
ජ
රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් ක්‍රමයට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහගේ නියෝග මත ගෝල්ෆේස් අරගලකරුවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී, සාධාරණ අරගලය මර්දනකාරිත්වයකින් අහෝසි කරන්න ඔහු මුල සිටම උත්සාහ කර, එහි එක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළා. විශාල ප්‍රමාණයකට තුවාල සිදුකර, දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා තබාගැනීම නිසා එළිවෙන තුරු සොයාගන්න බැරි වුණා. පහර කෑමට ලක්වූ අය අතර, නීතිඥවරයෙකුත් ඉන්නවා. ජනමාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන්ට පහරදී එතැන තිබුණු දේවල් කඩාබිඳ දැමීමේ තුච්ඡ ප්‍රහාරය ජාතික ජන බලවේගය හෙළාදකිනවා. මේ තත්වය වහාම පාලනය කළ යුතු බව අපි ජනතාවට අවධාරණ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පසුගිය කාලය පුරා අරගලයේ සිටි ජනතාව මේ තත්වය පරාජය කරන්න වහාම පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලැහැස්ති වෙන්නේ ලේ මතින් ගොස් රාජපක්ෂලාගේ අරමුණු ඉටුකරන්න. රාජපක්ෂලාට හෝ රනිල් වික්‍රමසිංහට ඒ හැකියාව නැති බව අපි හොඳටම දන්නවා.
අරගලය අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. ගෝල්ෆේස් එකට ප්‍රහාරය එල්ල කර ජනතා විරෝධය අවසන් කරන්න උත්සාහ කරනවා නම්, ඒක එහෙම වෙන්නේ නැහැ. ගෝල්ෆේස් එක අරගලයේ එක කේන්ද්‍රස්ථානය වුණාට රටපුරාම ජනතාව තුළ අරගලය තිබෙනවා. රටපුරාම තිබෙන පොදුජන අරගලය මර්දනයෙන් නවත්වන්න බැරි බව අපි පැහැදිලිව කියනවා. කුමන්ත්රණකාරී, කොන්ත්‍රාත් ක්‍රමයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත් පසු මර්දනය දියත් කරන්න පෙර අරගලකරුවන් අත්පත් කරගත් ස්ථානවලින් ක්රමාණුකූලව ඉවත් වෙමින් සිටියා. එවන් පිරිසකටයි මේ ප්‍රහාරය එල්ල කළේ. එය මුළු රටක් සහ ලෝකයක් විසින්ම හෙළාදැකිය යුතුයි. රනිල් වික්‍රමසිංහගේ පළමු මෙන්ම අවසන් ප්‍රහාරය බවට මෙය පත්කර ගත යුතුයි. ජනවරමක් නැතිව පිනට අගමැතිකම ලැබී රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් ජනාධිපතිකමක් ලබාගෙන රනිල් විසින් රකින්නේ ජනතාව නොවෙයි. රාජපක්ෂලායි. ඔහුට ජනාධිපතිකම දුන්නේ ජනතාව නෙවෙයි, රාජපක්ෂලායි. ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියලා අපේ රටේ කවුරුත් ගණන් ගත යුතු නැහැ. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියත් ඔහුට ජනවරමක් තිබුණා. රනිල් වික්‍රමසිංහට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ සේවය කරන්නේ අරගලය නිසා තනතුරු අත්හරින්න සිදුවුණු, ඔටුනු ගැලවුණු රාජපක්ෂලාට. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ අරගලකරුවන්ගෙන් පළිගන්න. ඒ කොන්ත්‍රාත්තුව භාරදෙන්නේ රනිල් වික්‍රමසිංහට.
රනිල් වික්‍රමසිංහ හැමදාමත් මහපොළොවේ ජීවත් වුණු කෙනෙක් නොවෙයි. දැන්වත් මහ පොළොවේ තිබෙන මහා ජනතා විරෝධය තේරුම්ගෙන නැහැ. අවුරුදු පහකට පත්වුණු ජනාධිපති අවුරුදු දෙකහමාරෙන් පළවා හැරි ජනමත තේරුම් නොගෙන හදිසි නීතිය පනවා හමුදාව යොදවා තිබෙනවා. බියවද්දමින්, හමුදාව යෙදවීමේ උපක්‍රමය, රනිල්ට වඩා හොඳින් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළා. දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක් ඉදිරියේ එයින් පීඩාවට පත්වුණු, මහාජන විරෝධයක් ඉදිරියේ සෙල්ලම්දාන එක මොළේ කළඳක්වත් තිබෙන නායකයෙක් කළ යුතු දෙයක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට බියවද්දා අරගලය මර්දනය කරන්න උත්සාහ කරනවා නම්, ඒ කිසිසේත්ම සාර්ථක නොවන බව නැවත අවධාරණය කරනවා. කිසිකෙනෙක් බය නැහැ. බය වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන පාලනයක් පිහිටුවා ගන්නා තෙක් මේ සටන ඉදිරියට ගෙනයන්න ජාතික ජන බලවේගය දැවැන්ත මැදිහත්වීමක් කරනවා.
තමන්ගේ සතුරන් ඉන්නේ කොතැනද හරියටම ප්රශ්නය මොකක්ද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ජනතාව විසින් මන්ත්‍රී ධුරයක්වත් නොදුන් රනිල් වික්රමසිංහව මේ රටේ ජනාධිපති කළේ, රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් ජනමතයට පටහැනියි. මහජනතාවගේ කැමැත්තකින් තොරව රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් පත්කළ ජනවරම විකෘති කළ පාර්ලිමේන්තුව වෙනුවට ඇත්ත ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මේ සංයුතිය තියාගෙන අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. ජනමතය නියෝජනය වෙන සැබෑ පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් තොරව අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. දැන් රනිල් එළවන සටනක් විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් එක්කම එළවන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි එක්ව සටන් කළ යුතුව තිබෙනවා. එතෙක් මේ අරගලය ඉදිරියට යනවා. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ඉගෙන ගත් පාඩම් ඉගෙන ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපේ අරමුණු, සටන් පාඨ හරියටම තේරුම් අරගෙන අරගල කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. හමුදාව, පොලිසිය කියන්නෙත් මේ රටේ පුරවැසියෝ. රටක්ම එරෙහිව සිටිද්දී හමුදාව, පොලිසියට මේක ආරක්ෂා කරන්න බැහැ. අලුත් අදියරකින් සටනක් පටන් ගන්න ඕනෑ. එතෙක් අත්අඩංගුවට ගත් හැමදෙනාම වහාම නිදහස් කරන ලෙසත් ඒ වෙනුවෙන් අරගල කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
හොර ජනාධිපති රනිල් අරගලකරුවන් ෆැසිස්ට්වාදීන් කියන්නේ කොහොමද?

නිරායුධ, සාමකාමී අරගලකරුවන්ට ප්රජාතන්ත්ර විරෝධී ප්රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කර, අවට සිටි අයටත් ඒ ස්ථානයට ඇතුල් වෙන්න ඉඩනොදී අන්තිමේදී තුවාලකරුවන් ඉවත්කර ගැනීමට පවා ඉඩ දුන්නේ නැහැ. සියලුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී ඔහුගේ වැඩ පටන් ගත්තා. විශාල අරගලයක් තුළින් රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ජරාජීර්ණ වී තිබෙන දේශපාලනය වෙනස් කරන්න කියලයි. ඒ අරගලයේ ජයග්‍රහණ කිහිපයක් ලබා තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේම ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ජනතාවට ප්‍රහාර එල්ල කරන්න නායකත්වය දෙන්නේ රනිල් වික්‍රමසිංහ. මේ සිද්ධි මේ විදිහට පෙළ ගැසෙන්නේ ඇයි කියලා අපි හරියටම තේරුම් ගන්න ඕනෑ.
ලංකාවේ අවුරුදු ගණනාවක් තිස්සේ නියෝජිත ප්රජාතන්ත්රවාදී ක්‍රමය භාවිතා කර තිබෙනවා. ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ විවිධ ක්‍රම තිබෙනවා. ඡන්දය මගින් වගේම විරෝධතා සහ අරගල හරහාත් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ඡන්දයක් නොමැති අවස්ථාවක ජනතා විරෝධී ආණ්ඩුවකට අරගල හරහා තම මතය පළ කරනවා. එවැනි මත පළකරන්නන් ෆැසිස්ට්වාදීන් සහ ත්රස්තවාදීන් හැටියට මේ හොර ජනාධිපති විසින් හඳුන්වන්න පටන්ගෙන තිබෙනවා. මහා ලිබරල්වාදී, ප්රජාතන්ත්රවාදයට ගරු කරන, පුද්ගලයෙක් ලෙස පෙනී සිටියත් ඔහුගේ ඇත්ත ස්වභාවය මේ කාලය තුළ තේරුම් ගන්න හැකිවී තිබෙනවා. අරගලයේ ඊළඟ පරිච්ඡේදය මොකක්ද කියලා අපි හරියට තෝරාගත යුතුයි. මේ වන විට ජනවරමක් නැති පාර්ලිමේන්තුවක්, ජනාධිපතිවරයෙක්, ඉන්නවා. ජනවරමක් නැති පමණක් නොවෙයි, සියලුම ප්රතිගාමී පිරිස් ඔහුන්ගේ ක්‍රියාවන් නියෝජනය කරන තැන බවට පාර්ලිමේන්තුව පත්කර ගෙන තිබෙනවා. මේ පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කරන තැනක් නොවෙයි. ජනතාවගේ මතය ප්‍රකාශ කරන තැනකුත් නොවෙයි. ඒ නිසා ජනවරමක් තුළින් අලුත් නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. එය දිනෙන් දින තහවුරු වෙමින් යනවා. අටවා ගත්ත ජනාධිපතිත් අද දිවුරුම් දීමට නියමිත ඔහුගේ කැබිනට් මණ්ඩලයත් යන පුද්ගලයන් වෙනස් කිරීම පමණක් නොවෙයි, පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම ජනතාව නියෝජනය කරන තැනක් බවට පත්කර ගත යුතුයි. අරගලයේ අවසන් ජයග්‍රහණ ලබාගත හැකි වන්නේ ඒ තුළින් පමණයි.
රට ලේ විලක නොගිල්වා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න ඉඩදිය යුතුයි

ජනතා අනුමැතියක් නැති රනිල් වික්‍රමසිංහගේ පාලනය විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ලකළ ප්‍රහාරය පිළිකුල් සහගතව හෙළා දකිනවා. රට පුරාම පසුගිය කාලයේ විවිධ අරගල තිබුණත් වැඩි අවධානයක් දිනාගත්තේ ගෝල්ෆේස් අරගල භූමියයි. එහි පළවෙනි පියවරයේ තිබුණේ නිර්පාක්ෂික, සර්වපාක්ෂික අරගලයක්. එහි රනිල් වික්‍රමසිංහගේ අයත් හිටියා. ඔහු අගමැති වූ පසුව මුලින් කීවේ අරගලය ආරක්ෂා කරනවා කියලා. ඒ මිනිහා ජනාධිපති වී එක්වරම මර්දනය දියත් කරන්නේ ඇයි? මේ රටේ ධනපති පංතිය පවා එකතුවී ගෝඨාභය ගෙදර යවන්න හඬනැඟුවා. ඔහු තවදුරටත් සිටියා නම්, ධනපති පංතියටත් බරපතළ ප්‍රශ්න ඇතිවෙනවා. රනිල් වික්‍රමසිංහ කළේ අවස්ථාව බලලා, එයාගේ මාමගේ ව්‍යවස්ථාවේ වගන්තිවලින් අරගලය මංකොල්ල කෑමයි. ලෝක ඉතිහාසයේත් මෙවැනි දෙවල් වෙලා තිබෙනවා. කිසිම ජනවරමක් නැති අය ව්‍යවස්ථාව පාවිච්චි කරලා බලයට ඇවිත් තිබෙනවා.
සාමකාමී අරගලයට පොදු නායකත්වයක් තිබුණු නිසා, විවිධ ගැටලු අවස්ථා තිබුණා. ඒ අවස්ථා පාවිච්චි කරලා මේ රට ලේ විලක් කරන්න ඉඩදෙන්න බැහැ. ජනතාවට තමන්ගේ කැමැත්ත පාවිච්චි කරන්න අරගලය නිසා ඉඩදෙනවා වෙනුවට ෆැසිස්ට්වාදී රනිල් අරගලයට ෆැසිස්ට්වාදී ලේබලය ඇලෙව්වා. ජනතාවගේ කැමැත්ත පාවිච්චි කරන්න අවස්ථාව දෙනවා වෙනුවට හමුදාව පාවිච්චි කරලා මේ රට ලේ විලක නොගිල්වා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න ඉඩදිය යුතුයි. මේ රටේ ඉතිහාසයේ අවුරුදු 20න් 20 ලේ වගුරුවා තිබෙනවා. පාලකයන්ගේ බලය පාවිච්චි කරලා ගෙනගිය මේ නර්තනය දේශපාලන සදාචාරයක් නැති, දේශපාලන සුජාත භාවයක් නැති අවජාතක පාලකයා, දැන්වත් පවතින තත්වය තේරුම් ගත යුතුයි. ජනතාවගේ අනුමැතියක් නැතිව හමුදාව යොදවලා මේ මජර දේශපාලනය ගෙනියන්න ජාවාරම්කාර ප්රාග්ධනය විසින් හසුරුවන පාලකයන් උත්සාහ කරනවා නම්, ඒක නොකෙරෙන වැඩක්. රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පංතියේ දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. ඒවගේම අරගලකරුවන්ටත් අපි අවධාරණය කරන්නේ ප්රජාතන්ත්රවාදී මාවතෙන් පිටපන්නන්න කිසිසේතම ඉඩ නොදෙන ලෙසයි. අරගලයේ ජයග්‍රහණය තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී මාවතේ. මැතිවරණයක් හරහා ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමෙන් පමණයි විසඳුම් සෙවිය හැක්කේ. රනිල් වික්‍රමසිංහ ප්රජාතන්ත්රවාදියෙක් නම්, ලිබරල්වාදියෙක් නම් වහාම මැතිවරණයකට අවස්ථාව සලසා දිය යුතුයි.
මාධ්‍යවේදීන් විසින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු:-
ප්රශ්නය:- සමාජ ජාලවල ගෝඨාභය රාජපක්ෂගේ පාලනය, සාධාරණී කරනය කරමින් තිබෙනවා ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ.
පිළිතුරු:- රනිල් වික්රමසිංහද, ගෝඨාභයද වැඩිය හොඳ කියලා හිතන්න බැහැ. ඒගොල්ලෝ ඔක්කෝම එක වල්ලේ පොල්. එක මල්ලේ ලුණු. ගෝඨාභයට පාලනය කරන්න බැරි නිසා, දාලා යන්න සිදුවුණා. ජනතාව අකමැති පාලකයෙක් එලෙව්වාම කැමති පාලකයෙක් තෝරා ගන්න අවස්ථාව දිය යුතුයි. ඒ වෙනුවට ජනතාව අකමැතිම පාලකයෙක් ව්‍යවස්ථාවේ වගන්ති පාවිච්චි කර ගනිමින් බලයට ඇවිත් තිබෙනවා. වැරදි, කොල්ලකාරී, මර්දනකාරී, දේශපාලන සංස්කෘතියක් තිබෙන රටේ මොන පුද්ගලයා ආවත් වෙනසක් නෑ. ඒ දේශපාලන සංස්කෘතිය තමයි ගෝටාභය රනිල් දෙන්නම නියෝජනය කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න උවමනා නැහැ රනිල්ට වඩා ගෝටාභය හොඳයි කියන්න.
ප්රශ්නය:- අලුත් අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. ඉදිරිය ගැන මොකද හිතන්නේ?
පිළිතුරු:- පත්කළ අගමැති දිහා බැලුවාම පේනවා ඇමති මණ්ඩලයට මොකද වෙන්න යන්නේ කියලා. කණගාටුවකට තිබෙන්නේ මේ මහල්ලන් විසින් අපේ රටේ තරුණයන්ගේ අනාගතය තීරණය කිරීමයි. රනිල් වික්‍රමසිංහට කරන්න වෙන්නේ තිබුණු වර්ගයේම ඇමති මණ්ඩලයක් හදාගෙන යන එකයි.
ප්රශ්නය:- ඇමති මණ්ඩලයෙන් යහපත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලාද ඔබ කියන්නේ?
පිළිතුරු:- කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. බොරු පොරොන්දු ගොඩක් දීලා බලයට ඇවිත් ඉන්නේ. ජනාධිපති වෙන්න ඡන්දය දුන් හැමෝටම සලකන්න ඕනෑ. දැනටමත් කොටසකට සල්ලිවලින් සලකලා තිබෙන්නේ. ඔය කාටත් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් දුන්නේ නැත්නම් බලයේ ඉන්න බැහැ. ඒ නිසා ඔය කාට කාටත් සැලකුම් ලැබෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න හොර නඩයට බලයේ ඉන්න දෙනවා වෙනුවට අද රෑට වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගන්න අවස්ථාව ලබාදිය යුතුයි. ආර්ථික ප්‍රශ්න, ඒ මත පැන නැගුණු සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, යන සියල්ල විසඳා ගන්න වෙන්නේ අලුත් ජනවරමකින්. ඒ ජනවරම හැකිතාක් ඉක්මනින් ලබාගන්න පෙළ ගැසෙනා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.