(-‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් රැලිය – දඹුල්ල – 2024.07.13-)
මෙතනට රැස්වී සිටින අය අතර කලින් මැතිවරණවලදී අපිට අපිට ඡන්දය දුන් පිරිසට වඩා අනෙකුත් දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. දැන් අවුරුදු 30ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, නියෝජනය කර, ජනක බණ්ඩාර තෙන්නකෝන් අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ සිටියා. දැන් රනිල් නියෝජනය කරමින් ඉන්නවා. ගෙවී ගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට, ජනතා විමුක්ති පෙරමුණේ අපේ අයට කොතරම් කරදර සිදු කළාද? ඉරණගොල්ලෙදී වෙඩි තියාගත්තා. ඒ කවුරු වෙනුවෙන්ද? රනිල්ට විරුද්ධව මහින්ද වෙනුවෙන්, චන්ද්‍රිකා වෙනුවෙන්. දැන් රනිල් වෙනුවෙන්. පොදුජන පෙරමුණේ නායක මහින්ද දැන් රනිල්ගේ සහායට ඉන්නවා. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් ඉන්නවා. පොදුජන පෙරමුණේ දඹුල්ල මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝනුත් ඉන්නවා. සජිත්ගේ සහායට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් ඉන්නවා. ඒ පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඉන්නවා. පේළියට හිටවලා බැලුවොත් රනිල්, මහින්ද, බැසිල්, නාමල්, ජනක බණ්ඩාර, ඒ පේළියේ ඉන්නවා. අනෙක් පේළියට හිටවූවොත් සජිත්, ජී.එල්., ඩලස්, ඩිලාන් ඉන්නවා. ඔය පේළි දෙකෙන් යූ.එන්.පී. කොයි එකද? පොහොට්ටුව කොයි පේළියද? මම මේ ටිකයි කීවේ. ගම්වල ජනතාව බෙදී දේශපාලනය කළත් ඔවුන් සියලු දෙනා එකට හිටියා. මේ වෙනකොට අපට සතුටක් තිබෙන්නේ ගම්වල සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටීමයි. දඹුල්ල නගරයෙන් පෙන්නුම් කරන්නෙත් එයයි.
ගොඩක් දේශපාලන සාකච්ඡා අවශ්‍ය නැහැ. මේ සිදුවෙමින් තිබෙන දේවල් දිහා බැලුවාම දේශපාලනය තේරුම් ගන්න ඒ හොඳටෝම ඇති. යූ.එන්.පී. ආණ්ඩුව කාලයේ අලුවිහාරේ දඹුල්ලට එනකොට පොදුජන පෙරමුණේ අය බයවී ඉන්න ඕනෑ. ජනක බලය ගන්නකොට යූ.එන්.පී. එකේ අය බයවෙලා ඉන්න ඕනෑ. වෙඩි තියා ගත්තා. ගෙවල් ගිනි තිබ්බා. වාහනවලට පහර දුන්නා. අපි ඒ කාලෙත් කීවා ඒ ගොල්ලෝ බෙදිලා වගේ සිටියාට රෑට රෑට එකතු වෙනවා කියලා. දැන් මහ දවල් එකට අත්වැල් බැඳගෙන එක වේදිකාවේ ඉන්නවා. ඔවුන් දෙපිලක් නොව එකම පිලක් බව අද වෙනකොට ඔවුන් විසින්ම ඔප්පුකොට තිබෙනවා. පනස් ගණන්වල ඉඳලා පරම්පරාවෙන් යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා ජනතාව බෙදී හිටියා. හැමදාමත් ඔවුන් ජනතාවට බොරු පොරොන්දු දුන්නා. දඹුල්ල නගරයේ කඩවලට ඔප්පු දෙනවා කීවා. දැන් ආයෙත් කියන්න පටන්ගෙන තිබෙනවා. නමුත් මතක තබා ගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ඒවාට ඔප්පු දෙනවා. ඒවා අපට ගන්න නොවෙයි. ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රගත කරගෙන ක්‍රියාත්මක කරන මැර බලය අපේ ආණ්ඩුවක් යටතේ අවසන් කර, හැමකෙනාටම ව්‍යාපාර කළ හැකි පරිසරයක් නිර්මාණය කර දෙනවා. අපි බලයට එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි.
පසුගිය කාලයේ ජනතාව ඉන්ධන පොලිමේ සිටිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න වෙනම ෂෙඩ් එකක් වෙන්කර තිබුණා. ඒ ගොල්ලෝ පෝලිමේ නොතබා ජනතාව පෝලිමේ තැබුවා. මන්ත්‍රීවරුන්ට වෙන් කළ ෂෙඩ් එකෙන් තෙල් ගසා නොගත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා විතරයි. ජනතාව කරදරයේ වැටෙන කොට ඔවුන් කරදරයට නොවැටෙන පාලනයක් නිර්මාණය කරගෙන තිබුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල තිබෙන බාර් පර්මිට්වලින් විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බැවින් සජිත් ප්‍රේමදාස බලයට පත්වූ වහාම ඒවා අවලංගු කරන බව කීවා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හැකිනම් ඔබගේ පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් හෝ රනිල් වික්‍රමසිංහගෙන් බාර් පර්මිට් ලබාගෙන නැති බව ප්‍රකාශ කරන ලෙස. බාර් පර්මිට් විතරක් නොවෙයි, පෙට්්‍රල් ෂෙඩ්, එල්.ආර්.සී. ඉඩම් බෙදා ගන්නෙත් එකට. හන්තානෙන් ඉඩම් අක්කර 10ක් ගන්න ස.ජ.බෙ. මන්ත්‍රී කෙනෙක් නිතරම ජනාධිපති ලේකම් කාර්යාලයේ ගැවසෙනවා. දැනට මහින්දානන්ද අලුත්ගමගේ බාල්දියක් පෙරළලා තිබීම නිසා නතර වී තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මන්ත්‍රී අරමුදල් දෙන අතරේ ස.ජ.බ. මන්ත්‍රීවරු 20කටත් දුන්නා. ඒ විතරක් නොවෙයි, කාලින්ද ජයවර්ධනගේ ගෙදර රනිල් වික්‍රමසිංහට පාටියක් දුන්නා. ඔවුන් එකිනෙකා අතර බෙදා ගැනීමේ දේශපාලනය අපි අවසන් කරනවා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට වගේම සජිත් ප්‍රේමදාස ඇතුළු නඩයට බලය ලබාදීමෙන් වැඩක් නැහැ.
එහෙම නම්, ජාතික ජන බලවේගයට බලය දීලා වැඩක් වෙයිද කියලා කතා කරමු. ඡන්දය වළක්වන්න රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැසුවත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ. ලේනා කියන කෙනා අධිකරණය ඉදිරියේ නඩුවක් දැමීම ගැන රුපියල් ලක්ෂයක දඩයක් ඔහුට නියම කළා. ඊට පස්සේ තවත් කෙනෙක් නඩුවක් දාලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවත් අන්තිමටම ඉතිරි වෙන්නේ ටයි එකේ ගැටය විතරයි. බොහෝදුරට ඔක්තෝබර් 05 ජනාධිපතිවරණය පවත්වනවා. ඡන්දය නොතියා ඉන්න ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහට ඉඩ තියන්නේ නැහැ. අපි දඹුල්ලට ආවේ මේ රට හදන්න ජාතික ජන බලවේගයට ඡන්දය දී බලයට ගෙන්න කියන්නයි. ලෝකය පිළිගන්නේ නැතිව වීසා එකක්වත් නොදෙන බාල්දු තත්වයට ඇද දැමූ රටක් ලංකාව කියන්නේ. අපිට වීසා නොදුන්නාට බැසිල් රාජපක්ෂට වීසා දෙනවා. ඔහුට පාස්පෝර්ට් දෙකක් තිබෙනවා. එක පාස්පෝර්ට් එකක් ඇමෙරිකන් එකක්. ඒක අරගෙන ලෝකයේ සෑම රටකටම යන්න පුළුවන්. නමුත් අපේ අතේ තිබෙන්නේ බාල්දු වුණු ශ්‍රී ලංකා පාස්පොර්ට් එකක්. අවුරුදු 76ක් රට පාලනය කරලා, ලෝකයේ පිළිගන්නේ නැති ජාතියක් බවට පත් කළ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම පිළිගන්නා අභිමානවත් පුරවැසියෙක් බවට ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. ඒ වගේම ලෝකයට පොලු තැබූ අපරාධවලින් ගහන වූ රටක් බවට අද පත්කර තිබෙන ලංකාව ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ලෝකයේ අභිමානවත් රටක් බවට පත්කරනවා.
මූල ධර්මයක් ලෙස නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයන් ලෙස පිළිගෙන තිබෙනවා. නමුත් නීතියේ විධානයේ ආධිපත්‍යය ඔවුන්ට එක ලෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක කරනවා නම් ජනක බණ්ඩාර එළියේ ඉන්නේ කොහොමද? නීතියේ ඉදිරියේ සමාන නම්, එයාගේ පුතා ඉන්දියාවට පැන ගොස් ඉන්නේ නැද්ද? ඔවුන් නීතිය ඉදිරියේ සමාන නැහැ. ප්‍රසන්න රණතුංග, ප්‍රේමලාල් ජයසේකර, දයා ගමගේ, ඩයනා ගමගේ එළියේ ඉන්නේ නැහැ. නීතිය ඒගොල්ලන්ට එක විදිහකටත්, පොදු ජනතාවට තවත් විදිහකටත් ක්‍රියාත්මක කරන යුගය අවසන් කර, හැමකෙනාටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍යයක් අපි ස්ථාපිත කරනවා. මේ දවස්වල ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමේ තෝරු මෝරු හසුනොවී හාල්මැස්සන් හසුවන්නේ කොහොමද? ජූනි මාසය ඉවර වෙනකොට කුඩු පාතාලය අවසන් කරන බව කියූ දේශබන්දු යුක්තිය දෙක මෙහෙයුම පටන් ගත්තා. ඔවුන් කවදාවත් අප රටේ කුඩු වසංගතය නැති කරන්නේ නැහැ. අපේ රටේ අපරාධ අවසන් කරන්නේ නැහැ. අපරාධ අවසන් කළ හැකි වන්නේ නීතිය, යුක්තිය සමානව ක්‍රියාත්මක කරන ජාතික ජන බලවේගයේ පාලනයකට විතරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා රවි සෙනෙවිරත්න මැතිතුමා විශාල වෙහෙසක් දැරුවා, අපේ රටේ ආන්දෝලනයන්ට තුඩු දී තිබුණු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ කරලා වරදකරුවන් නීතියේ රැහැනට කොටු කරන්න; පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරකරුවන් අල්ලා ගන්න. ආණ්ඩු මාරු වුණා. පරීක්ෂණ සියල්ල යට යැව්වා. නිලධාරීන් මාරු කළා. සමහර පරීක්ෂණ කළ නිලධාරීන්ට රට හැර යන්න සිදුවුණා. සමහර නිලධාරීන් අවුරුදු එක හමාරක් හිරේ තිබ්බා. වරද මොකක්ද? අපරාධකරුවන් පිටුපස හඹාගෙන යාම. මේ පාලකයෝ හැමදාම අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ. ඒවාට හවුල් වූ අය. මේ දේශපාලනය කොතැනින් හෝ කෙළවර විය යුතුයි. ආණ්ඩුව අපරාධ කරනවා නම්, ඇමතිවරු අපරාධකරුවන් ආරක්ෂා කරනවා නම්, ඔබෙත් මගෙත් ජීවිතය හැම වෙලාවෙම අනතුරේ. බියෙන් සැකෙන් රටක ජනතාවට ජීවත් වෙන්න බැහැ. නීතියේ විධානයේ ආධිපත්‍යය නීතිය ඉදිරියේ හැමදෙනාම සමාන වන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. මේ රට හදන්න පළමුවෙන්ම ඒ වෙනස අවශ්‍යයි.
අපේ රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන දේශපාලනයක් තිබෙනවා. මේ භාණ්ඩාගාරයට එන්නේ ඔබගේ මුදල්. වෘත්තිකයන්ගේ වැටුපට බදු ගැහුවාම භාණ්ඩාගාරයට සල්ලි එනවා. සමහර වෘත්තිකයන් මේක දරා ගන්න බැහැ කියලා රට හැර යනවා. ඔබ කඩේට ගිහින් බඩු මිලදී ගත්තොත්, පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් තෙල් ගහ ගත්තොත්, ලෙඩකට පරීක්ෂණයක් කර ගන්න පෞද්ගලික රෝහලකට ගියොත් ඒකෙන් ගාණක් භාණ්ඩාගාරයට එනවා. දරුවාට උගන්වන කොට ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනෑ. ලෝකයේ ගොඩක් රටවල වෛද්‍ය පරීක්ෂණවලට, වෛද්‍ය උපකරණවලට, ආහාරවලට, බදු ගහන්නේ නැහැ. මේ භාණ්ඩාගාරයට එන්නේ විවිධාකාරයේ ජනතාවගේ සල්ලි. මේ සල්ලි තමයි දේශපාලකයෝ බෙදා ගන්නේ. රනිල් වික්‍රමසිංහ අයවැයෙන් වෙන්කර ගත් මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගත්තා. ඒ විතරක් නොවෙයි සජිත් පේමදාසගේ මන්ත්‍රීවරුන්ට කෝටි 120ක් බෙදා දුන්නා. එක පැත්තකින් මේ මහජනතාවගේ සල්ලි නාස්ති කරනවා. ඒ වගේම භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි හොරකම් කරනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500ක් ගෙදරට හැරෙව්වා. බැඳුම්කර වංචාවෙන් මහ බැංකුවට එන්න තිබෙන සල්ලි, කෝටි 1100ක් අර්ජුන් ඇලෝසියස්ලගේ ගෙදරට හැරෙව්වා. එතනින් අතුරු පාරක සල්ලි රනිල්ගේ ගෙදරටත් ගියා. මහජනයාගේ සල්ලි මෙහෙම නාස්ති කරලා, සොරකම් කරලා රටක් හදන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස මිලියන පන්දහස් ගණනක් අරමුදල් නාස්ති කළ බව පුවත්පත්වල පළවී තිබුණා. සංස්කෘතික අරමුදල, නිවාස අරමුදල විනාස කළා. එක පැත්තකින් බෝඩ් ගහන්න, නම ගහන්න මහජන මුදල් කෝටි ගණන් නාස්ති කළා.
මේ රට හදන්න නම් නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන විය යුතුයි. භාණ්ඩාගාරයට එන මුදල් සාංඝික දේපළ වගේ ආරක්ෂා කරමින්, පුරවැසියන්ගේ කාර්යයන් වෙනුවෙන්, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, යොදවන ආණ්ඩුවක් අපි හදනවා. අද ව්‍යාපාර කඩා වැටිලා. අද ව්‍යාපාර කරන්න දේශපාලකයාගේ අවසර ඕනෑ. අපේ රටේ පෙට්‍රල් ෂෙඩ් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ දේශපාලකයා අතේ. බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයා අතේ. කෑගල්ලේ ඇමති බාර් පර්මිට් තුනක් විකුණුවා කෝටි නවයයි. (ලක්ෂ 900යි) ඇලහැර පැත්තේ විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු ඇමති. වැලිගොඩ දාන්නෙත් ඒගොල්ලන්. පාසිකුඩාවල වෙරළ තීරයේ තිබෙන ඉඩම් බොහොමයක් ඇමතිවරුන් හා ඔවුන්ගේ දරුවන් අතේ. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල සිටින කිසිවෙක් බාර් ගන්න, වැලි ගොඩදාන්න, පතල් කපන්න, හෝටල් කරන්න එන්නේ නැහැ. ඒවා කරන්නේ ව්‍යාපාරිකයන්. ඛනිජ සම්පත් ආශ්‍රිතව, කුරුඳු, තේ, සංචාරක කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තියේ විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. අද කිසිදු පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. සභාපතිගේ සිට සියල්ලන්ටම පගා ගෙවන්න ඕනෑ. අපි එන ව්‍යාපාරිකයන්ට පළමුවෙන්ම කියන්නේ “අපිට ඔබගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා. ඔබ මොකක්ද ගේන්නේ. මොකක්ද රටට දෙන ප්‍රතිලාභය”. ඒක තමයි අපි මනින එකම මිම්ම.
70 දශකයේ ඉන්දියාවේ කුඩ කර්මාන්තයක්, රෙදිපිළි කර්මාන්තයක්, සබන් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. අද ඉන්දියාව හඳට යන, කලාපයට මෝටර් රථ නිපදවන, ආහාර නිපදවන, බීජ නිපදවන, ඖෂධ නිපදවන ඉන්දියාවක් හැදුවා. නමුත් අපි සියල්ල පිටරටින් ගේන රාජ්‍යයක් බවට පත් කළා. අපේ පාලකයන්ට රට ඉදිරියට ගෙනියන්න දැක්මක් තිබුණේ නැහැ. පාලකයන්ට තිබුණු එකම දැක්ම තමන් හැදෙන්නේ කොහොමද? තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බකර ගන්නේ කොහොමද? කියන එක. මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන, වංචා- දූෂණ-නාස්තිය නතර වෙන, ව්‍යාපාරිකයාට සාධාරණ ලෙස ව්‍යාපාරයේ යෙදෙන්න හැකි, ගොවියාට අවශ්‍ය පහසුකම් සලසන, පුනරුද යුගයක් අපි හදන්න ඕනෑ.
අපේ රටේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඕනෑ. ගම්වල ජනතාවගේ දුප්පත්භාවයෙන් ගැලවෙන්න නම්, ගමේ ආර්ථිකය දියුණු කරනවා වගේම දරුවා ගමෙන් එළියට ගන්න ඕනෑ. දරුවා පරණ බැඳීම්වලින් ගලවාගෙන ලෝකයේ තිබෙන දැනුමත් එක්ක තරග වදින හොඳ ශ්‍රමිකයෙක් බවට පත්කරන්න ඕනෑ. 2030 දී ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 40ක් අවශ්‍යයි. ඒ අය අපි ගම්වල හදන්න ඕනෑ. ගමේ ව්‍යවසායකයන් හදන්න ඕනෑ. අලුත් පරම්පරාව ලෝකයට විවෘත කරන්න ඕනෑ. ඒක ආරම්භ කරන්න දේශපාලන වෙනසක් ඕනෑ. එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ වෙනසට අවශ්‍ය වෙන පියවර අපි තබමු. ජනාධිපතිවරණයට තිබෙන ඉදිරි මාස දෙකහමාර අපි හැමෝම හොඳට වැඩ කරමු. යූ.එන්.පී. – ශ්‍රී ලංකා භේද තියා ගන්න එපා. අපි ඔක්කෝම සමාන පුරවැසියන් ලෙස, සමාන කොටස්කරුවන් ලෙස එකතු වෙමු. ඒගොල්ලන් උඩ එකතු වෙනවා නම්, අපිට එකතු වෙන්න බැරිද? මේ තීරණාත්මක හැරවුම උදාකර ගන්න ගමේ අපි සියලු දෙනා එකතු වී අභියෝග බාර ගනිමු.
“ආණ්ඩුවට අත නොපා තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථිකයක් ජනතාවට ලබා දෙනවා”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ අපි රට පුරාම රැස්වීම් මාලාවක් පවත්වමින් යනවා. රනිල් වික්‍රමසිංහලා මොන උත්සාහ දැරුවත් ඔක්තෝබර් මාසයේ පළමුවැනි සතිය වන විට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න අවස්ථාව ලැබෙනවා. අපේ රටේ ජනතාව පාවා දුන් ප්‍රභූවරුන් ඉවත් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවන්න සූදානම් කියන පණිවිඩය රැගෙන ඔබ මෙතනට ඇවිත් සිටිනවා. සමහරු අපෙන් අහනවා 3%ක් තිබුණු අය ආණ්ඩු බලය ගන්නේ කොහොමද කියලා. වෙනදා වෙනත් පක්ෂවලට වැඩ කරපු බොහෝ දෙනෙක් අද මාලිමාව සමග අත්වැල් බැඳගෙන ඉන්න නිසයි අපිට ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තිබෙන්නේ. ඒ ජයග්‍රහණයේ නියමුවන් ඔබ සැමදෙනායි.
රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට දිනන්න පුළුවන් නම්, ඡන්ද ඉක්මනින් පවත්වනවා. මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ ජයග්‍රහණයට ඉහළින්ම දායක වෙන්න රොද බැඳගෙන සිටිනවා. ජාතික ජන බලවේගයේ අපි වැඩකරන්නේ සැලසුම් සහගතව සංවිධාන ගොඩනඟමිනුයි. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතුවෙලා රට ගොඩගැනීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළ සකස් කරන අතරේ අපි ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බිම් මට්ටමේ සංවිධාන හැටියට එන්.පී.පී. කොට්ඨාස සභා ගොඩනැඟුවා. මේ වන විට සෑම ග්‍රාමසේවා වසමකටම මැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ මෙහෙයුම් කමිටු නිර්මාණය කරමින් යනවා. විවිධ විද්වත් වෘත්තිකයන් සංවිධානය කරමින් යන අතරේ විද්‍යාඥයන්ගේ සමුළුවක් මෑතකදී පැවැත්වූවා. වෘත්තිය මට්ටමේ බලවේග ඒකරාශී කරමින් යන අතරේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් විශ්‍රාමික පොලිස් සාමූහිකයත් අවසන් වශයෙන් මේ වන විට ගොඩනඟමින් යනවා. නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයින්ගෙන් ඉඩ නොලැබුණු පොලීසියේ විශාල පිරිසක් ඒ වටා ඒකරාශී වී සිටිනවා.
රුසියාවේ වගේම අපේ රටේ ඔක්තෝබර් මාසය රට ගොඩනැඟීමේ ආරම්භය ගන්නා මාසය බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි මේ ආකාරයට ජනතාව සංවිධානය කරමින් යන අතරේ අනෙක් පක්ෂ රොඩුබොඩු එකතු කරමින් යනවා. රට වට්ටන්න දායක වුණු කිසිම දේශපාලනඥයෙක් ජාතික ජන බලවේගයට වද්දා ගන්නේ නැති බවට වන සහතිකය අපි ඔබට දෙනවා. ගිය පාර සජිත්ට බැන්න අය අද සජිත් එක්ක එකතු වෙනවා. අනෙක් පැත්තෙන් සජිත් ළඟ ඉන්න අය රනිල් ළඟට යන්න හදන අතරේ, රනිල් ළඟ ඉන්න අය සජිත් ළඟට යන්න හදනවා. අද පොහොට්ටුවක් ඉතිරි වෙලත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දිරාපත්වූ දුෂ්ට බලවේග ඒ අය එකතු කරගෙන ඉන්නවා. සජිත්ට බැන බැන හිටපු ඩලස්ට පුළුවන් සජිත් ළඟට යන්න. රනිල්ට හොරා කියපු පොහොට්ටුවේ අයට පුළුවන් රනිල් ළඟට යන්න. කට්ටිය පහුගිය අවුරුදු දෙක තුනේ බිම් මට්ටමේ අපට විශාල දේශපාලන පාඩමක් උගන්වා තිබෙනවා. යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා මෙතෙක් කල් බෙදී සිටියත් ඒ ඔක්කොම එකම දූෂිත දේශපාලන ප්‍රභූ පැළැන්තියේ අය බව ඒ කාලය තුළ ඔප්පු කර තිබෙනවා. රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභය දිනවන්න ඕනෑ කී අය දැන් රාජපක්ෂලාව බේරා ගන්න රනිල්ට බාරදී තිබෙනවා. රනිල්ට රට බාරදෙන්නේ රට බේරා ගන්න නොවෙයි, රාජපක්ෂලාව බේරා ගන්නයි. මහින්ද රාජපක්ෂලා තමන්ට පාර්ලිමේන්තුවේ සිටිය විශ්වාසවන්තම කෙනා හැටියට රනිල් වික්‍රමසිංහට බලය ලබාදුන්නා. මේ කණ්ඩායම්වල සියලු දෙනාම එකම පිරිසක් බව ඔප්පු කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලා විසින් රට බාර දුන් 2022 අවුරුද්ද අවසන් වන විට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් වී තිබුණා. දැන් සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 ඉක්මවා තිබෙනවා. ඉතිං ආරංචිය සුබයිද? ඒ අතරේ අපේ රටේ අක්කර 28,000ක් තිබෙන කිරි ගොවිපොළවල් ඇතුළු ඉතිරි වී තිබෙන සම්පත් ටික විකුණන්න යනවා, ඉතිං ආරංචිය සුබයිද? මේ සියලු අසුබ ආරංචි මැද්දේ අපිට පැහැදිලි සුබ ඉලක්කයක් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය ස්ථිරයි කියන සුබ ආරංචිය අපට ලැබී තිබෙනවා. රට වැට්ටූ රනිල් වික්‍රමසිංහලාට රට ගොඩනඟන්න පුළුවන්ද? ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න ඕනෑ තවත් ආණ්ඩුවක් හදා ගන්න නොවෙයි. අපිට අවශ්‍යව තිබෙන්නේ මුළු රටම දැවැන්ත පරිවර්තනයකට ලක්කරන්නයි. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගසම මේ ජරාජීර්ණ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහජන මතයකට ඉඩ සලසා දෙනවා. ඒ මැතිවරණයෙන් ආසන 130 ඉක්මවූ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන රටට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කරනවා. වැටිච්චි රට ගොඩනඟමින් රට වැට්ටූ දූෂිතයන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන්න කටයුතු කරනවා. ජනතාවට උඩින් ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා.
මේ දක්වා කළේ ලොකු වියදමක් දරා ඇමතිවරුන් ගෙන්වා මුල්ගල් තැබීමේ ව්‍යාපෘති කිරීමයි. පොඩි පාරක් විවෘත කරන්නත් ඇමතිවරුන් ගෙන්වනවා. අඩුම වශයෙන් පැල සිටුවීමේ ව්‍යාපෘතිවල පැල සිටුවන්න පුංචි වලක් කපන අතරේ තඩි කාපට් මතින් එන ඇමතිට පැල සිටුවන්න බහින්න තව ලොකු වලක් කපන්න සිදුවී තිබෙනවා. ආරක්ෂක අංශ පිරිවරා ගනිමින් බලය පෙන්වන සංස්කෘතිය අපි අහෝසි කරනවා. ධනය බලය පාවිච්චි කර, ජනතාවගේ ඡන්ද මංකොල්ලකෑ විෂම චක්‍රයේ දේශපාලනය අපි අවසන් කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්කරන මේ පාලකයන් විසින් ජනතාව දුප්පත්කමේ ගිල්වා තබන මේ ක්‍රමය මුළුමනින්ම අවසන් කරනවා. 1948 නිදහස ලබනකොට අපි ණය නැති රාජ්‍යයක්. පාලකයන් දිගින් දිගට ණය අරගෙන හොරාකෑම නිසා අද ණය ගෙවාගත නොහැකි වී බංකොලොත් රටක් ලෙසට වට්ටවා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ කාලය 2028 දක්වා කල්දමා එය සුබ ආරංචියක් බව ඔවුන් කියනවා. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව ඉස්සරහට යන කොට ලංකාවේ පාලකයන් අපේ රට පසුපසට ඇද දැම්මා. ඒ නිසා ජයග්‍රහණ අත්පත් කර ගන්නා පිම්මක් පනින්න ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනා සුදානම් බව අපි ඔප්පු කරන්න ඕනෑ.
ආර්ථිකයේ, චින්තනයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ පුනරුදයක් ඇති කළ යුතුයි. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් බවට ගොඩනඟන බව අපි කියන කොට, රනිල් ඇතුළු පිරිසක් ඒකම කියනවා. අපේ ආර්ථිකයට සමස්ත ජනතාව සහභාගි කර ගන්නා සහ ජනතාව වෙත එහි ප්‍රතිලාභ ගලායාමේ ක්‍රියාකාරී සැලසුමක් සකස් කර තිබෙනවා. අපි ගොඩනඟන්නේ ජන සහභාගිත්ව ආර්ථිකයක්. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පවුල් කිහිපයකට නොවෙයි, සමස්ත ජනතාවට ගලා යාමේ යාන්ත්‍රණයක් සකස් කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ගොවියන් දුප්පත් වී දඹුල්ලේ සිටින ව්‍යාපාරිකයන් පොහොසත් වන ආර්ථිකය නිමා කරමින් සියලු දෙනාට සාධාරණ ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ වෙනුවෙන් සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කර, දරුවන් මත පටවා තිබෙන පීඩනය ඉවත් කරනවා. දැන් සිදු කරන්නේ මහජන මුදල් හොරා කා ඒ හොරා කෑ ධනයෙන් සොච්චමක් යොදවා හාල් කිලෝ පහක් දුන්නාම ඒක ගන්න ජනතාව හොරාට වැඳලත් යනවා. ඉතාම කනගාටුදායක මේ ක්‍රමය වෙනස් කරනවා. දුප්පත්කම පවත්වාගෙන යන්න සහන දෙනවා වෙනුවට අපේ පාලනයක් යටතේ දෙපයින් නැගී සිටින්න ක්‍රමයක් සකස් කර දෙනවා. ආණ්ඩුවට අත නොපා තමන්ගේ ධෛර්යයෙන්, තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථික ක්‍රමයක් සකස් කර දෙනවා. නමුත් දුප්පත්කම අවසන් කරන තුරු සහන ලබාදිය යුතු සියලු දෙනාට සහන ලබාදීම තහවුරු කරනවා. ඉතා ඉක්මනින් දුප්පත්කම තුරන් කර, මාලිමාවේ ආණ්ඩුවක් යටතේ සතුටින් සිටින මහජනතාවක් නිර්මාණය කරනවා.
අපට තිබෙන්නේ පොඩි වැඩක් නොවෙයි; අවුරුදු 76ක ශාපකාරී විනාශකාරී දේශපාලන මාර්ගය වෙනස් කිරීමයි. මේ වේදිකාවේ ඉන්නේ ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පැමිණි අය මිස කිසිවක් ලබාගන්න ආ අය නොවෙයි. මීට වඩා හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක් අපට ඕනෑ. කාන්තාවන්ටත් දරුවන්ටත් බයක් නැතිව නිදහසේ ජීවත් විය හැකි, ආදරය, ගෞරවය සහ ආරක්ෂාව තිබෙන රටක් අපි ගොඩනගා ගන්න ඕනෑ. මිනිසුන් එකිනෙකාට ආදරය කරන ආදරයෙන් පිරුණු රටක් අපි ගොඩනඟන්න ඕනෑ. හැම කෙනාටම මනුෂ්‍යත්වයෙන් සලකන රටක් අපි ගොඩනගන්න ඕනෑ. මෙතෙක් අප සමග අත්වැල් බැඳ නොගත් සියලු දෙනාට මේ පණිවිඩය ලබාදී දැනුවත් කර, ජාති, ආගම්, බේද නැති එකම රටක් ගොඩනඟන්න අපි හැම දෙනාම අත්වැල් බැඳ ගනිමු. මේ ජනාධිපතිවරණයෙන් උතුමාණෝ කියලා කියන්න ඕන නැති අපේ සහෝදරයෙක් ජනාධිපති කරලා, අපේම පාර්ලිමේන්තුවක් ගොඩනඟලා අපේ රට ගොඩනගමු. ඉතිහාසය අලුතින් ලියන පරම්පරාව අපි. අපේ කාර්යය අපි ඉටුකරනවා. අපේ ජීවිත කාලයේදී මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
“සාහිත්‍ය කලාවෙන් සංවේදී, විචාරශීලී මිනිස්සු හැදෙනවාට මේ විකෘති ආණ්ඩු බයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි-
අපි මේ මොහොතේ ගත කරන්නේ තීරණාත්මක අවස්ථාවක්. ලංකාවට අද අවශ්‍ය වී තිබෙන්නේ පුනරුදයක්. ඒක සාමාන්‍ය පුනරුදයක් නොවෙයි. ඒක ජාතික පුනරුදයක් විය යුතු මහා සමාජ පරිවර්තනයක්. මහා පුනරුද සැලැස්ම අපි පසුගියදා ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැටියට පොත් පිංචක් කොළඹදී එළිදැක්වූවා. එදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා පුනරුද සැලැස්ම විස්තර කරමින් කළ කතාව ඓතිහාසික කතාවක්. අපේ රට ඇද දමා ඇති සියලුම අගාධයන්වල මූලය ඔහු ඉතා හොඳින් පැහැදිලි කළා. වර්තමාන ශ්‍රී ලංකාවේ වෙනත් දේශපාලන ව්‍යාපාරවල ඉන්න කිසිදු නායකයෙකුට එවැනි ප්‍රඥා ගෝචර විශිෂ්ට කතාවක් කරන්න බැහැ. ඒ කතාවේ තිබුණේ ඔබ අප හදන්න යන නව රජයක පදනමයි. විසිවන සියවසේ බිහිවුණු මහා ප්‍රඥාව, කර්මාන්ත ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍ය ක්ෂේත්‍රයේ, දේශපාලන සාක්ෂරතාවයේ සෑම පැත්තකින්ම අපි කොහොමද නැවතත් පණ ගන්වන්නේ කියන කතාවයි. අපේ රටේ විශිෂ්ට සංස්කෘතික ප්‍රාඥයෙක් වන ආචාර්ය සුසිල් විජේසිරිවර්ධන අපේ පුනරුද සැලැස්ම ඉතා ඉහළින් අගය කර, ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් කළ යුතු වෙනස එය බව මුහුණු පොතේ කරුණු දක්වා තිබුණා. මේ පුනරුද සැලැස්ම නැතිව ආර්ථිකය විතරක් හෝ ප්‍රවාහන ප්‍රතිපත්තිය විතරක් හෝ ඔසවාගෙන ඉස්සරහට යන්න බැහැ.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ඉඳහිට මේ වැඩේ කරනවා. පාසල් විෂය නිර්දේශයෙන් සෞන්දර්යය විෂය සාමාන්‍යපෙළ විභාගයෙන්, අයින් කරන්න යනවා කියලා දැනගන්න ලැබුණා. මේ සෞන්දර්ය විෂය ඉවත් කළොත් සිදුවෙන පාඩුව මනින්න බැරි එකක්. රනිල් වික්‍රමසිංහගේ මාමා ජේ.ආර්. ජයවර්ධන තමයි මේකට මුල පිරුවේ. මාතර තිබූ සාහිත්‍ය සම්මේලනයකදී ඔහු සාහිත්‍ය ගැන කුප්‍රකට කතාවක් කළා. එහිදී “සාහිත්‍ය කන්නද, ඕකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද ”කියලා ඔහු ඇහුවා. මේ ඒකෙ දෙවැනි කොටස අද ජේ.ආර්.ගෙ බෑනා, රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. මේක ඉතාම භයානක, විපාක ඇති කරන්න පුළුවන් කරුණක්. සාහිත්‍ය කලාවෙන් හදන්නේ ඉතාමත් සංවේදී, විචාරශීලී මිනිස්සු. සංවේදී මිනිස්සු හැදෙනවාට මේ විකෘති ආණ්ඩු බයයි. ඒ නිසා එයාලා ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා සෞන්දර්යය, සාහිත්‍ය, කලාව කප්පාදු කරන්න ඕනැ කියලා. එතකොට තමයි මිනිස්සු යන්ත්‍ර බවට පත්වෙන්නේ. රස වින්දනයක් නැති, මනුෂ්‍යත්වය සිහිපත් නොවෙන මිනිස්සු හැදෙන්නේ, යාබද අසුනේ ඉන්නේ තමන්ගේම දියණියක් කියලා හිතන්න බැරි කෘත්‍රිම සමාජයක් හැදෙන්නේ. ඒක තමයි ඔවුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ.
මේ දඹුල්ල නගරය, නොනිදන නගරයක් වෙලා. එහෙම වෙලා තියෙන්නේ ගොවි මහතුන්, ගොවි දියණියන් වන ඔබ අවදිවෙලා ඉන්න හන්දා. ඔබ පොළොවේ හැපෙන හින්දා. ව්‍යාපාරිකයන් ගොවි තැනත් එක්ක එකතු වුණු හින්දා. දඹුල්ලේ ගොවියාගේ ලොකු ළුෑණු, වට්ටක්කා සහ එළවළු ප්‍රශ්නය දෙස බලන්න. තේරුම් ගන්න. මේ ගැටලුව ගැන කම්පාවෙන්න තියෙන්නේ ආර්ථික විද්‍යාව විතරක් නොවෙයි, කලාවෙන්, සංස්කෘතියෙන් මේ ගැටලුව තේරුම් ගන්න ඕනෑ. මෙලෙක් වුණු මිනිසෙක් ඕනැ වෙන්නේ මිනිසුන්ගේ අසරණකම ගැන ඇත්ත තේරුම් ගන්න. මේ දුෂ්ට දේශපාලනඥයන්ට මේක වළක්වන්න ඕනැ වෙලා තිබෙනවා. එදා පුනරුද කතාවෙ ප්‍රධාන තේමා 14ක් අනුර සහෝදරයා කිවුවා. ජනතාව ලෙස අපට ඕනෑ අපේම නායකයන්; ජනතාව පාවා දීලා අශිෂ්ට විකුණුම් භාණ්ඩ වගේ පාර්ලිමේන්තුවේ ‘පිම්පොම් බෝල වගේ’ එහාට මෙහාට පනින නායකයන් නොවෙයි. එහෙම තැනකට වැටෙන නායකයන් එක්ක හිටගන්න මේ රටේ ඡන්දදායකයන් සූදානම් නැති බව අපට ඉතාම පැහැදිලියි. ප්‍රවෘත්ති බැලුවාම පේනවා අද එක පක්ෂයක ඉන්න කෙනා හවස් වෙනකොට තවත් පක්ෂයකට ගිහිල්ලා. හැබැයි ඔවුන් සිතනවා නම් ඔවුන් යනකොට දහස් සංඛ්‍යාත පිරිසකුත් ඒ සමග යනවා කියලා ඒක මිථ්‍යාවක්. අද මේ ජනතාව මේ අලුත් පුනරුද දේශපාලනය තුළ ඉන්නවා.
අපි ජාතික ජන බලවේගයේ පාලනයකදි ජනතාවගේ පරමාධිපත්‍යය හරිතැන පිහිටුවන්න අපි කටයුතු කරනවා. ජනතා බලය තිබෙන්නේ ඔබට. යතුර තිබෙන්නේ ඔබේ අතේ. ඒක නිසා තමයි ඡන්දය ළංවෙනකොට එයාලා බය වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට පොරොන්දු දීලා හිටපු රනිල් වික්‍රමසිංහලා ඒ පොරොන්දු දීපු කුලියාපිටියට ගිහිල්ලා හාල් කිලෝ 20ක් බෙදලා එන්නේ, යතුර ඔබේ අතේ තිබෙන නිසා, ඔබව රවටා ගන්නයි. එහෙම රවටන්න පුළුවන් ජනතාවක් දැන් නැහැ. යතුර ඔබේ අතේ තිබෙනවා. ඒ යතුර පාවිච්චි කරන්න නෛතික අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ජනාධිපතිවරණයක් දැනුම් දීලා ඔබට ඔබේ මහජන වරම උරගා බලන්න අවස්ථාවක් ලැබෙනවා. ජාතික ජන බලවේගය ඓතිහාසික මහජන ව්‍යාපාරයක් ගොඩනඟා ඉවරයි. ජාතික ප්‍රතිපත්ති හදලා ඉවරයි. කොට්ඨාස සභා මගින් විශාල ජන පවුරක් හදලා ඉවරයි. සංවිධාන ව්‍යුහයක් හදලා ඉවරයි. අවශ්‍ය තැන මහපාරේ සටන කර, අධිකරණයට යන්න ඕන තැන ඒක කරනවා. මේ පරිවර්තනය වෙනුවෙන් වෘත්තීන් විසි තිස් ගණනක් සංවිධානය කරලා ඒවායේ සමුළු තියලා සියල්ල සකස් කරලා, ජනතාවට මහා රැලි මට්ටමේ කරුණු පැහැදිලි කරලා පොළොව සකස් කරලා ඉවරයි. මේ සැරේ අපි යතුර හරියට පාවිච්චි කරලා ලංකාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයක් ලකුණු කරමු. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් පරිවර්තනයක්, පුනරුදයක් ශ්‍රී ලංකාවේ බිහි කරමු. ස්ථිර වශයෙන්ම ඒ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරය තමයි අපට විශිෂ්ට වසන්තය කැන්දාගෙන එන්නේ. ඒ සඳහා තීන්දු ගන්න අවශ්‍ය කරන ප්‍රඥාව, අධිෂ්ඨානය ඔබට ලැබේවා!
“ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත්ම රටක් බවට පරිවර්තනය කරන්න අපට වගකීමක් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කැලණිය විශ්විවිද්‍යාලයේ මහාචාර්ය වසන්තා සුබසිංහ-
සිවිල් සමාජයක් හැටියට අපේ රට වෙනුවෙන් අපේ වගකීම අත්නොහැර ඉටුකරන්න තිබෙන වෙලාව තමයි මේ උදාවී තිබෙන්නේ. මේ අපි උපන් රට. අපේ රට. පහුගිය අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කළ, ත්‍රාඩ දේශපාලකයන් මේ රට ලෝකයේ අපකීර්තිමත් රටක් බවට පත්කර තිබෙනවා. අපේ ආදරණීය මාතෘ භූමිය බේරා ගැනීමේ මහා සංග්‍රාමයට, මහා පුනරුදයට එකතුවීමේ වගකීමක් අපි හැමෝටම තිබෙනවා. අපට අවශ්‍ය කරන්නේ අසාමාන්‍ය ලොකු වෙනසක්. දවසින් දෙකෙන් වෙනස් කරන, හාල් කිලෝ 20කට, රුපියල් දෙදහසකට – තුන්දහසකට, රැකියාවකට මේ වෙනස කරන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ අසාමාන්‍ය වෙනසක් ඇති කිරීමට නම්, අවුරුදු පහකට ගැලපෙන, අවුරුදු දහයකට ගැලපෙන, අවුරුදු 30කට පනහකට ගැලපෙන කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් අපට අවශ්‍යයි.
මොකක්ද මේ අසාමාන්‍ය වෙනස? අප හැමෝටම අවශ්‍යයි උසස් ජීවන තත්වයක්. අපි දුක්වින්දා ඇති. අපේ ජනතාව අවුරුදු 30ක යුද්ධයකින් බැට කෑවා. වසංගත ලෙඩ රෝග ආවා, සාගත ආවා. ආර්ථික ව්‍යසන ආවා. ආර්ථික අර්බුද ආවා. අපි දුක්වින්දා හොඳටෝම ඇති. අපි වෙනස් වෙන්න ඕනෑ. අපේ ආකල්ප, වැඩකරන හැටි වෙනස් කර ගන්න වෙනවා. අද ලෝකය දියුණුයි. අපිට නවීන තාක්ෂණය තිබෙනවා. තාක්ෂණය වෙනුවෙන් අපි ජීවත් වෙනවා වෙනුවට අපිට තාක්ෂණය පාවිච්චි කර ගන්න පුළුවන් යුගයක් ඇති කර ගන්න ඕනෑ. අපි අලුතෙන් සිතා වැඩකරන ජනතාවක් බවට පත්වෙන්න ඕනෑ. අපේ ජනතාව මේ ගම්බිම්වල අසීමාන්තික ලෙස වැඩ කෙරුවා. දිවා රෑ නොබලා වැඩ කෙරුවා. ඒකෙ ප්‍රතිඵල භුක්ති වින්දේ ඔබේ දරුවා නොවෙයි; ඉතාම සුළු පිරිසක් වන දේශපාලකයන් සහ ඔවුන්ගේ දරුවන්. අපි අලුතෙන් හිතමු. අලුතෙන් වැඩ කරමු.
අපට වැඩකරන්න නම් අලුත් තාක්ෂණය ඕනෑ. නීතිය හරියට ඕනෑ. අපට වැඩකරන්න පරිසරයක් ඇති කර ගන්න වෙනවා. ඔබේ ගොවිතැනේ නිෂ්පාදිතයෙන් බාගයක් අතරමඟදිම විනාශ කර දමන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නොවෙයි. අපේ ආසන්නම ඉන්දියාව රටවල් 140කට පොල් යවනවා. වෙනස්ව හිතන අයට ලෝකය විවෘතයි. අපේ තේ, පොල්, රබර්, සාදික්කා, ගම්මිරිස් ඇතුළු දේශීය කෘෂිකාර්මික දේවල් වෙනත් රටවල්වලට යවන සැලසුමක් අපට ඕනෑ නැතිද? තානාපති සේවය විධිමත් කරන්නේ කොහොමද? කෘෂිකාර්මික දේවල් අපේ රටේ වෙනත් රටවල්වලට යවනවාද කියන එක අපි ගණන් හදලා ඉවරයි. අපේ තක්කාලි ටික, සැමන් ටික, අඹ ටික, කෙසෙල් ටික කොහාටද යන්නේ කියන රටවල් අපි හඳුනාගෙන ඉවරයි. මාලිමාවේ ආණ්ඩුවක තානාපති සේවය යනු අපේ පණිවිඩය, අපේ වෙළඳපොළ, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන තානාපති සේවයක්. ඒ වෙනුවෙන් සැලසුම් හදා ඉවරයි. රටක් අලුතෙන් හිතන්නේ එහෙමයි. මේ වන විට ලෝකය පුරා ලක්ෂ 45කට වැඩිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා හිඟයක් තිබෙනවා. ඉදිරි අවුරුදු පහ ඇතුළත කොපමණ වෛද්‍යවරුන්, විශේෂඥයන්, හෙදියන් බිහිකරනවාද යන්න ගැන අපි සැලසුම් හදා තිබෙනවා. ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය උගන්වන ගුරුවරුන් පිටරට යවන්න පුළුවන්ද කියන එක ගැන අපි සැලසුම් හදා තිබෙනවා. ගම්මානවල සිටින කාන්තාවන් ගෘහ සේවයට යවනවා වෙනුවට අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඉල්ලන දක්ෂතා පූර්ණ තරුණයන් යැවීමට සැලසුම් කර තිබෙනවා. දැව භාණ්ඩ කර්මාන්තයේ, වෙල්ඩිං වැඩ, ජලනල වැඩවලට හොඳ ඉල්ලුමක් ලෝකයේ තිබෙනවා. අවුරුදු පහකට කොයිතරම් ප්‍රමාණයක් ඒවට යවනවාද කියා ගණන් හදා ඉවරයි. කැනඩාව ඕස්ටේ්‍රලියාව වගේ රටවල පරිගණක ක්ෂේත්‍රවලට ඉංජිනේරුවන් අවශ්‍යයි. අපි ඒවාට සැලසුම් කරන්න ඕනෑ. කෘෂිකර්මාන්තයට පමණක් නොවෙයි, වෙනත් අංශවලටත් ලෝකයේ වෙළඳපොළ විවෘතයි. අපට වගකීමක් තිබෙනවා අපේ රට ලෝකයේ කීර්තිමත්ම රටක් බවට පරිවර්තනය කරන්න. ඒක මාලිමාවේ පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයක්. අපි හැමෝටම සමාජයේ සමාන අවස්ථා අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයන් හා ඔවුන්ගේ සමීපතමයන් පමණයි සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්නේ. සමාජයේ සමාන අවස්ථා ළඟාකර ගැනීම සඳහා මාලිමාවේ අය කරන්නේ මොනවාද?
1995දී ජන සවිය ලැබුණේ හාරලක්ෂ හැත්තෑ දහසකටයි. 2015 වෙනකොට සමෘද්ධි ලැබෙනවා ලක්ෂ පහළොවකට. ගිය අවුරුද්ද වෙනකොට අස්වැසුම ලැබෙනවා ලක්ෂ විසිහතරකට. දුප්පත්කම ඉහළ දමා තිබෙනවා. දුප්පත්කම නැති කරලා ආර්ථික ප්‍රතිලාභ ලබන ජනතාවක් බිහිකරන්න ඕනෑ. එතනදි කිසිම ජන කොටසක් එතනින් අයින් වෙන්න බැහැ. අපේ රටේ ලක්ෂ 44ක් පාසල් යන ළමයි. ලක්ෂ 14ක් දරුවන් උදේට කෑමක් නැතිව පාසල් එන බව සංගණනවලින් කියනවා. ඒ රොස්මීඩ් ප්ලේස් එකේ, කුරුඳුවත්තේ ඉන්න ළමයි නොවෙයි. ඒ, උදේට කෑම කන්නේ නැතිව පාසල් යන්නේ ඔබේ අපේ ළමයි. ඒ දරුවන්ට පෝෂණීය ආහාරයක් දෙන්න ඕනෑ. අපි ප්‍රතිපත්තිවලට ඇතුළත් කළා, සියලුම ළමයින්ට එක වසරේ සිට 13 වසර දක්වාම පෝෂණීය දිවා ආහාරක් මාලිමාවේ ආණ්ඩුවකින් ලබා දෙන බවට. ඒ විතරක් නොවෙයි අපේ පාසල් යන ළමයින්ට ආරක්ෂාව, රැකවරණය තිබෙනවාද? ගිය අවුරුද්දේ ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරනවා ළමයි දහදාහකට ආසන්න ප්‍රමාණයකට හිරිහැර සිදු වී තිබෙනවා කියලා. බන්ධනාගාරවලට වැඩිපුරම යන්නේ කුමන අපරාධකරුවන්ද කියා මම සොයා බැලුවා. සිරදඬුවම් ලැබූවන්ගේ වැරදි අතර තිබෙන ප්‍රධානම වැරැද්දක් වී ඇත්තේ ළමයින්ට හිරිහැර කරදර, ලිංගික කටයුතු, දූෂණ කිරීම් ආදිය නිසා දඬුවම් ලැබීමයි. මාලිමාවේ ආණ්ඩුවක් ලෙස දරුවන්ගේ රැකවරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ඒ වගේම ගැබිණි මාතාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ඉන්න දරුවන්ගේ රැකවරණය ගැන අවධානය යොමු කළා, ඔබේ දරුවා කියන්නේ, අපේත් දරුවායි. එසේ සලකා ඒ දරුවන් රැකබලා ගැනීම අපේ වගකීමක් ලෙස සලකා අපි සැලසුම් සකස් කොට තිබෙනවා.
සමාජයේ ඉන්න සෑම ජන කොටසකටම අපි ආමන්ත්‍රණය කරන්න ඕනෑ. අපට ඉන්නවා ලක්ෂ 75කට වැඩි තරුණ දූ දරුවන් කණ්ඩායමක්. අපේ තරුණයාට මෙහේ රැකියාවක් නැහැ. ඉගෙන ගන්න විදිහක් නැහැ. ඒ නිසා පිටරට යනවා. රට හැර යාමට අවශ්‍ය නොවන ලෙස රැකියා වෙළඳපොළ, රැකියා අවස්ථා අපි සැලසුම් කර තිබෙනවා. අපි දැකපු දෙයක් තමයි මත්ද්‍රව්‍යවලට ළමයි ඇබ්බැහි වෙන්නේත්, ගැහැනු දරුවන්ට කරදර සිදුවෙන්නේත් අපරාධවලට යොමු වන්නේත් ඉස්කෝලේ අඩුවෙන් ගිහින් තිබෙන දරුවන් බව. ගම්බද ප්‍රදේශවල ළමයි බහුතරයක් අට වසරෙන් පසුව ගෙදර යනවා. ඒ ගැන කවුරුත් බලන්නේ නැහැ. නැවත ඒ දරුවා පාසලට ගේන්න කෙනෙක් නැහැ. අපි විශේෂ අවධානය ඒ ගැන යොමු කළා. දරුවෙක් සාමාන්‍යපෙළ දක්වා අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනෑ. එක්කෝ එයා ශාස්ත්‍රීය අධ්‍යාපනයට නැත්නම් වෘත්තීය අධ්‍යාපනයට යන්න ඕනෑ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිලධාරීන් යෙදවිය යුතුයි කියන එක අපි යෝජනා කර තිබෙනවා. ඒ නිසා තරුණ දුවා දරුවන් අපේ ආණ්ඩුවක් යටතේ පාසල අත්හැර නොයා රඳවා ගන්න වුවමනා කරන ප්‍රතිසංස්කරණ අපි හැදුවා. මාලිමාව ලෝකය ගැන අලුතින් හිතනවා කියන්නේ ඒ නිසයි.
අපේ රට කොයිතරම් දූෂණය වෙලාද? දිනකට තුන්සියයකට වැඩි විවාහක පිරිසක් දික්කසාද ඉල්ලනවා. ඒ දෙමව්පියන් ඒක විසඳුමක් කියා සිතුවාට දරුවන්ට එය එතරම් මිහිරි වන්නේ නැහැ. ඒ නිසා දරුවන් රැකබලා ගන්න ඕනෑ. ලංකාවේ පවුල්වලින් 25%ක්ම කාන්තාවන් මුල්වූ පවුල්. ඇගේ ආරක්ෂාව අපි සපයන්න ඕනෑ. ඒ පිළිබඳව අපි අවධානය යොමුකොට තිබෙනවා. ඒ වගේම වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන් රැකබලා ගැනීමට, සෞඛ්‍ය පහසුකම්, නිදන්ගත රෝගවලින් පෙළෙන අය අපි ගණනය කර තිබෙනවා. ඔවුන්ට සලසන පහසුකම් පිළිබඳ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා සැලසුම් සකස්කොට තිබෙනවා. හැමෝටම සමාජයේ සමාන අවස්ථා ලබාදෙන්න නම්, අපිට බොහෝ දේවල් කරන්න තිබෙනවා. මේ සියලු වැඩිහිටියන්ට විශ්‍රාම වැටුපක් අරන් දීලා, ඔවුන් සැපෙන් සනීපෙන් තබන පරිසරයක් අපි හදන්න ඕනෑ. මේ එළඹිලා තිබෙන්නේ සිවිල් සමාජයේ වගකීම හරියටම අරගෙන කළ යුතු අවස්ථාවක්. මේ වෙනස කරන්න ඔබට ශක්තිය, ප්‍රඥාව ධෛර්යය ලබාගත යුතු කාලයයි. ඒ නිසා තවත් පමා වෙලා බැහැ. ඔබේ දායකත්වය අපේ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා දායක කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ අවස්ථාව මඟහරින්න එපා. ඔබේ පන්සලේ, ගෙදර, පාසලට අපේ පණිවිඩය ගමට අරගෙන යන්න. ඔබේ සහයෝගයෙන් මාලිමාවේ ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් පළමු වරට පත්කර ගන්න පුළුවන්.
“මෙවැනි අපරාධ සිදුවෙද්දී මහජන මුදලින් නඩත්තු කරන පොලිස්පතිවරයෙක් අවශ්‍ය වෙනවාද?”
-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න-
අද අපි රැස්ව සිටින්නේ ඓතිහාසික භූමියකයි. හෙළ රජදරුවන්ගේ උරුමයන් දෙකක් අප ආසන්නයේ තිබෙනවා. සීගිරිය සහ රන්ගිරි දඹුලු රජමහා විහාරය. ඒ වගේම 1848 මාතලේ කැරැල්ල අවස්ථාවේ විශාල කාර්යභාරයක් ඉටුකළ සිද්ධස්ථානයක් නුදුරේ සිට අපි රැස්වී සිටිනවා. අපේ වාරි ශිෂ්ටාචාරය උපයෝගී කරගෙන මේ බිම සරුකෙතක් බවට පත් කළ ගොවිකම රජකම සේ සලකා කටයුතු කරන වැඩි පිරිසකගේ සහභාගිත්වයක් මේ භූමියේ තිබෙනවා. මේක සාම්ප්‍රදායික වගාවන්ගෙන් ඔබ්බට ගොස් ආර්ථික භෝග වගාවන්ට යොමු වී රටටම ආහාර සපයන භූමියක්. ඒ නිසාම දඹුලු පුරවරය රටටම එළවළු සපයන මධ්‍යස්ථානයක්.
නමුත් ඔබේ අරමුණු ඉටුවී තිබෙනවාද යන්න පැහැදිලිව දන්නේ ඔබයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දේශපාලනයෙන් වෙළාගෙන තිබෙනවා මිස ගොවියාට සෙතක් සැලසෙන්නේ නැහැ. අස්වනු විකුණා ගන්න බැරිව දමායන ගොවියන් පසුපස බැංකු සහ ණය හිමියන් හඹාගෙන එනවා. අන්තිමේ ගොවියාට සියදිවි නසාගන්න සිදුවෙනවා. ඒ අතර මහජන බැංකුවේ බොල් ණය කෝටි 5400ක් කපා හැර තිබෙනවා. ගොවියා වස බී සියදිවි නසා ගන්නා අතර, මේ කපා හරින ලද ණය අරගෙන තිබෙන්නේ දේශපාලනඥයන්ට සම්බන්ධ ව්‍යාපාරිකයනුයි. තව සමහරු දේශපාලනඥයන්. ඔයගොල්ලන්ගේ ඡන්දයෙන් ගිය එවැනි අය මාතලේ දිස්ත්‍රික්කයේත් සිටිනවා. තරු පංතියේ හෝටලයක් අයිති දේශපාලනඥයෙකුගේ කපා හැරි ණය මුදල රුපියල් කෝටි 300යි. ඉතිහාසයේ පටන් දඹුල්ල හැඳින්වූයේ රන්ගිරි දඹුල්ල කියලා. ආර්ථික මධ්‍යස්ථානය පැමිණීමෙන් නොනිඳන නගරයක් බවට පත්වුණා. ලංකාවේම තැබෑරුම් රාත්‍රී 10.00ට වහන්න ඕනෑ. දඹුල්ල නගරයේත් එහෙමයි. නමුත් දේශපාලනඥයන්ට සම්බන්ධ නොනිදන තැබෑරුමක් දඹුල්ල නගරයේ තිබෙනවා. පොලීසියෙන් හෝ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එය වටලන්නේ නැහැ. මෙයට ටික දිනකට පෙර නීති විරෝධී මත්පැන් පානය කර, දඹුල්ලේ පුද්ගලයන් හයදෙනෙක් මිය ගියා. පිටපළාත්වලට ගිය කී දෙනෙක් මැරුණාද දන්නේ නැහැ. නීතියක් ක්‍රියාත්මක වෙනවාද?
විසඳා නැති මනුෂ්‍ය ඝාතන ගණනාවක් දඹුල්ල නගරයේ සිදුවී තිබෙනවා. 2022 මනුෂ්‍ය ඝාතන 559ක් සිදුකර තිබෙනවා. 2023දී 778යි. මේ අපරාධයන් සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු වීමේ සම්භාවිතාව 10%යි. අතුරුගිරියේදීත් මහ දවල් මෙවැනි ඝාතන සිදුකළා. මහජනතාවගේ මුදල්වලින් නඩත්තු කරන පොලිස්පතිවරයෙක් මෙවැනි අපරාධ සිදුවෙද්දී අවශ්‍ය වෙනවාද? පොලීසිය බාර ඇමතිවරයෙක් අවශ්‍ය වෙනවාද? මේ අපරාධ අපි තවදුරටත් ඉවසනවාද? එහෙම නැතිනම් වෙනසක් කරා යනවාද? වෙනස සිදුකරන්න සුදුසු නායක සමූහයක් අපට ඉන්නනවා. ඒ වගේම දූෂණයට, වංචාවට, එරෙහිව සටන් වදින නායකයෙක් ඉන්නවා. ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පොදු ජනතාවගේ ජනාධිපති බවට පත්කර, රට වෙනස් කිරීම ඔහුට බාර දෙමු කියන ඉල්ලීම කරනවා.
“ඡන්දය ගත් ජඩ පාලකයන් අහිංසක ජනතාවගේ බලාපොරොත්තුවලට පා පහර දුන්නා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර-
ඔබ දැක්කාම ඉතාම සතුටක් ආඩම්බරයක් සහ දරා ගන්න බැරි තරම් ආදරයක් දැනෙනවා. මේ රට සීඝ්‍රයෙන් ප්‍රපාතයට රූටා යමින් තිබෙන මොහොතක ඒ තත්වයෙන් මුදා ගන්න මාතලේ ආදරණීය අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන් දඹුල්ලට එක්වී සිටීම සුවිශේෂී මොහොතක්. මනුෂ්‍යයෙක් විදිහට ආදරය, බලාපොරොත්තුව, රැගෙන ආ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් ලෙස පුංචි කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්න මා බලාපොරොත්තු වෙනවා. මෙයට සති දෙකකට පෙර තරුණ බල ඇණියෙන් කැකිරාව නගරය වසා ගත්තා. මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන වයස් භේදයකින් තොර සියලු දෙනා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා අද දඹුල්ල නගරය වසාගෙන සිටිනවා. තව මාස තුනකින් ආරම්භ වන නව පුනරුදයේ පෙරනිමිත්තක් වන මේ මහා රැලිය අපගේ ජයග්‍රහණය කිසිවෙකුටත් වළක්වන්න බැරි බව පෙන්වා දෙනවා.
බොහෝ දෙනෙක් මේ තත්වය ඉවසන්න බැරිව කලබල වී සිටිනවා. අධිකරණයට ගොස් මැතිවරණයට නොයෙක් වෙට්ටු දාන්න උත්සාහ කරනවා. නමුත් ජනතාව බුද්ධිමත්ව ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට හෝ පොදු ජන එක්සත් පෙරමුණට හෝ වෙනයම් පක්ෂයකට ඡන්දය දුන් ජනතාව අතේ කිසිදු වරදක් නැහැ. ඔවුන් ඒ පක්ෂවලට සහයෝගය දැක්වූයේ මේ රට ගැන තිබෙන විශාල බලාපොරොත්තුවකින්. ඡන්දය ගත් ජඩ පාලකයන් ඒ අහිංසක ජනතාවගේ බලාපොරොත්තුවලට පා පහර දුන්නා. බලාපොරොත්තු තබා ගත් ජනතාවගේ කිසිදු වරදක් නැහැ. ඒ සියලු දෙනා දැන් මාලිමාව වටා එකතු වී ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවට මුළු රටම සාක්ෂි සපයනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ණය ගැනීම, බදු ගැහීම, විකිණීම හැර වෙනස් කිසිදු විසඳුමක් නැතිව ජනතාව තලාපෙලමින් ඉන්නවා. හොරකම, වංචාව, දූෂණය ත්‍රිවිධ ශික්ෂාවන් කරගත් පාලකයින් මේ රට වසර 76ක් පුරා ප්‍රපාතයට ඇදගෙන ගියා. ලියන්ගහවෙල පඤ්ඤාසේකර හාමුදුරුවන් කවියකින් කියා තිබෙනවා හොඳ අදහසක්.
හොරා කෑ වරදට
යා යුතු හොරෙක් දඟගෙට
අඳී නම් රජෙකුට
කොහෙද වැසියෙනි හෙටක් රටකට
හොරෙක් රජෙකුට අඳිනවා නම් රටේ ඉදිරි ගමන ගැන කවර කතා ද කියලයි උන්වහන්සේ අහන්නේ. මේ වෙනකොට හොර රජවරු ජනතාවට සුළු සුළු අල්ලස් දෙමින් ඡන්දය මංකොල්ලකෑමට හදනවා. අස්වැසුම, උරුමය ඔප්පු, හාල් කිලෝ 20 බෙදන ඒවාට ජනතාව අහුවෙන්නේ නැහැ. මෙදාපාරත් රැවටුණෝතින් දරුවාට හෙටක් නැතිව යාවි. ඒ අල්ලස්වලට යට නොවී ජනතා ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.