Home News Sinhala “වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ අරමුණ නෙවෙයි…”

“වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ අරමුණ නෙවෙයි…”

by Jayakody PSK

පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටතත් අපට විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. පොහොර ප්‍රශ්නය, පෝට් සිටි පනත, මෑත යුගයේ මූලික වශයෙන් මැදිහත් වුණු කටයුතු. මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කියන එක. උපාධියක් ගැනීම හෝ විභාග පාස් කිරීම අධ්‍යාපනය නෙවෙයි. විභාග පාස් කිරීම එක අංගයක් විතරයි. රටකට අවශ්‍ය ශ්‍රම හමුදා නිර්මාණය කිරීම සහ යහපත් සෞන්දර්යාත්මක පුරවැසියෙක් බිහිකර ගැනීම යන මූලික අරමුණු දෙක අධ්‍යාපනයේ අඩංගුයි. යම් තෙතමනයක් ඇති පුරවැසියෝ බිහිකිරීම මේ තුළ ප්‍රධානම අරමුණක්. වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ එකම අරමුණ නෙවෙයි. දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපනයෙන් සිද්ධ වෙන්නෙත් විභාග ටික පාස් වීම විතරයි. තෙතමනයක් සහිත පුද්ගලයෙක් බිහිවීමේ පසුබිම අහිමි වෙනවා.

උසස් අධ්‍යාපන ජීවිතය තුළින් ඉගෙන ගන්න දේවල් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිර්මාණය කර සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙනවා. විභාගවලින් කරන එකම දේ අවශ්‍ය ශ්‍රමිකයා හැදීම. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත හරහා මේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. හමුදා විනය හොඳයි හමුදාවට. සමාජයක් සිවිල් පුරවැසියෝ වශයෙන් විනය සම්පන්න වෙන්න ඕනෑ වෙනස් ආකාරයකින්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගෙන ආවේ විනය සම්පන්න රටක් හදන්න. ‘වන් කන්ටි්‍ර – වන් ලෝ’ කියලා ආවාට දැන්නම් තියෙන්නේ ‘වල් කන්ටි්‍ර – වල් ලෝ’. අධ්‍යාපනයේ එක කොටසක් වුණු ප්‍රශ්න කිරීමට ඉඩක් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීම, සංවිධානයකට එකතු වීම, භාෂණයේ නිදහස සහ දේශපාලනය කිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩක් වැදගත්. අපි නිර්මාණය කරන්න ඕනෑ පවතින ක්‍රමය ප්‍රශ්න කරන අලුත් දේවල් හොයාගන්න පුරවැසියෝ මිස නියෝග පිළිපදින අය නෙවෙයි.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන කීයකට හමුදා නිලධාරීන් පත්කර තිබෙනවාද? ඒ වගේම සියලුම දිස්ත්‍රික්කවලට සක්‍රීය හමුදා සේවයේ ඉන්න නිලධාරින් පත්කර තිබෙනවා. මිලිටරිකරණය වෙන්නෙ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අධ්‍යාපනය තුළින් කියන්නේ එක්තරා පියවරක් පමණයි. මේ තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පවා සාකච්ඡා කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටවත් මේ ආයතනය නියාමනය කරන්න බලයක් නැත්නම් වගකියන්නේ කාටද? එක පැත්තකික් නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය වෙනවා. අනෙක් පැත්තෙන් රජයේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පැවරීම සිදුකෙරෙනවා. ඒ වගේම හමුදාවට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා. මිනිහෙක්ගේ අතේ තියෙන්නේ මිටියක් නම් ඔහුට හැම දේම පේන්නේ ඇණයක් වගේ. ගෝඨාභය රාජපක්‍ෂගේ අතේ තියෙන්නේ මිටිය විතරයි. එයාට හැම ප්‍රශ්නයම පේන්නේ ඇණයක් වගේ. වෙන රටවල් කොරෝනා ප්‍රශ්නය වෙලාවේ ඉස්සරහට දැම්මේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය. අපේ රටේ හමුදාව. හමුදාව කොරෝනා හොඳට මර්දනය කළාද? ෂවේන්ද්‍ර සිල්වා වගේ ඉහළ හමුදා නිලධාරීන් පවා දැන් විකටයෝ බයට පත්වෙලා තිබෙනවා. ඒ ගොල්ලන්ට කරන්න බැරි දේවල් බාරදීම නිසා. හමුදාවට අධ්‍යාපනය ලබාදීමට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යොදා ගත්තාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සිවිල් පරිපාලනය යටතේ සිදුවිය යුතු දෙයක්. ඒ නිසා මේ පනත හකුළා ගන්නට අප සමස්ත ජනතාවක් වශයෙන් මේ ආණ්ඩුවට බල කළ යුතු වෙනවා.

නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

මේ පනත මගින් විශ්වවිද්‍යාල සම්බන්ධ පනත බල රහිත වෙන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සහ ඒ වටා ගොඩනැගෙන ආයතන 1978 උසස් අධ්‍යාපන පනතට යටත් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාල පනතේ ඉතාමත්ම පැහැදිලිව දක්වා තිබෙනවා, 1978 පනතට කිසිසේත්ම යටත් නොවන බව. මේ පනත ගේන්නේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටුවීමේ පනතට සංශෝධනයක් හැටියටයි. නමුත් මේ සංශෝධන තුළ පුළුල් බලතල රාශියක් මේ ආයතනයට සහ ඒ යටතේ පිහිටුවන ආයතනවලට ලබා දෙනවා. 1978 උසස් අධ්‍යාපන පනතට පිටින් ක්‍රියාත්මක වන සාගර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් තිබෙනවා. නමුත් ඒ ආයතනවලට වෙනත් ආයතන පිහිටුවීමේ බලතල හෝ වෙනත් විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වීමේ බලතල නැහැ. නිශ්චිත විෂයයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය දීමේ බලතල විතරයි තියෙන්නේ. නමුත් මේකේ පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අදාළ බලතල සම්පූර්ණයෙන්ම ලැබෙනවා. විවෘත විශ්වවිද්‍යාලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වුණත් 1978 පනතට යටත් වෙනවා. මේ පනතේ එහෙම තත්වයක් නැහැ.

You may also like

Leave a Comment