩියි. අපේ ගනුදෙනු රැඳිලා තිබෙන්නේ ලෝකයත් එක්ක. ලෝකයත් එක්ක ගනුදෙනු කරනකොට ලෝක වෙළෙඳපොළත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා.
ඩොලර් රඳවා ගැනීමේ ක්‍රමවේදයක් අපි පවත්වාගෙන යා යුතුයි. ඒ හරහා තමයි අපට නිෂ්පාදනය කරන්න බැරි එහෙමත් නැත්තම් අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය භාණ්ඩ අපට ලබාගන්න පුළුවන් වෙන්නේ. මේක කරන්න නම් සාමාන්‍ය ආර්ථික විද්‍යාවට අනුව අපි යම්කිසි විධියකට ඩොලර් උපයලා තියෙන්න ඕන. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් සේවා ආර්ථිකයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා.
සේවා සපයලා තමයි ගනුදෙනුව පවත්වාගෙන ගිහින් තිබෙන්නේ. මේ සේවා සැපයීම තුළින් තමයි අප රටට යම්කිසි ආදායමක් ලැබිලා තිබෙන්නේ. සේවා සැපයීම ලෙස අපි ප්‍රධාන වශයෙන් කරලා තිබෙන්නේ ශ්‍රමිකයන් ශ්‍රමය සඳහා යැවීම. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ ගත කිරීම තුළින් තමයි මුදල් උපයලා තිබෙන්නේ. අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය දුර්වල වීමත් එක්ක එන්න එන්නම ලෝක වෙළෙඳපොළෙන් අෑත් වෙලා යනවා. ගෝලීය වශයෙන් සිදුවන ගෝලීය ආර්ථිකය කඩා වැටීමත් එක්ක සාම්ප්‍රදායිකව අපට ලැබෙන විදේශ විනිමය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තිබෙනවා. එය ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක්. පාස්කුදා ප්‍රහාරය නිසාත් කොවිඩ් තත්ත්වය නිසාත් සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුණා.
ණය ගෙවන්න ඩොලර් වෙන්කරන කොට රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න සල්ලි නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න විතරක් නෙවෙයි ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ගෙන්වන්නත් සල්ලි නැහැ. මේක තමයි අර්බුදය. ණය ගෙවන්නත් ඕනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්නත් ඕනේ. ඒ අස්සේ කෘෂිකාර්මික ක්ෂේත්රය කඩා වැට්ටුවා. එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න සිද්ධ කළා.
ඉල්ලුමට වඩා අපේ රටේ සැපයුම අඩුයි. මේක තමා අපි ඉදිරියේ තිබෙන ආර්ථික ප්‍රශ්න. ජනතාව සිතා ගන්නට ඕන මේවා අහඹු සිදුවීම් නොවේ. පාලනයේ අඥාන තීරණවල ප්‍රතිඵල. අපි ණය ගන්නට ඕනේ ගෙවීම පිළිබඳව අදහසත් එක්ක. ගත්ත ණය ආයෝජනය කරන්න ඕන ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘතිවලට.
පඬුවස්නුවර – හිරුණි මෙන්ඩිස් (මව්බිම)