(-බදුල්ල ජන රැලිය – 2025.04.19-)
ජනපති බදුල්ලේදී කියයි
මෙම මහපොළවේම ඉපිද, මහපොළව සමඟ පොරබදිමින්, මහපොළෙවේම මියැදුණද වතුකරයේ කම්කරු ජනතාව මෙරට පුරවැසියන් ලෙස නොසැලකීමේ යුගය අවසන් කර ඔවුන්ගේ අයිතින් දිනා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඉන්දීය රජය යටතේ හිමිව ඇති නිවාස ව්‍යාපෘතිය කඩිනම් කර එම ජනතාවට ලබාදීමට කටයුතු කරන අතරම, වත්තට ගැට ගසා තිබෙන වතුකර ජනතාව, වත්තෙන් නිදහස් කර නිදහස් ව්‍යවසායකයෙකු ලෙස ගොඩනැඟීමට ආණ්ඩුව මැදිහත්වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති රුපියල් 1700ක වැටුප ස්ථීර කර ගැනීම සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කරමින් රජයක් ලෙස ඒ වෙනුවෙන් ගත හැකි සැම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ජනාධිපතිවරයා පැවසිය.
වසර 76ක් පුරා මාරුවෙන් මාරුවට බලයට පත් වූ පාලකයින් විනාශ කළ රටේ ආර්ථිකය පියවරින් පියවර ගොඩනැගීමේ වැඩපිළිවෙළ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ වත්මන් රජය ආරම්භ කර තිබෙන බවත් ආණ්ඩුව මාස හයෙන් කඩා වැටෙන තුරු ඇතැමුන් බලා සිටියද අද හතරගාතෙන් වැටී සිටින්නේ ආණ්ඩුව නොව එම අසාර්ථක දේශපාලනඥයන් බවද පැවසිය.
එසේම ජාතික ජන බලවේගය නැවත මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ යළි කිසිදු දිනක 2021, 2022 වසරවල ඇති වූ තත්ත්වය රට තුළ නිර්මාණය නොවන ආකාරයෙන් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට ඊයේ (19) බදුල්ලේදී එක් වෙමිනි.
ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජය කර පසුගිය සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. පසුව නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයේදී මේ රටේ ජනතාව එක් වී ජාතික ජනබලවේගයට සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දුන්නා. දැන් මැයි 06වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. මෙම පළාත් පාලන ආයතන සියල්ලේම ජයග්‍රහණය ජාතික ජන බලවේගය අත්පත් කර ගන්නවා.
අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් හැරවුමක් සිදුව තිබෙනවා. පවුල් කිහිපයක් විසින් දිගු කාලයක් පුරා අපේ රට පාලනය කළා. එහි ප්‍රතිඵලය බවට පත් වුණේ මුළුමනින්ම කඩා වැටුණු රටක්. නීතියක්, විනයක් නැති රටක්. හැම පැත්තෙන්ම අසාර්ථක වූ රටක් ඔවුන් නිර්මාණය කළා. ජනතාව දීර්ඝ කාලයක් මාරුවෙන් මාරුවට ඔවුන්ට ඡන්දය දී ඔවුන් දෙස බලා සිටියා. අනතුරුව වසර 76කට පසුව උතුරේ, නැගෙනහිර, දකුණේ සියලු ජනතාව එක් වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවා.
මේ මාස 06 තුළ අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙළ සකස් කර ක්‍රියාත්මක කරමින් පවතිනවා. අප සතුව තිබු පළමු අභියෝගය වූයේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමයි. රටක් ඉදිරියට ගෙන යාමට ආර්ථික ස්ථාවරභාවය අතිශය වැදගත් වෙනවා. මීට වසර දෙක හමාරකට පෙර අපේ රටේ තිබුණේ ඉතා අසාර්ථක, ස්ථීර නොවන නිරන්තරයෙන් කඩා වැටීමට ලක්වන ආර්ථිකයක්. නිදාගන්නා විට ඩොලරයේ අගය එක් අගයක් ගත් අතර නැගිටින විට තව අගයක් වෙලා තිබුණා. මේ අයුරින් අස්ථාවර ආර්ථිකයක් පැවතුණා. බැංකු පොලී අනුපාතය 30% – 35%ට ගියා. උද්ධමනය ඉහළ ගියා. එපමණක් නොවෙයි අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබු විදේශ ව්‍යාපෘති සියල්ල දාලා ගියා. ඒ නිසා අනෙක් සියල්ලට පෙර රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යය ඉටු කිරීමට අපිට සිදු වුණා. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට පැමිණ ඇති බව මම සතුටින් ප්‍රකාශ කරනවා.
ඒ වගේම රට තුළ ස්ථාවර වන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අස්වැසුම දිමනාව වැඩි කිරිම සහ අලුතින් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ලබා දීමට අපි කටයුතු කරනවා. අපි ජනතාව බලාගත යුතුයි. පාසල් ළමුන් ලක්ෂ 16කට මෙම ජනවාරි මාසයේ සිට පාසල් පොත් සහ උපකරණ ලබා දීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. සිසුන්ට පාසල් පොත් සහ උපකරණ ලබා ගැනීම සඳහා ආධාර කරන පළමු ආණ්ඩුව මෙයයි.
අපි ග්‍රාමීය දුප්පත්බව තුරන් කළ යුතුයි. දුප්පත් බව සමාජ ඛේදවාචකයක්. ඒ නිසා අපේ පාලන කාලය තුළ ලංකාවේ දුප්පත්බව තුරන් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. අපි ආකාර කිහිපයකින් ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. දුප්පත්භාවයෙන් ගොඩඒම සඳහා දිගුකාලීන වුවත් ස්ථිර විසදුමක් අධ්‍යාපනය තුළ තිබෙනවා. හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් සොයා ගතහොත් එම පවුලට දුප්පත්භාවයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා. ඊට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි කඩිනමින් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම කෘෂිකර්මාන්තය නංවාලීම කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. කෘෂිකර්මාන්තය නව තාක්ෂණය සමග බද්ධ කිරිම පිළිබඳ අපි ඉන්දියාව සහ චීනය සමඟ සහයෝගිතා ගිවිසුම්වලට එළැඹ තිබෙනවා. ඒ වගේම කඩා වැටී තිබෙන බීජ ගොවිපොළ නැවත ප්‍රතිසංස්කරණය කර සාධාරණ මිලකට බීජ ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ගොවි ජනතාවට සාධාරණ මිලකට වල්නාශක සහ කෘමිනාශක ලබා දීමට අවශ්‍ය පියවර අපි ගන්නවා. ඒ වගේම එම ගොවි ජනතාවගේ දරුවන් නව ව්‍යවසායකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවට පත් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය බැංකු මගින් සංවර්ධන ණයක් ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය බැංකුවල සංවර්ධන ඒකකයක් හදලා අඩු පොලියට ඇපයක් රහිතව ණය මුදලක් ලබා දීමට අපි කටයුතු කරනවා. අපි එකතුවෙලා අලුත් පරම්පරාව වෙනුවෙන් අලුත් ආර්ථික ක්ෂේත්‍ර විවෘත කර දෙනවා. අපි ඒ සඳහා තානාපතිවරුන්ගේ සහාය ඉල්ලා තිබෙනවා. ඔවුන් සිටින රටවල වෙළෙඳපොළ අවස්ථා සොයාබලා මෙම වෙළෙඳ සබඳතා ගොඩනඟා දීමට අපි සූදානම්.
දුප්පත්භාවයේ පතුලේම ගිලී සිටින්නේ අපේ රටේ කඳුකරයේ ජනතාවයි. ඔවුන් විශාල ලෙස සෞඛ්‍ය අනාරක්ෂිතභාවයකින් පෙළෙනවා. අධ්‍යාපනයේ ඉතාමත් පහළ අඩියක පසු වෙනවා. ඔවුන් මේ රටේ පුරවැසියන්.
ඔවුන් මෙරටට පැමිණ දැන් අවුරුදු 200කට වැඩි කාලයක් වෙනවා. මේ මහපොළෙවේ ඉපිද, මහපොළව සමග පොරබැද ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දී මේ මහපොළෙවේ මියැදෙන නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියන් ලෙස සලකන්නේ නැහැ.
ඉන්දියානු රජයේ ණය ආධාර ක්‍රමය යටතේ මොවුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා. අපි ඉතා ඉක්මනින් එම නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුන්වාදී එම නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර එම ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
ඒ වගේම වතු ජනතාවට සාධාරණ වැටුපක් ලැබිය යුතුයි. වතු සමාගම්වල වත්තෙන් කොටසක් එම වැඩකරන අයට ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදත් අපි වතු සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කළා. ඔවුන් එහි වැඩ කර කර්මාන්තශාලාවට තේ දලු ලබාදිය යුතුයි. වත්තට ගැට ගසා තිබෙන පුරවැසියා වත්තෙන් නිදහස් කර ගෙන නිදහස් ව්‍යවසායකයෙකු සහ නිදහස් ගොවියෙකු ලෙස ගොඩනැඟිය යුතුයි. ඒ සදහා නියමු ව්‍යාපෘතියක් අපි ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එය අත්හදා බලා එය සාර්ථක නම් ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම අපි දන්නවා වතුකරයේ වැටුප සාධාරණ වැටුප් තලයක නැහැ. අපි වතු සමාගම් සමග සාකච්ඡා කර දැනට ප්‍රකාශයට පත් කර ඇති 1700ක වැටුප ඉතා ඉක්මනින් ස්ථීර කර ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. අපේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ අපේ රටේ පුරවැසියන් දුප්පත්භාවයෙන් නිදහස් කර ගැනීමයි. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රටේ ජනතාව දුප්පත්භාවයෙන් නිදහස් කර ගන්නා ආණ්ඩුව බවට පත් කරනවා.
ඒ වගේම අපේ රටේ සංචාරක කර්මාන්තයට විශාල විභවතාවක් තිබෙනවා. ඇල්ල සංචාරක පරාදීසයක් බවට පත්ව තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශේෂ කලාප තෝරාගෙන ඒ විශේෂ කලාපවල තිබෙන විශේෂ ගැටලු විසඳීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ගොඩනැඟිමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම වසර ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් කළ හැකි බවට වන සහතිකය අපි ඔබට ලබා දෙනවා.
ඒ වගේම මේ වසර ලංකාව වැඩිම අපනයන සිදු කරන වසර බවට පත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එක්සත් ජනපදය සමග බදු ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අපේ නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටිනවා. කෙසේ හෝ මෙම ගැටලුව රටට හිතකර අන්දමින් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ සමගම ලංකාවේ වසරක් තුළ වැඩිම ඩොලර් ප්‍රමාණයක් වැඩම අපනයන ආදායමක් උපයන වසර බවට 2025 වසර පත්කරගත හැකි කියලා අපි ඔබට සහතිකයක් ලබා දෙනවා. නැවත වරක් අපේ රටේ ආර්ථික අර්බුදයක් සහ කඩාවැටීමක් නොවන ආකාරයෙන් වසරින් වසර ක්‍රමානුකූලව මේ රටේ ආර්ථිකය අපි ඉදිරියට ගෙන යනවා.
අද රටේ සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව බැඳී සිටිනවා. මේ රටේ සිදුවූ සියලු අපරාධ පිළිබඳ අද පරීක්ෂණ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතා වැදගත්, රටම බලා සිටින පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. එහෙත් විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව හා ප්‍රවේසම් සහගතව කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඇතැම් කරුණු ඔබට දැන්ම දැන ගැනීමට නොහැකි වේවි.
විමර්ශන ඉතා හොඳින් සිදුවන බවට සහතිකය මට ඔබට ලබාදිය හැකියි. කට ඇරපු නැති අය දැන් කට අරින්න පටන් ගෙන තිබෙනවා. සාක්ෂි දීමට බියේ සිටි අය දැන් සාක්ෂි දීමට පටන් ගෙන තිබෙනවා. සම්බන්ධ නැහැ කියපු අයගේ සබඳතා හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ නිසා විමර්ශන නිසි ලෙස සිදු වෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවට යටපත් වීමට ඉඩ නොතබා පුරවැසියන්ට සාධාරණය ඉටු කරන බවට මම සහතික වෙනවා.
ඒ නිසා අපි මෙම කටයුතු සාර්ථක කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යාමට නම් නගර සභා සහ පළාත් සභා ශක්තිමත් කර ගත යුතුව තිබෙනවා. සොරකම් නොකරන මහජනතාවගේ මුදල් මහජනතාව වෙනුවෙන් පමණක්ම යොදවන පිරිසක් ඊට පත්කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මෙම මැයි 06 වනදා ඔබ තම යුතුකම ඉටු කරනු ඇතැ’යි අපි විශ්වාස කරනවා.