(-2025.05.21 – Colombo-)
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරීපත්විය.
මැයි මස 20-26 දිනවලදී නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත. එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව මැයි මස 24 දින පැවති මහාමණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධූරය සඳහා වැඩි ඡන්දයෙන් තේරීපත්ව ඇත.
1945දී ආරම්භ වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වේ. ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වන විට එහි පූර්ණ සාමාජිකත්වය දරයි.
මෙම 21 වන මහ සභවාරයේදී එහි සභාපති ධූරය සඳහා පෘතුගාලයේ JCP තරුණ සංවිධානයත්, ලේකම් ධූරය සඳහා කියුබාවේ UJC සංවිධානයත්, අනෙකුත් උප සභාපති ධූර 2 සඳහා ලෙබනනයේ ULDY සහ නැමීබියාවේ SWAPO YL සංවිධානයත් තේරීපත්විය.
මෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සම්බන්ධ විය.