Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ගොවි ජනතාව ණය බරෙන් මුදාගෙන අභිමානවත් ගොවි පරම්පරාවක් බවට පත්කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ගොවි රැලිය – දෙහිඅත්තකණ්ඩිය – 2024.06.20-)

ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ ලොකු ධනවතුන් නියෝජනය කළ ආණ්ඩු. ඒගොල්ලන්ගේ ආණ්ඩු හැමදාම තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස. ත්‍රීවිල් එකට තුන් හතර ගුණයක බද්දක් ගහනවා. ඒගොල්ලන්ගේ වාහනයට ඒ වගේ ලොකු බද්දක් ගහන්නේ නැහැ. ඕගොල්ලන් ගන්න සෑම සීනි කිලෝ එකකට, පරිප්පු කිලෝ එකට, සබන් කැටේට, බෙහෙත් ටිකට බද්දක් ගහනවා. බදු ගහලා එකතු කරන සල්ලිවලින් ඒගොල්ලන්ගේ අයට බදු නිදහස දෙනවා. පසුගිය දා වාර්තා වුණා කෝටි විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව ඉන්න බව. සීනි කිලෝ එකකට රුපියල් 50ක් විතර, තෙල් ලීටරයට රුපියල් 75ක් විතර බද්දක් ගහනවා. පොදු ජනතාවට බදු ගහනවා. ඒ ගොල්ලන්ගේ හිතමිතුරන්ගේ බදු නිදහස් කරනවා. ඒ මොකද? ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නිසා. තමුන්නාන්සේලා බැංකුවලින් ණය අරගෙන වගා කරනවා. වගාව විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය නොගෙවීම නිසා උසාවි ගෙනියනවා. ඒ අපි පොඩි මිනිස්සු නිසා. නමුත් දයා ගමගේ කෝටි 500ක් විතර පොලු තියලා. එයා හෙලිකොප්ටරෙන් යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඇලෝසියස් මුදලාලි, බැංකුවලට පොලු තියලා. එහෙම නැතිනම් බදුවලට පොලු තියලා. එයාලට මොනවත් වෙන්නේ නැහැ. නමුත් තමුන්නාන්සේලා ණයක් අරගෙන ගෙව්වේ නැතිනම් ඉඩම, ගේ දොර වෙන්දේසි කරන තැනට එනවා. මෙපමණ කලක් වෙලා තිබෙන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නාට, ඒ ආණ්ඩු හැමදාම පාලනය කළේ ඒ අයගේ පංතියේ අය ගැන හිතලා.

දැන් යනවා, යුක්තියේ මෙහෙයුම කියලා එකක්. අහුවෙන්නේ කවුද? කුඩු ටිකක් ගහන කෙනෙක්. ඒ අය පොඩි මිනිස්සු. අපේ පංතියේ අය. කෝටි දෙසීයේ තුන්සීයේ කුඩු අහුවෙනවා. එතරම් ප්‍රමාණයක කුඩු ගේන්න පුළුවන් කාටද? ඒ අය අහුවෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. අම්පාරේ බන්ධනාගාරයට, වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහින් බලන්න කවුරු හෝ ලොකු මහත්තයෙක් හිරේ ඉන්නවාද? මේ දවස්වල රිමාන්ඩ් එකේ කෙහෙලිය ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. වැරදි කරන්නේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විතරද? උඩ ඉන්න අය වැරදි කරනවා. නීති කඩනවා. හොරකම් කරනවා. ව්‍යවස්ථා කඩනවා. හැබැයි ඒ ගොල්ලන්ට දඬුවමක් නැහැ. ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. මෙච්චර කාලයක් මේ රටේ පොදු ජනතාව ආණ්ඩු හැදුවාට, පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි ඕගොල්ලන් හමුවෙන්න ආවේ, අපි ඔක්කෝම එකතුවෙලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදා ගනිමු කියන යෝජනාව කරන්න. මේ ඔබලා ආවේ ඒ ආණ්ඩු එපා වෙලා වෙනස් කරන්න ඕනෑ කියන අදහසින්. දැන් ඔබ කරන්න ඕනෑ තවත් අලුත් අය එකතු කරන එක.

මේ ගොවි ජනපදයේ වකුගඩු රෝගයට ගොදුරු වුණු අම්මලා, තාත්තලා විශාල පිරිසක් ඉන්නවා. මේක ව්‍යසනයක් බවට පත්වෙලා. වකුගඩු නරක් වුණාම ඉඩකඩම් විකුණලා බේත්හේත් කරන්න සිදුවෙලා තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධපුරේ තිරප්පනේ වකුගඩු රෝගයෙන් සිටි ගොවි මහතෙක් මහකන්නයේ අස්වැන්න නෙළා ගෙන ගෙදරට ගෙනත්, මේ වී විකුණලා මට බෙහෙත් කරකොට ගෙදර අය අමාරුවේ වැටෙනවා කියලා ලියුමක් ලියලා ඔහු වස බීලා මැරුණා. ගොවි මහත්තුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගියෙක් හැදෙනවා කියන්නේම ගෙදරම ජීවිත විනාශ වෙනවා. ඉඩකඩම් විකුණන්න වෙනවා. ස්වාමියා මැරෙනවා. පවුලම අනාථ වෙනවා. මේක යුද්දෙටත් වඩා විශාල ව්‍යසනයක්. කුමන හෝ පර්යේෂණයකින් මේ වගුකඩු රෝගයට හේතුව මොකක්ද කියා සොයාගෙන තිබෙනවාද? ඒවා ගැන පර්යේෂණ කරන්න උනන්දුවකුත් නැහැ. දේශපාලකයෙකුට වකුගඩු රෝගය හැදුණා කියා ඔබ අසා තිබෙනවාද? හැබැයි ඩෙංගු හැදුනා කියා අසා තිබෙනවා. ඩෙංගු වඳ කරන්න මාරාන්තික පොරයක් තිබෙනවා. ඒ ඇයි? මදුරුවා ඒගොල්ලන්ටත් විදින නිසා. අද වකුගඩු රෝගය හැදිලා කෙනෙක් මිය ගියාම මරණ සහතිකේ ලියන්නේ “හඳුනා නොගත් හේතුවක් මත වකුගඩුව අක්‍රීය වී මියගොස් ඇත” කියලා. මේ 21වැනි සියවසේ අපේ ගම්වල අම්මලා තාත්තලා මියෑදෙනවා ලෙඩේ මොකක්ද කියා දන්නේ නැතිව. ඒ ගැන සොයන්න මේ පාලකයන්ට ඕනකමක් නැහැ. තවම හේතුව සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව නිසි පර්යේෂණයන් නොකිරීම. අද හඳේ පස් පරීක්ෂා කරන ලෝකයේ දෙහිඅත්තකණ්ඩියේ හඳුනා නොගත් රෝගයකින් මිනිසුන් මැරෙන ලෝකයක් තිබෙනවා. මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසයි අපට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පර්යේෂණ කරලා, මේ රෝගයට හේතුව සොයා ගන්නත්, මෙය පැතිරී යාම වැළැක්වීමටත් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් දෙනු ලබන ජීවන වියදම් දීමනාව මීට වඩා වැඩි දීමනාවක් බවට පත්කරනවා. හොරකම් කරපු ධනය අරගෙන ඒ අයට බෙදා දෙනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පළමු කාර්යභාරය වන්නේ පොදු ජනතාව රැකබලා ගැනීම. මේ පළාත්වල වන අලි අනතුරු නිසා කොතරම් විනාශයක් වෙනවාද? වගාව, දේපොළ, නිවාස, ජීවිත සියල්ල වන අලි විනාශ කරනවා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුව කළේ ‘වල් අලියා’ වෙනුවට ‘වන අලියා’ කියා කියන්න ගැසට් ගහපු එක. ඒ වගේම අලිත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. වන අලි තර්ජනය වැඩිවෙමින් තිබෙනවා. දේශපාලකයන් මැදිහත් වෙලා අලි ඉන්න කැලෑ, ඔවුන්ගේ කොරිඩෝ ටික, ඔවුන්ගේ ආහාර ටික විනාශ කළා. අලියා ගමට තල්ලු කළේ මේ ආණ්ඩු. අද මේක ව්‍යසනයක් බවට පත්වෙලා. අවුරුද්දකට ආසන්න වශයෙන් මිනිස්සු 200ක්වත් අලි ගහලා මැරෙනවා. මේ මැරෙන්නේ ගම්වල අම්මලා, තාත්තලා, දරුවන්. පාලකයන්ට ගාණක් නැහැ. සාමාන්‍ය ජනතාව ගැන තෙතමනයක් නැති පාලකයෝ. අපේ සැලසුම අලි ගමට පැනීම වැළැක්වීම සඳහා හොඳ විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතුවෙලා බලා ගන්න විදුලි වැටක්, නැවත අලි කොරිඩෝ ටික විවෘත කර, කැලෑ මැද තිබෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ඔවුන්ට වතුර ටික, කැලෑ වර්ධනය වෙලා ඔවුන්ගේ ආහාර ටික සැපයෙන ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නැගුවොත් වල් අලි තර්ජනය නතර කර ගන්න හැකිවෙනවා. ඒගොල්ලන් ඒවා නොකළාට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් එය ඉටුකරනවා.

ගමේ ජනතාවට වගා කරන්න ඉඩමක් නැත්නම්, ආදායමක් ලැබෙන රස්සාවක් නැතිනම්, ඒ පවුල දුප්පත්. දුප්පත්කමේ විෂය චක්‍රයට හවුල් වුණු අය දුප්පත්කමින් හැමදාම මිරිකිලා ඉන්නවා. රස්සාව අහිමි වීම, කුඹුර සින්නවීම නිසා දුප්පත්කමට පත්වුණු අය ඉන්නවා. ආදායම් ඉපයීම් නැති නිසා, ඇඟට ශක්තිය නැති නිසා දුප්පත් වූ අය ඉන්නවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයකින් පෙළෙනවා. මේ නිසා දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න නොහැකිව තියෙනවා. දුප්පත්භාවය නිසා නූගත්කමත්, ඒ නිසා විවිධ අපරාධයන්හි යෙදීමත් සිදුවෙනවා. දුප්පත්භාවය නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් නැති වෙනවා. ඒ නිසාම කෙසඟ සිරුරක්, මන්දපෝෂණයත් ඇති කරනවා. ශරීරයත් මොළයත් නිසි පරිදි වර්ධනය වෙන්නේ නැහැ. දුප්පත්කම නිසාම ඉක්මනින්ම මහලු වෙනවා, මියැදෙනවා. දුප්පත්භාවය ව්‍යසනයක් වෙලා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පළමු කොටම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මේ වෙලාවේ දුප්පත් ජනතාව රැකබලා ගන්න ඕනෑ. ඒ ඒ අයට අවශ්‍ය වන සහනාධාර ලබාදෙනවා. රටේ සියලුම පුරවැසියන්ට, ආහාර, සෞඛ්‍යය, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා. අනාගතයේ ක්‍රමානුකූලව ධනය උපද්දන, වත්කමක් ඇති කරන පවුලක් බවට පත්කරන්න සැලැස්මක් අපි සකස්කොට තිබෙනවා. කිසිම පුරවැසියෙක් හැමදාම ආණ්ඩුවෙන් දෙන සොච්චමකින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් ආඩම්බරයෙන්, ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතියි. ඒ සඳහා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෑ. හැමදාම ඡන්දයක් එන කොට සාරියට, හාල් කිලෝ දෙකට, බත් පැකට් එකට ඡන්දෙ දෙන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ.

ගෞරවයෙන් ජීවත්වෙන ආර්ථික තත්වයක් හදන්න ඕනෑ. ඒක කරන්නේ කොහොමද? ඔයගොල්ලන් දැනට යෙදෙන්නේ කෘෂිකර්මාන්තයේ එය වඩාත් ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. අපි යළිත් ශක්තිමත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයේ යෙදෙන අයට අඩු පොලියට, ඇප රහිතව ණයක් ගන්න අවස්ථාව හදනවා. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕනෑ. ගොවි ජනතාව හිරවී ඇති ණය බරෙන් නිදහස් කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. ගමේ පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, වී ගන්න මුදලාලිට, ලංකා බැංකුවට, මහජන බැංකුවට, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන තැනටත් ණයයි. ණය උගුලකට හිරවුණු පුරවැසියෙකුගේ ආර්ථිකය යහපත් තත්වයට පත්වෙන්නේ නැහැ. මේ ගොවියා කමතෙන්ම වී ටික විකුණලා ණය ගෙවලා හිස් අතින් ගෙදරට එනවා. අපි ගොවියා මේ ණය උගුලෙන් මුදා ගන්න ඕනෑ.

2001 පරිවාස ආණ්ඩුවේදි අපි රුපියල් 25,000ට වඩා අඩු සියලු ගොවි ජනතාවගේ ණය කපාහරින්න යෝජනා ගෙනාවා. අපි ඒ වැඩේ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයයි හිටියේ. ගොවි ජනතාව හිරවෙලා ඉන්න ණයවලින් නිදහස් කරන්න යම් ප්‍රතිශතයක් අපි කපා හරින්න ලැහැස්තියි. ගොවි ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කරන්න නම්, පළමු කොටම ණයවලින් නිදහස් කර ගන්න ඕනෑ. ඒ වගේම නැවත ණය උගුලේ හිරනොවෙන වැඩසටහනක් දියත් කරන්නත් ඕනෑ. ඒ නිසා තමයි සංවර්ධන බැංකුවක් ඕනෙ. හැබැයි ණය මුදල අරගෙන හිතෙන හිතෙන දේවල් වගා කරන්න බැහැ. ණය මුදලත් එක්ක කොන්දේසියක් ලැබෙනවා. වගා කිරීමට වඩා සුදුසු දේ මොනවාද යන්න පැහැදිලි කරනවා. ඕනෑම භාණ්ඩයක් වෙළඳපොළට එන්නේ, ඒ භාණ්ඩය කොතරම් වෙළඳපොළට ඕනෑද කියන එක මත. ෆෝන් නිෂ්පාදකයන් වෙළඳපොළට ෆෝන් නිදහස් කරන්නේ රිසර්ච් එකක් කිරීමන් පසුව. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව මේ වසරේ කොතරම් වැඩිවෙලා තිබෙනවාද යන්න පිළිබඳ දත්ත එකතු කරනවා. ඒ අනුව ෆෝන් නිෂ්පාදනය කරනවා. එවිට මිලදී ගන්න එකට සරිලන සැපයුමක් තිබෙනවා. එවිට මිල බිඳ නොවැටී ස්ථාවර වෙනවා. වෙළඳපොළ හැසිරෙන්නේ දත්ත තොරතුරු මත. හැබැයි ඕගොල්ලන් වගා කරන්නේ දත්ත තොරතුරු මතද?

ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. අපි කියනවා ජනතාවට යම් යම් කාලවලදී වෙළඳපොළට අවශ්‍ය වෙන එළවළු, ළුෑණු, මිරිස් මොනවාද කියන එක ගැන. ඒව ද්‍රව්‍ය වගාකරන්න කියා ගොවි ජනතාව දැනුවත් කරනවා, උපදෙස් දෙනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ගොවි ජනතාව වගා කරනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ෆෝන්, රතිඤ්ඤා, සබන් හදනවා. හැබැයි දන්නේ නැති වෙළඳපොළකට එළවළු හදනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ලංකාවේ පළමුවැනි වතාවට සැලසුම් කරන ලද වගාවක්, හඳුන්වා දෙනවා. වෙළඳපොළට සරිලන වගාවන් කරනවා. අද ගොවියා වගාකරන්නේ ඉවට. ඒ වගේම නෙළන අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යනවා. වාර්තාවල සඳහන් වෙනවා නිෂ්පාදනය කරන සමහර එළවළුවලින් 38%ක් පමණ අපතේ යනවා. පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් හදලා ගොවි ජනතාවගේ ඵලදාවට සාධාරණ මිලක් එන ක්‍රමයක් ජාතික ජන බලවේගයේ අපි හදනවා.

අද ලෝකයේ කෘෂිකර්මාන්තය කරන්නේ ඉවට නොවෙයි. පසට ගැලපෙන්නේ මොනවාද, පසට ඇතුල් කළ යුත්තේ මොනවාද යන්න සෙවීමට තරම් දියුණු වෙලා තිබෙනවා. අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක වැඩ කරන පර්යේෂණ විශාල ගණනක් කළ චීනය, ජපානය වැනි රටවල් ගණනාවක සේවය කර තිබෙන මහාචාර්යවරයෙක් හමුවුණා. ඔහු පස පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. පස කියන එක වැදගත්. කලාපෙන් කලාපෙට පසේ සංයුතිය බලලා යෙදිය යුතු බෝගය තීරණය කරන්න ඕනෑ. ඒ වගේම නයිට්‍රජන්, පොස්පේට්, පොටෑසියම් කොතරම් දාන්න ඕනෙද කියා තීරණය කරන්න ඕනෑ. විද්‍යාත්මක ක්‍රමයක්, වැඩි අස්වැන්න ලබා ගන්න ක්‍රමයක්. එළඹෙන 29දා අපි කොළඹ සූදානම් කර තිබෙනවා, ලෝකයේ වෙසෙන ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ, ලංකාවේ විද්‍යාඥයන් පිරිසකුත් සහභාගි කරගෙන අපේ රටේ පර්යේෂණ දියුණු කිරීමේ මණ්ඩලයක් ගොඩනඟනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණ කෙරෙන්න ඕනෑ. තායිලන්තය වගේ රටවල එළවළු, පලතුරු කල්තබා ගැනීම පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. අපි කල්තබා ගැනීමේ ක්‍රම පර්යේෂණයන් මගින් ලංකාවට ගේන්න ඕනෑ.

සමහර එළවළු, පලතුරුවලින් පරිභෝජනය සඳහා පමණක් නොවෙයි තවත් දේ නිපදවනවා. රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. වට්ටක්කා, කැරට් වැනි එළවළුවලින් නව නිෂ්පාදනයන් කිරීම් කරන්න ඕනෑ. ගොවියාගේ ජීවිතය කෘෂිකර්මාන්තය අනුව දියුණු වෙන්නේ එහෙම තමයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොවි ජනතාවගේ ජීවිතය ණය බරෙන් නිදහස් කරගෙන ගෞරවයක්, ආඩම්බරයක් සහිත ගොවි පරම්පරාවක් බවට පත්කරන සැලැස්ම අපි හදනවා.

එපමණක් නොවෙයි ගොවි ජනතාවගේ දරුවන්ට අනාගතය නිර්මාණය වෙන්න ඕනෙ අධ්‍යාපනයෙන්. තාත්තා කුඹර කෙටුවාට උරුමයෙන්ම පුතා කුඹුරු කොටන්න ඕනෑ නැහැ. මේ තරුණ පරම්පරාව මේ වියගසෙනුත් නිදහස් කර ගන්න ඕනෙ. තාත්තා නියැලුණු ආර්ථිකයෙන් එළියට එන්නේ කොහොමද? ඒකෙ ප්‍රධානම වන්නේ අධ්‍යාපනය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගම්වල දරුවන්ට නව ලෝකයේ දොරටු විවෘත කර ගැනීම සඳහා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. කොළඹ නගරයේ පාසලත් දෙහිඅත්තකණ්ඩියේ ගමේ ඉස්කෝලෙත් සෑම ඉස්කෝලෙකම දරුවන්ට සමාන, සාධාරණ අත්‍යවශ්‍ය පහසුකම් සහිත අධ්‍යාපනයක් අපි හදන්න ඕනෑ. අලුත් දැනුම සහිත දරුවන් ගම් ඇතුලේ හැදෙන්න ඕනෑ. ලෝකයේ දියුණු තාක්ෂණය ගම් ඇතුලට ගලාගෙන එන්න ඕනෑ. ඒ ගොල්ලන් රස්සාවලට යන්න ඕනෑ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වෙන්න ඕනෑ. තවත් දරුවන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩි කර්මාන්තයක් පටන් ගන්න ඕනෑ. ඒ නිෂ්පාදනයන් දෙහිඅත්තකණ්ඩියේ අයට විතරක් නොවෙයි මෙතනින් එහාට, වෙනත් ප්‍රදේශවලට විතරක් නොවෙයි ලෝකයටත් ගෙනියන්න ඕනෑ. එහෙම කරන්න නම් නව තාක්ෂණය එකතු කරන්න ඕනෑ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් ලෙස සලකා තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හදන්න. ලක්ෂ ගණන් හදන්න ඕනෑ. අවුරුද්දකදී ඉස්කෝලවලින්, විශ්වවිද්‍යාලවලින් ලක්ෂ තුනක් විතර එළියට එනවා. මේ ලක්ෂ තුන රස්සාවලින් පුරවන්න බැහැ. ආණ්ඩුවේම රස්සා තිබෙන්නේ ලක්ෂ පහළොවයි. පිරවීම නිසාම ඒවායෙත් වැඩිවෙලා තිබෙන්නේ. පෞද්ගලික අංශයේ තිබෙන්නේ ලක්ෂ 24යි. ආණ්ඩුව ඇතුලෙත්, පෞද්ගලික අංශය ඇතුලෙත් විශාල ලෙස රස්සා ඇතිවෙන්නේ නැහැ. සමහර ආයතනවල රැකියාවලින් එළියට දමමින් තිබෙනවා. අලුත් ඉඩක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් තුළයි. හැම තරුණයෙක්ම හිතන්න ඕනෑ අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න, අලුත් කර්මාන්තයක් කරන්න, අලුත් ව්‍යවසායකයෙක් වෙන්න. ආණ්ඩුව මැදිහත් වෙලා සංවර්ධන බැංකුවලින් අඩු පොලියට ණය, තාක්ෂණය ලබා ගන්න හැකියාව දෙනවා. ලෝකයේ වෙළඳපොළක් සොයා දෙනවා. දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාවක් නව ව්‍යවසායකයෙක් හැටියට හැදෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක නිෂ්පාදනයේ යෙදෙන, ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ සැපයුමේ යෙදෙන මධ්‍යස්ථානයක් බවට දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාව පත්වෙනවා. පරණ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වෙලා තිබුණු ගම වෙනස් වෙන්න පටන් ගන්නවා. අලුත් දේවල් බලන්න කොළඹම යන්න ඕන නැහැ. මේවා වෙනස් වෙන්න ඕන. ගම්පිටින් නව පරිවර්තනයකට පත් වෙන්න ඕනෑ.

මේ පාලකයා කවදාවත් එහෙම හිතුවේ නැහැ. තාත්තා ජනාධිපති වුණා, පුතා ජනාධිපති කරන එක තමයි ඔවුන්ගේ සිහිනය වුණේ. තාත්තා ඇමති නිසා පුතා ඇමති කරන්න ඕනෑ වුණා. මහත්තයා මන්ත්‍රී, නෝනත් මන්ත්‍රී වෙන්න ඕනකම තිබුණේ. ඒ ගොල්ලෝ ගම අලුත් පරිවර්තනයකට, අලුත් සංවර්ධනයකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. ගම වෙනස් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. “දුප්පතාගෙ හිතවතා”, “ගමෙන් ආව ගැමියා” කියනවා. මොන හිතවත්කමක්ද, ගැමියා ගැන අධිකරණයත් දන්නවා. පොළොන්නරුවෙන් ආවා කීවත්, ගිරුවාපත්තුවෙන් ආවා කීවත් අවුරුදු දහයක් පහළොවක් හොඳ ගේමක් දුන්නා. ගම් හැදුවේ නැහැ. ඒ ගොල්ලෝ, ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. වටේ ඉන්න කණ්ඩායම් හැදුණා. ගම් පරිවර්තනයක් කළේ නැහැ.

අපි ගම් මේ විදිහට තියාගෙන යනවාද, දියුණුවේ දිසාවට වෙනස් කරනවාද? ජාතික ජන බලවේගයේ ඉතා හොඳ ස්ථාවර සැලැස්මක් තිබෙනවා. ගම, දියුණුවේ දිසාවට පරිවරතනය වෙන ගමක්. මොන වගේ දිසාවක්ද, හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් තිබෙන, හොඳ ආදායම් මාර්ගයක් තිබෙන පුරවැසියන් ජීවත් වෙන, මානසික නිදහස තිබෙන, ගමේ අය එකතු වෙලා ටීටර් එකක් පෙන්වන, පවුලේ අය එකතුවෙලා චිත්‍රපටයක් බලන්න යන, පවුලේ අය රෑට එළියට ගිහින් කෑම වේලක් කාලා එන ගමක්. මේ සතුට ගමට ඕන නැද්ද? එහෙම ගමක් ඕනෑ. කොළඹ ඔය හැමදෙයක්ම තිබෙනවා. ගම්වල අයට එහෙම ජීවිතයක් නැහැ. ගම්වල මිනිස්සු ජීවිතේ මොකක්ද කියලා දන්නේ නැතිව මැරෙනවා. අපේ දරුවන් ජීවත් වෙන්නේ රස ආහාරයක් මොකක්ද කියලා දන්නේවත් නැතිව. ඒ නිසා මේක අපි පරිවර්තනය කරන්න ඕනෑ. හොඳ අධ්‍යාපනය ලබපු, ලෝකයේ ජයග්‍රහණය කළ දරුවන් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලවල වැඩකරන දරුවන් ඉන්නවා. කුඩා වෘත්තියක් කරන, කුඩා ව්‍යවසායක් කරන, හොඳ ගොවි මහත්තයෙක්, ඉන්න ගමක් ඕන නැද්ද. ගමකට හවස පහ වෙනකොට ගිහින් බලන්න හොඳ සිහියෙන් ඉන්න වැඩිහිටි පිරිමියෙක් සොයා ගන්න අමාරුයි. එකම සතුට හවසට අඩියක් ගහන එක විතරයි. බිරිඳට, දරුවාට එය සතුටක්ද? පවුලට දියුණුවක්ද? ඒක ජීවිතයක් නොවෙයි.

අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු හැට හැත්තෑව වෙන කොට මියැදෙනවා. ඒ කෙටි ජීවිත කාලය රසවත් වෙන්න ඕන නැද්ද. සතුට ඕන නැද්ද. සැනසුම ඕන නැද්ද. ඉපදිලා ගතවෙන මොහොතක් පාසා මැරි මැරි ජීවත් වෙනවා නම්, ඒ ජීවිතවලින් අපට ඵලක් නැහැ. මේ පරිවර්තනයට ලක් කරන ගම්, හොඳ මිනිස්සු හිටිය ගම්, අනෙකා ගැන තෙතමනයක් තිබෙන ගම්, අනෙකා ගැන සොයා බලන ගමක්, සතුටින් ඉන්න ගමක් එදා තිබුණා. ඉස්සර හැමෝම එකතුවෙලා දවස් හතේ නාට්‍ය එළිවෙනකම් එදා බැලුවා. අද එහෙම එකතු වෙලා මොනවා හෝ කරනවාද? අද ඒ සියල්ල නැතිවෙලා. ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. අපි හදන්න යන්නේ සෑම අතින්ම දියුණු ගමක්; මනසෙන්, සතුටින්, ආර්ථිකයෙන්, ජනතාව අතර සමගියෙන් සිටින ගමක්. ජාතික ජන බලවේගය හදන්නේ එහෙම සමාජයක්. අපි ගම්වල ඉපදුණු, ගම්වල හැදුණු වැඩුණු මිනිස්සු. මේවායේ මිනිසුන්ගේ ජීවිත ගතවුණේ කොහොමද කියා අපි දන්නවා. අපේ යහළුවන්ගේ, හිතවතුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද දන්නවා. ඔවුන් මුහුණ දුන් ව්‍යසනය අපි දැක්කා. අන් හැමට වඩා ජාතික ජන බලවේගයට වගකීමක් සහ අයිතියක් තිබෙනවා ගම්වල දේශපාලනය කරන්නත්, ගම් වෙනස් කිරීම සඳහා පදනම සකස් කිරීමටත්. අපේ දේශපාලනය බඩු බෙදනවා නොවෙයි. අපි දැනුම බෙදනවා. දැනුම ඒකරාශී කරගෙන සමාජ පරිවර්තනයක් කරනවා. මේ ක්‍රමය සියල්ල වෙනස් කරනවා. ඇත්ත ජනතාවගේ ආණ්ඩුවක් අපි හදනවා. ඒක වෙනස් කරන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව කිසිසේත් මග හරවා ගන්නේ නැතිව ප්‍රයෝජනය අපි ගනිමු. තව මාස දෙක තුනක් තිබෙන්නේ. ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට කතා කරන්න. ඔවුන් ජාතික ජන බලවේගය දිසාවට හරවමු. අපි ඔක්කෝම එකතු වෙලා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරලා දියුණු ගමක් අපේ රටේ හදමු.

Dehiaththakandiya-Govi-Samuluwa

“රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලය දක්වා ගෙන ඒමට නිසැක ලෙසම මැදිහත් වෙනවා”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න-

ලංකාවේ වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කය. පසුගිය කාලවල මේ දිස්ත්‍රික්කයට විශාල ලෙස අසාධාරණකම් සිදුවුණා. සේනානයක සමුද්‍රයේ වතුර තිබියෙදී වතුර දුන්නේ නැහැ. අපිට සිදුවුණා මහා ගොවි ජන අරගලයක් කැඳවලා, අම්පාර නගරය වටලලා, දයා ගමගේලා එතැනට ගෙන්නන්න. දයා ගමගේ ආවේ චොපර් එකකින්. ගොවි ජනතාව ඔවුන්ව අත්අඩංගුවට අරගෙන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එතනට ගෙන්වා ගත්තා. අපට සිදුවුණා ගොවි ජනතාවට වතුර අරගෙන දෙන්න. වතුර දුන්නා. කන්නත් පැහුණා. වතුර තිබියෙදී තමයි වතුර දුන්නේ නැත්තේ. ඒ නිසා තමයි අපට අරගල කරන්න සිදුුවුණේ. එදා තිබුණේ සජිත්ලගේ, රනිල්ලගේ ආණ්ඩුව. මේ එහා පැත්තේ බඩ ඉරිඟු ගොවියො කෝටි 32 යි ලක්ෂ තිස්හතරක ඔප්පු බැංකුවෙ තිබ්බා. මෛත්‍රී, රනිල්, සජිත්, දයා ගමගේ ආණ්ඩුව වන්දි ගේව්වේ නැහැ. ජනතාවට පොලු තිබ්බා. ඒ වන්දි මුදල ඉල්ලලා දිසාපති කාර්යාලයේ සාකච්ඡා කීයක් තිබ්බාද? අපි කොතරම් උද්ඝෝෂණය කළාද? සතපහක් ගෙව්වේ නැහැ. මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවියාට පාඩුව කෝටි 16ක්. අපි පසුගිය දවස්වල ගොවි නායකයෝ හම්බවුණා. ගොවි රැස්වීම් ගණනාවක් තිබ්බා. තමුන්නාන්සේලා දුක් අඳෝනාවන් අපට ඉදිරිපත් කළා. භූමිතෙල් සහනාධාරය නොලැබුණු ගොවීන් ඉන්නවා. ඒක පිටරටවලින් ලැබුණු එකක්. පොහොර සහනාධාරය නොලැබුණු ගොවීන් ගොඩක් ඉන්නවා. එක කන්නෙකවත් සත පහක්වත් වගා වන්දි නොලැබුණු ගොවීන් ඉන්නවා. මෙතන ඉන්න ගොවි නායක විමලසේන අවුරුදු 31ක් ගොවි විශ්‍රාම වැටුපට දායක මුදල් බැන්දා. අවසානෙදි ඔහුට ගොවි විශ්‍රාම වැටුප ලබාගන්න නඩු කියන්න සිදුවුණා. අවුරුදු 31ක් සල්ලි බැඳපු ඔහුට ලැබෙන්නේ රුපියල් 1000ක් පමණයි. ඒකෙනුත් 50ක් කපනවා. මේ අත්දැකීම් තිබෙන ගොවි ජනතාව අම්පාර දිස්ත්‍රික්කයේ කොතරම් ඉන්නවාද?

ඊයෙ අපි හදිසියේ ගියා කලා වැවට. කලා වැවේ පැරණි වාන ළඟට කැලෑ අස්සෙන් රිංගාගෙන, ගල්වලින් පැන පැන ගියේ. පෙරෙයිදා රෑ කලා වැවේ පිට වාන යට තියෙන නිධානය හොරු අරගෙන. ධාතුසේන රජ්ජුරුවෝ තැන්පත් කළා යැයි සලකන නිධානයක්. කලා වැව අපේ රටේ අනන්‍යතාවයක්. සාහිත්‍යකරුවන් “කලා වැවේ නිල් දියවර අපේ අම්මා”, “මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම වහන්සේ” “මට ඇති වස්තුව, මට ඇති සම්පත, මේ නිල් දිය කඳ වන්නේ” ධාතුසේන රජ්ජුරුවෝ තමන්ගේ පුත්තුන්ට කිව්වේ එහෙමයි. කලා වැවත් එක්ක ගොඩනැගුණු සාහිත්‍යය කොතරම් තිබෙනවාද? “දේවතාවන් පුවක් මල් කිනිත්තක් අරගෙන කලා වැවේ වතුර අරගෙන ස්වර්ණමාලි චෛත්‍යයට පැන් ඉහිනවාලු. අවුකන පිළිමවහන්සේට ඇස් දුන්නු කලාකරුවා ඉලුක් සෙවිලි කළ පැල්පතක කලා වැවේ රළ නරඹමින්, තමන්ගේ කකුල් පිරිමදිමින් මහන්සි අරිනවයි කියනවා”. මේ කෙත අස්වැද්දීමට අමතරව කලා කෙත අස්වැද්දීමට අදාළව මූලික වුණු කලා වැව ධාතුසේන මහ රජ සමයේ අපට දායාද කළ කලාවැව. මේ කලා වැව ඉදිකරනකොට නිධන් කළ නිධානය අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කළ නිධානය, අරගත්ත තැන මම දැක්කා. ඒකෙ කුටීර තුනක් තිබෙනවා. යටම තිබෙනවා එක කුටීරයක්. ඊට උඩින් තවත් එකක් තිබෙනවා. ඊට උඩින් තවත් එකක් තිබෙනවා. උඩම තට්ටුව කඩලා තිබුණා. මේ කුටීර තුනේම යම් දේවල් තිබිලා තියෙනවා. කලා වැවේ මේ නිධානය තිබුණු තැන අධිඅරක්ෂිත කලාපයක්. වනජීවි එකට අයිතියි. වනජීවී නීතිය ක්‍රියාත්මකයි. පුරා විද්‍යාවට අයිතියි, පුරා වස්තු තිබෙන නිසා. මහවැලියට අයිතියි. මහවැලි නීතියට මේක යටත්. රටේ පවතින සිවිල් නීතියට කොහොමත් යටත්. කිසිම කෙනෙකුට මේ පළාතට යන්න බැහැ. මාළු අල්ලන ධීවරයෙකුට මේ පළාතට යන්න හැකියාවක් නැහැ. මහ රෑ ලයිට් ගහගෙන, යන්ත්‍ර සූත්‍ර ගෙනැවිත් ඇවිත් ගල් බිඳලා. මේ නිධානය ගන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට. මේක රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවුණු වැඩක්. මේක කලා වැටේ ඉස්මත්තේ දේශපාලනඥයන් හෝටල් ගහලා තියෙනවා. ඔවුනුත් මේකෙ වගඋත්තරකරුවන් බවට පත්වෙනව. අපි බලාගෙන ඉන්නවා කලා වැවේ නිධානය ගත් හොරු අල්ලන්න ඕනෑ. අපි බලාගෙන ඉන්නවා මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. කලා වැව අපේ හදවත වගේ. ඒ වගේ එකක්වත් රැක ගන්න බැරි පාලකයන් රනිල්, පොහොට්ටු ආණ්ඩු කොහොමද රට ආරක්ෂා කරන්නේ. මේ වගේ වෙන්ඩ ඕනෙ නැති දේවල් ගොඩක් රටේ සිදුවෙමින් තිබෙනවා.

මේ ආණ්ඩුව ලකලැහැස්ති වෙමින් එනවා මිල්කෝ ආයතනය, පශු සම්පත් මණ්ඩලයේ ඉඩම් ටික, ලබන මාසෙ 15දාට කලින් ගනුදෙනු ටික ඉවර කරන්න ඕඩර් එකක් ඇවිත් තිබෙනවා. 14 වැනිදා දොළහෙන් පස්සේ ඕවා කරන්න අමාරුයි. ජනාධිපතිවරණය ගැසට් කරලා ඡන්දයක් එනවා. මේවට ඉඩ දෙන්න බැහැ. තක්කඩි පාලකයන්ට අනතුරු හඟවනවා, එවැනි දේවල් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට උත්තර බඳින්න සිදුවේවි. මුළු රටේම ජනතාව එක රොදකට පෙළගැහෙනවයි කියන එක අපි මතක් කරනවා. මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව වී ගොවියන්. තමුන්නාන්සේලාගේ වී ටික තුට්ටු දෙකට විකුණන්න සිදුවෙලා තිබෙනවා. ඊයෙ යල කන්නයේ ආණ්ඩුව නිවේදනය කළා, වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු. 99.75යි. දැන් නිෂ්පාදන වියදම ඊට වඩා වැඩියි. ගිය අවුරුද්දේ ගොවියාට වැට් එක තිබුණේ නැහැ. දැන් වැට් එක ගැහුවා. ඉන්ධන මිල වැඩිකළා. නිෂ්පාදන වියදම වැඩියි. එහෙම තියෙද්දි අම්පාරේ ගොවියා වී ටික රු.60ට රු.70ට වික්කා. ඒත් පාරිභෝගිකයා හාල් ගන්නවා ගිනි ගණන්වලට. මේ හැම පාර්ශ්වයක්ම සතුටු කරන විදිහට මේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට ගේන්න ඕනෑ. අපි ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීම, මහන්සිය අවම කිරීම, අස්වැන්න වැඩි කිරීම අපි ඒ තත්වයට අත ගහන්න ඕනෑ. මෝල් හිමියාටත් සහනදායී ක්‍රමයක් අනුගමනය කරන්න ඕනෑ. සහල් නිෂ්පාදනයට යන පිරිවැය අඩු කරන්න ඕනෑ. එවිට පාරිභෝගිකයාට වාසිය එනවා. ජාතික ජන බලවේගයේ විදිහට ඉදිරි කෘෂිකාර්මික වැඩපිළිවෙළ අපි සකස්කොට තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නගිමින් මේ රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලය දක්වා ගෙන ඒමට අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.

Dehiaththakandiya-Govi-Samuluwa

“ගොවි ජන ජීවිතය වෙනස් කරන සමාජ පරිවර්තනයක් අපට අවශ්‍යයි”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී. සරත්-

ඉතිහාසයේ පළමුවැනි වතාවට ගොවි ජනතාවගේ නායකයෙක් පත්කර ගැනීමේ වුවමනාවෙන් තමයි මේ ගොවි ජනතාව ඒකරාශී වී තිබෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නියත ලෙසම ලැබෙන බව තහවුරු වෙමින් තිබෙනවා. පාලක පෙළැන්තියට පාලනයෙන් බැහැරව යන්න සිදුවෙනවා යැයි ඔවුනට දැනෙන නිසා, අත්පත් කරගෙන තිබෙන සියලු දේවල් ඩැහැගෙන යන්න හදනවා. අපේ මී මුත්තන් අපට දායාද කළ ඒ කලා වැවේ පුරාවස්තු පවා පාලකයෝ සොරකම් කරගෙන තිබෙන්නේ ඒ නිසයි. මේ සමාජයේ පරිවර්තනය සිදුවෙන පෙර ලකුණු පහළ වෙමින් තිබෙනවා.

අපේ රටේ ගොවියා මේ බිම්වලට සදාකාලිකව තම ශ්‍රමය වැගිරුවා. ඔවුන් ජීවිත වින්දේ නැහැ; විඳෙව්වා. ඒ ගොවියාට ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගතකරන්න ආර්ථික තත්වයක් නැහැ. අපේ රටේ ගොවියාට අවුරුදු 55 සම්පූර්ණ වෙන විට තමන්ගේ ගොවිබිමෙන් සමුගන්න බැහැ. ඔවුන්ට ජීවත් වෙන්න වටපිටාවක් නැහැ. අවුරුදු 60ක් 70ක් වුණත් අපේ ගොවියාට ජීවත් වෙන්න නම් උදැල්ල අරගෙන කුඹුරට යන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි අපේ ගොවියාට අවුරුදු 55 සම්පූර්ණ වෙනකොට ගොවි විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා අනිවාර්යයෙන් කටයුතු කරනවා.

Dehiaththakandiya-Govi-Samuluwa

අපේ ගොවියා මුහුණ දී තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි වගා කරගන්න අවශ්‍ය ස්ථිර මුදලක් නැතිකම. ඔහුට ප්‍රාග්ධනයක් නැහැ. ඒ නිසා ඔහු පොලීකාර මුදලාලි කෙනෙකුට, එහෙම නැතිනම් රාජ්‍ය නොවෙන ගිනි පොලියට සල්ලි දෙන ආයතනයකට ඔහු හිරවෙනවා. ඔහුගේ මුළු ජීවිතයම කොතනක හෝ ණය දෙන ආයතනයකට හිරවෙලා තිබෙන්නේ. ඔවුන්ගෙ දරුවන්ගේ ජීවිත, පවුල් ජීවිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතුළේ හිරවෙලා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොවියාට ඉතාමත් අඩු පොලියකට ණය පහසුකම් දෙන බැංකු පද්ධතියක් සකස් කරන්න අපි සැලසුම්කොට තිබෙනවා. ගොවියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය අවසන් කර ගන්න ඕනෑ. ගොවි ජන ජීවිතය වෙනස් කරන සමාජ පරිවර්තනයක් අපට අවශ්‍යයි. දේශපාලන පරිවර්තනයක් නැතිව, සමාජයේ ප්‍රභූ පංතියෙන් පහළ පංතියට බලය මාරු වෙන්නේ නැතිව අපේ ගොවියාගේ ජන ජීවිතය වෙනස් කර ගන්න ලැබෙන්නේ නැහැ. මේ මහා ජන ගඟෙන් පෙනෙන්නේ පොදු ජනතාව අතට බලය මාරුවීමේ යුගය පැමිණ තිබෙන බවයි. ඒ යුගයට සමස්ත ලංකා ගොවි සම්මේලනය නායකත්වය දෙන්න සූදානම්.