Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මත් උවදුරෙන් පාතාලයෙන් මේ රට ගලවා ගන්නවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-කොටිකාවත්ත රැලිය 2024.08.18-)

ලබන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා; ජනතාව ඡන්දය දීලා තිබෙනවා; නායකයෝ මාරු කර තිබෙනවා. දශක ගණනාවක් මේ දේ කළත් ව්‍යාපාර බංකොළොත් වෙලා රට කඩාවැටිලා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා මුළු රටත්, සමස්ත ජනතාවගේ ජීවිතත් බිඳවැටී තිබෙනවා. 21වැනිදා අප තීන්දු කළ යුත්තේ, අසාර්ථක, දශක හතකට වඩා පැරැණි ඒ පාරේම ඉස්සරහට යනවාද? අලුත් ගමනකට අලුත් පාරකට එනවාද කියන තීරණයයි. ඒ පැරැණි පාර වෙනුවට අලුත් පාරක් අවශ්‍ය නම්, ඒ අලුත් පාර ගෙන එන්නේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරයෙන් පමණයි. සැප්තැම්බර් විසිඑක යෙදී තිබෙන මේ අවස්ථාව කිසිසේත්ම මඟහරින්න දෙන්න එපා කියා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතුවී පැරැණි ගමනට තිත තබා අලුත් ගමනකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්.

උපිට දිනන්න පුළුවන්, ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි, අපට හෙල්ලෙන දත වාගේ ආණ්ඩුවක් ලැබිලා වැඩක් නැහැ. ශක්තිමත් ජනවරමක් ඕනෑ. මේ රට හදන්න ශක්තිමත්, දැඩි තීන්දු ගණනාවක් ගන්න තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජනතාවගේ ශක්තිමත් තීන්දුවක් ඕනෑ. රටේ ගොඩක් ආයතනවල කරන මත විමසීම්වලදී 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට කැමැත්ත පළ කර තිබෙනවා. හොරණ පිහිටි ධම්මික පෙරේරාගේ පැක්ටරියක කළ මත විමසීමකදී 65%කට වඩා ලැබිලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. සාමාන්‍යයෙන් ඡන්ද කාලයේදී රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ සිදු කර ආණ්ඩුවට වාර්තා ලබා දෙනවා. දැන් මාසයක ඉඳන් රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ කරන එක නතර කරලා. ඒ සමීක්‍ෂණ කරන්න යන අයගෙන් බහුතරයක් මාලිමාවේ. රාජ්‍ය බුද්ධි සේවයේ අය තැපැල් ඡන්ද ඉල්ලීම් අඩුකර ඡන්ද පොළට ගිහිල්ලාම කතිරය ගහන්න සූදානමින් සිටිනවා. මාලිමාවේ ජයග්‍රහණය මහ පොළොවේ තිබෙන අතර, සමහරු මාධ්‍ය ආයතන කිහිපයක් අල්ලාගෙන බොරු මාධ්‍ය සංදර්ශනත් පෙන්වනවා. සජිත් සමග එකටම හිටපු අය නැවත සජිත් සමඟ එකතු වෙයි කියන මාධ්‍ය සංදර්ශන පවත්වනවා. සාධාරණ ලෙස අපව වාර්තා කරන මාධ්‍ය ආයතන තිබෙන අතර, සමහර මාධ්‍ය ආයතන තෝරා ගත් අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය සඳහාම වැඩ කරනවා. ඒ විතරක් නොවෙයි, අපට විරුද්ධව ප්‍රහාර එල්ල කරන්නත් පටන්ගෙන තිබෙනවා.

මාධ්‍ය ඇතුළේ කරන ඒ සෙල්ලම තව දුරටත් මහ පොළොවේ වලංගු නැහැ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඔය සෙල්ලම්වලින් නතර කරන්නත් බැහැ. මාධ්‍ය හැසිරවීම, බලය යෙදවීම, සල්ලි බෙදීම විතරක් නොවෙයි, සජබ කොටසක් ගල්ගමුවට ගිහින් මුහුණේ ගල්වන ආලේප සහ සබන් පවා බෙදලා. ඔවුන් බඩු බෙදන අතර, ජාතික ජන බලවේගය මේ රටේ මහජනතාව සමඟ කරන දේශපාලනයෙන් ජයග්‍රහණය කිරීම ඒකාන්තයෙන්ම විශ්වාසයි. සජිත් ප්‍රේමදාසගේ නංගී අම්මා කෙනකුගේ සාරි කට්ටකුත් ගැහුවා. මොන විකාරද? ඡන්ද කාලයේ ඔය දේවල් කළාට ඡන්දයෙන් පස්සේ ජනතාව ඒ ගොල්ලන්ගේ පස්සෙන් යන්න ඕනෑ. ඒ දේශපාලනය නතර කරන්න නම්, ඡන්ද කාලයේදී කෙළින් හිටගෙන අසාර්ථක දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියාකාරීව වැඩ කරමු කියලා ඉල්ලන්නයි අපි ආවේ. කොළොන්නාව ආසනයෙන් විශාල ජයග්‍රහණයක් ඕනෑ.

කොළොන්නාව කීවාම රටේ අනෙක් ජනතාවට හැඟී යන්නේ කුඩුපුරයක් ලෙයසි. පාතාලයේ ක්‍රියාකාරකම් තිබෙන ප්‍රදේශයක් ලෙසයි. කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. පාතාලය මෙහෙයවපු අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. කොළොන්නාවේ සංවිධායකයෝ පාතාලයේ කුඩු ව්‍යාප්ත කළා. භාරත ලක්‍ෂ්මන්ට වෙඩි තියන්නේ කොළොන්නාවේදී. කුඩු ව්‍යාපාර බෙදා ගන්න ගැටුම් ඇති වෙනවා. පාතාල ගැටුම් ඇති වෙනවා. කොළොන්නාවේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් හෙට මොකක් වෙයිද කියන අවිශ්වාසයෙන් නිතරම ඉන්න සිදුවී තිබෙනවා. මේ පාතාලයත්, කුඩු ව්‍යාපාරයත් කොළොන්නාවෙන් තුරන් කරන්න ඕනෑ. ඒ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව භාර ගන්නවා. ඒවා වැනෙන තීන්දු නොවෙයි, දැඩි තීන්දු. ලංකාවට කුඩු ගොඩබාන ආකාරය, මහා ව්‍යාපාරිකයන් සමඟ තිබෙන සම්බන්ධතාව, සමහර ආරක්‍ෂක නිලධාරීන් සමඟ තිබෙන සම්බන්ධතාව, දේශපාලකයන් සමඟ තිබෙන සම්බන්ධතාව අපි දන්නවා. කුඩු කියන්නේ එක ජාවාරමක් පමණක් නොවෙයි. අන්තර් සම්බන්ධයක් තිබෙන ජාලයක්. සමහර නාළිකාවල සම්බන්ධතාවක් තිබෙනවා. අසූඅටදාහක් පමණ වන පොලිසියෙන් හත්-අට දෙනකුට මේවාට සම්බන්ධකම් තිබෙනවා. දේශපාලකයා, ආරක්‍ෂක නිලධාරියා, ජාවාරම්කාරයා, පාතාලය වාගේ ජාලයක් තිබෙනවා. ඒ ජාලය සමඟ හැප්පෙන්න ශක්තිමත් බලයක් ඕනෑ. කුඩුවලින් තොර, පාතාලයෙන් තොර කොළොන්නාවක් බිහි කර දුවා-දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් ගොඩනඟන්න නම්, ජාතික ජන බලවේගය බහුතර ඡන්දයකින් දිනවන්න ඕනෑ.

Kotikawaththa-Public-Rally-AKD-On-Stage

කාලයක් තිස්සේ කුඩු ජාවාරමත්, පාතාලයත් මර්දනය කරනවා කිව්වට එක ආණ්ඩුවක් ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහනවා. ආනෙක් ආණ්ඩුව ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහලා ඒ අයගේ අය ආරක්‍ෂා කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපට කුඩු ව්‍යාපාරිකයන් එක්ක සම්බන්ධතාවකුත් නෑ. කුඩු ව්‍යාපාරයෙන් සල්ලි යොදවන්නෙත් නෑ. ජාතික ජන බලවේගය පාතාලයට ණයත් නෑ, බයත් නෑ. අපට සමාජ වගකීමක් තිබෙනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ වෙන්න දෙන්න බෑ. දරුවෙක් උපදින කොට අම්මා, තාත්තා සතුටු වෙනවා. දරුවා කුඩුවලට ඇබ්බැහි වුණාම අම්මා, තාත්තා වැලපෙන ගෙවල් අප දැකලා තිබෙනවා. දරුවා රඳවලා ඉන්න රිමාන්ඞ් බන්ධනාගාරය ඉදිරිපිට කඳුළු සලන අම්මලා අප දැකලා තිබෙනවා. කුඩුවලට ඇබ්බැහි වීම නිසා තරුණයන්ගේ ජීවිත විනාශ වෙන හැටි අපි දැකලා තියෙනවා. අපි එන්නේ ඒ තරුණයන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගන්නයි. පොලිසියේ මහත්වරු අසරණ කරමින්, මාරුවක් ගන්නත්, පාතාලයට කතා කළ යුතු කාල වකවානු තිබුණු බව අපි දන්නවා. සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා ගැන අපි දන්නවා. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා දුන් ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවදී සාමදාන විනිශ්චයකාර තනතුරකුත් ලබා දුන්නා. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේ ආරක්‍ෂකයා. ජනාධිපති සමාවෙන් නිදහස් වී එන කොට ගෝනවල සුනිල් කැලණියට ආවේ ඇතා පිටින්. පාතාලය නිකම් වර්ධනය වුණේ නෑ. එයට දේශපාලන අනුග්‍රහය ලැබුණා.

ප්‍රේමදාසගේ කාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සොත්ති උපාලිව පත් කරගෙන සිටියා. එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සොත්ති උපාලිත්, උපාසක වි.ජ.මු. ලොකුබණ්ඩාරත් හිටියා. තරුණයන් ගහගන්න, ඇනකොටා ගන්න සිද්ධි තිබුණත්, අපේ රටේ සංවිධානාත්මක පාතාලයක් තිබුණේ නෑ. එක්දහස් නවසිය හැත්තෑහතෙන් පස්සේ සංවිධානාත්මක පාතාලයක් හැදුණේ දේශපාලන රැකවරණයෙන්. අනෙක් පක්‍ෂවලට ගහන්න, කොඩි වනන්න, වේදිකා කඩන්න, වේදිකාවලට වෙඩි තියන්න, හොර ඡන්ද දාන්න පාතාලය ඕනෑ වුණා. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා, බැද්දගානේ සංජීවලා ජනාධිපතිලාගේ තුරුලේ හැදුණේ. චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයා ලෙස නිල වශයෙන් පත් කරගෙන සිටි බැද්දගානේ සංජීවට කතා කර සමහර පොලිස් නිලධාරී මහත්වරුන්ට මාරුවීම් ලබා ගන්න සිදු වුණා. ජූලම්පිටියේ අමරේ, සූරියවැව වම්බොට්ටා, බෙලිඅත්තේ චණ්ඩි මල්ලි වාගේ අය හැදුවේ මහින්ද රාජපක්‍ෂ. කඩුවෙල වසන්තලා හිටියේ රත්නපුරයේ ඇමැති ළඟ. කටුවන අපේ රැස්වීමට වෙඩි තැබූ ජූලම්පිටියේ අමරේ නාමල් රාජපක්‍ෂගේ පෞද්ගලික ආරක්‍ෂකයා විදියට හිටියා. අපේ රටේ අපරාධ සංවිධානාත්මක ජාලයක් බවට ගෙන ආවේ, හිරගෙදර ඉඳන්, ඩුබායිවල ඉඳන් මෙහෙයැවිය හැකි තත්වයට ගෙනාවේ දේශපාලකයන්. අපේ රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක ගැන කියන්න කට අරින්නේ නැහැ. ඉඩමක් විකුණන්න ගියත්, පාතාල නායකයාට කප්පම් දෙන්න ඕනෑ. හරියට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ මහත්වරුන් බයේ ජීවත් වෙන්න ඕනෑ. සමහර පොලිසියේ මහත්වරුන්ට පාතාලයට බයේ රට අත්හැර යන්න සිදු වී තිබෙනවා. මේ පාතාලයෙන් ජනතාව මුදාගෙන නිදහසේ සිටිය හැකි පරිසරයක් ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපට ශක්තිමත් බලයක් දෙන්න කියන්නේ, ජනතාවට මේ නිදහස ලබා දෙන්නයි.

අපේ රටේ දරුවන් කුඩුවලට ගොදුරු වීම වළක්වන්න ඕනෑ. අපේ දෙමාපියන් කුඩු හේතුකොටගෙන විඳින වේදනා නතර කරන්න ඕනෑ. අපේ පොලිසියේ මහත්වරු නීතිය ක්‍රියාත්මක කරන්න බයේ ඉන්න තත්වය නතර කරන්න ඕනෑ. නීතියේ විධානය, ආධිපත්‍යය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. අපි එන්නේ මේ රට හදන්න. මම නැවතත් කියනවා, අපි කිසිවකුටත් ණය නැහැ. අපි පිරිසිදු මිනිස්සු. ඔය කිසිවකුටත් අපව සල්ලි දීලා ගන්න බැහැ. මේ දේශපාලන තීන්දුව අරගෙන අපි වැඩ කරන්නේ නැත්නම්, මේ රට අනාරක්‍ෂිතයි; ජීවිත අනාරක්‍ෂිතයි. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. නීතිය පාගාගෙන, නීතියට උඩින් ඉන්න කිසිවෙකුත් නැහැ. නීතිය ඉදිරියේ අද හැම දෙනාම සමාන නැහැ. එහෙම සමාන නම්, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. ඒ වාගේම සංස්කෘතික අරමුදලට කරපු වැඬේ ගැන සජිත් ප්‍රේමදාස උත්තර බඳින්න ඕනෑ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි සිය ගණනක් වෙනුවෙන් ආරම්භ කළ පරීක්‍ෂණවලදී සජිත් ප්‍රේමදාසගෙන් එක කටඋත්තරයක්වත් ගත්තේ නැහැ. ශිරන්ති රාජපක්‍ෂ මොන්ටිසෝරි ටීචර් මිලියන තිස්පහක් දීලා ටොරින්ටන් ප්‍රදේශයෙන් ගෙයක් ගත්තා. රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් නිසා මේ ගැන ශිරන්තිගෙන් ප්‍රශ්න කළේ නැහැ. හොර සල්ලි ළඟ තිබිලා අහු වුණු සජිත් ප්‍රේමදාසගේ නංගි දවසක්වත් අත්අඩංගුවේ හිටියේ නැහැ. ඒ ගොල්ලෝ හැමදාමත් ඉන්නේ නීතියට වඩා උඩින්. සාමාන්‍ය ජනතාව හැම දාමත් නීතියේ අසමාන සැලැකීමට ලක් වුණා.

දියුණු වුණු හැම රටකම නීතිය හැම දෙනාටම එක හා සමානයි. නීතියේ සමානාත්මතාව තහවුරු කර කඩාවැටුණු රටේ ආර්ථිකය ගොඩනඟන්න ක්‍රියා කරන අතර, ජීවත්වීම අසීරු හැම පවුලකටම රුපියල් දසදහසකට වඩා වැඩි සහනාධාරයක් ලබාදෙන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඉතාම අමාරු කෙනකුට රුපියල් විසිදහසක් ලබා දෙන්නත් සැලැසුම් කර තිබෙනවා. මිනිසුන්ට ආහාර නැතිව, බෙහෙත් නැතිව, දරුවන්ට අධ්‍යාපනය නැතිව රටක් හදනවා කීවාට වැඩක් නැහැ. අපි ආරම්භයේ දීම ඒ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ ආධාර වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැඟීම පටන් ගන්නවා. ඒ වාගේම මේ වන විට තිබෙන දරා ගන්න අමාරු විදුලි බිල අවුරුද්දක් හෝ එකහමාරක් ඇතුළත තුනෙන් එකකින් අඩු කිරීමේ සැලැසුම් සකස් කර තිබෙනවා. තෙල් මිල අඩු කරන්නත් පුළුවන්. හෙජින් වංචාව, බාල තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණ පවත්වා ඒ බරත් ජනතාව පිට පැටවීමෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවා. කිරිපිටි ඇතුළු ආහාරපානවලට ගහලා තිබෙන වැට් බද්ද, අධ්‍යාපන උපකරණවලට වාගේම ඖෂධවලට සහ සෞඛ්‍ය උපකරණවලට පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා. අපි මෙහෙම කියන කොට සමහර කට්ටිය ඒවාට සල්ලි කොහෙන්ද කියලා අහනවා. අය කරගත යුතු නමුත්, අය කර නොගත් බදු රුපියල් කෝටි එක්ලක්‍ෂදහදාහක් තිබෙනවා. ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනයට පනවා ඇති වැට් බද්ද ආදියෙන් අවුරුදු විස්සකින්වත් මේ රුපියල් කෝටි එක්ලක්‍ෂදහදාහ සොයාගන්න බැහැ. මෙයින් රුපියල් කෝටි දහසයදහස් නවසීයක් දවසකින් අය කරගත හැකියි.

බදු නොගෙවූ අය අතරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජබ වේදිකාවට ගිය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා වාගේ අය ඉන්නවා. සමහර තැන්වල මාළු ලෑල්ලටත් බදු ගහන අතර, අරක්කු පැක්ටරිවල අයිතිකාරයන් බදු පොලු තියලා ඉන්නවා. රුපියල් කෝටි හයසිය පනස්හතරක් අරක්කු පැක්ටරි අයිතිකාරයන් තුන්දෙනා පොලු තියලා තියෙනවා. කිරිපිටි පැකට් එකට බදු ගහලා, අරක්කු බදු අයකර ගන්නේ නැතිව ඉන්නවා. මොන ආණ්ඩුද මේවා. තව රුපියල් කෝටි අසූඅටදාහක් විතර නඩු දාලා තියෙනවා. බද්ද ගෙවන්න ඕනෑ එක නොගෙවා නඩු දාලා අවුරුදු ගාණක් නඩුව ඇදී යනවා. ජාතික ජන බලවේගය එවැනි නඩු සම්බන්ධයෙන් නීති වෙනස් කර නඩුව අවසානයේ බදු ගෙවිය යුතු බවට තීන්දු කරනවා නම්, පොළියක් එක්ක අය කරගන්න ක්‍රියා කරනවා. බදු කාර්යක්‍ෂම කර භාණ්ඩාගාරයේ ධනය වැඩි කර ගන්නවා. ඒ අතරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිකයන් රට දාලා යන්න බල කෙරෙන බදු අය කිරීමේ සීමාව රුපියල් ලක්‍ෂයේ සිට මාසයකට රුපියල් ලක්‍ෂ දෙක දක්වා වැඩි කරනවා. මහ බැංකුවේ මහා මුදල් වංචාව සිදු කර සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන් මහෙන්ද්‍රන්ව ගේනවා. ඔහුට පැනලා යන්න දුන්නේ රනිල් වික්‍රමසිංහ. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතිව, මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියක් නැතිව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියක් නැතිව බැඳුම්කර ලබා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් හොරකමට ආරම්භය ලබාදී තිබෙන්නේ රනිල්. මහ බැංකුව තිබුණේ ඒ වෙලාවේ රනිල් යටතේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රතු වරෙන්තුකාරයා ලංකාවට ගෙනැවිත්, බැඳුම්කර පරීක්‍ෂණ නැවත ආරම්භ කරනවා.

එළැඹෙන විසිහය වැනිදා මේ රට ගොඩනැඟීමේ ශක්තිමත් වැඩපිළිවෙළ ජාතික ජන බලවේගයෙන් එළිදක්වනවා. මේ වැඩපිළිවෙළ අවුරුදු දෙකකට වඩා සාකච්ඡා කරමින්, සකස් කළ එකක්. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් මෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් වැනි පිරිසක් එකතුවී මෙම වැඩපිළිවෙළ සකස් කළා. ඒ නිසා අපි හුදු ආණ්ඩුවක් ගැනීමට නොවෙයි, සූදානම් වෙන්නේ. දූෂිතයන්ගෙන්, අපරාධකරුවන්ගෙන් මේ රට බේරාගෙන, අවබෝධයක් සහ ඥානයක් නැති අයගෙන් ධෛර්යසම්පන්න මිනිසුන්ගේ මැදිහත්වීමෙන් රට ගොඩනඟන ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. මහජනයාගේ ධනය ශතයක්වත් හොරකම් නොකරන, නාස්ති නොකරන පොදුජනයාගේ ආණ්ඩුවක් අපි ගොඩනඟමු. ඒ සඳහා සැප්තැම්බර් විසිඑක් වැනිදා කොළොන්නාව ආසනයෙන් මාලිමාවට විශාල ජයග්‍රහණයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.