Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ලෝකයේ ඇති වන ඕනෑම අර්බුදයක් හමුවේ කඩානොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කරනවා” -ජනපති මහනුවර මහයියාවේදී කියයි-

(-ජය නියතයි.. ගම අපිටයි.. මහනුවර ජයග්‍රාහී ජන රැලිය – 2025.04.10-)

ලෝකයේ ඇති වන ඕනෑම අර්බුදයක් හමුවේ, කඩානොවැටෙන ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා පැවසීය.

මෙරට ජාතික උරුමය සහ ජාතික ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ නව වැඩපිළිවෙළ මේ වන විටත් රජය ආරම්භ කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ බව සඳහන් කර සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් මහනුවර, මහයියාව ප්‍රදේශයේ පසුගිය 10වැනිදා සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

President AKD Addressing at public rally Kandy

ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය

අප මේ ආරම්භ කර තිබෙන ගමන ඉදිරියට යෑමට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතුයි. ඉදිරි මැතිවරණයත් අපට ජයග්‍රහණය කළ හැකි මැතිවරණයක්. මීට වසර දෙකකට පෙර රට ආර්ථිකමය අතින් කඩාවැටුණ බව ඔබ කවුරුත් දන්නවා. අප හමුවේ තිබූ ප්‍රධානතම අභියෝගය වූයේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. අප වැඩිපුරම වෙහෙස මහන්සි වී කටයුතු කළේ ඒ වෙනුවෙනුයි.

මේ වන විට රටේ ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට අප සමත් වී තිබෙනවා. අස්ථාවර රටක නිදියන විට ඩොලරය එක අගයක්. නැගිටින විට තව අගයක්. නමුත් මේ මාස හය ඇතුළත ඩොලරයේ අගය 300ක මට්ටමක තබා ගැනීමට අපේ රජය සමත් වී තිබෙනවා. ඒ අයුරින් අප රුපියල ස්ථාවර කර, ආර්ථික ස්ථාවරභාවයේ සංඥාව ලබාදී තිබෙනවා.

Crowd at public rally Kandy

මේ වසර ඇතුළත උද්ධමනය 5ක අගයක පවත්වාගෙන යෑමට අපි උත්සාහ ගනිමින් සිටිනවා. පසුගිය කාලයේ දිනපතා භාණ්ඩවල මිල ඉහළ ගියා. බැංකු පොලී අනුපාතිකය 20% – 35%ක් දක්වා ඉහළ ගියා. බැංකු පොලී අනුපාතය අධික ලෙස ඉහළ යෑම රටක ආර්ථික අස්ථාවරත්වයේ සංඥාවක්. බැංකු පොලී ඉහළ යෑම නිසා කර්මාන්තකරුවන් ණය ලබා ගත්තේ නැහැ. මේ සියල්ලක්ම අඩාල වුණා. ගත වූ මාස 6ක කාලය තුළ බැංකූ පොළී අනුපාතය තනි ඉලක්කමක පවත්වාගෙන යනවා. ඒ නිසා ව්‍යපාර, අලුත් කර්මාන්ත වෙනුවෙන් විශාල ලෙස බැංකු ණය නිදහස් වෙනවා.

ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට ආරම්භ කර තිබූ විදෙස් ව්‍යාපෘති සියල්ල අතරමග නැවතුණා. අද ජපන් රජය සමඟ නතර වී තිබූ ව්‍යාපෘති 11ක් ආරම්භ කර තිබෙනවා. චීන රජය ආරම්භ කළ කටුනායක – මීරිගම කොටස අතරමග නතර වීම නිසා දිනකට රුපියල් මිලියන 21ක වන්දි ගෙවිමට සිදුව තිබෙනවා. චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නතර කර තිබූ තෙල්දෙණිය විශාල ජල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමග අතරමග නැවතුණ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ වෙනවා. පසුගිය වසර 5-6 ඇතුළත කිසිදු ව්‍යාපෘතියක් සිදු වුණේ නැහැ. අප නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රට යළි වැඩ බිමක් බවට පරිවර්තනය කර තිබෙනවා.

Lal Kantha at public rally Kandy

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවොත් රටට ආයෝජකයන් එන්නේ නැහැ කියලා එදා දේශපාලන වේදිකාවල කිවුවා. රටේ ආර්ථිකය කඩාවැටෙනවා කිවුවා. නමුත් ආණ්ඩුවක් ලෙස මහා භාණ්ඩාගාරයට වැඩිම ආදායමක් උපයන වසර 2025 වසර බවට අපි පත් කරනවා. ආදායම් ඉලක්කවලට අනුව අපේක්ෂා කරන ආදායම් ඉලක්ක අභිබවා ඉපයීමට පුළුවන්. මහා භාණ්ඩාගාරයට ආදායම උපයන්න පුළුවන් වෙන්නේ රටක ආර්ථිකය ස්ථාවර වුවහොත් පමණයි. මේ වසරේ ප්‍රාග්ධන වියදම්වලට පමණක් රුපියල් බිලියන 1400ක් වෙන් කර තිබෙනවා. මහනුවර වාහන තදබදය අවම කර ගැනීම සදහා වූ ව්‍යාපෘති වෙනුවෙන් ද අප මුදල් වෙන් කර තිබෙනවා.

රටේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වූ අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර තිබෙන රුපියල් බිලියන 1400 මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර වියදම් කර ව්‍යාපෘති අවසන් කළ යුතුයි. මේ මුදල් ප්‍රමාණය වියදම් කිරීමට සමත් වුණොත් එතැනින් පමණක් 3% ඉක්මවා යන ආර්ථික වර්ධනයක් ලැබෙනවා. පෞද්ගලික, විදෙස් ආයෝජන සමඟ අප අපේක්ෂා කරන 5% ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්න පුළුවන්. පසුගිය කාලයේ ඍණ 1ට ඍණ 5ට ආර්ථිකය කඩාවැටුණු, ආපස්සට ගියක් රටක් තිබුණේ. මීට මාස 6කට පෙර ආර්ථිකය වර්ධන වේගය ධන 5.4යි. ආපස්සට යමින් තිබුණු රටක් අප ඉස්සරහට හරවලා තිබෙනවා. එහි ප්‍රතිලාභ ගමට තල්ලු කරමින් තිබෙනවා.

Liyanage Amarakeerthi at public rally Kandy

ආර්ථිකය ස්ථාවර වුණාම එහි ප්‍රතිලාභ ජනතාවට, ගමට ගලාගෙන යා යුතුයි. අපේ රාජ්‍ය සේවය එක පැත්තකින් අකර්මණ්‍යයි. අනික් පැත්තකින් රාජ්‍ය සේවය බිඳවැටී, විශාල පුරපපාඩු ප්‍රමාණයක් තිබෙනවා. පහළ මට්ටමේ විශාල රා‍ජ්‍ය සේවකයන් පිරිසක් සිටියත් මැද මට්ටමේ රාජ්‍ය සේවයක් නැහැ. ගොඩනැඟුණු සෑම රටකම රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපට එහෙම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නැහැ. අප මේ වෙන් කළ රුපියල් බිලියන 1400 වැය කිරීමට රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. පුරවැසියාට අවශ්‍ය සේවය ලබා දීමට රාජ්‍ය සේවයේ පුරප්පාඩු හඳුනාගෙන අලුතින් තරුණ තරුණියන් 30,000ක් බඳවා ගන්නවා.

රාජ්‍ය සේවයට අලුත් හැකියාවක් තිබෙන අය බඳවා ගත යුතුයි. ඔවුන් හොඳ වැටුප් තලයක පිහිට විය යුතුයි. රජයක් විදිහට අප ශක්තිමත් රාජ්‍ය සේවයක් අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන් රටත්, ජනතාවත් වෙනුවන් නිසි කාර්යභාරයක් කළ යුතුයි. අපි රාජ්‍ය සේවකයන්ට වෙනස් වීමට කාලයක් ලබාදී තිබෙනවා. ඒ වෙනස් වීමට සූදානම් නැත්නම් ඒ ආයතනත්, සේවකයනුත් මැයි මාසයෙන් පසුව වෙනස් කරනවා.

මේ රට ගොඩනැඟීම වෙනුවෙන් ශක්තිමත් රාජ්‍ය සේවයක් අප අපේක්ෂා කරනවා. ආණ්ඩුවක ආර්ථිකයක් ස්ථාවර වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. අපි සමෘද්ධිමත් ආර්ථිකයක් තිබූ රටක් නොවෙයි. නමුත් අපි මේ වන විට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. එක්සත් ජනපදයේ යම් තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති වීමේ අනතුරු ඇඟවීමක් ඇති වෙමින් තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දිය යුතුයි. බදුවලින් පමණක් නොව, යුද්ධ, වසංගත හෙතුවෙන්ද රටක ආර්ථිකයට බලපෑම් ඇති කරනවා. එනිසා ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන නොසැලෙන ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. අප මේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධව ඇමරිකානු ජනාධිපතිවරයාට ලිඛිතව ලිපියක් යොමු කළා, එය ලැබුණු බව අපට දන්වා තිබෙනවා.

Jagath Manuwarna at public rally Kandy

ඒ අනුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මහා භාණ්ඩාර ලේකම්වරයා විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අද අප සියලු පක්ෂ සමඟ සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා ඔවුන්ගේද අදහස් ලබා ගත්තා.

යළි අපේ ජාතික ආර්ථිකය, අපේ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළක අප නිරතව සිටිනවා. 2025 වසර ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් උපයා ගන්නා වසරයි. වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 300ක ණයවර ලිපි නිකුත් කර තිබෙනවා. 2028 වසර වන විට නැවත ණය ගෙවීමට සමත් වන ආර්ථිකයක් බවට රට පත් කරනවා. ඒ වගේම 2025 වසර වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණෙන වසර බවට පත් වෙනවා. අප විවිධාකාරයෙන් ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමට සැලසුම්වල නිරතව සිටිනවා.

MP at public rally Kandy

අප රටේ භාවිතයට නොගන්නා සියලු ඉඩම් නැවත අස්වැද්දීමට කටයුතු කරනවා. එම ඉඩම්වල වගා ආරම්භ කරන ලෙසට තරුණ තරුණියන්ට අප ආරාධනා කරනවා. බැංකු ණයක් ලබා දෙන්නම්, හොඳ වගාවක් ආරම්භ කරන්න. අපේ රට යළි ජාතික උරුමය ආර්ථිකය ගොඩනැගීම සඳහා දායක කර ගත යුතුයි. අපේ වරාය ආශ්‍රිතව විශාල ආර්ථිකයක් හිමිව තිබෙනවා. දැනට කන්ටේනර් ලක්ෂ 75ක් හුවමාරු වෙනවා. 2030 වන විට මිලියන 12ක් දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කරනවා. නැව්වලට ඉන්ධන ලබා දීමට අලුතින් තෙල් ගබඩා ඇති කරනවා. එහෙමයි රටක ආර්ථිකයක් දියුණු කරන්නේ. ඉතා සැලසුම් සහගතව 2022, 2023 ඇති වූ තත්ත්වය යළි මේ රටේ ඇති නොවන ආකාරයේ ආර්ථික සැලැස්මකට අප අවතීර්ණ වී තිබෙනවා. අප මේ ගමන ආරක්ෂා කරගත යුතුයි.

සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් දශක ගණනාවකට පසුව අද රට අවතිර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු වතාවට මහජනයාගේ ධනය සොරකම් නොකරන දේශපාලන අධිකාරියක් නිර්මාණය වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරු කොපමණ මුදලක් නාස්ති කරලා තිබෙනවාද? ජනතාව අපේක්ෂා කරන ආකාරයට හොරකම් කළ අයට දඬුවම් ලබා දෙනවා. ධනය, බලය බේදයෙන් තොරව සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරන රටක් බිහි කරනවා. සෑම කෙනාටම නීතිය ඉටු කරන රටක් අපි හදා තිබෙනවා. මේවා විශාල පරිවර්තනයන් වුවත් හැමෝටම මේවා දරා ගන්න බැහැ. මේ බලය නැතුව මාධ්‍ය ඉදිරියේ මෙහෙම අඬනවා නම් ගෙදර ගිහින් කොහොම අඩනවා ඇද්ද?

Stage of public rally Kandy

මහජනතාවගේ සෑම රුපියලක්ම දේවකාරියක් ලෙස බලා ගත යුතුයි. අපට පළාත් පාලන අවශ්‍ය වෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ මුදල් පරිස්සම් කර ගන්නයි. ගමේ කුණු ටික අයින් කරන්න, පෙර පාසලක් පවත්වාගෙන යෑම ඇතුළු ගමේ ජනතාවගේ දෛනික ජනජීවිතයක් එක්ක ගැටගැසී තිබෙන්නේ නගර සභාව හා ප්‍රාදේශීය සභාවයි. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙන්නේ ගමේ තිබෙන නගර සභාවෙයි, ප්‍රාදේශීය සභාවෙනුයි. අපට අවශ්‍ය මුදල් වෙන් කරන්න පුළුවන් විශ්වාසයක් තිබිය යුතුයි. එහෙම විශ්වාසයක් තිබෙන්නේ කා අතේද? බලය වෙන පැත්තකට ගියොත් මුදල් එවීමේදී අපට දෙපාරක් සිතන්න සිදු වෙනවා. හොඳ විශ්වාසදායක කණ්ඩායමක් අතට ගමේ බලය ලැබිය යුතුයි.

මධ්‍යම රජයට සමාන්තරව ප්‍රාදේශීය සභාව, නගර සභාවද ජාතික ජන බලවේගය විසින් පිහිටුවන්න ඕනෑ. එවිට තමයි ගමට ජාතික තලය සමඟ ඒකාබද්ධව වැඩ කටයුතු කළ හැකි වන්නේ. ඒ නිසා අනිත් අය ඡන්ද ඉල්ලන එකත් තේරුමක් නැහැ. ඔවුන් එකම සුන්බුන් ගොඩක් විතරයි. අපි සෑම ජන ප්‍රජාවක් සමඟ හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. සියලු ජාතීන් අප කෙරෙහි විශ්වාසයක් තබාගෙන සිටිනවා. එම විශ්වාසය සමග අපි ඉදිරියට යමු.