Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“හැම දෙනාම නීතියට යටත් යන පණිවිඩය සහිත රටක් අපි හදනවා” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-2024.04.12 ජන රැලිය – කන්තලේ නගරය-)

රට දියුණු වීමට නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලුදෙනාට සමව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව හදමින් තිබෙන්නේ හැම දෙනාම නීතියට යටත් යන පණිවිඩය සහිත රට බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ බව පැවසුවේ, “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගිය 12වනදා කන්තලේ නගර‍යේදී එක් වෙමිනි.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූ ඉඩම් ගැටලුවට විසඳුම් ලබා දෙමින් ගොවියාගේ ඉඩමේ අයිතිය බැහැර කිරීමට ඉඩ නොදෙන ආකාරයේ නව ඔප්පුවක් ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම දෙමාපියන්ට බරක් සහ දරුවන්ට පිඩාවක් වූ මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් එළඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

රටේ එක් දරුවෙකු හෝ පහසුකම් නොමැතිකමින් හෝ ගුරුවරුන් නොමැතිකමින් අධ්‍යාපනයෙන් පිටමන් නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැදිහත්වීමෙන්කුඩා පාසල්වල සිටින දරුවන් ඒ ආසන්නයේ පිහිටි පහසුකම් ඇති පාසල්වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද පැවසීය.

President AKD addressing at Kanthale public rally

ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය සැප්තැම්බර් 21 වනදා අපේ රටේ විශාල දේශපාලන හැරවුමක් සිදු වුණා. එතෙක් අපේ රට පාලනය කළ පවුල් සංස්ථා කිහිපයක් අත හුවමාරු වෙමින් තිබූ බලය පළමු වතාවට පොදු ජනතාව අතට පත් වුණා. ඒ වගේම පසුගිය මහ මැතිවරණයේදී එය වඩාත් ශක්තිමත් වුණා.

ඒ අනුව, ජනතා අපේක්ෂා ඉටු කරමින් ජනාධිපති ධුරයේත්, පාර්ලිමේන්තුවේත් බලය ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් පිහිටුවා ගනු ලැබුවා. මේ වන විට අප ජාතික මට්ටමෙන් විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. අපේ රට සුඛිතමුදිත රාජ්‍යයක්ව තිබුණේ නැහැ. අපි භාරගත්තේ හැම පැත්තෙන්ම කඩා වැටුණු රටක්. උගතුන් සහ බුද්ධිමතුන් රට හැර ගියා. ඒ අනුව අපේ ආණ්ඩුවේ පළමු අභියෝගය බවට පත් වුණේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි.

රටක් ගොඩනැඟීමටනම් පළමුව රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කළ යුතුයි. ඒ අනුව මාස හයක් ගත වන විට අපේ රටේ ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් ඇති කිරීමට ආණ්ඩුවට සමත්වූ බව මම සතුටින් ප්‍රකාශ කරනවා. අද එම ආර්ථික ස්ථාවරත්වයේ සංඥාවන් අපට පෙනෙන්ට තිබෙනවා. අද ඩොලරය අඛණ්ඩව ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වී තිබෙන අතර උද්ධමනය අවම කර ගනිමින් පහළ අගයක පවත්වාගෙන යාමටත්,බැංකු පොලී අනුපාතය අඛණ්ඩව 10%ක අගයට පහළින් පවත්වාගෙන යාමටත් කටයුතු කර තිබෙනවා.

Crowd at the Kanthale public rally

ආර්ථිකයක් අස්ථාවර වූ විට රටේ ඉදිවෙමින් තිබෙන ව්‍යාපෘති අතරමඟ නතර වන අතර, එම ආයෝජකයන් රටින් පිට වෙනවා. පසුගිය කාලය තුළ අපේ රටේ එලෙස අතරමග නතර වූ ව්‍යාපෘති සියල්ලේමවැඩ නැවත ආරම්භ කිරීමට අපි කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අයුරින් ස්ථාවර වන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව වෙත ගලා ආ යුතුයි. ඒ අනුව මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 1400ක් වැය කිරීමට අප තීරණය කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ කිසිදු කාලයක ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මෙවන් විශාල මුදලක් වෙන් කර නැහැ. මෙම මුදල් වෙන් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම මුදල් වැය කරමින් එම ප්‍රදේශයේ වැඩ කිරීමට ශක්තිමත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් තිබිය යුතුයි. අපේ රටේ රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය බිඳ වැටී තිබුණා. අපි රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෑතකදී රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් සිදු කළ වැඩිම වැටුප් වැඩි කිරීම මෙවර අයවැයෙන් සිදු කළා.

අපි එතනින් නතර වී නැහැ. සාමාන්‍ය ජනතාවට සහන ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභය වැඩි කිරීමට මෙන්ම එය ලැබිය යුතු සියලුදෙනා වෙත ලබාදීමට අවශ්‍ය පියවර අපි ගෙන තිබෙනවා. ඒ වගේම සිසුන් 300ට වඩා අඩුවෙන් සිටින සෑම පාසලකම සිසුන්ට සපත්තු නොමිලේ ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. මෙවන් කටයුතු සිදු වන්නේ ලංකාවේ පළමු වතාවටයි. පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීමට මුදල් නැති දරුවන්ට රුපියල් 6,000ක් ලබාදීමට අපි තීරණය කළා. මේ වසරේ සිසුන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ ලබා ගැනීමට රුපියල් හයදහස බැගින් අපි ලබා දුන්නා. ඒ වගේම වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගීන්ගේ දීමනාව සහ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට අපි කටයුතු කළා. මේ අයුරින් අපි ආර්ථිකයේ ඉතිරි කරගත් ධනය ජනතාව අතර බෙදා දෙමින් සිටිනවා.

President AKD on stage at Kanthale public rally

රටේ ආර්ථිකය ගොඩනැඟීමට අපට තවත් විශාල සැලසුම් තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශාල පිම්මක් ගත යුතුයි. ඒ වගේම ධීවර කර්මාන්තයේ නව පිම්මක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය ඉතා වැදගත් වෙනවා. අපි රුපියල් 15,000ක්ව තිබූ පොහොර සහනාධාරය 25,000 දක්වා වැඩි කළා. එපමණක් නොවෙයි යල කන්නයේ සිට කුඹුරක අතුරු බෝග වගා කරනවානම් අතුරු බෝග වගා කරන ගොවීන්ටද රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාර ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා.

ඒ වගේම වී මිල ස්ථාවරව තබා ගැනීමට අපි සමත් වුණා. ගබඩා ප්‍රතිසංස්කරණය කරමින් වී මිල අඩු වුවහොත් මිලදී ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරනු ලැබුවා. පෞද්ගලික අංශය වී මිල පහළ දැමුවොත් ආණ්ඩුව වී මිලදී ගැනීමට සැලසුම් සකස් කළා. එහිදී මහ කන්නය වෙනුවෙන් පමණක් වී මිලදී ගැනීමට අපි රුපියල් කෝටි 500ක් වෙන් කළා. බීජ ගොවිපොළවල් ප්‍රතිසංස්කරණය කර අඩු මිලට බීජ ලබාදීමට අපි කටයුතු කරනවා. මේ අයුරින් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ආණ්ඩුව වේගවත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ඒ වගේම කන්තලේට සම්පතක් වූ දීර්ඝ කාලයක් පුරා වසා දමා තිබෙන කන්තලේ සීනි සමාගම යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.

මේ පළාත්වල ජනතාවගේ ඉඩම් ප්‍රශ්න තිබෙනවා. විධිමත් ඔප්පුවක් සහ හිමිකම් පත්‍රයක් නොමැතිකමින් ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා. මෙම ගැටලුව විසඳමින් ගොවියාගේ ඉඩමේ අයිතිය බැහැර කිරීමට ඉඩ නොදෙන ආකාරයේ අලුත් ඔප්පුවක් අපි ගොවි ජනතාවට ලබා දෙනවා. දෙමව්පියන්ගෙන් පසු දූදරුවන්ට එම ඉඩම් අයිති වන ආකාරයේ නව නීති සමඟ එම ඉඩම් ලබාදීමට කටයුතු කරනවා.

Kanthale public rally crowd

ඒ වගේම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා. අද දරුවන්ගේ අධ්‍යාපනය දෙමාපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වී තිබෙනවා. දරුවන් යන්ත්‍ර බවට පත් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් එළඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ අපි හදුන්වා දෙනවා. දරුවන්ට අධ්‍යාපනයට ලැබීමට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම ඇතැම් කුඩා පාසල් පිළිබඳ තීන්දු තීරණ ගනිමින් ඒ ආසන්නයේ තිබෙන පහසුකම් ඇති පාසල්වලට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් දරුවන් යොමු කරනවා. රටේ එක් දරුවෙක්වත් පහසුකම් නැතිව හෝ ගුරුවරුන් නැතිව අධ්‍යාපනයෙන් පිටමන් නොවිය යුතුයි. ඒ නිසා අපි වැඩිම බර තබා තිබෙන්නේ අධ්‍යාපනයටයි. අද අපේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වැය බර අපි අඩු කරනවා.

ඒ වගේම අපේ ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා අපි විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා. පහසුකම් සහිත අලුත් ප්‍රවාහන සේවයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා අයවැය ලේඛනයෙන් දැනටමත් අපි කෝටි 300ක් වෙන් කර තිබෙනවා.එම ප්‍රවාහන සේවය නගරයෙන් ආරම්භ කර වසර කිහිපයක් තුළ ගම දක්වා ව්‍යාප්ත කරනවා. අපේ ආණ්ඩුවේ ප්‍රධානතම වගකීම වන්නේ අධ්‍යාපනය, ප්‍රවාහනය සහ සෞඛ්‍යයයි. නීරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි සෞඛ්‍ය සේවය නඟා සිටුවනවා. ඒ සඳහා මේ වසරේදී නියමු ව්‍යාපෘතියක් අපි සැලසුම් කර තිබෙනවා. දකින දකින දොස්තර ගාවට ගිහින් බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. පවුලකට වෛද්‍යවරයෙක් සිටිය යුතුයි. ඒ ආකාරයෙන් අපි සෞඛ්‍ය සේවයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. එසේ නම් ලංකා ඉතිහාසයේ නිර්මාණය වී තිබෙන රට ගොඩනඟන ආණ්ඩුව මෙයයි. මේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන ආණ්ඩුව මෙයයි. මේ රටේ අනාගතයත් මේ රට ගොඩනඟන කාර්යභාරයත් මුළුමනින්ම තිබෙන්නේ ජාතික ජන බලවේගය අතේ බව අප කවුරුත් දන්නවා.

දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය පැමිණ තිබෙනවා. ග්‍රාමීයව ප්‍රාදේශීය සභාවල ලොකු ආදායම් නැහැ. එහෙත් ප්‍රාදේශීය සභාවලට වැඩ ගොඩක් තිබෙනවා. ආදායම මදි. ජනතාවගේ දෛනික ජීවිතයේ තිබෙන ගැටලු විශාල ප්‍රමාණයක් විසඳන්න තිබෙන්නේ ප්‍රාදේශීය සභාවටයි. අපි මේ නොවැම්බර් මාසයේ තව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඊට පෙර කන්තලේට, ත්‍රිකුණාමලයට අවශ්‍ය මොනවද කියන යෝජනා අපට එවන්න අවශ්‍යයි. ජූනි මාසය වන විට අපි ඒ යෝජනා භාර ගන්නවා. ප්‍රාදේශීය සභාවේ ආදායමෙන් කළ හැකි වැඩ කොටසට අමතරව මහා ආණ්ඩුවෙන් කළ යුතු වැඩ කොටසට ප්‍රතිපාදන ඉල්ලා සිටිය යුතුයි. අපි ඒක මහා ආණ්ඩුවෙන් දෙන්නම්. සිදු කළ යුත්තේ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්නම්,එයට අදාළව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කළ යෝජනාව එවන එක විතරයි තිබෙන්නේ. අපි එතකොට බලනවා එවලා තියෙන්නේ කොහෙන්ද කියලා.

MP Arun Hemachandra at Kanthale public rally

කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් නම්, එය තිබෙන්නේ ජාතික ජනබලවේගය අතේනම්, එහෙනම් ඇස් පියා ගෙන යෝජනාව අනුමත කරලා මුදල් ලබා දෙනවා. මොකද අපි දන්නවා ඒ මුදල මුළුමනින්ම අදාළ කටයුත්තට යොදවන බව. ප්‍රාදේශීය සභාව වෙන කාටවත් ගිහින් නම් දහ සැරයක් සිතන්න වෙනවා. මොකද හිටපු කට්ටිය ගැන දන්න හින්දා. වැඩේට මුදල් ටිකයි. වැඩි මුදල සාක්කුවට. මේ විදිහට හොරකම් කරන්න අපි සල්ලි දෙන්නේ නෑ. දැන් අපි හොරකම්, නාස්තිය නතර කරලා හොරකම් කළ දේපොළත් පවරා ගන්න නීති හදලා පවරා ගන්න සැලසුම් හදලා තිබෙනවා.

මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. එහෙනම් හොරකම් නොකරන ප්‍රාදේශීය සභාවක් ඕනෑ. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ. එසේ නම් නාස්ති නොකරන ප්‍රාදේශීය සභාවක් ඕනෑ. මහා ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාව වැඩ කළ යුතුයි. එසේ නම් මෙවර ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබා දිය යුතු වන්නේ ජාතික ජනබලවේගයටයි.

නැත්නම් මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. ප්‍රාදේශීය සභාව හොරකම් කරනවා. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ. ප්‍රාදේශීය සභාව නාස්ති කරනවා. මහා ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාව කකුලෙන් අදිනවා. හරි යයිද? ඒක හරි යන්නේ නෑ, ඒ නිසා මහා ආණ්ඩුවත් සමඟ එකට කෙලින් සිට ගන්නා අයටම තමයි මේ ප්‍රාදේශීය සභා භාර දිය යුතු වන්නේ. එසේ නම් මැයි මාසේ 06 වෙනිදා කන්තලේ ප්‍රාදේශීය සභාව අපි භාර දිය යුතු වන්නේ ජාතික ජන බලවේගය කණ්ඩායමටයි. එසේ නොවුණහොත් කොන් වූ ප්‍රාදේශීය සභාවක් බවට පත් වේවි. මහා ආණ්ඩුව වැඩ කරද්දී කකුලෙන් අදින ප්‍රාදේශීය සභා හරියන්නේ නෑ.

Bhikshu on stage at Kanthale public rally

මහා ආණ්ඩුවෙන් කරන්නේ ජාතික තලයේ කටයුතුයි. එහෙත් ගම්වල කරන්න වැඩ ගොඩක් තිබෙනවා. ගම්වල තිබෙන වැඩ ටික ඉටු කරන්න නම් අනිවාර්යයෙන්ම ගමේ සභා ටික ජාතික ජනබලවේගයට භාර දීමට කටයුතු කළ යුතුයි. මීට වඩා හොඳ ආණ්ඩුවක් කල්පෙකට එන්නේ නැහැ. එසේ නම් අපි සියලුදෙනා එක් වී මේ රට හදන්න ඕනෑ. මේ වෙලාවෙ සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ ගැන සතුටුයි නමුත් හොරු අල්ලනවා මදි කියලා. මතක තියා ගන්න. තව ටික දවසකින් පෝලිමේ ඒක වෙන්නේ. දැන්මම තුන හතරක් රිමාන්ඩ්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ඉතාමත් සක්‍රීයව වැඩ කරමින් වංචාවේ, දූෂණයේ යෙදුණ අය අධිකරණයට ගෙන යාමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා.

අපේ රටේ පළමු වතාවට ධනය, බලය තිබෙනවාද කියලා බේදයකින් තොරව නීතිය ඉටු කරන රටක් හදලා තිබෙනවා. පහුගිය දා ඌව පළාතේ හිටපු මහ ඇමති ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිවුවා ඊට අදාළ බැංකු ගිණුම අයින් කර ගන්න කිවුවේ එයා කියලා. අල්ලස් කොමිසමෙන් හැරෙන තැපෑලෙන් ලියුමක් යවලා එහෙනම් ඔයත් එන්න කියලා. ඒක හොඳද නරකද? මීට කලින් මෙහෙම වුණාද? ඒගොල්ලන්ට අත තියන්නේ නැහැ. කවදාවත් සී.අයි.ඩීයට, අල්ලස් කොමිසමට එන්නේ නැති අය. අල්ලස් කොමිසම නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අපි ඒකට පහසුකම් සපයා ඔවුන්ට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. ඔවුන් වැඩේ හරියට කරනවා.

මේවායින් පෙන්වන්නේ නීතිය ඉටු වන රටක්. සාමාන්‍යයෙන් කට්ටිය පොලීසියට බයේ හැංගෙනවා. පසුගිය දවස්වල අපි හොයනවා. පොලිස්පති හැංගෙනවා. ඔවුන්ට කවදාවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔවුන් හිතා ගෙන හිටියා. හැබැයි අද ලංකාවේ සැමට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා. හැම දෙනාම නීතියට යටත් කියන පණිවිඩය සහිත රටක් අපි හදනවා. නීතියට යටත් වෙනවා වගේම නීතියට ටිකක් බය වෙන්නත් ඕනෑ. හැබැයි අපේ ලොකු ලොකු අය නීතියට යටත් නැහැ. නීතියට බයත් නැහැ. වාහන ආනයනය තහනම් කරලා තිබුණ කාලේ ගෙනාපු වාහන හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු ළඟ තිබිලා හම්බ වෙනවා. වාහන රෙජිස්ටර් කරන්නේ නැතුව පාරේ දුවලා. සාමාන්‍ය කෙනෙකුට බයිසිකලයක් පාරට දාන්න පුළුවන්ද අංක තහඩුව නැතුව? ඒ කියන්නේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට නීතියක් නැහැ, අනිත් අයටයි නීතිය. එහෙම කරපු එක්කෙනා දෙන්නා ඇතුළට ගන්නවා. තව පෝලිමක් ඉන්නවා. මේ තමයි නීතිය ක්‍රියාත්මක වීම. පළිගැනීමද? නැහැ. මේ කිසිවක් පළිගැනීමක් නෙවෙයි. අප කරන්නේ හැමදෙනාම නීතියට යටත්වන රටක් හදන එකයි. මේ රට දියුණු වෙන්න නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලුදෙනාට සමව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ හදමින් තිබෙන්නේ ඒ රටයි.

පසුගිය සැප්තැම්බරයේ ජනාධිපතිධුරයට පත් වෙලා, නොවැම්බරයේ මහා ඡන්දයෙන් ආණ්ඩුව හදලා, නොවැම්බර් 21 කැබිනට් මණ්ඩලය හදලා අපි මේ රට වෙනස් කිරීමේ අඩිතාලම ගොඩනඟා තිබෙනවා. මේ වෙනසට තවත් ශක්තියක් විශ්වාසයක් ලබා දෙන්න මැයි මාසයේ 06 වෙනිදා ජාතික ජනබලවේගයට ප්‍රාදේශීය සභා සහ නගර සභා භාර දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.