(-Colombo, July 08, 2024-)
ජනපතිවරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද(08) දින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ අතර පෙත්සම නඩු ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ජනාධිපතිවරණය කල් දැමීමට අදාලව ගොනු කොට තිබූ අදාල නඩුව මුලුමනින්ම නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් අතරමැදි පෙත්සම් තුනක් වෙන වෙනම ගොනු කරනු ලැබීය.
පා.ම ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම විජිත හේරත් සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර යන අය විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබූ අතර පෙත්සම් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැජ්, ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශාන්ත ජයවර්ධන, නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ශානිකා සිල්වා යන අය පෙනී සිටියහ.