Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ඇත්ත නිදහස ලබාගන්න නව පන්නයේ නිදහස් අරගලයක් අවශ්‍යයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-Colombo, February 17, 2024-

අපේ රටේ වසර 76ක සාපය නිමාකිරීම වෙනුවෙන් සමස්ත බලවේග එකතුකරමින් යන අතරේ ජාතික ජන බලවේගය ඓතිහාසිකව කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කර ගත්තා. කාන්තාව නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොවෙයි, ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් විදිහට එකතු වෙමින් සිටිනවා. ඔවුන් ඓතිහාසික බලවේගයක් ලෙස දැන් ක්‍රියාකරමින් ඉන්නවා. තව මාස අටකින් විතර අපේ යුගය නිර්මාණය වීමේ ආරම්භක ජනාධිපතිවරණය පැමිණෙනවා. ජනාධිපතිවරණය කල්දාන්න වංගු ගහන්න බැහැ. එහෙම වංගු ගහන්න කවුරු ඉඩ දුන්නත් අපි ඉඩ නොදෙන බව සහතික කර කියනවා. වංගු ගහන්න ආවොත් පාරට බැහැලා ඒගොල්ලන්ව එලවා දාන්න කාන්තාවන් එක මිටට පෙරමුණ ගන්නා බව සහතිකයි.

බැරිමරගාතේ රනිල් වික්‍රමසිංහත් ජනාධිපතිවරණයට ලැහැස්ති වෙන බව පේනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල්තියලා කථානායක පුටුවේ වාඩිවෙලා කතා කරන්න රනිල් වික්‍රමසිංහ ආසයි. පාර්ලිමේන්තුව අමතා කීවේ 2048 දී රට ගොඩනඟන්න අවස්ථාව දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ගෝලයෙක් වන වජිර අබේවර්ධන කීවා 2048දී රට හැදිලා, යුරෝපයේ සුදු කාන්තාවෝ මෙහෙ ගෘහ සේවයට එන බව. ඉඩම් ඔප්පු දෙන්නම් කියලා රට වටේම ඉන්න අය දඹුල්ලට එකතු කළේත් ජනාධිපතිවරණයට එන්නයි. මාතලේ දිස්ත්‍රික්කයේ සහෝදරියන් දහස් ගණනක් මේ ඇවිත් ඉන්නේ ඔප්පු ගන්න නොවෙයි. රට වට්ටපු උන් එළවලා රට ගොඩනඟන්න ලැහැස්තියි කියන පණිවිඩය දෙන්නයි මේ ඇවිත් ඉන්නේ. හාල් මල්ලක් බෙදලා ඡන්ද එකතු කරන්නත් රනිල් උත්සාහ කරනවා. හාල් මල්ලකට, ටකරන් තහඩුවකට, ඡන්දය දීලා ආණ්ඩු හැදූ යුගය අවසන් බව අපි එයාට කියන්න ඕනෑ. මේක අලුත් යුගයක්, මාලිමාවේ යුගයක්. හාල් නොවෙයි රත්තරන් බෙදුවත් මේ රටේ කාන්තාවන් මාලිමාව ජයග්‍රහණය කරවන්න සූදානම් කියන තීන්දුව අරගෙනයි ඉන්නේ.

අපි ඉදිරියේ තිබෙන අභියෝගය සුළුපටු එකක් නොවෙයි. හොඳ දෙයක් තිබෙන තැනකට හොඳ දෙයක් දෙන එක අමාරු වැඩක් නොවෙයි. නරක දෙයක් තිබෙන තැනකට හොඳ දෙයක් දිය හැකි වන්නේ ධෛර්යවන්ත මිනිසුන්ට පමණයි. නරකම නරක රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න ධෛර්යවන්ත ගැහැනු රොද බැඳගනිමින් සිටිනවා. නිෂ්පාදන මාර්ග බිඳ වට්ටා, ව්‍යාපාර බිඳවට්ටා, අපිට ජීවත් වෙන්න ආදායම් මාර්ග උපයා ගන්න බැරි බංකොලොත් කරපු රටක් තිබෙන්නේ. අපි ජීවත් වෙන්නේ, ණයට අරගෙන හොරා කාලා ණය ගෙවා ගන්න බැරි බව ලෝකය කියූ රටකයි. 1948 නිදහස ලබනකොට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයක් තිබුණු රට අන්තිමයා කර තිබෙන්නේ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් සමස්ත ජනයා සම්බන්ධ කරගත් විශාල කාර්යභාරයක් තිබෙනවා. අදටත් අපනයන ආර්ථිකයේ විශාල පංගුවක් දරන්නේ තේ සහ ඇඟලුම් කර්මාන්ත තුළ කාන්තාවනුයි. විදේශ රැකියාවලින් වැඩිපුර ඩොලර් එවන්නෙත් කාන්තාවන්. නමුත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා සමස්ත ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රමාණවත් මුදලක් වෙන්කර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම කුණු වුණු සමාජයක් වෙනුවට මිනිස්කම තිබෙන සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් මහජන ධනය වංචාවෙන්, දූෂණයෙන් හොරා කෑ අයට දඬුවම් කරනවාමයි.

මුදල් වෙනුවෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. කාන්තාවන්ට ගරු කිරීමක් නැතිව අපරාධ කරන රටක් තිබෙන්නේ එකිනෙකාට ගරු නොකරන අපි කාටවත් ජීවත් වෙන්න නොහැකි සමාජයක් මේ තිබෙන්නේ. භාෂා අතර ගැටුම්, ආගම් අතර ගැටුම්, අඳින ඇඳුම් අතර තිබෙන ගැටුම් වෙනුවට සහකම්පනයක් මනුෂ්‍යත්වයක් තිබෙන රටක් අපට ඕනෑ. ආදරය තිබෙන රටක් අපට ඕනෑ. විශාල සමාජීය පරිවර්තනයක් කර, අපි අලුත් මනුෂ්‍යයෙක් හදන්න ඕනෑ. දරුවන්ට ආදරය තිබෙන, කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සහකම්පනය තිබෙන සමාජයක් අපි හදන්න ඕනෑ. වඩා යහපත් සමාජයක් හදන්න අපි සියලු දෙනාම අත්වැල් බැඳගන්න ඕනෑ.
නිදහස කියලා මුහුදට වෙඩි තියලා මාළුවන් බයකර ජාතික කොඩිය ඉස්සුවාට නිදහස තිබෙනවාද? අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ අයිතිය අපට නැහැ. රටේ ගොවියන්ට ඉඩම් ඔප්පු දෙන්න කියලා දඹුල්ලට ගෙන්වන අතරේ රජය සතු කිරි ගොවිපොළවල් ටික අමුල් සමාගමට විකුණනවා. හම්බන්තොට වරාය, කොළඹ වරායේ ජැටි, තෙල් ටැංකි විකුණා තිබෙනවා. ඉතිං රට නිදහස්ද? මේ තත්වයන්ට එරෙහිව ඇත්ත නිදහස ලබාගන්න නව පන්නයේ නිදහස් අරගලයක් අපට ඕනෑ. යමක්කමක් තිබෙන රට දාලා යා හැකි සියලු දෙනාම රට දාලා යනවා. ඒ වෙනුවට රට ගොඩනගමු කියන ධෛර්යය තිබෙන මිනිසුන් අපි පුබුදුවා ගන්න ඕනෑ. ඒ අතරේ ධෛර්යය තිබෙන ගැහැනුන් එක මිටට එකතු වී රට හදනවා කියන පණිවිඩය දෙන්නයි ඔබ මෙතනට ආවේ. ජාතික ජන බලවේගය ජාතික පුනරුද යුගයක් ඇතිකරමින් කර්මාන්ත ගොඩනඟා, ව්‍යාපාර ගොඩනඟා සැබෑ නිදහස දිනාගෙන රට ගොඩනැගීම සිදුකරනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම ජාතික අරමුණක් වෙනුවෙන් වැඩකරන්න ඕනෑ. බලය වෙනුවෙන් මේ දක්වා සිටි පාලකයන් ජනතාව ආගම් වශයෙන්, ජාතිකත්ව වශයෙන් බෙදා තිබූ යුගය අවසන් කරනවා. දියුණු සංස්කෘතික සමාජයක් සහිත මිනිසුන් ගොඩනැගීම අවශ්‍යයි. අද තිබෙන නරුම සමාජය වෙනස් කළ හැක්කේ හැමදේකම මිල දන්නා නමුත් වටිනාකම නොදන්නා පවතින මේ ක්‍රමය වෙනස් කිරීමෙනුයි.

අපි ඉදිරියේ තිබෙන්නේ ලොකු වැඩක්. හැමදෙයක්ම නැවත ප්‍රතිනිර්මාණය කරන්න ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් වැඩකරන මහා දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. මේ දක්වා බලයේ සිටි අය ඡන්දය ගත්තෙත් අනිත් පැත්තට පැන්නෙත් ඇමතිකම් ගන්න. මේ තත්වය වෙනස් කරන්න ගැහැනුන් එක මිටට බලය ගන්නත් පෙර එකතු වී මේ විදිහට සංවිධානය වෙනවා නම්, බලය අරගෙන රට හදන්න නායකත්වය දෙන විශාල පිරිසක් මේ වේදිකාවේ ඉන්නවා. මේ දක්වා බලය ගත්ත කණ්ඩායම් ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඔවුන් සොරකම් කළා. ඒ පැරණි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න මේ සියලු දෙනාම ලැහැස්තියි. ගුරුවරියන්ට දරුවන්ටත් ගමේ ඉන්න කාන්තාවන්ට සමාජයටත් මෙතෙක් පැමිණි වැරදි, විනාශකාරී මාවත ගැන කරුණු පැහැදිලි කර දිය හැකියි. වසර 76ක ඉතිහාසය වෙනස් කර, අලුතින් ලියන්න පටන් ගන්නේ මේ අවුරුද්දේදි. පාලකයන් කල්පනා කරන්නේ ගැහැනුන් ඉක්මනින්ම රවටන්න පුළුවන් කියලයි. හාල් මල්ලක් දීලා, දිනා ගන්න පුළුවන් කියලා. මේ අවමානයෙන් කාන්තාවන්ව මුදා ගත හැක්කේ ඔබ සියලුදෙනාටයි. හාල් මල්ලක් වෙනුවෙන්, පොරොන්දුවක් වෙනුවෙන් වෙනස් නොවී ජනතාවගේ පාලනයක් වෙනුවෙන් නොනැවතී ගමන් කරන බලවේගය කාන්තාවන් බව ඔප්පු කරන්න ඕනෑ. රට ගොඩනැගීමේ කාර්යයේ ප්‍රධාන කොටස්කාරියන් කාන්තාවන් බව ඔප්පු කරන්න ඕනෑ. කාටත් සතුටින් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ ප්‍රධාන කොටස්කරුවන් වීමේ සතුට ඔබ සැමට තිබෙනවා. ජනාධිපතිවරණය, මහා මැතිවරණය කියන මොන මැතිවරණය ගෙනාවත් ඒ ගොල්ලෝ සිංහාසනයෙන් බස්වා නව රටක් බිහිකරන්න සූදානම් කියන පණිවිඩයයි මේ දෙමින් සිටින්නේ.

ආදරණීය සහෝදරියනි, අපේ දරුවන්ට අනාගතයක් නැති කළ, ආර්ථිකය විනාශ කළ, අපිට සතුට නැති කළ 76 වසරක සාපය නිමාකරන්න ගැහැනුන් ලැහැස්ති බව ගමෙන් ගමට ගොස් කියන්න. කිසිවෙකුටත් නැවත කාන්තාවන්ව රැවටිය නොහැකි බව ගෙයින් ගෙට ගිහින් ජනතාවට කරුණු අවබෝධ කර දෙන්න. ලැබෙන පළවෙනි අවස්ථාවේම දුෂ්ට පාලනය නිමාකර ජයග්‍රහණය කරන තුරු නොනැවතී පෙරට යන බව තහවුරු කරන්න. සතුරන් පලවා හැර ජනතාවගේ ජයග්‍රහණය, මවුබිමේ ජයග්‍රහණය, දරුවන්ගේ අනාගතයේ ජයග්‍රහණය ලබාගැනීමෙන් තොරව නොනවතින බව තහවුරු කරන්න. නව නිදහස් අරගලයකින් මවුබිම ගොඩනැගීම දක්වා සමස්ත ජනතාව සමග පෙළ ගැසී ජයග්‍රහණය කරන බව ඉතිහාසයේ සටහන් කරන්න.

“දරුවන් වෙනුවෙන් වූ සිහින සැබෑ කර ගත හැකි සමාජයක් හදන්න අපට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

රට පුරාම ගැහැනුන් අවදි වීමත් සංවිධානය වීමත් අපි දකිනවා. එය විශිෂ්ටයි. සති ගණන් මාස ගණන් ගෙයින් ගෙට ගොස් ඔබ සියලු දෙනා සමග සංවාද කර ඇතිවුණු පිබිදීමත් සංවිධානය වීමක් මුළු රට පුරාම තිබෙනවා. ගැහැනු අපි එක මිටට කියන තේමාවෙන් ජාතික ජන බලවේගය වටා එකතු වීමයි තිබෙන විශිෂ්ටත්වය. මේ රටට අවශ්‍ය පරිවර්තනයේ නායකත්වය ඔබ සියලු දෙනා ගන්නා බවයි මේ පෙන්නුම් කරන්නේ. වේදිකාවේ ඉන්න අතරේ ලැබුණු පණිවිඩ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් කතා කරන්න මම කල්පනා කළා. හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක පහ වසර සිසුන් සිවු දෙනෙක් ඇද වැටී රෝහල්ගත කර තිබෙනවා. අපේ ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් පාසල ගැන අභිමානවත් විශ්වාසයක් අපි කාටත් තිබුණා. දරුවාගේ ආරක්ෂිතභාවය ගැන තිබූ ඒ විශ්වාසය විනාශ කරමින් යනවා. පාසල් තාප්ප කඩා වැටී දරුවන් මිය යනවා. පාසල තුළ දරුවන් සුරක්ෂිතයි කියන විශ්වාසය ගොඩනඟන්න නොහැකි වී තිබෙනවා. ගෙදර සාමදානයක් නැති මට්ටමට පවුල් සංස්ථාවත් කඩා වැටී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, යන සියල්ල අපට අහිමි වී තිබෙනවා. රෝහලකදී නිසි ලෙස ඖෂධ ලැබී නිරෝගී වීම ආශ්චර්යයක් බවට තිබෙන තැනට ඇවිල්ලා. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ අපේ මනුෂ්‍යත්වය සහ ආදරණීය බැඳීම් ඛේදවාචකයක් වී තිබෙනවා.

මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ ගැහැනු පිරිමි අපි ඔක්කොම හිරවෙලා. උදේ සිට රෑවෙන තුරු අරගල කරන්නේ එදිනෙදා බිල් ටික ගෙවා, දරුවා පාසලට යවා, යන්තම් බෙහෙත් ටිකක් අරගෙන, හුස්ම අරගෙන ජීවත් වෙන්නයි. ඒ වෙනුවෙන් ගෙවල් ඇතුලේ මොන තරම් යුද්ධයක් කරනවාද? අවම වශයෙන් යහපත් නින්දක්වත් නැහැ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බෙහෙත් ටික ගන්න අතිශයින්ම අමාරු තීරණ ගන්න වෙනවා. ඇය ගැන තිබෙන වටිනාකම, අභිමානය නැති වෙන තීරණ ගන්න සිදුවී තිබෙනවා. රට අත්හැර රැකියා සොයාගෙන අම්මලාට තාත්තලාට යන්න සිදුවී තිබෙනවා. දරුවන් එක්ක කතා කරන්න අපිට වෙලාවක් නැහැ. දරුවෙක් පොඩි වරදක් කළත් දෙමාපියන්ට තරහා යනවා. බඩගින්නට කන්න, බෙහෙත් ටික ගන්න, යන්තම් දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහ බිල් ගෙවන්න ලොකු සටනක් කරන්න සිදුවී තිබෙනවා. ඊට එහා ජීවිතයක් ගැන කිසිසේත් හිතන්න බැහැ. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළින් විනාශ කර තිබෙන්නේ අපේ ආර්ථිකය විතරක් නොවෙයි, අපේ මනුෂ්‍යත්වයයි. අපේ බැඳීම්, ජීවිතවලට අර්ථයක් දෙන සම්බන්ධතාවල ගුණාත්මකභාවය නැතිකරලා, දෙමාපියන්ට දරුවන් එපා වෙලා. දරුවන්ට දෙමාපියන් එපා වෙලා. එකිනෙකාට, එකිනෙකා එපා වෙලා.

මානුෂීය සම්බන්ධතා මෙතරම් විනාශ කළ සමාජයක් දියුණුයි කියන්න පුළුවන්ද? මේ සමාජයේ රැකගන්න දේවල් ඉතිරි වී තිබෙනවා කියා කියන්න පුළුවන්ද? අපි ඉන්නේ ආර්ථිකය කඩා වැටීමක විතරක් නොවෙයි, සමස්ත ඛේදවාචකයකට මුහුණ දෙන්නේ, ඒ බව තේරුම්ගත් ගැහැනුන් ඉවසුවා ඇති, දැන් වෙනස් වෙන්න ඕනෑ. කියලා තීරණය කර අවසන්. මෙවැනි සමාජයක් අපි තවදුරටත් ඉවසිය යුතු නැහැ කියන අධිෂ්ඨානය අපි සියලු දෙනා තුළ තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්නයි, අපි සියලු දෙනා එක්වී සිටින්නේ. තවත් ආණ්ඩු වෙනස් කිරීමකට නොව බරපතළ සමාජ පරිවර්තනයකින් අපේ මනුෂ්‍යත්වය නැවත සොයා ගන්නයි සියලු දෙනා පෙළගැසී සිටින්නේ. අපේ මානව සම්බන්ධතාවලට නව ගුණාත්මක අර්ථයක් දෙන්න, මනුෂ්‍ය ගතිගුණවලට ප්‍රමුඛතාව දෙන්නයි අපි පෙළගැසෙන්නේ. ගැහැනු අපි තුළ පත්තිනි දේවිලා විතරක් නොවෙයි, කාලිත් ඉන්නවා. අපේ ඉවසීමේ සීමාව පැන්නාම කාලිත් එළියට පනිනවා. මේ ක්‍රමය තුළ තවදුරටත් අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ.

අපට අවශ්‍යයි අපේ දරුවන් වෙනුවෙන් සිහින දකින්න සහ ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් සමාජයක් හදන්න. ඒ සමාජය ගොඩනැගීමේ ඓතිහාසික වෙනස වෙනුවෙන් අපි හැම එකතුවී සිටිනවා. කාන්තාවන් තුළ තිබෙන නායකත්වය, දක්ෂතාවය, එඩිතරභාවය රට වෙනුවෙන් කැප කරන්නයි මේ කාන්තාවන් සංවිධානය වෙන්නේ. ගැහැනුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන වේදිකාවක් අපේ සමාජයට අවශ්‍යයි. ඒවාට ඇහුම්කන් දෙන සමාජයක්, දේශපාලන නායකත්වයක් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගොඩනඟා තිබෙන වේදිකාව මාලිමාවයි. අපේ වටිනාකම, අපේ සතුටට ඉඩක් තිබෙන සමාජයක් බිහිකරන්න නම් බලය අවශ්‍යයි. මීළඟට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක සහෝදරයා බව සමාජය පිළිඅරගෙන අවසන්. මීළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සමාජය පිළිගෙන අවසන්. එතැනින් එහා නිදහස් සමාජයක්, ගැහැනුන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් බිහිකිරීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා. සතුටින්, සාමදානයෙන්, ආදරයෙන් පිරුණු සමාජයක් ගොඩනඟන්න අපි සියලු දෙනාම එකතු වෙමු.