Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

කුමන වේශයෙන් ආවද ජාතිවාදයට යළි හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ

(-2024.04.17 ජන රැලිය – යාපනය -)

President AKD welcomed at the Jaffna public rally

ජනපති යාපනයේ දී කියයි

කුමන වේශයෙන් ජාතිවාදය යළි රට තුළ හිස එසවීමට උත්සාහ කළද එය පරාජය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතිවාදය අවුලන කණ්ඩායම් ආණ්ඩුවට කුමන ආකාරයේ ලේබල් ගැසීමට උත්සාහ ගත්තද උතුරේත්, දකුණේත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රට තුළ ජාතික සමගිය ගොඩනැඟීමට කැප වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට අද (17) යාපනයේදී එක් වෙමිනි.

ආණ්ඩුව කිසි විටෙක, කිසිදු පළාතක ජනතාවකගේ අයිතිවාසිකම් හෝ උරුමයන් උදුරා ගැනීමට කිසිසේත් කටයුතු නොකරන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තිස්ස විහාරයේ ගැටලුව විසඳීමට නම් ඒ මත තිබෙන දේශපාලනය ඉවත් විය යුතු බවද සඳහන් කළේය.

යාපනය යළි යථා තත්ත්වයට ගෙන ඒමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, යුද්ධයේ අමිහිරි ඉතිහාසය සහ අප අමතක කළ යුතු ඉතිහාසය නැවත නැවත පෑරීමට ඉඩ නොදෙන බවත් පැවසූ ජනාධිපතිවරයා යාපනයේ ජනතාවගේ ගැටලු විසඳමින් නව නගර සැලැස්මක් ඔස්සේ යාපනය යළි ගොඩනැඟීමට කටයුතු කරන බවද පැවසීය.

අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් අත්විඳින වේදනාව තමා හොදින් දන්නා බවද සඳහන් කළ ජනාධිපතිවරයා එම වේදනාව සමනය වීමට නම් ඔවුන් සත්‍යය දැන ගත යුතු බවත්, සත්‍යය එළිදරව් කිරීම වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස අවශ්‍ය කටයුතු සිදු කරන බවත් පැවසීය.

රටේ ජනතාව එක්ව ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කර ගත්තේ අලුත් පරිඡේදයක් රට තුළ ආරම්භ කිරීමට බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ ආරම්භ වී තිබෙන්නේ කළු අතීතය අවසන් කර අලුත් අනාගතයක් කරා රට ගෙන යන නව පරිච්ඡේදයක් බවත් යළි ගොඩනැඟෙමින් තිබෙන රටට පැමිණ ආයෝජනය කරන ලෙස තමා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බවත් පැවසීය.

President AKD Addressing at the Jaffna public rally

ජනරැලිය ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ යාපනය දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලබා දීම පිළිබඳව මම පළමුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ හැමදාම මැතිවරණවලදී සිදු වුණේ ජනතාව අතර බෙදීමක් ඇති වීමයි. එහෙත් පසුගිය මහ මැතිවරණයේදී උතුරේ, දකුණේ සහ නැගෙනහිර සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනතාවගේ තෝරා ගැනීම වුයේ ජාතික ජන බලවේගයයි. පසුගිය මැතිවරණයේදී බෙදෙනවා වෙනුවට ජනතාව රට වෙනුවෙන් එකතු වුණා. එසේ එක් වූ අප යළි කිසිදිනක නැවත බෙදිය යුතු නැහැ. එකිනෙකා බියෙන් සැකෙන් ජීවත් වන රටක් අපට අවශ්‍ය නැහැ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත්වන, එකට මියැදෙන එකම මාතෘ භූමියක් ලෙස, මේ රටේ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලැබෙන සාධාරණ රටක් ගොඩනැඟීමයි. අපි එකිනෙකාට වෛර කරගෙන තිබෙනවා. යුද්ධ කරගෙන තිබෙනවා. එහෙත් අපිට කිසිවක් ඉතිරි වුණේ නැහැ. අපට ඉතිරි වුණේ විනාශ වූ උතුරු පළාතක්, දරුවන් අහිමි වූ දෙමාපියන් පමණයි. ඥාතීන්, මිතුරන් සියලුදෙනා අපිට අහිමි වුණා. උතුරේත්, දකුණේත් එය සිදු වුණා. නැවත එවන් යුගයක් අපට අවශ්‍ය නැහැ. අප දැන් එය අවසන් කළ යුතුයි. අපේ පරම්පරා යුද්ධ කරගත්තා. ගහගත්තා. එහෙත් අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්නේ නැති රටක්, ගහගන්නේ නැති රටක් සහ සියලුදෙනා සමගියෙන් ජිවත්වන රටක් ජාතික ජන බලවේගය විසින් ගොඩනඟන බවට මම ඔබට සහතික වෙනවා.

තවදුරටත් අපේ රටේ ජාතිවාදය නැහැ. ජාතිවාදය අවශ්‍ය දේශපාලනඥයන්ටයි. ඔබ දන්නවා තිස්ස විහාරය කේන්ද්‍ර කරගෙන ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මම ප්‍රකාශ කළා තිස්ස විහාරයේ ප්‍රශ්නය විසඳන්න පහසුයි. ඒ ප්‍රශ්නය පසුබිම් කරගෙන ක්‍රියාත්මක වන උතුරේ සහ දකුණේ දේශපාලනය ඉන් ඉවත් විය යුතුයි කියලා. තිස්ස විහාරයේ ප්‍රශ්නය විසඳිය හැකියි ඒ මත තිබෙන දේශපාලනය ඉවත් කළහොත්. විහාරාධිපති ස්වාමින් වහන්සේ, එම ගමේ ජීවත්වන පුරවැසියන්, නාග විහාරයේ ස්වාමීන් වහන්සේ එකතු වුණොත් මේ ප්‍රශ්නය විසඳිය හැකියි. දේශපාලනඥයන්ට නැවත අවශ්‍ය ජාතිවාදයයි. අපි ආණ්ඩුවක් ලෙස කිසි විටෙක, කිසිදු පළාතක ජනතාවකගේ අයිතිවාසිකම් හෝ උරුමයන් උදුරා ගැනීමට කිසිසේත් කටයුතු කරන්නේ නැහැ. මේ රටේ කොතැනක පුරාවස්තුවක් හමු වුණත්, කොතැනක ඓතිහාසික නටඹුන් හමු වුණත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් කියා බලන්න අවශ්‍ය නැහැ. අපි ඒ දෙස බැලිය යුත්තේ රටේ උරුමයක් ලෙසයි. එහෙත් දැන් පුරාවස්තු සහ ඓතිහාසික නටඹුන් මතු වූ විට එය සිංහලද, දෙමළද කියලා හොයනවා. එය ජාතිවාදියාගේ ස්වභාවයයි. එහෙත් ඒවා ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙනුවෙන් රැක දීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.

මෙම ජාතිවාදී පිරිස් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. එහෙත් යළි එම ජාතිවාදය මත රට තුළ ගැටුම් ඇති කිරිමට උත්සාහ කරනවා. එහෙත් මොන වේශයෙන්, මොන ආකාරයෙන් යළිත් ජාතිවාදය නැගිටීමට උත්සාහ කළත් එය පරාජයට පත් කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මම ඔබට ප්‍රකාශ කරනවා. අපට ජාතික සමගිය අවශ්‍යයි. මෙම යාපනයේ පාරම්පරික දේශපාලන නායකයෝ සිටියා. පාරම්පරික පක්ෂ තිබුණා. මෙම විශාල පක්ෂ තිබියදී, මහා නායකයන් සිටියදී ඔබ අප කෙරෙහි විශ්වාසය තැබුවා. කුමන දුෂ්කරතා හමුවේ වුවද ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් බිඳ වැටීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික වෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාස තබමින් විසඳා ගැනිමට අපේක්ෂා කරන ප්‍රශ්න තිබෙනවා. අපි ඒවා විසදනවා. කුමන ආකාරයේ ලේබල් ගැසීමට උත්සාහ කළත් ජාතිවාදී කණ්ඩායම් කුමන ආකාරයේ විරෝධතා පළ කළත් අපි ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාතික සමගිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නවා.

Crowd at the Jffna Public Rally

පළමුවෙන්ම ආරක්ෂක හේතුන් මත ආණ්ඩුවට පවරා ගත් ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරනවා. තවදුරටත් ආරක්ෂක හේතුන්වලට මුවා වෙමින් ජනතාවගේ ඉඩම් ආණ්ඩුව අතේ තබා ගැනීමට අයිතියක් නැහැ. නිදහස් කළ හැකි හැම ඉඩමක්ම නිදහස් කරනවා. ඔබ ඉඩම්වල පදිංචි වෙන්න. වගා කරන්න. අපි වැඩ කරන්නේ යුද්ධයක් එයි කියා බලාගෙන නොවෙයි, යුද්ධය එන එක නතර කරන්නයි ජාතික ජනබලවේගය වැඩ කරන්නේ. ආණ්ඩුවක වගකීම එයයි.

මේ ප්‍රදේශයේ විශාල මාර්ග ප්‍රමාණයක් වසා දමා තිබුණා. අපි පියවරින් පියවර ඒ පාරවල් යළි විවෘත කරනවා. ඔබ නිදහසේ කටයුතු කරන්න. කොළඹත් පාරවල් වසා දමා තිබුණා. ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ගය, අරගලිය මන්දිරය ඉදිරිපිට මාර්ගය වහලයි තිබුණේ. අපි එම පාරවල් විවෘත කළා. ජනාධිපති, අගමැති මන්දිර ඉදිරිපිට පාරවල් අරින්න පුළුවන් නම් යාපනයේ පාරවල් වහගෙන ඉන්න අයිතියක් නැහැ. අපි යළි යථා තත්ත්වයට මෙම යාපනය ගෙන එනවා. යුද්ධයේ අමිහිරි ඉතිහාසය, අපි අමතක කළ යුතු ඉතිහාසය නැවත නැවත පාරන්න ඉඩ දෙන්නේ නැහැ.

අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව මම දන්නවා. අපි හැකි තරම් උත්සාහ කරනවා. ඔබේ දරුවා ආණ්ඩුවට භාරදුන්නා නම් පොලිස් ස්ථානයකට හෝ හමුදා කදවුරකට භාර දුන්නා නම් ඔහුට කුමක් වූවා දැයි සොයා බැලිය යුතුයි. එය වගකීම් සහගත රජයක වගකීමක්. අතුරුදන් වූ දරුවන්ගේ දෙමාපියන්ගේ වේදනාව මම දන්නවා. සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගිය විට අපි දේහය දකිනවා. ආගමික වතාවක් සිදු කරනවා. අපි අතින්ම භූමදානය කරනවා. කාලයත් සමග අපි සුවපත් වෙනවා. එහෙත් දරුවෙක් අතුරුදන් වූ විට එසේ නොවෙයි. විශාල වේදනාවක් තිබෙනවා. මගේ ඥාති සහෝදරයාත් අතුරුදන් වුණා. ඒ නිසා මම එම වේදනාව දන්නවා. එම වේදනාව සමනය වීමට නම් දරුවන් පිළිබඳ සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. ඒ කිසිවෙකුගෙන් පළි ගැනීමට නොවෙයි. එය සාමදානය සදහා අවශ්‍යයි. අපි ආණ්ඩුවක් ලෙස එය ඉටු කරනවා. ඉතිහාසයේ ජීවත්වීමෙන් සහ එහි වේදනාවෙන් අපි මිදිය යුතුයි. අපි අලුත් පරිච්චේදයක් ආරම්භ කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි ඔබ අප කෙරෙහි විශ්වාසය තැබුවේ. පැරණි දේ අවශ්‍ය නම් ඔබ පැරණි පක්ෂ තෝරා ගන්නවා. ඔබ අපව තෝරා ගත්තේ අලුත් දේ වෙනුවෙන්. නොබියව එම අලුත් දේ කරන බව අපි සහතික වෙනවා. එය කළ යුතුයි. අපි අපේ රටයි. අපි කවුරුත් ජීවත්වන රටයි.

එපමණක් නොවෙයි ක්‍රමානුකූලව ජනතාවගේ ජීවිත නඟාසිටුවිය යුතුයි. පැරණි පාලකයින් මේ රටේ ආර්ථිකය විශාල ලෙස බිඳ දැමුවා. ඉන්ධන, ඖෂධ ගෙන එන්න බැරි ණය ගෙවාගත නොහැකි රටක් හැදුවා. එහෙත් අපි දැන් ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ගොඩනඟමින් තිබෙනවා. අපි ඒ සදහා සෑම රටකින්ම සහාය ලබා ගන්නවා. අපේ පරමාර්ථය මේ රට ගොඩනැඟීමයි. ඒ වගේම ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මේ රටේ ජනතාවට ලබාදීමටද අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

President AKD waving at Jaffna public rally

මම පසුගියදා මෙම යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගී වූණා. එහිදී අපිට යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. අපි ඒ හැම යෝජනාවකටම මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය යාපනයට වැදගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදෙන්න මම සූදානම් බව මම එහිදී දැනුම් දුන්නා. එවන් ස්ථාන ජනතාව වෙනුවෙන් වැඩකරන ස්ථාන බවට පත් කළ යුතුයි. අපේ දරුවන්ට රැකියා උත්පාදනය වන ස්ථාන විය යුතුයි. අපි ඒ වෙනුවෙන් ඒවා නිදහස් කරනවා.

ඒ වගේම මෑත කාලයේ මේ පළාතේ පාරවල් හදන්න වෙන් කළ වැඩිම ප්‍රතිපාදනය ලෙස රුපියල් දස ලක්ෂ 5000ක් අපි මෙවර අයවැයෙන් වෙන් කළා. එපමණක් නොවෙයි, ඉතිහාසයේ ඉතාමත් කළු සිදුවීමක් යාපනය පුස්තකාලය සමඟ ගැට ගැසී තිබෙනවා. පුස්තකාලයක් විනාශ කිරීම අපේ හදවත් පෑරුවා. පුස්තකාලයකට ගිනි තැබීම තමයි ජාතිවාදයේ උච්චතම අවස්ථාව. අපි මේ වසරේ පුස්තකාලයේ පහසුකම් ඇති කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 10ක් වෙන් කළා.

එපමණක් නෙවෙයි මේ නගර සභාව සඳහා විශාල ගොඩනැගිල්ලක් තිබෙනවා. එහෙත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. එය විශාල ගොඩනැගිල්ලක්. අපේ ගම්වල ගෙවල් ඉතා කුඩයි. අපේ නගර සභාව ඉතා විශාලයි. අපි නැවත එහි රාජකාරී ආරම්භ කළ හැකි අන්දමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දස ලක්ෂ 400ක් වෙන් කර තිබෙනවා. මේවා හදලා ජනතාවගේ තැන් බවට පත් කළ යුතුයි.

ඒ වගේම උතුරු පළාතේ ජනතාව මහ පොළොවත් සමඟ හැපෙන ජනතාවක්. අපි පොහොර සහනාධාරය 15,000 සිට 25,000 දක්වා වැඩි කළා. එළවළු සහ පලතුරු වගාව සඳහාත් අපි පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරනවා. උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කළ හැකියි. නව පොල් ත්‍රිකෝණයක් හදන්න පුළුවන්. ඒ සඳහා ආණ්ඩුව සහාය ලබා දිය යුතුයි. අපි ඒ සඳහා මිලියන 500ක් වෙන් කළා. පොල්වගා කරන ගොවීන්ට ආණ්ඩුවෙන් පොල් පැළ ලබා දෙනවා. පොල් පොහොර ලබා දෙන්නම්. පොල්වලවල් කපා බිම සකස් කරන්න මුදල් ලබා දෙන්නම්. වගා කරන්න සූදානම් වෙන්න. උතුර, දකුණ, නැගෙනහිර භේදයකින් තොරව අපි යළි මේ රට ගොඩනැඟීම සඳහා වෙහෙසෙමු.

Jaffna public rally with crowd

මේ උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරයට විශාල ලෙස ඉඩප්‍රස්ථා තිබෙනවා. එහෙත් ආරුගම්බේට හෝ දකුණට යන තරම් උතුරට සංචාරකයෝ එන්නේ නැහැ. අභ්‍යන්තර ගුවන් සේවය තව දුරටත් ශක්තිමත් කර කොළඹට පැමිණෙන සංචාරකයින් ගුවනින් යාපනයට එන වැඩපිළිවෙළක් සකස් කරනවා. යාපනය නව සංචාරක ගමනාන්තයක් බවට පත් කරනවා. ලබන වසරේදී පැරණි යාපනය නිරූපණය වන ආකාරයේ නව සංවර්ධන සැලැස්මක් සහිතව යාපනය නගරය නඟාසිටුවීමට අප අපේක්ෂා කරනවා. යාපනය ඓතිහාසික නගරයක් ලෙස පිළිබිඹු විය යුතුයි. ඔවුන්ගේ සංස්කෘතිය, ඉතිහාසය පිළිබිඹු වන ලෙස යළි ගොඩනැඟීම සඳහා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරනවා. ලබන වසරේ ඊට අප මුදල් වෙන් කරනවා.

ඒ වගේම යාපනයේ ජනතාවගේ පානීය ජල ගැටලුව සහ කැළිකසළ ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා. අපි උතුර, නැගෙනහිර දකුණ භේදයකින් තොරව හැම පළාතකම ජනතාවට සලකමින් රට ඉදිරියට ගෙන යා යුතුයි කියන ආණ්ඩුවක්.

ඒ වගේම අපි දන්නවා 1983 සිට දෙමළ ජනතාව විශාල පිරිසක් මේ රට අතහැර ගියා. අද ඔවුන් ලෝකයේ විශාල ව්‍යාපාරිකයන් සහ ධනවතුන් බවට පත්ව තිබෙනවා. මම දෙමළ ඩයස්පෝරාවේ සියලුදෙනාට ආරාධනා කරනවා ඔබගේ ඥාතින් සිටින භූමිය ගොඩනඟන්න, ඔවුන්ගේ ආර්ථිකය ගොඩනඟන්න හැකිතරම් ආයෝජනය කරන්න යළි ලංකාවට එන්න කියා අපි ආරාධනා කරනවා.

දැන් මේ රට සුරක්ෂිතයි. ජාතිවාදයෙන් තොර රටක් බවට පත්ව තිබෙනවා. සෑමදෙනාගේම අයිතිවාසිකම් සාධාරණ ලෙස පිළිගන්න රටක්. හැම සංස්කෘතියකටම ගරු කරන රටක්. ඒ නිසා නැවත මේ රට ගොඩනඟන්න ඔබගේ ආයෝජන යොදවන ලෙස මම ආරාධනා කරනවා. මෙය නව පරිච්ඡේදයක් පැරණි කළු අතීතය අවසන් කර අලුත් අනාගතයක් කරා යන පරිච්ඡේදයක්. එය ඉතා වැදගත් දේශපාලන පරිවර්තනයක්. එය අපගේ අම්මලා, තාත්තලා දීර්ඝ කාලයක් පුරා ප්‍රාර්ථනා කළ දෙයක්. විවිධ ආකාරයෙන් ඔවුන් මෙවන් ආණ්ඩුවක් අපේක්ෂා කළා.

දැන් ඒ ආණ්ඩුව හදලා තිබෙනවා. මහජනතාවගේ මුදල් සතයක් සොරකම් නොකරන ආණ්ඩුවක් අද හදලා තිබෙනවා. පැරණි දේශපාලනය මේ රට දුප්පත් කළා. ජනතාව දුප්පත් කළා. එහෙත් පාලකයන් පොහොසත් වුණා. අපි එම සංස්කෘතිය අවසන් කර තිබෙනවා. දැන් සියලුදෙනා එක්වෙලා ප්‍රාදේශීය සභා සහ නගර සභා ශක්තිමත් කර ගනිමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු කියා ආරාධනා කරනවා.

President AKD on stage of Jaffna public rally