Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ජනතාවගේ සහ පාලකයන්ගේ අපේක්ෂාවන් සමපාත වෙන පාලනයක් අපේ රටට අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව – 2024.03.23-)

AKD-Toronto-Speech-and-Q&A-Session

මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් වත් හානිවෙන්න ඉඩ නොතබන බවට පොරොන්දු වෙනවා. අපේ රටේ ජනතාවට යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවන් තිබුණා. කවර ආණ්ඩුවක් හැදුවත් කවර පාලකයෙක් පත්කර ගත්තත් පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් අපේක්ෂාවනුයි. හැබැයි පාලකයාට තිබුණේ ඊට පටහැණි අපේක්ෂාවන්, වෙනස් බලාපොරොත්තු. ඒ නිසා ජනතාවගේ අරමුණුත්, බලාපොරොත්තුත් පාලකයාගේ අරමුණුත්, බලාපොරොත්තුත් දෙකක් වුණා. ජනතාවගේත් පාලකයාගේත් අපේක්ෂාවන් එකක් බවට පත්වෙන ආණ්ඩුවක් අපි ලංකාවේ පළමු වතාවට හදමු . එහෙම පාලනයක් අපට අවශ්‍යයි. ඔබට තිබෙන අරමුණුම තමයි අපටත් තිබෙන්නේ. සමහර අරමුණු ඔබටත් වඩා ඉදිරියෙන් අප ළග තිබෙන බවට අපි විශ්වාස කරනවා. අපේ රටේ ඈත ගම්වල දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී සිටින ජනතාවට මෙයට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් අපි නව ආණ්ඩුවක් ගොඩනඟමු.

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකොට අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. අපේ අපේක්ෂාව ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කරගන්නයි. මේ ගමනේදී ප්‍රධාන අභියෝගයන් දෙකක් තිබෙනවා. එක බලය අත්පත් කර ගැනීම. දෙක කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැගීම. ඒ නිසා ප්‍රධාන කාර්යයන් දෙකක් අපේ උරමත පැටවී තිබෙනවා. මා හිතනවා මේ කාර්යයන් දෙක දෙකක් වුණාට එකම ගමනක සන්ධිස්ථාන දෙකක්. අපි බලය ලබාගැනීම සඳහා හදන පාරෙම තමයි මේ රට ගොඩනැගීමේ පාර තිබෙන්නේ. අපේ රටේ ගොඩක් සිදුවුණු දේ තමයි බලය ගන්න කරන්න පුළුවන් හැම අවරගණයේ ක්‍රියාවක්ම කරනවා. කළ හැකි සියලු පන්නයේ විනාශයන් කර බලය අරගෙන රටක් හදන්න බැහැ. බලය ලබාගැනීම සඳහා සත්භාවයෙන් කරනු ලබන කාර්යයම තමයි රට ගොඩනැගීම සඳහාත් උරදෙන්නේ. බලය ලබාගැනීම සඳහා තිබෙන පාරම තමයි රට ගොඩනැගීම සඳහා තිබෙන්නේ. බලය ලබා ගැනීම සඳහා තිබෙන්නේ සියලු දෙනාම එකතු වීම. රට ගොඩනැගීම සඳහා තිබෙන්නේත් සියලු දෙනාම එකතුවීම. අපි ඔබට ආරාධනා කරන්නේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රට ගොඩනැගීම සඳහාත් දායකත්වය දෙන කණ්ඩායමක් ලෙස අපත් එක්ක එකතු වෙන්න කියලා.

AKD-Toronto-Speech-and-Q&A-Session

සංවාද තුනක් ඇවිත් තිබෙනවා. පළමුවෙනි සංවාදය පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවයි. දෙවන සංවාදය ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම පිළිබඳවයි. තුන්වෙනි සංවාදය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවයි. ලංකාවේ මැතිවරණයක් පිළිබඳ මෙවැනි අවිනිශ්චිතතාවයක් හෝ සැකයක් මීට පෙර මතුවී තිබෙනවාද? ව්‍යවස්ථානුකූලව ජනාධිපති ඡන්දය, පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. උදාහරණයක් ලෙස 2019 නොවැම්බර් 08යි දෙසැම්බර් 08යි අතර ජනාධිපති ඡන්දය පැවැත්විය යුතුව තිබුණා. ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා හරියටම වෙලාවට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. මැතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබුණේ නැහැ. ලංකාවේ පළමුවෙනි වතාවට ඡන්දයක් පිළිබඳව අවිනිශ්චිතතාවය ඇවිත් තිබෙනවා. අන්කවරක්වත් නිසා නොවෙයි; අපේ රටේ දූෂිත, විනාශකාරී, ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා නිමිත්තක් ඇති වී තිබෙනවා. ඔවුන් ඒකට බයයි. රාජපක්ෂ කඳවුර අතින් රනිල් කඳවුර අතට බලය මාරුවෙනවා නම්, රනිල් කඳවුරෙන් රාජපක්ෂ කඳවුරට බලය මාරුවෙනවා නම් ඔවුන් කවදාවත් බිය වෙන්නේ නැහැ. ලංකාව වසර 76ක් පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඇවිත් තිබෙනවා. නමුත් ජනාධිපති ඡන්දයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් නැහැ. ජනාධිපති ඡන්දයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියනවා. බැසිල් රාජපක්ෂ කියනවා, ජනාධිපති ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බොත් හෝදගෙන යනවා කියලා. 2004 පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තුවට අවුරුදු 06. 2005 ජනාධිපති ඡන්දෙ තිබ්බා. ජනාධිපති ධුරයට අවුරුදු 06යි. එහෙම නම් පාර්ලිමේන්තු ඡන්දෙ එන්න ඕනෙ 2010යේ. ජනාධිපති ඡන්දෙ එන්න ඕනෙ 2011හේ. ඒ වෙලාවේ ජනාධිපතිවරයාට බලය තිබුණා විධායක ජනාධිපති ධුරයට අවුරුදු හතරක් පිරුණාට පස්සේ ඡන්දෙ කැඳවන්න. ඔහු කළේ ව්‍යවස්ථා වගන්ති උපයෝගී කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති ඡන්දය ගත්තා. 2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට තව අවුරුදු දෙකක් තිබියදී ජනාධිපති ඡන්දෙ කැඳෙව්වා. 2019 ජනාධිපති ඡන්දෙ තිබ්බා. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ආවේ 2020 මාර්තු 02දාට. දෙවෙනිදා රෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා; ජනාධිපති ඡන්දය අවසන් වූ වහාම මහ මැතිවරණය ගැනීමේ අපේක්ෂාවෙන්. අවස්ථා තුනක් මහ ඡන්දයට පෙර ජනාධිපති ඡන්දය ගත්, ඒ සඳහා වැඩ කළ බැසිල් රාජපක්ෂ අද කියනවා, පාර්ලිමේන්තු ඡන්දෙ කලින් තිබ්බොත් හොඳයි කියා.

ජනාධිපතිවරණය නිසා ඔහු විශාල අසීරුතාවයට පත්ව සිටිනවා. ඔහු එක්කෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතුයි. රනිල්ට සහාය දුන්නොත් එතනින් පසුව පොහොට්ටුවක් නැහැ. එහෙම නැතිනම් වෙන කෙනෙක් දාන්න ඕනෑ. වෙන කෙනෙක් දැම්මොත් පාර්ලිමේන්තු ඡන්දෙදි ගන්නා ඡන්ද ප්‍රමාණයත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් “ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී” තත්වයට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න මහ ඡන්දෙ කලින් ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඡන්දය කලින් ගැනීමේ අභිමතය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ විතරයි. රනිල් වික්‍රමසිංහ තීරණය කළොත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියා විසුරුවා හැරිය හැකියි. අද විසුරුවොත් හෙට සිට රනිල්ගේ බලය ශූන්‍යයි. ඒ නිසා රනිල් අන්තිම මොහොත දක්වා ඉන්න නම්, ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්දයට යාමට තිබෙන ඉඩකඩ අඩුයි. දැනට දේශපාලනය ගොඩනැගී තිබෙන විදිහට සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර, ජනාධිපති ඡන්දෙ පැවැත්වෙනවා. බොහෝ දුරට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 ජනාධිපති ඡන්දය පැවැත්වෙනවා. ඒක වළක්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට සැප්තැම්බර් 28 දක්වා හෝ ඔක්තෝබර් 05 දක්වා ඉන්න පුළුවන්. ඔහු ජනාධිපති ඡන්දයක් තියන්න තීරණය කරන්නේ නැතිනම් ඊට කලින් යන්න පුළුවන්.

අද අපේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී පාඩම් උගන්වන්නම්, ඡන්දෙදි අපි බලාගන්නම් කියන අරමුණෙන්. ඡන්දෙ තියන්නේ නැහැ කියලා මතයක් ආවොත් ජනතාව හෙට පාරට බහිනවා.

AKD-Toronto-Speech-and-Q&A-Session

ඊළඟට නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිවුවා “පොදු සතුරෙක්” ගැන. අනෙක් පක්ෂ අතර තිබෙන වෙනස්කම් පැත්තකින් තබලා පොදු සතුරාට මුහුණ දෙන්න කියලා. පොදු සතුරා එන්පීපී එක. අපි සතුටු වෙනවා ඒගොල්ලන්ගේ පොදු මිතුරා නොවී පොදු සතුරා බවට පත්වීම ගැන. නිමල් සිරිපාලට කවදාවත් ඔවුන් සතුරෙක් වුණේ නැහැ. එයා 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදිත්, 2005 මහින්දගේ ආණ්ඩුවේත්, 2015 මෛත්‍රීපාලගේ ආණ්ඩුවේත්, 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේත්, 2022 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේත් ඇමති. ඒ නිසා අපි නිමල් සිරිපාලට පොදු සතුරා වීම හරි. ඔහු අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ ඇමති. ඒ නිසා විශාල සන්ධානයක පෙර නිමිති, ජාතික ජන බලවේගය පරාජයට පත්කිරීමට ඊට එරෙහිව සාමදෙනාම එකතු විය යුතුයි කියන සංවාදය ඇතිවී තිබෙනවා. මෙවැනි පරිවර්තනයන් සාමාන්‍ය විදිහට ඉටුවෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අපි පරාජය වුණොත් පසුවදා සිට දේශපාලනය කරනවා. අපි මේක අත්හරින්නේ නැහැ. වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානයෙන් වැඩකරනවා. ඒගොල්ලන් පැරදුණොත්, එයාලට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඔවුන් පරම්පරාව අනුව දේශපාලන පෙතේ ඉත්තෝ ටික පෙළ ගස්වා තිබෙනවා. නාමල් මෑතකදී කිවුවා, ඒගොල්ලන්ගේ පවුලේ දේශපාලන ඉතිහාසය අවුරුදු 98ක් කියලා. ඒගොල්ලන් පැරදුණොත් නාමල්ට සෙන්චරිය ගහන්න ලැබෙන්නේ නැහැ. උඩ විතරක් නොවෙයි දිස්ත්‍රික්ක වශයෙනුත් ග්‍රාමීය වශයෙනුත් ඒගොල්ලන්ගේ පෙළපත්වලට අපේ රටේ පාලනයන් ලියා දී තිබෙනවා. ඒ පෙළපත් පාලනය අහෝසි වෙනවා. ඔවුන් කවදාවත් නීතියට යටත් වුණේ නැහැ. නීතියට උඩින් හිටපු අය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ පනත් මොනතරම් තිබුණත් ඒ හැම නීතියකටම වඩා ඔවුන් හිටියේ උඩින්. ඔවුන්ට නීතියට යටත් වෙන්න සිදුවෙනවා. අයථා ලෙස එක්රැස් කරගෙන තිබෙන ධනය අහිමි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා එයාලගේ පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ලංකාවේ දකින්න ලැබෙන විචිත්‍රවත්ම මැතිවරණ වේදිකාව දකින්න ඉදිරියේදී දකින්න ලැබෙනවා. හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨා, සහ රනිල් පස්දෙනාම වේදිකාවේ නගිනවා. දැනුත් වේදිකාවට නොනැග්ගත් අභ්‍යන්තර එකඟතාවයකින් වැඩකරනවා. මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය තමන්ගේ අතින් පළමුවෙනි වතාවට බලය අහිමි වෙයි කියන තැතිගැන්මට ලක්වී ඉන්නවා. ජනවහරේ කතාවක් තිබෙනවා “විශාල ගංවතුරකට අසුවුණාම, නයයි, මුගටියයි ගහගෙන යනකොට එක කොටේකට නගිනවා” කියලා. මේ නයි-මුගටි ඉදිරියේ එක වේදිකාවේ දකින්න හැකිවෙනවා. ඒ ගොල්ලන්ගේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව පැහැදිලියි.

AKD-Toronto-Speech-and-Q&A-Session

අපට බලය ලබා ගැනීම සඳහා කරන්න තිබෙන්නේ තව තවත් ජනතාව දැනුවත් කොට එකතු කර ගැනීමයි; ජනතා විශ්වාසය දිනා ගැනීමයි. අපි ඔබට ආරාධනා කරන්නේ එම කාර්යයේදී ඔබ පංගුකාරයෙක් බවට පත්වෙන්න. දූෂිත, ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ගොඩනගන්න එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා. කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාවටත් මම ආරාධනා කරනවා. ඔවුන්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජනතාවට ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා. මම සිංහල බෞද්ධ සංස්කෘතිය තුළත් තව කෙනෙක් දෙමළ පවුලක හින්දු ආගමික සංස්කෘතියක් තුළත් තව කෙනෙක් ඉස්ලාම් සංස්කෘතිය තුළත්, ක්‍රිස්තු ආගමිකයන් සහ බර්ගර් පිරිස් ඒ ඒ සංස්කෘතීන් තුළ හැදුනු වැඩුනු අයයි. අපි එකිනෙකා වෙනස් ආගම්, භාෂා, සංස්කෘතීන් අනුව උපත ලැබීම අපරාධයක්ද? මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් සමත් වුණා, අප රට ඇතුලේ ඒ බෙදීම ඇති කරන්න. අපේ රටේ මුළු දේශපාලනයම කළේ අනෙකාට එරෙහිව. උතුරේ දේශපාලනය දකුණටත්, දකුණේ දේශපාලනය උතුරට එරෙහිවත්, දකුණේ දේශපාලනය නැගෙනහිරටත්, නැගෙනහිර දේශපාලනය දකුණට එරෙහිවත් මෙහෙය වූවා. මුළු දේශපාලනයම සිංහල, දෙමළ, මුස්ලිම් කතා කරන භාෂාව අනුව, ආගම අනුව, අනන්‍යවූ සංස්කෘතීන් අනුව අනෙකාට එරෙහිව අපව තීරු තීරුවලට බෙදුවා.

අද ලංකාවට අවශ්‍ය එකතුවීමේ හා සමගියේ දේශපාලනයක්. අපි තිස් වසරක යුද්දෙකට මුහුණ දුන්නා. මහපොළොව තෙත් වෙනකම් ලේ හැළුවා; ගංඟා පිරෙනකම් කඳුළු ගැලුවා. උතුරේ, දකුණේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් අහිමි වුණා. මේ බෙදුම්වාදී දේශපාලනයේ අපට ඉතිරි වුණු ප්‍රතිඵලය කුමක්ද? අපි මේ දේශපාලනය අවසන් කරන්න ඕනෑ නැද්ද? අපි උතුරේ ජනතාවටත් ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න වුණු ආහාර පිළිබඳව, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, සෞඛ්‍යය පිළිබඳව, නිවාසයක් හදාගැනීමේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන දේශපාලන නායකයන්ට අපි ආරාධනා කරනවා එකතු වෙන්න ඕන තැන ජාතික ජන බලවේගය කියලා. නැගෙනහිර මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කරන සෑම පුරවැසියෙකුටමත්, ප්‍රජා නායකයන්ටත් අපි ආරාධනා කරනවා. මේ වෙනස කරන්න ඔවුන්ගේ දායකත්වය අපට අවශ්‍යයි. අපි ගොඩනගන ආණ්ඩුව, දකුණ, උතුර, නැගෙනහිර, දෙමළ, මුස්ලිම්, සිංහල මේ සියලු දෙනා පාලන බලය හොබවන ආණ්ඩුවක් බවට පත්වෙන්න ඕනෑ. කැනඩාවේ ජීවත්වෙන දෙමළ ජනතවගෙන් ඉල්ලනවා, මේ පණිවිඩය ඔබේ ඥාතියාට, හිතවතාට දෙන්න කියලා. අපේ පරම්පරාව, යුද්ධ කරගත්තා, ගහමරා ගත්තා, සැකය, ක්‍රෝධය, වෛරය ඇතිකර ගත්තා. අපේ පරම්පරාවට වගකීමක් තිබෙනවා, අනාගත පරම්පරාවට ඒ තත්වය උදා නොකිරීමට කටයුතු කිරීමට.

AKD-Toronto-Speech-and-Q&A-Session

1948 නිදහස ලැබෙන විට මේ සියලුම ජනතාව එක ජාතික කොඩියක් යටතේ ඒකාබද්ධ කරන්න පුළුවන්කම තිබුණා. සුද්දාගේ ආධිපත්‍යය බිඳුණා. ස්වදේශිකයන් අතට පාලනය ආවා. මොනතරම් ජාතික හැඟීමක් අපේ මනස තුළ ඇතිවෙන්න ඕනෙද? අපට අද චක්‍රලේඛයක් මගින් ජාතික කොඩිය දම්මවන්න සිදුවී තිබෙනවා. අපට එය නිදහසක් ලෙස දැනේනේ නැහැ. 1947 නිදහස ලබාගත්ත ඉන්දියාවේ නායකයන්ට තමන්ගේ රට ඉදිරියට යා යුතු දැක්මක් තිබුණා. එදා නායකයන් දැමූ පදනම තමයි අද හඳට යන ඉන්දියාවක්, ආසියානු කලාපයට වාහන සපයන, ඖෂධ සපයන, ආහාර සපයන රටක් හැදුණේ. අපිට ණය ගන්න සිදුවුණා, ණය ගෙවාගන්න බැරිවුණා. අපේ නායකයන්ට දැක්මක් සහිත පාලනයක් තිබුණේ නැහැ. විශාල ප්‍රාදේශිය බෙදීම් තිබෙන, විවිධ සංස්කෘතීන් තිබෙන, විශාල ආගම් ප්‍රබේද තිබෙන, විවිධ භාෂාවන් තිබෙන රටක් වූ ඉන්දියාවට එක ජාතික කොඩියක් යටතේ ජනතාව පෙළගස්වන්නත් ඒ නිසා මනමෝහංසිංට අගමැති වෙන්නත් අබ්දුල් කලාම්ට ජනාධිපති වෙන්නත් හැකියාව ලැබී තිබෙනවා. කුලහීන යැයි සම්මත කාන්තාවකට ජනාධිපති වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පාලකයන්ට ජාතික ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන්කම ලැබුණ නිසා. නමුත් අපේ රටේ 1958 සිට 2019 දක්වා මුළු ඉතිහාසයම ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමේ වියගසෙන් අපි මිදෙන්න ඕනෑ.

ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයේදී උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එකට එකතුවී නව පාලනයක් ගොඩනඟා ගනිමු. 1948 පාලකයන් අවස්ථාව මඟ හැරියත් 2024දී එකමුතුකම, සමගිය, ජාතික ඒකාබද්ධතාව සහිත පාලනයක් ගොඩනගා ගනිමු. මට ඡන්දෙ දෙන්න, මම 13 ප්ලස්, ෆෙඩරල් දෙන්නම් කියා ඡන්ද ගනුදෙනුවක් කරන්න සූදානම් නැහැ. දේශපාලනය කියන්නේ ගනුදෙනුවක්, බිස්නස් නොවෙයි. දේශපාලනය කියන්නේ සාමූහික ව්‍යායාමයක්. උතුර, දකුණ, නැගෙනහිර අපි එකතු වෙලා අපේ රට ගොඩනගමු.

AKD-Toronto-Speech-and-Q&A-Session

ටොරොන්ටෝ ජන හමුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබා දුන් පිළිතුරු

කැනඩාවේ කැබිනට් මණ්ඩලයේ 50%ක් කාන්තාවන් නියෝජනය සිදුවෙනවා. ජාතික ජන බලවේගය පාලනයේදී කාන්තාවන්ගේ නියෝජනය ගැන අදහස කුමක්ද?

අපි ගොඩක් කැමතියි කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමට. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී තුනක් ලැබුණු වෙලාවේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණේ එක මන්ත්‍රී ධුරයයි. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් තිබූ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, ලාල් කාන්ත ආදී පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට විශාල ලෙස දායක වුණු අය සිටියදී අපට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි සහෝදරියට බාරදෙන්න තීරණය කළා.

අපේ පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට කාන්තාවන් වැඩිපුර නියෝජනයක් ලබාදෙන්න අපි කැමතියි. මේ දිනවල අපි කාන්තා සමුළු පවත්වාගෙන යන්නෙත් අපට නව කාන්තා නායිකාවන් අවශ්‍ය නිසා. කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් අඩුවුණොත් අඩුවෙන්නේ අපේ කැමැත්ත නිසා නොවෙයි. අපට ඒ සඳහා සුදුසු හැකියාවන් සහිත සහෝදරියන්, නායිකාවන් නොමැති නිසා ඒ අය ගොඩනැගෙන ප්‍රමාණයට අපි අපේ රටේ දේශපාලනය පමණක් නොවෙයි, සෑම දිසාවකම කාන්තාවන්ගේ දායකත්වය ලැබිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඒ කාර්යයට සරිලන සහෝදරියන් ප්‍රමාණයක් අපිට ගොඩනගා ගැනීමට හැකිවේද යන සාධකය මත මිසක් අපේ කැමැත්ත හෝ අකමැත්ත මත නෙමෙයි. මුළුමනින්ම කැමතියි අපේ පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලය කාන්තාවන්ගෙන් නියෝජනයක් සිදුවෙනවා දැකීමට.

නීතිය හා සාමයත් පුද්ගලයන්ගේ ආරක්ෂාවත් තහවුරු කරන්නේ කෙසේද?

අපේ දරුවන් සුන්දර දරුවන්. අයුක්තියට විරුද්ධ දරුවන්. ඇයි කස්ටම් එකේදි වෙනස් වෙන්නේ. ඇයි පොලීසියේදි වෙනස් වෙන්නේ. මේක තනි තනි පුද්ගලයන්ගේ අපරාධයක් නොවෙයි. අපේ සිස්ටම් එකම දූෂිතභාවයට අනුබල දෙන සිස්ටම් එකක්. මිනිස්සු උපතේදි කවුරුවත් නකර නැහැ. මේ හිස් කළයක් වගේ මනස පුරවන්නේ අවට සමාජය. ඒව මෙහෙයවන ආණ්ඩු. ඇමතිවරයාට හොරකමක් කරන්න බැහැ ලේකම්වරයාට නොදැනී. ලේකම්වරයා අතේ මුදල් බලය තිබෙන්නේ. ඇමතිවරයා කරන වැඩේ ලේකම්වරයාත්, ලේකම්වරයා කරන වැඩේ අතිරේක ලේකම්වරයාත් වශයෙන් ධුරාවලියේ පහළට සම්බන්ධතා තිබෙන සියල්ලන්ම සිදුවෙන ක්‍රියාකරකම් දන්නවා. මේ හොරකම දේහයක් හැටියට පැතිරිලා තිබෙනවා. මේ තත්වය නැති කිරීමට දේශපාලන අධිකාරිය ආදර්ශයෙන් සහ මැදිහත්වීමෙන් අදූෂිතභාවය ඔප්පු කරන්න ඕනෑ.

ඒ වගේම පොලීසිය හමුදා හැසිරෙන්නේ ආණ්ඩුව හිතන එක දෙස බැලීමෙන්. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සීනියර් ඩී.අයි.ජී. රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ඉතා සද්භාවයෙන් පරීක්ෂණය කරමින් ගියා. ආණ්ඩු මාරු වුණා. ගෝඨාභය ආවා, අර සද්භාවයෙන් පරීක්ෂණ කළ නිලධාරීන් සියලු දෙනාම මාරු කළා. එතකොට අනික් අය හිතනවා ආණ්ඩුව හිතන්නේ මෙහෙමයි. ආණ්ඩුව තමයි සංඥාව දෙන්නේ. නීතියේ විධානයේ ආධිපත්‍ය රැකීමේදී වැදගත් දේ, නීතිය, පොතපත, ව්‍යවස්ථාව නොවෙයි වැදගත්ම දේ ආණ්ඩුවේ සංඥාව. අපි කිසිවෙක් දේශපාලන බලපෑම් මත නිදහස් කරන්නේ හෝ බලපෑම් කරන්නේ නැහැ.

මන්ත්‍රී ධුර සඳහා අධ්‍යාපන සුදුසුකම බැලීමේදී අධ්‍යාපනය ලබපු අය හොඳද? සමහර ගම්බද අයට මේ ක්‍රමය විසින්ම අධ්‍යාපනය අහිමි කර තිබෙනවා. හොඳ පාසලක්, හොඳ ගුරුවරු නොමැති වීම, ගෙදර තිබුණු ආර්ථික අපහසුකම් ඒවා විසින් දරුවන්ට අධ්‍යාපනය අහිමිකර තිබෙනවා. සමාජ අසාධාරණය විසින් අධ්‍යාපනය අහිමි වුණු කෙනාට අපි දේශපාලනයත් අහිමි කිරීම සාධාරණ නැහැ. අධ්‍යාපනය නිර්ණායකයක් බවට පත්කර ගැනීම යෝග්‍ය නැහැ. පළවැනි එක අවංකභාවය. අදූෂිතභාවය, මහජනයා සහ රට කෙරෙහි කොයිකරම් බැඳීමක් තිබෙනවාද යන සාධකය තමයි ජනතා නියෝජිතයෙකු මැනිය යුතු වන්නේ. හැබැයි ආණ්ඩුවක් කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ නිපුණතාවයන් තිබෙන කණ්ඩායමක් අවශ්‍යයි.

AKD-Toronto-Speech-and-Q&A-Session

ජාතික ගැටලුව විසඳීම පිළිබඳව

අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනයයි. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුමක් තිබෙනවා. සිංහල, දෙමළ, මුසිලිම් ජනතාව සමගියෙන් සිටියා. ආවාහ විවාහ සිදුවුණා. ඒ ඒ සංස්කෘතීන් අතර බැඳීමක් තිබුණා. අපේ රටේ දේශපාලකයා සියල්ලන්ගෙන්ම අසාර්ථක වුණා. ඒ නිසා දේශපාලකයා තමන්ට ජනතාව දිනා ගැනීමට තෝරනවා ළඟම පාරක්. පාලකයා ඒ ඒ සංස්කෘතින්ගේ ආධ්‍යාත්මය කූද්දනවා. එයාට ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බැහැ. ආණ්ඩුවක් විසින් ජනතාවට කළ යුතු දේවල් ගැන කතා කරන්න බැහැ. එතකොට එයා ජාතිය, ආගම බේරා ගන්න කතා කරනවා. අවසානයේ ජනතාව කන්න නැතත් රට බේරා ගන්න ඡන්දය දෙනවා. පොදුවේ ජනතාව ජාතිවාදී නැහැ. අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනය නම් ඒයට එරෙහිව ජාතික සමගියේ දේශපාලනය තෝරා ගත යුතුයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනයයි.

දෙමළ, මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ ප්‍රශ්න තිබෙන බව අපි පිළිගත යුතුයි. ප්‍රධාන මව් භාෂා දෙකක් අපේ රටේ තිබෙනවා. පුරවැසියන්ට තමන්ගේ මව් භාෂාවෙන් ආණ්ඩුවත් සමග කටයුතු කිරීමේ අයිතිය තහවුරු වෙන්න ඕනෙ. ජාතික ජන බලවේගයේ අපි ඒ අයට තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමටත්, රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමටත් ඇති අයිතිය තහවුරු කරනවා. ඒ වගේම දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ සංස්කෘතීන් තිබෙනවා. තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත් වීමට ආරක්ෂාවත්, එම සංස්කෘතීන් ඇගයීමක් නැහැ. නීතිය, අධ්‍යාපනය, සමාජ අවබෝධයේ සංස්කෘතික අනන්‍යතාවය අපි පිළිගත යුතුයි. ඒවා අපි පිළිගත යුතු වන්නේ වෙන්වීමේ සාධකයක් හෝ අනෙකාට එරෙහිවන ලෙසට නොවෙයි. කිසියම් පුරවැසියෙකුට තමන්ගේ ආගම් ඇදහීමේ අයිතිය, තමන්ට අනාරක්ෂිත තත්වයක් තිබෙනවා යැයි බියජනක තත්වයක් ඇතිවිය යුතු නැහැ. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. ආගම් ඇදහීම ඔවුන්ගේ අනෙකුත් අයිතිවාසිකම් නොලැබීමේ තත්වයක් බවට පත් නොවිය යුතුයි. සංස්කෘතික අනන්‍යතාවයත්, ආගමික නිදහසත්, භාෂාවේ අයිතියත් අපි තහවුරු කළ යුතුයි. ඔවුන්ට දේශපාලනයට, ආණ්ඩු ක්‍රියාවලියට, දේශපාලන අයිතිවාසිකම්වලට සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමට අයිතිය තහවුරු කළ යුතුයි.

මම ඔබට ප්‍රකාශ කරනවා නැවත උතුරේ යුද්ධයක් එන්නේ නැහැ. දකුණේ චිත්‍රයක් හදන්න හදනවා උතුරේ ජනතාව දරුවන් හදන්නෙම යුද්දෙට කියලා. නමුත් උතුරේ අම්ම තාත්තා උත්සාහ කරන්නේ දරුවන්ට හොඳින් උගන්වන්න, හොඳ අනාගතයක් හදන්න. දකුණට හා සමාන ප්‍රශ්න උතුරේ තිබෙනවා. තිස් වසරක යුද්ධය විසින් උතුරේ ප්‍රශ්න තීව්‍ර කර තිබෙනවා. උතුර වෙනම කොට සලකා වේගවත් සංවර්ධන ව්‍යාපෘති ගෙනියන්න ඕනෙ, ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවන්න. උඩ දේශපාලන ප්‍රශ්නයත්, පතුලේ ජනතාවගේ ප්‍රශ්නත් සලකා අපි දෙකටම විසඳුම් සොයන්න ඕනෑ. අපි විවිධ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඔයාල අවුරුදු තිහක් ගහගත්තා. අවසන් ප්‍රතිඵලය මොකක්ද? අපි තව තිහක් ගහ ගන්නවාද? නැතිනම් අපි එකතු වෙලා උතුරත්, දකුණත්, නැගෙනහිරත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයනවාද? අපි ඒ සඳහා ඒ ඒ පක්ෂත් සමග සාකච්ඡා කරන්න ලැහැස්තියි.

ජනතා අපේක්ෂාවන් පිළිබඳව

අපට මිනිසුන්ගේ දුක, වේදනාව පැෂන් එකක් නොවෙයි. දරුවෙකුට දුප්පත් වුණාම අහිමි වෙන්නේ ආහාර වේල විතරක් නොවෙයි. සමාජ ගරුත්වය අහිමි වෙනවා. අධ්‍යාපනයේදී කොන්වීම, පොලීසිය, බැංකුව වැනි ආයතනවලදී කොන්වීම දුප්පත්කම කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් විතරක් නොවෙයි එය සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. දුප්පත්කම සමාජ ජීවිතයේ ගැටලුවක්. අපේ රටේ ජනතාව මොනතරම් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදුවාද? අපි දුප්පත්කම ගැන කතා කරන්නේ පැෂන් එකක් හැටියට නොවෙයි. අපට ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු, ඔවුන්ගේ හද ගැහෙන රාවයේ තිබෙන වේදනාව, කටුකත්වය අපි අපේ දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරන සාධක නොවෙයි. දුප්පත්කම පිළිබඳ කතා කරන්නේ ඇත්තටම ජීවිතේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ අවබෝධයක් සමගින්. අපිට යුක්තිසහගත සාධාරණ අයිතියක් නැහැ, අපේ රටේ පුරවැසියන් කුඩා ප්‍රමාණයකින් හෝ රවට්ටන්න. ඇති දැන්. හැබැයි අවුරුද්දයි දෙකයි ඔබ බලාපොරොත්තු වෙන්නෙ. අපි මේක හදනවා. හෙටත් ඔබ ඉදිරියට ඇවිත් අපිට මේ වගේම කතා කරන්න පුළුවන්.

ඔබ පාලන බලය සඳහා වෙනත් කණ්ඩායම් සමග එකතු වෙනවාද?

කලින් ජනාධිපතිවරණය පවත්වලා පසුව මහ මැතිවරණය පවත්වනවා නම් කිසිදු සැකයක් නැහැ ‘කලා වැවේ සොරොව්ව ඇරියා වගේ’ වේවි.
මහ මැතිවරණය පැවැත්වුවොත් අපට 113ක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 113ට වඩා අඩුවෙන් ලැබෙනවා නම්, අපි ප්‍රමාණය මොකක්ද කියලා. ඒ කියන්නේ ජනතාව අපට ආණ්ඩුවක් දෙන්න උත්සාහ කර තිබෙනවා නමුත් 113 ලැබී නැහැ. (තරමක වැඩි සංඛ්‍යාවක්) ජනතාවගේ අපේක්ෂාව අපිට ආණ්ඩුවක් ලබාදෙන්න. එහෙම නම් අපි ඒ අපේක්ෂාව සම්පූර්ණ කරන්න ඕනෙ. ඒ වෙලාවේදී අපි එකතු කර ගත හැකි අය එක්ක ආණ්ඩුව හදනවා. ජනතාව අපේක්ෂා කරන්නේ අපිට විපක්ෂයේ වාඩි වෙන්න නම්, අපි විපක්ෂයේ වාඩි වෙනවා.

AKD-Toronto-Speech-and-Q&A-Session

පාලකයන් විකුණා ඇති සම්පත් නැවත ගන්නවාද?

අපේ ජාතික සම්පත් රනිල් වික්‍රමසිංහ විකිණීම සඳහා සැලසුම්කොට තිබෙන ජාතික සම්පත්. ටෙලිකොම් ආයතනය, ලංකා හොස්පිට්ල් රනිල් වික්‍රමසිංහ විකුණන්න තීරණය කරනවා, එවිට ඉන්දියානු සමාගමක් ඉල්ලනවා. ඒවා රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රායයන්. අපි ඒ වෘත්තිය සමිති හා ඒ ආයතන සමග කතාකර තිබෙනවා අඩු තරමින් මාස හයක් පරක්කු කර ගන්න ඒ ටික බේරා ගන්න පුළුවන්. ඔබ අහපු දකුණු ජැටිය, හම්බන්තොට වරාය වගේ ප්‍රශ්න සරල නැහැ. ඒවා විකුණා අවසන්. කෙරවලපිටිය බලාගාරය, හම්බන්තොට වරාය නැවත ලබා ගන්න බැහැ. අපි ආර්ථික වශයෙන් දුබල රටක්. අපට අපේ සම්පත් පිළිබඳ සැලකිල්ලට භාජනයට ලක්කළ හැකි වන්නේ, අපේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි.

ඉන්දියාව හදා තිබෙන සැලසුමට යටත්ව සිදුවන්නේ එක ඉන්දියාව යෝජනා කර තිබෙනවා ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නළ පද්ධතිය. දෙක ඉන්දියාව සහ ලංකාව අතර විදුලි රැහන් පද්ධතිය. තුන පාලම්. හැබැයි ඒවා දැන්ම වෙන්නේ නැහැ. ඒවා ශක්‍යතා අධ්‍යයනය කර විශාල කාර්යයක් තිබෙනවා. මේ මාස පහ හය තුළ සිදුවිය හැකි දේ තමයි ටෙලිකොම් ආයතනය විකිණීම. අපි ඩොලර් බිලියන 15කට අයි.ටී. ක්ෂේත්‍රයේ යන්න පුළුවන්. ආරම්භයේ ඩොලර් බිලියන 5ක – 8ක ආර්ථිකයක් අපි හදන්න ඕනෙ. අයි.ටී. ක්ෂේත්‍රය දියුණු කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුම් හදන්න ඕනෙ ටෙලිකොම් ආයතනය. ඒ යටිතල පහසුකම් ටික හදා දෙනවා නම් විතරයි අපිට එම ක්ෂේත්‍රය උඩට ගේන්න පුළුවන්. අපි කාගේ හෝ සමාගමකට ටෙලිකොම් එක විකුණලා ඒ ගොල්ලෝ අපට යටිතල පහසුකම් ටික වර්ධනය කරන්නේ නැතිනම්, අපේ අයි.ටී. කර්මාන්තයේ වර්ධනය නතර වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ටෙලිකොම් එක විකිණිය යුතු නැහැ. එයාර් ලංකා එක විකිණීම පිළිබඳවත් අපේ ස්ථාවරය එයයි. අපි සංචාරක කර්මාන්තය ඉලක්ක කරනවා නම්, අපි ලක්ෂ 40ක් සංචාරකයෝ ගේන්න කැමතියි. සාමාන්‍යයෙන් සංචාරයේ යෙදෙන අය අතරමග රස්තියාදු වෙන්න කැමති නැහැ. ඒ අනුව අපට එයාර් ලයින් එකත් අවශ්‍යයි. එයාර් ලයින් එකේ ටිකට් එකට වඩා හොටලයේ කාමරයේ ගණන් අඩුයි. සංචාරකයා කැමති හෝටලයට වැඩි ගාස්තුවක් ගෙවා එයාර් ලයින් එකට අඩු ගාස්තුවක් ගෙවන්න. එහෙම නම් අපට බජට් එයාර් ලයින් එකක් අවශ්‍යයි. ඒක එයාර් ලයින් එකට අනුබද්ධව පටන් ගන්න වෙයි. එයාර් ලයින් එක වැටිලා තිබෙන්නේ. ඒක ගොඩගන්නේ කොහොමද කියන එක අපි ආකාර තුනක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. එක ආණ්ඩුවට කරන්න පුළුවන්ද? දෙක ජොයින්ට් වෙන්චර් එකකට යන්න පුළුවන්ද? තුන අත්හරිනවාද?

මිල්කෝ ආයතනය පිළිබඳ ප්‍රශ්නයේදී ‘මිල්කෝ ආයතනය’ කියන්නේ කිරි කර්මාන්තයේ රජයේ මැදිහත් වෙන ආයතනය. අපි කිරි සංවර්ධනය පිළිබඳ සැලැස්මක් හදනවා නම්, ආණ්ඩුවෙන් යාන්ත්‍රණයක් අවශ්‍යයි ඒක ක්‍රියාත්මක කරන්න. එන්.එල්.ඩී.බී. මිල්කෝ ආණ්ඩුව අතේ තිබෙන්න ඕනෑ. ඉන්දියාවේ එන්.ඩී.බී. එක, (පශුසම්පත් මණ්ඩලය) අපේ පශුසම්පත් මණ්ඩලය මිලදී ගන්න එනවා. ඉන්දියාවේ රාජ්‍ය ආයතනයක් තමයි අපේ එන්.එල්.ඩී.බී. ආයතනය මිලදී ගන්න එන්නේ. අපි අත්හරින්න හදන එකට කැමති නැහැ. මේ පෞද්ගලීකරණය ගැන හිතන්නේ අපේ ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගැනීමේ වුවමනාවෙන්. දැනට විකුණා තිබෙන දේවල් ගන්නේ කොහොමද කියා වෙනම කල්පනා කළ යුතුයි.

අවසන් වරට, අපේ රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙන්නේ. මේ අවස්ථා අත්හැරුණොත් තවත් අවස්ථා තිබේවි කියා හිතන්න එපා. මේ අවස්ථාවේ ජයග්‍රහණය අත්පත්කර ගත යුතුමයි. අපේ ජයග්‍රහණය තිබෙන්නේ ඔබ අතේ. ඔබ මොනතරම් දායකත්වය දෙන්න ලැහැස්තිද, ඒ තරම් ප්‍රමාණයකින් අපට ජයග්‍රහණය කරන්න හැකියාව තිබෙනවා. ඥාතීන්ට හිවතුන්ට කතා කරන්න, සමාජ මාධ්‍යවල ඒ වෙනුවෙන් ලියන්න, පෙනී හිටින්න. ශක්තිමත් මතවාදී යාන්ත්‍රණයක් බවට පත්කරමු.

ජනතා බලාපොරොත්තු නොවෙනස් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද?

අපේ රට හිරවී තිබෙන ආකාරයට දවසකින් දෙකකින් පරිවර්තනය කළ හැකි වන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මූලික සාධක තුනක් ජනතාවට සහතික කරන්න ඕනෑ. අපි පළමුකොටම පුරවැසියන්ගේ ආහාර අයිතිය තහවුරු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පළමුකොටම තහවුරු කරනවා. දිගු සැලසුම්වලට යන්න නම්, පළමුව මේ කරුණු තහවුරු කරන්න ඕනෑ. මේකට විශාල නැගිටීමක්, පිබිදීමක් අවශ්‍යයි. 1948 සුද්දා රට දාලා යනකොට ජනතාවට මොනතරම් හැඟීමක් ඇති වෙන්න ඇත්ද? අවුරුදු 76ක් මේ රට විනාශය අත්කර දුන් පාලකයන් පරාජය කළාම කොයිතරම් හැඟීමක් ඇතිවෙයිද? එතන ජාතික පිබිදීමක් තිබෙනවා. ඒ පිබිදීම අපි මේ රට ගොඩනැගීම සඳහා උපයෝගී කර ගන්න ඕනෑ. ඒ නැගිටීම ආරක්ෂා කර ගැනීම සඳහා අපි දේශපාලකයා හැටියට ආදර්යන් දෙන්න ඕනෑ. විශ්‍රාම වැටුප් අහිමි කිරීම, හතරවටින් දාන වාහන ආරක්ෂා අයින් කිරීම, නිල නිවාස අයින් කිරීම, වැනි ක්‍රියාමාර්ග ඔස්සේ දේශපාලකයා පළමු වතාවට තහවුරු කරන්න ඕන, තමන්ට පැවරී ඇති කාර්යයන් ඉටුකරන්න ඕනෑ. අනෙක් පුරවැසියන් හා සමානයි දේශපාලකයා. අපි ඒ ආදර්ශය දෙනවා.

සජිත් පේමදාස කිව්වා,වංචා, දූෂණ පරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීමේ බලය දෙන්නේ ෆොන්සේකාට කිව්වා. දයා රත්නායක කියලා හිටපු හමුදාපතිවරයෙක් ආවා එයාට පරණ යකඩ විකුණපු හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා. අපි වංචා-දූෂණයෙන් තොර පාලනයක් හදන්න යන්නේ. ඒ නිසා මේ වංචා දූෂණවලට හවුල් වුණුකෙනා ගන්න එපා කියලා. ඊටපස්සේ වංචා දූෂණවලට හවුල්වූ කෙනා ඇතුලේ, වංචා දූෂණ අල්ලන්න හිටිය අය එළියේ. අපි එහෙම කරන්නේ නැහැ. වංචා – දූෂණ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි. නීතියේ විධානයේ ආධිපත්‍යය අපි ආරම්භයේදිම කරනවා. අපිට ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි. ඒක වෙනස් කිරීම අපේම වැඩක්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපට ඡන්දය දුන් ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කර ගන්නවා සහතිකයි.