Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ජනතාවට බර පටවා තිබීම සහ රාජ්‍ය සම්පත් විකිණීම පිළිබඳ වගන්ති අපේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව දැනුම් දුන්නා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.14)

කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14 දින) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වූවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් ලෙස මමත් මුදිත නානායක්කාරත්, ආර්ථික කවුන්සිලයේ සාමාජිකයන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර සහ සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූවා. මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් සහ නියෝජිතවරියන් තිදෙනෙකු සහභාගි වූවා. එම සාකච්ඡාවේ මූලික හරය ජනතාවට දැනුම් දෙන්න මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව යොදා ගත්තා.

ආණ්ඩුව මූල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ දේශීය සහ විදේශීයව මෙරට විසින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුගත කර ගැනීමයි. මේ බව ප්‍රකාශ කර ගිවිසුම් අත්සන් කර, බොහෝ කාලයක් ගතවී තිබෙනවා. නමුත් විදේශීය ණය තවමත් ප්‍රතිව්‍යුහගත කර නැහැ. අපේ නියෝජිතයන් මේ පිළිබඳව අයි.එම්.එෆ්. නියෝජිතයන්ගෙන් විමසුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල රාමුව මොකක්ද? එහි ප්‍රගතිය කෙසේද? යනාදිය අපි විමසුවා. ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට ගත වන නිශ්චිත කාලයක් කිව නොහැකි බවයි. අදාළ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සිදුවී නැති බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා. ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා ගැනීම, ණය පොලී ප්‍රතිශතය අඩුකර ගැනීම, යම් ණය ප්‍රමාණයක් මුළුමනින්ම කපා හැරීම වැනි ක්‍රියාමාර්ග අපේක්ෂා කළත් එවැන්නක් සිදු වී නොමැති බව ඔවුන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා.

අපේ රටේ වංචා, දූෂණ නතර කිරීමට අදාළව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි ප්‍රශ්න කළා. වංචා, දූෂණ නතර කිරීම පිළිබඳ ආණ්ඩුව ගිවිසුම්ගතව සිටියත් ප්‍රායෝගිකව සුබවාදී කිසිවක් සිදුකර නැහැ. එපමණක් නොව බරපතළ පූර්වාදර්ශ ලබාදෙමින් කෝප් කමිටුවේදී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ සභාපතිත්වයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූවත් අද තවත් හොරෙක්ව එම සභාපති ධුරයට පත්කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලෝකයටම මේ ආදර්ශය දුන්නේ කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දිය යුතු බවට තිබුණු සම්ප්‍රදායත් බිඳලයි. අයි.එම්.එෆ්. එක සමග ආණ්ඩුව මොන ගිවිසුම් අත්සන් කළත් ප්‍රායෝගිකව විශ්වාසය බිඳ වට්ටවා ඇති බව අපි පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා පසුගිය දිනෙක විපක්ෂයට ආරාධනා කර තිබුණා, අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවකට පැමිණෙන්න කියලා. නමුත් ඒ සාකච්ඡාවට අයි.එම්.එෆ්. නියෝජතියන් නොපැමිණීම ගැන අපි ප්‍රශ්න කළා. ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ රජයෙන් එවැනි සාකච්ඡාවකට තමන්ට ආරාධනා නොකළ බවයි. නමුත් ජනාධිපති ජනතාවට කීවේ අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ බවයි. නමුත් මුළු රටේම ජනතාව මාධ්‍ය හරහා අන්දන වැඩක් ආණ්ඩුව කර තිබුණා. අයි.එම්.එෆ්. සමග ගිවිසුම් අත්සන් කර, සියලුම ගාස්තු ඉහළ දමා, බදු ඉහළ දමා රටේ සම්පත් විකුණමින් ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ ආකාරයට විශාල වංචාවක් සිදුකරමින් අයි.එම්.එෆ්. නියෝජිතයන් නොමැතිව ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් සහභාගී වූ රැස්වීමකට විපක්ෂයට ආරාධනා කර තිබිලා. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ තාක්ෂණික සහයක වාර්තා ඉදිරිපත් නොකිරීම පිළිබඳව සුමන්දිරම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබුණා. එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව අයි.එම්.එෆ්. නියෝජිතයන් අපට ප්‍රකාශ කළා. ආණ්ඩුව කිසිවක් නොසඟවන බව ප්‍රචාරය කළත් මේ වැදගත්ම වාර්තා කිසිවක් රටට හෙළි කර නැහැ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිව සිටියදී අයි.එම්.එෆ්. සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳව එදා රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කළා. එදා බැසිල් රාජපක්ෂ කීවේ එම රහස්‍ය වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවයි. අද රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන්නෙත් ඒ ආකාරයෙනුයි.

අපි අයි.එම්.එෆ්. නියෝජිතයන්ට පැහැදිලිව පෙන්වා දුන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි, රාජ්‍ය ක්‍රමයේ බරපතළ දුර්වලතා තිබෙන බවයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවද අප අවධාරණය කළා. දැන් අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට බර පටවා තිබීමට සහ රාජ්‍ය සම්පත් විකිණීමට අදාළ වගන්ති අපේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව අපි දැනුම් දුන්නා. එය කේන්ද්‍රගත කරගෙනයි අද අපි සාකච්ඡා කළේ. මේ මූලික ස්ථාවරය මත සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව අපි පෙන්වා දුන්නා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු:

ප්‍රශ්නය: ඊළඟ ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් යම් අදහසක් ඉදිරිපත් කළාද?

පිළිතුර: ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණේ නැහැ. ඒක අයි.එම්.එෆ්. එක පැත්තෙන් ගන්න තීරණයක්.

ප්‍රශ්නය: ඔබලා දූෂණ නතර නොවීම ඇතුළු ඔබලා ඉදිරිපත් කළ කරුණු එක්ක ණය වාරිකය ලබාදීම අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ගයකට ඔවුන් පෙළඹෙයිද?

පිළිතුර: අපි එහෙම කරන්න කිවුවෙත් නැහැ. ඔවුන් නතර කරන බව කීවෙත් නැහැ. ලංකාවේ අද තිබෙන ආර්ථික තත්වය අනුව ණය වාරිකය දෙන්න එපා කියන්න අපි කොහෙත්ම කටයුතු කරන්නේ නැහැ. අපි එවැනි දෙයක් කිවුවෙත් නැහැ. ඔවුන් ඒ ගැන කීවෙත් නැහැ.

ප්‍රශ්නය: කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව 19 සහ 20 දෙදින තුළ විවාදයට ගන්න තීරණය කර තිබෙනවා?

පිළිතුර: කථානායකවරයාගේ හැසිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ. පක්ෂග්‍රාහියි. පොලිස්පතිවරයා පත්කරීමේදී ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. දේශබන්ධු තෙන්නකෝන් පත්කිරීමට හතර දෙනෙක් පක්ෂ වෙලා, දෙදෙනෙකු විරුද්ධ වී දෙදෙනෙකු නිහඬව සිට තිබුණා. නිහඬව සිටි දෙදෙනාත් විරුද්ධ බවට අර්ථ දක්වා කථානායකවරයාගේ ඡන්දය පාවිච්චි කර තිබුණා. එය නීති විරෝධියි. ඒ අවස්ථාවේ ඡන්දය නොදී පසුව ලිපියකින් දැනුම්දීමයි කර තිබුණේ. කථානායකවරයාගේ භාවිතාව දිගින් දිගටම පක්ෂග්‍රාහියි. ඒ නිසා ඔහුට විරුද්ධව අපි අනිවාර්යයෙන් ඡන්දය දෙනවා.

ප්‍රශ්නය: අයි.එම්.එෆ්. සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරන තුරු මහ පොළොවේ තිබෙන ඇත්ත තත්වය ඔවුන් දැනගෙන සිටියේ නැද්ද?

පිළිතුර: සමහර කරුණු දැනගෙන සිටියේ නැහැ. කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්වීම පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ සිදුවුණු පත්කිරීමේ ක්‍රියාවලිය අපෙන් තමයි ඔවුන් දැනගත්තේ. සමහර කරුණු ඔවුන් හොඳින්ම තහවුරු කරගෙන තිබුණා. උදාහරණයක් හැටියට වතු කම්කරු ජනතාවගේ ජීවිතය ගැන ඔවුන් නුවරඑළියට ගොස් අධ්‍යයනය කර තිබුණා.

ප්‍රශ්නය: ලංකාවේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙන බව ඔවුන් දන්නවාද?

පිළිතුර: අපි ඔවුන්ට කරුණු සහිතව පැහැදිලි කර දුන්නා. ඔවුන් අවබෝධ කර ගත්තාද කියන එක ඔවුන්ගෙන්මයි අහන්න ඕනෑ.

ප්‍රශ්නය: ඔබේ පාලනයක් යටතේ කොන්දේසි සංශෝධනය කරන්න ඔවුන් එකඟද? ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවෙන කොන්දේසිවලට ඔවුන් කැමතිද?

පිළිතුර: එකඟතාවයන් පිළිබඳ සංවාදයක් ඇති වුණේ නැහැ. අපි අපේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළා. අයි.එම්.එෆ්. සමග සාකච්ඡා දිගටම ගෙනයාම ගැන අපේ විරුද්ධත්වයක් නැති බවත්, නමුත් මේ කොන්දේසි ජනතාව පීඩාවට පත්වී සිටීම සම්බන්ධ කරුණු සමාලෝචනය කළ යුතු බව අපි පැහැදිලි කළා.

ප්‍රශ්නය: වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර: දේශපාලන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු 129 සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති බව ඔවුන් කීවා. දේශපාලන කරුණු සම්බන්ධයෙන් අපි අදහස් දැක්වූයෙත් නැහැ. ඔවුන් අදහස් දැක්වූයෙත් නැහැ.

ප්‍රශ්නය: අයි.එම්.එෆ්. ගිවිසුමේ අහිතකර කොටස් තිබෙන බව ඔබ කීවා. වංචා දූෂණ වැළැක්වීම සහ විකිණීමට අමතර තවත් කොන්දේසි තිබෙනවාද?

පිළිතුර:2022 මාර්තු මස දෙවැනි දා අත්සන් කළ මූල්‍ය අරමුදල සමග මූලික අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු පහක් මත පදනම් වූ ප්‍රතිපත්ති ලෙස ඔවුන් දක්වා තිබුණා. බදු ඉහළ දැමීම සහ බදු සහන ඉවත් කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, රුපියල පාකර හැරීම, බලශක්තිය පිරිවැය මත මිල තීරණය කිරීම, සහ දූෂණයට විරුද්ධව සටන් කිරීම. මේ මූලික කරුණු පහ මත පදනම් වී අනෙකුත් තාක්ෂණික කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් එදා කීවේ “ෆයිට් එගේන්ස්ට් කරප්ෂන්” කියලා. ඒ ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු නොවෙන බව අපි පෙන්වා දුන්නා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් ලබාගත හැකි ආයතනවල ආන්දෝලනාත්මක වංචා අදටත් සිදුවෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ටිකර් වංචා අදටත් ක්‍රියාත්මක වෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිව යුතු ප්‍රධානම ආයතනය අදටත් මත්පැන් බදු වංචාව විශාල වශයෙන් සිදුකරනවා. හොර ස්ටිකර් ගැසීම නවත්වන්න අදටත් සමත් වී නැහැ.