Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඇමරිකාව ප්‍රකාශයට පත් කර ඇති තීරුබදු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත හැකි වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්වාසය පළ කළේය.

(-ජය නියතයි.. ගම අපිටයි.. කොට්ටාව ජයග්‍රාහී ජන රැලිය – 2025.04.08-)

ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද යොමු කළ බව ඊයේ (08) කොට්ටාවේ පැවති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

President Anura Kumara Dissanayake Addressing at Kottawa Public Rally

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

විපක්ෂය පළාත් පාලන මැතිවරණය කල්දාන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ නිසා මැතිවරණය මැයි මස 6 වන දාට කල්ගියා. ජනතාවට ලබාදීමට තිබූ සහන මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබුවා. ඉතා ඉක්මනින් පැවැත්විය යුතු ඡන්දයක්. 2023 පැවැත්විය යුතු ඡන්දයක් තමයි කල්දාලා තිබෙන්නෙ. අප මධ්‍යම ආණ්ඩුව සාදා තිබෙනවා, ජනාධිපති ධුරයත් අප සතුව තිබෙනවා. එහෙත් ග්‍රාමීය වශයෙන් වැඩ කිරීම සඳහා මේ ආයතන පිහිටුවා නොමැතිකම බාධාවක්ව තිබෙනවා. අපට අවශ්‍යව තිබුණේ කඩිනමින් ප්‍රාදේශීය සභා නගර සභා පිහිටුවලා ගම දක්වා වූ වැඩ කටයුතු කරන්නයි.

මැයි 6 වන දා ඡන්දයට මොකක්ද කරන්නේ? මහ මැතිවරණයෙන් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයකින් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය හැර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. මේ රට ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් දැක්මක් සහිත එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. අනක් පක්ෂ සුන්බුන් එකතුවක් පමණයි. ඒකීය ශක්තිමත්ම දේශපාලන කදවුර ජාතික ජන බලවේගය පමණයි.

Kottawa Public Rally Crowd

අපේ රට සෑම අතින්ම වාසනාවන්ත රටක් වුවත් ඉතාමත් නරක පන්නයේ අත්දැකීම්වලට මුහුණ දුන් රටක්. ඒ අත්දැකීම පසුගිය කාලයේ අප අත්වින්ඳා. ගෑස්, ‌ෙඔෂධ, අත්‍යවශ්‍ය ආහාර ගෙන්වා ගන්න ඩොලර් නොමැති රටක්. උද්ධමනය ඉහළ ගියා. ඩොලරය රුපියල් 400ක් දක්වා ඉහළ ගියා. සියලු ව්‍යාපෘති නතර වුණා. ආයෝජන රට හැර ගියා. අද සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. හිටපු පාලකයන් එයට වගකිව යුතුයි. ඒ කළ විනාශයට එරෙහිව මේ රටේ ජනතාව නැගී සිටියා. අපට මේ කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට පුළුවන් බව ජනතාවට විශ්වාසයක් තිබුණා.

අද ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගෙන තිබෙනවා. වසර 5-6ක් වාහන ආනයනය නතර කර තිබුණා. අප වාහන වෙළෙදපොළ විවෘත කළා. වාහන ආනයනය කිරිම තුළින් ඩොලරය ආරක්ෂා කරගෙන තිබෙනවා. බැංකු පොළී අනුපාතය 10%ට අඩුවෙන් තබාගෙන සිටිනවා. අද රටේ ආර්ථිකය ස්ථාවර වීමේ සංඥා ලැබී තිබෙනවා. මෑත කාලයේ වැඩිම විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක් මාර්තු මාසයේදී එකතු කර ගැනීමට අප සමත්වී තිබෙනවා.

President AKD at Kottawa Public Rally

අද රට හැර ගිය ආයෝජකයන් පැමිණෙමින් සිටිනවා. ජපන් රජය පමණක් ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. නව සහ පැරණි ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් රටවල පිළිගැනීමට අපේ රජය භාජනය වෙමින් තිබෙනවා.

අද රටේ ව්‍යාපාර වර්ධනය වෙමින් තිබෙනවා. ජනතාව නිදහසේ හුස්ම ගනිමින්, දෛනික ජීවිතය ගත කරන්න පටන් ගෙන තිබෙනවා. ආර්ථිකය ස්ථාවර කළ පමණින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නොමැති නම් වැඩක් නැහැ.

Candidates at Kottawa Public Rally

වසර 5කට පසු රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. පළමු වතාවට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ආකාරයට වැඩි කළා. අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ලෝකයේ රටවල් ගොඩනැඟීමේදී රාජ්‍ය සේවයේ දායකත්වය අවශ්‍යයි. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට පියවර ගත්තා. අස්වැසුම දීමනාව, වැඩිහිටි දීමනාව වැඩි කර තිබෙනවා. ආණ්ඩු තිබෙන්නේ ජනතාව බලා ගැනීමටයි. එහෙම නැත්නම් ආණ්ඩු මොකටද?

අපේ රටේ සිරගත වන අය නැවත ගමට ඇවිත් නැවත මාස තුනකින් බන්ධනාගාරගත වෙනවා. අපේ රටේ සිරගත වූවන්ගෙන් වැඩි පිරිසක් නැවත නැවතත් හිරේ යන අයයි. බන්ධනාගාරගත වුණාට පසුව රැකියාවකට යන්න බැහැ. ඒ සිරගතව සිටින තරුණයන් තෝරාගෙන වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි. එවිට, ඔවුන් එළියට එන්නේ වෘත්තීය පුහුණු සහතිකයක් සමඟයි. පෙර කී පරිදි තත්ත්වයක් ඔවුන්ට ඇති විය යුතු නැහැ. භාරකරුවන් නොමැතිව රැඳවුම්වල සිටින දරුවන් අප බලාගත යුතුයි. රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ළමුන්ට රුපියල් 5000ක් ලබා දෙනවා. ඔවුන් එළියට එනවිට බැංකු පොතේ යම් මුදලක් තිබෙනවා.

Crowd at Kottawa Public Rally

ඒ වගේම රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ළමයෙක් විවාහ වන විට නිවසක් හදා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙනවා. අප සෑම කෙනෙක්ම අත්හරින්නේ නැහැ. මෙවැනි ආණ්ඩු කලින් තිබුණද? සහනාධාරවලින් හැමදාම රටක් ගෙනියන්න බැහැ. රටේ ආර්ථිකය ස්ථාවර වනතුරු අප ඔවුන්ව බලාගත යුතුයි. ග්‍රාමීය සංවර්ධනයට රුපියල් බිලියන 1400ක් මුදලක් පසුගිය අයවැයෙන් අප වෙන් කළා.

මම උතුරු පළාතට ගිය අවස්ථාවේ පළාත් මහාමාර්ග අධ්‍යක්ෂතුමා පාරටවල් විශාල ප්‍රමාණයක් කැඩිලා තිබෙන බව කිව්වා. ඒ අබලන් මාර්ග හදන්න මෙවර අයවැයෙන් අප කෝටි 500ක් වෙන් කළා. දැන් ඔවුන්ට තිබෙන අභියෝගය තමයි මේ දෙසැම්බර් මස 31 වන විට මේ කෝටි 500 වියදම් කරලා පාරවල් හදන්න ඕන. ඒ කෝටි 500 වියදම් කරන්න බැරිවුණොත් ආපසු ගන්නවා. ඉස්සර වැඩ තියෙනවා සල්ලි නැහැ. දැන්, සල්ලි තියෙනවා, වැඩ දෙසැම්බර් 31 වන දාට කලින් ඉවර කරන්න අවශ්‍යයි.

President AKD on stage at Kottawa Public Rally

මේ මුදල් ප්‍රමාණය වියදම් කිරීමට සමත් වුණොත් එතැනින් පමණක් 3-4%ක ආර්ථික වර්ධනයක් ලැබෙනවා. ආණ්ඩුව මේ වසරේ කරන වැඩිම ආයෝජනයයි. පෞද්ගලික, විදෙස් ආයෝජන සමඟ අප අපේක්ෂා කරන 5%ක් ඉක්මවන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්න පුළුවන්. අප වැඩබිමක් බවට රට පරිවර්තනය කර තිබෙනවා.

අපි ආයෝජකයන් රටට ගෙන්වන්නේ ව්‍යාපෘතිය හොඳ නම් පමණයි. ඔවුන්ගෙන් අපට කිසිවක් එපා. මීට පෙර එහෙම ආණ්ඩු තිබුණද? රාජ්‍ය තාන්ත්‍රික ලෙස අල්ලස් ගත් ආණ්ඩු කලින් තිබුණේ. ඉතා ප්‍රගතිශීලී ලෙස මේ රටේ ජනතාව කළ වෙනස යළි හැරෙන්න ඉඩ නොදෙන බව අපට ඉතා පැහැදිලියි. රටක් ගොඩනැඟිය යුත්තේ ජනතාව සමඟයි. පළමුවෙන්ම රටේ දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුයි. අද මැර දේශපාලනයක්, නීතිය අතට ගත් දේශපාලනයක් තිබෙනවාද?

Bhikshu and other clergy at Kottawa Public Rally

රටක් ගොඩනඟන්න නම් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය කෙරෙහි මේ රටේ පුරවැසියාගේ විශ්වාසය ඇති කළ යුතුයි. එහෙම නැතුව රටක් ඉදිරියට ගෙන යන්න බැහැ. රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු මහජන ආයතන කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුයි. ඒවා තමයි රටක සිස්ටම් චේන්ජ් කියන්නේ. අප ඒ සිස්ටම් චේන්ජ් එක ඇති කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයෙන්, අපනයෙන් වැඩිම ඩොලර් ප්‍රමාණයක් උපයන වසර බවට 2025 වසර බවට පත් වෙනවා. එක්සත් ජනපදය තීරුබදු සම්බන්ධව ගත් ප්‍රතිපත්තිය නිසා යම් ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙනවා. අප එය විසඳීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග අප පසුව ප්‍රකාශයට පත් කරන්නම්. ජාතික උරුමයන් කර පින්නාගෙන, ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිටගෙන යළි කුමන සුළි කුණාටුවක් ආවත් කඩා නොවැටෙන ආර්ථිකයක් අපි මේ රටේ ගොඩනඟනවා.