Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

(-2025.07.06 – Colombo-)

Crowd at award giving for al high achievers

• දකුණු පළාතේ අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 361කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ

• වත්මන් රජය ජනාධිපතිගේ අරමුදල ජනතාවගේ අරමුදලක් කළා

– අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

පසුගිය 2023 සහ 2024 වසර දෙක තුළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව දකුණු පළාතේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම රුහුණු විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 06 යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු බැගින්, සිසුන් 361 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1කි. මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙහි පළමු පියවර උතුරු පළාතෙන් ආරම්භ කෙරිණි.

award giving for al high achievers students

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

Dance at award giving for al high achievers

මෙතෙක් කල් පැවැති ජනාධිපතිගේ අරමුදල ජනතාවගේ අරමුදල බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් එය ජනතාවගේ හිත සුව පිණිස සේවාවන් සපයන ආයතනයක් බවත් පත්කිරිමට හැකිව තිබෙන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී කියා සිටියේය.

දේශපාලනඥ හෙංචයියන්ගේ ප්‍රතිකාර හා සංචාර සඳහා ජනාධිපති අරමුදල අවභාවිතා වී ඇති බවට තොරතුරු තිබෙන බවත් එය අද වන විට ජනතා සුබසාධන ආයතනයක් බවට පරිවර්තනය කළ බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

Minister Sunil Handunneththi speech at award giving for al high achievers

මෙම ශිෂ්‍යත්ව ලබාගෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට පැමිණෙන සිසුදරුවන්ටත් වගකිමක් තිබෙන බව පෙන්වා දුන් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අනාගත නායකයකු වූ පසු තමන්ගෙන් මේ රටට හා පුරවැසියාට සිදුවිය යුතු සේවාවන් නොපිරිහෙළා ඉටු කරන ලෙසත් මහජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන රටට හෝ ජනතාවට හොරකමක් වංචාවක් සිදු නොකිරීමට ද අධිෂ්ඨාන කර ගත යුතු බවද සිහිපත් කළේය.

Minister Saroja Paulraj Speech at award giving for al high achievers

මෙහිදී අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ ලෝකය දැකීමට හා පියඹා යාමට අපේ දූ පුතුන්ට අධ්‍යාපනය නමැති අත්තටු ලබාදීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යක් බවත් මානව ප්‍රේමි පුරවැසියකු බිහිකිරීමට අධ්‍යාපනයට කළ හැකි බවත්ය.

වත්මන් රජයේ මැතිවරණ ව්‍යාපාරය තුළ අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබාදුන් බවත් ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර ජනාධිපති අරමුදල මඟින් අධ්‍යාපනයට දක්ෂ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට ආරම්භ කර ඇති බවත් දරුවන් අධ්‍යාපනයෙන් සවිමත් කිරීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

Matara award giving for al high achievers

මෙතන සිටන බොහෝ දෙනෙක් ලංකාව හෝ ලෝකය පාලනය කරන බොහෝ තැන්වල අනාගතයේ හිදිනු ඇති බවත් එහිදි මානව ප්‍රේමී පුරවැසියකු නොවුනහොත් අප අධ්‍යාපනයෙන් ලබන ආයෝජනයේ මහඟු ප්‍රතිඵල නොලැබෙන බවත් සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් මෙහි ස්තූති කතාව සිදු කළ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ සිත්මිණි මදනායක සිසුවිය පැවසුවාය.

Students at the award giving for al high achievers

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එල්. එම් අබේවික්‍රම, ලාල් ප්‍රේමනාත්, අරවින්ද සෙනරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් සිල්වා යන මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.