Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ගැහැනු අපට සුදුසුම තැන බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකරන මාලිමාවයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

(-ලන්ඩන් කාන්තා සමුළුව – 16.03.2024-)

අපි මේ මොකක්ද කරමින් ඉන්නේ කියන අත්දැකීම ඔබත් සමග බෙදා ගන්න මම කල්පනා කළා. ‘ගැහැනු අපි එක මිටට’ කියලා දිස්ත්‍රික් 16ක පමණ සමුළු අපි පැවැත්වූවා. ඒ දක්වා පැමිණි ගමන ගැන ටිකක් හිතන්න මටත් අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, 2019දී ජාතික ජන බලවේගය පටන් ගන්නකොට ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශය තුළ ජනාධිපතිවරණයකට සූදානමින් සිටින අවස්ථාවක්. මුලින්ම අපි ස්ත්‍රී ප්‍රඥ්ප්තියක් ඉදිරිපත් කළා. අනුර සහෝදරයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ මහජන පුස්තකාලයේ රැස්වීමක් පවත්වා ඒ ස්ත්‍රී ප්‍රඥ්ප්තිය අපි ඔහුට ඉදිරිපත් කළා. ඔහු එය පිළිගත්තා. ඒ අවස්ථාවේ සිට කාන්තා ප්‍රඥ්ප්තිය ජාතික ජන බලවේගයේ පිළිගැනීමට ලක්වුණා. ඒ ප්‍රඥ්ප්තියේ අපි විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළා. මහා මැතිවරණයේදී ගැහැනු අපිට 50%ක නියෝජනයක් අවශ්‍ය බව කියන විශේෂ ඉල්ලීමයි.

අනුර සහෝදරයා කතාව කරන අවස්ථාවේ මේ 50% ඉල්ලීමට එකඟ බව කිවුවා. ඒ වගේම වේදිකාවේ සිටි සියලුම කාන්තාවන්ට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන්න සූදානම් වන ලෙස කිවුවා. අපට 50%් අවශ්‍ය බව ඉල්ලා සිටියත් ගැහැනු අපට දේශපාලනය කරන එක එතරම් ලේසි දෙයක් නොවෙන බව තේරුම් ගත්තේ ඒ අවස්ථාවේදීයි. යම්කිසි ආකාරවලින් දේශපාලනයට සම්බන්ධ වන අපිත් අපේක්ෂකයන් වීමට මෙච්චර අකමැති නම්, අප හමුවේ තිබෙන අභියෝගය කොපමණදැයි තේරුම් ගත්තා. තිරය පිටුපස සිට කොපමණ කටයුතු කළත් ප්‍රඥ්ප්තිය යථාර්ථයක් කර ගන්න නම්, ගැහැනුන් දේශපාලනයට පැමිණීම පිළිබඳ අභියෝගය ජයගත යුතු බව තේරුම් ගත්තා. අන්න ඒ සංවාදය තුළ අපි මෙපමණ දුරක් ඇවිත් සිටින අතර, අනෙකුත් පක්ෂත් දේශපාලනයට ගැහැනුන් එකතු කර ගැනීම පිළිබඳව සිතා බලන්න පටන් ගත්තා. අපි ඉස්සර කිවුවේ “අපිට මල්පෝච්චි වෙන්න නම් අවශ්‍ය නැහැ” කියලා. අපිට දේශපාලනය කරන්න ඕනෑ පවතින තත්වයන් වෙනස් කරන්නයි. සමස්තයක් හැටියට ප්‍රචණ්ඩ, අප්‍රසන්න විශේෂයෙන් ගැහැනු අපට අප්‍රසන්න දේශපාලනය වෙනස් කිරීමටයි අපි ඉදිරිපත් වී සිටින්නේ. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, අලුත් අර්ථයක් දෙන්න අපට අවශ්‍යයි. දේශපාලන ධාරාවට ඇතුල් වී සමාජය සමස්තයක් ලෙස වෙනස් කරමින් ඉදිරියට යාම සඳහා අප තෝරාගත් මාලිමාව ඒ සඳහා සුදුසුම තැන බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ මැතිවරණයකින් හුදු ඔළුගෙඩි මාරුකිරීමේ දේශපාලනයක් නොවෙයි. බරපතළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකරන මාලිමාව ගැහැනු අපට සුදුසුම තැන බව තහවුරු වී තිබෙනවා.

මේ ගමනේදී 2021 විතර දේශපාලනයට ජනතා සහභාගිත්වය ලබාගැනීම සඳහා කොට්ඨාස සභා පිහිටුවන්න තීරණය කළා. ගමේ නායකත්වය ගන්න සෑම ග්‍රාම සේවා වසමකම කොට්ඨාස සභා පිහිටුවන්න පටන් ගත්තා. බිම් මට්ටමේ දේශපාලන ව්‍යුහය ගොඩනඟන්න ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,000න් එකොළොස් දහසක පමණ කොට්ඨාස සභා පිහිටුවා අවම වශයෙන් නිලධාරී මණ්ඩලයෙන් 30%ක් වත් කාන්තාවන් සහභාගි කර ගන්න තීරණය කළා. මේ සභාවලට කාන්තා සහභාගිත්වය ලබා ගන්න මුලදී ඉතා අසීරු වුණා. අභියෝග රාශියකට මුහුණ දීමෙන් පසුව වෙනමම කාන්තා සභා පිහිටුවන්න අපි තීරණය කළා. හිතාගන්න බැරි ආකාරයෙන් ගැහැනුන් ඒ වටා එකතු වෙන්න පටන් ගත්තා. ගැහැනුන්ට ආරක්ෂිතව, ගැහැනුන්ගේ නායකත්වය යටතේ දේශපාලන වේදිකාවක් හැදෙන තුරු බලා සිටි ගැහැනුන් බහුතරයක් පුදුම විදිහට ඉදිරිපත් වුණා. ලංකාවේ රැකියාවලත්, නිවෙස්වලත්, ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුළත් බර අදින්නේ ගැහැනුන්. ලංකාවට ඩොලර් උපයන ප්‍රධානම ක්ෂේත්‍ර තුළ වැඩිම දායකත්වයක් දරන්නේ ගැහැනුයි. නමුත් ඔවුන්ට නිසි ඇගයීමක්, ගෞරවයක් ලැබිලා නැහැ. වැටුප් නොලබා කරන සුරැකුම් වැඩ එන්න එන්න දුෂ්කර සහ පීඩාකාරී වී තිබෙනවා. ලංකාවේ සමාජ ආරක්ෂණය ක්‍රමයෙන් කප්පාදු වී යනකොට ඒ බර ගැහැනියගේ උරමත පැටවුණා. උදාහරණයක් ලෙස අධ්‍යාපනයට රාජ්‍යයෙන් වැය කරන සම්පත් කපා හැරීම තුළ ගෘහණිය මත පැටවුණු බර ඉතා විශාලයි. ඒ වගේම ආණ්ඩුව පාසල් සිසුන්ගේ බෑග්වල මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට පැවරීම දක්වාත් දුර ගියා. ඒ බරත් පැටවුණේ අම්මාගේ කර මතට. අතිරේක පංතිවලට දරුවන් එක්ක යාම සහ ගෙන ඒම පැවරුණෙත් අම්මාට.

මම මේ කතා කළේ එක ක්ෂේත්‍රයක් ගැන පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය, සහ ප්‍රවාහනය කඩා වැටීම තුළ විශාල වශයෙන් පීඩනයට පත් වුණේ ගැහැනියයි. ගැහැනු පිරිමි භේදයක් නැතිව බැංකු ණය ලබාගැනීමේ හැකියාව අවම වීම තුළ ක්ෂද්‍ර මූල්‍ය ණයවල ගොදුරක් සහ හිංසනයට පත්වුණේත් ගැහැනුයි. යුද්ධ සහ කෝලාහලවලින් ඇති වූ පීඩාවත් ගැහැනුන් දරන අතර 2022 දී ආර්ථිකය කඩා වැටීම නිසා තවත් දරුණු පහරක් එල්ල වුණා. ගෝල්ෆේස් අරගලය කියලා හැඳින්වූවත් රට පුරාම අරගල තිබුණා. ඒ විරෝධතාවල ඉදිරියෙන්ම සිටියේ ගැහැනු. හදවතේ දරාගෙන හිටපු, තවදුරටත් ඉවසා ගත නොහැකි වූ පීඩාව හමුවේ ගෙදරින් එළියට බහින්න පටන් ගත්තා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ ගැහැනුන්ට එකතු විය හැකි දේශපාලන අවකාශයක් නිර්මාණය කරමින් කාන්තා සභා පිහිටවූවා. 2023 දෙසැම්බර් 30 මාතරින් පටන් ගත් රැලි පිටුපස විශාල ක්‍රියාවලියක් තිබෙනවා. ඔබ දකින අතිශයින්ම සාර්ථක රැලි පිටුපස මාස ගණනක ක්‍රියාකාරකම් බොහොමයක් ගම්මට්ටමෙන්, සංවිධානය වීම සහ නායකත්වය දීමෙන් බිහි වූ තත්වයක්. ඉදිරියට තවත් ශක්තිමත් වෙමින් ගොඩනැගූ විධායක කමිටු රැස්වෙමින් මාලිමාව තුළ දිගින් දිගටම වැඩකරමින් යනවා.

ඔවුන් කවදාවත් හිතුවේ නැහැ ලංකාවේ ගැහැනුන් මේ ආකාරයෙන් ඔවුන්ගේ නායකත්වයට ශක්තිමත් පණිවිඩයක් දීමට ඉදිරිපත් වෙයි කියලා. අද සිදුවෙන විශිෂ්ටම දේ එයයි. අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙළගැසෙන හොඳම බලවේගයත් එයයි. ගැහැනුන්ගේ ශක්තිය, හැඟීම්, කුළුගැන්වී එක අරමුණකට ඉදිරියට එනවා. අපේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය, සමාජ කඩා වැටීම වැනි ඍණාත්මක තත්වයන් රැසක් තුළ ඉතාම උසස් බලාපොරොත්තුවකුත් තිබෙනවා. ගැහැනුන්, තරුණයන්, ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් පෙළගැසෙන ජාතික ජන බලවේගය තිබෙනවා. ඊළඟ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනවන සරල දෙයක් නොවෙයි මේ සිදුවෙන්නේ. 17වැනිදා තරුණ සමුළු ආරම්භ වෙනවා. මේක ලාංකේය පුරවැසියා ගොඩනඟමින් ඔහුගේ මැදිහත්වීමෙන් විශාල සමාජ පරිවර්තනයක් සිදුකරන්න යන ගමනක්.

විදේශගත වී සිටින ඔබත් මේ මොහොතේ බැරෑරුම්කම තේරුම් ගෙන ලංකාව පරිවර්තනය කරන මොහොතක් ලෙස ගෙන ක්‍රියාකරන්න. ජනතාව සූරාකන දේශපාලන සංස්කෘතිය බාරගැනීමට සූදානම් පුරවැසියෙක් නොවෙයි තවදුරටත් ඉන්නේ. ඒ බව තේරුම් නොගත් දේශපාලන පක්ෂ ඔවුන්ගේ රැවටිලි තුළින් තවදුරටත් බලයේ රැඳී සිටින්න තවදුරටත් කල්පනා කරනවා. පුරවැසියන් ඉන්නේ හුදු ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක් විසඳීම වැනි පටු තැනක නොවෙයි; සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙළගැසෙන තැනකයි. මේක රට අලුත් මඟකට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම එකතුවිය යුතු මොහොතක්. ඒ පරිවර්තනය සරල ප්‍රතිපත්තිවලින් කළ නොහැකියි. එම සමාජ පරිවර්තනය වෙනුවෙන් ‘ගැහැනු අපි එක මිටට’ රට තුළ පමණක් නොවෙයි විදේශයන්හි පවා එකතු වෙමින් සිටිනවා. භෞතිකව ලංකාවට ඉතාමත් දුරින් සිටියත් මේ පරිවර්තනය වෙනුවෙන් විවිධ අංශවලින් ඔබට සහභාගි විය හැකියි. දුරකථන ඇමතුමක් දී, සමාජ මාධ්‍ය පණිවිඩයක් දී ලංකාවේ සිටින ඔබගේ සමීපතමයින් දැනුවත් කරන්න. මේ වසර රටේ තීරණාත්මක පරිවර්තනයක් සිදුකරන වසර බවට පරිවර්තනය කර ගනිමු.

NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London
NPP-Gahanu-Api-London