Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජනතා පරමාධිපත්‍යයට එහා බලයක් නැති බව වැරදි අර්ථකථන දෙන ඔස්තාර්ලා දැන ගත යුතුයි” -නීතිඥ සුනිල් වටගල-

(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.06.09-)

l-npp-press

පසුගිය කාලයේ අපේ රටේ ආන්දෝලනයකට ලක් වුණා පොලිස්පති ධුරය. ඒක රීලෝඩ් පොලිස්පති ධුරයක් බවට පත්වුණා. ඒ වගේම නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කරමින් රීලෝඩ් නීතිපතිවරයෙකුත් නිර්මාණය වෙමින් යනවා. එම කරුණ පිළිබඳව ව්‍යවස්ථානුකූලව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ඝ කරන්නත් පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමට අදාළව දේශපාලන කරළියේ සාකච්ඡාවක් යනවා. මේ සාකච්ඡා දෙකම නිර්මාණය වී තිබෙන්නේ දේශපාලනික අභිලාෂයක් මතයි. ඇත්ත ජනවරමකට මුහුණ නොදෙන ආණ්ඩුව සැබෑ ජන වරමට බයවෙලා. ව්‍යවස්ථාවේ සිදුරකින් බලයට ආව ජනාධිපතිවරයා තම තමන්ගේ හෙංචයියෝ දාගෙන විවිධ ප්‍රකාශ කරවමින් යනවා. පළාත් පාලන මැතිවරණය නීති විරෝධීව කල්දමා තිබෙනවා. එහෙම ආ ගමනක දිගුව වුණේ ජාතික මැතිවරණයක් පැවැත්වීමයි. දැන් ව්‍යවස්ථානුකූලව එළඹී තිබෙන්නේ ජනාධිපතිවරණයයි. එම මැතිවරණයට ජනතා පෙළගැස්මක් හදාගෙන ජනතා අභිලාෂය මුදුන්පත්කර ගැනීමට උත්සාහ ගන්නා විට, තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා දාලා, රටේ වර්තමාන තත්වය පදනම් කරගෙන තවත් වසර දෙකකට මෙම ආයතන දෙක දීර්ඝ කරගැනීමට හැකියාව තිබෙනවාද බලනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත්, රටේ නීතියවත් නොවෙයි. මේ ජනාධිපතිවරයාගේ අභිලාෂය තමයි, ඇත්ත ජන වරම වෙනුවට ව්‍යවස්ථාවේ ඉස්පිලි පාපිලි පාවිච්චි කරමින් තමන්ගේ ධුර කාලය තවත් එහාට දක්කා ගන්න පුළුවන්ද කියා බලන එක. ඒකට තමයි පොලිස්පති ධුරය, නීතිපති ධුරය උපයෝගී කර ගන්නේ. තමන්ට හිතැති, කීකරු නිලධාරී පෙළෙන්තියක් හදාගෙන තමයි මේ කුප්‍රකට උත්සාහය ගන්න හදන්නේ.

රටේ ජනතාවගේ ජන වරම අවුරුදු පහකට මිසක් අවුරුදු හයකට දීලා නැහැ. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂට දුන්නු ජනවරම මේ අවුරුද්දේ නොවැම්බර් මාසයෙන් කෙළවර වෙනවා. පාර්ලිමේන්තුවට 2020 දීපු ජනවරම ලබන වසරේ අගෝස්තුවෙන් කෙළවර වෙනවා. ඒක ව්‍යවස්ථාවේ ලියැවුණු තත්වයක්. එම තත්වයන් විකෘති කර, ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති පාවිච්චි කරමින් තව වසරකින් ජනාධිපති ධුරය දීර්ඝකර ගැනීමට පුළුවන්ද කියා බලනවා. පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30:2 වගන්තිය අනුව අවුරුදු හයයි. නමුත් එය 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ පැවැති 30:2 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට 30:2 ආදේශ කර කීවා අවුරුදු හය නොවෙයි අවුරුදු පහයි කියා. ඒක තමයි දැනට රටේ පවතින නීතිය. මේ අවස්ථාවේ තමාට හිතැති ජනාධිපති නීතිඥවරු දමමින් සමාජයට කියමින් යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සය අවුරුද්දක් කියා එක තැනක තිබෙනවා, එය පදනම් කරගෙන තව එහාට යා හැකියි කියා.

අපි කියනවා මේ රටේ ජනතාවට රැවටෙන්න එපා. ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලයක් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර වෙන්නේ ජනතාව. ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි වගන්තියේ තිබෙනවා. ජනතාවගේ අභිලාෂය, පරමාර්ථය ගැබ්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි වගන්තියේ. ඒ 3වැනි වගන්තියට යටත්ව ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ ජනවරමක් ඉල්ලුවා අවුරුදු පහකට. ඒ අවුරුදු පහ ඔහුට ලැබුණා. නමුත් ඔහුගේ ධුර කාලය අවුරුදු දෙකෙන් කෙළවර කර, රීලෝඩ් ජනාධිපතිවරයෙකුට බලය දුන්නා. ඒ රනිල් වික්‍රමසිංහට. ඔහුට තවදුරටත් රීලෝඩ් දාන්න බැහැ. ඇත්ත ජනවරමේ කාලය ඇතුලේ එයා කටයුතු කරන්න ඕනෑ. ඒක තමයි ව්‍යවස්ථාවේ තිබෙන ජනතා අභිලාෂය. ඒක තමයි රටේ නීතිය. ව්‍යවස්ථාව අර්ථ ගන්වන ඔස්තාර්ලාට අපි කියනවා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයට එහා බලයක් නිර්මාණය වෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය ඒක. මේවා අනුමත වුණේ නිකම්ම නොවෙයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලේ වාද විවාද වෙලා ඒ තුළ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වුණා. ඒ නිර්මාණය වුණු ව්‍යවස්ථාව ඇතුලේ 30:2 වගන්තිය අනුව තිබෙන්නේ අවුරුදු පහක් ලෙස. එසේ නම් ඒ අවුරුදු පහ තමයි ජනතාවගේ අභිලාෂය. පාර්ලිමේන්තුවේ කාලය 2020 සිට ලබන වසරේ අගෝස්තු මාසයට කාලය සම්පූර්ණ වෙනවා. ඊට එහා කාලයක් බවට පරිවර්තනය කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. එහෙම නම් ජනමත විමසුමකට යන්න සිදුවෙනවා. අපි පැහැදිලිව කියනවා මේ දේශපාලනයේ කඳවුරු දෙකයි තියෙන්නේ. ජාතික ජන බලවේගයේ කඳවුර හා අනෙක් කඳවුර සියලුම දෙනා දැන් එකතු වෙලා තිබෙනවා. ඒ එකතුවෙලා තිබෙන අනෙක් කඳවුරේ ජනාධිපති නීතිඥයන් තමයි දැන් විකෘති අදහස් පළ කරමින් යන්නේ. අපි ඒ අයට කියනවා. කලබල වෙන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධපතිවරණයක් කැඳවීමට නියමිතයි. ඒ ජනවරමට මුහුණ දෙන්න. මේ විකෘති සහගත අදහස් නිසා තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ. ඕගොල්ලන්ට රිංගන්න ව්‍යවස්ථාවේ හිල් නැහැ.

අපි මේ රටේ ජනතාවට කියනවා, ඒ කඳවුර කලබල වෙලා තිබෙන්නේ. ඒ කලබලේට හේතුව ඒගොල්ලන් පරදිලා ජාතික ජන බලවේගය දිනන්න යන්නේ. ඒක කිසිසේත්ම ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ. බය වෙන්න එපා. අපි ඇත්ත තර්කය වෙනුවෙන් පෙනී සිටිනනවා. ඇත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය වෙනුවෙන් හිට ගන්නවා. බොරු තර්කවලට අපි, කිසිසේත්ම ඉඩක් තබන්නේ නැහැ.

l-npp-press

“නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුනහොත් නරක පූර්වාදර්ශයක් වේවි”
-ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම-

ජනාධිපතිවරයෙකුගේ ධුර කාලයේ නිමාවට පෙර කුමන හේතුවක් නිසා ජනාධිපතිවරයා ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් හෝ මිය ගියහොත් ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව තුළින් පත් කර ගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරයා පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන් 50%කුත් හා එක ඡන්දයක් ලබාගත් පුද්ගලයායි. ඔහු ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙක්. එයට ව්‍යතිරේඛයක් තිබෙනවා, යම්හෙයකින් එම ජනාධිපතිවරයාගේ ධුර කාලයට පෙර ජනාධිපතිවරයා අකර්මණ්‍ය වුවහොත් ඒ වෙනුවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත්කර ගත හැකියි. එසේ පත්කරන ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ ඒ ඉතිරි කාලය සඳහා පමණයි. 2019දී ජනවරම ඉල්ලන්නේ අවුරුදු පහක කාලයකට. 2010 දී හා 2015දී පැවති ජනාධිපතිවරණයේදී ධුර කාලය අවුරුදු පහකින් අවසන් වුණා. 1982දී ජේ.ආර්. ජයවර්ධන පර්ලිමේන්තුවේ ධුර කාලය ජනමත විචාරණයෙන් වැඩිකර ගත්තේ ජනතාවගෙන් හයෙන් පහක ඡන්ද බලයක් ඒ වන විට ලැබී තිබුණු නිසා.

නමුත් මේ රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත් අපේක්ෂකයෙක් නොවෙයි. ඔහු අඩුම තරමේ ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් වුණු පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසා ඔහුගේ ධුර කාලය වැඩිකර ගන්න ව්‍යවස්ථාවෙන් ඔහුට බලයක් ලැබෙන්නේ නැහැ. ඔහු ඇවිත් තිබෙන්නේ ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සම්පූර්ණ කරන්න. ඔහුගේ ධුර කාලය වැඩිකර ගැනීමට ඔහු ඉල්ලනවා නම්, පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත වගේම, ජනමත විචාරණයකිනුත් සම්මත වෙන්න ඕනෑ. මේ අවස්ථාවේ රටේ ජනතාවගේ පෙළගැස්ම බැලූවිට පෙනී යන්නේ ඔවුන්ට ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම හිතන්න වත් බැරි අවස්ථාවක්. ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා වගේම මැතිවරණ කොමිසමත් පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා ඡන්දය ප්‍රකාශයට පත්කරන බවට. රටේ මහජනතාවට අලුත් ජනාධිපතිවරයෙකු වගේ අලුත් පාර්ලිමේන්තුවකුත් අවශ්‍ය වී තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජනධිපතිවරණය සූදානම් වන ලෙසත් ඊට පසුව එන මහ මැතිවරණයටත් සූදානම් වන්න කියලා.

අපේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා නීතිපතිවරයාට විශ්‍රාම යාමට නියමිත කාලයක්. ඔහු අවුරුදු 60ක් සම්පූර්ණ වන තෙක් විතරයි මේ ධුරය දැරිය හැක්කේ. හැටෙන් එහාට සේවය දීර්ඝ කිරීමක් හෝ පත්කිරීමක් කළ නොහැකියි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. ඒක නිසා ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය එක පැත්තකින් ව්‍යවස්ථා විරෝධියි. අනෙක අනීතිකයි. මෙවැනි පත්වීමක් මේ ආකාරයෙන් කිරීමට උත්සාහ කළහොත් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම යම් ආකාරයක විරෝධතාවයන් එන්න පුළුවන්. අවුරුදු 60න් පසු නීතිපතිවරයෙකුට එක දිගට මාස හය බැගින් සේවා දිගු ලබාදීමට ගියහොත් පහළ සිටින නිලධාරීන් විශාල අපේක්ෂාභංගත්වයකට පත්වෙනවා. එවිට නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා වගේම නීතිපතිවරයාගේ ධුරය යම් ආකාරයක දේශපාලනීකරණයට ලක්වුණාය කියන සැකය රට තුළත් නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇති විය හැකියි. ප්‍රතිපත්තිමය කාරණය තුළ නීතිපතිවරයා කියන ධුරය දේශපාලනීකරණය වුවහොත් සමස්තයම බිඳ වැටීමකට ලක්විය හැකියාව තිබෙනවා. තමන්ගේ අනාගත අපේක්ෂාවන් පේන්නේ නැතිනම් මිනිස්සු අකර්මණ්‍ය වෙනවා. මේවැනි කටයුතු නිසා, නීතිපති දෙපාර්තමේන්තුවේම කාර්ය හා කර්තව්‍යය කියන එක බිඳවැටීමට පුළුවන්.

පසුගිය කාලය පුරාම සිටි නීතිපතිවරු අවුරුදු 60න් විශාම ගියා. කිසිවෙක් අවුරුදු හැටෙන් පසුව සිටියේ නැහැ. ජනාධිපතිවරයා කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු කටයුතුවල කාර්යයන් වෙනුවෙන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ අවශ්‍යතාව තිබෙන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයේ අධීක්ෂණ කටයුතුවල සිටි ප්‍රධානම නිලධාරියා ඩී. ලිවේරා මහත්මයා සේවයෙන් විශ්‍රාම ගියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක නඩුවක් අවසන් වෙලා තවත් නඩුවක් පැවරී තිබෙනවා. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුන හොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වෙනවා.

අග්‍රවිනිශ්චයකාරවරයාගේ ධුර කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වුණාට පසුව, මේ නීතිපතිවරයාගේ සේවා දිගුව ඒ සමගම අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත්කරන්න ඉඩ තිබෙනවා. එවැනි තත්වයකදී නැවතත් පෙර තත්වයටම පත්වෙනවා. එවිට අධිකරණය ගැන තිබෙන විශ්වාසය කඩ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටුණා යැයි කිය හැකියි. අධිකරණයට අනවශ්‍ය මැදිහත්වීමක් සිදුවුණා යැයි කියන්න පුළුවන්. ඒ වගේම සේවා දිගුව ලබාදීමෙන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වුණා කියන්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා සමස්තයම බිඳ වැටීමට ඉඩ තිබෙනවා. කතෝලික සභාව මේ කරුණ ප්‍රතික්ෂේප කර, ප්‍රකාශයක් කර තිබෙනවා. ඔවුන් එහි කියනවා, පාස්කු විමර්ශන මුවාවෙන් දේශපාලන විනාශයන් කරන්න එපා කියා. එය හරිම අවාසනාවන්ත තත්වයක්. මෙවැනි පූර්වාදර්ශයක් දුන්නොත් නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන් අධෛර්යයට පත්විය හැකියි. ඒ වගේම ඔවුන් අනෙක් පැත්තට හිතන්න පුළුවන් දේශපාලන හස්තයක් එක්ක ගැට ගැහුනොත් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුළුවන් කියා. රාජ්‍ය සේවකයන්ගේ උසස්වීම් ගන්නා ක්‍රමය අවුල්කර දැමුවායින් පස්සේ ඔවුන් නොදැනුවත්වම දේශපාලන කඳවුරක් වටා එකතුවීමට පුළුවන්කම තිබෙනවා. මේ තත්වය තමයි අපි නැති කළ යුත්තේ. මේක නීති විරෝධියි වගේම ව්‍යවස්ථාවට පටහැණියි. මේ පත්කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

l-npp-press

“ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමටයි”
-නීතිඥ අකලංක උක්වත්ත-

ජාතික ජන බලවේගයේ නායකත්වය, මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයෙන් දිනන බව බණ්ඩාරලා දෙන්නෙක් විසින් පිළිගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර කීවා “අපි බලාපොරොත්තු වෙනවා, මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැත්තක තියලා, ජනමත විචාරණයකින්, තවත් අවුරුදු දෙකකට මේ තත්වය එහෙමම පවත්වාගෙන යන්න.” මේ කියන්නේ, ජනාධිපතිතුමාව එහෙමම තියාගෙන යන්න. ඒකෙන් ව්‍යංගව තේරුම් යන්නේ ජනාධිපතිවරණයක් තිබ්බොත් රනිල් වික්‍රමසිංහ කපෝති වන බව ඔහු පිළිගත් බවයි. ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි දේ තමයි, ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයක් දිනන්නේ කොහොමද කියන එක. නලින් බණ්ඩාර, විවාදය සඳහා දිනය ලෙස ඔවුන්ම හයවැනිදා දීලා, පසුව එය මඟ හැරලා, පාර්ලිමේන්තුවේ මෙච්චර කල් රූකඩයක් වගේ ඉඳලා, අවසානයේ අසූචි තවරාගත් ඌරෙකු බවට පත්වෙලා වැඩේ අවසන් කර ගත්තා. තමන්ගේ නායකත්වය ඒ තත්වයට පත්කරගන්න එපා කියලා අපි කියනවා. මේ බණ්ඩාරලා දෙන්නම රනිල් වික්‍රමසිංහ විසින් හසුරුවනවා වගේ තමයි පේන්නේ. මේ බණ්ඩාරලා දෙන්නම පිළිගෙන තිබෙනවා මේ ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක සහෝදරයා දිනනවා කියලා.

රංගේ බණ්ඩාර කියනවා, “අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රට බාර අරගෙන කරගෙන යන වැඩපිළිවෙළ ගැන රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් ඇතිවී තිබෙනවා” කියා. මම අහනවා රංගේ බණ්ඩාරගෙන් මොකක්ද ඒ වැඩපිළිවෙළ, කියා. රනිල් වික්‍රමසිංහ ආවේ ගෝඨාභයගේ දිගුව කරන්න නම්, ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුනුවිසුණු වුණා. එය මිනිස්සු ප්‍රතික්ෂේප කළා. එහෙනම්, මෙයාට තිබෙන වැඩපිළිවෙල මොකක්ද, අපි හිතමු මහ මැතිවරණයෙන් ආව ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරන්නේ කියා. ඒකත් මැයි 09 වැනිදා ඉවරයි. පර්ලිමේන්තුවේ ප්‍රධානියා අගමැති අයින් වෙලා ගියාට පස්සේ ඒ වැඩපිළිවෙළත් ඉවරයි. ඒ වැඩපිළිවෙලවල් දෙකම ප්‍රතික්ෂේප වුණාට පස්සේ තිබෙන වැඩපිළිවෙළ මොකක්ද? මෙතන ඩී.බී. විජේතුංගත් එක්ක සංසන්දනය කරන්න එපා. එතනදි වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කර තිබුණේ නැහැ. ඒක ඩී.බී. විජේතුංගට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම තිබුණා. දැන් මෙතන වැඩපිළිවෙළක් කෝ? අරගලයෙන් මහ මැතිවරණයේ ප්‍රතිපත්තියයි, ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට දුන්නු බලයයි සියල්ල විනාශයි. එතනදි ආවෙ රනිල්ට විරුද්ධ වැඩපිළිවෙළක්. හම්බන්තොට වරාය විකුණනවාට, පෞද්ගලීකරණයට, විරුද්ධ වැඩපිළිවෙළක් ආවෙ. හැට නව ලක්ෂයක් ඡන්ද ගෝඨාභයට දුන්නේ පෞද්ගලීකරණයට විරුද්ධව. රනිල් වික්‍රමසිංහට මේ වැඩපිළිවෙළ තුළ, ටෙලිකොම් එක, විදුලිබල සංස්ථාව, ලංකා හොස්පිට්ල් එක, පෞද්ගලීකරණය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහට වෙනම වැඩපිළිවෙළක් නැහැ.

ඒ වගේම ණය ගෙවා ඉවර වෙන 2027 දි සංවර්ධන වැඩවලට තවත් ණය ගන්න තිබෙන බවක් ඔහු කියනවා. දැන් මේ ණය 2027 වෙනකම් ගෙවාගෙන යනවාලු. ඊට පසුව නැවත ණය ගන්නවාලු. රජයේ ණය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා, ගිය වසරේ ඩොලර් බිලියන, 83ක් තිබූ ණය දෙසැම්බරයේදී එය 96.2ක දක්වා වැඩිවී තිබෙනවා. මේ මාර්තුවල මුල් කාර්තුවේදී එය ඩොලර් බිලියන 100 දක්වා වැඩි වී තිබෙනවා. ණය ගන්නේ නැහැයි කියමින් දැනටමත් බිලියන 04ක් ණයට ගෙන තිබෙනවා. බහුතර ජනමතය තිබෙන්නේ මේ යන ක්‍රමයට විරුද්ධවයි. රනිල්ගේ මේ යන ක්‍රමයට බහුතර මතයක් තිබෙනවා නම්, ඔවුන් ජනාධිපතිවරණය තියනවා. බහුතර මතය ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා බව ඔවුන් දන්නවා. ඒකට ඔවුන් බයයි. පුළුවන් තරම් කල් මෙය ගෙනියන්න තමයි බලන්නේ.

මැතිවරණ දෙකක් ඉවර වෙලා අලුත් දේශපාලනයක් තුළ තමයි මේ පරිච්ඡේදය ඉවර වෙන්නේ. මාර්ටිං ලූතර් කිං කියා තිබෙනවා “Injustice anywhere is a threat to justice everywhere” යම් තැනක අයුක්තියක් පවතිනවාද එය සියලු තැන්වල යුක්තියට තර්ජනයක් වෙනවා. පොලිස්පතිව රීලෝඩ් කර කර හිටියා. බහුතර මිනිසුන්ගේ, නීතිඥ ප්‍රජාවගේ අකමැත්ත තුළ දැඩි විරෝධයක් සහිතව පොලිස්පතිවරයෙක් පත් කළා. කරුණු තුනකදී ඔහුට චෝදනා ගොනු වෙලා තිබෙනවා. එකක් තමයි කටුවාපිටිය පැත්තේ පාස්කු ප්‍රහාරය සිදුවෙන වෙලාවේ කොළඹ උතුර ඩී.අයි.ජී. ලෙස ඔහුට ලැබුණු තොරතුරු අනුව ආරක්ෂාව නොසැපයීම, මැයි 09 අරගල භූමියට පහර දීම වළක්වා නොගැනීම සහ එයට අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිතුමා ඔහුව චූදිතයෙක් කළා. පසුව ඔහු අභියාචනාධිකරණය හරහා තහනමක් ගත්තා. මීට මාස හයකට පමණ පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඔහු වරදකරු වුණා, ලක්ෂ පහක් ගෙව්වා. නැවත මෝෂන් එකක් දාලා එම නඩුව අරගෙන, පොලිස් කොමිසමට ඔහු (අයි.ජී.පී) සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. තාමත් අරගෙන නැහැ. ඒ වගේ පුද්ගලයෙක්ව පොලිස්පතිකමට නම් කළා. ගොඩක් වැරදිවලට වගඋත්තරකරුවෙක් වී තිබෙන පුද්ගලයෙක්ව අයි.ජී.පී.කමට පත්කොට නීතියේ පාලනය හදන්න යනවා.

අයි.එම්.එෆ්. එකේ ටෙක්නිකල් රිපෝට් එකේ දක්වා තිබෙනවා, දූෂණ විරෝධී පනත ගැන. නීතියේ පාලනය පවත්වාගෙන යන්න ඕනෑ බව දක්වා තිබෙනවා. මේ පනත ගෙනත් මාස 10ක් වෙනවා. මාස 18 වෙනකොට පනත ක්‍රියාත්මක වෙලා අවසන් වෙන්න ඕනෑ. කොමිෂන් ජනරල් කෙනෙක් පත් කළා. ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙනවා. සීමා කිරීම් තිබියදී අලුත් පත්කිරීම් තුළ වසර හතරක් සිටි පුද්ගලයා වසර පහකට නැවත පත් කරනවා. ඔක්කොම වසර නවයක් වෙනවා. පනතේ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පත්කිරීමට විරුද්ධව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් තිබෙනවා. දූෂණ විරෝධී පනත ගෙනාවට ඡන්ද දෙකක් එනවා. අදාළ අපේක්ෂකයන් තමන්ගේ වත්කම් ප්‍රකාශ කරන්න ඕනෑ. ඒක ප්‍රකාශ කරන ආකාරය මේ පනතෙන් වෙනස් කළා. ඒක ‘ඊ’ ෆෝම් එකක් කළා. ඒකට වෙනම සොෆ්ට් වෙයාර් එකක් හදා තිබෙනවා. ඇතුලේ ආයතනික ව්‍යුහයේ වෙනස්කම් කළ යුතුව තිබෙනවා. “අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාව” කියන එක “දූෂණ විරෝධී කොමිෂන් සභාව” ලෙස වෙනස් වෙන්න ඕනෑ. මෙහේ මුදල් සොරා කාලා විදෙස් රටක තැන්පත් කර තිබෙනවා නම්, ඒ රටවල් සමග ද්විපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගන්න වුවමනා නම්, ඒවා සම්බන්ධයෙන් ක්‍රම, විධි සහ රෙගුලාසි හදන්න ඕනෑ. ඒවා හදන්න ඕනෑ මේ කොමිෂන් සභාවෙනුයි. ඒ සම්බන්ධයෙන් කිසිම ආරම්භයක් වත් අරගෙන නැහැ. මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් තිබෙනවා.

දැන් අලුතින් නීතිපතිතුමාගේ සේවා කාලය දීර්ඝ කරන්න යනවා. මෙතෙක් කල් සිදුවුණේ ඊට පසුව සිටින සොලිසිටර් ජනරාල්ව නීතිපති ලෙස පත්කිරීමයි. මේ විදිහට සේවා කාලය දීර්ඝ කිරීමෙන් කියන්නේ ඊළඟට ඉන්න සොලිසිටර් ජනරාල්වරයා නුසුදුසුයි කියන එකද? නැතිනම් ව්‍යංගයෙන් කියන්නේ තමන්ගේ වැඩකර ගන්න එයාගෙන් බැහැ කියන එකද? දෙසැම්බර් වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තනතුරට ඔහුව පත්කිරීමේ න්‍යාය පත්‍රයද මේ හදන්නේ කියන එක මතුවෙනවා. ඔක්තෝබර් වෙන කොට මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ ආශ්‍රිත කරුණු, ඒ අතරතුර ලබා ගත යුතු ව්‍යවස්ථා අර්ථනිරූපණ, ව්‍යවස්ථාවේ රිංගීම්, දින 52ක වගේ කාරණා ආවරණය කර ගැනීමටද මේ දීර්ඝ කිරීම් දෙන්නේ කියන එක ගැටලුවක්. සේවා කාලය ඉකුත් වුණාට පස්සේ දීර්ඝ කාලයක් බලාගෙන ඉඳලා, පළ පුරුද්ද මත අවුරුදු 30 ක 40ක නීතිපති වෙන්න බලා සිටින එස්.ජී. ඊට කලින් විශ්‍රාම ලබන්න පුළුවන්. ඒ කාර්යය බරපතළයි.

තව කරුණක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකරුවන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් නවත්වා තිබෙනවා. ඒකට එෆ්.ආර්. නඩුවක් ඇවිත් ඒක ඔක්තෝබර් මාසෙ දක්වා අත්හිටෙව්වා. අභියාචනාධිකරණයේ තවත් පුරප්පාඩු පහක් තිබෙනවා. ඒවා පුරවන්නේ නැත්තේ ඇයි? මේ සිටින්නේ තමන්ට වුවමනා දේ කරගන්න නොහැකි වුණු මුරණ්ඩු ජනාධිපතිවරයෙක්ද? එම පත්කිරීමට ඉඩ නොදුන්නා කියා අනෙක් පුරප්පාඩු පිරවීම නුසුදුසුකමක් වෙන්නේ නැහැ. මහාධිකරණ විනිසුරුවරු එම පුරප්පාඩුවලට යන්න බලාගෙන ඉන්නවා. ඒ අතරතුර ඔවුන්ගේ කාලය නිමා වෙන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය නොදුන්නා කියන කාරණය නිසා දීර්ඝ කාලයක් සේවය කළ කී දෙනෙකුට අගතියක් වෙනවාද? මහින්ද රාජපක්ෂලාට විරුද්ධව තිබූ නඩු කොච්චර ඉවත් කර ගත්තාද? අයි.එම්.එෆ්. එක පෙන්වා දෙන දූෂණ විරෝධී පනත සහ නීතියේ පාලනය වළ පල්ලට යනවා. මෙතනින් එහාට මේ කරන්නේ රටේ නීතියේ පාලනය බිඳදැමීමක්. මේක සුවිශේෂී මාස හතරක්. රටේ ජනතාව මැතිවරණ දෙකක් සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලාගෙන සිටිනවා. ආණ්ඩුව ඒකට මඟ අහුරමින්, ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් ඔවුන්ගේ ඔවුන්ගේ වපසරිය හදමින් යනවා. ජාතික ජන බලයේ නීතිඥයන් වශයෙන් නීතිඥවරු වශයෙන් මේ තත්වයට අපගේ විරෝධය ප්‍රකාශ කර කරනවා.

l-npp-press