Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යයෝ පමණක් උද්ඝෝෂණ කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

-Colombo, December 22, 2023-

අද මේ මාධ්‍ය හමුව කැඳවූයේ, රජයේ වෛද්‍ය පීඨ තුනක ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඒ හරහා වෛද්‍ය පීඨවල ගුණාත්මක තත්වය ඉහළ නංවාගෙන රටට අවශ්‍ය වෛද්‍යවරු නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් ආණ්ඩුවට කිරීමේ අරමුණින්. රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන්නේ රජයේ වෛද්‍ය පීඨ හරහා. 1870 කොළඹ වෛද්‍ය පීඨය ආරම්භ වූ තැන සිට වසර 150ක් තුළ වෛද්‍ය පීඨ අටක් පිහිටුවා තිබෙනවා. පසුගිය වසරේ පමණක් රුහුණු විශ්වවිද්‍යලයට අනුබද්ධ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිධාරීන් 300ක් ඇතුළු වෛද්‍ය උපාධිධාරීන් 2000ක් පමණ පිටවුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විදේශ විශ්වවිද්‍යාලවල උපාධි ලබාගත් අයට වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයට මුහුණ දී අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවලින් හෝ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධියක් ලබාගෙන ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන් හට තාවකාලික ලියාපදිංචියක් වෛද්‍ය සභාවෙන් ලබාදෙනවා.

ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලේඛනයකට අනුව පවතින පුරප්පාඩු සලකා බලා සීමාවාසික පුහුණුව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ පුහුණුවීමට රෝහල්වලට යොමු කරවනවා. වසරක මේ පුහුණුවෙන් පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන සහතිකය අනුව පූර්ණ ලියාපදිංචිය ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය සහිත අංකයක් යටතේ ඕනෑම වෛද්‍යවරයෙකුට රජයේ රෝහල්වල හෝ පෞද්ගලික අංශයේ සේවය කිරීමේ පූර්ණ අයිතිය ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර පහෙන් පහට අලුත් කරන්න ඕනෑ. අපේ රටේ වෛද්‍යවරයෙක් බිහිවීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මේක. මෙරට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නීත්‍යානුකූලව පැවරී තිබෙනවා. වෛද්‍ය සභාව මේ දක්වා තමන්ගේ වගකීම් ඉටුකරමින් ඉන්නවා.

උපකරණ හිඟය, කාර්ය මණ්ඩල හිඟය, ඖෂධ හිඟය ඇතුළු විශාල අඩුපාඩුකම් තිබියදී මේ මට්ටමින් හෝ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා හැකි වී තිබෙන්නේ මේ වගකීම් සහගත ක්‍රියාවලිය නිසයි. මේ රටේ වෛද්‍ය පීඨ අටකට වෛද්‍ය සභාවේ නිර්ණායක අනුව අනුමැතිය ලබාදී තිබෙනවා. කොළඹ වෛද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය, පේරාදෙණිය වෛද්‍ය පීඨය, රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය සහ, නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කියන වෛද්‍ය පීඨවලට සිසුන් 1700ක් පමණ බඳවා ගැනීමට නියමිතයි.

පසුගිය වසර හතරක පමණ කාලය තුළදී සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨ තුන පිළිවෙළින් එකතු වුණා. ඊට අමතරව ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය සඳහා පළමු සිසුන් කණ්ඩායම බඳවා ගැනීමට නියමිතයි. මේ අනුව වෛද්‍ය පීඨ 12ක් තිබුණත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදී තිබෙන්නේ වෛද්‍ය පීඨ අටකට පමණයි. දැනට සබරගමුව, වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල පැනනැගී තිබෙන ගැටලු රැසක් පිළිබඳව මූලික අවධානය යොමු කරනවා. සවුදි රජයෙන් ණයක් හැටියට ලැබුණු ඩොලර් මිලියන 50ක් යොදාගෙන 2019දී සබරගමුව වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය ඇතුළු පීඨය ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කළා. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබුණු වියදම රුපියල් කෝටි 900යි. එයින් වැඩි කොටස සවුදි රජයේ ඉතාමත් අඩු පොලී ණය යටතේ ලබාගැනීමට නියමිතව තිබුණා. ආණ්ඩුවල දුර්වලකම් නිසා සාකච්ඡා සම්පූර්ණ නොකිරීමෙන් සිදුවුණු ප්‍රමාදයක් සහිතව 2020දී නැවත ඒ ක්‍රියාමාර්ග ඉදිරියට ගත්තා. ඒ අතර වැදගත්ම කොටස වී තිබුණු, රත්නපුර රෝහලට අනුබද්ධ මහාචාර්ය ඒකකය මේ වන විට බඳවාගෙන සිටින වෛද්‍ය සිසුන් 480ක් වෙනුවෙන් යොදාගත යුතුයි. 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අවසන් වසර සායනික පුහුණුවට අවශ්‍ය මහාචාර්ය ඒකකයේ කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය තිබුණා. නමුත් මහාචාර්ය ඒකකය ගොඩනැගීමේ කටයුතු මේ දක්වා සම්පූර්ණ කර නැහැ. මේ සිසුන්ට තවමත් ස්ථිර මහාචාර්ය ඒකකයක් සහ ඊට අයත් ස්ථිර කාර්ය මණ්ඩලයක් ලබාදී නැහැ. නියමිත ප්‍රමිතියේ මහාචාර්ය ඒකකයක් නොමැතිව මේ අයගේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පිළිගන්නේ නැහැ. පළමු කණ්ඩායමේ සිසුන් 70දෙනෙක් මේ වන විට ඒ බරපතල ගැටලුවට මුහුණ දී සිටිනවා. වෛද්‍යවරුන් හැටියට විශ්වවිද්‍යාලයෙන් ඔවුන්ව පිටකරන්නේ කොහොමද කියන බරපතළ ප්‍රශ්නය තිබෙනවා. රත්නපුර රෝහලේ ක්ෂේත්‍ර තුනක තාවකාලික වාට්ටු ලබාදී මේ පුහුණුව සඳහා තාවකාලික පදනමින් විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු පත්කිරීමට කැබිනට් අනුමැතිය පසුගිය දිනෙක ලැබුණා.

මහාචාර්ය ඒකකයේ කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ නිපුණත්වයක් සහිත අය. නමුත් දැන් රත්නපුර රෝහලේ මහාචාර්ය ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් යොදවලා. ඊට අමතරව මේ වෛද්‍ය පීඨයට ප්‍රමාණවත් දේශන ශාලා තවමත් ලබාදී නැහැ. මේ ආකාරයටම වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකය හැටියට කුලියාපිටිය රෝහල යොදාගෙන තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ අවශ්‍යතාවය අනුව මෙය තොරාගැනීමෙන් වයඹ වෛද්‍ය පීඨයේ ප්‍රශ්න ගණනාවක් උත්සන්න වී තිබෙනවා. මහාචාර්ය ඒකකය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 1700ක ඇස්තමේන්තුවක් සහ කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට තවත් රුපියල් කෝටි 2000ක ඇස්තමේන්තුවක් සකස් කර තිබෙනවා. කණ්ඩායම් පහක වෛද්‍ය ශිෂ්‍යයන් 578 දෙනෙක් අධ්‍යාපනය ලැබුවත්, තවමත් තිබෙන්නේ තාවකාලික මහාචාර්ය ඒකකයක්. ඒ වගේම ශිෂ්‍ය කණ්ඩායම් තුනකට නේවාසික පහසුකම් ලබාදී නැහැ. අනෙකුත් වෛද්‍ය පීඨවලට සාපේක්ෂව ආචාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් තිබෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාල වැනි විෂයන්වලට ස්ථිර ආචාර්යවරුන් පත්කර නැහැ. මේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිකර ගැනීම පිළිබඳව දැනටමත් බරපතළ ප්‍රශ්න මතුවී තිබෙනවා.

අපේ රටේ එකොළොස්වැනි වෛද්‍ය පීඨය බවට පත්වුණු මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට යෝජනාව 2016 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටි මවිසින් යෝජනාවක් ඉදිරිපත් කළා. මේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල හැටියට කළුතර නාගොඩ රෝහල යොදා ගන්නා ලෙස පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. නාගොඩ රෝහලට ආසන්නයේ රජයේ ඉඩම් යොදවා ගෙන මේ වෛද්‍ය පීඨය ඉදිකරන්න කුවේට් ඩිනාර් මිලියන 10ක ණය පහසුකම් ලබාගන්නත් කටයුතු සිදුකළා. ලංකාවේ අද මුදලින් නම් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක්. මේ ණය පහසුකම ලබාගෙන වෛද්‍ය පීඨය ගොඩනැගීමේ කටයුතු අද වන තුරුත් ඉටුකර නැහැ. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් තුනක සිසුන් 303ක් අද වන විට ඉගෙනීම ලබනවා. ඔවුන්ට තවමත් තිබෙන්නේ සායනික පුහුණුව පමණයි. මහාචාර්ය ඒකකයක පුහුණුව ලැබිය නොහැකි තත්වයක් තිබෙන්නේ. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින ඉඩ පහසුකම් බෙදා හදාගෙන වෛද්‍ය පීඨයේ සිසුන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. මේ සිසුන්ට අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් සහ කායික ව්‍යවච්ඡේදන පහසුකම් ලබාගන්න වෙනත් විශ්වවිද්‍යාලවලට යන්න සිදුවී තිබෙනවා. ස්ථිර ආචාර්ය මණ්ඩලයේ 18ක් සහ තාවකාලික 08දෙනෙකු යොදවාගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පස්දෙනෙකු සහ තාක්ෂණික නිලධාරීන් එක් අයෙකු යොදවාගෙන කටයුතු කරගෙන යනවා. කැලණිය විශ්විවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉන්නේ 104දෙනයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 117යි. මොරටුව විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ ඉන්නේ 05දෙනයි.

මේ වෛද්‍ය පීඨ තුනේ 1200කට ආසන්න අපේ දරුවන් පිරිසක් වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා ඉගෙනුම ලබමින් ඉන්නවා. එයින් කණ්ඩායම් දෙකක්ම මහාචාර්ය ඒකකයේ පුහුණුව සඳහා අවසන් වසරට ඇවිත් ඉන්නේ. අපට ගුණාත්මක සුදුසුකම් සහිත වෛද්‍යවරුන් නිර්මාණය කර ගන්න අවශ්‍ය වැඩපිළවෙළ ආණ්ඩුව ක්‍රියාත්මක කර නැහැ. රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කුමන දිස්ත්‍රික්කයකට ගියත් විශ්වවිද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාලයක පීඨයක් ඉදිකරන බව කියනවා. කිසිදු සැලැස්මක් නැතිව මේ කතා කියන අතර වෛද්‍ය පීඨ ගඩොල් බානවා වගේ නිර්මාණය කරන්න බැහැ. කුරුණෑගල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් බොහෝ දේවල් කළේ අකිල විරාජ් කාරියවසම්ගේ අවශ්‍යතාවයන් අනුවයි. කළුතර, නාගොඩ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කරන්න අපි යෝජනා කරන්නේ රෝගීන්ගේ විවිධත්වය, අවශ්‍ය යටිතල පහසුකම් දිය හැකි ඉඩකඩ සහිත වීම, ඇතුළු කරුණු ගණනාවක් සලකා බැලීමෙන්. විදේශ රජයන් සහන පොලියට ණය ලබාදුන්නත් අපේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන පැවති ආණ්ඩු ක්‍රියාකිරීමේ අවසන් ගොදුර බවට පත්වී තිබෙන්නේ අපේ රටේ දරුවන්. ඉතාම තරගකාරී විභායකින් ඉහළම ලකුණු ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා විවිධ දුෂ්කරතා දරාගනිමින් උපාධිධාරීන්වීම අවධානමකට ලක්වී තිබෙනවා. දැනට සබරගමුව, වයඹ, මොරටුව වෛද්‍ය පීඨ තුනේ උග්‍රවී තිබෙන ප්‍රශ්න කෙරෙහි මෙම වසරේ ඌව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගන්නා සිසුන් කෙරෙහි බලපා තිබෙන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව ඉක්මනින් මැදිහත් විය යුතු බවට අපි බලකර සිටිනවා. ශිෂ්‍යයෝ පමණක් මේ වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මහජනතාවත් ඒ කෙරෙහි මැදිහත් විය යුතු තත්වයක් තිබෙන්නේ. එසේ නොකළහොත් අනාගතය තවත් භයානක වෙන්න පුළුවන්.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

ප්‍රශ්නය: වැට් බදු පැනවීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

පිළිතුර: වැට් එකෙන් සතුටු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, රනිල් වික්‍රමසිංහත්, රනිල් ජනාධිපති කරන්න අත උස්සලා අද බොරුවට කිඹුල් කඳුළු හෙළන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයක් විතරයි. මේ වැට් එකෙන් රටේ සියලු දෙනාම දැනටමත් පීඩාවට පත්වී සිටිනවා. මේකත් එක්ක රටට ඉස්සරහට යන්න බැහැ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීමෙන් කර්මාන්තකරුවන්, කෘෂි නිෂ්පාදකයන්, ව්‍යවසාකයන්, නිෂ්පාදනයන් සිදුකරන්නේ කොහොමද? මිලදී ගැනීමට කෙනෙක් නැතිනම් ඒ නිෂ්පාදනය විකුණන්නේ කාටද? බදු අයකරගෙන සතුටු වෙන්න පුළුවන් මම මුලින් කී අයට විතරයි.

ප්‍රශ්නය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අත්අඩංගුවට ගත්තත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි අයට විතරක් වගෙයි පෙන්නේ?

පිළිතුර: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විදිහට පරිපාලන සේවයෙන් කෙනෙක්ව වෛද්‍යවරයින්ට පත්කළ යුත්තේ කියන එක වෙනම කාරණයක්. පත්කරන ලේකම් කවුරු වුණත්, රටට ඖෂධ හිතුමනාපයේ ගෙන්වන්න බැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය සහ සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකරනවා. ලෝකය පිළිගත් නිර්ණායක අනුව ඖෂධ සහ සැපයුම්කරුවන් ප්‍රමිතිගතවී සිටිනවා ද යන්න සලකා බලා සීමිත පහසුකම් සහිතව වුවත් ඖෂධ සාම්පල් පරීක්ෂාවට ලක්කරලයි ඇනවුම් කරන්නේ. ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ගුජරාට්වල නිෂ්පාදනය කරලාද යන්න පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්. ඒ සඳහා බලය තිබෙන ඔවුන්ට වැරදීමක් සිදුවෙන්න පුළුවන්ද? අනෙක මේ ඖෂධ ගෙන්විය යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන්. ඖෂධ සැපයීම් අධිකාරියට බාරදෙන්නේ මේ සංස්ථාවෙන්. ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් සිටින අතිරේක ලේකම්වරයාගේ අනුමැතිය නොමැතිව බෙදාහැරීම කරන්න බැහැ. නමුත් ඩොලර් මිලියන 2.5ක් වැය කර රුපියල්වලින් කෝටි 100ක ගනුදෙනුවක් සිදුකර තිබෙනවා. නමුත් රට පිළිගත් පරීක්ෂණ ආයතන තුනකින් තහවුරු වී තිබෙන්නේ මේ එන්නත් තුළ ඉමියුනිග්ලොබියුලීන් නැති බවයි. මේ දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් කළ හැකි බව ඔබ හිතනවාද? හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ ලිඛිතව නොවුණත් වාචිකව නියෝග මේ සඳහා ලැබිය යුතුමයි. මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිගෙන් ප්‍රශ්න කරන්න මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි? මේ පරීක්ෂණය හරියට සිදුකළහොත් ඒ හා බැඳුණු තවත් තොරතුරු රාශියක් හෙළිදරව් කර ගන්න පුළුවන්. කෙහෙලිය රඹුක්වැල්ල පමණක් නොවෙයි මීට කලින් සිටි ඇමතිවරුන් ගණනාවකුත් සම්බන්ධයෙන් හෙළිකර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය, මාකඳුරේ මධූෂ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයෙකුගෙන් ප්‍රශ්න කරනවා අපි දැක නැහැ. මේ පරීක්ෂණයටත් සිදුවිය හැකි දේ ඒකමයි.