Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජාතික ජන බලවේගය හා ජනතාව අතර ඇති වූ සම්මුතිය අපගේ පාලන කාලය තුළ ඉටුකරනවා” බේරුවල ජයග්‍රාහී ජනතා රැලිය අමතමින් ජනපති කියයි

(-බේරුවල ජන රැලිය 2025.04.27-)

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අදහස් පළ කළේ, බේරුවල ඊයේ (27) පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලිය අමතමිනි.

එම රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කිරීමට ජනතාව තීන්දු කළා. එහෙම තීන්දුවක් ගත්තේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂාවන් වුණේ රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම, හොරු ඇල්ලීම, හොරකම දූෂණයෙන් නාස්තියෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කිරීම වගේ දේවලුයි ආණ්ඩුවට දැන් මාස හයකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මේ රටත් මේ රටේ ජනතාවත් තිබුණු තත්ත්වයට වඩා ඉහළ තැනකට ගෙන ඒමට අප ඔබලාට පොරොන්දුවක් ලබා දුන්නා. ජනතාව අපට ඡන්දය ලබා දී බලාපොරොත්තු වන සියලු දේ ඉටු කරමින් තිබෙනවා. නමුත් දැන් අඬන්නෙ කවුද? බලය අහිමි වුණු, මෙවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවුණු, බල සිතියම සිහිනයක් බවට පත්වුණු වේදනාවෙන් පෙළෙන කණ්ඩායම් අඬමින් සිටිනවා. ජාතික ජන බලවේගය හා ජනතාව අතර තිබුණු සම්මුතිය අප අපගේ පාලන කාලය තුළ ඉටුකරනවා. ආර්ථික ස්ථාවරභාවය මේ වන විටත් අප කර තිබෙනවා.

ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ මනින සංඥාවන් වන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරභාවයක පවත්වාගෙන යාමයි. මෑත ඉතිහාසයේ අඩුම උද්ධමන අගයක් වාර්තා වී තිබෙන්නේ පහුගිය මාස හයේ කාලය තුළයි. ආර්ථිකය අවස්ථාවරභාවය නිසාම ආයෝජන ව්‍යාපෘති මේ රටින් ඉවත් වුණා. චීන රජය, ජපන් රජය තමන්ගේ ව්‍යාපෘති අතහැර දමා ගියා. නමුත් මේ වනවිට එම රජයන් නැවත එම ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

Crowd at Beruwala Public Rally

මේ වසරේදී වාරිමාර්ග ක්ෂේත්‍රය සඳහා පමණක් දස ලක්ෂ 78,000ක් වෙන්කර තිබෙනවා. මේ මුදල වියදම් කිරීමට සැලසුම් හදන්න ඕනේ, ටෙන්ඩර් කැදවන්න ඕනේ, නිවැරදිව සිදුවෙනවාදැයි බලන්න ඕනේ, මේ සියල්ල සිදු කිරීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මේ වනවිට අඩපණ වූ රාජ්‍ය සේවයක් අපට තිබෙන්නේ. ශක්තිමත් රාජ සේවයක් සකස්කස් කිරීමට අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන අධිකාරිය ලියුම් ගන්න අවශ්‍ය වන්නේ නැහැ. හැකියාව සුදුසුකමට වඩා දේශපාලනය උඩට ඒම රාජ්‍ය සේවයේ පිරිහීමට එක ලක්ෂණයක් වෙනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කරනවා. මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප උපරිම ලෙස වැඩි කිරීමට ජාතික ජන බලවේගයේ මාස හයේ ආණ්ඩුව තීන්දු කළා.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් අප යොමු කර තිබෙනවා. නව සංචාරක ගමනාන්ත හඳුන්වා දෙමින් සංචාරක කර්මාන්තය නව පරිවර්තනය වෙනසක් සිදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අනුරාධපුරය යාපනය වැනි සංචාරක ගමනාන්ත ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරේ පළමුවෙනි රාජධානිය සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීමට ඉන්දියානු ආධාර ඇතිව කටයුතු කරනවා.

අපනයන ආදායම වැඩි කිරීම සඳහාත් වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ලෝකයේ රටක් ආර්ථික තීන්දු ගැනීමේදී අපේ රටේ ආර්ථිකය හාන්සි නොවන තැනකට ශ්‍රී ලංකාව පත් කරනවා.

Maha sangha gifting to president AKD on stage at Beruwala Public Rally

කිසිදු ජාතිවාදී ආගමික ගැටුමකට යාමට අප ඉඩ තබන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගොඩනැගීමේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකතු වී කටයුතු කළා. ජාතික සමගිය ඇති කිරීමේ දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. මම ඊයේ හිටියේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේයි. මෑත ඉතිහාසයේ විශාල ජනතාවක් පැමිණ කළ එකම රැස්වීම එයයි. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබාගෙන තිබෙනවා. අප ජාතිවාදය නැවත හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ.

සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙක් වාහනයක් ලියාපදිංචි නොකර පාරක දාන්නේ නැහැ. නමුත් පහුගිය කාලෙ හිටපු දේශපාලඥයෙක් ලියාපදිංචි නොකර වාහන භාවිතා කර තිබෙනවා. එසේ ලියාපදිංචි නොකර වාහන භාවිතා කළ ඇමතිවරු තුන්දෙනෙකුට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වේවි. අද නීතිය කාටත් සමානයි. පොලිස්පති පොලීසියට බයේ හැංඟුණු ප්‍රවෘත්තියක් ජනතාවට බලන්න වුණා. ඒ කියන්නේ නීතිය සැමට සමානයි කියන එකයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලනඥයා දක්වා ජනතාවගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් ස්ථාපිත කර තිබෙනවා. ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ. මේක තමන්ට ලැබෙන්න හිමිකම තිබෙන දේත් අතහරින ආණ්ඩුවක්. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප, වාහන බලපත්‍ර නොදෙන ආණ්ඩුවක්. ආණ්ඩුවේ වියදම් කප්පාදු කරමින් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීමට අප මුදල් එකතු කළා. ඉතුරු කරගන්නා සියලු මුදල් ජනතාවට ලබා දෙන්න අපි සූදානම්. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කළා. තවත් ලක්‍ෂ හතරක් අස්වැසුමට එකතු කරන්න සැලසුම් කර තිබෙනවා.

President AKD with Minister Nalinda Jayathissa

භාණ්ඩාගාරය මුදල් එකතු කරලා එම මුදල් නිවැරදි ආකාරයෙන් ජනතාවට බෙදා දෙනවා. මේ වසර භාණ්ඩාගාරයට වැඩිම මුදල් එකතු වන වසර බවට පත් වේවි. පසුගිය මාස තුනම ආදායම් ඉලක්ක පසු කර තිබෙනවා. ඔබ ගෙවන බද්දෙන් රටට නිවැරදි ලෙස සේවයට යොදා ගන්නා බවට අප ජනතාවට සහතිකයක් දෙනවා .

හොරකම් කළ දේශපාලනඥයන් පිළිබඳව විමර්ශනය සිදුකිරීම මේ වනවිටත් සිදු කරමින් තිබෙනවා. නමුත් දඬුවම් දීමට අවශ්‍ය බලය ආණ්ඩුව සතුව නැහැ. එය සියල්ල අධිකරණයට වාර්තා කරමින් තිබෙනවා. දඬුවම් ලබාදීම අධිකරණය විසින් සිදු කරයි. හිටපු ජනාධිපතිවරයාගේ ලොකු පුතාට එක නඩුවයි මද්දුමයට නඩු දෙකයි, ආච්චිට එක නඩුවයි. මේ වන විට මහ ඇමතිවරු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. එකම මහ ඇමතිවරයෙක් දඬුවමට ලක්වෙලා තිබෙනවා. දූෂණයට එරෙහි ආයතන මේ වන විට ශක්තිමත් වී තිබෙනවා. එම ආයතනවලට දේශපාලනිකව ඇඟිලි ගහන්නේ නැහැ. කාලයේ වැලිතලාවට යට නොවී අපරාධවලට දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නැවත ඖෂධ හිඟයක් ඇති නොවීමට මුදල් වෙන්කර තිබෙනවා. රුපියල් බිලියන 604ක් සෞඛ්‍යයට වෙන් කරතිබෙනවා. ලබන වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙමාපියන්ට බරක් නොවන දරුවන්ට පීඩාවක් නොවන අධ්‍යාපනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. ලෝකයේ දියුණුතම ප්‍රවාහන පද්ධතියක් ඇතිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. රට සුබවාදී දිශානතියකට පරිවර්තනය වෙමින් තිබෙනවා.

මධ්‍යම ආණ්ඩුව පළාත් පාලන ආයතන සියලු දෙනා එකතු වී ගමනක් යා යුතුයි. මහ ආණ්ඩුව හොරකම් නොකරන නාස්ති අවම කරන ආණ්ඩුවක් වෙනකොට හොරකම් කරන, නාස්ති කරන පළාත් පාලන ආයතන තිබිල වැඩක් නැහැ. ඒ නිසා මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලබාදීමට කැපවෙන්න.

Tilvin Silva addressing at Beruwala Public Rally

“ඇරඹී තිබෙන නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කිසිවෙකුටත් බැහැ”

-ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-

ලබන මාසෙ 06වැනිදා අපේ රටට තුන්වැනි ජයග්‍රහණය ගේන දවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී පැරණි, ප්‍රභූ දේශපාලනය පැත්තක තියලා අපේම ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා. මහ මැතිවරණයෙන් ඊටත් වඩා ශක්තියකින් පාර්ලිමේන්තුවට 159ක මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් හැදුවා. ඒ දෙවැනි ජයග්‍රහණයයි. ඉදිරි මැයි 06 වැනිදා රට පුරා තිබෙන පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාව ජයග්‍රහණය කරලා පිට පිට ලබන තුන්වැනි ජයග්‍රහණය වාර්තා කරන්න අපි ලැහැස්තියි. මෙතන රැස්වී සිටින ජනතාවගෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවේ ශක්තිය, ජනතාවගේ විශ්වාසය දිනපතාම වැඩිවෙමින් තිබෙනවා කියන එකයි. විපක්ෂය දැන් බිඳ වැටිලා. පොඩි පොඩි කල්ලි හැදිලා, එක්කෙනෙක් දෙන්නෙක් වොයිස්කට් දෙමින් ඉන්නවා. ඒ ගොල්ලන් වඳවෙමින් යන සත්ව කොට්ඨාසයක් බවට පත්වෙලා. ලබන මැතිවරණයෙන් පසුව එයාලා රතු දත්ත පොතට එකතු වේවි. දේශපාලනය කියන්නේ පරණ ක්‍රමයම බවයි ඒ ගොල්ලන් හිතාගෙන ඉන්නේ. බොරු කියන එක, අවලාද නගන එක, අපහාස කරන එක දේශපාලනය කියලා එයාලා හිතාගෙන ඉන්නවා.

පසුගිය ජනාධිපතිවරණයත් එක්ක රටත් වෙනස් කළා. රටේ ජනතාව වෙනස් වෙලා තිබෙන්නේ. රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒකට අභියෝග කරන්න විපක්ෂයේ කාට හෝ බැහැ. එක වරෙක අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදි කිවුවා, ඒ ගොල්ලන්ට “අපිව පරද්දන්න ඕනෑ නම්, අපට වඩා ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් හදන්න” කියලා. එයාලට ශිෂ්ට වෙන්න බෑ මයි. එයාලා යන්නේම අශිෂ්ටත්වයට, ම්ලේච්ඡත්වයට. කිසිදු දවසක ආණ්ඩුවට ලැබෙන්නෙ නැති නගර සභාවක් බේරුවල නගර සභාව කියන්නේ. ඉතිහාසයේ පළමු වැනි වතාවට, එය දිනන බවට අපේ මුස්ලිම් සහෝදරවරු සහතික වෙලා තිබෙනවා. බේරුවල නගර සභාව ඇතුළු සියලුම සභා මාලිමාව දිනවනවා කියන විශ්වාසය අපට තිබෙනවා. අපි ජනාධිපතිවරණය දිනුවා 50%කින්. මාස දෙකකට පස්සේ මහ මැතිවරණය දිනුවා 60%කට වඩා වැඩි ප්‍රමාණයකින්. පළාත් පාලන මැතිවරණය 70% පැනපු දැවැන්ත ජයග්‍රහණයකින් ඔප්පු කරන්න ඕනෑ රට ඉන්නේ මාලිමාවත් එක්ක කියලා. මීට මාස හයකට ප්‍රථම ප්‍රතික්ෂේප කරපු අයව නැවත ගේන්න ඕනෑ නැහැ. රටෙන් හොරු එළවලා තිබෙන්නේ. ගමෙන් හොරු එලවන්න ඕනෑ. හොරු ටික නැවත වෙස්වලාගෙන, පාට මාරු කරගෙන, පක්ෂ මාරු කරගෙන එනවා. මේ එන්නේ ඉස්සර සභාවෙන් හොරකම් කරපු, කොමිස් ගහපු අයම තමයි.

ඔබ, අපි වංචා, දූෂණ නැති අලුත් දේශපාලන සංස්කෘතියක් හදා තිබෙනවා. මහජන මුදල් නාස්ති කරන්නේ නැති, ජනතාවට ඉහළින් වැජඹෙන්නේ නැති, සරල ලෙස ජීවත් වෙන ආණ්ඩුකරණයක් අපි හදා තිබෙනවා. ජනතාවට සහන දෙන්න පටන්ගෙන තිබෙනවා. හොරකම, පගා ගැහිලි නතර කර තිබෙනවා. හොරු අල්ලන්න පටන්ගෙන තිබෙනවා. රට කිසියම් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. අන්න ඒ පැත්තට අපි ගමත් අරගෙන යන්න ඕනෑ. ඒ වැඩේට අපි එකඟයි කියන සහතිකය දෙන්න ඕනෑ. මේක පුංචි ඡන්දයක් නොවෙයි. පළාත් පාලන ආයතනවල විෂය පථය සීමාවක් තිබෙනවා. ගමේ පාර හදන එක, බෝක්කුව හදන එක, මොන්ටිසෝරි හදාගන්න එක පොඩි පොඩි වැඩ ටිකක් තිබෙනවා. ඒ අතරතුර ඊට වඩා එහාට යන ගමනක් තිබෙනවා. අපි රටෙන් පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය ගම දක්වා ගේන්න ඕනෑ. ගමටත් හදමු වංචා, දූෂණ නැති ගමේ ආණ්ඩුවක්. මහජන මුදල් සාංඝික දේපළ වගේ රකින, නාස්ති කරන්නේ නැති පාලනයක්, ආණ්ඩුවක් ගමටත් හදමු. ගමටත්, නගරෙටත් කොමිස් ගහන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වංචා-දූෂණ නැති පාලනයක් හදමු. අපි රටට හදලා තියෙනවා, වරප්‍රසාද ලබන්නේ නැති, ස්වේච්ඡාවෙන් වැඩකරන දේශපාලන සංස්කෘතියක්. ගමටත් හදන්න ඕනෑ, මහජන මුදල් නාස්ති කරන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති පාලනයක්. රටේ ආරම්භ කරපු වෙනස ගමට ගෙනියන්න ඕනෑ. ඒ සඳහා මේ සභා සියල්ල මාලිමාව දිනවන්න ඕනෑ. මේ සභා පවත්වන්නේ යාළුකම්වලට, ගමේකමට, අපේකමට, සල්ලිවලට සලකන්න නොවෙයි. උදව්වක් කළා නම් උදව්වක් කරන්න. අපි මේ රටේ ආරම්භ කළ ගමනක් තිබෙනවා. උඩ සිට පහළට එක පිම්මට ඒ ගමන යන්න ඕනෑ. ඒ නිසයි මේ ඡන්දය අපි දිනන්න ඕනෑ වෙන්නේ. විපක්ෂය හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒගොල්ලන් කියන දේ එයාලම දන්නේ නැහැ. එයාලා මාසෙන් මාසෙට ජනාධිපතිලා පත්කරනවා. තව අවුරුදු පහකට රටේ ජනාධිපති අනුර සහෝදරයා. අවුරුදු පහෙන් පස්සෙත් රටේ නායකයා අනුර සහෝදරයා. මේක කල්පෙකට හොල්ලන්න බැරි ආණ්ඩුවක්.

Beruwala Public Rally crowd

ඒගොල්ලන් දුකෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ස්වර්ගය අහිමි වෙලා. දෙව්ලොවෙන් බිමට වැටිලා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. වංචාවෙන් දූෂණයෙන් ජීවත් වුණු අයට අපේ ආණ්ඩු හරියන්නේ නැහැ. හොරකම් කරන්නේ නැති, පගා ගහන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති, ජනතාව වෙනුවෙන් කැපවී වැඩකරන ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. රාජ්‍ය බලය පාවිච්චි කරපු, වරප්‍රසාද භුක්ති විඳි අයට ඒක නැතුව බැහැ. ඒ නිසා උඩින් ගන්න බැරි බලය බිමින් හරි ගන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ කිවුවා, එයාලා වෙන වෙනම ඡන්දෙ ඉල්ලුවාට ඡන්දෙන් පස්සේ එකතු වෙලා සභා පිහිටු වනවාලු. මාලිමාව පරද්දන්න හදන්නේ ඇයි? අපි මේ රට පාවා දීලා නැහැ. මහජන මුදල් නාස්ති කරලා නැහැ. සම්පත් විකිණීම නවත්වා තිබෙනවා. ජනතාවට එරෙහිව බලය පාවිච්චි කරලා නැහැ. ජාතිවාදය පාවිච්චි කරලා මුස්ලිම් ජනතාවගේ කඩ සාප්පු ගිනි තියලා නැහැ. ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගිය තිබෙන ආණ්ඩුවක් හදා තිබෙනවා. ඒකාලේ ජාතිවාදය පතුරලා ගැටුම් ඇති කළා. නැවත ජාතිවාදය ඇති නොවෙන සමගියෙන් ජීවත් වෙන්න රටක් හදා තිබෙනවා. මේ සමගියටත් පරාද වුණු අය බයයි. මහනුවර ශ්‍රී දළදා දැක්ම තිබුණා. එතනදි මහනුවර පල්ලි, දේවස්ථාන සියල්ලම දළදා වැඳපුදා ගන්න ආපු ජනතාවට නවතින්න, නිදාගන්න පහසුකම්, කන්න බොන්න දුන්නා. ඒක තමයි ජාතික සමගිය. අපට එහෙම ආණ්ඩුවක් ඕනෑ. එහෙම ආණ්ඩුව රකින බව පෙන්නන දවස තමයි මැයි 06දා. මේ පටන් ගත්ත දේවල් ආපසු හරවන්න දෙන්න එපා.

එයාලට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ. දේශපාලනය දන්නේ නැහැ. අපි දේශපාලන දැනගෙන පිළිවෙළට වැඩ කරගෙන යනවා. එයාලට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ. වෙනස් වෙන්න බැරි නම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ. අපි ජනතාවට වුණු පොරොන්දු ඉටුකර තිබෙනවා. ඉටුකරගෙන යමින් තිබෙනවා. අපි මැතිවරණ කාලයේදි ජනතාවට කිවුවා, වංචා – දූෂණ නැති පාලනයක් හදනවා කියලා. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් වංචා දූෂණ නැති ආණ්ඩුවක් අපි හදලා තියෙනවා කියලා. ලෝකේ රටවල් අපිට ගරු කරනවා, වංචා-දූෂණ නැහැ, ඇමතිවරු පගා ඉල්ලන්නේ නැහැ කියලා. ඔබේ ඡන්දෙට වටිනාකමක් තිබෙනවා. වෙනදා ඡන්දෙ දීලා, මන්ත්‍රීවරු, ඇමතිවරු හොරකම් කරන කොට ඡන්දෙ දීපු කෙනාට ලැජ්ජාවක් හිතෙනවා. මාලිමාවට ඡන්දෙ දුන් අයට ආඩම්බරයක් එනවා මන්ත්‍රීවරු, ඇමතිවරු මහජන මුදල්වලට අත තියන අය නොවෙන නිසා. ඔබේ ඡන්දෙට ඇත්ත වටිනාකම ලබාදුන් එකම පක්ෂය තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව. ඒක අපි රකින්න ඕනෑ.

President AKD shakehand with maulavi at Beruwala Public Rally

ඔබට අපි පොරොන්දු වුණු අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා කියලා. අපි ඒක ඉටුකරමින් යන්නේ. අපිට සරල ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඇමති මණ්ඩලය 25ට අඩුවෙන් හදනවා කිවුවා. අපි හැදුවා අමාත්‍යාංශ 22යි. ඇමතිවරු 21යි. මහින්ද ජනාධිපතිගෙ කාලේ පොල් ඇමති හිටියා. තල් ඇමති හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා, මැටි ඇමති හිටියා. අපි ඒ විකාර කර නැහැ. අපි කිවුවා මන්ත්‍රීවරුන්ට වාහන පෝර්මිට් නැහැ. කාර් පර්මිට් අහෝසි කරනවා කියලා. ඒක අපි කළා. කිව්ව දේ ඉටු කළ එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය විතරයි. හොරු ඇල්ලුවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. පොඩි ප්‍රමාදයක් තිබුණා. හේතුව ඒ ආයතන ඒකට සූදානම් වෙන්න ඕනෑ. හොරු අල්ලන්න අපට බැහැ. ඒකට අල්ලස් හා දූෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අය තමයි ඒ වැඩේ කරන්නේ. දැන් වැඩේ කෙරෙමින් තිබෙනවා. නාමල් රාජපක්ෂට මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. යෝෂිත රාජපක්ෂට අධිචෝදනා පත්‍ර බාරදී තිබෙනවා. ඩේසි ආච්චිට නඩු පවරා තිබෙනවා. චාමර සම්පත් ඇතුලෙ ඉන්නවා, ඔහුට විරුද්ධව චෝදනා තුනක් තිබෙනවා. පොදු දේපළ යටතේ මහජන මුදල් හොරකම් කරලා, වංචා කරලා, රිමාන්ඩ් එකේ. මර්වින් සිල්වා මහත්තයාට රජයේ ඉඩම් හොර ඔප්පු හදලා විකුණලා. දැන් රිමාන්ඩ් එකේ. හිටපු ඇමති, ප්‍රසන්න රණවීර දැන් පොලීසියට බයේ හැංගිලා. උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති, මහජන මුදල් වංචා කරලා තීන්දුව දුන්නා වසර 16කට නෑනත් සමග හිරේ. අපි අවධාරණයෙන් කියනවා අපේ රටේ අපරාධ කළ කිසිවෙකුට ගැලවීමක් නැහැ. ඒ හැමෝටම අනිවාර්යයෙන් නීතිය ඉදිරියට එන්න වෙනවා මයි.

අපි ජනතාවට බොරු කියලා නැහැ. කරන්ඩ බැරි කිසිවක් අපි කියන්නේ නැහැ. යමක් පොරොන්දු වුණොත් අපි නොකර ඉන්නෙත් නැහැ. එහෙම පුංචි ආණ්ඩුවත් අපි හදන්න ඕනෑ. මේ ප්‍රාදේශීය සභාවේ හොරු එලවන්න ඕනෑ. කොන්ත්‍රාත්වලින් කොමිස් ගහන එක නතර කරන්න ඕනෑ. මහජන මුදල් ටික රැකලා, මේ බිම්වලට සේවා ලබාදෙන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. ඒකට බාධා කරන්න ඔය ඇවිත් ඉන්නේ. ඔබට ලොකු කාර්යභාරයක් තිබෙනවා. අපි රටේ ජනාධිපති ලෙස මාලිමාවෙන් අනුර සහෝදරයා පත්කර ගත්තා වගේම, මාලිමාවේ ලොකු ආණ්ඩුවක් හදලා රටට බාර දුන්නා වගේම, ගමේ පුංචි ආණ්ඩු ටිකත් මාලිමාවට බාර දෙන්න ඕනෑ. අපි ජනතාවට විශාල සහන දී තිබෙනවා. ලංකාවේ මෙතෙක් තිබුණු ආණ්ඩුවලින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය තිබෙන්නේ මාලිමාවේ ආණ්ඩුවට. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා, මහ මැතිවරණය ජයග්‍රහණය කරලා පටන් ගත්ත දේශපාලන ගමන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ ගමන ඉස්සරහට යා යුතුව තිබෙනවා. ඊළඟ තබන යෝධ පියවර හැටියට මේ ඡන්දයෙන් සියලුම පළාත් පාලන ආයතන මාලිමාව අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් මේ සතිය තුළ ගෙවල්වලට යන්න. මාලිමාවට ඡන්දයක් නොදෙන්න තීරණය කළ අයටත් කතා කරන්න. මේක අපේ ආණ්ඩුව, ජනතාවගේ ආණ්ඩුව කිසිම හොරෙකුට වට්ටන්න දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව අපි දිවි හිමියෙන් රකින්න ලැහැස්තියි. ලබන මාසෙ 06 දා හැමෝම එකතු කරගෙන ඡන්ද පොළට ගිහිල්ලා මාලිමාවට කතිරෙ ගහමු. අපි හැමදෙනාම එකතු වෙලා වැඩ කරමු. ගමත් මාලිමාවට ගනිමු. ජය නියතයි.

Dr Nihala Abeysinghe addressing at Beruwala Public Rally

“රටේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී,ගමේ ඡන්දය ජයගැනීම ඉතාම වැදගත්”

-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයා-

මේ රටේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අත්පත් කරගෙනයි බේරුවල රැස්වීමට අපි සහභාගී වෙන්නේ. මේ වගේම ඔක්තෝබර් මාසේ 27වැනිදා, මේ ස්ථානයේ මෙවැනිම රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපතිවරණයේදී පනස්අටලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී හැටඅටලක්ෂය ඉක්මවා ඡන්ද ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයෙන් හාරලක්ෂ පනස්දෙදාහකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. ඒක 66%ක්. ප්‍රතිවාදී සමගි ජන බලවේගය ලැබුවේ 18%ක ප්‍රතිශතයක්. අපි මේ පළාත් පාලන 17ම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. අපි බාරගත්ත බංකොලොත් රට මේ වෙනකොට බංකොලොත්භාවයෙන් මුදාගෙන තිබෙනවා. ඒ වගේම දුක්විඳින ජනතාවගේ මූලික ප්‍රශ්න මේ වෙනකොට විශාල ප්‍රමාණයක් විසඳමින් ඉන්නවා. ගොවි ජනතාවට පොහොර සහනාධාරය, ධීවර ජනතාවට භූමිතෙල් සහනාධාරය, විශ්‍රාමිකයන්ට ඉහළ වැටුප්, රජයේ සේවකයන්ට අවුරුදු ගණනකට පස්සේ වැඩිම මූලික වැටුපක්, 2028 දී රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් හතළිස්දාහට වැඩිවෙනවා. අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනාද වැඩිවෙනවා.

අපට ඊළඟ කාර්යයන්ට එළඹෙන්න තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරමින්, තීන්දු තීරණ ගනිමින්, මේ රටේ ජනතාව නිවැරදි දිසාවට ගෙන යමින් ඉන්නවා. ඊළඟ පියවර වෙන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා ශක්තිමත් කරන එක. මන්ත්‍රීවරයෙකුට විශාල කාර්ය මණ්ඩලයක් නැහැ. අපට ඉන්නේ ලේකම්වරයෙක්, රියදුරෙක් සහ පුංචි කාර්ය මණ්ඩලයක්. මේ අය වැඩ කරන්නේ ප්‍රාදේශීය සභා, නගර සභාවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් සමග. මේ ආයතනවලින් කෙරෙන කාර්යයන් ජනතා සේවය උදෙසා ක්‍රමවත්ව මෙහෙයවන එක. අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටු කැඳවමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සමග උරෙනුර ගැටෙමින් ගමේ යටිතල පහසුකම් ටික දියුණු කිරීම, ඔබේ ආර්ථික වැඩපිළිවෙළ දියුණු කිරීම වැනි කටයුතුවල යෙදෙමින් ඉන්නවා. ඒ නිසාම තමයි මේ පළාත් පාලන මැතිවරණය ඉතාම වැදගත් වෙන්නේ. ඔබේ ඡන්දය තීරණාත්මකයි. ඔබේ එදිනෙදා ජීවිතයට සම්බන්ධව පාරවල් පිළිසකර කිරීම, විදුලි පහන් සවිකිරීම, කුණු කසළ ඉවත් කිරීම, පෙර පාසල් ශක්තිමත් කිරීම, දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු දියුණු කිරීම මේ වැනි නොයෙක් ආකාරයේ කටයුතු පළාත් පාලන ආයතනවලින් කෙරෙනවා. පළාත් පාලන ආයතන 17ම ජයග්‍රහණය කරවා දුන්නොත් අපේ මන්ත්‍රීවරුන්ට ගමේ වැඩේ හරියටම කරන්න අපට ලොකු ශක්තියක් වෙනවා. මේ මැතිවරණය ඔබට, අපිට තීරණාත්මකයි. අපගේ ජීවිතවල ඉතා සමීපම කටයුතු කරගන්න වෙන්නේ මේ නියොජිතයන් මගිනුයි. ඒකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සූදානම්ව ඉන්නවා. ඒ නිසා 06 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් මාලිමාව ඉදිරියෙන් කතිරය ගසමින් ඔබේ යුතුකම ඉටුකරන හැටියට ඉල්ලා සිටිනවා.

Minister Nalinda Jayathissa addressing at the Beruwala Public Rally

“මැයි 6දා සිදුවන්නේ රටේ යෝධ සංවර්ධන යාන්ත්‍රණය සම්පූර්ණ කර ගැනීමක්”

-කළුතර දිස්ත්‍රික් නායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා-

අපි ඉන්නේ ඉතාම ජයග්‍රාහී මොහොතකයි. ජනාධිපතිවරණය දිනුවා. මහමැතිවරණය ඊටත් ඉහළින් දිනුවා. පළාත් පාලන ආයතනත් මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරනවා; ඒක ඉර හඳ වගේ විශ්වාසයි. තමන්ගේ පරාජය දැකලා විපක්ෂයේ අය දැන් විකාරයෙන් කියවන්න පටන්ගෙන තිබෙනවා. රාජිත කියනවා රනිල් දෙසැම්බර්වල ජනාධිපති පුටුවෙ වාඩිකර වනවාලු, කබීර් කියනවා දෙසැම්බර්වල සජිත් ජනාධිපති පුටුවෙ වාඩිකරවනවාලු. වාඩිකරන්න පුළුවන් මොරටුවෙන් ගත්ත පුටු දෙකක.

මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ගැනත් මේ ආණ්ඩුව ගැනත් පෙරටත් වඩා දැඩි විශ්වාසයක් තියල තියෙනවා. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයදී මාලිමාවට ඡන්දය නොදීපු අය අනිවර්යෙන්ම මෙවර මාලිමාවට ඡන්දය දෙනවා. ඇයි පසුගිය මහ මැතිවරණයේදී අපට ඡන්දය නොදීපු මේ ගම්වල අපේ අම්ම තාත්ත, මෙවර ඡන්දය මාලිමාවට දෙනවාමයි. විපක්ෂයේ අය එදා මොනවාද කිවුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. අපි ආවොත් දානයක් දෙන්න බැහැ. බුද්ධාගම ඉවරයි. පෙරහැරක් කරගන්න බැහැ. කෝ දැන් ඒ අජිත් පෙරේලලා. ටොන් පච කෙළ කෙළා ඔය ගෙදර පොඩි රැස්වීමක් කරගෙන ඉන්නවා. ඒ දේශපාලනය මැයි 06දා අවසන් කරනවා. කථා දෙකක් නැහැ. මේතරම් හොඳ ආණ්ඩුවක්, මේ තරම් ජනතාවට සහන දෙන ආණ්ඩුවක්, ඉතිහාසයේ මහජන ආණ්ඩුවක් කිවුවහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ආණ්ඩුවක්. ජනතාවට දෙන්න පුළුවන් හැමදේම දෙන ආණ්ඩුවක්. කළුතර දිස්ත්‍රික්කයේ මේ පළාත් පාලන ආයතන 17 ම අපි දිනනවා.

Beruwala Public Rally people

ඒ පළාත් පාලන 17 ම සම්බන්ධකර ගෙන ඉදිරි අවුරු 4 දී ලොකු වැඩසටහනක්. දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ නොකරපු සංවර්ධනයක් අපිට කරන්න තිබෙනවා. ඔන්න ඉතිහාසයේ පළවෙනි වතාවට කළුතරට එනවා මහ නගර සභාවක්. කළුතරට මහ නගර සභාව ගන්න මූලික වෙච්ච කෙනෙක් තමයි අද කළුතර කණ්ඩායම් නායකයා ලෙස තරග කරන අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහත්මයා. මහ නගර සභාවක් ගන්න කටයුතු කරපු අය. මහ නගර සභා එකක් ඇති දිස්ත්‍රික්කයට. අපට තියෙනව බේරුවල, පානදුර, හොරණ නගර සභාව. එක මහ නගර සභාවයි ඉතුරු නගර සභා තුනයි. ආරංචියි බේරුවලත් මහනගර සභාවක් කරනව කියල බය කරන්න එනවා. දැනට අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. කළුතර මහ නගර සභාව හැදුවහම ඒ ඇති දිස්ත්‍රිකයටම. ඊළඟට ප්‍රාදේශීය සභා 13 මේවායේ තිබෙන්නේ එක එක සංවර්ධන මට්ටම්. ඒ ටික දියුණු කරන්න අපිට විශාල වගකීමක් තියෙනවා. ඇයි? මේ ඡන්දය පුංචියට ගන්න එපා. අපි ආණ්ඩුවක් හැටියට මේ රට, සැලසුම් සහගතව සංවර්ධනය කරන මහා දැවැන්ත ව්‍යායාමයේ යාන්ත්‍රණය සකස්කර ගන්නා අවස්ථාවක්. මෙච්චර කාලයක් වැඩ කළේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව අපේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම. ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු නායකත්වය දීලා. ඒකෙන් මේ රටේ ජනතාවට සතුටුවෙන්න පුළුවන් දේවල් කළා.

රජයේ සේවකයන්ට මේ අප්‍රේල් මාසෙ දැනෙන මූලික වැටුපක් අතට ලැබුණා. රජයේ සේවකයෝ හිතුවෙත් නැහැ එච්චර ලැබෙයි කියල. නෝනයි මහත්තයයි දෙන්නම රජයේ සේවකයෝ නම් මේ මාසෙ හොඳ ගාණක් හම්බවුණා. ඊට වඩා හොඳ වැටුපක් ලැබෙනව මැයි මාසේ. ගොඩක් අයට ඕ.ටී., නිවාඩු දීමනා, මේ ආදී දීමනා ලැබෙන්නේ මැයි මාසේ. ඒක හැදෙන්නේ 2027 ජනවාරිවල ලැබීමට නියමිත මූලික වැටුපට අදාළව. ඉතිහාසයේ මොන කාලේද මෙහෙම ආණ්ඩු කළේ. රනිල් වික්‍රමසිංහල මූලික වැටුප 2500ක් කරන්න ඒක දීල අවුරුදු 3කට පස්සේ තමයි දීමනා දෙන්න පටන් ගත්තේ. අපි මාස 18කට පස්සේ මූලික වැටුපට දීමනා හදනවා. හොඳ නැද්ද? හොඳයි. ආණ්ඩුව නීතියක් සම්මත කළා, පෞද්ගලික අංශයේ වැඩකරන අයෙක් ඉන්නව නම් අප්‍රේල් මාසයේ සිට, අවම මූලික වැටුප රු.27,000ක් කරන්න. තිබුණේ විසිඑක්දාහ, එය විසිහත් දාහ කරනවා. ජනවාරි වෙන කොට රු.30,000ක් වෙනවා. අතට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිකර තියෙනවා. ගෙදර දරුවා යන්නේ දරුවෝ 300ට වඩා අඩු පාසලකට නම්, ඒ වගේ දරුවො ලක්ෂ 16කට රු.6000ක් දුන්නා. පොත් පත් පාසල් උපකරණ ගන්න. දෙන්නෙක් හිටියොත් රු.12,000ක් ලැබෙනවා. තුන්දෙනෙක් හිටියොත් රු.18,000ක් ලැබෙනවා. තුන්සියයට වඩා අඩු පාසල් දරුවන් 8,25,000කට පාවහන් ගන්න රු.3000ක් දුන්නා . ශිෂ්‍යත්වය පාස්වුණු දරුවන්ට ලැබුණ රුපියල් 750ක ශිෂ්‍යාධාරය රු.1500 දක්වා දෙගුණ කළා. මහපොළ හිමිකම් කියන විශ්වවිද්‍යාල දරුවන්ට රු. 5000ක දීමනාව රු.7500ක් කළා. මහපොළ නොලැබෙන දරුවන් විශ්වවිද්‍යාලයේ ඉන්නවා නම් ඒ අයටත් ශිෂ්‍යාධාරය දෙනවා. තිබ්බේ 4500යි. ඒක රු.6500ක් දක්වා වැඩිකර තියෙනවා. කාර්මික විද්‍යාලවලට යන දරුවන්ට රු.5000ක දීමනාවක් ලැබෙනවා. මොන්ටිසෝරි යන දරුවන්ට කෑමවලට දීපු දීමනාව රු.60 දීමනාව රුපියල් 100 දක්වා වැඩි කළා. දරුවෝ එක්ලක්ෂ පනස්දාහකට වාසියක් වෙනවා. මොන්ටිසෝරියේ ටීචර්ගේ දීමනාව රු.1000කින් වැඩි කළා. මේ කිවුවේ පොඩ්ඩයි. මේ මාස හතරෙ කරපු දේවල් ටිකක් මේ. මාස 4කට මෙහෙම නම් මාස 60ක් යන කොට මේ රටට කොතරම් දේවල් ලැබෙනවාද කියල ඔබට කල්පනා කරන්න පුළුවනි. ඔබේ ඡන්දයට ඉහළම වටිනාකමක් දී තියෙනවා.

President AKD and Minister Nalinda Jayathissa on stage at Beruwala Public Rally

රනිල් ඇතුළු වික්‍රමසිංහ ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කිසිවක් දෙන්න බැහැ. වැටුප් වැඩිකරන්න බැහැ. ඕ. ටී. වැඩිකරන්න බැහැ. රක්ෂා දෙන්න බැහැ. රනිල්ගේ ආණ්ඩුව කිවුවේ, අයි. එම්. එෆ්. එක නිසා කිසිවක් කරන්න බැහැ කියලා. දැන් ඒ වාරික ගන්න ගමන් ඔබට සහන දී තියෙනවා. ඒ වගේම ආණ්ඩුව 30,000ට රැකියා දෙන්න වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දැනටමත් උපාධිධාරීන්ට, ඕලෙවෙල් සමත් අයට රැකියා තිබෙනවා. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු සහායකයින් ස්ථිර කරන්න වැඩපිළිවෙලක් සැලසුම් කරගෙන යනවා. මේ යටතේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 900ක් බඳවාගෙන තිබෙනවා. දැන් ඒ අය සේවයට වාර්තා කර සේවය කරමින් ඉන්නවා. මැයි මාසය ඇතුළතදී සෞඛ්‍ය සේවයට හෙද හෙදියන් බඳවා ගන්නවා 3146ක්. ඇටන්ඩන්ලා 1000ක්. රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තව 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගන්න පුළුවනි. මේ ආදී වශයෙන් පොලිස් නිලධාරීන්, ගුරුවරු විවිධ ක්ෂේත්‍රවල පුරප්පාඩු සොයා බලමින් අත්‍යවශ්‍ය තැන්වලට බඳවා ගැනීම් කරනවා. දෙන්න බැහැ කිවුවට අපි මේ රටේ ජනතාවට ඒ අවස්ථාව ලබා දුන්නා. දැන් සංචාරකයන් ලක්ෂ 30ක් ලංකාවට එන කොට එහි විවිධ රැකියා අවස්ථා ඇතිවෙනවා. අපේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න බැහැ කියා සිටි ව්‍යාපාරිකයන්, විදේශිකයන් දැන් ලෑස්තියි ආයෝජනය කරන්න. ඒ නිසා පෞද්ගලික අංශයේත් රැකියා අවස්ථා ඇතිවෙනවා. ඒවා ඉතාම සාධාරණව දේශපාලන මැදිහත් වීමෙන් තොරව, දක්ෂතාවයට, හැකියාවට, කුසලතාවයට ලබාදෙන ක්‍රමයක් අනුගමනය කරනවා. අපි හදන නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ පෙරළා ඔබට ලබා දෙනවා.

නාගගොඩ ශික්ෂණ රෝහල ගැසට් කරගන්න පුළුවන් වුණාට ඇත්ත ශික්ෂණ රෝහලක් බවට පත්වුණේ නැහැ. අපි පළමු වැනි මාස කීපය තුළදී ඊට අවශ්‍ය පහසුකම් ටික දුන්නා. මේ ජුනි මාසේ වන විටි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළවෙනි වසර අවසන් ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්ය ඒකකයේ පුහුණුවට එනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය විශේෂඥවරු එනවා. එවිට නියම ටීචින් හොස්පිටල් එකක් වෙනවා. එහා පැත්තේ තියෙනවා හොරණ මූලික රෝහල. එය දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා උසස් කර තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එය මධ්‍යම ආණ්ඩුවට පවරගෙන තවදුරටත් සංවර්ධනය කරන්න. මේ ආදී වශයෙන් සෞඛ්‍ය සේවාව දියුණු වෙනවා. සෞඛ්‍ය ඔබ ළඟට එනවා. අපේ ප්‍රධාන ඉලක්කයක් තමා ප්‍රාථමික සෞඛ්‍ය සේවය දියුණු කරන එක. වයස් ගත ජනගහනයට, බෝ නොවන රෝග වැඩියෙන් තිබෙන අයට, ඔබට පහසු තැනක කිලෝ මීටර් 3ට අඩු දුරකින් ඔබේ සෞඛ්‍ය රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් පිහිටු වනවා. කළුතර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 172ක් ඉදිකිරීමට ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඉදිරි අවුරුදු 3 ඇතුළතදී ඒ ඉදිකිරීම් කටයුතු කරනවා. ඔබේ ආණ්ඩුව මේවාට මුදල් වෙන්කර තියෙන්නේ. මේ මස 4 වෙනුවෙන් ඔබ වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1400ක්, කෝටි එක්ලක්ෂ හතලිස් දාහක්) වෙන් කර තියෙනවා. සෞඛ්‍යට පමණක් රුපියල් කෝටි නවදාස් දෙසීයක් තියෙනවා. මාර්ග සංවර්ධනයට තියෙනවා කෝටි තිස්පන්දාස් පන්සීයක්. පාලම් හදන්න කෝටි දෙදාස් එකසීය පනහක්. වාරිමාර්ග වෙනුවෙන් කෝටි හත්දාස් අටසීයක් වෙන්කරල තියෙනවා. මේ සියල්ල මහජන යහපතට.

මේ වැඩ කරන කොට ජනාධිපතිගේ සිට පහළට දුවන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ දම්වැලේ පුරුක් එකතු විය යුතුයි. ඔබ මේ මැයි 6 දා ගමට නියෝජිතයෙක් හදාගන්නවා නෙවෙයි අර යෝධ සංවර්ධනයේ යාන්ත්‍රණයේ අපට සම්පූර්ණ කරගන්න බැරිවේච්ච කොටස සම්පූර්ණ කර ගන්න තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. මේ වැදගත් අවස්ථාවක්. වැදගත් ඡන්දයක්. බේරුවල නගර සභාවයි, ප්‍රාදේශීය සභාවයි විතරක් නොවේ මේ ආයතන 17ම ජයග්‍රහණය කරගෙන ඔබේ ජීවිතය ලස්සන කර ගනිමු. පොහොසත් රටක් කර ගනිමු. ඒ වෙනුවෙන් ශක්තිමත්ව සියලු දෙනාම මාලිමාව වටා එක්වෙන්න. සියලුම කොට්ඨාස ජයග්‍රණය කරමු.