Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ ඉලක්කයක් අද පෙනෙන්නට තිබෙනවා” -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කොළඹ සංවිධානයේ සභාපති නීතීඥ හේමක සේනානායක-

(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව – 2024.06.27-)

NPP-Lawyers-Press-Conference

අද වන විට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයට කරනු ලබන බරපතළ තර්ජනයටත් බලපෑමටත් විරුද්ධව ජාතික ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විරෝධය පළ කරනවා. අවස්ථා ගණනාවකදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ නිදහසට පාලකයන් විසින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ අර්ථනිරූපණයක් නැතිනම් නඩු තීන්දුවට එරෙහිව, මේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා විසින් ‘ජුඩීෂියල් කැනිබලිසම්’ යන වචනය පාවිච්චි කරමින් අදහස් ප්‍රකාශ කරනවා. ‘කැනිබල්ස්ලා’ කියන්නේ මිනීමස් කන පුද්ගලයන්ටයි. අධිකරණය මිනීමස් කන තත්වයට පත්වී තිබෙන බව තමයි ඔහු මේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒ විතරක් නොවෙයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් විමර්ශනය කර බලන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බවත් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් බවට පත්වන්නේ පහළ අධිකරණවල සිට ක්‍රමයෙන් උසස්වීම් ලබා විශිෂ්ට දැනුමක් සහ අත්දැකීම් තිබෙන විනිසුරුවරුන්. මෙයට කලින් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කළ පසු අධිකරණ ඇමතිවරයා සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රහාර එල්ල කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් බව අපි දන්නවා. නමුත් මේ පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට පහර එල්ල කිරීමට අමතරව අධිකරණ ඇමතිවරයාගේ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ සංගමයෙන් විවේචනයක් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා නිවේදනයට අත්සන් තැබූ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවක් හමුවට කැඳවිය යුතු බව ලිඛිතව කථානායකවරයාට දන්වා තිබෙනවා.

ඊළඟට නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ පරාජය වුවද නැවතත් ඒ නම යෝජනා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකට ගෝලයෙකු වන ගෝනවල සුනිල් යොදවා අධිකරණයට බලපෑම් කළ ආකාරය සහ කළු ලකීලා මෙහෙයවා විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල කිරීම වගේම අධිකරණයෙන් වැරදිකරුවන් කළ අයට ජනාධිපති සමාව ලබාදුන් ඉතිහාසය නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය ජනතාවට විශ්වාසය තිබුණේ අධිකරණ පද්ධතිය කෙරෙහියි. ඔවුන්ගේ ඒ තිබූ විශ්වාසය බිඳ දමා අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ ඉලක්කයක් අද පෙනෙන්නට තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සූදානමින් සිටින ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. වර්තමානයේ අධිකරණයට එල්ල කරමින් තිබෙන මේ තර්ජනයට ජාතික ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ දැඩි විරෝධය පළ කරනවා. අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපිත් අධිකරණයට කරන අතපෙවීම්වලට එකාවන්ව විරෝධය පළ කරනවා.

NPP-Lawyers-Press-Conference

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට මැදිහත්වීමට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට කිසිදු නීතිමය පදනමක් නැහැ”
-නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර-

ජනතාව තුළ අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ දැමීම සඳහා ගෙනයන ක්‍රියාමාර්ග අතර, අධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවට මතයක් තහවුරු කරන්න උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ දඩ ගැසීමක් කිරීමේ කිසිදු හැකියාවක් පාර්ලිමේන්තුවට නැහැ. පාර්ලිමේන්තු කමිටුවකට කළ හැක්කේ යම්කිසි පුද්ගලයෙකුට අවවාද කිරීම පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මැතිවරණය පැවැත්විය යුතු බවට නියෝගයක් කළා. ඒ අවස්ථාවේදී එක්තරා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ අදාළ විනිසුරුවරුන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවයි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පවතින ‘ඒ ’සහ ‘බී’ යන උපදේශන දෙකේ කිසිම තැනක අධිකරණයක් මගින් එම බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වන බව දක්වා නැහැ. නමුත් මහජනතාව අතර එවැනි දුර්මතයක් පැතිරවීම සම්බන්ධයෙන් ඔවුන් වගකියන්න ඕනෑ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට එරෙහිව ක්‍රියාකිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බව ප්‍රකාශ කරමින් මහජනතාව භීතියට පත්කර නොමඟ යැවීමේ යෙදී සිටිනවා. ඒ හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට මැදිහත්වීමට කිසිදු නීතිමය පදනමක් නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන කිසියම් තීන්දුවක් පිළිබඳව ගැටලුවක් පවතිනවා නම්, ප්‍රතිශෝධනයක් කිරීමේ අයිතිය රජයට ලබාදී තිබෙනවා. එහෙම නම් ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් රජය වෙනුවෙන් ප්‍රතිශෝධනයක් ඉල්ලිය යුතු වෙනවා. නමුත් විධායක ජනාධිපති නීතිපතිවරයාට එවැනි උපදේශයක් ලබාදී නැහැ. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර කිසියම් ගැටලුවක් පැන නගිනවා නම් එය විසඳා ගන්නා ශිෂ්ට සම්පන්න ආකාරය පැහැර හැර ඇති බව තහවුරු වෙනවා. රජයේ නීතිපතිවරයා මගින් එවැනි ප්‍රතිශෝධනයක් සඳහා ඉල්ලීමක් නොකර අධිකරණයට නිර්දය ලෙස පහර ගසනවා. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයේ කොටසක් වන අධිකරණය සමච්චලයට ලක්කරනවා. අධිකරණය කෙරෙහි මහජනතාවගේ තිබෙන විශ්වාසය පහතට ඇද දමනවා. නීතිපතිවරයා මගින් එවැනි නීත්‍යානුකූල කටයුතු ඉටු කර ගන්නේ නැතිව ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලපෑම් සහගතව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් සිදුකරනවා.

ඒ වගේම වර්තමාන අධිකරණ ඇමතිවරයා නීතිය සම්බන්ධයෙන් ලියා තිබෙන පතපොත බොහෝ කටයුතුවලදී පරිහරණය කරනවා. නමුත් ඒ අධිකරණ ඇමතිවරයා එක් දේශපාලන පක්ෂයකින් මහජන නියෝජිතයෙකු ලෙස අවුරුදු පහකට තේරී පත්වී සිටියදී වෙනත් පක්ෂයක සභාපති ධුරයක් බාරගැනීම පිළිබඳව ආරාවුලක් කොළඹ දිසා අධිකරණයට යොමු කර තිබුණා. එවැනිම තත්වයක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටත් පවතිනවා. අධිකරණ ඇමතිවරයාගේ ආරවුල පවතින්නේ ඔහුගේ පුද්ගලික කටයුත්තකට අදාළවයි. නමුත් අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නඩුව විභාග කළ සිවිල් අධිකරණයට දැඩි ප්‍රහාරය එල්ල කිරීම අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර පැවතිය යුතු මූලධර්ම එළිපිට උල්ලංඝනය කිරීමක්.

අද අධිකරණයේ පවතින නඩු ගොඩගැසීම, අධිකරණ කටයුතු වෙනුවෙන් දුරබැහැර සිට පැමිණීමට සිදුවීම වැනි කටයුතු වෙනුවෙන් කර තිබෙන ප්‍රකාශයක් අධිකරණ ඇමතිවරයා විසින් සමච්චලයට ලක්කළා. අධිකරණයේ සිදුවිය යුතු සැබෑ වෙනස්කම් නොසලකා හරින අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී තමන්ගේ නඩු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම බරපතළ වරදක්. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු යැයි කරන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද කමිටුවේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැණියි. අධිකරණ ඇමතිවරයා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයට එරෙහිව කථානාකයවරයාට ඉදිරිපත් කර තිබෙන ලිපිය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.

NPP-Lawyers-Press-Conference

“ජනතා ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස රට පාලනය කරන්න හදනවා”
-නීතිඥ දනුෂ්කි ලියනපටබැඳි-

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දුව පිළිගත නොහැකි නම් මුල් විභාගය කළ විනිසුරුවරුන්ට වඩා වැඩි විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ලක්කිරීමේ හැකියාව තිබෙනවා. මුල් විභාගය පැවැත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙක් නම් එය පස්දෙනෙකු හෝ හත් දෙනෙකු වශයෙන් වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් ඉදිරියේ නැවත විභාග කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. ඔවුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ගැන කතා කළත් අද පවතින්නේ ජනතා අනුමැතියක් නැති පාර්ලිමේන්තුවක්. එවැනි තත්වයක් තුළ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති දැඩි වෙහෙසක් දැරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ දැඩි සැකයක් ඇති විය හැකියි.

අධිකරණ ඇමතිවරයා පසුගිය කාලයේ තවත් චෝදනාවක් එල්ල කර තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ නඩු විභාගවලදී සුළු දඩයක් නියම කර, මුදාහරින බවට චෝදනා කළා. නමුත් නීත්‍යානුකූලව විනිසුරුවරුන් නඩු තීන්දු ලබාදී තිබෙන්නේ නීති ප්‍රතිපාදනවල සඳහන් ආකාරයටයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා. මේ කටයුතු සියල්ලම අවසාන වශයෙන් බලපාන්නේ පොදු ජනතාවටයි. ආණ්ඩුවේ අය මේ ආකාරයට අධිකරණයට ප්‍රහාර එල්ල කළාම ජනතාව තුළ අධිකරණය කෙරෙහි සැකයක් ඇති වෙනවා. 1977දී ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර්. ජයවර්ධන පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එකතු කරලයි. ඒ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා වන වර්තමාන ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් නොවී තමන්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කරන්න උත්සාහ කරනවා. ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, විවිධ අකටයුතුකම් කරන මැති ඇමතිවරු රැසක් සිටිද්දී ස්වාධීනව කටයුතු කරන අධිකරණයට මේ ආකාරයෙන් දේශපාලන අත පෙවීම් සහ බලපෑම් කිරීම අපි දැඩි ලෙසම හෙළා දකිනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අධිකරණ ඇමතිවරයා අතීතයේ සිදුවීමක් සම්බන්ධයෙන් ගෙනහැර දැක්වූවා. විජේදාස ලියනාරච්චි නීතිඥවරයා ඝාතනය කළ අවස්ථාවේ පාරට බැස විශාල උද්ඝෝෂණයක් කළ ප්‍රගතිශීලී නීතිඥවරුන් කොටසක් ලංකාවේ සිටින බව අවධාරණය කළා. එවැනි ප්‍රගතිශීලී නීතිඥවරුන් මේ අවස්ථාවේදී නිහඬව නොසිටිය යුතු බවට අවධාරණය කළා.

NPP-Lawyers-Press-Conference

“ඉස්සර හොරු සහ මංකොල්ලකරුවන් කැළෑවල සිටියත් අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලයි”
-නීතිඥ හර්ෂණ නානායක්කාර-

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව මේ ආකාරයෙන් ස්වාධීන විනිසුරුවරුන්ට බලපෑම් කරන්නේ ඇයිද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනෑ. ඔවුන් බලපෑම් කරන්නේ දේශපාලන මාර්ග සිතියමකට අනුවයි. විධායකයේ සිටින අය වගේම ව්‍යවස්ථාදායකයේ සිටින අයත් තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අධිකරණයෙන් ඉටු නොවූ අවස්ථාවල මේ ලෙස ප්‍රහාර එල්ල කරනවා. අපේ රටේ පොදු ජනතාව තුළත් අධිකරණ ක්‍රියාමාර්ගවලදී නඩු කල්යාම, නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවීමට සිදුවීම වගේ තත්වයන් සම්බන්ධයෙන් පවතින්නේ ඍණාත්මක ආකල්පයක්. අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් වගේ අත්‍යාවශ්‍ය දෙයක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණය හා තුලනය කියන මූලික සංකල්පය මත ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය නොතිබුණොත් බ්රේක් නැති වාහනයක් පල්ලමකදි හැප්පිලා විනාශ වෙනවා වගේ රටත් විනාශ වෙනවා. නමුත් අපේ රටේ පාලනයට සම්බන්ධ දේශපාලනඥයන් ව්‍යවස්ථාවේ සහ අනෙකුත් නීතිවල සිදුරුවලින් රිංගා යන්න බොහෝ විට උත්සාහ කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදෙන ආදර්ශ අනුව අධිකරණ ඇමති, විජේදාස රාජපක්ෂ අධිකරණයට ජනතාවගේ තිබෙන පිළිගැනීම සහ විශ්වාසය කඩා බිඳ දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. අධිකරණය ආරක්ෂා කිරීමේ මූලිකම වගකීම තිබෙන එම ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මහජනතාව ඉදිරියේ අධිකරණයේ විශ්වාසය බිඳෙන ආකාරයෙන් ක්‍රියා කරනවා. ඉස්සර නම් හොරු සහ මංකොල්ලකරුවන් වැඩිය සිටියේ කැළෑවල. අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල. ජනාධිපති නීතිඥවරයෙක් වුවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිදුකරමින් සිටින මේ ක්‍රියාව ඉතාම නින්දිතයි.

අපක්ෂපාත විනිසුරුවරුන් බිය ගන්වා බලපෑම් කර ආණ්ඩුවට අවාසි නොවන ආකාරයේ තීන්දු ගැනීමේ උත්සාහයක යෙදී සිටිනවා. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, රාජපක්ෂවරුන් අකමැති තීන්දුවක් දීම නිසා පාර්ලිමේන්තුවට ගෙනත් ඉතාමත්ම අපහාසාත්මක ලෙස කටයුතු කළා. සූරසේන විනිසුරන් ප්‍රමුඛ විද්වතුන් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් දුන් අවස්ථාවේ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කළේ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්විය යුතු බවයි. වෘත්තියේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ලිපියක් නිකුත් කර, විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් එම සංගමයේ නිලධාරීන් පවා පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවට ගෙනයන මතය පරාජය කරන්න ඕනෑ.

අධිකරණ විනිසුරුවරුන් කියන්නේ ජනතාවගේ අවසන් බලාපොරොත්තුවයි. එවැනි පිරිසක් බය ගැන්වීමට අධිකරණ ඇමති උත්සාහ කිරීම මගින් පෙන්වන්නේ මංකොල්ලකරුවෙකු සහ ඔහු අතර වෙනසක් නැති බවයි. ඇමතිවරයාට ඔය කළ ප්‍රකාශය කොන්ද කෙලින් තබාගෙන පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ලෙස අපි අභියෝග කරනවා. වරප්‍රසාද තුළ හැංගී, ඔය වැනි ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති නිසයි. නීතිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති අනුගමනය කරන ක්‍රියාමාර්ගයත් බරපතළ සැකයක් ඇති කරනවා. වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම ගිය පසු එම තනතුරට පත්කරන්න දක්ෂ නිලධාරීන් ඇති තරම් ඉන්නවා. නීතිපතිවරයා ඉවත් වූ පසුව ඊළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා බවට පත්වෙනවා. සංජය රාජරත්නම් මහතාගේ ආත්ම ගෞරවයටත් හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ක්‍රියා කිරීමත් අපේ සැලකිල්ලට ලක්වෙනවා. පවතින මෙම සමස්ත ක්‍රියාවලියේ පිරිහීමට එරෙහිව හෙට දිනයේදී අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා. අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ජාතික ජන බලවේගයේ නීතිඥයන් ප්‍රමුඛ සමස්ත නීති ප්‍රජාවට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ඉල්ලනවා. මේ විරෝධතාව ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් සංවිධානය කරන විරෝධතාවක් නෙමෙයි. පොදු නීතිඥයන් විසින් නීතියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දක්වන විරෝධතාවක්.

අවසන් වශයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට අපි කියන්නේ ඔබ පක්ෂ මාරු කරමින් පෞද්ගලික උන්නතිය වෙනුවෙන් දේශපාලනය කළාට අපට කමක් නැහැ. තම ආර්ථිකය වෙනුවෙන් කටයුතු ඒ ආකාරයෙන් සිදුකර ගත්තාට කමක් නැහැ. නමුත් පොදුවේ නීතිඥවරු වශයෙන් අපි අභිමානයෙන් සහ ගෞරවයෙන් ඉටුකරන වෘත්තීන්ට අපහාස කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මෙයට පෙර අධිකරණයට ගල් ගැසූ දේශපාලනඥයන්ට සිදුවූ දේ හොඳින් සිහියට ගන්නා ලෙස අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ විනිසුරුවරුන්ගේ සංගමයට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ අනෙකුත් සංවිධානවලට ස්තුතිවන්ත වෙනවා.

NPP-Lawyers-Press-Conference