Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ආරම්භ කළ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරකි.”

(-2025.06.06 – Colombo-)

Dr Nalinda Jayathissa speech

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) ඊයේ (05) තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරකි. එම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමටත්, පුළුල් සංවිධානාත්මක සත්කාර සේවාවක් ලබාදීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත් ව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

Dr Nalinda Jayathissa observing

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති රෝහල් සහ සායන “පොකුරු” ලෙස කාණ්ඩගත කර ඇති අතර, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන් ම රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්ත අධ්‍යයනයට ඉඩ සැලසෙන අතර එමගින් රෝගියාගේ සෞඛ්‍ය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කර හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීමට පහසු වනු ඇත.

මෙම පද්ධතිය සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය Health System Enhancement Project (HSEP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ Asian Development Bank (ADB) සහාය ඇතිව සංවර්ධනය කර ඇත. මෙම නවීන සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සහ තාක්ෂණික සහාය ද ලබා දී ඇත.

Dr Nalinda Jayathissa among people

ගල්නෑව, එප්පාවල, තලාව, රාජාංගනය යාය 5 සහ යාය7, නෑගම්පහ, කටියාව යන ප්‍රාදේශ්‍රීය රෝහල් සහ ගල්නෑව, තලාව සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය හරහා තඹුත්තේගම මූලික රෝහල සමග ජාලගත කර ඇත.

ඉදිරියේ දී මෙරට සියලුම රජයේ රෝහල් අදියරෙන් අදියර මෙම පද්ධතිය සමග ජාල ගත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත. පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය විවෘත කිරීමෙන් අනතුරුව තඹුත්තේගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීය.

Dr Nalinda Jayathissa at board

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (සෞඛ්‍ය තොරතුරු) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම,අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නෙලුම් සමරුතිලක,අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන කැදන්ගමුව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින සෞඛ්‍ය අංශ ප්‍රධානී Dai Ling , ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක විශේෂඥ වෛද්‍ය කුමාරි නවරත්න,ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිලධාරී හේරත් බණ්ඩා ජයසුන්දර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළුව සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.

Dr Nalinda Jayathissa with people