Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ජාතික ජන බලවේගයේ අපේක්ෂාව තාරුණ්‍යයට අවශ්‍ය නව සමාජය කැටුව ඒමයි”-ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් තරුණ රැලිය – 2024.03.17)

NPP-Youth-Conference

ජාතික ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය, මේ රටේ ප්‍රබලම තරුණ ව්‍යාපාරය පමණක් නොවෙයි මේ රට වෙනස් කිරීම සඳහා සූදානම් තරුණ ව්‍යාපාරයයි. එළඹෙන නව දේශපාලන පරිවර්තනය වෙනුවෙන් තරුණ පරම්පරාව ඒකරාශී කිරීම වෙනුවෙන් මාතරින් පටන් ගත් කාර්යය ලංකාවේ දැවැන්තම තරුණ පිබිදීම බවට පත්වන බව නොඅනුමානයි. අපේ රටේ තරුණ පරම්පාරව කල්පනා කළේ දේශපාලනය තමන්ගේ වැඩක් නොවෙයි. ඒක අම්මා තාත්තාට, පවුල් කිහිපයකට අයිති වැඩක් ලෙසයි. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන සිහින මවමින්, සැලසුම් හදමින් සිටියා. අද ඔවුන් මවන ලද සිහින ඔවුන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. අපේ සමාජයේ තරුණ කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඉහළ අධ්‍යාපනයක් සහිත යම් ප්‍රමාණයකට වත්කමක් තිබෙන, භාෂාවන් පිළිබඳ නිපුනතාවයක් තිබෙන, ජාත්‍යන්තරයත් එක්ක ඔරොත්තු දිය හැකි දැනුමක් තිබෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වන ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්ත, නවසීලන්තය තමන්ගේ ගමනේ ඉලක්කය බවට පත්කරගෙන තිබෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා, දෙමව්පියන්ගේ බර තමන් උරමතට වැටුණු. තමන්ගේ අනාගත සිහින, බලාපොරොත්තු කඩා වැටුණු කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඊශ්‍රායලය, කොරියාව, මැදපෙරදිගට පැන ගන්න උත්සාහ කරමින් ඉන්නවා. තව කණ්ඩායමක් පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන්න සිදුවුණු, පාසල් කාලෙම ජීවිතේ ගැටගහගන්න කුමක් හෝ කාර්යයක යෙදෙන්න සිදුවූ කණ්ඩායමක්. ඔවුන්ට ජීවිතයක්, අරමුණක්, ඉලක්කයක් නැහැ. එම කණ්ඩායමට අද විශාල පිරිස් එකතු වෙමින් තිබෙනවා. ඒ කණ්ඩායම දේශබන්දුගේ ඉලක්කය වී තිබෙනවා. ඔවුන් අනාරක්ෂිත, ජීවිතය පිළිබඳ වටිනාකමක් නැති අයාලේ යන තරුණ පරම්පරාවක්. ජගත් මනුවර්ණ“කොඩිගහ යට” චිත්‍රපටයෙන් පෙන්නුවේ ඒ තරුණ පරම්පරාවේ ජීවිතය.

මේ රට ඉතා සුරක්ෂිත රටක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ රටේ තරුණ පරම්පරාවට තමන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පිරි තරුණ පරම්පරාවක් බවට පත් කළ යුතුයි. අපගේ ඇස් ඉදිරිපිට දියත් වෙමින් තිබෙන ඛේදවාචකය, අද අපට බලකොට තිබෙනවා මේක වෙනස් කිරීමට පෙරමුණ ගන්න. කොතනින්ද අපි මෙය වෙනස් කරන්නේ. මේක වෙනස් කළ හැකි වන්නේ, ගමන් කරමින් තිබෙන දේශපාලන මාවත නව දිශාවකට පරිවර්තනය කිරීමෙන් පමණයි. අම්මා, තාත්තගේ දේශපාලනය රටටත්, ජනතාවටත්, ඔබටත් උරුමකොට තිබෙන මේ ඛේදවාචකයෙන් මේ රට නිදහස් කර ගැනීම තමයි කළ යුතු පළමු අරගලය. එබඳු දේශපාලන පරිවර්තනයක් අපේ රටට අවශ්‍යයි. මේ රටේ දේශපාලනය ලියවිලා තිබෙන්නේ කාටද? මාතර විජේසේකර නම් එයාගේ පුතාට. සිරිසේන නම් එයාගේ පුතා මනෝජ් සිරිසේනට. මහින්ද රාජපක්ෂගේ ඥාති පුත්‍රයන්ට. පවුල් අතලොස්සක් අතේ මේ දේශපාලනය කැරකෙමින් තිබෙනවා. ඒ අතළොස්ස පහළ පංතියේ පෑගෙන තරුණයන්ගේ ගැලවුම්කරුවන් බවට නාමකරණය කරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාට පුතෙක් ඉපදුනොත් ඔවුන් හිතනවා ඒ දරුවාගේ නළලේ ජනාධිපතිකම කොටා තිබෙනවා කියා. ප්‍රේමදාසගේ පුතා, මහින්ද රාජපක්ෂගේ පුතා, විජේසේකරගේ පුතා එයාලා හිතාගෙන ඉන්නවා ඉපදෙනකොටම ජනාධිපතිකම, ඇමතිකම මහබඹා විසින් කොටලා තිබෙනවා කියලා. අපේ රටේ දේශපාලනය පවුල් කිහිපයක් අත ජාතික වශයෙනුත්, ප්‍රාදේශීය වශයෙනුත් බෙදී තිබෙනවා. අපේ හැකියාවක් තිබෙන, වුවමනාවක් තිබෙන තරුණ පරම්පරාවට දේශපාලනයේ දොරටු වසාදමා තිබෙනවා.

මේ සිටින කිසිම කෙනෙක් දේශපාලනය නළලේ කොටාගෙන ආව අය නොවෙයි. මහබඹා නළලේ කොටා දේශපාලන වගකීම් බාරගත් අය නොවෙයි. මේ දේශපාලනයට අපි අවතීර්ණ වන්නේ කුමක් නිසාද? අපේ ඇස් ඉදිරිපිට අයුක්තිසහගත, අසාධාරණ සමාජයක් තිබෙනවා. අපේ තරුණ පරම්පරාවන්ගේ ජීවිත විනාශ වෙමින් තිබෙනවා. අපි හැමෝම මේ දේශපාලනය තෝරා ගත්තේ මේ සමාජ පරිවර්තනය සඳහා මැදිහත් වෙන්න, නායකත්වය දෙන්න, එකතු කරන්න. මේක වෙනස් කිරීමේ අරමුණක් තිබෙනවා. ඒ සඳහා ධෛර්ය සම්පන්න වුවමනාවක් තිබෙනවා. මේ රටට වුවමනා කරන්නේ කුමන දේශපාලනයක්ද? තරුණ තරුණියන් පෝලිමේ තියල, උසද මිටිද බලලා, “උස නම් සිකියුරිටි. මිටි නම් කම්කරු.” විදිහේ රස්සා බෙදන දේශපාලනයක්ද මේ රටට ඕනෑ! ඒකද තරුණ පරම්පරාවට උරුම කර දී තිබෙන දේශපාලනය. ඡන්ද කාලෙදි හම්බන්තොට වරායේ රස්සා දෙනවා කියා කොයිතරම් ෆෝම් කොල පිරෙව්වාද? නිපුන රණවකලා කොයිතරම් ඇප්ලිකේෂන් පිරෙව්වාද? ඒ ගොල්ලන් උඩින් ඉඳගෙන අපිට කම්කරු රැකියා දෙනවා. එයාලට මොළේ තිබුණත් නැතත් ජනාධිපතිකම, ඇමතිකම, නළලේ කොටා තිබෙනවා. මේක වෙනස් කරන්න නම්, නව දේශපාලන පරිවර්තනයක් අත්පත් කර ගනිමු.

NPP-Youth-Conference

මම මේ දේශපාලනයට අවතීර්ණ වුණේ පාසල් සමයේදීයි. මා ඇතුළු බොහෝ පිරිසකගේ මුළු තාරුණ්‍යයම මේ නව පරිවර්තනය සඳහා වෙහෙස වුණා; පොරබැදුවා. විවිධ පරාජයන් හමුවේ, ඇස් ඉදිරිපිට මරණය සිදුවෙමින් තිබියෙදී අත් නොහැර දේශපාලන පරිවර්තනයක් සඳහා මේ දේශපාලනය තෝරා ගනිමින් මේ ගමන්මගේ ආවා. විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙමින්, අවලාද විඳිමින් ආ අපට අද ජයග්‍රහණය පේනමානයට පැමිණ තිබෙනවා. අපට මෙය ජයග්‍රහණය කළ හැකියි. මේ අවුරුද්දේ ඔක්තෝබර අග වෙන කොට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. මේ ආණ්ඩුවට පැවරෙනවා ප්‍රධාන වැඩකටයුත්තක්. මේ සමාජය මුළුමනින්ම පරිවර්තනයකට භාජනය කළ යුතුයි. එය කළ හැකි වන්නේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමකින් පමණයි. ආණ්ඩුවක් හදලා, අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කළ යුතුයි. ‘එක්ස්’ පරම්පරාවේ අපි සුරක්ෂිත රැකියාවක්, ඉතුරුම් සහිත බැංකු ගිණුමක්, සංවිධිත සමාජ සංස්ථාවක්, තිබෙන සමාජය ඇතුලේ යමක් උකහාගෙන ජීවත්වෙන කෙනෙක් බවට පත්වෙනවා. ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබ විනිවිදභාවය අපේක්ෂා කරනවා. ඔබ රජයේ රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට යනවා. ඔබ හැලෙනවා, වෙනත් කෙනෙක් තේරෙනවා. අපේ පරම්පරාව ඒක එහෙම තමයි කියා ඉවසනවා. ‘ඉසඩ්’ පරම්පරාවේ අය ඒක එහෙම වුනේ කොහොමද කියා විමසනවා. අරගලයට ගොස් ඇසුවේ “රෝහලට බෙහෙත් ගත්තේ කොහොමද?” කියලා. ඒ විනිවිදභාවය අවශ්‍යයි. මේ රස්සාවට මේ අය තෝරාගත්තේ කොහොමද? කොන්ත්‍රාත්කරුවා තෝරා ගත්තේ කොහොමද?, ඔබ ලියන ලද පේපර් එකට ලැබුණු ලකුණු ප්‍රමාණය කොපමණද?, අද ප්‍රශ්න කරනවා. ‘ඉසඩ්’ පරම්පරාව අපේක්ෂා කරනවා විනිවිදභාවය. එය ඔබගේ පරම්පරාවේ ලක්ෂණයක්. අපි බිහිකරන්නේ වර්තමාන තාරුණ්‍යය අපේක්ෂා කරන විනිවිදභාවය ආරක්ෂා කරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.

මේ ‘ඉසඩ්’ පරම්පරාව අපේක්ෂා කරනවා නිර්මාණශීලිත්වය. එක තැනකට කොටුවුණු, එකතැනකට සීමාවුණු පරම්පරාවක් නොවෙයි. ඔබ තුළ ගොඩනැගෙන නිර්මාණශීලිත්වය වේගයෙන් ප්‍රකාශයට පත්කිරීමට ඔබට අවශ්‍යයි. අපේ පරම්පරාව අපට හදා දීපු පාරේ යනවා. මේ පරම්පරාව අතුරු පාරවල් ගණනාවක ගමන් කරනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් උඩට ආව විශාල පිරිසක් ඉන්නවා. ඒ ආවේ වෙනත් විශාල පාරවල්වලින්. හැබැයි අපේ සමාජය, ඔබේ නිර්මාණශීලිත්වය උකහා ගත හැකි සමාජයක්ද? අපේ නායකයෝ ක්‍රිස්තු පූර්ව යුගයේ මනෝභාවයෙන්, පැරණි සමාජ සංකල්පවලින් කටයුතු කරන අය. එයාලා වේදිකාවට නගින කොට ඇඟිලි පහේ නවරත්න මුදු පහයි. එක එක දේවාලවලින් දීපු කඹ ගැටගහපු අත්. බැසිල් රාජපක්ෂ නඩුවකින් බේරෙන්න දේවාලෙකට යනවා. නඩුවට එක ගානේ සුර ගැටගහලා. මේ අසාර්ථක ගෝත්‍රික නායකයන් ඔබගේ නිර්මාණශීලීත්වයට අගුලු දාලා තිබෙන්නේ. මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන සමාජ ආර්ථික හැඩතල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් ගොඩනගනු ඇත.

ස්වාධීනත්වය ‘ඉසඩ්’ පරම්පරාවේ ලක්ෂණයක්. අපේ තරුණ කාලය ගුරුවරුන්ට, දෙමාපියන්ට විසින් හදන ලද රාමුවක් තුළ, ඔවුන් විසින් හදන ලද මාවතේ ගමන් කළ යුතුව තිබුණා. බැඳීම් සහිත පුරවැසියන් ලෙස ජීවත් විය යුතුව තිබුණා. නව පරම්පරාව සාම්ප්‍රදායික රැකියාවලට කැමති නැහැ. තවදුරටත් ස්වාමියෙකුට යටත්ව, එකම විදිහට රස්සාව කරන්න කැමති නැහැ. ඔබ ස්වාධීනත්වය ඉල්ලා සිටිනවා. අපේ ආර්ථික මොඩලයම සකස් කර තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉලක්ක කර ගෙනයි. අපේ ආර්ථිකයේ එන්ජින් එක බවට පත්වෙලා තිබෙන්නේ ඔවුනුයි. අයි.ටී.වලින් ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම අපේ ආර්ථික දැක්ම බවට පත්වෙලා තිබෙනවා. සංචාරක කර්මාන්තය, හෝටල් කර්මාන්තයේ සිට සංචාරක ව්‍යාපාරයක් බවට පත් කරන්න අවශ්‍ය දැක්ම අපි හදා තිබෙනවා. ස්වාධිපත්‍යයක් සහිත ස්වාධීන රැකියාවක නියැලීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඔබ වේගයෙන් හැදෙන පරම්පරාවක්. ඔබ වේගවත්ව වර්ධනය වුණාට රටේ ආර්ථිකය ඉබිගමනෙන් ඔබේ පිටුපසින් එනවා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔබලාට දෙන්න ගැලපෙන රස්සා නැහැ කියනවා. මෙතන ප්‍රශ්නය තිබෙන්නේ, ඔබේ දැනුමට සරිලන ආර්ථිකයක් ගොඩනඟන්න එයාලා අසමත් වෙලා තිබීම. ආර්ථිකය එක තැන පල්වෙනවා. ඔබ ඔබටත්, රටටත් ඵලක් නැති කෙනෙක් බවට පත්වෙනවා. ඔබේ වේගයෙන් වර්ධනය වීම සමානවම වේගයෙන් සමාජ ආර්ථිකය පර්වර්තනයන් අත්පත් කර ගත්තේ නැතිනම් ඔබට මේ සමාජය උචිත නොවෙන සමාජයක් බවට පත්වෙනවා. ඔබේ වර්ධනය හා සමානව වේගවත් ආර්ථිකයක් අපි නිර්මාණය කරන්නම්.

NPP-Youth-Conference

මේ සමාජයේ තිබෙන අනෙක් විශේෂ ලක්ෂණය නම්, ඉතා ඉක්මනින් අනුවර්තනය වෙන්න සමත් වෙනවා. වේගයෙන් අනුවර්තනය විය හැකි සමාජයකට වේගයෙන් පරිවර්තනය විය හැකි සමාජයක් අවශ්‍යයි. සමාජය වේගයෙන් පරිවර්තනය වෙන්නේ නැත්නම් ඔබගේ ශක්‍යතාවය, ඔබගේ හැබෑව, ඔබගේ විභවයට අනුව සමාජය අවශ්‍ය පරිවර්තනය ගෙනත් දෙන්නේ නැතිනම් ඔබ ‘එක්ස්’ පරම්පරාව බවට පත්වෙනවා. ඔබගේ පරම්පරාවේ නම්‍යතාවයක් තිබෙනවා. නමුත් ආර්ථිකයත්, නායකයාත් ගල්ගිල්ලා වගේ නම් ඒ ආණ්ඩුවලින් ඵලක් නැහැ. ඒ වගේම ඔබ අනෙක් පරම්පරාවලට වඩා මානසික සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. ඔබට වින්දනය, සතුට, ආදරය, මානුෂික තෘප්තිය අවශ්‍යයි. 2010 – 2024 කාලයේ ඉපදුණු ‘ඇල්පා’ පරම්පරාව ඊටත් වඩා වෙනස් වේවි. 2024 – 2039 දක්වා ඉපදෙන ‘බීටා’ පරම්පරාව ඊටත් වඩා වෙනස් වේවි. අපි අද දේශපාලනය කරන්නේ ‘ඉසඩ්’ පරම්පරාවේ දරුවන් එක්ක. අනාගතය ඇල්පා පරම්පරාවේ අයට අයිතියි. හැබැයි නායකයන් ගෝත්‍රිකවාදී නායකයන් වෙලා, නූතනත්වය දකින්න අසමත් නායකයන් නම් නූතන පරම්පරාවේ දරුවන්ට අනාගතයක් ගැන හිතන්න බැහැ.

නව තාරුණ්‍යය විනිවිදභාවය අපේක්ෂා කරනවා. නම්‍යශීලිත්වය අවශ්‍යයි, ඔබගේ වේගවත් වර්ධනයට ගැලපෙන වේගවත් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඔබගේ නිර්මාණශීලීත්වය මුදාහැරීම සඳහා සමාජයක් අවශ්‍යයි. අන්න ඒ නව සමාජය කැටුව එන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. ‘එක්ස්’ පරම්පරාවේ අපි ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබට මේ සුක්කානම බාරදීලා ගෙදරට වෙලා, පුටුවක වාඩිවෙලා ‘ඉසඩ්’ පරම්පරාවේ කට්ටිය මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා බලන්න ආසයි. ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ බැට්න් එක අරන් දෙන්නේ කොහොමද, ඒ බැට්න් එක ඒ ගොල්ලෝ නිකම් අත්හරින්නේ නැහැ. ඒ නිසා පැරණි ගෝත්‍රික පරම්පරාවෙන් මේ බැට්න් එක අපේ අතට අරගෙන ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ බැට්න් එක මාරුකරලා මේ රට වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා බලන්න කැමති සුන්දර දසුනක්. ඒ යුගයට නොගැලපෙන, ඒ යුගයට මැච් වෙන්නේ නැති, ඒ යුගයත් එක්ක ගැටෙන්න බැරි දේශපාලකයන් බවට පත්වෙලා ඵලක් තිබෙනවාද? ‘එක්ස්’ පරම්පරාවේ අපේ වගකීම ‘ඉසඩ්’ පරම්පරාව අතට මේ දේශපාලන සුක්කානම බාරදීමයි. පළමුකොට ගෝත්‍රික පරම්පරාවෙන් ‘එක්ස්’ පරම්පරාවේ අපේ අතට බලය ගනිමු. ඉතා කෙටි කාලයක් ඇතුළත මේ රටේ පාලන බලයේ සුක්කානම ‘ඉසඩ්’ පරම්පරාව අතට ලබාදෙමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු.

NPP-Youth-Conference

“තාරුණයට නිදහස දිනාගැනීමේ සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් මාලිමාව නැමැති ජනතා ව්‍යාපාරය බිහිවෙලා තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර-

අද එන්පීපී යූත් එකේ පළමු ආරම්භය සනිටුහන් කරන නිසා මම මගේ පැත්තෙන් හිතුවා ප්‍රධාන වශයෙන් කරුණු 5ක් එක්ක ඔබත් එක්ක මතුකර ගන්න ඕන කියලා. ඔබ දන්නවා අපේ රට පුංචි රටක්. හැබැයි අපේ රට මහ නිධානයක් තිබෙන රටක්. මම ඒ නිධානයක් තියෙනවා කියල කියන්නේ ස්වාභාවිකත්වය නිසාම නොවේ. අපේ රටේ මිනිසුන්ගේ ශක්තිය ඊට වඩා බලවත් කියන එක නිසා. හැබැයි ඔබ දන්නවා අවුරුදු ගාණක් ඇතුළේ ඔබේ අම්මව, ඔබේ තාත්තව, ඒවගේම තරුණ අපිව මේ පුංචි දිවයින ඇතුළේ ඉතාමත් දුෂ්කර භූමියක අපි හැමෝම හිර කරල තියෙනවා. ඒ හිර කරල තියෙන භූමියේ එහා පැත්තේ දැවැන්ත තාප්පයක් ඉදිකරල තියෙනවා. ඒ තාප්පෙන් එහා ඉන්නේ අවුරුදු 76ක් අපිව පාලනය කරපු පාලකයන්. ඒවගේම ඉතාම අතළොස්සක් වන ජාවාරම් කල්ලියත් ඒ පැත්තේ ඉන්නවා. ඒක සරුසාර බිමක් එහා පැත්තේ තියෙන්නේ. හැබැයි ඔබට අපට අම්ම, තාත්තට හැමදාම සිහින මැව්වා. අපට හිතන්න කියලා බල කළා. ඒ එහා පැත්තෙ තියෙන සුන්දර භූමියට යන්න අපි හැමෝටම කිවුවා. තනියෙන් ට්‍රයි කරන්න කියලා. අපේ අම්මා, අපේ තාත්තා, අපේ අයියා, අපේ අක්ක අපි තනි තනියෙන් ඒකට ට්‍රයි කළා. හැබැයි මොකද වුණේ. කීපදෙනෙක් එහා පැත්තට පැන්න මිසක් වැඩි පිරිසකට එකෙන් එහා පැත්තට යන්න හම්බ වුනේ නැහැ. ඒ විනාශය තමයි අපට අත්පත්කර දී තිබෙන්නේ. මේක ලේසි පුංචි කාලයක් නොවෙයි. අවුරුදු 76ක්. අවුරුදු 76ක් ඒ ගොල්ල අපිට ඉගැන්නුවා සාමූහිකව ට්‍රයිකරන්න එපා. එකට එකතුවෙලා දිනන්න යන්න එපා. ඔයාල තනි තනියෙන් ට්‍රයිකරන්න කියලා තමා අපිට ඉගැන්නුවේ. හැබැයි මොකද වුණේ. ඔබ දන්නවා අවුරුදු ගාණක් එහා පැත්තේ භූමියේ හිටපු අපිට අපේ රටේ පාලකයෝ අපේ දුප්පත්කම කිසිම අවුලක් නැතිව අලෙවි කළා. අපේ අසරණකම, අපේ දුබලකම අලෙවි කළා. ඒක නිසා තමයි අපිට ඇවිල්ල කිවුවේ මම ආවොත් බ්‍රේස්ලට් දෙන්නම් කියලා. අපි ආවොත් ජොබ් එක දෙන්නම් කියලා. ෆ්‍රී වයි ෆයි දෙන්නම් කියල අපට කිවුවේ. ඒ වගේ තමයි තෙමෙන්නේ නැතිව යන්න කාර් දෙන්නම් කියල කිවුවේ.

හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. අවුරුදු 76කට පස්සේ අපේ රටේ ජනතාව පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා. ඒක නිසා දැන් අපේ පුරවැසියන් උත්සාහ කරමින් ඉන්නවා ලෑස්තිවෙමින් ඉන්නවා අපි හැමෝම එකට එකතුවෙලා එක වෙලාවක මේ තියෙන දැවැන්ත තාප්පය අපි පෙරළා දාන්න. ඒක නිසා දැන් ඒ තාප්පය පෙරළා දැමීම වෙනුවෙන් අපේ රටේ විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, ආගමික නායකයන් දැන් තාප්පේ අසලට ඇවිත් ඉන්නවා. ඒවගේම අපේ මේ තාප්පය පෙරළීම සඳහා ගොවියන්, ධීවරයන්, ගැහැනුන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඒ කවුරු එනකම්ද බලා ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ රටේ තාරුණ්‍යයේ ජවය තාප්පයට අත තියනකම් බලාගෙන ඉන්නවා. ඒ ආරම්භය තමයි මාතර දිස්ත්‍රික්කයෙන් මේ ඔබ ඓතිහාසිකව සනිටුහන් කර තියෙන්නේ. තව වැඩි කාලයක් නැහැ. අනිවාර්යෙන්ම රනිල්ලගේ රාජපක්ෂලගේ සජිත්ලගේ සාදය හමාරයි. ඒ සලකුණ තමයි මේ අද මාතර දිස්ත්‍රිකයෙන් තරුණ තරුණියන් ඔබ පෙළගස්වමින් ඉන්නේ. ඒක අපිට ඓතිහාසික කරුණක්.

ඒ වගේම ඔබට මං තව යමක් කිවයුතුයි. හඳුන්නෙත්ති සහෝදරයා කිවුවා අපි දන්නවා අපේ ව්‍යාපාරය හැමදාම අභියෝග භාරගන්නා ව්‍යාපාරයක්. අපි අභියෝග ගැන හිතලා පස්සට යන ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ඒ අභියෝග බාරගන්නවා වගේම අභියෝග සාර්ථක කර ගන්න අපිට යම් ස්ථානයක් තෝරා ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි මාතර දිස්ත්‍රික්කය ඇතුළේ මේ තරුණයන්ගේ ආරම්භය රටට පණිවිඩය දෙන්න ඕන කියල තෝරා ගත්ත දිස්ත්‍රික්කය තමා මාතර. ඒ ඇයි? ඔබ දන්නවා සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ අපි මේ පසුගිය දවස් ටිකේම අපේ මේ ආදරණීය සහෝදරවරු සහෝදරියෝ ඒ වගේම ඔබත් අපි හැමෝමත් ගම්දනව් පුරා අපි හැමෝම තරුණයන් හමුවෙන්න ගියා.

හැබැයි බහුතරයක් තරුණ තරුණියන් ඇතුළේ තිබූ ඛේදවාචකය ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු බිඳවැටීම කොයිතරම් අපට සනිටුහන් කරල තියෙනවාද? ඔබ දන්නවා අපේ රටේ ගිය අවුරුද්දේ විතරක් 9,10,582ක් පාස්පෝට් එක හදල තියෙනවා. ඉන් මාතර දිස්ත්‍රික්කයේ 39,301ක් පාස්පෝට් හදල තියෙනවා. හැබැයි රට ගිහින් තිබෙන්නේ 1,40,885යි. මෙතන ඉන්න තරුණයෝ ඒ පාස්පෝට් පොලිමේ දවස් දෙකක් තුනක් පාස්පෝට් එකක් හදාගන්න දුක් විදින තැනට අපේ රටේ පාලකයෝ විසින් පත්කරලා තියෙනවා. හැබැයි අපට පාස්පෝට් පෝලිමේ ඉන්න ඒ සෙනග අපිට එයාපෝට් එකේදී දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමා අපට තියෙන ඛේදවාචකය. මේ රට ගිය ප්‍රමාණයෙනුත් 60%කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත පුහුණුවක් නැතිව ගිය පිරිසක්. ඒ වගේම මින් සියයට 76කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ මැදපෙරදිග. යුරෝපය ගත්තොත් 7%ක වගේ ප්‍රමාණයක්. එසේ තිබියෙදී තමා මම දැක්කෙ ඊයේ සජබේ හර්ෂණ මහත්තය කියනවා, ඒගොල්ලො සමීක්ෂණයක් කළාලු. ඒ අනුව 80%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවලු රට අතහැරල කැලිෆෝර්නියාවට යන්න. ඒ නිසා දැන් අපි රට යන්න නොවෙයි, ලංකාව ඇතුළේ කැලිෆෝර්නියාව හදනවා කියලා සජිත් එක්ක හර්ෂණ කියනවා. හැබැයි අපි අහන්න ඕන සජිත්ගෙන්, මේ රටේ මාතර දිස්ත්‍රික්කයෙ පාස්පෝට් එකේ දවස් දෙකක් දුක්විඳින හීන පස්සේ පන්නන්න සැලැස්වූයේ කවුද. අපේ රටේ සජිත්ලා ඒවායේ ඇමතිකම් දැරුවේ නැද්ද? ඒවායේ කැබිනට් ඇමතිලා වෙලා හිටියේ නැද්ද? එහෙම තිබියෙදී දැන් කියනවා සජිත් ඒකක දැන් අපේ රට කැලිපෝනියාව බවට පත්කරන්න යනවා කියලා. මොන විහිළුද? එවැනි රැවටිලිවල කාලය අවසන් කියලා තමයි ඒ ඉන්න පුතාලට අපි පැහැදිලිව පෙන්නුම් කරල තියෙන්නේ.

පසුගිය දවස් ටික ඇතුළේ අපි මේ නායකත්වය දෙන සහෝදර සහෝදරියන් මැදිහත්වෙලා මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හමුවෙන්න ගියා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වේදිකාව ඇතුළේ ඔබ බලන්න කවුද නායක නායිකාවන් බවට පත්වුණේ. ඔබේ ගමේ නගරයේ ඔබේ ආසන්න ස්ථානයේ ඉන්න තරුණ තරුණියන් අද නායකයන් බවට පත්වෙලා තියෙනවා. වෙන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අද එවැනි තීරණයක් ගන්න බැහැ. ඇයි ඒ? ඒගොල්ලො හැමදාම නායකයො ලෙස සිතුවේ ඒගොල්ලන්ගේ දුවල පුතාලා අයියල මල්ලිල අක්කල නැත්නම් ඥාතීන්. හැබැයි ජාතික ජන බලවේගය තමා පළවෙනි වතාවට මේ රටේ නව තාරුණ්‍යය නායක නායිකාවන් බවට පත්කරන්න පුළුවන් කියල තීරණය කළේ. එන්පීපී යූත් එක ඇතුළේ අද මාතර දිස්ත්‍රික්කයේ නායකයෝ ලෙස පත්වෙලා තියෙන්නේ ඔවුන්. මේකෙ වගකීම ගත්තේ ඔවුන්. ඒ විතරක් නොවෙයි මාතර දිස්ත්‍රික්කයට ආවට පස්සේ මේ අභියෝගය ගම්මු කියල කතාකර ගත්තට පස්සේ එක රෑනට එක පොකුරට මේ ආදරණීය සහෝදර සහෝදරියෝත් ඒවාගේම මෙතන දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියෝත් සියළු දෙනාම මාස ගණනාවක් පුරා මේ අභියෝගය සනිටුහන් කිරීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් කළා. අද මොකද වෙලා තියෙන්නේ. අද මාතර දිස්ත්‍රික්කයේ මේ උද්‍යානය ඇතුලෙත් මාතර නගරය පුරාත් රනිල්ලටත් රාජපක්ෂලාටත් ඒවාගේම පුතාණෝලාටත් ඇඟ හිරිවැටෙන්න තරුණයන්ගේ බලය මොකක්ද කියන එක පෙන්වන්න සමත් වුනා. එනිසා මේ ආරම්භය ඓතිහාසිකයි. රනිල්ලට රාජපක්ෂලාට කොපිකරන පුතාණෝට ඔක්කොටම අපි කියනවා, දැන්නම් මොන ජගතෙකුටවත් මේ තාරුණ්‍යයේ නැගිටීම නම් නතරකරන්න හම්බවෙන්නේ නැහැ.

ඒ වගේම අද තවත් ඓතිහාසික දවසක්. ඔබ දන්නවා අද මාර්තු මාසේ 17වෙනිදා. ඔබට මතකද? මීට අවුරුදු 02ට පෙර 2022 මාර්තු මාසේ 18 වෙනිදා. මෙතන සහෝදරවරු කීපදෙනෙක් හිටියා; ඔබත් ඉන්න ඇති. මාර්තු මාසේ 18දා සමාජවාදී තරුණ සංගමයත් ඒවගේම අපේ රටේ ප්‍රගතිශීලී තරුණ තරුණියොත් පළවෙනි වතාවට ගෝඨාභයගේ රැස්වළලු කඩල ඒ ජනාධිපති ලේකම් කාර්යාලය වටළල පළවෙනි වතාවට අපි අපේ රටේ තරුණ පරම්පරාව විදියට ගෝඨාභායට කිව්ව ඔයා මේ යන ගමන වෙනස් කරන්න කියලා. එහෙම නැත්නම් අපේ රටේ තරුණ පරම්පරාව ඔයා යන ගමන වෙනස් කරනව කියලා. හැබැයි මොකද වුනේ. එහෙම කියලා මාස 4යි. ගෝඨාභය ගෙදර යවන්න අපේ රටේ තරුණ පරම්පරාව සමත් වුනා. ඒ මීට අවුරුදු 2ට පෙර. මාර්තු මාසේ 18දා. අද කවද්ද? අද 2024 මාර්තු මාසේ 17දා. අද මේ වේදිකාවේ ඉඳන් විශේෂයෙන් එන්පීපී යූත් එක විදිහට ඒවාගේම මාලිමාවේ තරුණ බලය විදිහට අපි කියනවා රනිල්ටයි රාජපක්ෂලාටයි සිහින මවමින් ඉන්න පුතාණෝටයි කොට්ට පැදුරු අකුල ගන්න කියලා. එන්පීපී තරුණයන් පෙළ ගැහිල ඉන්නේ තව මාස 7කින්. නිසැක ලෙස ඔබගේ ගමන අවසන් කර ජනතාවාදී පාලනයක් ගොඩනගන්න මේ තරුණ බලය පෙළ ගැසෙනවා කියලා. ගෝඨා දැන් පොතක් ලියල තියෙනවා. ඒක විකට කථා පොතක්. දැන් මේ වේදිකාවේ සිට කියනවා ජාතික ජන බලවේගයේ ඉන්න තරුණයෝ ලෙස රනිල්ටත් දැන් කොල ටික ලෑස්තිකරගෙන ඉන්න කියලා. ඔයාටත් තව මාස 7ක් යද්දි පොතක් ලියන්න වෙනවා. මේ රටේ තරුණයෝ ඒ පොතට නම දායි.

ඔබ දන්නවා මීට අවුරුදු 2ට පෙර අපේ තරුණ පරම්පරාව නැගිට්ටා. මෑතකාලයේ අපේ රටේ ඇතිවූ විශාලතම තරුණ නැගිටීම. ලෝකයේ ගත්තමත් දැවැන්තම ජනතා නැගිටීම. හැබැයි ඒ ජනතා නැගිටීම අවසන් කරන්න වුනේ භාග ජයග්‍රහණයකින්. ඒවෙලාවේ මාතර දිස්ත්‍රික්කයේත් ලංකාවේත් විදේශගතව සිටි තරුණ තරුණියෝත් ගෙනාපු ප්‍රධාන සටන් පාඨ කීපයක් තිබුණා. ඒ තමා අපේ රටේ දූෂිතයින්ට දඬුවම් දෙන්න. දූෂිතයන්ගේ දේපළ අත්පත් කරගන්න. පවුල් පාලනය කෙළවර කරන්න. ජනතාවාදී පාලනයකට මේ රට ගෙනියන්න කියන එක. ඒ ඇහැ ඇරුණ තරුණ බලවේගයට ඒ පිබිදුණු තරුණ බලයට මැදිහත්වුණ ජනතාවාදී බලයට අපි මතක් කරන්න කැමතියි. මීට අවුරුදු 2ට පෙර ඔබ කැපවීම කළා. දේශපාලන වෙනසක් කරන්න අපට පුළුවන් වුනා. එය භාග ජයග්‍රහණයකින් අපට කෙළවර කරන්න වුනේ ඇයි? එය අපි හරියට කියව ගන්න ඕනෑ. මුළු රටේම තරුණ පරපුර නැගිට්ටා. අම්ම තාත්ත අයිය අක්ක නැගිට්ටා. දැවැන්ත බලයක්. හැබැයි එය ජනතාවාදී ජයග්‍රහණයකින් කෙළවර කර ගන්න බැරි වුණා. හේතුව මොකක්ද? මධ්‍යගත කරන්න කේන්ද්‍රගත කරන්න ඒක මෙහෙයවන්න එතැනට ජනතා මධ්‍යස්ථානයක් තිබුණේ නෑ. ඒකතමා ඒවෙලාවේ තිබුණ අඩුව. දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ පළවෙනි වතාවට දැවැන්ත ජනතා මධ්‍යස්ථානයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ මාලිමාව ප්‍රමුඛ ජනතා ව්‍යාපාරය. ඒ අරගලයට මැදිහත්වුන තරුණ තරුණියන්ට ආරාධනා කරනවා දැන් එන්න. එකතුවන්න. ඒ ඡන්ද දායකයෝ ලෙස නොවෙයි. එහි වගකීම් බාරගන්න. නායකයන්, නායිකාවන් බවට පත්වෙමින් අනිවාර්යෙන්ම ඉදිරියේ නිර්මාණය වෙන ඒ ජනතාවාදී පාලනයේ තාරුණ්‍යයේ සලකුණ තියන්න කියල මම ඒ ආදරණීය තරුණ තරුණියන්ට ආරාධනය කරනවා. ඔබේ තැන ඔබේ ගෙදර ඔබේ හදවත දැන් මෙතන බවට පත්කර ගන්න.

එසේම අපේ වගකීම් ගැන මතක් කරන්න කැමැතියි. ජාතික ජන බලවේගයේ NPP Youth එක විදිහට අපේ වගකීම් මොකක්ද? අප මෙය හැමදාම කියනවා වගේම මේක අපි ගහන්න ඕනම මැච් එකක්. දිනන්න ඕන මැච් එකක්. එක නිසා මේක අපට වරද්ද ගන්න බෑ. අපට මිස්කර ගන්නත් බැහැ.

අපිට, ඔබට, ඔබේ අම්මට, තාත්තට පළවෙනි වතාවට දිනන්න අවස්ථාවක් තිබෙනවා. ඇයි අපි ඒක කියන්නේ. දැන් මේ වෙද්දී කරුණු 4ක් අවධානයට ලක්වෙලා තියෙනවා. එකක් මේ මොහොතේ තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම ඇදවැටිලා තියෙන්නේ. එය අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. තුන්වෙනි එක තමා අපේ රටේ ජනතාව ඇත්ත පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා. අපේ තරුණයන් පුරවැසියන් බවට පත්වෙලා. හතරවන කරුණ සම්පූර්ණවෙලා තිබුනේ නෑ. ඒ තමා මහජන ව්‍යාපාරයක්. දැන් ඒක හැදිලා තියෙනවා. ඒ තමා මාලිමාව බවට පත්වෙලා තියෙන්නේ. ඒනිසා තර්ක කරන හිතන මතන තාරුණ්‍යයෙන් අප ඉල්ලන්නේ නිස්චිතව දැන් අපට කරුණු 4 සම්පූර්ණවෙලා තියෙනවා. ඒනිසා මේ මැච් එක අපට ගහන් පුළුවන්. දිනන්න පුළුවන් කම තියෙනවා. ඒනිසා දැන් අපි මේ වැඩේ කරන්න ඕනෑ. ඔබේ අපේ භාෂාවෙන් කියනව නම් පිච්එක හොඳයි. අපේ අම්ම තාත්තට මේ රට වෙනස් කරන්න බැරිවුනා ඒක ඇත්ත. අපේ අම්ම තාත්තට මේක මෙතනින් එහාට ගෙනියන්න බැරිවුනා ඒක ඇත්ත. ඔවුන්ට මෙවැනි පිච්එකක් හමුවුනේ නෑ. ඒක නිසා ඔබට අපේ තරුණයන්ට පිච් එකක් හම්බවෙලා තියෙනවා. ඒක අපි අත අරින්න ඕනද? සහෝදරයා නංගී මල්ලි. කිසිදු අයිතියක් නෑ ඒක අපට අතඅරින්න. මේ හොඳම පිච්එකේ හොඳම බැට්ස්මන්ලා අරගෙන හොඳම බෝලස්ල අරගෙන හොඳම පීඩ්ලස්ලා අරගෙන නිසැක ලෙස මේ මැච්එකේ දශමෙක වැරැද්දක් තියන්නේ නැතිව නිසක ලෙස මේ මැච්එක අපි ගහනවා සහතිකයි. ඒනිසා රනිල්ලටත් රාජපක්ෂලාටත් හීන දකිමින් ඉන්න කොපිකරන පුතාණෝටත් අපි ඔක්කොටම කියනවා මැච්එක අපේ, දිනන්නේ අපි. තරුණ පරම්පරාව එයට මැදිහත්වෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒනිසා මම අවසාන වශයෙන් අපේ රටේ ආදරණීය තරුණ තරුණියන්ට කියනවා මේ සඳහා පෙළ ගැහෙන්න කියලා. ජාතිවාදයෙන් පිරිල තිබුණ තරුණ තරුණියන්ට අපි ජාතික සමගිය අරගෙන යන්න ඕනෑ. පසුගාමිත්වය තියෙන මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම නූතන වාදය අරගෙන යන්න ඕනෑ. අයුක්තිය වෙනුවෙන් හිටපු තරුණ පරම්පරාවට යුක්තිය වෙනුවෙන් අපි මේ රටේ තරුණ පරම්පරාව පෙළ ගස්සන්න ඕනෑ. ඒක නිසා හරි පැහැදිලියි. මේක ඇතුලේ මොකවත් නෑ. අපිට තියෙන්නේ අවුරුදු 76ට පස්සේ අපිට තියෙනවා අපේ නිදහස දිනාගැනීමේ සටනක්. ඒ නව නිදහස් සටනක් සැමටම ඉතුරුවෙලා තියෙනවා. අවුරුදු 76ක් අපිව විනාශකරපු මේ පාලකයන්ව පරාජයට පත්කරල නව ක්‍රම වෙනසක් සමග නව නිදහස් අරගලය ඉදිරියටම යනවා. එය වළක්වාගත නොහැකි ඒ වෙනුවෙන් නව සටනක් තරුණ පරම්පරාව ඉදිරියට එන්න. සියළු දෙනාට ජයවේවා කියල පාර්ථනා කරනවා.

NPP-Youth-Conference

“රටේ හර පද්ධතිය ගොඩනැගීමේ හැකියාව තිබෙන්නේ ඔබ සතුවයි. එහි වගකීම ඔබේ අතට ගත යුතුමයි.”
-රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි-

ඔබ පාසලෙන් අවුට් වුණේ කවදාද? මම විශ්වාස කරනවා අවුරුදු 13ක් 14ක් මෙපිට පාසලෙන් ඉවත්වූ පිරිස තමයි මේ ඉන්නේ. ඒ අවුරුදු 14 ඇතුළත ඔබේ පාසලට වැඩිම වාර ගණනක් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඉන්නවා නම්, ඒ මම තමයි. එදා මම කිව්වේ දුවේ, පුතේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අදත් කියන්න වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. තව අවුරුදු ගණනාවක් ගිහින් ඔබේ දරුවා අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ලියාගෙන එනවාට ඔබ කැමතිද? එහෙම නම් මේ රටේ ඒ වෙනස, අපි කරන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ කියනවා 2048දි ලංකාව සංවර්ධිත රටක් කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තරුණයන්ට කිව්වා “මම ඔයාලට බ්‍රේස්ලට් දෙන්නම්”, “මම ඔයාලට ෆ්‍රී වයිෆයි කලාප දෙන්නම්” කියලා, දුන්නාද? අද රුපියල් 100/-ක ඩේටා කාඩ් එකක් දානකොට 1/3ක් බදු. මේ රටේ අධ්‍යාපන ඇමතිවරු 24ක් හිටියා. රනිල් වික්‍රමසිංහ තමයි වැඩිම කාලයක් අධ්‍යාපන ඇමති වෙලා හිටියේ. ඔහු දැන් ඇවිත් වසර 2035දි මම අධ්‍යාපනය හදනවා කියලා. 2014 යහපාලන ආණ්ඩුව යටතේ මෛත්‍රීපාල ජනාධිපති වුණාට, රනිල් වික්‍රමසිංහ තමයි ආණ්ඩුව කළේ. 2014 ආර්ථික වර්ධන වේගය 5.1යි, අවුරුදු හතරකට පස්සේ රනිල් වික්‍රමසිංහ යනකොට 2.2යි. ඔබ විශ්වාස කරනවාද 2048 ඒ රනිල් ලංකාව සංවර්ධිත රටක් කරනවා කියලා?

මේ රට සංවර්ධනය කරන එක තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නොවෙයි. ඒ හැකියාව, ශක්තිය තිබෙන්නේ තරුණ ඔබ සතුව. කඩා වැටිල තිබෙන මේ ආර්ථිකය, මේ ජන සමාජය, මේ රටේ සංස්කෘතිය, මේ රටේ හර පද්ධතිය ගොඩ ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔබ සතුවයි. ඒ සඳහා විශාල පරිවර්තනයක් අවශ්‍යයි. එම පරිවර්තනය අනිවාර්යයෙන්ම කළ හැක්කේ ඔබටයි. තරුණ ඔබ එහි කොටස්කරුවෙකු විය යුතුමයි. එහි වගකීම ඔබේ අතට ගත යුතුමයි. ඒ සඳහා සහභාගී වන, ඒ සඳහා අධිෂ්ඨානයක් තිබෙන තාරුණ්‍ය තමයි අප ඉදිරියේ ඉන්නේ. මෙතන කවුරුවත් රැකියාවක් බලාපොරොත්තුවෙන් මේ රුලියට ආවේ නැහැ. මේ රටේ රැකියාවන් දෙන එක දේශපාලනඥයන්ට අයිති කාර්යයක් නොවෙයි. රැකියා දීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. දැනට පවතින ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ ක්‍රම වෙනස සඳහා තමයි ඔබට ආරාධනා කරන්නේ.

රට ආර්ථික වශයෙන් කඩා වැටිල තිබෙන වෙලාවක පුංචි ණයක් අරගෙන පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන්. වැටිලා තිබෙන ආර්ථිකයක් ගොඩගන්න නිෂ්පාදනය, සේවා නියුක්තිය, අපනයන ඉපයුම් වැඩිකරලා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කළ යුතුමයි. අපේ රටේ ණය ගෙවන්න අපේ වත්කම් ටික ටික විකුණලා කරන්න පුළුවන් කමක් නැහැ. වත්කම් ඉවර වෙන දවසක් තිබෙනවා. දිගින් දිගටම ණය අරගෙන වැටුණු රටක් ගොඩගන්න බැහැ. රටක් සංවර්ධනය කරන්න ණය ගන්න ඕන. හැබැයි ණය අරගෙන ආයෝජනය කරන්නේ කුමක් සඳහාද යන්න පැහැදිලි සැලැස්මක් ඇතිව. ඒ සැලැස්ම සඳහා සියලු දේවල් ඔබ හමුවේ තියන්න, හැකියාව ඇති පිරිසක් ඉදිරිපත් වී ඉන්නවා. අවශ්‍ය වෙන්නේ ඔබ මේ බලය, ශක්තිය අතට ගන්න අවශ්‍යයි.

රනිල් වික්‍රමසිංහ කිව්වා කුලියාපිටියේ වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් දාලා තරුණ තරුණියනට රැකියා ලබාදෙනවා කියලා. ඒ රනිල් අද කියනවා “එන්න මම හාල් කිලෝ 10ක් ගෙනාවා බෙදලා දෙන්න” කියලා. අපට ඕන සහනාධාර දීලා හදන රටක් නොවෙයි. අවශ්‍ය වෙන්නේ නිෂ්පාදනය දියුණු කරලා ඒ රටේ පුරවැසියන්ගේ ආදායම් ඉපයීමේ හැකියාව වර්ධනය කරලා ඩොලර් ඉපයීමේ හැකියාව වැඩිකරලා ඒ තුළින් ආර්ථිකය ගොඩනඟන එකයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වෙනවිට සකස් වෙලා තිබෙනවා. ඔබට තිබෙන්නේ ඒ සැලසුමේ කොටස්කරුවෙක් වෙන්න. අද ලංකාවේ වෘත්තිකයන් රට හැර යන තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉන්න හිටින රටක් නිර්මාණය කරන්න ආව හැමෝම කළේ, තමන්ගේ දරුවන්ට රටවල් හැදුවා. අපට රටවල් හැදුවේ නැහැ. ඔය රට හැර යන්නේ බදු ප්‍රශ්නය නිසාම නොවෙයි. මට කොහොම හරි කට්ට කාගෙන ඉන්න පුළුවන්. මගේ දරුවාට අනාගතයේ මොකද වෙන්නේ කියන ප්‍රශ්නය එයාලට තිබෙනවා. ඔබටත් තිබෙන්නේ ඒ ප්‍රශ්නය. ඔයාලගේ පරම්පරාව එසේ අසමත් නොවීම සඳහා මෙතැන් සිට වත්, මේ ආර්ථිකය හදන්න ඕන. මේ විනාශ වී තිබෙන සමාජ දේහයම වෙනස් කිරීම අවශ්‍යයි. ඒ වෙනස කරන්න හැකියාව තිබෙන්නේ ඔබ සතුවයි. ගැලවුම්කරුවෙක් හෝ මැජිකරුවෙක් හෝ අපට කර දෙන්නේ නැහැ. ඔබ පාසල් යන අවදියේදි සිහින මැව්වා ලස්සන රටක්. අපි ඒ සුන්දර රට හදමු.

NPP-Youth-Conference

“ජාතික ආරක්ෂාව කියන්නේ පාර පුරා පොලීසිය, හමුදාව ආයුධ අතේ තබාගෙන හිටගෙන ඉන්න එක නොවෙයි…”
-චිත්‍රපට අධ්‍යක්ෂ, සහ ප්‍රවීණ රංග ශිල්පී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජගත් මනුවර්ණ-

ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට මේ රටේ දේශපාලන බලය ජනතාවගේ අතට මාරුවෙන්න යනවා. මෙතන සිටින තරුණයන්ගෙන් බහුතරයක් අපේ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් විවිධ දේශපාලකයන් බලයට පත්කර ඇති. මේ රටේ හිටපු ජනාධිපතිවරු පස්දෙනෙක් එක පෙළට රටේ ජනතාවට, තාරුණ්‍යයට එරෙහිව සිටගන්න අද සූදානම්. ඔවුන් බයයි දේශපාලනය ඔවුන්ගේ අතින් ජනතාවගේ අතට මාරුවෙන එක ගැන. මේ රටේ බලයට පත්වුණු ආණ්ඩුවල තුඩ තුඩ රැව්දීපු එකක් තමයි ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව. ඒ මහජන ආරක්ෂාව සහිතව මෙතෙක් කල් ගොඩනගපු රටේ, අහන්න සිදුවී ඇති දේ තමයි මිනිස් ඝාතන, වෙඩි තැබීම්, තැන තැන සිදුවෙන මංකොල්ල කෑම්.

බැසිල් රාජපක්ෂ කියනවා රටේ අරගලය වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය බාර ගත්තේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා තිබුණ නිසා කියලා. ඒ අවස්ථාවේ රටේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි ගත්තා. නමුත් ඔහු එදා දහවල් අරගලයේ තරුණයන්ට පහරදීලා තරුණයන් ඒ නිවාසවලට කැඳවාගත් නිසා ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම ගැන කියන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ ජාතික ආරක්ෂාව කියන්නේ මේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව. ඔවුන් හැමදාමත් කළේ “රට ජාතිය අනතුරේ” කියමින්, පුරවැසියා රවටමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්න එක. ඒ නිසාම තමයි අද අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි, උදේ ගෙදරින් පිටවී යන පුද්ගලයා නිරුපද්‍රිතව ගෙදර එයිද කියන සැකයෙන් ඉන්න වෙලා, පාතාලය පාරපුරා වෙඩි තබාගන්න සමාජයක් බිහිවෙලා තිබෙන්නේ. ඔවුන් කියන ආරක්ෂිත රට ගොඩනඟා තිබෙනවාද? ජාතික ආරක්ෂාව කියන්නේ පොලීසිය, හමුදාව පාරපුරා ආයුධ අතේ තබාගෙන ඉන්න එක නොවෙයි. මිනිසුන්ගේ මනස පෝෂණය කරන්න ඕනෑ. අනෙකා ගැන හිතන සංවේදී මිනිස්සු පිරිසක් මේ රටට අවශ්‍යයි. අනෙකුත් ජාතීන් කෙරෙහි, සංස්කෘතීක අනන්‍යතා පිළිගන්න ජන සමාජයක් අපි ගොඩනඟන්න ඕන. දරුවාට තමන්ගේ ළමා විය බුක්ති විඳිය හැකි, කාන්තාවට තමන්ගේ අයිතිවාසිකම් බුක්ති විඳිය හැකි, තරුණයාට තමන්ගේ තරුණ ජීවිත උරුමය බුක්ති විඳිය හැකි සමාජයක් තමයි අපි ජාතික ආරක්ෂාව සහිත සමාජයක් ලෙස හඳුනාගන්නේ.

අවුරුදු 76ක් මේ රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් අපට මේ රට ගොඩනඟා දී නැහැ. අනාගතයේ අපට සුරක්ෂිත සමාජයක් ජාතික ජන බලවේගය විසින් ගොඩනඟා දෙනු ඇතැයි විශ්වාසයෙන් යුතුව තමයි මේ තරුණ පිරිස අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන රටවල තරුණයන්ට ඔවුන් ලබා ගන්නා වැටුපෙන් සුරක්ෂිත ජීවිතයක් ගත කළ හැකි සමාජයක් ඔවුනට ලබාදී තිබෙනවා. අපේ රටේ තරුණයාට ඒ වරප්‍රසාද අහිමි වෙලා තිබෙනවා. එවන් පසුබිමක ඡන්දයක් පවත්වන වෙලාවක හාල් මිටියට, අස්වැසුමට, රට යවන බවට දෙන බොරු පොරොන්දුවලට රැවටිලා ඡන්දය දෙනවා නම් ඔවුන් තරුණයන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒවට නොරැවටෙන මේ තරුණ තරුණියන් ගැන අපිට ආඩම්බරයි. මේ රටේ අනාගතය වෙනස් කරන්න ඕන, ඒ හැකියාව අපට තිබෙනවා, ඒකට සුදුසු තැන ජාතික ජන බලවේගය බවට මේ අය තේරුම් ගෙන තිබෙනවා. මේ රට බාර ගන්නේ පුද්ගලයෙක් හෝ දෙන්නෙක් නොවෙයි. අපි සියලු දෙනාම එකතු වෙලා. මේ ඉන්නේ කොන්දේසි සහිතව එකතු වූ පිරිසක්. ඔබ අපට වගකීමක් දී තිබෙනවා. ඔබත් හවුල් කර ගත්ත, ඔබ විසින් බලයට ගේන ආණ්ඩුවක් විසින් මේ රට ගොඩනගයි කියන කොන්දේසියට ඔබ අපව එකඟ කරගෙන තිබෙනවා. ඔබ ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ඔබ බලාපොරොත්තු වූ රට ඔබේ සිහිනය සැබෑ කරන්න ජාතික ජන බලවේගය සූදානමින් ඉන්නවා.

කොඩිගහයට අධ්‍යක්ෂවරයා හැටියට බලාපොරොත්තු වූ කරුණක් තිබෙනවා. එහි මහේෂ්ට අත්වූ ඉරණම මේ රටේ සැමියෙකුට, තාත්තෙකුට උරුම වෙන්න ඕන නැති බව, පියල්ට අත්වූ ඉරණම මේ තරුණයාට අත්විය යුතු නැති බව, ශ්‍රීයානිලාට, ජීවනීලට උරුම වූ ජීවිතය මේ රටේ මව්වරුන්ට බිරින්දෑවරුනට උරුමවිය යුතු නැති බව, නිලන්තිලා, අසේලලාට අත්වූ ඉරණම අපේ තරුණියන්ට අත්විය යුතු නැති බව අපි පිළිගන්නවා. නිර්මාණකරුවන් විදිහට අපි උත්සාහ ගන්නවා සමාජ තත්වය ඒත්තු ගන්වන්න. ඒ පණිවිඩය ඔබට ගේන ගමන් එතනින් නොනැවතී තවත් පියවරක් ඉදිරියට තියලා ඔබ අතරට ඇවිත් මෙය තේරුම් ගන්න කියන පණිවිඩය දෙන්න ඔබ අතරට ඇවිත් තිබෙනවා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන නොසිට අපිත් එක්ක අත්වැල් බැඳගන්න, මේ පුනරුදය ආරම්භ කරන්න, මේ ගමන අපිත් සමග යන්න අපත් සමග එක්වුණු ඔබ, අපට ආඩම්බරයක්. ජාතික ජන බලවේගයට ආඩම්බරයක්. මේ තරුණ ජන ගඟ තව තවත් විශාල වෙලා රටපුරා යාමට නියමිතයි. පාලකයෝ බයවෙලා ඉන්නේ. මේ රට පාලනය කළ සියලු දෙනා එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක පොරබදන්න. මේ රට විනාශ කරපු, ඒ පරණ, එක්ස්ෆයර් වුණු, පිරිස එකතු වෙලා ඉන්නවා. එන්න අපිත් එක්ක සටන් බිමට, නිරායුධව, නිර්ප්‍රචණ්ඩත්ව, ප්‍රජාතන්ත්‍රවාදීව ඔබ පරාජය කරනවාමයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපිත් එක්ක ඉන්නවා. තාරුණ්‍යයට ජයවේවා! ජාතික ජන බලවේගයට ජයවේවා!

NPP-Youth-Conference
NPP-Youth-Conference
NPP-Youth-Conference
NPP-Youth-Conference
NPP-Youth-Conference