Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරනවා…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(අම්පාර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.31 – ජාතික ජන බලවේගය)

Gahanu-Api-Ampara

මේ සමුළුව සාර්ථක කර ගන්න මාස ගණනාවක් තිස්සේ මහන්සි වුණා. මේක අතිශයින්ම ඓතිහාසික වැඩක්. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, දේශපාලනිකව සංවිධානය වෙලා, මේ ආකාරයෙන් එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් දැකලා නැහැ. අපට මෙය අලුත් අත්දැකීමක්. අපි මේ කර තිබෙන්නේ මේ රට වෙනස් තැනකට ඔසවා තබන්න පුළුවන් කාන්තා නායිකාවන් බිහි කරන එක. දේශපාලනය ගැන හීනෙකින්වත් හිතුවේ නැති අපේ කාන්තාවන්, දේශපාලන නායකත්වය ගන්න සූදානම් බව පෙන්නුම් කර තිබෙනවා. අලුතෙන් කාන්තා නායිකාවන් බිහි වෙනවා. ඒක මේ රටට තීරණාත්මකයි. අපි අනිවාර්යයෙන්ම මේක වෙනස් කරනවා. අපට පුළුවන් වෙලා තිබෙනවා, ගැහැනු ශක්තිය රටට විතරක් නොවෙයි, මුළු ලෝකයටම පෙන්වන්න. ගැහැනු අපට අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන, උපරිම බලපෑමක් කරන්න පුළුවන් ශක්තියක් අප තුළ තිබෙනවා කියලා.

ඉන්දියාවේ ඉන්නවා ප්‍රසිද්ධ ලේඛිකාවක්, අරුන්දතී රෝයි නමින්. ඇය එක තැනකක ලියලා තිබෙනවා “අලුත් ලෝකයක් බිහිකරන්න පුළුවන් විතරක් නොවෙයි, අලුත් ලෝකයක් බිහි වෙමින් යනවා, නිශ්ශබ්දව හොඳට ඇහුම්කන් දුන්නොත් ඒ අලුත් ලෝකය හුස්ම ගන්නවා අපිට ඇහෙනවා කියලා.” ඒ අලුත් ලෝකය ඔබ නිර්මාණය කරමින් යනවා. ඒක අපට තවදුරටත් සිහිනයක් නොවෙයි. අලුත් ලෝකයක් බිහි වෙමින් යන්නේ. අලුත් ලෝකයක් අපි හදනනවා. වඩා සාධාරණ, සියලු දෙනාටම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන්, සමානාත්මතාවයට ගරු කරන ආදරණීය අලුත් ලෝකයක් ඔබ දැන් නිර්මාණය කරමින් ඉන්නේ.

ඒ සඳහා අපට මේ අවුරුද්දේ තීරණාත්මක වැඩක් තිබෙනවා. මේ මැතිවරණය අපට දිනන්න විතරක් නොවෙයි. ගැහැනු අපි එකතු වෙලා මේක කොහොම හරි දිනවනවා. අපි සහෝදරවරු ටිකත් පාර්ලිමේන්තුවටත් යවනවා. අපේ අනුර සහෝදරයාව ජනාධිපතිත් කරනවා. ඒක කරලා එතනින් ඉවර වෙන්නේ නැහැ අපේ වැඬේ. අපි රට හදන්න ඕනෙ. අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය රැකගන්නත් අපි ඉදිරිපත් වෙන්න ඕනෙ. මේකෙ බරපතළකම, ගැඹුර අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. මේක තවත් එක් වෙනසක් ගැන කතාවක් නොවෙයි. මේක තවත් එක් මැතිවරණයක් නොවෙයි. මෙතෙක් බලයට ආව හැම පක්ෂයක්ම, වෙනසක් කරන බවට පොරොන්දු වුණා. යූ.එන්.පී. භීෂණය ඉවර වෙලා චන්ද්‍රිකා කුමාරතුංග පත්කරන්න පාරට මුලින්ම බැස්සෙත් ගැහැනු. චන්ද්‍රිකා මහත්මියත් පොරොන්දු වුණා වෙනසක්. 2015 යහපාලන ආණ්ඩුවත් වෙනසක් පොරොන්දු වුණා. ගෝඨාභය රාජපක්ෂත් වෙනසක් පොරොන්දු වුණා. ජාතික ජන බලවේගය මේ වෙනස කරන්නේ කාගෙවත් පොරොන්දු මත නොවෙයි. මේ වෙනස කරන්නේ අපිමයි. මෙතෙක් කාලයක් අපේ ඡන්දෙ දීලා පැත්තකට වෙලා බලා ඉන්න සිද්ධ වුණේ. අපි වෙනුවෙන් කරන සංවර්ධන දිහා අපට බලාගෙන ඉන්න සිදුවුණේ. ඒ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැහැ. අපට ඇහුම්කන් දෙන්නේ හෝ අදහස් විමසන්නේ හෝ නැහැ. අපි වෙනුවෙන් මේ ප්‍රතිපත්ති හැදෙන්නේ නැති බව දැන දැනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපේ මුදල් වංචා කරන බව දැනගෙන, දූෂණයේ යෙදෙන බව දැනගෙන අපේ දරුවන් බඩගින්නේ ඉන්න බව දැනගෙන අපි හූල්ල හූල්ලා බලාගෙන සිටියා මිසක් අපට බලයක් තිබුණේ නැහැ මේවා වෙනස් කරන්න.

Gahanu-Api-Ampara

නමුත් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ අපි බලයට පත්වෙනවා. අපි හැමෝම පාර්ලිමේන්තුවට යනවා නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල මන්ත්‍රීවරියන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා. ගමේ, වැඩපොළේ, පාසලේ, රෝහලේ, අප ඉන්නවා. අපි හැමතැනම ඉන්නවා. අපි ඉන්න හැමතැනකම මේ රට වෙනස් කරන ක්‍රියාවලියට අපි සක්‍රීයව සහභාගී වෙනවා. ඒ නිසා අපි කවුරුත් වෙන කවරු හෝ මේ දේ කරන තුරු බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර වෙනස වෙන්නේ මේ වැඬේ කරන්නේ අපිමයි. ඒ ක්‍රියාවලියේ තීරණාත්මක වැඩක් හැටියට අපට සවන් දෙන නායකයෙක් අපි ජනාධිපති කරන්න ඕනෙ. මේ අවුරුද්දේ ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපට ඇහුම්කන් දෙන ගැහැනු අපට සංවේදී ගැහැනු අපේ කතන්දරවලට වටිනාකමක් දෙන, අපේ ජීවිතවලට වටිනාකමක් දෙන, අපේ හඬට සවන් දෙන ආණ්ඩුවක් හදන්නත් ඕනෙ. ඒ දෙක අපේ පළවැනි වැඩ.

ඒ වෙනුවෙන් අපි ඉදිරි මාස හය හත තුළ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දැනටත් අපි කැපවීම රාශියක් කර තමයි මෙතනට එන්නේ. ඒ මහන්සිය කිසිසේත් අපතේ යන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා පොදු අරමුණකින් මේ රට හදන වැඬේ වෙනුවෙන් තමයි කරන්නේ. අපෙන් හැමදාම බලාපොරොත්තු වුණේ කැපවීම්, දරා ගැනීම්. කවදාවත් සහභාගිත්වය ඉල්ලුවේ නැහැ. අපේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අපේ ඡන්දයෙන් බලයට පත්වෙලා අපව පැත්තකට දාලා යන ආණ්ඩු තමයි මෙච්චර කල් පත්වුණේ. මේ අවස්ථාවේ අපව මගහැර යන්න බැහැ. අපව සහභාගී නොකර යන්න බැරි බව පාලකයෝ තේරුම් ගනිමින් යනවා. ඒ නිසා තමයි වෙනත් පක්ෂවල අයත් ගැහැනුන් ආමන්ත්‍රණය කරන්න වැඩ සටහන් ආරම්භ කර තිබෙන්නේ. ඒක හොඳයි. නමුත් අපි දන්නවා ජාතික ජන බලවේගයේ වෙනසක් තිබෙනවා.

අපි පත්කරන ආණඩුවත්, වැඩපිළවෙළත් ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. මෙච්චර කාලයක් මේ රටේ වරප්‍රසාද ලබාගෙන මේ රට පාලනය කිරීම තමන්ගේ උපතින් ආව අයිතියක් උරුමයක් හැටියට හිතාගෙන හිටපු පාලකයෝ කලබලවෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් පක්ෂ හැටියට වෙන් වුණාට ජාතික ජන බලවේගය පරදවන්න ඕනෙ කියන තැන ඔවුන් ඔක්කෝම එකතු වෙන්නේ. ඒ මේ සිදුවෙමින් යන විශාල සමාජ පර්වර්තනයට ඔවුන්ට තිබෙන බය. ඒගොල්ලෝ දන්නවා මෙතන සිදුවෙන්නේ නිකම්ම නිකම් ආණ්ඩු මාරුවක් නොවෙන බව. ඊට වඩා බරපතළ සමාජ පරිවර්තනයකට තමයි සූදානම් වෙන්නේ කියලා. ජනතාවාදී ආණ්ඩුවක් ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පත් කිරීමටත් ඒ ක්‍රමවේදය තුළින් මේ රට දියුණු කරන්නටත් තමයි අපි සූදානම් වෙන්නේ කියන එක දන්නවා. ඒ ක්‍රමය යටතේ විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ පාලකයන්ටත් රටේ නීතිය බලපානවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා. මෙච්චර කාලයෙක් මේ රටේ සිදු නොවුණේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුණු එක. නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලනඥයෝ ඉඩ දුන්නේ නැහැ. මාලිමාව රජයක් යටතේ නීතිය ස්වාධීන වෙනවා. නීතිය ක්‍රියාත්මක කරමින් ජනතා මුදල් සොරකම් කරපු ජනතාව පීඩාවට පත්කරපු ඒ ප්‍රතිපත්ති හදපු ඒ අයට නිසි දඬුවම් ලැබේවි. පළි ගැනීමේ සංස්කෘතියක් අප තුළ නැහැ. විශේෂයෙන් ගැහැනු අපි දන්නවා පළි ගැනීම තුළින් වෙන්න තිබෙන හානිය අපි අත්විඳ තිබෙනවා. ඔබ සියලු දෙනාට වගකීමක් තිබෙනවා මාලිමාව කෙරෙහි බොරු බියක් ඇති කරන්න ගන්නා උත්සාහය අපි පරාජය කරන්න ඕනෙ. මෙතනට එන්න කැමති පිරිස් අපි එකතු කරන්න ඕනෙ. ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, සියලු දෙනාම ආමන්ත්‍රණය කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරනවා. අම්පාර දිස්ත්‍රික්කව බහු සංස්කෘතික දිස්ත්‍රික්කයක්. ඔබ බෙදීම්වල විපාක හොඳට අත්විඳ තිබෙනවා. සියලු දෙනා බෙදීම් වෙනුවට එකතු කරන, වෛරය වෙනුවට ආදරය කරන සමාජයක් ගොඩනඟන්න ඔබේ නායකත්වය අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න, ශක්තිමත් වෙන්න, සංවිධානය වෙන්න. දැනුමෙන් සන්නද්ධ වෙන්න. ඔබගේ දායකත්වය අපට ලබාදීම අපට ලොකු විශ්වාසයක් වගේම ලොකු ශක්තියක්. ඒ විශ්වාසය දීම පිළිබඳවත්, ආදරය අපට දීම පිළිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙනවා.

Gahanu-Api-Ampara

“අපි හැමෝම එකතු වෙලා එකිනෙකා තුළ බැඳීම් ඇති කරන මානව දම්වැල ශක්තිමත් කරමු…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා – සමන්මලී ගුණසිංහ-

ගැහැනුන් විදිහට අපි හැමෝම අසීමිත ලෙස දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් ඉතා අසීරු ජීවිත ගෙවන්නේ. හැමදාම දුක් වින්ද ගැහැනු දහස් ගණන්, ජීවිතය කියන්නේ මොකක්ද කියාවත් නොදැන මේ මහපොළොවට පස් වුණා. ජාතික ජන බලවේගයේ අපට පුළුවන් වුණා, ගැහැනියගේ ජීවිතයට වටිනාකමක්, අර්ථයක් ලබාදෙන්න. මේ සමාජය වෙනස් කරන්න ඕනෙ කියන තැනට, “ගැහැනු අපි එක මිටට” කියන තේමාව යටතේ එකතු කරන්න අපිට පුළුවන් වුණා. අපිත් සමග අත්වැල් බැඳගත් අම්පාරේ සහෝදරියන් ගැන අපි සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. අපි දහසක් කම්කටොලු මැද, බලාපොරොත්තු රහිතව ජීවිත ගෙවන අය. ඒ වේදනාව ඊළඟ පරම්පරාවට උරුම වෙන බවත් දැක්කා. ඒ උරුමය කරුමයක් බවට පත්කර ගන්නේ නැතිව, ඊළඟ පරම්පරාවට ඉතිරි කරන්නේ නැතිව ජාතික ජන බලවේගයත් සමග එකතු වී ජීවිත වෙනස් කරන පෙර ගමන්කාරියක් වෙන්න ඔබ ඇවිත් තිබෙනවා.

පසුගිය කාලයේ අපේ දරුවෝ කන්න නැතිව පාසල්වල ඇද වැටෙද්දී, පාසල් එන්න විදිහක් නැතිව පාසල් මගහැර දරුවන් ඉන්න කොට, වේදනාව වැඩි වුණේ අපේ අම්මලාගේ. ගෙවල් ඇතුලේ අපේ දහසක් අම්මලා කඳුළු වැගිරුවා. පාලකයෝ එවා දැක්කේ නැහැ. දරුවගේ පාසල් පොත්ටික අරගෙන දෙන්න බැරිවෙද්දී, කෑම පෙට්ටියට කෑම ටිකක් දාලා දෙන්න බැරි වෙද්දී අම්මලා දුක දරා ගත්තා. අපේ ගැහැනු තනිවම මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. තනි තනිව මේ සමාජ ප්‍රශ්නවලට උත්තර සොයන්න බැහැ. ඒ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ සමාජය තුළ බව අපි දන්නවා. හැබැයි මොනතරම් අමාරුකම් තිබුණත් අපේ දරුවන්ට පිහිට වුණෙත් තවත් අම්මා කෙනෙක් තමයි. අපේ ගුරුවරියන් පාසල්වල බත් බැංකු, සපත්තු බැංකු, ඇඳුම් බැංකු ආරම්භ කළා. කෑම වේලක් දෙන්ඩ බැරි අම්මලා දරුවා පාසලට එවද්දී, අපේ ගුරුවරියන් “පුතේ කෑම පෙට්ටියේ කෑම එකක් ඇති” කණට කර කියමින් දරුවන්ගේ කුසගින්න නිවන්න කටයුතු කළා. ගුරුවරියන් අම්මලා විදිහට ඒ කෑම ප්‍රශ්නෙට උත්තර සෙව්වේ එහෙමයි. තමන්ගේ කෑම එකට අමතරව කෑම දෙක තුනක් පාසලට රැගෙන විත් දරුවන්ගේ කුසගින්න නිව්වා. ඒ දරුවෝ දන්නේ නෑ, ඒ කෑම කවුද දුන්නේ කියලා. ඒක අදෘශ්‍යමාන මානව ප්‍රේමයක්. තමන්ගේ පාසලේ දරුවෝ ටික රැකගත්තේ එහෙමයි.

Gahanu-Api-Ampara

නමුත් දැන් ඡන්දයක් ලංවෙද්දී අපේ දරුවන්ට කෑම කවන නායකයෝ ඉන්නවා. කෑම අනල කවන, හොටු පිහින, දරුවන් වඩා ගන්න නායකයෝ ඉන්නවා. මේව තමයි ඡන්ද ගුණ්ඩු. අපේ දරුවන් දහස් ගණන් මන්දපෝෂණය හැදිල තිබියදී, අම්මලාට කන්න නැතිව තිබියදී, දරුවන් පාසලේදි ඇදගෙන වැටෙද්දී උණුවුණේ නැති දේශපාලන හදවත් දැන් උණුවෙලා, කැමරාවත් අරගෙන ඇවිත්, දරුවන්ට බත් අනලා කවනවා. අපේ අම්මලා නැවතත් රැවටෙයි කියලා දේශපාලකයෝ හිතනවා. මේ අම්මලා දැන් ඕවට රැවටෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ අපි ගැහැනුන්ව දැනුවත් කර තිබෙන්නේ. අපි මේ පාලකයන්ට කියනවා, අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරලා, අපේ දරුවන්ගේ රට උගසට තියලා, විකුණලා, දරුවන්ට ආරක්ෂාවක් නැති සමාජ වටපිටාවක් හදලා, මත්ද්‍රව්‍යවලින් පිරුණු සමාජයක් බිහිකරපු එවැනි පාලකයෝ අපේ රටේ පාලකයන් කර ගන්න තවදුරටත් ගැහැනු අපි කැමති නැහැ. ඔය තුන්ගොල්ලෝ එකට ආවත් ජාතික ජන බලවේගය අද ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ මොකක් නිසාවත් නොවෙයි, අපේ රටේ බහුතරයක් ගැහැනු දේශපාලන වශයෙන් ශක්තිමත් වූ නිසා බව අභිමානයෙන් කියන්න පුළුවන්. මේක තමයි අපි හදන්න හදන අදෘශ්‍යමාන මානව බැඳීම. අනෙක් අයට නොපෙනෙන ඒ අදෘශ්‍යමාන මානව බැඳීම හැම අම්මා කෙනෙක්ගේම හිතේ තියෙනවා. දයාව, අනුකම්පාව දරුවන් සියලු දෙනාම මගේ කියන ඒ හැඟීම අපේ රටේ නායකයන්ට විහිළුවක් වුණාට අපේ අම්මලාට විහිළුවක් නොවෙයි. අම්මලා දන්නවා දරුවන් ආරක්ෂා කර ගන්න මොනතරම් ශක්තිමත් මානව දම්වැලක් අපට ඕනද කියලා. ඒ මානව දම්වැල හැදුනු දවසට තමයි අපේ පුංචි දරුවන්ට ආරක්ෂාවක් තිබෙන්නේ. ඒ නිසා අපි හදමු කවුරුත් එකට එකතු වෙලා මානව දයාවෙන් පිරි ඒ අදෘශ්‍යමාන හැඟීමක් තිබෙන ඒ මානව දම්වැල ශක්තිමත් කරමු. ඒ දම්වැලේ ශක්තිමත් පුරුකක් ශක්තිමත් ස්ථානයක් ඔබ අරගන්න. එතකොට අපිට පුළුවන් වෙයි රට ගැන හැඟීමක් තිබෙන, ආදරයක් තිබෙන සහෝදරියක් අපේ රටට ගොඩනඟන්න. ඒ තමයි ආරම්භය.

හතර දෙනෙක්ගෙන් සමන්විත පවුලකට ජීවත් වෙන්න දෙසැම්බර් මාසයේදී අවශ්‍ය වුණා රු: 66096/-ක්. ජනවාරි මාසයේදි ඕන වෙනවා 68056/-ක්. රුපියල් 2000/-කට ආසන්න මුදලක් අලුතෙන් සොයන්න වෙලා තිබෙනවා. ආදායම වැඩි වුණේ නැහැ. එතකොට සිද්ධ වෙන්නේ අම්මට නොකා ඉන්න. දරුවා පාසල් යවන්නේ නැතිව ඉන්න වෙනවා. 76 වසරක් ප්‍රශ්න විසඳුවේ නැති පාලකයෝ ඉදිරියටත් මේ රට හදයිද. අපට අද අවශ්‍යයි අලුත් වෙනසක්. ඒ සඳහා ජාතික ජන බලවේගය දිනවන්න නම් ඔබ ගමට යන්න ඕනෙ. ගම සංවිධානය කරන්න ඕනෙ. ඔබ දැන් නායිකාවක්. මේ රට හදන්න ඕනෙ ඔබ. මේ රටේ අයිතිකාරියන් ඔබ. ඊළඟ පරම්පරාවට මේ රට උරුම කරන්න, ඕනෙ ඔබ. එහෙම නම් මේ වගකීම ගන්න ඕනෙ ඔබ. අපට තව තියෙන්නේ දවස් 173යි. ඒ හැම දවසක්ම, පැයක්ම, තත්පරයක්ම ඔබට වටිනවා. ඒ අනෙකා මේ දම්වැලේ පුරුකක් බවට පත්කර ගන්න. සමාජය වෙනස් කරන්න නම් ගැහැනිය වෙනස් වෙන්න ඕනෙ. ගැහැනිය වෙනස් වෙලා තිබෙන්නේ. ඒ නිසා සමාජය වෙනස් වෙනවා. ඔබ ගමට යන්න. දැනුවත් කරන්න. සංවිධානය කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය තිබෙනවා. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ඔබට ආරාධනා කරනවා.

Gahanu-Api-Ampara

“අපේ දරුවන් වෙනුවෙන් මේ රට හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනඟමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – සරෝජා සාවිත්‍රී පෝල්රාජ්-

මේ දිගාමඬුලු දිස්ත්‍රික්කය දීඝායු කුමාරයාගේ දිස්ත්‍රික්කය. ගොවිතැනට නම් දරාපු සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩක් තිබෙන, විවිධත්වයන් ගොඩක් තිබෙන දිස්ත්‍රික්කයක්. දිගාමඬුල්ලට අනන්‍යවූ භාෂාවක්, ජනකතා සාහිත්‍යයක්, වෙනම ආහාර සංස්කෘතියක් තිබෙනවා. ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර, දේව ඇදහීම් ක්‍රම සියල්ල ගත්තාම දිගාමඩුල්ලේ ජනතාව සුවිශේෂී ජන කොට්ඨාසයක්. වර්තමානයේ වැඩිම මුස්ලිම් ජන ගහනයෙන් 41% කට ආසන්න පිරිසක් මුස්ලිම් ජනගහනය, 35% – 38%කට ආසන්න පිරිසක් සිංහල ජනගහනය, 18% – 21% ක් අතර දෙමළ ජනගහනය. වාර්ගික සමගිය, ජාතික සමගිය පදනම් කරගෙන සතුටින් ජීවත්වෙන්න තිබෙන ඕනෑකමත් එක්ක සිංහල, දෙමළ, මුස්ලිම් අප සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් දේශපාලන ක්‍රමයක්, ආර්ථික සාධාරණත්වයක්, ලබාදෙන්න පුළුවන් වේදිකාව තමයි මේ ජාතික ජන බලවේගයේ වේදිකාව.

අපේ ආර්ථිකය ඇතුලේ, ජනගහනය ඇතුලේ විශාල දායකත්වයක් දක්වන ජනගහනයෙන් වැඩිම පංගුවක් වුණු කාන්තාවන් හැටියට අපට උරුම වී තිබෙන්නේ මොනවගේ තත්වයක්ද? ලංකාවේ කාන්තාවන් ඉටුකරනු ලබන ගෘහ සුරැකුම් ආර්ථිකය පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරන ලද පළමුවැනි කාන්තා මන්ත්‍රීවරිය හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය. පාර්ලිමේන්තුව මෙතෙක් තමන්ගේ වරිග පරම්පරාවෙන්, පිය උරුමයෙන්, ස්වාමි පුරුෂයා අහිමි වීමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් හිටියට, මේ රටේ දුක්විඳින කාන්තාවන්ගේ ඒ සුරැකුම් කාර්යය පිළිබඳව කතා කළේ නැහැ. දැක්මක් ඇති දේශපාලන ව්‍යාපාරයක් හැටියට, කාන්තා නායකත්වය තුළ කාන්තාවන්ට වගකියන දේශපාලන ව්‍යාපාරයක් හැටියට කතිර ගහන්න විතරක් පාවිච්චි කරපු කාන්තා බලය දේශපාලන ප්‍රවාහයක් හැටියට, සමාජයේ ගාමක බලයක් හැටියට සමාජයේ බලවේග තීරණය කරන ප්‍රධාන බලවේගයක් බවට පත්කළ එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ගෙදර දරුවන්ට කන්න දෙන එක, අධ්‍යාපනය ලබාදෙන එක, ගෙදර එක්තැන් වුණු වියපත් පරම්පරාව රැකබලා ගැනීම ගෘහනියගේ අනිවාර්ය කාර්යයක් වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්වල තමන්ගේ රටේ ඉන්න පුරවැසියා තමන්ගේ රටේ ඉන්න දරුවන් පෝෂණීය පුරවැසියන් බවට පත් කරන එක ඒ රටවල ආණ්ඩුවේ වගකීමක්.

Gahanu-Api-Ampara

ලංකාවේ විතරක් ඒක අම්මලාගේ වගකීමක් වෙලා තිබෙනවා. ලෝකයේ දියුණු රටවල්වල, ජනතාව ගැන සංවේදී පාලකයන් සිටින රටවල්වල තමන්ගේ රටේ පුරවැසියාට රටේ දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. අපේ රටේ තමන්ගේ දරුවාට උගන්වා ගන්න එක හැම අම්මා කෙනෙකුගේ වගකීමක් වෙලා. පාසල් දරුවාට පාසල් උපකරණ ටික අරන් දෙන්න බැරි වුණාම, පාසල් ගාස්තු ගෙවා ගන්න බැරි වුණාම තමන්ගේ කණ කර උගස් තියලා ඒවා ලබාදෙන්නේ අම්මා. විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් නොයෙක් දුක්විඳපු දරුවන්ට තමන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ හීනය සැබෑ කරගන්න බැරි වුණාම, මේ රටේ අම්මලා තමන්ට දෑවැද්දට ලැබුණු කනකර උගස් තියලා, ඉන්න තිබෙන ගෙය උගස් තියලා, දරුවා විශ්වවිද්‍යාලයට යවන්න, පිටරට යවන්න, ගුවන් ටිකට් පත අරන් දෙන්න, තමන්ගේ මුළු ජීවිතයම සින්න කරන අම්මලා ඉන්නේ. ලෝකයේ අනෙක් රටවල්වල එහෙම නැහැ. තමන්ගේ රටේ ඉන්න පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කරන එක ඒ රටේ ආණ්ඩුවේ වගකීම. නීරෝගී පරපුරක් නිර්මාණය කිරීම. ළමා මන්දපෝෂණය තුරන් කිරීම, සුරැකුම් ආර්ථිකය ඇතුලේ ඒක අම්මලාගේ වගකීමක් නොවෙයි. ඒක ආණ්ඩුවේ වගකීමක්. පුරවැසියා ශක්තිමත් පුරවැසියෙක් කරන එක, විද්‍යාර්ථීන් කරන එක, ප්‍රාමාණික නිපුනයන් කරන එක ලෝකයේ රටවල්වල දැක්මක් තිබෙන පාලකයෝ සිදුකරනවා. ඔලිම්පික් ක්‍රීඩාවල් කරන රටවල් තමන්ගේ රටේ ධාවන ශූරයන්, ශූරියන් නිර්මාණය කරන්න අවුරුදු ගණන් සැලසුම් කරනවා. තමන්ගේ රටේ යුවතියන් රූප රාජිනියන් කරන්න දැක්මක් ඇතිව සැලසුමක් ඇතිව කටයුතු කරනවා. න්‍යෂ්ටික විද්‍යාඥයන් බිහිකරවන්න, ගගනගාමීන් නිර්මාණය කරන්න, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් බවට පත්කරන්න, තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ලෝකයේ තමන්ගේ රටට තැන අල්ලා ගන්න තමන්ගේ රටේ පුරවැසියන්ට දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය දෙන්න ඒ රටේ පාලකයෝ දැක්මක් සකස් කරනවා. ඔබේ දරුවාට ඉගැන්වීම ඔබේ වගකීම වෙලා තිබෙනවා. ඔබේ නිවසේ සිටින වියපත් වුණු වැඩිහිටියා බලාගැනීම ඔබේ වගකීම වෙලා තිබෙනවා.

අපි ගොඩ නගපු රට මොකක්ද? මෙච්චර කල් දැක්මක් නැතිව වැඩ කරපු දේශපාලන කඳවුරුවල නායකයන්ගේ ඇස් ඇරෙන්න පටන්ගෙන තිබෙනවා. මේ රටේ පුරවැසියා වෙනුවෙන් වගකියන ආණ්ඩුවක් නැහැ කියන පණිවිඩය දෙමින් ජාතික ජන බලවේගය දිනෙන් දින අවදි කරද්දී තමයි මේ කාන්තාවන් අවදි වුණේ. සෑම දිස්ත්‍රික්කයක්ම එකාවන්ව නැගී සිටිනවා. 52%ක් වුණු කාන්තාවන් තේරුම් අරගනිමින් ඉන්නවා. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජනතාවට වගකියන ජනතාවාදී පාලනයක් ඇති කළ යුතුයි කියන එක තේරුම්ගෙන තිබෙනවා. රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන වැය ශීර්ෂය කප්පාදු කර තිබෙනවා. පසුගිය වසරේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙන් කළ වැය ශීර්ෂය කප්පාදු කරලා, මේ රටේ පාලකයෝ සුරසැප විඳිමින් ඉන්නවා. ඔවුන් අතහරින රාජ්‍ය වගකීම ඔබත් මමත් අපා දුක් විඳිමින් දරාගෙන ඉන්නවා. ආණ්ඩුවේ වගකීම බදු ගෙවන ජනතාවගේ දරුවන් සුරක්ෂිත කිරීම, දරුවන්ට පෝෂණය ලබාදීම, ඉස්පිරිතාලේ බෙහෙත් ටික ලබාදීම, ප්‍රවාහනයට අදාළ වන ලෙස පහසුකම් සැපයීම, වැඩිහිටියන් රැකබලා ගැනීම. මේ වගකීම් පැහැර සිටින ආණ්ඩුවට තවදුරටත් එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ වගකීම් ගැන ගෙන් ගෙට ගිහින් දැනුවත් කරනවා. ඔබේ අයිතිය අපි ඉල්ලා සිටිනවා. මේ රටට, ජනතාවට වගකියන ආණ්ඩුවක් ඇති වෙන්නට ඕනෙ. ඒක තමයි ජනතාවාදී ආණ්ඩුව කියන්නේ. ඒ නිසා මේ රටේ දුක් විඳින සෑම ගැහැනියකටම තමන්ට කියා ජීවිතයක් තිබෙනවා. මේ ජීවිත දරා ගන්න බැරි අම්මලා කී දෙනෙක් දිවි නැතිකර ගන්නවාද? තමන්ගේ දරුවන්ට වසදී තමනුත් ජීවිතය නැති කර ගන්නවා. අම්මලා, තාත්තලා මේ දිවි හානිකර ගැනීම් දිනෙන් දින වැඩිවෙලා තිබෙනවා. මෙතෙක් අපේ රට පාලනය කළ පාලකයෝ ජනතාව මේ ඛේදවාචකයට ඇද දමා තිබෙනවා. වගකීම් පැහැර හරින ආණ්ඩු රටකට අවශ්‍ය නැහැ. ජනතාවට වගකියන ආණ්ඩුවක් තමයි පත්කර ගන්න ඕනෙ.

Gahanu-Api-Ampara

දැන් මේ ආණ්ඩු කියනවා දුප්පතාගේ හිතවතාලු. “දුප්පතාගේ හිතවතා කියන සටන් පාඨය” ලංකාව වැනි රජයක, පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා නම් ඔවුන් ලැජ්ජා විය යුතුයි. ජනතාව දුප්පත් කළේ කවුද? අදත් ජනතාව සූරා කන්නේ කවුද? ජනතාවගේ ප්‍රශ්න අදටත් ඔවුන්ගේ දේශපාලන පොරපිටියේ බලයට ඒම සඳහා පාවිච්චි කරමින් තිබෙන්නේ කවුද? දැන් හාල් කිලෝ 20ක් බෙදමින් ඉන්නවා. ඒ බෙදපු දෙවල්වලට ඡන්දය දීපු කාලය ඉවරයි. ජනතාවට තමන්ට තුන්වේල සරිකර ගන්න බැරිකරපු ආණ්ඩු අද වෙනකොට ජනතාවගේ මේ ප්‍රශ්න විකුණා කමින් තිබෙනවා. හතලිස් තුන් ලක්ෂයක් වූ පාසල් දරුවන්ගෙන් ලක්ෂ 16කට උදෑසන ආහාරවේල දෙන්න සූදානම් කර තිබෙනවා. බඩු මිල අඩුකරන්න සූදානමින් ඉන්නවා. ජන රැල්ල මාලිමාවට හැරෙන කොට තමයි පාලකයාට හාල් බෙදන්න, විදුලි බිල අඩුකරන්න, උදෑසන ආහාරවේල දෙන්න මතක් වුණේ.

අද පාස්කු ප්‍රහාරය සිදුවී හරියටම අවුරුදු පහක් පිරෙන දවස. අදටත් යුක්තිය ඉටු නොවුණු ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. ඊයේ ඔබ දැක්කා කරුණා අම්මාන් අලුත් පක්ෂයක් හදාගෙන රනිල්ට සහාය දක්වන්න සූදානම් වෙලා ඉන්නවා. රට විනාශ කරපු පාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් එදා දරුවන් බලහත්කාරයෙන් අරගෙන ගිහින් යුද්දෙට පාවිච්චි කරපු කරුණා අම්මාන් එක්ක දේශපාලන පොර පිටියේ කරට අත දාගෙන ඉන්නවා. මේ රටේ යුද්ධය නිර්මාණය කරලා අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ව විනාශ කරපු පාලකයෝ අද උන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් උන්ට එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාම එකතු වෙලා ජාතිවාදී මේ නරුම රැළ එලවා දමන්න ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න. අම්මලාගෙන් 14%ක් එක වේලක් බඩගින්නේ ඉන්නවා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න. “උපන් රටට නුඹ වැඩියා මිසක පුතේ – වැදූ මවට නුඹ වැඩිවා නොවේ පුතේ” ඒකෙ කියනවා “නැව් නැගලා දුර රටකට යන්න පුතේ” ජාතික ජන බලවේගයේ අපි කියනවා අපි මේ රටේ රැඳෙමු. මේ රට ගොඩනඟමු. අපේ දරුවන් වෙනුවෙන් මේ රට හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනඟමු. ඒ සඳහා කටයුතු කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ඒ සඳහා අපි ශක්තිමත්ව නැගී සිටින්නට ඕනෙ. අපි අලුත් සහෝදරියන් හඳුනාගෙන තිබෙනවා, හැකියාවන්ගෙන් පරිපූර්ණ දිස්ත්‍රික්කවලට වගේම ජාතික මට්ටමේ නායකත්වය සපයන්න පුළුවන් විශාල ප්‍රමාණයක් සහෝදරියන් හමුවී තිබෙනවා. ඒ හැම කෙනෙක්ම ස්වේච්ඡාවෙන් කැපවෙමින් වැඩ කරනවා. අපි මේ රටේ තකිරය විතරක් ගහන්න පාවිච්චි කළ ඒ කාන්තා බලය සමාජය වෙනස් කරන නව ජාතික පුනරුදය සඳහා කාන්තා බලය ඒකරාශී කරපු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. එය ඔබේ දරුවන්ට නිදහස, විමුක්තිය, සාමය හා සතුට ලබාදෙනු ඇති.

Gahanu-Api-Ampara

“අද අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කාන්තා බලවේගය මාලිමාව වටා ඒකරාශී වී සිටිනවා. මේක ඓතිහාසික අවස්ථාවක්…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී – වසන්ත පියතිස්ස-

අද අම්පාර දිස්ත්‍රික්කයට ඓතිහාසික දවසක්. අම්පාර දිස්ත්‍රික්කයේ යළි සංවර්ධන කටයුතු ආරම්භ වෙලා ග්‍රාමීය වශයෙන්, ඓතිහාසික වශයෙන් පැරණි ගම්මාන සහිත ජනාවාස තිබිලා, 1949 ගල්ඔය ව්‍යාපාරය යටතේ ඩී.එස්. සේනානායක සමුද්‍රය ආරම්භ කරලා, එතැන්සිට මේ දක්වා ආව ගමන් මග තමයි ඒ. එහෙත් දේශපාලනික වශයෙන් සංවිධානාත්මකව අම්පාර නගරයට යම් කාන්තා පිරිසක් එකතු වුණා නම් ඉතිහාසයේ වැඩිම කාන්තා පිරිසක් අරමුණු සහගතව, ඉලක්ක සහගතව එක මිටකට එකතු වුණු දැවැන්තම කාන්තා රැළිය අද අම්පාර නගරයේ මුළු දෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ ඉතා දුෂ්කරතා ගොඩයි. බාධක ගොඩයි. අගහිඟකම් ගොඩයි. ප්‍රශ්න ගැටලු ගොඩයි. ඒ සියල්ල මතින් තමන්ගේ ජීවිතය, තමන්ගේ පවුල ඉතා අමාරුවෙන් ඉස්සරහට තල්ලු කරගෙන යන සමාජයක ජීවත් වෙන තවත් එක්තරා පිරිසක් තමයි අම්පාරේ ගැහැනුන් කියන්නේ. ඔබ මුහුණ දෙන දුක් වේදනා, ප්‍රශ්න, ගැටලු, පීඩනය, ඉතිහාසයේ කිසිදිනෙක මේ රටේ පාලකයෝ හඳුනා ගෙන නැහැ. ඒ හඳුනා නොගැනීම හේතුකොටගෙන ඔවුන්ව විශ්වාස කරලා, නැවත නැවතත් විශ්වාස කරලා බැරිම තැන ඔබ අද ඇත්ත සොයාගෙන ඇවිල්ල අද අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කාන්තා බලවේගය මාලිමාව වටා ඒකරාශී වී සිටිනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. හේනේ, කුඹුරේ වැඩ කරන, ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන, අලින් එක්ක ඔට්ටුවෙන, සතා සීපාවන් එක්ක ඔට්ටුවෙන, මහපොළොවත් එක්ක ඔට්ටු වෙන, අතේ කරගැට පිරුණු, ගැහැනුන් තමයි මේ ඉන්නේ. ඔබට විමුක්තිය අවශ්‍යයි. යුක්තිය, සාධාරණත්වය, සංවර්ධනය, යහපත් අනාගතයක් ඔබටත්, දරුවන්ටත් අත්‍යවශයයි. තවදුරටත් ඉවසන්න බැහැ. යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න, එය පසිඳලන්න ඔබත් අද පාරට බැහැලා තිබෙනවා. ආදරණීය අම්මේ, අක්කේ, නංගී මේක තමයි පාර. ආපසු හැරෙන්න එපා. මෙහි කෙළවර තමයි ක්ෂේම භූමිය තියෙන්නේ. ඔබේ දරුවාට අධ්‍යාපනයේ ප්‍රතිඵල ලැබෙන, ඔබේ දරුවාට රස්සාව ලැබෙන, ඔබේ ප්‍රශ්න-ගැටලු නිරාකරණය වෙන මාවත මේ මාවතයි. ඒ නිසා මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. මේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය, මැති ඇමතිකම් ගත්තු, මහත්තුරු බලයට ආවාට පස්සේ, ඔබේ ගමේ, ඔබේ ගොවිපොළේ පොහොර ටික කප්පාදු කරද්දී පාර්ලිමේන්තුවේ විමලවීර මහත්තයලා අත ඉස්සුවේ නැහැ. වීරසිංහ මහත්තයා, දොස්තර මහත්තයා ඊට විරුද්ධව අත ඉස්සුවේ නැහැ. ඒවට පක්ෂපාතී වුණා. විදුලි බිල 300%කින් 400%කින් වැඩි කරද්දී, ඒකට පක්ෂව විමලවීරලා අත ඉස්සුවා. මේ රටේ සම්පත් දේපළ විකුණද්දී ඒ ගොල්ලෝ ඒකට පක්‍ෂව අත ඉස්සුවා. ඔබේ දරුවාගේ අනාගතය බිඳ වැටෙද්දී, ඔබේ බලාපොරොත්තු සිහින එකින් එක බොඳ වෙද්දී ඒ දෙස සිනහමුසු මුහුණින් බලාගෙන තමන්ගේ මඩි තරකර ගත්තු පාලක රැළක් මේ දිගාමඩුල්ලේ ඉන්නවා.

මේ දේශපාලන ගමන අවසන් කරන්න ඕනෙ. ඒ සඳහා තමයි මේ බලමුළු ගැන්විලා තිබෙන්නේ. අදත් අම්පාරේ ගම්මාන විශාල ප්‍රමාණයක හාල් කිලෝ 20 බෙදනවා. ඒ වගේම දේශපාලන මැදිහත්වීම් මත විනෝද චාරිකා සැලසුම් කර තිබෙනවා. මරණාධාර රැස්වීමේ සිට අනෙකුත් සුබසාධන සංවිධාන විශාල ප්‍රමාණයක් ගම්මානවල අද දිනයේ දාගෙන තිබෙනවා. එහෙම දාගෙන තිබියදීත් ඔබ මෙතනට ආවේ මේ රට ගැන හිතලා. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. ඔබට ගෞරව කරනවා. ඔබ ඉදිරියට එන්න ඕන. ඔබ තව තවත් ධෛර්ය සම්පන්නව ශක්තිමත්ව දුෂ්කරතා අභියෝග ජය ගනිමින් මේ ගමන ඉස්සරහට යන්න ඕනෙ. තව මාස හතයි. මේ දූෂිත ජරාජීර්ණ දේශපාලනය තව පෝය හත අටකින් නවත්වලා මාලිමාවේ රජයක් බිහිවෙන එක සහතිකයි.
අපි ඔබට යෝජනා කරන්නේ මේ ගමන ඉදිරියටම යන්න. අපි අම්පාරේ සිට මහඔය, පදියතලාව, මහියංගනය දක්වා යද්දී, අම්මලා විඳින දුක්වේදනා පේනවා. අපිට පේනවා උදේ පාන්දර කිරි ටික දොවාගෙන, තමන්ගේ හරක් ටික ගාලෙන් ලිහාගෙන ඈත කැලේට ගිහිල්ලා, ඒ හරකුන්ට කෑම කවාගෙන රෑ වෙලා ගෙදර එන අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා මහඔය, පදියතලාවේ. මෙතන ඉන්නවා එහෙම අම්මලා, අක්කලා, ඒ වගේම උදේ පාන්දර හේනට ගියාට පස්සේ බඩඉරිඟුවලට පස් දාලා, කව්පිවලට පස්දාලා අස්වැන්න නෙළනකම් සතා සීපාවාගෙන් ඒක බේරා ගන්න පැල් රැකලා, හේන් රැකලා කුසට ආහාරයක් නැතිව දුක්වේදනා විඳලා ලැබෙන සොච්චම් ආදායමෙන් දරුවන්ට උගන්වන අම්මලා, අක්කලා මෙතන ඉන්නවා. විමලවීර, රනිල් රාජපක්ෂ උඹලා ඒක දන්නවාද? උඹලා අවුරුදු කීයක් මේරට පාලනය කළාද? මගේ දරුවාගේ අධ්‍යාපනය, මගේ දරුවාගේ අනාගතය කොහොමද කියලා හූල්ලා වැටෙනවා මේ අම්මලා. අපි යනකොට දකිනවා දරුවෝ පාසලට යන්න බස් එකක් නැතිව පාරේ ඉන්නවා. ඒ අහිංසක දරුවෝ එන එන වාහනේට අත දානවා. අලි එනකොට ආපහු ගෙදර දුවනවා. ඉස්කෝලේ අඩුපාඩුකම් එමටයි. අම්මෙක් අප්පෙක් නැති දරුවෝ වගේ. මේ රටේ මිනිස්සු හරිහමන් රස්සාවක් නැතිව දුක්විඳිනවා. බස් එක එනකම් පාරේ ඉඳගෙන බත් කවනවා. අපි මහපාරෙදි මේවා දැකලා තිබෙනවා. ඒ වගේම විභාගෙ දවස්වලට පාරේ ඉඳගෙන අම්ම පොත කියවනවා, දරුවා අහගෙන ඉන්නවා. මහා ලොකු ලෝකයක් දිනන්න නොවෙයි. තමන්ගේ දරුවාට හොඳ හෙටක් හදන්න මහා බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා අපේ අම්මලා. හරියට ගෙයක් නෑ, අඳින්න පළඳින්න නෑ. හරියට කෑම ටික නෑ. පහසුකම් කිසිවක් නෑ. එහෙම සමාජයක අපි තාමත් ජීවත් වෙන්නේ.

Gahanu-Api-Ampara

පාලකයෝ අපේ රීරි මාංසෙ උරා බීලා හත්මුතු පරම්පරාවකට හරි හම්බකරගෙන සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. ඔවුන්ගේ ඒ ජීවිත යළි යළිත් ස්ථාපිත කර ගන්න, ඒ බලය රැකගන්න මේ අහිංසක අම්මාවරුන්ට සිල්රෙදි බෙදනවා. ඡන්දෙ කාලෙට සාරිකටු බෙදනවා. බත් පැකට් බෙදනවා. හාල් කිලෝ ගණන් බෙදනවා. ඔබේ අනාගතය සොරා කනවා, මේ සොර දෙටුවෝ. ඒ නිසා ආදරණීය කාන්තාවනි ඔබ ශක්තිමත්ව, ධෛර්යසම්පන්නව, එඩිතරව පෙරට එන්න. මේ මාතෘ භූමිය අනාගත පරපුර බේරා ගන්න නම් අන් මගක් නැහැ. ඒ අභියෝගයට අපි මුහණ දී සිටිනවා. අපි ඔබට යෝජනා කරන්නේ ඔබේ ගමේ අනෙකුත් අම්මලා, අක්කලා, නංගිලා දැනුවත් කරන්න. තමන්ගේ හිතවතුන්, ඥාතීන්, අසල්වාසීන් දැනුවත් කරන්න මේ විනාශකාරී, වංචාකාරී, ප්‍රෝඩාකාරී, දූෂිත හොර නඩය පළවා හරින්න අපි එකතු වෙන්න ඕන කියන පණිවිඩය දෙන්න. ඊට අදාළව ඓතිහාසික සමුළුවක් තමයි මේ පැවැත්වෙන්නේ. මෙහි වගකීම බාරගත්ත, නායකත්වය බාර ගත්ත සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරියන්ට සුවිශාල වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනහමාරක පමණ ගැහැනුන් පිරිසක් අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉන්නවා. ඒ සැමට නායකත්වය දීමේ වගකීම ඔබේ දෙවුරමත තිබෙනවා. ඒ අභියෝගය, අවශ්‍යතාවය කිසිලෙසකින් වත් අත්හරින්න එපා. සාම්ප්‍රදායික සිතිවිලි, අදහස්, ගතානුගතික පැවැත්මවල්, ගෙදරට, කුස්සියට සීමාවෙලා තිබුණු ජීවිතය අවසන් කරමින් අපි අලුත් ලෝකයට පිය නගමු.

ආදරණීය සහෝදරියනි අපට අන් මගක් ඉතිරි කර නැහැ. ශ්‍රේෂ්ඨ දාර්ශනික ලෙනින් සහෝදරයා කියා තිබෙනවා, “රටක පාලක පංතිය දූෂිතයි නම්, රටකපාලක පංතියේ හදවතක තෙතමනයක් නැතිනම් රටේ ජනතාව සම්බන්ධව ඒ පාලකයෝ හොරකම් කරමින්, වංචාවේ යෙදෙමින්, බොරු කියමින්, රටේ දේපළ සම්පත් විකුණමින් කටයුතු කරන පාලක පංතියක් නම්, ඒ රටේ ගැහැනුන් යනු තවදුරටත් කුස්සියේ වහලියකි. නිවසේ වහලියකි.” ඔබේ දෑතින් ඔබ කරන මෙහෙවර අනන්තයි අප්‍රමාණයි උදේම අවදිවෙන්නෙත් ඔබ, අවසානයේ නිදාගන්නෙත් ඔබ. ගෙදර සියලු කාර්යභාරයන් ඔබට පැවරිලා තිබෙනවා. ඔය දෑතට, මනසට ඉතා වෙහෙසයි. කුස්සියේ මුල්ලකට වෙලා ඔබ අඬනවා. ඒක හොඳින්ම දැනෙන එකම දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා අපි හැමෝම ශක්ති සම්පන්නව ධෛර්ය සම්පන්නව ඉදිරියට ගිහිල්ලා මේ රට ජයග්‍රහණයේ දිශානතියට යොමු කරමු. ජයග්‍රහණයෙන් කෙළවර කරමු. තවදුරටත් දූෂිතයන්ට, බොරුකාරයන්ට තවදුරටත් නොරැවටෙමු. මුළු මහත් අනාගත පරපුරක අනාගතය රැඳී තිබෙන්නේ ඔබේ දෙවුර මත. දෑත මත කියන එක මතක් කර ගනිමින් මේ සමාජ වගකීමට මැදිහත් වෙමු. ඒ සඳහා ඔබ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.