Home News Sinhala “විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවතට එකතු වෙමු”

“විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවතට එකතු වෙමු”

by Ravinath Wijesekara

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක 

මේ සභාවේ රැඳි සිටින පිරිස අතර මෙයට පෙර අපට ඡන්දය පාවිච්චි කළ අය වාගේම වෙනත් දේශපාලන පක්‍ෂවලට ඡන්දය ප්‍රකාශ කළ බොහෝ අයත් ඉන්නවා. ඒ සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නා අතර, මේ විනාශකාරී දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම සඳහා ඒකරාශී වීම පිළිබඳව ඇගයීමට ලක් කරනවා. දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග විසින් රටකට, රටක ජනතාවට අත් කර දිය හැකි සියලුම විනාශකාරීත්වයන් අත් කර දී හමාරයි. අතිශය විනාශකාරී අන්තයකට ආර්ථිකය ගමන් කර විශාල භාණ්ඩ හිඟයක්, මිල විශාල වශයෙන් ඉහළ යාමක් වාගේම අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් එක්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් වරායේ හිර වී තිබෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ගෙවීමට තිබෙන ණය වාරික ගෙවා දැමීම ගැන අඩමානයකට පත් වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත ගැඹුරු අර්බුදයකට පත්ව තිබෙනවා. මෙතෙක් පැවැති සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට මේ ගැඹුරු අර්බුදවලට විසැඳුම් දිය හැකිද? අත්දැකීම් තුළින් සහ තමන්ගේ ජීවිත තුළින් අද ඔප්පු කොට තිබෙන්නේ, පැරැණි, සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට අපේ රට ඉදිරියට ගෙන යා නොහැකි බවයි. 

මෙය ස්වාභාවික ව්‍යසනයක් නිසා සිදු වුණු දෙයක් නොවෙයි. අනුගමනය කරන ලද වැරැදි ආර්ථික, දේශපාලන ගමන් මඟේ ප්‍රතිවිපාක මේ ලෙස වී තිබෙනවා. ළිඳට වැටුණේ ළිං කටෙන් නම්, ගොඩ එන්න තිබෙන්නෙත් ළිං කටෙන්. මේ විනාශකාරීත්වයට අපේ රට හෙළුවේ, වැරැදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් නම්, උත්තර තිබෙන්නේ නිවැරැදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් මාතෘභූමිය තුළ ස්ථාපනය කිරීමෙනුයි. ජීවත් වීමට සරිලන ආදායම් මාර්ගයක් තිබෙන, තමන් කරන වෘත්තිය පිළිබඳව ගෞරවයක් අපේක්‍ෂා කරන බොහෝ පිරිස් රට අත්හැර යනවා. ඔවුන් රට හැර යන්නේ රැකියාවක් සොයාගෙන පමණක් නොවෙයි, සමාජ සුරක්‍ෂිතභාවයත් සොයාගෙනයි. නමුත්, තනි තනිව කොපමණ පොරබැදුවත්, මෙයින් ගොඩ එන්න බැහැ. සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ මේ වේදිකාව නිර්මාණය වෙලා තියෙන්නේ, එවැනි සාමුහික ප්‍රයත්නයක් වෙනුවෙන් මානුෂීයවාදී කැප කිරීම් සහ පරිත්‍යාගයන් කරන මිනිසුන්ගෙනුයි. මෙතැනින් ඔබ්බට ඔබ එක්ව රටේ සියලු ජනතාව පෙළගැසිය හැකි මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය ගොඩනඟන බව සහතික කොට ප්‍රකාශයට පත් කරනවා. 

මේ විනාශකාරී දේශපාලන ගමන් මඟෙන් අපේ රට වෙනස් කළ යුතු බව හැම කෙනාටම ඒත්තුගොස් තිබෙනවා. තනි තනිව මොන තරම් පොරබැදුවත්, වැඩක් නැහැ. වැද්දාගේ දැලට අහු වුණු වටුවන් තනි තනිව මොන තරම් උත්සාහ කළත් වැඩක් නැහැ. හැබැයි, අවසානයේ දී එතැන හිටි බෝධිසත්ව වටුවාණන් සාමුහිකව පොරබැදිය යුතු බව පැහැදිලි කර දෙනවා. අපට අද සිදු වි තිබෙන්නෙත් එයම තමයි. අපි මේ රට භාර ගන්න සූදානම්. ඒ වාගේම මේ රට හදන්න සූදානම්. ඒ පිළිබඳ අවංක, සද් වුවමනාවක් අපට තිබෙනවා. මේ වේදිකාවේ ඉන්න කිසිවකු හෝ මෙතැනට සහභාගි වී සිටින ඔබ කිසිවෙක් පෞද්ගලික වුවමනා මත සහභාගි වී නැහැ. අපි හැම කෙනාම එකට ගැටගසන හුයක් තිබෙනවා. ඒ හුය තමයි, මේ රට භාර ගන්න සූදානම්, මේ රට ගොඩනඟන්න සූදානම් කියන එක. මේ රට කඩාවැටීමට ලක් විය යුතු රටක් නොවෙයි. 

මේ රට ව්‍යසනයට පත් කිරීමේ ප්‍රධාන සාධකය අතිශය දූෂිත දේශපාලනයයි. කොවිඩ් වසංගතයෙන් මරණය අභියස සිටින මිනිසුන්ගේ ඇන්ටිජන්වලින් පාලකයන් හොරකම් කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්, නිරෝධායන ක්‍රියාවලියෙන් හොරකම් කරන පාලකයන් රටක් හදන්නේ නැහැ. පරම්පරා ගණනාවක් යල, මහ වගා කළ කෘෂිකර්මාන්තය අවශ්‍ය යෙදවුම් නොමැතිව ඉන්න අතරේ චීන පොහොරවලින් ගසාකන පාලකයන් ඉන්නේ.  ඒ නිසා පළමුව මේ දූෂිත දේශපාලනය නැවැත්විය යුතුයි. මේ දූෂිත ව්‍යාපෘති අපේ රටට බරවා කකුලක් වාගේ බරයි. දූෂිතභාවය කියන්නේ, ඒ මොහොතේ සිදු කරන අල්ලස පමණක් නොවෙයි. දූෂිතභාවය විසින් සිදු කරන බලපැම අතිශය විශාලයි. හිටපු විගණකාධිපතිතුමා වරක් ප්‍රකාශ කර තිබුණා, රටේ ණය ප්‍රමාණය ටි්‍රලියන එකොළහක් වන විට වත්කම් ප්‍රමාණය ටි්‍රලියන එකයි දශම අටක් කියලා. අපේ රට දැවැන්ත ණය කන්දක හිර වී තිබෙන්නේ මේ නිසා. එක්දහස් නවසියපනහේදී රුපියල් කෝටි සියයක් වූ ණය පංගුව පසුගිය අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් කෝටි දහසය ලක්‍ෂ තිස්දහස දක්වා වැඩි වී තිබෙනවා. ගන්නා ලද ණයවලින් සිදු කළේ මොනවාද කියලා කිසිදු පාලකයකුට කියන්න පුළුවන්ද? ඒ නිසා පළමුවෙන් මේ රට ගොඩනඟන්න අදූෂිත දේශපාලනයක් අවශ්‍යයි. එය කළ හැක්කේ මේ රටේ අදූෂිතම ජාතික ජන බලවේගයට පමණයි. මේ දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතු බව බොහෝ ජනතාවක් අපේක්‍ෂා කරනවා. දූෂණයෙන් උපයා ගත් දේපොළ යළි පවරා ගත යුතු බවත් අපේක්‍ෂා කරනවා. සහතික වශයෙන් එය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. අපි එය කරනවා. 

දෙවනුව, මේ රට ගොඩනැඟීම සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජනතාව තනි තනි පුද්ගලයන් පසුපස, දියසෙන් කුමාරයන් හොයාගෙන කොච්චර ගියාද? අපි හැමදාමත් කියන්නේ, රටක් ගොඩනැඟීම තනි පුද්ගලයකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන බවයි. මේ රට ගොඩනැඟීම පිළිබඳව විශාල අපේක්‍ෂාවන් සහිතව විදේශ රැකියා කරන්නන් කුලියට ගත් ගුවන් යානා මඟින් ඡන්දය දෙන්න ආවා. ඇන්ටන් චෙකෝෆ් වරක් කියා තිබෙනවා, “මිනිසා වඩාත් හොඳ පුද්ගලයකු බවට පත් කළ හැක්කේ, ඔහුගේ යථා තත්වය පැහැදිලි කර දීමෙන්” කියලා. මිනිසා ස්වාභාවිකව හොරෙක්, දූෂිතයෙක්, පීඩකයෙක් නොවේ. ඒ මිනිසා ස්වාභාවිකව ප්‍රභාශ්වරයි. ඒ මිනිසාව මේ ව්‍යසනයට ඇදදැමුවේ කවුද? තනි තනිව තමා වෙනුවෙන් දුවන සමාජයක් ඇති කිරීමෙනුයි. ඒ සමාජය ඇතුළේ මිනිසා වංචනිකයෙක්, දූෂිතයෙක් වීමයි. එහෙම නම්, ඔහු එයින් මුදාගත හැක්කේත්, සාමුහික කිරීමෙන්. එය කළ හැකි වන්නේ දේශපාලන උඩුමහලේ සිට බිමට බැහැලා. අද තිබෙන දේශපාලනය අතිශය වරප්‍රසාදලත් තනතුරක්. නීතියට යටත් නැති පුද්ගලයෙක් නිර්මාණය කර තිබෙනවා. මේ දේශපාලකයා අතිශය වරප්‍රසාද ලබන, නීතියට උඩින් ඉන්න උඩුමහලේ සිට බිමට බැස්සිය යුතුයි. ඊට පසු පොදුජනයා එක්ක උරෙන්උර ගැටී සම කොටස්කරුවන් ලෙස සමාජය ගොඩනඟන ක්‍රියාකාරිකයකු බවට පත් කළ යුතුයි. දේශපාලකයා උඩුමහලේ ඉඳලා සාමුහික වෙමු කියලා පුරවැසියන්ට කියන්න බැහැ. රට ගොඩනැඟිය හැකි වන්නේ දේශපාලකයකු හැටියට මට පැවරී තිබෙන කාර්යභාරය, වෘත්තිකයකු හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරය, ව්‍යවසායකයකු හැටියට ඔබට ඒ වාගේම ගොවියාට, ධීවරයාට පැවරී තිබෙන කාර්යභාරයන් සාමුහිකව යෙදවීමෙනුයි. 

විශ්‍රාම වැටුප්, ඇමැතිවරුන්ගේ නිල නිවාස, හිටපු ජනාධිපතිවරුන් බලා ගන්න එක, ඔවුන්ට මන්දර ලබා දීම සියල්ල අහෝසි කළ යුතුයි. අහෝසි කර පුරවැසියන් සමග උරෙන්උර ගැටෙමින්, මේ රට ගොඩනැඟීම සඳහා සාමුහික ව්‍යායාමයක් බවට දේශපාලනය පත් කළ යුතුයි. එය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. පැරැණි සාම්ප්‍රදායික කඳවුරට කිසිවක් කළ නොහැකි බව ඔවුන් ඔප්පු කොට තිබෙනවා. අදූෂිත දේශපාලනයත්, සමාජයේ සාමුහික මැදිහත් වීමත් කියන මූලික කරුණු දෙක රට ගොඩනැඟීම සඳහා අවශ්‍යයි. ඒ මත ගොඩනැඟෙන ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. නමුත්, එය සර්වසම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ. අලුත් අදහස්, යෝජනා එකතු කරගෙන එය සම්පූර්ණ කළ යුතුයි. විශේෂයෙන්ම ආර්ථික දේහය සම්බන්ධයෙන් අප ඇති කරන පරිවර්තනය මූලික පදනම් තුනක් සහිතව සිදු කළ යුතුයි. ජාතික නිෂ්පාදනය ඉහළ දැමීමත්, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවන් සඳහා සාධාරණ පංගුවක් අත්පත් කර ගැනීමත් ජනතාව මේ ආර්ථිකයට හවුල් කරගෙන ඔවුන් අතරේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යාමට සැලැස්වීමත් කළ යුතුයි. අද ජනතාවගෙන් විශාල පංගුවක් මේ ආර්ථිකයෙන් පිටමං කර තිබෙන්නේ. ඔවුන් මිනිස් දූවිලි බවට ජන ජීවිතයෙන් පත් කර තිබෙනවා. අදත් මුළු ජාතික නිෂ්පාදිතයෙන් සියයට 38ක් දෙන්නේ බස්නාහිර පළාතෙන්. උතුරුමැද පළාතෙන් සියයට පහයි දශම පහයි. මෙයින් කියැවෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය වී ජනතාව සම ආකාරයෙන් ආර්ථිකයට සම්බන්ධ වී නැති බවයි. ඒ නිසා ජනතාව ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කළ යුතුයි. 

ජනතාව අතර ආර්ථිකයේ පංගුව බෙදී යන්නේ අතිශය අසාධාරණ ආකාරයට. උඩම ඉන්න සියයට දහය ජාතික ධනයෙන් සියයට තිස්අටයි දශම හතරක් භුක්ති විඳිනවා. පහළම ඉන්න සියයට දහය භුක්ති විඳින්නේ සියයට දශම එකයි දශම එකයි. මෙය යුක්තිසහගතද? අපි ඔක්කොම එකතු වෙලා පාන් ගෙඩියක් හදලා. එහි කොටස් සියයකින් තිස්අටයි දශම හතරක් දහ දෙනෙක් භුක්ති විඳින කොට තව දහ දෙනකුට ලැබෙන්නේ එක පෙත්තකට ටිකක් වැඩියෙන්. රටේ ආර්ථික ප්‍රසාරණයක් අත් කර ගන්නවා වාගේම ප්‍රතිලාභ සාධාරණව බෙදිය යුතුයි. ආර්ථික ප්‍රතිලාභ සාධාරණව නොබෙදී සමාජයක් යහපත් වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටකට තවත් රටක ආර්ථික ක්‍රමයක් ගළපන්න බැහැ. තමන්ගේ රටේ ආර්ථික උපායමාර්ගය සකස් කරන්නේ ප්‍රධාන සාධක කිහිපයක් මුල් කරගෙන. ඒ අතුරින් පිහිටීම මුලින්ම තිබෙනවා. අපේ රට ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන්නේ. යුරෝපය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ ඇත පෙරදිග කියන ප්‍රධාන නාවික ගමන් මාර්ග හතරක අපේ රට පිහිටා තිබෙන්නේ. වසරකට නැව් තිස්හය දාහක් මේ මාර්ග ඔස්සේ ගමන් කරනවා. මේ මුහුදු මාර්ග හතරෙන් ලෝක වෙළෙඳාමෙන් සියයට තිහක් ප්‍රවාහනය කරනවා. අපේ රටේ සංවර්ධනයේදී මේ පිහිටීම ඉතා හොඳින් උපයෝගී කර ගත යුතුයි. ඒ වාගේම අපේ රටේ තිබෙන ස්වාභාවික සම්පත් ගැන නිවැරැදි තක්සේරුව වැදගත්. රත්රන්, තඹ, ගෑස්‘ වැනි මිල අධික සම්පත් නිධි අපට නැහැ. නමුත්, රට වාගේ අටගුණයක සාගරය සම්පත් ආකරයක් ලෙස අයිති වී තිබෙනවා. මනරම් වෙරළ තීරය, ඛනිජ සම්පත්, මෝසම් වර්ෂාපතන දෙකක්, සමකය ආසන්නයේ පිහිටීම සහ සශ්‍රීක පොළොව අපට තිබෙන වාසනාවන්ත සම්පත්. මේ සම්පත් උපයෝගී කර ගැනීම අපේ සංවර්ධන සැලැස්මේ මූලික පදනම වෙනවා. 

තුන්වෙනුව, අපේ රටේ මානව සම්පත ඉතා වැදගත්ම සම්පතයි. ලෝකයේ ජනඝනත්වය අනුව අපේ රට තිබෙන්නේ, විසිහතර වැනි තැන. වර්ග කිලෝමීටරයකට ආසන්න වශයෙන් තුන්සියහතළිහක් විතර ජීවත් වෙනවා. මේ මානව සම්පත දියුණු කිරීම අපේ ආර්ථික උපායමාර්ගයේ වැදගත්ම දෙයක්. ඒ වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ක්‍රීඩාව යොදා ගන්න ඕනෑ. මේ ක්‍ෂේත්‍ර තුන අද තියෙන්නේ කොතැනද? පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් තිස්දහසක් සාමාන්‍යපෙළ ලියන්න පෙර පාසල් හැර යනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට හැත්තැවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගෙන නැහැ. සිරගත වූවන්ගෙන් සියයට හැත්තැවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන නැහැ. දුප්පත්කම සහ නූගත්භාවය අතර වාගේම සමාජ අපරාධ අතර සම්බන්ධයක් තිබෙනවා. මේ නිසා අපේ අධ්‍යාපනයෙහි මූලිකම අරමුණ නැණවත් මිනිසෙක් බිහි කිරීමයි. සෞඛ්‍යය තුළින් නිරෝගීසම්පන්න මිනිසෙක් බිහි කරනවා වාගේම ක්‍රීඩාවෙන් ධෛර්යයසම්පන්න මිනිසෙක් බිහි කරනවා. ශ්‍රී ලාංකික පුරවැසියා නැණවත්, නිරෝගීමත්, කාර්යශූර පුරවැසියෙක් ලෙස ගොඩනඟනවා. ලෝකයේ ඉතාමත් දියුණුම මානව සම්පත ශ්‍රී ලංකාවෙන් ගොඩනැඟීම අපේ අපේක්‍ෂාවයි. එය කළ හැකියි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. 

අද ලෝකය විවිධාකාරයෙන් ගැටගැසී තිබෙනවා. සන්නිවේදනය, ප්‍රවාහනය, ලෝක වෙළෙඳපොළ, ගමනාගමනය එකට ගැටගැසී තිබෙනවා. ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක් නිර්මාණය කරන්න කවුරුහරි කල්පනා කරනවා නම්, ඔවුන් අයිති වන්නේ එක්දහස් අටසිය ගණන්වලටත් එහා පැත්තට. ලෝක දේශපාලනයේ, ආර්ථිකයේ විවිධ බලකඳවුරු නිර්මාණය වී ගැටුම් සහ තරගයත් පවතිනවා. ඒ තුළ ලංකාව ස්ථානගත වන්නේ කොතැනද? දශක ගණනාවක් අනුගමනය කරන ලද වැරදි විදෙස් ප්‍රතිපත්ති නිසා එක් එක් රටවල ගුලට ඇතුළු වෙලා ඉන්නේ. චීනයට හම්බන්තොට වරාය දෙන කොට ඉන්දියාව නැඟෙනහිර වරාය ඉල්ලනවා. ඇමෙරිකාව කෙරවලපිටිය බලාගාරය ඉල්ලනවා. මේ නිසා අපි ඉතාමත් පුළුල් දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිතව ගුලෙන් එළියට ආ හැකි නැවුම්, නොබැඳි, සෑම රටක් එක්කම පෞරුෂයකින් ගනුදෙනු කළ හැකි විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. රට අභ්‍යන්තරයේ අපේ වාරි කර්මාන්තය, වැව් පද්ධතිය ගොඩනඟා තිබෙන්නේ ශිෂ්ටාචාරමය විකාශනයක් මත. අදත් අපේ ශ්‍රම බළකායෙන් සියයට විසිදෙකක් කෘෂිකර්මාන්තය මත පවතිනවා. අපනයන ආදායමෙන් සියයට විසිපහක් කෘෂිකර්මාන්තයෙන් ලබනවා. අපේ රටේ කර්මාන්තවලින් සියයට විසිපහක් අයත් වෙන්නේ කෘෂිකර්මාන්තය මතයි. අපේ රටේ කෘෂිකර්මාන්තය ආහාර සුරක්‍ෂිතතාව පැත්තෙන් සහ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග උසස් කිරීම වෙනුවෙන් ඉතාමත්ම වැදගත්. අපේ රටේ ශිෂ්ටාචාරය, මානව සම්පත, ලෝක දේශපාලනය සහ අපේ රටේ සම්පත් මත ගොඩනැඟුණු නව ආර්ථික ක්‍රියාමාර්ගයකට අප යා යුතුයි.  ඒ සම්බන්ධයෙන් අපට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. එය ක්‍රියාවට නඟන්නේ ව්‍යවසායකයන්. රජය ඉලක්ක හදනවා, ව්‍යවසායකයා ඒ ඉලක්කසහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අද සිදු වි තිබෙන්නේ, ව්‍යවසායකයන් අලුත් ක්‍ෂේත්‍රවලට අත නොතබා සිටීමයි. රජය ආර්ථික දැක්මක් අනුව ක්‍රියාවලියක් හඳුන්වා නොදෙන තාක් ව්‍යවසායකයන් ඥානක්කලා හමු වෙන්න යනවා. අප ගොවියා, කම්කරුවා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා යන සියලු දෙනා දැක්මක් සහිතව මෙහෙයවනවා. අවුරුදු පහ හයක් තුළ මේ අනුව අපේ රට දියුණු රටක් බවට පත් කරන්න පුළුවන්. පුරවැසියන්ට හැමදාමත් තිබුණේ යහපත් බලාපොරොත්තු. ඡන්දපොළේදී කිසිදු ඡන්දදායකයෙක් ඡන්දය දීමේදී, රට කඩාවට්ටන චේතනාවෙන්, ජාතික සම්පත් විකිණීමේ චේතනාවෙන්, අපේ රට මේ තරම් විනාශකාරීත්වයට ඇදගෙන යාමේ චේතනාවෙන් කතිරය ගැහැව්වේ නැහැ. හැම පුරවැසියාම කතිරය ගැහුවේ, යහපත් අපේක්‍ෂාවන්ගෙන් යුතුවයි. හැබැයි ඡන්දදායකයාගේ යහපත් සුබ සිහිනය වෙනුවට ඡන්දය ගත් පාලකයන් ඔවුන්ගේ සුබ සිහිනය විදිහට තිබුණේ, තම පවුල ගැන අපේක්‍ෂාවන්. පාලකයාට තිබුණේ, ජාතික සම්පත් විකුණන, අතිශය මජර, කෑදර ජීවිතයි. අපි ගොඩනඟන්නේ පුරවැසියාගේ අපේක්‍ෂාවන් මේ රටේ සියලු දෙනා එකතු වී ගොඩනඟන පාලනයක් තුළින් රට ඉදිරියට ගෙන යාමයි. ජාතික ජන බලවේගයේ විධායක සභාවට සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරමින්, තෝරා පත් කර ගත් පිරිසක් ඉන්නවා. අපි ගමට ගිහින්, මේ රට අලුත් මාවතකට හැරවීමේ දේශපාලනයට ප්‍රවේශ වෙමු. අවුරුදු හැත්තෑතුනක් ගමන් කරමින් තිබෙන විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවත තෝරා ගනිමු. මෙය තමයි, විසඳුමේ මාවත. ඒ මාවතට සියලු දෙනා ධෛර්යසම්පන්නව එකතු වෙමු කියලා ආරාධනා කරනවා.

You may also like

Leave a Comment